වෙබ් ලිපිනය:

Friday, June 2, 2017

සිරුරේ දුවන්නේ එක ලේ නොවේ පුතුනේ...


පසුගිය සියවසේ ආරම්භය වන තුරුම බටහිර වෛද්‍ය විද්‍යාඥයින් බොහෝ දෙනෙක් විශ්වාස කළේ සියලුම මිනිසුන්ගේ සිරුරේ දුවන්නේ එකම ලේ බවයි. මේ හේතුවෙන් රුධිර පාරවිලනය කිරීම් බොහොමයක්ම අසාර්ථක වූවා පමණක් නොව ඇතැම් විට මරණයෙන් කෙළවර විය. 1900 වසරේදී ඔස්ට්‍රියානු විද්‍යාඥයකු වූ කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයගේ රුධිර නියැදි එකිනෙක මිශ්‍ර කරමින්, ලේ ප්‍රභේද තුනක් ඇති බව හඳුනා ගත්තේය. මේ ලේ ප්‍රභේද තුන ඔහු A , B හා C ලෙස නම් කළේය.

පසුව සිදු කෙරුණු වැඩිදුර විශ්ලේෂණ කිරීම් වලින් පැහැදිලි වූයේ මේ ලේ වර්ග තුන එකිනෙකින් වෙනස් වන්නේ A හා B සාධක ලෙස පහසුව සඳහා අපට දැනට හැඳින්විය හැකි සාධක රුධිර සෛල වල තිබීම හෝ නොතිබීම අනුව බවයි. A සාධකය ඇති විට A රුධිර කාණ්ඩයද, B සාධකය ඇති විට B රුධිර කාණ්ඩයද ඇති වේ. මේ සාධක දෙකම ඇති විට හැදෙන AB රුධිර කාණ්ඩය පසුව සොයා ගැනුණේය. කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් මුලින්ම C ලෙස හැඳින්වූ රුධිර කාණ්ඩය මේ සාධක දෙකෙන් එකක්වත් නැති විට ඇති වන්නකි. මේ අනුව, "(අඩංගු) නැති" යන අදහස දෙන "Ohne" යන ජර්මන් වචනය අනුව යමින් මේ රුධිර කාණ්ඩය O ලෙස නම් කෙරුණේය.

කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් මුලින්මද, ඒ බව දැන නොසිටි වෙනත් අය විසින් පසුවද සිදුකළ රුධිර කාණ්ඩ වර්ගීකරණය ඉතා වැදගත් සොයාගැනීමක් විය. මේ සොයාගැනීමෙන් පසුව රුධිර පාරවිලනය සාපේක්ෂව බොහෝ සුරක්ෂිත කටයුත්තක් විය. සිය සොයාගැනීම වෙනුවෙන් 1930 වසරේදී කාල් ලෑන්ඩ්ස්ටයිනර්ට වෛද්‍යවිද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවිය.

රුධිර වර්ගීකරණය වැදගත් සොයාගැනීමක් වූයේ වෛද්‍යවිද්‍යාත්මකව පමණක් නොවේ. මිනිසුන් භෞතික වශයෙන් උපතින්ම එකිනෙකාගෙන් වෙනස් බවද මේ මඟින් පැහැදිලි කෙරුණේය. ඒ නිසා, මේ සොයාගැනීම ජාන විද්‍යාවේ තීරණාත්මක කඩඉමක් ලෙස හැඳින්විය හැකිය.

කිසියම් පුද්ගලයෙකුගේ ABO රුධිර වර්ගීකරණ කාණ්ඩය ඔහුට හෝ ඇයට ජීවවිද්‍යාත්මක දෙමවුපියන්ගෙන් උරුමවන්නකි. යමෙකුට සිය උපතින්ම උරුම වන ඇතැම් ලක්ෂණ හැම විටම මවගෙන්ද, තවත් ඇතැම් ලක්ෂණ හැම විටම පියාගෙන්ද උරුම වන අතර, දෙමවුපියන් දෙදෙනාගෙන්ම උරුම වන දේද තිබේ. ABO රුධිර කාණ්ඩය යනු මෙසේ මවගෙන් හා පියාගෙන් යන දෙදෙනාගෙන්ම උරුම වන දෙයකි. හෝමෝ සේපියන්ස්ලාගේ නවවන වර්ණදේහ යුගලයේ ඇති ජාන අනුව ABO රුධිර කාණ්ඩය තීරණය වන අතර එය යමෙකුගේ ජීවිත කාලය තුළ බාහිර සාධක මත වෙනස් නොවන්නකි.

ඔබේ මව හා පියා යන දෙදෙනාගේම රුධිර කාණ්ඩ O නම්, ඔබේ රුධිරයට A හෝ B ලක්ෂණ මිශ්‍ර විය නොහැකි බැවින් අනිවාර්යයෙන්ම ඔබේ රුධිර කාණ්ඩයද O විය යුතුය. O රුධිර කාණ්ඩය ඇති පිරිසක් කිසියම් දූපතකට සංක්‍රමණය වී එය ජනාවාස කර බාහිර ලෝකය හා සම්බන්ධයක් නැතුව කාලයක් ජීවත් වුවහොත් ඔවුන්ගෙන් පැවත ඒ දූපතේ වාසය කරන්නන් අතර A, B හෝ AB රුධිර කාණ්ඩය ඇති අය සිටින්නට නුපුළුවන.

මේ අයුරින්ම AB රුධිර කාණ්ඩය ඇති දෙදෙනෙකුගේ විවාහයෙන් O රුධිර කාණ්ඩය ඇති දරුවකු (පසුව විස්තර කරන විශේෂ තත්වයකදී හැර) බිහි විය නොහැකිය. එහෙත් එම දරුවන් අතර A, B හෝ AB රුධිර කාණ්ඩ ඇති අය සිටින්නට පුළුවන.

යමෙකුගේ රුධිර කාණ්ඩය AB වන්නේ ඔහුට හෝ ඇයට සිය දෙමවුපියන්ගෙන් එක් අයෙකුගෙන් A වර්ගයේ ඇලීලයක් හා අනෙක් තැනැත්තා හෝ තැනැත්තියගෙන් B වර්ගයේ ඇලීලයක් ලැබී තිබීම නිසාය. එවැන්නෙකු සිය දරුවන් වෙත A හෝ B යන වර්ග දෙකෙන් කවර හෝ ඇලීලයක් ලබා දෙන්නට ඉඩ තිබේ. මේ නිසා, AB රුධිර කාණ්ඩය ඇති මවකගේ හා පියෙකුගේ දරුවන්ට ඒ දෙදෙනාගෙන්ම A වර්ගයේ ඇලීල ලැබීම නිසා A රුධිර කාණ්ඩය ඇති වන්නටත්, දෙදෙනාගෙන්ම B වර්ගයේ ඇලීල ලැබීම නිසා B රුධිර කාණ්ඩය ඇති වන්නටත්, එක් අයෙකුගෙන්  A වර්ගයේ ඇලීලයක් හා අනෙක් අයගෙන් B වර්ගයේ ඇලීලයක් හිමි වී AB රුධිර කාණ්ඩය ඇති වන්නටත් පුළුවන. එහෙත්, O රුධිර කාණ්ඩය ඇති වීමට ඉඩක් නැත.

AB රුධිර කාණ්ඩය ඇති අයෙක් හා O රුධිර කාණ්ඩය ඇති අයෙක් අතර විවාහයකින් බිහි වන දරුවන්ගේ රුධිර කාණ්ඩ විය හැක්කේ මොනවාද? මෙහිදී, AB රුධිර කාණ්ඩය ඇති අය A හෝ B ඇලීල සිය දරුවන්ට උරුම කළත්, O රුධිර කාණ්ඩය ඇති අය හැම විටම උරුම කරන්නේ O ඇලීලයකි. ඒ නිසා දරුවන්ට AB රුධිර කාණ්ඩය ඇති වීමේ ඉඩක් නැත. එමෙන්ම, O රුධිර කාණ්ඩය ඇති වීමටද ඉඩක් නැත. ඒ දරුවන්ගේ රුධිරයේ හැම විටම A සාධකය හෝ B සාධකය පවතින බැවිනි.

මේ අනුව, දරුවකුගේ දෙමවුපියන් හඳුනාගැනීමේදී ABO රුධිර වර්ගීකරණයෙන් කිසියම් පිටිවහලක් ලැබේ. ABO රුධිර වර්ගීකරණය සොයා ගැනුණු කාලයේ සිටම පීතෘත්වය තීරණය කිරීම හා අදාළ නඩු වලදී මෙය උපයෝගී කරගෙන තිබේ.

AB දෙමවුපියන්ට දාව A රුධිර කාණ්ඩය ඇති දරුවෙකු බිහි වී ඇත්නම් ඔහුට හෝ ඇයට සිය දෙමවුපියන් දෙදෙනාගෙන්ම A ඇලීල හිමි වී තිබිය යුතුය. එහෙත්, AB (හෝ A) හා O දෙමවුපියන්ට දාව A රුධිර කාණ්ඩය ඇති දරුවෙකු බිහි වී ඇත්නම් ඔහුට හෝ ඇයට A ඇලීලයක් හිමිව ඇත්තේ දෙමවුපියන්ගෙන් එක් අයෙකුගෙන් පමණි. මේ දෙදෙනාගේම ABO රුධිර කාණ්ඩය හෙවත් රූපානුදර්ශය (phenotype) සමාන වුවත් ප්‍රවේණිදර්ශය (genotype) සමාන නැත.

පළමුවැන්නා AA වර්ගයේ ප්‍රවේණිදර්ශයක් ඇති පුද්ගලයෙක් වන අතර දෙවැන්නා AO වර්ගයේ ප්‍රවේණිදර්ශයක් ඇති පුද්ගලයෙකි. AA වර්ගයේ පුද්ගලයෙකු හැමවිටම සිය දරුවන්ට A ඇලීලයක් උරුම කරන නමුත් AO වර්ගයේ පුද්ගලයකු හැම විටම එසේ නොකරයි. සහකරුගේ හෝ සහකාරියගේ රුධිර කාණ්ඩය කුමක් වුවත් AA වර්ගයේ අයෙකුගේ දරුවෙක්ගේ රුධිර කාණ්ඩය හැම විටම A හෝ AB විය යුතුය. එහෙත්, AO වර්ගයේ අයෙකුගේ දරුවන්ගේ රුධිර කාණ්ඩය (සහකරුගේ හෝ සහකාරියගේ රුධිර කාණ්ඩය අනුව) ඕනෑම එකක් වන්නට පුළුවන.

මේ ආකාරයෙන්ම B රුධිර කාණ්ඩය ඇති අය අතර BB වර්ගයේ අයත් BO වර්ගයේ අයත් සිටිති. ඒ අනුව, රුධිර කාණ්ඩ හෙවත් රූපානුදර්ශ ඇත්තේ හතරක් පමණක් වුවත් ABO රුධිර වර්ගීකරණය හා අදාළව ප්‍රවේණිදර්ශය (genotype) අනුව පුද්ගලයින් කොටස් හයකට වර්ග කළ හැකිය. ඒ, AA, AO, BB, BO, AB හා OO වශයෙනි.

ABO රුධිර වර්ගීකරණය තුළ "උසස්" හෝ "පහත්" ලේ වර්ග නැතත් ඇතැම් කරුණු හා අදාළව වඩා හොඳ ලේ වර්ග තිබේ. විශේෂයෙන්ම ඇතැම් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ABO රුධිර කාණ්ඩය අනුව වෙනස් වේ. එහෙත්, සමස්තයක් ලෙස සෑම අතින්ම වඩා හොඳ හෝ නරක ලේ වර්ග මේ කාණ්ඩ අතරින් හඳුනාගත නොහැකිය.

ලෝකයම සැලකූ විට, ඉහත රුධිර කාණ්ඩ අතරින් වඩාත්ම සුලභ ලේ වර්ගය O වන අතර වඩාත්ම දුලබ ලේ වර්ගය AB කාණ්ඩයයි. එහෙත්, ලෝකයේ භූගෝලීය කලාප හා ජනවාර්ගිකත්වයන් අනුව රුධිර කාණ්ඩ ව්‍යාප්තිය විශාල ලෙස වෙනස් වේ. දකුණු ඇමරිකාවේ හා ලෝකයේ විවිධ පෙදෙස් වල ජීවත්වන ආදිවාසීන් අතර O රුධිර කාණ්ඩය ඉතා සුලභ අතර බටහිර යුරෝපීය සම්භවයක් ඇති කොකේසියානුවන් අතර A රුධිර කාණ්ඩය සුලභය. B රුධිර කාණ්ඩය වැඩිපුර හමුවන්නේ උතුරු ඉන්දියාවේ සිට උතුරට ඇති සිරස් තීරුවකය. මෙයින් පෙනෙන්නේ විවිධ පෙදෙස් වල විවිධ රුධිර කාණ්ඩ සහිත පුද්ගලයින්ට වඩා හිතකර පාරිසරික තත්ත්වයන් පැවතී ඇති බව වන්නට පුළුවන.

රුධිර කාණ්ඩ වෙනස්කම් පැවතීමෙන් සිදුවන ජීව විද්‍යාත්මක කාර්ය භාරය පිළිබඳව තවමත් තිබෙන්නේ අසම්පූර්ණ දැනුමකි. ABO රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය ඇතුළු රුධිර කාණ්ඩ ව්‍යාප්තිය හැදෑරීමෙන් මිනිසාගේ අතීත සංක්‍රමනික රටාවන් හඳුනා ගන්නට පුළුවන. එහෙත්, ABO රුධිර කාණ්ඩ ඇතිවීම හා ව්‍යාප්තිය සම්බන්ධවද, එකිනෙකට වෙනස් මත තුන හතරක්ම තිබීම මෙයට තරමක බාධාවකි.

 

11 comments:

  1. Research in to the "blue blood" of European royalty is also interesting.
    RH negative factor I think.

    ReplyDelete
    Replies
    1. It's interesting to find that at some point in history (circa 1300)an adulterous affair has broken the paternal line of British royal family. The "Lady Chatterley" would never have thought that she could be exposed after 7 centuries.

      Delete
  2. Research in to the "blue blood" of European royalty is also interesting.
    RH negative factor I think.

    ReplyDelete
  3. AB රුධිරය තියන අම්මලට දෙවෙනි දරු ප්‍රසූතියට කලින් ලේ කැටිගැසීම වැලකෙන්ඩ බෙහෙත් ගන්ඩ ඕනිද කොහෙද.ලංකාවෙ බහුලම O+කාණ්ඩය.

    ReplyDelete
    Replies
    1. මෙය අවශ්‍ය වන්නේ Rh නෙගටිව් කාන්තාවකට Rh පොසිටිව් පිරිමියෙකු නිසා Rh පොසිටිව් දරුවෙකු බිහි වූ විටයි. ප්‍රශ්නය මතු වන්නේ දෙවන දරුවා බිහිවන විට. ABO රුධිර කාණ්ඩය කුමක් වුවත් මෙය සිදුවිය හැකියි. Rh සාධකය ගැන ඉදිරි ලිපියක ලියන්නම්.

      Delete
  4. LONDON—Saying that Her Highness was now in stable condition, Buckingham Palace representatives announced Thursday that Queen Elizabeth II had been rushed to the hospital early this morning to receive an emergency transfusion of royal blood. “It was a dire situation—there was very little royal blood on hand owing to the relatively small number of donations made by the noble-born,” said Private Secretary to the Sovereign Sir Christopher Geidt, adding that Prince William ultimately donated the blood of royal descent that saved the queen’s life. “Unfortunately, Prince Harry was not a match for Her Majesty, and Duchess of Cambridge Kate Middleton was of no use, being of common parentage.” Geidt went on to say that in the event Queen Elizabeth required another transfusion, three-year-old Prince George would remain readily available to donate as much as was needed

    ReplyDelete
    Replies
    1. Interesting! Remember reading something like this in The Onion or some other place.

      Delete
  5. මගේ ලේ වර්ගය A- මගේ දෙවෙනි දරැවා ඉපදී පැය කීපයකින් ඇඟ කහවෙන්න ගත්තා පස්සේ blood frasfusion එකක් කරල තමයි එයා බේරැනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලේ Rh නෙගටිව් නිසා මෙය Rh සාධකයේ ප්‍රශ්නයක් වෙන්න බැහැ (මම දන්නා තරමින්). Rh සාධකය නොගැලපීම තරමටම සාමාන්‍ය දෙයක් නොවූවත්, ඔබේ බිරිඳගේ ලේ වර්ගය Oනම්, දරුවා A වීමෙන් නොගැලපීමේ ප්‍රශ්නයක් ඇති විය හැකියි. මෙය පළමු දරුවාට ප්‍රශ්නයක් නොවී දෙවන දරුවාට ප්‍රශ්නයක් වුනේ පළමු දරුවා O වීමත් දෙවන දරුවා A වීමත් නිසා විය හැකියි. එසේනම්, ඔබ A නෙගටිව් රුධිරය ඇති AO වර්ගයේ පුද්ගලයෙකු විය යුතුයි. කෙසේවුවත්, දරුවා කහවීමට හේතුව වෙනස්ම හේතුවක් වෙන්නත් පුළුවන්.

      Delete
  6. https://en.wikipedia.org/wiki/Hh_blood_group

    ReplyDelete
    Replies
    1. Yes, there are 30+ other factors than the ABO blood group. I'll talk about this later.


      //මේ අයුරින්ම AB රුධිර කාණ්ඩය ඇති දෙදෙනෙකුගේ විවාහයෙන් O රුධිර කාණ්ඩය ඇති දරුවකු (පසුව විස්තර කරන විශේෂ තත්වයකදී හැර) බිහි විය නොහැකිය. //

      This can happen when someone has hh.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: