වෙබ් ලිපිනය:

Sunday, June 18, 2017

බඩගින්නට කන්න බැරි ඔලිම්පික් පදක්කම්


ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ඔලිම්පික් පදක්කම්ලාභියෙකුට ඒ වෙනුවෙන් රටේ ජාතික ඔලිම්පික් කමිටුවෙන් හෝ වෙනත් අරමුදලකින් ලැබෙන ත්‍යාග මුදල වැඩිම වුනොත් මාස දෙක තුනකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොවේ. ලැබුණු පදක්කම වෙන්දේසි කළද වැඩිම වුනොත් තවත් මාස දෙකකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොලැබේ. ඒ නිසා, ඔලිම්පික් පදක්කමක් ලැබුණු පමණින් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ ඉතිරි ජීවිත කාලයම කිරෙන් කා තෙලෙන් අත හෝදා ජීවිතය ගෙවන්නට නොහැකිය. ඔවුන්ට තමන්ගේ මූලික වියදම් පියවා ගැනීම සඳහා කුමක් හෝ රැකියාවක් කරන්නට සිදු වේ.

කුසලතා පූර්ණ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට බොහෝ විට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රැකියාව අදාළ ක්‍රීඩාව පුහුණු කිරීමයි. එහෙත්, අඩු වශයෙන් ඇමරිකාවේ, ඔලිම්පික් පදක්කම්ලාභීන්ට ආණ්ඩුවෙන් ක්‍රීඩා පුහුණුකාර රැකියා දෙන්නේ නැත. ඒ අයට බොහෝ විට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කරන්නට වෙන්නේ ස්වයං රැකියාවකි. මේ සඳහා ඉල්ලුමක් ඇතිවන්නේ එවැනි ක්‍රීඩකයෙකු දක්ෂ ක්‍රීඩකයෙකු වනවාට අමතරව දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෙකුද වන්නේනම් පමණි. සරසවියක පළමු පන්තියේ සාමාර්ථ ගන්නා ඇතැම් අය විෂයයෙහි දක්ෂයන් වුවත් ඉගැන්වීමෙහි දක්ෂයන් නොවන්නාක් මෙනි.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීහු දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති. එසේ වූ විට ඔවුන්ට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස සේවය කර ප්‍රමාණවත් ආදායමක් ලැබිය නොහැකි බැවින්, ජීවත්වීම සඳහා විකල්ප රැකියාවක් තෝරාගන්නට සිදුවේ. තවත් ඇතැම් අය සතුව ක්‍රීඩා පුහුණුකරුවන් වශයෙන් කුසලතාවක් ඇතත්, ඊට වඩා දක්ෂතා දක්වන වෙනත් කුසලතාවක් තිබේනම් එවැන්නෙකුගේ තේරීම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකර වෙනත් රැකියාවක් කිරීම විය හැකිය.

ඔලිම්පික් පදක්කම්ලාභීහු විශාල පිරිසක් විවිධ හේතු නිසා ක්‍රීඩාවට සම්බන්ධ නැති වෙනත් රැකියා කරති.

කැරීන් ඩේවිස් 2004 ඇතන්ස් ඔලිම්පික් තරඟයේදී රිදී පදක්කම්ක්ද, 2008 හා 2012 වසර වලදී රන් පදක්කම්ද දිනා ගත්තේ ඇගේ අධ්‍යාපන කටයුතුද දිගටම කරගෙන යන අතරතුරදීය. ඇය 2005දී හාර්වඩ් සරසවියෙන් ප්‍රථම උපාධියද, 2013දී කොලොම්බියා නීති විද්‍යාලයෙන් නීති උපාධියද (JD), 2015දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් MBA උපාධියක්ද ලබාගත් අතර දැනට ව්‍යාපාර නීතිය පිළිබඳ නීතිඥ වරියක ලෙස කටයුතු කරයි.

එරික් හේඩන් විසින් 1980 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී ලෝක වාර්තාවක් හා ඔලිම්පික් වාර්තා හතරක් තබමින් ඇමරිකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ජයග්‍රහණය කර දුන්නේය. ඉන් අනතුරුව, 1984දී ස්ටෑන්ෆර්ඩ් සරසවියෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී 1991 වෙද්දී සිය වෛද්‍ය (MD) උපාධියද සම්පූර්ණ කළේය. ඔහු මේ වන විට විකලාංග විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරයි.

මිනසෝටා ප්‍රාන්තයේ බෙමිජිහි ඇති ඩේව්ස් පීසා අවන්හල 1996 වසරේ සිට කරගෙන යන්නේ පීට් ෆෙන්සන් සහ ඔහුගේ බිරිඳයි. 2006 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී පීට් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. එයින් ඔහුට ලැබුණු අමතර වාසියක් වූයේ ඔහුගේ පීසා අවන්හලට එන පාරිභෝගිකයින් ගණන වැඩි වීමයි. ඔහු තවමත් මේ පීසා අවන්හල කරගෙන යයි.

වරලත් ගණකාධිකාරිනියක හා ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ග්වෙන් ජෝර්ගෙන්සන් අර්නස්ට් ඇන්ඩ් යං සමාගමේ ගණකාධිකාරිනියකි. ඇය පසුගිය වසරේදී රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත්තාය. මේ වන විට ඇය ඇගේ සම්පූර්න කාලය ක්‍රීඩාව වෙනුවෙන් යොදවයි.

මෙක්සිකානු ඇමරිකානුවෙක් වන ඩෙරික් පැරා 2002 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් මෙන්ම රිදී පදක්කමක්ද දිනාගත් අයෙකි. ඔහු සෑහෙන කලක් සේවය කළේ හෝම් ඩිපෝ වෙළඳසැලක උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු වශයෙනි. ඊට පෙර ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලකද සේවය කර තිබේ. මේ වන විට ඔහු ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. 

ක්‍රීඩාව විශාල පිරිසකගේ විනෝදාංශයකි. ඇතැම් අය ක්‍රීඩා කිරීමෙන්ද, තවත් අය අනෙක් අය ක්‍රීඩා කරනු නැරඹීමෙන්ද සතුටු වෙති. විනෝදාංශයක් රැකියාවකින් වෙනස් වන්නේ විනෝදාංශ වෙනුවෙන් බොහෝ විට යමෙකුට කාලය හා ශ්‍රමය පමණක් නොව මුදල්ද තමන්ගේ සතුට වෙනුවෙන් වැය කරන්නට වීමෙනි. එයින් වෙනස්ව, රැකියාවක් කරන අයෙකුට තමන් වැය කරන කාලය හා ශ්‍රමය වෙනුවෙන් මුදල් ලැබේ. රැකියාවකින් කෙනෙකුට සතුටු විය හැකි වුවත් රැකියාවක ප්‍රධාන අරමුණ මුදල් ඉපැයීමයි.

රැකියාව පිණිස ක්‍රීඩාව තෝරාගත් අයද සිටිති. එසේ කළ හැක්කේ ක්‍රීඩා කිරීමෙන් වෙනත් බොහෝ පිරිසක් සතුටු කළ හැකි අයෙකුටය. දක්ෂ ක්‍රීඩකයෙකු වන්නට බොහෝ දෙනෙකු කැමති නිසා හොඳ ක්‍රීඩා පුහුණුකරුවෙකුට විශාල ඉල්ලුමක් තිබේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවක වැටුප් (අනෙකුත් සියලුම වරප්‍රසාද වල වටිනාකමද ඇතුලුව) පොදු තොරතුරක් වන අතර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බලාගත හැකිය. මෙසේ දත්ත ප්‍රසිද්ධ කර ඇති ප්‍රාන්ත ගණනාවක වැඩිම වැටුප් ලබන්නේ කිසියම් රාජ්‍ය සරසවියක ක්‍රීඩා පුහුණුකරුවෙකි.

ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවන් බොහෝ දෙනෙකු අදාළ ක්‍රීඩාවේද දක්ෂයින් වුවත්, කිසියම් ක්‍රීඩාවක කුසලතා ඇති සියල්ලෝම ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති.

රැකියාවක් ලෙස ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩා පුහුණුකරුවෙකු වීම පුද්ගලයෙකු සතු විකල්ප රැකියා තේරීම් අතරින් එකක් පමණි. ඇතැම් අයෙකුට එය වඩාත්ම හොඳ තේරීමයි. එහෙත්, වඩා වටිනා වෙනත් කුසලතා ඇති අයෙකුට එය එසේ නොවන්නට පුළුවන.

ක්‍රීඩා අංශයෙන් විශාල දක්ෂතා දක්වා ඇති කැරින් ඩේවිස් විසින් නීතිඥ වෘත්තීය තෝරාගෙන ඇත්තේත්, එරික් හේඩන් විසින් වෛද්‍ය වෘත්තීය තෝරා ගෙන තිබෙන්නේත් ඔවුන්ට ක්‍රීඩාවට වඩා ඵලදායී ලෙස කළ හැකි වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයක් තිබුණු නිසාය. පීට් ෆෙන්සන් පීසා අවන්හලක් කරගෙන යන්නේත් ඒ හේතුව නිසාය.

සාර්ථක ගණකාධිකාරීනියක ලෙස මෑතක් වන තුරුම රැකියාව කළ ග්වෙන් ජෝර්ගෙන්සන් දැන් පූර්ණකාලීනව ක්‍රීඩාව වෙත යොමු වී සිටින්නී, ඇයට එසේ කිරීමෙන් වැඩි ආර්ථික හෝ ආර්ථික නොවන ප්‍රතිලාභ ලැබෙන නිසාය. ඩෙරික් පැරා ක්‍රීඩකයෙකු ලෙස විශාල දක්ෂතා දක්වා තිබියදීද ඔහුට හෝම් ඩිපෝ උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව තිබුණේ ඔහුගේ කුසලතාවන් ඊට වඩා වැඩි ආදායමක් ඉපැයිය හැකි රැකියාවක් කිරීමට ප්‍රමාණවත් නොවූ නිසාය. එහෙත්, කුසලතා සපුරා ගැනීමෙන් පසුව ඔහුට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට යන්නට හැකි විය.

කලාව හා කලාකරුවන් ගැනද ඉහත ආකාරයේ විශ්ලේෂණයක් කළ හැකිය. යමෙකු ක්‍රීඩාව මෙන්ම කලාවද ප්‍රධාන රැකියාව ලෙස තෝරාගත යුත්තේ එය තමන්ට වැඩිම කුසලතා ඇති, වැඩිම ඵලදායිත්වයක් පෙන්විය හැකි රැකියා ක්ෂේත්‍රය ලෙස පෙනෙන විටය. එයින් පසුව, ලැබෙන ආදායම ගැන සතුටු නැත්නම් කළ යුත්තේ අදාළ ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක කුසලතාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමයි.

'දිවා රැකියාවක් නොකරන්නෙකු හොඳ කලාකරුවෙකු නොවේ' වැනි අදහසක් ඇති ඇමරිකන් කියමනක් තිබේ. මෙයින් අදහස් වන්නේ හොඳ කලාකරුවෙකුට කලාව වෙනුවෙන් කැපවීමේදී ජීවත් වීම සඳහා වෙනත් රැකියාවක් කරන්නට සිදුවන බවයි. 'කලාකාරයා හැමදාමත් හිඟන්නෙක්' බවට ලංකාවේ ඇති අදහස මෙයට කිට්ටුය.

අඩුම වශයෙන් දේපොළ අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂා කෙරෙන, නිදහස් වෙළඳපොළක් ඇති සමාජයකදී, මෙය හොඳ කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ. තමන් හොඳ කලාකරුවන් කියා සිතා සිටින අයගේ ප්‍රශ්නයකි. හොඳ කලාකරුවෙකු හෝ හොඳ කලාකෘතියක් යනු රසිකයින්ගේ තේරීමක් මිස තමන් සිතා සිටින දෙය නොවේ. රසිකයින් යමෙක් ගැන එසේ නොසිතනවානම්, එවැන්නෙකු විනෝදාංශයක් ලෙස කලාව තෝරා ගත් අයෙකු පමණි. විනෝදාංශ යනු මුදල් වැය කළ යුතු දේ මිස මුදල් ඉපැයීම සඳහා කරන දේ නොවේ.



6 comments:

  1. සිදුවීම් කිහිපයක් ම නිසා පසුගිය දිනවල ඕස්ටේ‍ර්ලියානු මාධ්‍යවල කතාබහට ලක්වුණු කාරණයක් තමයි ඔලිම්පික් තරඟවල පදක්කම් ලබා සමාජයේ ඉතා ඉහළින් (celebrity) ලෙස බැබලුණු අයට, මුදල් ප්‍රශ්න නිසා නොව, ඒ තත්වය, තරකාරීත්වය යනාදිය නැති වීම නිසා කාංසාව වැනි ප්‍රශ්නවලින් ඇරඹී විශාල මානසික පීඩන තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවී තිබීම.

    (ඉහළම තලයට ගිය බොහෝ දෙනෙකු මෙහේ නම් වෙළඳ දැන්වීම් යනාදියෙන් සල්ලි උපයන බව පේනවා!)

    ReplyDelete
    Replies
    1. ඔය තත්ත්වයන් දෙකම ඇමරිකාවටත් පොදුයි. බොහෝ දෙනෙක් වෙළඳ දැන්වීම් ආදියෙන් මුදල් උපයනවා. නමුත්, වෙනත් බොහෝ රැකියා ක්ෂේත්‍ර වල වගේම ඔලිම්පික් පදක්කම්ලාභීන් අතරත් ආදායම් විෂමතාවය ඉතා විශාලයි. විශාල වත්කම් ඇති අය ටික දෙනෙකුත් සාමාන්‍ය ජීවිත ගත කරන සැලකිය යුතු පිරිසකුත් සිටින බවයි මගේ අදහස.

      Delete
  2. This post timely put good one. I tell this becase this period we see Susanthika figt with garment and ministar. This is bad I think. I respet susanthika becase she strong woman get medal to our cuntry and do good things to sports. But she go more and more with mahinda theef and follow people. This is bad things. She can ern salary she work to sport minisry. Not to maninda theef.

    ReplyDelete
    Replies
    1. I don't have any issue with Susanthika's political views or party affiliations. The issue I want to highlight is her attitude, which is representative of the attitudes of many other Sri Lankans, and how that attitude leads to overall systemic inefficiency. I just use Susanthika's case to discuss a broader issue and other than that I don't have any personal issue with her.

      Delete
  3. ලංකාවේ ඔලිම්පික් පදක්ම්ලාභින් ඉන්නේ දෙන්නයිනේ.ලංකාවේ බොහෝ දෙනෙක්ට අනුව අනුව මළල ක්‍රීඩා වලට වඩා වැඩි ඉල්ලුමක් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන්නේ එහි කරන ආයෝජනය මළල ක්‍රීඩා වලට කරන ආයෝජනයට වඩා ස්ථාවර මට්ටමක ඇති නිසා වෙන්න පුළුවන් නේද ?
    අනිත් අතට ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ක්‍රීඩාවෙන් විශ්‍රම ගත් පසු ඔවුන් ක්‍රීඩා ක්ෂේත්‍රයේම වෙනත් රැකියා වල නිරත වෙන්නේ ඒ සඳහා ඔවුන්ට හොඳ ඉල්ලුමක් ඇති බැවින් විය හැකියි.උදාහරණ විදියට පුහුණුකරුවන් විදියට දැන් කටයුතු කරන හතුරුසිංහ,චමින්ද වාස්,කලුවිතාරණ වැනි අයත් විස්තර විචාරකයෙක් ලෙස ස්ථාවර රසල් ආනල්ඩ් වගේම විනිසුරුවෙක් ලෙස කටයුතු කරන ධර්මසේන වගේ අය පෙන්වන්න පුළුවන්.මිට අමතරව සමහරු ක්‍රීඩාවෙන් උපයා ගත්තු මුදල් යම් යම් ව්‍යාපාර වල ආයෝජනය කරනවා.ඩිල්ශාන්,මහේල,සංගක්කාර එහම.
    මේ දේවල් වලටත් වඩා හොඳ ආයෝජනයක් කියලා සමහරු දේශපාලනයටත් එනවා.

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩාව යනු එයට සම්බන්ධයක් නැති අයගෙන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව ලබාගන්නා මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නොවන, වියදමට වඩා ආදායම් ඉපදවිය හැකි ක්ෂේත්‍රයක් යන්නට ක්‍රිකට් ක්‍රීඩාව හොඳ උදාහරණයකි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: