Thursday, February 4, 2016

නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

රටක නීතියේ අරමුණ යුක්තියයි. එහෙත්, ඇතැම් අවස්ථා වලදී යමෙකුට තමන් යුක්තියයැයි සිතන කරුණක් වෙනුවෙන් නීතියට එරෙහි වන්නට සිදුවිය හැකිය. එමෙන්ම, මෙවැනි ක්‍රියාවක් නීතිය ඉදිරියේ වරදක් වන නිසා දඬුවමක් විඳින්නටද සිදුවිය හැකිය.

මා මුර ගෑවේ පිහිටක් අයදින්නයි...
ධන වැද්දෙකුගෙන් බඹසර රැක ගන්නයි..
ඔබ දිව ආයේ මාදිවි ගලවන්නයි...
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි...

මේ වගේ වෙලාවට 119 අමතන්නට මතක් වෙන්නේ නැත. ඇමතුවා කියා ඇති වැඩකුත් නැත. එහෙත්, නීතිය ඉදිරියේ වරදක් වී ඇත්නම් දඬුවමකට ලක් වෙන්නට සිදු වේ. සිර මැදිරියක සීතල පොළොව සිරියහනක් නොවේ. ගෝණි පඩංගුව මුදු පළසක් නොවේ. තැටියේ බත්පත දිවබොජුනක්ද නොවේ. ඒවා සොවින් බර හිතක මතුවන අහිංසක බලාපොරොත්තු පමණි. මේ වගේ වෙලාවට තමන් රටේ නීති පද්ධතියෙන් පිටස්තරයෙකු බව කෙනෙකුට දැනෙනවානම් එහි ලොකු පුදුමයක් නැත.

දිළිදු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ...
කාසිය උන්ගේ ලොකු ලොකුවුන් උන්ගේ...
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ...
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

මා විසින් පළ කළ පෙර ලිපියකට පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් පසු ඇරඹුණු සංවාදයක එක අංශයක් මේ වන විට (මගේ පමාවෙන්) නැවතී ඇත්තේ මෙවැනි තැනකය.

"ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා හට තේරුම් ගිය පරිදි) “ සමාජය විසින් පොදු සම්මුතියක් ලෙස සකස්කරගෙන ඇති නීතී උල්ලංගනය කරන අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට එරෙහිව සමාන ලෙස නීතීය ක්‍රියාත්මක කල යුතුයි සහ එලෙස පොදු සම්මුතින් උල්ලංගනය කරන අවස්ථාවලදී සමාජයෙන් එවා කඩ කරන්නන්හට එරෙහිව පිඩනයක් ඇතිකල යුතු බවයි. තවද අවශ්‍යතාවයන් අනුව බහුතරයකගේ කැමැත්තෙන් නීතී සංශෝධනය කරගත යුතු බවයි“ යන්නය. 

පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය."


මෙහි මුල් කොටසේ ඔහු විසින් මගේ අදහස් ඉතා නිවැරදිව සම්පින්ඩනය කර තිබේ. දෙවන කොටසේ ඇති අදහස් අපට මෙසේ කොටස් තුනකට බෙදිය හැකිය.

1. නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියකි. (මගේ මතය)
2. නීතීය යනු සමාජය විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියකි. (ඔහුගේ මතය)
3. දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි. (ඔහුගේ මතය)

ඔහු සඳහන් කර ඇති පරිදිම ඉහත (1) මගේ මතයයි. එහෙත්, මගේ ඒ මතය මඟින් ඉහත (2) හා (3) සම්පූර්ණයෙන් බැහැර කෙරෙන්නේද නැත. (1) සත්‍යයක් වූ පමණින්ම (2) හා (3) හැම විටම බොරු වෙන්නේ නැත.

මෙය මා විස්තර නොකළහොත් එක් වර අණ්ඩර දෙමළයක් මෙන් පෙනෙන්නට පුළුවන.

අපි තුන්වන කරුණට එමු. "දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි." කලකට පෙර "පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ- නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" යනුවෙන් සුනිල් ආරියරත්න වෙනත් විදිහකට කියන්නේද මේ කරුණමය.

එසේනම්, මේ "පොදු ජනතාව" යන අර්ථකථනයට අයත් නොවන "වෙනත් අය" කවුද? "අපෙ වුන්" නොවන "උන්" කවුද? නීති පද්ධතිය සකස් කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි සම්මත කර ඇත්තේ කවුද?

ලංකාවේ නීති පද්ධතිය විකාශනය වූ හැටි මගේ පෙර ලිපියකින්ද ඉතා කෙටියෙන් කතා කළෙමි. යුරෝපීයයන් එන තුරු ලංකාවේ තිබුණේ රාජාණ්ඩුවකි. රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජු හෝ රැජිනයි. මේ බලය ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වේ. ඒ රජුගේ හෝ රැජිනගේ කැමැත්ත පරිදිය. එවැනි සමාජයක පොදු ජනතාවට යුක්තිය බලාපොරොත්තු විය හැක්කේ "රජු ධාර්මික වේවා!"යි ප්‍රාර්ථනා කිරීමෙනි.

කෙසේ වුවද, රාජ්‍ය ව්‍යුහය අද තරම් සංකීර්ණ හෝ විශාල නොවූ ඒ කාලයේ රාජ්‍ය බලය (රාජ නීතිය) ඈත ගම් දනවු වල සෑම අහුමුල්ලක් කරාම ව්‍යාප්තව තිබුණේයැයි සිතිය නොහැකිය. බොහෝ විට රටේ අගනුවරින් බැහැර ප්‍රදේශ වල ක්‍රියාත්මක වන්නට ඇත්තේ ප්‍රාදේශීය ප්‍රධානීන්ගේ නීතීන්ය. රජු විසින් ක්‍රියාත්මක කළද, ප්‍රාදේශීය ප්‍රධානියෙකු විසින් ක්‍රියාත්මක කළද, මේ නීති පද්ධතිය අදට සාපේක්ෂව ඉතා අවිධිමත්, අවිනිශ්චිත එකකි.

උඩරට (හෝ වෙනත් රටක හෝ ප්‍රදේශයක ක්‍රියාත්මක වූ) රාජ නීතිය සමාජයේ තේරීමක් නොවූ, සමාජය මත බලෙන් පැටවූ එකකැයි යමෙකුට තර්ක කළ හැකිය. මෙය එසේමැයි මා සිතන්නේ නැත. මේ කාලයේ ජීවත් වූ, රටේ නීති පද්ධතිය ගැන සෑහීමකට පත් නොවූ,  'සාමාන්‍ය පුරවැසියෙකුගේ' විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ කුමක්ද? බොහෝ විට, මෙවැනි විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ සිංහාසනාරූඪ රජු වෙනුවට, රාජ උරුමය ඇති, වඩා යුක්තිගරුක හා/හෝ ධාර්මිකයැයි සිතිය හැකි, වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමයි. ඉන්පසු, මේ විකල්ප පුද්ගලයා විසින් යුක්තිය ලෙස හඳුනාගන්නා ක්‍රමවේදයට යටත් වීමයි. (මෙසේ සිතන අය දැනටත් නොඅඩු බව පෙනේ.) ඒ මිස, පැවති නීති ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම නොවේ. එනයින්, ඒ ක්‍රමයද පොදු සමාජයේම තේරීමකි. (ඒ සඳහා ඉවහල් වූ ඓතිහාසික තත්ත්වයන් පැවතීම වෙනම කරුණකි.)


ලංකාවේ නීති පද්ධතිය සෑහෙන මට්ටමකට විධිමත් වන්නේ ලන්දේසීන්ගේ පාලනය තුළය. අදටත්, අපේ නීති පද්ධතියේ මූලික හරය රෝම ලන්දේසි නීතියයි. කෙසේවුවද, ලන්දේසින් යටතේ මේ නීති පද්ධතිය ක්‍රියාත්මක වූයේ රටේ සීමිත වපසරියක පමණි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ පාලන බලය අත්පත් කරගන්නා කාලය වන විට ඉංග්‍රීසි නීතිය සැහෙන දුරකට වැඩි දියුණු වී තිබුණේය. එහෙත්, යටත් විජිත සම්බන්ධව ඔවුන්ගේ එවකට ප්‍රතිපත්තිය වූයේ අවශ්‍ය වෙනස්කම් කරගන්නා තෙක් යම් රටක මුලින් පැවති නීති පද්ධතිය පවත්වා ගැනීමයි. මේ ප්‍රතිපත්තියට හේතු වන්නට ඇත්තේ රටක නීතිය වෙනස් කිරීම හිතන තරම් පහසු හෝ සරල කටයුත්තක් නොවීමයි.

ලංකාවේ පැවති දේශීය නීතිය හඳුනාගැනීමට ඉංග්‍රීසින් දැරූ උත්සාහයේදී ඔවුන්ට රටේ විවිධ ප්‍රදේශ වල එවකට ක්‍රියාත්මක වූ නීති ක්‍රම යටත් පිරිසෙයින් හතරක්වත් හමුවිය. ඒ රෝම-ලන්දේසි, උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති ලෙස ඔවුන් විසින් හඳුනා ගැනුණු නීති පද්ධතීන්ය. මේ නීති ක්‍රම හතරම ලංකාවේ වලංගු නීති ලෙස ඔවුන් පිළිගත්තේය. පළමුවැන්න රටේ සාමාන්‍ය නීතිය වූ අතර ඉතිරිවා ක්‍රියාත්මක වූයේ ඒ වන විට ඒ නීති පිළිගත් ජන කණ්ඩායම් හා අදාළව පමණි.

රටේ ප්‍රධාන නීතිය ලෙස එවකට රටේ සීමිත ප්‍රදේශයක ක්‍රියාත්මක වුණු රෝම-ලන්දේසි නීතිය යොදා ගැනුණේ ඇයිද යන කරුණ මෙහිදී විමසා බැලීම වටී.

රටකට නීතියක් හඳුන්වාදුන් පසු ඒ නීතියෙන් සියල්ලෝම බැඳෙති. මෙය නීතිය හඳුන්වා දෙන ඉංග්‍රීසින්ටද පොදුය. ඒ නිසා, ඔවුන්ට පෙනුණු පරිදි වඩා දියුණු, වඩා සාධාරණ නීති ක්‍රමය තමන්ටද බලපවත්වන පරිදි රටේ පොදු නීතිය ලෙස යොදාගත්තා විය යුතුය.

(මේ ලිපිය වචන 2000 ඉක්මවා ඇති නිසා කොටස් දෙකකින් පළවේ. ඉතිරි කොටස පැය 24කින් පසු කියවිය හැකිය.)

දෙවන කොටස: මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!




(Image: www.tumblr.com)

21 comments:

  1. අර "පාලකයිනි, තොප ම තොපේ ණීති කඩා නීති විරෝධී ඇති කල්හි අපි තොපේ නීති කුමට රකිමු ද?" කියන සටන් පාඨය ඔබේ කාලයේත් විශ්ව විද්‍යාලයේ තිබුණා ද?

    ReplyDelete
    Replies
    1. දෙන එක කොහොම හරි අලවල ඉක්මණට මාරු වෙනවා මිසක් ඕවයේ මොනව ලියල තියෙනවද කියල බැලුවෙ නෑනේ, රසික. :)

      Delete
  2. ජාතික සමගිය සහ මානව හිමිකම් වර්ධනය කිරීම පිණිස, උඩරටට, පහතරටට, යාපනයට, වෙන වෙනම සලකන වත්මන් නීති පද්ධතිය වෙනස් කොට, එකම නීති ක්‍රමයක් ඇතිකිරීමෙන්, කෙබඳු වෙනසක් කලහැකියැයි ඔබ සිතන්නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දැනට වලංගු උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති විවාහ, දික්කසාද හා දේපල අයිතිය වැනි සරල කරුණු කිහිපයකට සීමා වූ මූලික මට්ටමේ නීති. මෙයින් උඩරට සහ තේසවලාමේ නීති දැනටත් ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ ඉතාම සීමිතව. වත්මන් ලංකාවට වෙනස් නීති ක්‍රම කිහිපයක් තිබිය යුතුයි කියා මම හිතන්නේ නැහැ. මේවා අහෝසි කරනවානම් වැඩිම ප්‍රතිරෝධයක් එන්න ඉඩ තියෙන්නේ මුස්ලිම් නීතිය හා අදාලව. අනිත් නීති දෙක මූලිකවම ප්‍රාදේශීය නීති නිසා පුද්ගලයෙකුගේ ප්‍රාදේශීය අනන්‍යතාවය එතරම් වැදගත් නැතිවීමත් සමඟ ඒ නීති වල භාවිතය අඩුවුණත් ජනවාර්ගික නීතියක් වන මුස්ලිම් නීතියේ භාවිතය සම්බන්ධව එසේ සිදුවී නැහැ. එක්කෝ මේ ජන වර්ගයේ නායකයින් සමඟ සම්මුතියෙන්, නැත්නම් නිශ්චිත කාලයක් දීමෙන් පසු ක්‍රමිකව, මෙයත් අහෝසි කිරීමයි කළ යුත්තේ. කළකට පෙර සිදු වූ දෙයක් තමයි (මෙය ඔබ දන්නවා ඇති) දික්කසාදයක් ලබාගැනීම අමාරු කෙනෙක් නාමිකව මුස්ලිම් වී දෙවන විවාහයක් කරගැනීම. GLP ගෙන ආ සංශෝධනයක් මඟින් මෙය වැළැක්වූවා. මම හිතන්නේ මේ නීතිය තියෙනවනම් එසේ වැළැක්වීම සිදු කළ විට අසමානත්වය තවත් වැඩි වන බව. (මගේ අදහස අනුව ලංකාවේ සාමාන්‍ය දික්කසාද නීතිය මේ වන විට තත්ත්වය අනුව තද වැඩියි. දෙන්නා අකැමතිනම් වැඩි ප්‍රශ්න නැතුව වෙන් වෙන්න ඉඩ තිබිය යුතුයි.)

      Delete
    2. මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් කල යුත්තේ එය ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි පාවිච්චි කිරීමට හැකියාව ලබා දීමයි. එනම් සිංහල දෙදෙනෙකුට වුවත් දෙදෙනාගේ කැමැත්ත පරිදි සිංහල රෙජිස්ටාර් වරයෙක් ලවා මුස්ලිම් විවාහ සහතිකයක් ගැනීමේ අයිතිය ලබාදිය යුතුයි.

      Delete
    3. මම හිතන්නේ මෙය ගැහැණු සහ පිරිමි අතර නීතියේ අසමානත්වය වර්ධනය කරන නීතියක් කියා. ඉංග්‍රීසින් ලංකාවේ එවකට පැවති නීති විධිමත් නීතිය යටතට ගෙන ඒමේදී මුස්ලිම් අයගේ බහු-භාර්යා ක්‍රමය එසේ ගෙන ආවත් උඩරට පැවති බහු-පුරුෂ ක්‍රමය (එකගෙයි කෑම) එසේ ගෙන ආවේ නැහැ. මෙය එවකට පැවති ඉංග්‍රීසින්ගේ සදාචාරය පිලිබඳ නිර්ණායක අනුව සිදුවූවක් විය හැකියි.

      Delete
    4. ඊට වඩා වැදගත් දෙයක් ලෙස මම හිතන්නේ විධිමත් විවාහ වලින් පිටත ඉපදෙන දරුවන් වෙනසකට ලක් නොකර සැලකීම.

      Delete
  3. තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩෙකින්..
    නීතියේ යුවතිය වැජඹෙයි අද නිදුකින්...
    ඔබ වන මිනිසුන් වෙනුවෙන් ඇන සැතකින්..
    මරා දමමි ඇය.. මරා දමමි සැණෙකින්.. :)

    ඉංග්‍රීසින් වචනෙන් කියුවට රටේ පැවතිච්ච නිතිය දිගටම ක්‍රියාත්මක කරනවා කියල (colonial Principle) උන් නිතිය ක්‍රියාත්මක කරේ උන්ට හිතෙන හිතෙන විදියට..

    සින්දුවයි අර පින්තුරෙයි පට්ට...

    ReplyDelete
    Replies
    1. පසුව ටිකින් ටික වෙනස් වුණත් ඉංග්‍රීසින් ආරම්භයේදී යටත් විජිත වැසියන්ට සැලකුවේ තමන්ට වඩා පහත් අඩුවෙන් ශිෂ්ඨ කොටසක් ලෙස සලකා.

      Delete
  4. සුද්දම තමයි වැරදි ආදර්ශ දුන්නෙත්... අපේ උන්ට දඩයමේ ගිහින් සතෙක් එලාගන්න බෑ.. දේවානම්පියතිස්සගේ මුවා හිටන් රැජිණි අයිති කර ගත්තා.. ඒත් එයාගෙම අලින්ට අපේ මහ උන් එක්කම සෙට් වෙලා ෆයර් කලා ඉතරක් නෙමෙයි පොටෝ හිටන් ඇල්ලුවා... අර මිලමුරේ උත්තමයගේ ඇත් ගල ගැන ඒ පැත්තේ මිනිස්සු කියන කතා ඇහුවාම තනි ඇහැට ඇඬෙනවා අප්පා...

    එදත් එකයි අදත් එකයි හෙටත් මේකමයි .. ඒ නිසා සුනිල්ගේ ගී පද සර්වකාලීනයි...

    ReplyDelete
    Replies
    1. //දේවානම්පියතිස්සගේ මුවා හිටන් රැජිණි අයිති කර ගත්තා//
      මෙය මම මේ ලිපිය ලියද්දී සැලකිල්ලට නොගත් පැත්තක්. උඩරට නීතිය නොගෙන රෝම-ලන්දේසි නීතියට යන්න ඇත්තේ මේ වැඩේ පහසුවෙන්න.
      ඒ දවස්වල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලා තියෙන්නේ අලි වෙඩි තියන්න (රුපියල් දහයේ පසුව සීයේ) බලපත්‍ර සමඟ. හැබැයි මෙයත් අද මිම්මෙන්ම බලන්න බැහැ. ඒ දවස්වල වන සතුන් සමඟ සටන මිනිසුන්ගේ පැවැත්මේ කොටසක්. දරුණු වල් අලියෙක් මරන්න බලපත්‍ර අවශ්‍ය වුණේ නැහැ වගේම රජයෙන් ඇතැම් අවස්ථා වල ත්‍යාග මුදල් පවා ලබා දී තිබෙනවා. ඒ වගේම, අලි වෙඩි තැබිය හැකි වුවත් දළ ඇතුන් මැරීම දඬුවම් ලැබිය හැකි වරදක්වයි තිබී ඇත්තේ (අඩු වශයෙන් පසුගිය සියවසේ මුල), සංරක්ෂණය කළ යුතු යන පදනම මත.

      Delete
    2. මට මතකයි තුන් වන ශ්‍රේණියේ සිංහල පොතේ තිබුණා "ඇත්ගාල" කියා පාඩමක්. "කුමටද අම්මේ අම්මට ගැහුවේ මාමල රෑනක් වට කරලා" තවම මතක කොටසක්.

      Delete
    3. https://www.youtube.com/watch?v=HN6bWjwHd3o

      Delete
    4. අලි ගැන පසුව පෝස්ට් එකක් දමන්නම්.

      Delete
  5. All are equal, some are more equal!!

    //කෙසේ වෙතත් දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ට එල්ල වී ඇති චොAදනා පිළිබඳව නිරවද්‍යතාව දැඩි ලෙස තහවුරු කරගත යුතු බවට ජනාධිපති සහ අගමැති පවසා තිබේ. ඊට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ප්‍රධානීන් මේ බව පවසා ඇත.//

    http://www.divaina.com/2016/02/05/news09.html

    ReplyDelete
    Replies
    1. දැන් ඔතනදි මේ දෙන්නා කියලා තියෙනවා අත් අඩංගුවට ගන්න කලින් එයාලව දැණුම්වත් කරන්න කියලා.. ඒ කියන්නේ ලංකාවේ නීතිය කියන්නේ මෛත්‍රිපාලයි රනිලුයිද...?

      කුණුහබ්බ නේ.... මෙන්න මේවටයි ජිනීවා වලින් ගේම අදින්න ඕන... එහෙම නැතිව වින්ස්සකාරයෝ දාන ඒවට නෙමෙයි...

      Delete
    2. ඇටොනි ජනරාල් වරයෙකුත් නැති එකේ, ග්‍රාමයා සහ මිට්ට බීන් ඇටෝනි ජනරාල් ල වෙලා..... ඔන්න කනෝ පිනුම් කිවුවලු....

      Delete
    3. දිවයින ලින්ක් එක අද මට වැඩ කරන්නෙම නැහැ. (ඔබ දෙදෙනා ලියා ඇති දේ අනුව) මේ වගේ 'පොඩි දේවල්' නොසලකා හැරීම නිසා තමයි අන්තිමට සාමාන්‍ය ජනතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා කැමති දේ කරන තැනට මේ අය තල්ලු වෙන්නේ. ඇත්තටම මේවා පොඩි දේවල් නෙමෙයි.

      Delete
  6. නීතියේ විකාශනය ගැන ඔබ හොද අර්ථකතනයක් ගෙන ඒන්නට උත්සහ කරනවා.. ලංකාව තමන්ට ම අාවේණික නීති ක්‍රමයක් තිබී යටත් විජිත කාලයන්ගේ දී පිටතින් ගෙනෙන ලද පාලනයක් සහ නීතියක් සහිත රටක් වන බව සත්‍යයි. නමුත් අපි දැන් පවතින තත්වය දිහා බැලීම වැදගත් කියා අපි හිතනවා....

    මේ වන විට අපි සතුව තියෙන්නේ යටත් විජිත යුගයේ සම්මත කරගත් අාඥා පනත් කිහිපයක්, නිදහසින් පසුව සම්මත කරගත් පනත් කිහිපයක් සහ 78 දී සම්මත කරගත් දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නම් උත්තරීතරම නීථියක්. මේ වන විට අපි අලුත් ව්‍යවස්ථාවක් සදහා වූ මෑතකදී ගන්නා ලද තුන්වැනි උත්සහයත් දරමින් ඉන්නා රටක්. දැන් ලංකාව තුළ පවතින ප්‍රධානම මාතෘකාවත් මේ කියන්නා වූ ව්‍යවස්ථා සම්පාදනය බවත් අපි මෙහෙදී මතක තබා ගත යුතුයි...

    ඉකොනෝ අපි දකින විදිහට රටක ජනතාව තමා නීතිය සම්පාදනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අයිතිය සහිත පිරිස. ඒ වගේ ම ඒක කළ යුතු පිරිසත් ඔවුන්... නමුත් අැත්තට ම සිදු වන්නේ කුමක්දැයි බැලිය යුතුයි. අපි විසින් පත් කළ නියෝජිතයින් පිරිසකින් සමන්විත අාණ්ඩුවක් රටේ තියෙනවා... ඔවුන්ගේ සහයට පාලන ව්‍යුහයක් සහ අායතන පද්ධතියක් තියෙනවා. ජනතාවට සියලු අයිතිවාසිකම් දීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා. මෙන්න මෙතැනදී තමා ඔය කියන්නා වූ ගැටුම අැති වෙන්නේ.... අපිට බලය තියෙන නීතිය පැනවීම සහ ක්‍රියාත්මක කිරීමේ බලය අපි අර කියන්නා වූ අාණ්ඩුවටය අායතන පද්ධතියටයි පවරනවා. දැන් අපි ඒක සීයට සීයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් අැත්තම කතාව තමා ඒක ඒහෙම වෙන්නෑ. ඒ අැයි,,,,?????

    දැන් මෙතැනදී හැදෙනවා බාගේනින්ග් පාට් ඒකක්. අාණ්ඩුව කියනවා අපි රටක් විදිහට අපිට තියෙන ශක්‍යතාවය අනුව දෙන්නට හැකි මේ අයිතීන් විතරයි. මේවා දැන් දෙන්න බැහැ කියලා. අන්න අපි සීමා වෙනවා. නමුත් ඔවුන් හැකි කොටසට අනුව අවංකව නීතිය හැදුවාට ඒක ක්‍රියාත්මක වීමට ගියාම අර අායතන පද්ධතිය තුළ තව තවත් සීමා අැති වෙනවා. (අපි මේ සදහන් කරන්නේ අයිතිවාසිකම් පැත්ත විතරක් වුණාට සමස්ථයට මේක අාදේශ කළ හැකි බව හිතන්න. ) මෙතැනදී තමා ජනතාව සහ ජනතාව විසින් පැවරූ පාරශවය අතර ගැටුම අැති වෙන්නේ.... නමුත් අපේ මෑතකම අත්දැකීම් අරන් බලන්න... ලංකාවේ ජනතාව කොයි තරම් දුරකට අයවැයට මැදිහත් වුණාද කියලා. ඉතින් අපේ අදහස වෙන්නේ නං නීතිය හදන වෙලාවෙදී විතරක් නෙමෙයි රටක ජනතාව අවධියෙන් ඉන්න තාක් කල් රටේ නිතිය නැවත සලකා බැලීමට වෙනස් කිරීමට ජනතාවට හැකියි..... ඒ නිසා අවශ්‍ය වෙන්නේ සක්‍රීය පුරවැසියන් ලෙස ක්‍රියාත්මක වීමයි.....

    අපි නිතරම කියන නියෝජිතයා වුණත් නැවත කැදවීමට හෝ විරෝධතාවයන් ඒල්ල කිරීමේ හැකියාවක් අැති විය යුතුයි යන්න කියන්නෙත් මේ පදනම මත ඉදලාම තමයි..... අපි නියෝජිතයෙක් පත් කරපු පළියට අපිට නිදාගන්න බැහැ.....

    ReplyDelete
    Replies
    1. ඔබ කියා ඇති බොහෝ දේවල් වලට මම එකඟයි, කුරුටු.
      //නමුත් අපි දැන් පවතින තත්වය දිහා බැලීම වැදගත් කියා අපි හිතනවා//
      //රටක ජනතාව තමා නීතිය සම්පාදනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අයිතිය සහිත පිරිස. ඒ වගේ ම ඒක කළ යුතු පිරිසත් ඔවුන්//
      මම කියන්නෙත් මේ කරුණම තමයි (ඉතිරි කොටසත් පළ වුනාම කියවන්න.) මෙතෙක් කල් සිදුවූ දේවල් වල අඩුපාඩු ඇත්නම් දැන් හෝ ඒවා නිවැරදි කිරීමයි කළ යුත්තේ.

      //යටත් විජිත යුගයේ සම්මත කරගත් අාඥා පනත් කිහිපයක්, නිදහසින් පසුව සම්මත කරගත් පනත් කිහිපයක් සහ 78 දී සම්මත කරගත් දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නම් උත්තරීතරම නීථියක්//
      කිහිපයක් කියන එක පැහැදිලි කරන්න ඕනෑ. සෑම වසරකම පනත් පණහක් පමණවත් සම්මත වෙනවා (සංශෝධන පනත්ද ඇතුළුව). මොනවත්ම නොවෙනවා නෙමෙයි. ජනතාව මේ දේවල් වලට දායකවීම බොහොම හොඳ විය යුතු දෙයක්. දැනටම තියෙන දේවල්, අයිතීන් ගැන දැනුවත් වීම සහ අනිත් අයව දැනුවත් කිරීම ඊට වඩා මූලික මට්ටමේ අව්ශ්‍යතාවයක්.

      //අාණ්ඩුව කියනවා අපි රටක් විදිහට අපිට තියෙන ශක්‍යතාවය අනුව දෙන්නට හැකි මේ අයිතීන් විතරයි//නීතියේ සමානාත්මතාව හා අදාළව ශක්‍යතාවයේ ප්‍රශ්නයක් මම ලොකුවට දකින්නේ නැහැ. නියෝජිතයින් කළ යුත්තේ මහජන කැමැත්ත ක්‍රියාත්මක කිරීම පමණයි.

      ආර්ථිකයට අදාළව මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා. ඒත්, එතැනදීත් මහජන මැදිහත්වීම හොඳ දෙයක්. හැබැයි යමක් ඉල්ලනකොට එය ලබාදිය යුත්තේ කාගෙන් අරගෙනද කියන එකත් කියන්න ඕනෑ. රජය විසින් මහජනතාවට ලබා දෙන ඕනෑම දෙයක් දෙන්න වෙන්නේ ඒ අයගෙන්ම ලබාගෙන.

      Delete
  7. 119 අමතනවට වැටිය හොදයි පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දාලා එන එක..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.