Thursday, June 1, 2017

නැකැත් ක්‍රමයේ විකාශනය

පෙර ලිපියකින් විස්තර කළ පරිදි නැකැත් ලෙස හඳුනා ගන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 27කට බෙදූ විට ලැබෙන කොටසකි. ඊටත් පෙර විස්තර කළ පරිදි, ලග්න ලෙස හඳුන්වන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 12කට බෙදූ විට ලැබෙන කොටසකි. ඒ නිසා, ලග්න හා නැකැත් අතර සෘජු සම්බන්ධයක් තිබේ.

මීන හා මේෂ ලග්න වෙන් කෙරෙන බෙදුම් ඉරෙන් රේවතී හා අස්විද නැකැත්ද වෙන් වේ. ඒ නිසා, සිංහල අවුරුද්ද යනු ඉර රේවතී නැකතින් අස්විද නැකතට සම්ප්‍රාප්ත වීමක්ද වේ. මීන හා මේෂ ලග්න අතරත් රේවතී හා අස්විද නැකැත් අතරත් ඇති බෙදුම් ඉරි යනු එකක් මිස දෙකක් නොවේ.

ලග්නයක් තව දුරටත් කොටස් 9කට බෙදූ විට එක් කොටසක් නවාංශකයක් ලෙස හැඳින්වේ. එමෙන්ම, නැකතක් තව දුරටත් කොටස් හතරකට බෙදූ විට කොටසක් පාදයක් ලෙස හැඳින්වේ. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 108කට බෙදනු ලැබීම නිසා නවාංශකයක් නැකතක පාදයකටද සමානය. උදාහරණයක් ලෙස අස්විද නැකත යනු මේෂ ලග්නයේ පළමු නවාංශක හතරද, බෙරණ නැකත යනු මේෂ ලග්නයේ පස්වන සිට අටවන දක්වා නවාංශකද වේ. මේෂ ලග්නයේ අවසන් නවාංශකය කැති නැකතේ පළමු පාදයයි.

ලග්න ක්‍රමය සුමේරියාවේ බිහිවී බැබිලෝනියාවේදී වැඩි දියුණු වී පසුව ග්‍රීසිය හරහා හෝ සෘජුවම උතුරු ඉන්දියාවට පැමිණි දැනුමකි. එහෙත්, නැකැත් ක්‍රමය අඩුම වශයෙන් ලග්න ක්‍රමය භාවිතයට පැමිණීමට වසර දහසකට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 1500දී පමණ සිට වෛදික ඉන්දියාවේ භාවිතා වී ඇති අතර එය පූර්ව වෛදික ඉන්දියාවේ බිහිවූ හෝ වැඩි දියුණු වූ ක්‍රමයකි. කෝට්ටේ යුගය වන තුරු ලංකාවේද සූර්ය වර්ෂ හෝ ලග්න භාවිතා වී ඇති බවට සාධක නැතත් අඩුම වශයෙන් මහාවංශ, දීපවංශ හා රාජාවලි කතා වල ආරම්භයේ සිට දිගටම නැකැත් ගැන සඳහන් වේ. ඉතිහාසයේ කිසියම් අවස්ථාවකදී මේ ක්‍රම දෙක එකතු කර ඇති බව පෙනේ.

නැකැත් ක්‍රමයේ ආරම්භය ගැන සිතීමට ඇති හොඳම සාක්ෂිය නේපාලය, බංග්ලා දේශය හා පකිස්ථානය ඇතුළු පැරණි ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල මෙන්ම තායිලන්තය වැනි ථෙරවාද බෞද්ධ රටවලද භාවිතා වන චන්ද්‍රසූර්ය දින දර්ශන වල මාස නම් කර ඇති ආකාරය විමසා බැලීමයි. මේ මාස වල නම් මා මේ වන විට විස්තර කර ඇති නැකැත් විසිහතේ ඇතැම් නැකැත් වල සංස්කෘත නම් වලට සමානය. එසේ නැත්නම් එම නම් වලින් බිඳී ගොස් තිබේ.

1. අශ්විනී  - අස්විද
2. භරණී - බෙරණ
3. කෘතිකා - කැති
4. රෝහිණී - රෙහෙණ
5. මෘග ශීර්ෂ - මුවසිරස
6. ආර්ද්‍ර - අද
7. පුනර්වසු - පුනාවස
8. පුෂ්‍ය - පුස
9. ආශ්ලේෂ - අස්ලිස
10. මාඝ - මා
11. පූර්ව ඵාල්ගුණී - පුවපල්
12. උත්තර ඵාල්ගුණී - උතුරුපල්
13. හස්ත - හත
14. චිත්‍ර - සිත
15. ස්වාති -සා
16. විශාඛ - විසා
17. අනුරාධ - අනුර
18. ජ්‍යෙෂ්ඨ -දෙට
19. මූල - මුල
20. පූර්ව ආශාඪ- පුවසල
21. උත්තර ආශාඪ- උතුරුසල
22. ශ්‍රාවන - සුවන
23. ධනිෂ්ඨ - දෙනට
24. ශතාභිෂ - සියාවස
25. පූර්ව භද්‍රපාද - පුවපුටුප
26. උත්තර භද්‍රපාද - උත්‍රපුටුප 
27. රේවතී - රේවතී 


සංස්කෘත චන්ද්‍රමාස වලට අදාළ සිංහල චන්ද්‍රමාස මෙසේය.

1. අශ්වින/ අශ්විනී  - වප්
2. කෘතිකා - ඉල්
3. මෘග ශීර්ෂ / අග්‍රහායන - උඳුවප්
4. පුෂ්‍ය/ පෞෂ්‍ය  - දුරුතු
5. මාඝ - නවම්
6. ඵාල්ගුණ/ ඵාල්ගුණී - මැදින්
7. චිත්‍ර / චෛත්‍ර - බක්
8. විශාඛ / වෛශාඛ  - වෙසක්
9. ජ්‍යෙෂ්ඨ - පොසොන්
10. ආශාඪ- ඇසළ
11. ශ්‍රාවන - නිකිණි
12. භද්‍ර - බිනර

වෙසක් හා ඇසළ යන මාස වල නම් අදාළ නැකැත් වල නම් අනුව හැදී ඇතත්, ලංකාවේ භාවිතා වන අනෙකුත් චන්ද්‍ර මාස වල නම් වල එවැනි සම්බන්ධතාවයක් පෙනෙන්නට නොතිබීම විශේෂත්වයකි. එහෙත්, ඉන්දියාවේ, නේපාලයේ, බංග්ලා දේශයේ හා තායිලන්තයේ භාවිතා වන සියලුම චන්ද්‍ර මාස වල නම් අදාළ නැකැත් වල නම් වලට සම්බන්ධය.

මාස වල නම් ලෙස යොදාගන්නා නැකැත් වල නම් නැකැත් විසිහතෙහි යෙදී ඇති අනුපිළිවෙල පරීක්ෂා කළ විට අපට නැකැත් වල විකාශනය ගැන යම් ඉඟියක් ලබා ගත හැකිය. මේ නම් යෙදී ඇත්තේ නැකැත් 27 තුළ ආසන්න වශයෙන් සම දුරිනි. මාස වල නම් ලෙස යොදා ගන්නා නැකැත් තුනක්ම උත්තර හා පූර්ව වශයෙන් පසුව කොටස් දෙකකට බෙදී ඇත. මේ කරුණු අනුව, මුලින්ම නැකැත් 12ක් හඳුනාගනු ලැබ පසුව එය නැකැත් 27ක් දක්වා විකාශනය වූ බව සිතීම නරක උපකල්පනයක් නොවේ.

ඉහත ඉදිරිපත් කළ නැකැත් 27ට අමතරව අභිජිත් නමින් හැඳින්වෙන 28වන නැකතක්ද ජ්‍යෝතිෂ්‍යයේදී ඇතැම් විට භාවිතා වේ. මේ අභිජිත් නැකත ලෙස සැලකෙන්නේ උත්තර ආශාඪ නැකතේ අවසන් 1/4 හා ශ්‍රාවන නැකතේ මුල් 1/15 කොටසයි. මේ අනුව සාමාන්‍ය නැකතකට අංශක 13 1/3ක් අයත් වන නමුත් අභිජිත් නැකතට අයත් වන්නේ අංශක 4 2/9ක් පමණි. මෙයට හේතුවද අපි පසුව විමසා බලමු.

අභිජිත් නැකතද ඇතුළුව අනෙකුත් සියලුම නැකැත් වල පිහිටීම් සූර්ය සිද්ධාන්තයේ ඛණ්ඩාංක යොදා ගනිමින් විස්තර කර තිබේ. ඒ නිසා මේ සියලුම නැකැත් වලට අයත් තාරකා හෝ තාරකා රාශි අහසේ හඳුනාගත හැකිය. එසේනම් අප විමසා බැලිය යුත්තේ මේ නැකැත් තාරකා හා එනමින් හඳුන්වන මාස අතර ඇති සම්බන්ධතාවයයි. 


නැකතක නමින් හඳුන්වන කිසියම් මාසයක පුර පසළොස්වක පෝය දවසේ අදාළ නැකතට අයත් තාරකාව හෝ තාරකා පංතිය තිබෙන්නේ අහසේ හඳ තිබෙන තැනට ආසන්නව හා ඉර ඇති තැනට ප්‍රතිවිරුද්ධවය. අනෙක් අතට අමාවක දිනවල මේ තරු තිබෙන්නේ ඉර මෙන්ම හඳද ඇති පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේය.

මේ අනුව පෙනෙන්නේ මාස නම් කර ඇත්තේ පුර පසළොස්වක පෝය දිනයේ හඳ ආසන්නව ඇති නැකත අනුව බවයි. මේ ආකාරයෙන් නම් කළ විට කිසියම් මාසයක ඉර තිබෙන්නේ අදාළ මාසයේ නමින් හැඳින්වෙන නැකතට ප්‍රතිවිරුද්ධ පැත්තේය.

පුර පසළොස්වක පෝයට වැඩි බරක් දී ඇති නිසා මේ ක්‍රමය ආරම්භ වුනේ පූර්ණාන්ත මාස භාවිතා කළ වෛදික සංස්කෘතියේ වන්නට වැඩි ඉඩක් තිබේ. ඉන්දියාවේ නාගයින් හෙවත් නාවිකයින් ජීවත් වූ මුහුද ආසන්න ප්‍රාන්ත වල මෙන්ම ලංකාවේද ප්‍රචලිතව ඇත්තේ අමාන්ත මාස ක්‍රමයයි. නැකැත් විසි හතේම (විසි අටේම) නම් ක්‍රිස්තු පූර්ව 1500දී පමණ ලියැවුණු සේ සැලකෙන සෘග් වේදයේ සඳහන්ව ඇති බැවින් මාස හඳුන්වන මූලික නැකැත් ඊට පෙර හඳුනාගෙන තිබුණේයැයි සිතන්නට පුළුවන.

ඉහත පරිදි මාසයෙන් මාසයට හඳ හා ආසන්නව ඇති නැකැත වෙනස් වන්නේ හඳ දිනපතා යම් තරමකින් නක්ෂත්‍ර ගෝලය හරහා චලනය වීම නිසා බව සෘග් වේදය ප්‍රබන්ධ වල කාලය වන විට වෛදිකයෝ දැන සිටියහ. මුලින්ම ඔවුන් තේරුම් ගන්නට ඇත්තේ දින 2-3කට පමණ වරක් හඳ එක් මූලික නැකතක සිට තවත් මූලික නැකතකට ගමන් කරන බවයි. පසුව මේ මූලික නැකැත් අතර ඇති තරු තවත් නැකැත් ලෙස හඳුනා ගැනීමෙන් හා ඇතැම් මූලික නැකැත් වලට අයත් තරු රාශි උත්තර හා පූර්ව ලෙස කොටස් දෙකකට බෙදීමෙන් දිනකට හඳ ගමන් කරන දුර ආකෘතිගත කළ හැකි පරිදි නැකැත් 27ක් හඳුනාගෙන තිබේ.

පෑලවිය, දියවක ආදී තිථි මෙන්ම නැකැත්ද මුල් කාලයේදී යොදාගෙන තිබෙන්නේ දවසක් හඳුනා ගැනීමටය. එහෙත්, හඳට පොළොව වටා යාමට දින 27කුත් පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න කාලයක් යන නිසා තෙමසකට පමණ වරක් එක් දිනයක වෙනසක් ඇති වේ. මේ වෙනස ආකෘතිගත කිරීම සඳහා අධික නැකතක් ලෙස අභිජිත් නැකත වරින් වර යොදාගෙන තිබේ. ඒ නැකත සෑම මාසයකම උදාවී නැත.

පසුකාලීනව හඳට නක්ෂත්‍ර තාරකා හරහා වටයක් යාමට ගත වන කාලය (හෙවත් හඳට පොළොව වටා යාමට ගතවන කාලය) හරියටම දැන ගැනීමෙන් පසුව සාමාන්‍ය නැකතක කාලය ඉර උදාවේ සිට ඊළඟ ඉර උදාව දක්වා ගෙවෙන දවසක් ලෙස සලකනු වෙනුවට, දවසේ කිසියම් වෙලාවක සිට ඊළඟ දවසේ එම කාලය දක්වා ගතවන පැය 24ක පමණ කාලයක්  ලෙසත්, අභිජිත් නැකතේ කාලය පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න ඊට වඩා අඩු කාලයක් ලෙසත් සලකා තිබේ.

එහෙත්, ඒ අයුරින් නැකැත් වල කාලය බෙදා වැඩි කල් යන්නට පෙරම අභිජිත් නැකත අතහරිමින් හඳට පොළොව වටා යාමට ගතවන කාලය ඉතිරි නැකැත් 27 අතර සම-අංශක ලෙස බෙදා තිබේ. මෙසේ කිරීමෙන් රාශි චක්‍රය හා නැකැත් චක්‍රය සමපාත කිරීමටද හැකි වී තිබේ. දැනටත් අභිජිත් නැකතේ කාලය වන හඳට අංශක 4 2/9ක් යාමට ගතවන කාලය හඳට පොළොව වටා යාමට ගතවන කාලයේ දින 27ට අමතර අතිරික්තය වන පැය 7කුත් මිනිත්තු 43කට පමණ කාලයට ආසන්න ලෙස සමානය.

මුල් කාලයේදී නැකැත් චක්‍රයේ ආරම්භය ලෙස සලකා ඇත්තේ අස්විද නැකත නොව කැති නැකතයි. දැන් දෙවන නැකත ලෙස සැලකෙන බෙරණ නැකත ඒ කාලයේ අවසන් නැකත ලෙස සලකා ඇති අතර අවුරුද්දේ ආරම්භය සමපාත වී ඇත්තේ ඉර බෙරණ නැකතේ සිට කැති නැකතට යාම
යි. මෙය සිදුවන්නේ මේෂ සංක්‍රාන්තිය සිදුවී දින 27කට පමණ පසුවය. එය එසේ තිබී අද පවතින ආකාරයට වෙනස් වීමට හේතුව ඉදිරි ලිපියකින් කතා කරමු. 

(Image: ajitvadakayil.blogspot.com)

11 comments:

  1. නැකැත් ක්‍රමය හෙලයන්ගේ දෙයක්

    ReplyDelete
    Replies
    1. ඕනෑ කෙනෙක්ට කිසිදු පදනමක් හෝ මූලාශ්‍රයක් නැතුව, ඒ වගේම විෂය හා අදාළ මූලික දේවල්වත් දන්නෙත් නැතුව කැමති දෙයක් කියන්න පුළුවන්. කැමති කෙනෙක්ට එවැනි දෙයක් විශ්වාස කරන්නත් පුළුවන්. පදනමක් හෝ මූලාශ්‍රයක් නැති වූ පමණින්ම කවුරු හෝ කියන දෙයක් බැහැර කළ යුතු නැති වුවත්, යම් අදහසක් වැරදියි කියන්න තරම් පැහැදිලි සාක්ෂි තිබෙන විට එවැනි දේ උස්සගෙන යා යුතු නැහැ.

      Delete
  2. Whenever I don't' have to wear makeup, it's a good day.
    -Cameron Diaz

    ReplyDelete
  3. //නේපාලය, බංග්ලා දේශය හා පකිස්ථානය ඇතුළු පැරණි ඉන්දියාවේ විවිධ ප්‍රදේශ//

    ලියුම්කරු ඉන්දියානු ඔත්තුකරුවෙකැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ලියුම්කරු පැරණි ඉන්දියාව යැයි කියන්නේ බ්‍රිතාන්‍ය ඉන්දියාවට බව පෙනේ. එය වසර සීයකට වඩා පැරණිය.

      Delete
    2. මම මෙයින් දළ වශයෙන් අදහස් කළේ මෙගස්තීනස් විසින් ක්‍රිස්තු පූර්ව 350-290 අතර කාලයේ ඉන්ඩිකා ග්‍රන්ථය ලියන කාලයේ හා ඉන්පසු සියවස් වලදී තිබුණු ඉන්දියාවයි. මෙයට බ්‍රිතාන්‍ය ඉන්දියාවට පසුව අයත් වුනු වත්මන් දකුණු ඉන්දීය ප්‍රාන්ත අයත් නොවුනත් උතුරේදී එය වත්මන් බංග්ලා දේශය, පකිස්ථානය හා නේපාලය පමණක් නොව, ඇෆ්ඝනිස්තානය වැනි රටවල් දක්වාත් පැතිර තිබුණා. දැන් මෙහිදී ක්‍රිස්තු පූර්ව කියා කියා කියන්නේ තේරුම් ගැනීමේ පහසුවට මිසක් ඒ කාලයේ ක්‍රිස්තු පූර්ව අවුරුදු සඳහන් කැලැන්ඩර් මුද්‍රණය කර තිබුණු නිසා නෙමෙයි.

      Delete
  4. මේ ශාස්ත්‍රයන් මෙතුවක් කල පවතින්නේ යම් හේතුවක් ඇතිව. සියල්ල බොරු කියා අහක දානවට වඩා මෙවන් ශාස්ත්‍රීය දැනුමකින් විමසා බැලීම වටී.

    ReplyDelete
  5. While my elders and most of the relatives are so persuasive of this subject, I have a neutral feeling for it. However, I must say that, it’s really interesting to read this now just because of your simple and beautiful way of writing. Nice article mate!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.