Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

8 comments:

  1. මේ වගා ගැන කතා කරපු හින්දා අම්මට සිරි ලංකාවේ වී වගාව ගැන කතා කරන්න හිතුනා.. ඉකොනොගෙ අදහස මොකක්ද ඒ ගැන... උන් රජ කාළේ ඉඳන් අද වෙනකන් හිඟන්නෝ... වී වගාව නවත්තලා වෙනත් භෝග වවන්න පටන් ගත්ත අපේ එකෙක් අද කෝටීපතියෙක්...

    ReplyDelete
    Replies
    1. ගංජා වෙන්නැහේ?

      Delete
    2. මාතා, ඇත්තටම මේ අහපු ප්‍රශ්නය මේ කරුණට ගොඩක් අදාළ එකක්. මම ලිපි දෙකෙන්ම විස්තර කළ ජාත්‍යන්තර වෙළඳාමේ වාසි රැඳී තියෙන්නේ විවෘත වූ වඩා විශාල වෙළඳපොළට ගැලපෙන පරිදි නිෂ්පාදන භාණ්ඩ මාරු කිරීම මත. එය නොකරන කෙනෙකුට හෝ රටකට වෙළඳපොළ විවෘත කළ විට වෙන්නේ අවාසියක්. වී වගාව වගේ දෙයක් ගත්තහමනම් වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු සංකීර්ණයි. ඊයේ දිවයින ලිපියක කියවූ පරිදි රජය වී මිලදී ගන්නා සහතික මිල රුපියල් 50යි. පෞද්ගලික වෙළෙන්දෝ ගන්නේ රුපියල් 18ට. මේ ගණන් වලින් පේනවා මෙහි තියෙන්නේ කොපමණ විකෘතියක්ද කියන එක. මෙයට අමතරව රජය ලබා දෙන පොහොර සහනාධාර, වතුර වල වියදම ආදියත් බැලුවහම සමස්තයක් වශයෙන් සිදුවන පාඩුවේ තරම පැහැදිලියි. සහනාධාර, සහතික මිල ආදිය යොදාගෙන කෘතීම ලෙස මිල ඉහළින් තියා ගත්තහම නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ගොඩක් අය වී නිපදවන්නේ ඇත්තටමනම් පාඩුවට වුනත් රජය මේ පාඩුව ආවරණය කරන නිසා ඒ අය වගාව වෙනස් කිරීමට පෙළඹෙන්නේ නැහැ. පැවති හා පවතින රජයන්ට මෙසේ කිරීමට හේතුත් තියෙනවා. ලංකාවේ කන හාල් බොහෝ දුරට ලංකාවටම ආවේනිකයි. ඒ නිසා ආනයන අපනයන දෙකම පිලිබඳ ස්වභාවික සීමාවන් තියෙනවා. ඒ වගේම මිල අඩු වීම වගේම වැඩිවීමත් සාමාන්‍යයෙන් ලොකු දේශපාලන ප්‍රශ්න. තනි පුද්ගල මට්ටමෙන් ගත්තහම වෙනත් විකල්ප තියෙනවා. උදාහරණයක් වශයෙන් කාලයක් ගර්කින් වගාව ජනප්‍රිය වුනා. මෙතෙන්දී වෙනත් සංස්කෘතික සාධකත් බලපානවා. වී වගාව ලංකාවට ගැලපෙන 'කම්මැලි' වගාවක්. කුඹුර සකස් කර පැල ඉන්දෙව්වට පස්සේ ගොයම් කපනකම් ලොකු වැඩක් නැහැ. ගර්කින් වගේ දෙයක් වැවුවොත් යකා බැඳගත්තා වගේ මෝරන්න නොදී කඩන්න ඕනෑ තේ වගාවත් එහෙමනේ අර සුරංග ලියල තිබුනේ. ඒ වැඩේට ඉන්දියානු කම්කරුවන් ගේන්න වුනේ මේ වගේ දවසගානේ කැපවෙලා කළ යුතු වගාවකට ඒ දවස්වල සිංහලයින් සූදානම්ව නොසිටි නිසා. ක්‍රිකට් ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් ඕක. එංගලන්තෙන් ආවත් ලංකාවේ සංස්කෘතියට හොඳට ගැලපෙනවා. උදාහරණයට ගත්තට හැමෝම වී නවත්තලා ගර්කින් වවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් ටික දෙනෙක්ට එය කළ හැකියි. මට මතක හැටියට එක පාරක් ඇඹිලිපිටිය පැත්තේ වී වෙනුවට කෙසෙල් දාන එක ප්‍රමෝට් කළා. යම් සහනාධාරයකුත් දුන්නද කොහෙද. අන්තිමට කෙසෙල් විකුණගන්න බැරි වුනා. ඊට පස්සේ කෙසෙල් අයින් කරලා වී දාන්න නැවත සල්ලි දුන්නා මතක හැටියට. මෙසේ වෙන්නේ ලංකාවේ වෙළඳපොළ කුඩා නිසා. කාලගුණය වැනි හේතුවකින් සැපයුම පොඩ්ඩක් අඩු වැඩි වෙනකොට මිල විශාල ලෙස වෙනස් වෙනවා. වෙළඳපොළ ලොකු කරගැනීමේ වටිනාකම තියෙන්නේ මෙතැන.

      Delete
    3. / ඊට පස්සේ කෙසෙල් අයින් කරලා වී දාන්න නැවත සල්ලි දුන්නා මතක හැටියට. / සල්ලි වලින් දුන්නේ නෑ, ඒත් කෙසෙල් වගාවට පොහොර සහනාධාරය ලබා දුන්නේ නෑ

      Delete
  2. උදාහරණ වලිං වෙන්නෙ ලොකු සෙතක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒත් ගොඩක් අයට බර වැඩියි වගෙයි තේරෙන්නේ.

      Delete
  3. අපි මේ ටික ඔළුවේ තියාගෙන ඉන්නම්කො නියම වෙස් නැටුම නටන්න එනකල්. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. සමහර ගෑණු ළමයි හැමදේම පරිස්සම් කරගෙන ඉඳලා ලොකු මඟුලක් කාලා දීග යනවා. ගැබ්බර වෙන්නේ ඊට පස්සේ. තවත් සමහර අය පොඩ්ඩ මොනවා හරි කර කර ඉඳලා දන්නෙම නැතුව ගැබ්බර වෙනවා. ගෙදරින් අකැමැති වුනාම ගොඩක් වෙලාවට වෙන්නේ දෙවෙනි එක. ඔය විදිහේ නැටුමක් පේන්න නැති වෙන්නත් පුළුවන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.