Tuesday, October 15, 2019

කෘතිම බුද්ධිය හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය


සජිත්ලාගේ මෙගා මයින්ඩ්ස් තොරණ ගැන ලියපු ලිපිය හා අදාළව ප්‍රතිචාරයක් දමමින් පරිණත බ්ලොග්කරුවෙකු වන ජාලිය විසින් ප්‍රශ්නයකින් අවසන් වන පහත කමෙන්ටුව වත්පොතේ දමා තිබුණා.

"මට එකපාරටම මතක් උනේ අර දොස්තර හොඳ හිත කාටුන් එකේ කැප්ටන් දියරකුස්ගේ ආර් ටූ ඩී ටූ කොම්පියුටර් එක...මට මේ විහිලුවට වඩා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. කෘතිම බුද්ධිය භාවිතය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ගැලපෙන්නේ කොහොමද..ඒ තීරණවලට වගවීම ගලපා ගන්නේ කොහොමද කියන එක මොකක්ද ඔබේ අදහස?"

පළමුවෙන් කියන්නේ ඕනෑ, සජිත්ගේ මෙගා මයින්ඩ්ස් තොරණ කිසිසේත්ම කෘතිම බුද්ධිය රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමක් නෙමෙයි. තොරණේ විච්චූරණ ටික අයින් කළොත්, තොරණ පිටුපස්සේ තිබෙන සංකල්පය ඇතුළේ රාජ්‍ය පාලනය සඳහා වඩා පුළුල් පදනමකින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන අදහස තියෙනවා. එය හොඳ අදහසක්. නමුත්, අලුත් අදහසක් නෙමෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන්නෙත් කෘතිම බුද්ධිය යොදා ගැනීම කියන්නෙත් කරුණු දෙකක්.

කෘතිම බුද්ධිය කියන වචනයෙන් සාමාන්‍යයෙන් පොදුවේ අදහස් වන්නේ මෙතෙක් මිනිස් මොළය යොදවා සිදු කළ ඇතැම් කටයුතු හා ගත් තීරණ පරිගණකයකට භාර දීමයි. එසේ මිනිස් මොළය වෙනුවට පරිගණකයක් ආදේශ කිරීමෙන් අපේක්ෂා කරන වාසි අතර වැඩි නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් තිබෙනවා. නැත්නම් තේරුමක් නැහැනේ.

මානව ඉතිහාසයේ අති දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ගේ නිෂ්පාදන ධාරිතාව මාංශ පේශි වල ශක්තිය විසින් සීමා කෙරුණා. කොයි තරම් ශක්තිමත් මිනිසෙකුට වුවත් යෙදවිය හැකි වූ උපරිම ශක්තිය ප්‍රමාණවත් වුනේ සීමිත නිෂ්පාදන කාර්යයක් සඳහා පමණයි. මාංශ පේශි වල ශක්තිය වැය වන විට නැවත ඒ ශක්තිය ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා හදපු නිෂ්පාදන වලින් විශාල කොටසක් නැවත වැය කිරීම අවශ්‍ය වූ නිසා මේ යුගයේදී ප්‍රාග්ධනය එකතු කර ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. බොහෝ විට යමෙකුට එසේ කළ හැකි වුනේ වෙනත් අයෙකුගේ මාංශ පේශි ශක්තිය යොදවා හදන නිෂ්පාදනයක අතිරික්තය "සූරාකෑම" මගිනුයි.

එහෙත් මේ වන විට නිෂ්පාදන කාර්යයන් සඳහා මාංශ පේශි වල ශක්තිය යොදා ගැනෙන්නේ ඉතාම සීමිතවයි. සමාජයක් විදිහට අප සතු නිෂ්පාදන ධාරිතාව ලෝකයේ සියලුම මිනිසුන්ගේ මාංශ පේශි වල ශක්තිය යොදවා කළ හැකි උපරිම නිෂ්පාදනය මෙන් සිය දහස් ගුණයක්. අපි දැන් කරන්නේ අපේ මාංශ පේශි වලට නිවාඩු දී යන්ත්‍ර සූත්‍ර විසින් අප විසින් කලින් කළ දේවල් කරන හැටි බලා ඉන්න එකයි. සතියක් පුරා ඇඳපු කිළුටු රෙදි ටික එකතු කර ගෙන ගඟට ගිහින් ගලේ ගසා අතුල්ලා සෝදා අවුවේ දමා වේලාගන්න කාලය නොයොදවා රෙදි සෝදන හා වේලන යන්ත්‍රයක් විසින් ඒ කටයුතු කර දෙන තුරු පැත්තකට වී විවේක ගන්න දැන් අපට පුළුවන්. එසේ වුවත්, මේ යන්ත්‍ර වලට හිතන එක හෝ තීරණ ගන්න එක කරන්න බැහැ. ඒ නිසා, හිතන්න හෝ තීරණ ගන්න අවශ්‍ය කාර්යයන් අප විසින්ම කර ගත යුතුයි.

කෘතිම බුද්ධිය යොදා ගැනීමේදී වෙන්නේ මෙතෙක් අප විසින්ම කර ගත් හිතීමට හා තීරණ ගැනීමට අවශ්‍ය කටයුතුත් යන්ත්‍ර වලටම පැවරීමයි. එහෙත්, එක දෙයක් පැහැදිලි කළ යුතුයි. පරිගණකයකට හෝ වෙනත් යන්ත්‍රයකට මිනිසෙකුට මෙන් හිතන්න බැහැ. කෘතිම බුද්ධිය කියා කියන්නේ මිනිසුන් විසින් කරන හිතීමට හා තීරණ ගැනීමට ආදේශකයක් වුවත් යන්ත්‍රයක් විසින් මිනිසෙකු මෙන් හිතීම හෝ තීරණ ගැනීම නෙමෙයි. බොහෝ විට කෘතීම බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ ඇතැම් කාර්යයන්හිදී මිනිස් මොළයට වඩා කාර්යක්ෂම ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්.

උදාහරණයක් විදිහට කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පෙන්වන්න පුළුවන්. වාහනයක් ධාවනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ සඳහා අඛණ්ඩ අවධානය සමඟ ක්ෂණික විශ්ලේෂණ හා තීරණ ගැනීමේ හැකියාව රියැදුරෙකුට අවශ්‍යයි. මේ වන විට මේ සියල්ල මිනිසෙකුට වඩා හොඳින් පරිගණකයකට කළ හැකියි.

තවත් උදාහරණයක් විදිහට ගුවන් තොටුපලකදී ගමන් බලපත්‍රය හා වීසා පරීක්ෂා කර රටට ඇතුළු වෙන්න අවසර දීමේ කාර්යය පෙන්වන්න පුළුවන්. දැනටමත් කෙරෙන මෙවැනි කටයුතු වලට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන වෛද්‍යවරයෙකු විසින් කරන රෝග විනිශ්චය වැනි දේවල් වුවත් කළ හැකියි.

රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත හැක්කේ කවර ආකාරයකටද?

මෙහිදී අප විසින් මුලින්ම විමසිය යුත්තේ රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත යුත්තේ කවර තත්ත්වයන් යටතේද කියන එකයි. මුලින් කියූ පරිදි, රාජ්‍ය පාලනය සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන වාසි තුනෙන් එකක් (හෝ කිහිපයක්) ලැබෙන්න පුළුවන්. කෘතිම බුද්ධිය යොදා ගැනීම නිසා වියදම අඩු වෙනවානම් එහි ගැටළුවක් නැහැ. එහෙත්, ලැබෙන්නේ මුල් වාසි දෙකෙන් එකක්නම් ඒ වාසි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතුද කියන එක ගැන රජයක් විසින් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි වූ නිරවද්‍යතාවයේ හෝ වේගයේ වාසිය වෙනුවෙන් වැඩි වූ පිරිවැය දරන්න රටේ මිනිස්සු සූදානම්ද කියන එකත් සොයා බැලිය යුතුයි. එසේ නැතිව රජයක් විසින් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ අරමුණින් කෘතිම බුද්ධිය යොදා ගැනීම තේරුමක් නැති සෝබන වැඩක් හා මුදල් නාස්තියක් පමණයි.

කෘතිම බුද්ධිය යොදාගෙන රජයකට වියදම් අඩු කර ගත හැක්කේ, එහෙම නැත්නම් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ කවර ආකාර වලින්ද කියන එකත්, ජාලියගේ ප්‍රශ්නයේ හරය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම මෙයට සම්බන්ධ වන ආකාරය ගැනත් කතා කිරීම පසුවට තබමු.

3 comments:

  1. කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන වැඩකරන දියුණු රාජ්‍ය ලෝකයේ ඇති. නොමේරූ මනසක්
    ඇති ලංකාවෙ රාජ්‍ය නායකයෝ රටේ දියුණුවට මේවා උපයෝගී කරගනීවි කියලා හිතන්න අමාරුයි. "මිටිනම් කම්කරු-උසනම් සිකුරිටි" සංකල්පය අපට ඇහුනේ වැඩි ඈතක නෙවෙයිනේ.අධිකරණය විසින් රිමාන්ඩ් කර සිටින හමුදා භටයන් තමන් බලයට පත්වූ වහාම නිදොස්කොට නිදහස් කරන කතා ඇහුනෙත් මේ ළඟ ළඟ වගේ.

    ReplyDelete
  2. ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු සොක්කාගේ සිට බක්කා දක්වා හැමෝම විනිවිද පෙනෙන- තාක්ෂණික ක්‍රමවලට කැමති වේය කියලා හිතනවද?

    එතකොට කොහොමද ජරාව අනුභව කරන්නේ?

    ReplyDelete
  3. 'එසේ නැතිව රජයක් විසින් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ අරමුණින් කෘතිම බුද්ධිය යොදා ගැනීම තේරුමක් නැති සෝබන වැඩක් හා මුදල් නාස්තියක් පමණයි.'

    ඉකොනෝ මහත්තයා බ්ලොග් එක පිරවීමේ අරමුණින් මෙලෝ රහක් නැති පල්හෑලි දානවා වගේ නේද.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.