වෙබ් ලිපිනය:

Friday, June 16, 2017

කලාකරුවන් මහජන ආධාර ඉල්ලීම වැරදිද?


මහලු වයසේ අසරණව හෝ රෝගාතුරව සිටින කලාකරුවෙකු වෙනුවෙන් මහජන ආධාර ඉල්ලා කෙරෙන ආයාචනා ගැන වරින් වර අපට අහන්නට ලැබේ. මේ අය අතරින් ඇතැම් අය තමන්ගේ "හොඳ කාලයේදී" හොඳට හම්බ කරගත් අයයි. එහෙත්, තමන්ගේ "හොඳ කාලයේදීත්" ජනප්‍රියත්වය තරමට මුදල් හම්බ නොකළ අයද මේ අතර සිටිති. එමෙන්ම, මේ ආකාරයෙන් මහජන ආධාර අපේක්ෂා කරන අය අතර කලාකරුවන් නොවන ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම සමාජය දන්නා සුවිශේෂී දෙයක් කර නැති සාමාන්‍ය පුද්ගලයින්ද සිටිති.

ඉහත ආකාරයේ ඉල්ලීමක් කෙරුණු විට ලැබෙන ප්‍රතිචාර බොහෝ විට අන්ත දෙකකට බෙදීයයි. එක් අන්තයක සිටින අය වහාම ආධාර කිරීමට ඉදිරිපත් වන අතර, ඒ අන්තයේ සිටින ඇතැම් අය වෙනත් අය ආධාර දීමට පොළඹවමින් ආධාර එකතු කිරීමටද යොමු වේ. මෙසේ ආධාර දෙන හෝ එකතු කරන අය කලාකරුවන්ගෙන් සිදුවුණු සේවය වෙනුවෙන් යමක් කළ යුතුයැයි සිතන අයයි.

දෙවන අන්තයේ සිටින අය හිතන්නේ කලාකරුවන්ද තවත් එක් රැකියාවක් කරන පිරිසක් නිසා ඔවුන් සුවිශේෂී පුද්ගලයින් නොවන බවයි. එසේ සිතන බොහෝ දෙනෙක්, මේ කතාව ප්‍රසිද්ධියේ කියන්නට යනවා වෙනුවට සරල ලෙස මහජන ආධාර ඉල්ලීම නොතකා සිටින නමුත් තමන්ගේ විරෝධය එළිපිටම දක්වන අයද මේ දෙවන අන්තයේ සිටිති.

පැහැදිලිවම, කලාකරුවන් හා ක්‍රීඩකයින් වැනි අය කරන්නේ තවත් එක් රැකියාවකි. මේ රැකියාව ඔවුන්ගේ තේරීම වී තිබෙන්නේ එය ඔවුන්ට වඩාත්ම වාසිදායක රැකියාව නිසාය. වෙනත් විදිහකට කිවුවොත් පූර්ණ කාලීන කලාකරුවෙකුට හෝ ක්‍රීඩකයෙකුට වෙනත් රැකියාවක් කිරීමෙන් ඔවුන් ලබන වාසි ලැබිය නොහැකිය.

මෙහිදී, "වාසි" යන්නට මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන වාසිද ඇතුළත් වන නමුත්, බොහෝ පුද්ගලයින් හා සම්බන්ධව මූල්‍යමය වාසි පමණක් සැලකුවද තත්ත්වය මෙවැන්නකි. කලා ක්ෂේත්‍රයේ සිටින සැලකිය යුතු පිරිසක් පූර්ණ කාලීනව එය නොකර අර්ධකාලීනව කරන්නේ වෙනත් රැකියාවක් සඳහා කාලය යෙදවීම කලා කටයුතු වඩා වාසිදායක බැවිනි.

ප්‍රායෝගිකව මෙසේ දෙවන රැකියාවක් ලෙස කලා කටයුතු කරන බොහෝ දෙනෙක්ගේ පළමු රැකියාව ප්‍රමුඛ තේරීම වී තිබෙන්නේ එවැනි අය කලා කටයුතු වලදී කුසලතා අතින් දෙවන පෙල සිටීම නිසා නොව, ඔවුන් සතු මූල්‍යමය ලෙස වඩා වටිනා වෙනත් කුසලතා තිබීම නිසාය.

ක්‍රීඩා හෝ කලා කටයුත්තක යමෙක් පූර්ණකාලීනව යෙදුනද, අර්ධකාලීනව යෙදුණද එසේ කරන්නේ ඒ සඳහා ඔවුන් යොදවන කාලය වෙනුවෙන් වඩා වටිනා යමක් ලැබෙන බැවිනි. මේ අනුව, මෙවැනි කටයුතු බේකරියක පාන් හැදීම වැනි වෙනත් රැකියාවකින් වෙනස් නොවේ. ඒ අය, කරන්නේ සමාජ සේවයක්ය යන්න ඇත්තක් වුවත් ඒ වෙනත් රැකියාවක් කරන කෙනෙක් කරන්නේද සමාජ සේවයක්ය යන අර්ථයෙන් මිස සුවිශේෂී අර්ථයකින් නොවේ. බක්කරේ පාන් විකුණා මුදල් ලබාගන්නා අයුරින්ම කලාකරුවෝද තමන් හදන මොනවා හෝ දේ විකුණා මුදල් ලබා ගනිති.

ඇතැම් කලාකරුවන් විසින් මුදල් අය නොකර කරන දේවල්ද තිබේ. එහෙත්, එය එසේ වූ පමණින්ද කලාකරුවෝ සුවිශේෂී පුද්ගලයෝ නොවෙති. පොසොන් දවසේ බනිස් දන්සැල් දෙන බේකරි මුදලාලිලාද සිටිති. මේ අවස්ථා වලදී මුදල් ලාභයක් නොලැබුණත්, පුද්ගලයෙකු ජනහිතකාමී කටයුතු වල නිරත වන්නේද කිසියම් ආකාරයක වාසියක් බලාපොරොත්තුවෙනි.

මෙහිදී, විශේෂයෙන් සඳහන් කර යුතු කරුණක් වන්නේ ඇතැම් පුද්ගලයින් ජනහිතකාමී කටයුතු වල යෙදෙන්නේ අනාගත ආයෝජනයක් ලෙසින් බවයි. දැන් ප්‍රසිද්ධ දේශපාලනඥයින් වන ඇතැම් අය අසූව දශකයේ ටියුෂන් ගුරුවරු ලෙස කටයුතු කරන කාලයේදී අනාගත ආයෝජන ලෙස සලකමින් සිසුන්ට "ෆ්‍රී කාර්ඩ්ස්" බෙදීම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය. ඇතැම් කලාකරුවන්ගේ ජනහිතකාමී කටයුතුද මෙවැනි ආයෝජන වන්නට පුළුවන.

තමන්ගේ "හොඳ කාලයේදී" ඉපැයූ මුදල් නාස්ති කළ කලාකරුවෙකු මහලුව රෝගාතුර වීමෙන් පසු මහජන ආධාර ඉල්ලීමේ කිසිදු වරදක් නැත. සාමාන්‍යයෙන් එවැන්නන්ට ආධාර කිරීමට සුචරිතවාදී බැඳීමක් (moral obligation) සමාජයට නැතත්, මෙවැන්නෙකු කලකට පෙර ජනහිතකාමී කටයුතු වල ආයෝජනය කර තිබේනම් එවැනි සුචරිතවාදී  බැඳීමක් තිබෙන්නට කිසියම් ඉඩක් තිබේ. මහජන ආධාර ඉල්ලූ විට ලැබෙන ප්‍රතිචාර මේ පිළිබඳ පරීක්ෂාවකි.

ඉහත තත්ත්වය කලාකරුවන්ට පමණක් විශේෂ තත්ත්වයක් නොවේ. තමන්ට ජීවත් වන්නට පමණක් ප්‍රමාණවත් සුළු ලාබයක් තබාගෙන පාන් විකිණූ හා කුසගින්නේ සිටින අතේ සල්ලි නැති කෙනෙකුට නොමිලේ පාන්  ගෙඩියක් දෙන්නට කිසිවිටෙකත් නොපැකිලුණු බක්කරේ කෙනෙක් වුවද තමන්ගේ පාරිභෝගිකයින් තුළ මෙවැනි සුචරිතවාදී බැඳීමක් ඇති කර තිබෙන්නට ඉඩ ඇති අතර, තමන් අසරණ වූ අවස්ථාවක එවැනි ආයෝජනයක් මුදල් කිරීමට උත්සාහ කිරීම වරදක් නොවේ. මේ අවස්ථාවලදී මෙවැනි පුද්ගලයින් වෙත ආපසු ලැබෙන්නේ තමන් විසින් පෙර ආයෝජනය කළ "තමන්ට අයත්" දෙයකි.

කෙසේ වුවද, සියලුම කලාකරුවෝ ඉහත කී ආකාරයේ ජනහිතකාමී ආයෝජන කළ අය නොවෙති. එහෙත්, එවැන්නෝද මහජන ආධාර පතන අතර ඔවුන්ටද මහජන ආධාර ලැබේ. මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

නිදහස් වෙළඳපොළ ගනුදෙනුවකදී මිල ගෙවා භාණ්ඩයක් ලබා ගන්නා පාරිභෝගිකයින් සියලු දෙනාම එය කරන්නේ තමන්ට ලැබෙන වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. තමන්ගේ පෞද්ගලික වටිනාකම හා මිල අතර වෙනස පාරිභෝහික අතිරික්තයයි. රුපියල් 70කට විකිණෙන පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර අයෙකුට එය රුපියල් 75ක් වෙද්දී තවත් අයෙකුට රුපියල් 100ක් විය හැකිය. දැන් පළමුවන්නාගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 5ක්ද දෙවැන්නාගේ අතිරික්තය රුපියල් 25ක්ද වෙයි.

ඉහත උදාහරණයේදී මෙන් පාන් මිලදී ගන්නා පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු වෙත අතිරික්තයක් ඉතිරි වන අතර එය නිදහස් වෙළඳපොලක සාමාන්‍ය ස්වභාවය අනුව ඔවුන්ට ලැබෙන වාසියක් මිස බක්කරේගේ ජනහිතකාමය නිසා ලැබෙන්නක් නොවේ. බක්කරේ රුපියල් 70කට පාන් ගෙඩියක් විකුණන්නේ එසේ විකිණීමෙන් ඔහුට හෝ ඇයටද ලාභයක් ලැබෙන නිසාය. ඒ නිසා, නිදහස් වෙළඳපොලක සිදුවන ගනුදෙනුවකින් පසු කවුරුවත් කාටවත් ණය නැත.

භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික වටිනාකම් අනුවය.

ආහාරයට ගැනීම සඳහා මිලදී ගන්නා පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වන්නේ නැති වුවත් කලා කෘතියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා විශාල ලෙස වෙනස් වන්නට පුළුවන. ඒ නිසා, රුපියල් 700කට කිසියම් ගායකයෙකුගේ ගීත අඩංගු සීඩී තැටියක් මිල දී ගන්නා අයෙකුගේ පෞද්ගලික වටිනාකම රුපියල් 750 වන්නට මෙන්ම රුපියල් 7500ක් වීමටද පුළුවන. ඒ නිසා, කිසියම් ගායකයෙකුට හෝ ගායිකාවකට  විශාල ලෙස ප්‍රිය කරන රසිකයෙකුට තමන් ඔහුට හෝ ඇයට ගෙවා ඇති මුදලට වඩා විශාල වටිනාකමක් අදාළ ගායකයා හෝ ගායිකාව විසින් ලබා දී ඇති බව හැඟෙන්නට පුළුවන.

නිදහස් වෙළදපොළ ගනුදෙනුවකින් පසුව පාරිභෝගිකයෙකු සතු වන අතිරික්තය ඔහුට හෝ ඇයට අයිති දෙයක් වුවත් එවැන්නෙකුට අවශ්‍යනම් ස්වේච්ඡාවෙන් එයින් කොටසක් නිෂ්පදකයා වෙත ලබා දෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් ඔබට ගාලු මුවදොර සරුංගල් විකුණන්නෙකුට රුපියල් පන්සීයක් දී ඉතුරු තියාගන්නට කියා කියන්නට හෝ පොතක් එළිදක්වන අවස්ථාවක එහි මිලට වඩා වැඩි මිලක් ගෙවා එය මිලදී ගන්නට බැරිකමක් නැත. මෙසේ කිරීමේදී සිදුවන්නේ එක් අයෙකු අතේ ඇති සම්පතක් තවත් අයෙකු අතට සම්ප්‍රේෂණය වීම නිසා සමාජයට එයින් සිදුවන අයහපතක් නැත.

කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු අසරණ වී සිටින අවස්ථාවක එවැන්නෙකුට ස්වේච්ඡාවෙන් උදවු කරන්නට ඉදිරිපත් වන අයට මූල්‍යමය අවාසියක් සිදු වුවත්, එසේ කිරීමෙන් එවැන්නෙකු ලබන සතුටේ වටිනාකම ඊට වඩා වැඩිය. මුදල් ලබන්නාට කොහොමටත් වන්නේ වාසියකි. එහෙත්, ඔබට අයිති ඔබේ මුදලක් වෙනත් අයෙකුට මෙසේ දීමෙන් ඔබට සතුටක් නොලැබේනම් ඔබ එය කළ යුතු නැත. එමෙන්ම, එසේ කරන අයට බාධා කළ යුතුද නැත.

කලාකරුවන් හෝ ක්‍රීඩකයින් රජයෙන් ආධාර ඉල්ලීමේදී සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී කවුරු හෝ දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් තීරණය කර කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු වෙත ලබා දෙන්නේ තමන්ගේ පෞද්ගලික මුදල් නොවේ. බදු ගෙවන්නන්ගේ මුදල්ය. රටේ බදු ගෙවන්නන් අතර අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට ගෙවීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොදකින සැලකිය යුතු පිරිසක්ද සිටින බව අපට උපකල්පනය කළ හැකිය.

මෙතැනදී සිදුවන්නේ එවැන්නන්ගේ සාක්කුවේ ඇති මුදල් රජය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට දෙනවාට සමාන දෙයකි. අදාළ මුදල තමන්ගේ අතින් ගෙවීමට අකැමැති විශාල පිරිසක් රටේ සිටීනම් එවැනි ක්‍රියාවක සමාජ යහපත සෘණ අගයක් වන්නට වුවද පුළුවන.

44 comments:

  1. ඔබ සෑම දෙයක් ගැනම හිතන්නේ යාන්ත්‍රික විදියට. ඒකයි මේ වගේ හිතෙන්නේ ඔබට. මානුෂිය ගුණයක් තිබුනා නම් මේ වගේ හිතෙන්නේ නෑ. හරි පුදුමයි ඉකොනොමැට්ටා වගේ සෑම දෙයක් ගැනම ආර්ථික පැත්තෙන් හිතන අය ගැන නම්. ඔබ වැනි අයෙක් සමග ඔබගේ බිරිය, දරුවන් සතුටින් ජිවත් වෙන්නේ කොහොමද කියලා සිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔබ සතු දේ ඔබේ අකැමැත්තෙන් උදුරාගෙන වෙනත් අයෙක්ට දීම මානුෂික ගුණයක් කියා ඔබ හිතනවාද?

      Delete
    2. රොබින් හුඩ්ලා වැනි අයගේ "මානුෂික ගුණ" ගැන කතා කරන අය සිටිති. රජයන් කරන්නේද මේ දෙයමය. එනම් ධනය නිර්මාණය කරන අයගෙන් බලහත්කාරයෙන් උදුරාගෙන එසේ උදුරා ගන්නා මුදලින් සුළු ප්‍රමාණයක් වෙනත් අයට බෙදාදීමයි. මෙය දිගින් දිගටම විශාල ලෙස කරන විට රොබින් හුඩ්ට පැහැරගැනීම සඳහා ධනය නිර්මාණය කිරීමට කිසිවකුත් ඉතිරි වන්නේ නැත. ලංකාවට සිදුවී ඇත්තේද ආසන්න දෙයකි.

      Delete
    3. මානුශික ගුණය කියන්නෙ කලාකරුවන්ට සහ ක්‍රීඩකයන් නාස්ති කිරීමට මුදල් දීමයි . කලාකරුවන් නාකි වුනාම රජයෙන් දීමනා දීමයි ඔවුන් සල්ලි හොයපු කාලෙ එම මුදල් රජයත් සමග බෙදා ගත් නිසාද.
      ඇයි වෙනත් රැකියා කරන අය බල්ලො බලල්ලුද
      හැමෝම සමාන බවයි මම නම් සිතන්නෙ . ඊනියා පෙරගමන්කාරයො නෑ හැමෝම සමානයි.

      Delete
    4. මෙසේ අප මානුෂිය ගුණාංග ලෙස සිතීම බොහෝ අය අවභාවිතා කිරීමයි ප්‍රශ්නය

      Delete
    5. ඇනෝනිමසයෙකු ගැන කලකට පසු දුකක් සිතුණි!
      ;-)

      Delete
  2. "මෙතැනදී සිදුවන්නේ එවැන්නන්ගේ සාක්කුවේ ඇති මුදල් රජය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට දෙනවාට සමාන දෙයකි."

    එතකොට හැන්ද අතේ තියන් ඉන්න දේශපාලකයෝ (විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ) තමන්ට හිතේ හැටියට බෙදාගන්න එක හරිද?

    ReplyDelete
    Replies
    1. නැත. ඔවුන්ට එසේ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ඔවුන්ගේ හැන්දට වැඩි වැඩියෙන් පුරවන මිනිසුන් නිසාය. ඔවුන්ගේ හැන්දෙන් අනුන්ගේ දේ තමන්ට බෙදා දෙන තුරු බලා ඉන්නා මිනිසුන් සිටින තාක් කල් ඔවුන්ට අනුන්ගේ දේ බලහත්කාරයෙන් උදුරා ගැනීමට වැඩි ඉඩ ප්‍රස්තා ලැබෙන අතර, ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ටම බෙදා ගැනීමටත් ඉඩ සැලසේ.

      Delete
    2. දේශපාලකයන් රට කන නිසා ඉතිරි ටික කන්නට කලාකරුවන්ට හා ක්‍රීඩකයන්ට දිය යුතු බවද ඔබ කියන්නෙ.

      Delete
    3. මගේ අදහස නම් ලංකාවේ තිබෙන බදු ප්‍රතිපත්තිය අනුව වැඩි පිරිසක් ගෙවන්නේ වක්‍ර බදු නිසා බොහෝ අය‍ට දේශපාලකයෝ බෙදාගන්නේ හා බෙදන්නේ අපේ මුදල් බව දැනෙනෙනේ නැහැ.එම නිසා බහුතරයක් එය ගෙන දැඩිව සිතන්නෙත් නෑ.මේ වෙනුවට ඍජූ බදු වැඩි වුනානම් මේ වියදම් අපේ සාක්කුවෙන් යන බව දැනෙනවා

      Delete
    4. පැහැදිලිවම. වක්‍ර බදු අය කිරීමේ රහස එයයි. ඇමරිකාවේ රජය විසින් අය කරන බදු හා ගාස්තු වලින් වැඩි ප්‍රමාණයක් කිසියම් කටයුත්තකට ඉයර් මාර්ක් කරලයි තියෙන්නේ. උදාහරණයක් ලෙස ඉන්ධන වලින් අය කරන බදු, ට්‍රැෆික් දඩමුදල් හා වාහන ලියාපදිංචි ගාස්තු ආදිය යන්නේ මාර්ග සංවර්ධන අරමුදලකට. ඒ නිසා ඒ අරමුදල් වෙනත් දෙයකට යොදවන්න බැහැ. දේශපාලනඥයින්ට නිදහසේ වියදම් කළ හැකි අරමුදල් ප්‍රමාණය ඉතාම සීමිතයි. රජයේ ආදායම් සියල්ල පූල් කළ විට ඒ අරමුදල් විශාල ලෙස නාස්ති වන බව සැඟවිය හැකියි. කලාකරුවන්ට උදවු කිරීම සඳහා රජය විසින් අලුත් බද්දක් ඇති කර එයට කැමති ප්‍රමාණය විමසා බැලුවොත් "මානුෂීය ගුණ" තිබෙන පුද්ගලයින් ගණන හරියටම බලාගන්න පුළුවන්.

      Delete
    5. ඇමරිකාවේ රජය විසින් අය කරන බදු හා ගාස්තු වලින් වැඩි ප්‍රමාණයක් කිසියම් කටයුත්තකට ඉයර් මාර්ක් කරලයි තියෙන්නේ//
      මා එය දැන සිටියේ නෑ. මේ වගෙ බදු ක්‍රමයක් ආවොත් දූෂනත් අඩුකරගන්න පුලුවන් නේද. එවිට අපි අකමැති දේවල් වලට අපට දායක නොවී ඉන්න පුලුවන්. මම හිතන්නෙ වැඩි දෙනෙක් මේකට කැමති වෙයි.


      ඇත්තටම කලාකරුවන්ට ක්‍රීඩකයන්ට මහා මන්දිර දැසි දසුන් සැප වාහන හා වෙනත් සැප දීමනා දෙන්න අලුත් බද්දක් ඇති කර ඒවාට කැමති අයට ඒ බද්දෙ බර දරන්න දෙනවානම් හොදයි. එතකොට ඒ ගැන කතා කරන එක අපට අදාලම නෑ.

      Delete
    6. බදු මුදල් වලට වෙන්නේ කුමක්ද කියා හරියටම දන්න කොට මිනිස්සු කැමැත්තෙන්ම බදු ගෙවන්න තියෙන ඉඩ වැඩියි.

      Delete
    7. එසේ වුවත් මා අසා ඇති පරිදි (දිගු කතාවක් කෙටියෙන් කියනවා නම්) Charlie Wilson නම් කොන්ග්‍රස් මන්ත්‍රීතුමා කර ඇත්තේ ඇමරිකානු මහජනතාව බහුතරයක් කැමති දේකට රටේ බදු මුදල් යෙදවීමට සහයෝගය දෙන්නක් නොවේ - එවැනි දේද මේ ක්‍රමය යටතේද සිදු විය හැකිය (එහෙත් සමස්තයක් ලෙස එවැනි earmark සහිත ක්‍රමයක් යහපත් යැයි සිතමි)

      Delete
  3. කලාකරුවෝද මනුෂ්‍යයෝය.

    ReplyDelete
    Replies

    1. AnonymousJune 16, 2017 at 11:13 AM @ කලාකරුවො විතරද මනුෂ්‍යයො

      Delete
    2. මධ්‍යස්ත කියල නම දාගෙන හිටියට තමුසෙට තියෙන්නේ මහා අන්තවාදී අදහස්නේ ඕයි! 'කලාකරුවොත්' කියල තියෙන බව පෙන්නේ නැත්තේ ඇස් පොට්ටද?

      Delete
  4. මෙහෙමයි කලාකරුවන් ක්‍රීඩකයන් වගෙ අය හිතනවා තමන් සුවිශේෂ පුද්ගලයන් කියල. අන්න ඒ පදනමේ ඉදගෙනයි ආධාර ඉල්ලන්නෙ. අපි සුවිශේෂයි අපට සැප විදින්න ඕන කියන කතාව වැරදියි. ප්‍රයිවෙට් හොස්පිට්ල් ගිහින් ජනතාවට බිල් ඉදිරිපත් කරන එක වැරදියි. ආන්ඩුව කලාකාරයන් ගැන බලන්න ඕන කියන කතාවම ජනතා විරෝධී කතාවක්. හැමෝම සමානයි .

    සින්දුවක් දෙකක් කියපුවම මේ අය ජාතියෙ පෙරගමන්කාරයො වෙනව. ඡන්ද කාලෙට අපට චන්දෙ දෙන හැටිත් උගන්වන්න එනව. යම් පක්ෂයක් දිනුවම කියනව කියනව අපි තමා දිනෙව්වෙ අපට බෙදපියව් කියල.

    නමුත් සමාජයට නව නිර්මාන බිහිකරන බුද්ධිමතුන් මේ තරම් පහලට වැටිල තියනව දකල තියනවද.

    මේ හැමෝම කරන්නෙ රස්සාවක්. අලෙවිකිරීමක්. එක් ජීවන මාර්ගයක් තවත් ජීවන මාර්ගයකට වඩා උතුම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබට බ්ලොග් වලට එන්නට ඉඩක් ලැබීම සතුටක්!

      Delete
  5. මධ්‍යස්ථ මතධාරියා,

    බ්ලොග්කරුවන් වන පැරා, රසික සූරිය ආරච්චි,
    ඔබ (මධ්‍යස්ථ මතධාරියා), විශේෂඥ මනෝ-වෛද්‍ය රුවන් ජයතුංග, අජිත් ධර්මකීර්ති ඇතුළු බ්ලොග්කරුවන්ගේ ළමුන් බිරින්දන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි?

    තවද කාන්තා බ්ලොග් ලියන්නියන් වන අරුණි ෂැපීරෝ, බස්සි, සොඳුරු සිත, නිර්මාණි, ලිඛිතා, උපේක්ෂා ගැනත් පිළිකුල් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද?

    ඔහු දන්ත-වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට (SLDA) මොහු ගැන පැමිණිලි කර දඬුවම් දීමට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ඔවුන් ඔබ ඔය සඳහන් කල බ්ලොග්කාරියන්ට නම් අපහාස කරනවා මම දැකල නැහැ. මම කාලෙකින් ඒ පැත්තෙ ගියෙ නෑ යන්නෙත් නෑ. සමහරවිට දැන් ඒ අයට අපහාස කරන්න පටන් අරන්ද දන්නෙ නෑ. මම පොදුවෙ හිංසනයට කැමති නෑ ඊටත් වැඩියෙන් කාන්තා හිංසනයට නම් විශේෂයෙන්ම විරුද්ධයි. අපේ සංස්කෘතික පසුබිම මත කාන්තාවන් ඉදිරියට එනවා අඩුයි. එහෙම ඉදිරියට එන්නෙ ටික දෙනෙක්. ඒ අයටත් කුනුහරප කියල එලවනව නම් වැරදියි.

      ඇත්තෙන්ම බ්ලොග් ලියන කාන්තාවන්ට අපහාස කිරීම සහගහන අපරාධයක් වෙන්නෙ ඒ පසුබිම තුල. හැබැයි ඔබ ඔය කියන කාන්තාවන්ට කුනුහරප කියනවා මම නම් දැකල නෑ ඒ නිසා මට ඒ ගැන නම් චෝදනා කරන්නත් බෑ.

      ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද? // දන්නේ නැත. ඒ ගැන සෙවීම මට අදාලද නැත.


      ඔහු දන්ත-වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට මොහු ගැන පැමිණිලි කර දඬුවම් දීමට නොහැකිද?//
      මට අදාල නැත. ඔය සභාවෙ ඉන්නෙ එයාගෙ යාළුවො/ගුරුවරු වෙන්න ඇති නේද

      Delete
    2. කුමාර කළු ආරච්චි මහතාගේ වියුනු කියවද්දී අපේ මනස යථාව සහ ෆැන්ටසිය අතර දෝලනය වෙයි.
      විටෙක එහි ඇනෝවරු සහ කුදලිගම ආදින් ලෙස ආලෝචනා පලකරන්නේ කුමාර කළුආරච්චිම යැයි හැ‍ඟෙන අතර තවත් වරක මේ වෙනඋන්යැයි සිතේ.
      එම ආලෝචනා බොරු සහ සත්‍ය ලෙස එකවර හ‍ැ‍ඟේ.
      මෙය හැඳින්විය හැඳින්විය හැක්කේ ඉන්ද්‍රජාල යථාර්ථවාදය ලෙසද?
      ටික කලකට පෙර සිංහල වියුනු අවකාශය තුල මාතලන් යුගයක් තිබිණි.
      දැන් ඇත්තේ මල්ලෙ පොල් යුගයකි.
      එනම් ප්‍රියන්ත හේවගේ සහ කුමාර කළුආරච්චි යුගපුරුසයන් ලෙස ඉතිහාස ගතවනු ඇත.

      Delete
    3. ///බ්ලොග්කරුවන් වන පැරා, රසික සූරිය ආරච්චි,
      ඔබ (මධ්‍යස්ථ මතධාරියා), විශේෂඥ මනෝ-වෛද්‍ය රුවන් ජයතුංග, අජිත් ධර්මකීර්ති ඇතුළු බ්ලොග්කරුවන්ගේ ළමුන් බිරින්දන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි? ///

      සරසගේ බ්ලොග් එකේ ලිපි හැමදාම බලන නිසා මේක කියන්න පුළුවන්...
      සරසා අජිත් ට සහ රසික ට යම් උපහාසාත්මක ලිවීම් ලිව්වත් ඔවුන්ගේ පවුල් වලට බ්ලොගය හරහා මඩ ගසනවා මා දැක නැත...
      නමුත් එහි පැමිණෙන ඇනෝවන් (ඉහත ඇනෝම විය හැක) සරසා ට ඔහුගේ දියණියට ඉතා පිළිකුල් ලෙස මඩ ගසනු දැකිය හැක...
      එමෙන්ම එහි ඉහත නම් සඳහන් කල කිහිප දෙනෙකුටද එවැනිම මඩ ප්‍රහාර කමෙන්ට් හරහා එල්ල කරනුද මා දැක ඇත...

      එලෙස දෙපැත්ත කොටවන ලෙස එහි කමෙන්ට් දමමින් නැවත අනුන්ගේ බ්ලොග් තුළට පැමිණ මෙවැනි කමෙන්ට් දමනුයේද ඉහත ඇනෝවා වැන්නවුන් බව මගේ අදහසයි...

      එමෙන්ම කිසි විටෙක කාන්තාපාර්ශවය හට සරසා අවමන් කරනුද දැක නැත, මෙම ඇනෝවා එයට මග විවර කර ගනිමින් සිටිනවා විය හැක...
      මොහු හෝ මොවුන් ගොබෙල්ස් න්‍යාය හොඳින් පුරුදු පුහුණු කළවුන් බව ඉඳුරාම සිතේ...

      Delete
    4. මේ ගැන මගේ නිරීක්ෂණත් ලොකු පුතාගේ නිරීක්ෂණ වලට කිට්ටුයි.

      Delete
    5. මෙම කමෙන්ට් එකම බ්ලොග් කීපයකම එකම අයුරින් තිබීමට හේතුව එය විය හැක.

      Delete
    6. ටික කලකට පෙර සිංහල වියුනු අවකාශය තුල මාතලන් යුගයක් තිබිණි.....

      අනේ ඔව් ඔයි! නෙලුම් යායෙන් ඌ ට ජරාව කළා හෝ කවලා දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඔය ඉන්නේ

      Delete
  6. ප්‍රින්ස් නමැති ගායකයෙකු ගැන ඉකොනොමැට්ටා ලියූ ලිපියේත් මා මේ කරුණ මතු කළා. ගායකයින් වැනි අය සමාජය මත යැපෙන්නට සිතීම දැන් සමාජ රෝගයක් වෙලා.

    වැටුපට රැකියා කරන අයට අර්ථසාධක අරමුදලක් එකතු වෙනවා වගේ, ස්වයං රැකියා කරන ඕනෑම අයෙකු තම අනාගතය ගැන සිතා මුදලක් වෙන් කළ යුතුයි. කලා කටයුතුවලින් ලැබෙන මුදල් නැතිවන විට වෙනත් රැකියාවක් කරා යොමු විය යුතුයි.

    මෙය තේරුම්ගත් ෆ්‍රෙඩී සිල්වා, ශ්‍රියානි අමරසේන වැනි අය පවා සිල්ලර කඩ දාගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ලිපිය පළ වීමට නියමිතව තිබුණු නිසා එහි දිගු ප්‍රතිචාරයක් දැම්මේ නැහැ.

      Delete
  7. ඉකොනොමට්ටත් මේ සිල්ලර කතා ලියල අර ට්‍රම්ප්පච්චිගේ කටාර් වලට කෑම යවන එක නවත්තල ෆ්යිටෙර්-ජෙට් යවන එක යටගහන්න හදනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ට්‍රම්ප්පච්චිගේ දේවල් යටගහන්න මම ට්‍රම්ප්පච්චිගේ කවුද?

      Delete
    2. අනේ එයා ඔයාගේ ජනදිපතිනේ මෙයා!

      Delete
    3. ජනාධිපති හෝ වෙනත් අයෙක් කරන දේවල් යට ගැසීම මගේ ක්‍රමය නොවේ. ඇනෝ, ඇනෝගේ ජනාධිපති (හෝ හිතේ ඉන්න අනාගත ජනාධිපති) කරන දේවල් යටගැසීම සඳහා මහන්සි නොබලා වැඩ කරන කෙනෙක්ද?

      Delete
  8. අසරණ වෙච්ච් මිනිහෙක්ට ආණ්ඩුවෙන් කීයක්හරි දුන්නොත් තමයි හැම එකාටම පුකේ අමාරුව තියෙන්නේ. සාමාන්‍ය මිනිහෙක්ට මෙලෝ වැඩක් නැති බ්ලොග් සම්මාන උළෙලවල්වල්ට ආණ්ඩුවේ සල්ලි අරන් කරනකොට ඒවගේ වගක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කවුද ඔය අසරණ වෙච්ච මිනිහා? දැන් ඔය අසරණ මිනිහට දෙන්න සල්ලි හොයන්න සීනි දෙසිය පණහට බදු ගැහුවම ඒවා ගෙවන්න වෙන මිනිස්සු අසරණ මිනිස්සු නෙමෙයිද? බ්ලොග් සම්මාන උළෙලවල්වලටත් ආණ්ඩුවේ සල්ලි වියදම් කළ යුතු නැහැ.

      Delete
    2. how this sounds?

      මෙතැනදී සිදුවන්නේ එවැන්නන්ගේ සාක්කුවේ ඇති මුදල් රජය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන අදාළ බ්ලොග්කරුවාට දෙනවාට සමාන දෙයකි. අදාළ මුදල තමන්ගේ අතින් ගෙවීමට අකැමැති විශාල පිරිසක් රටේ සිටීනම් එවැනි ක්‍රියාවක සමාජ යහපත සෘණ අගයක් වන්නට වුවද පුළුවන.

      Delete
    3. //AnonymousJune 17, 2017 at 10:46 AM

      ඔබ ලියා ඇති දෙයට එකඟයි. ඔබ මා විසින් ලියා ඇති ලිපියේ හරය තේරුම් ගත්තානම් ඒ ගැන සතුටුයි.

      Delete
    4. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. පොදු දේපල යොදාගනිමින් රජයක් විසින් විශේෂ/සුවිශේෂ පුද්ගලයන් වෙනුවෙන් කරන ඉස්මතු කිරීමට ඔබ බ්ලොග් ලිපි දෙකක් හෝ තුනක් ලියා ඇතිබව මාගේ නිරීක්ෂණයයි. උදාහරණ සුසන්තිකා හා ප්‍රින්ස් ගැන මේ මෑතදී ලියු ලිපි. නමුත් මෙම බ්ලොග් සම්මාන උළෙලවල් පවතී අවස්ථා තුනේදීම ඔබ මේ අදහස ඉදිරිපත් කලබවට මාගේ මතකයේ නැත. එසේ කලානම් කාරුණිකව පෙන්න දෙන්න.

      ඔබ එසේ නොකළ බව උපකල්පනයකරමින් මා කියන්නට යන්නේ මේ මනුෂ්‍ය ස්වභාවය බවයි. තම මතයට එකඟ හෝ තමාට වාසි සහගත තත්වයකදී පොදුවේ කරන වියදම් ගැන බොහෝ පිරිස් නිහඩව සිටින අතර එසේ නොවන විට එයට විරුද්දවේ.

      Delete
    5. //ඔබ එසේ නොකළ බව උපකල්පනයකරමින් මා කියන්නට යන්නේ මේ මනුෂ්‍ය ස්වභාවය බවයි. තම මතයට එකඟ හෝ තමාට වාසි සහගත තත්වයකදී පොදුවේ කරන වියදම් ගැන බොහෝ පිරිස් නිහඩව සිටින අතර එසේ නොවන විට එයට විරුද්දවේ.//

      ධනවාදයේ මූලික හරය වන්නේ මිනිසුන්ගෙන් අති මහත් බහුතරයට තමන්ට වාසිදායක දේ තෝරා ගැනීමට හැකියාව ඇති බව හා ඔවුන් එසේ කරන බවයි. ධනවාදය යනු මේ මිනිස් ස්වභාවය වෙනස් කරන්නට උත්සාහ කරනවා වෙනුවට එය එසේම තිබියදී සමාජය සතු සීමිත සම්පත් කාර්යක්ෂම ලෙස බෙදී යාම සහතික කරන ක්‍රමයකි. ධනවාදය තුළ එය සිදුවන්නේ කිසිවකුගේ මැදිහත්වීමෙන් නොව මිනිසුන් සිය ස්වාභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම තුළ ස්වභාවික ලෙසමය. මෙහිදී, ස්වාභිමතාර්ථය යනු මුදල් හෝ මුදලින් මැනිය හැකි දේ පමණක් නොව තමන් සතුටු වන ඕනෑම දෙයකි. වෙනත් අයෙකුට මුදලින් හෝ ශ්‍රමයෙන් උදවු කිරීමෙන් යමෙක් සතුටු වනවානම් ඔහුට හෝ ඇයට එය කරන්නට ඉඩ දිය යුතු අතර එහි යහපතක් මිස කිසිදු අයහපතක් නැත. එහෙත්, එසේ උදවු කළ යුත්තේ තවත් අයකුගේ දෙයක් උදුරාගෙන නොවේ. ඔබ ඉහතින් හඳුනාගෙන තිබෙන්නේ ධනවාදයේ මූලික උපකල්පනයකට අදාළ දෙයකි. එයට මා සම්පූර්ණයෙන්ම එකඟය.

      //පොදු දේපල යොදාගනිමින් රජයක් විසින් විශේෂ/සුවිශේෂ පුද්ගලයන් වෙනුවෙන් කරන ඉස්මතු කිරීමට ඔබ බ්ලොග් ලිපි දෙකක් හෝ තුනක් ලියා ඇතිබව මාගේ නිරීක්ෂණයයි. උදාහරණ සුසන්තිකා හා ප්‍රින්ස් ගැන මේ මෑතදී ලියු ලිපි.//

      පොදු දේපොළ ඒවා පාලනය කරන අය විසින් තමන්ගේ අභිමතය පරිදි වැඩි දෙනෙකුගේ කැමැත්තක් නැති දේ වලට වියදම් කිරීම සුළු ප්‍රශ්නයක් නොවේ. මෙය රාජ්‍ය යාන්ත්‍රණයක අකාර්යක්ෂමතාවයට හේතු වන හා රටේ පොදු අයහපතට හේතුවන ප්‍රධාන කරුණකි. ඒ නිසා, මේ හා අදාළව ඉදිරියේදී තවත් ලිපි ලියවෙන්නට ඉඩ තිබේ. සුසන්තිකා විසින් පොදු දේපොළ වලින් යම් වරප්‍රසාද අපේක්ෂා කරන බව පෙනෙන්නට ඇතත් ප්‍රින්ස්ගේ පවුලේ අය විසින් මා දන්නා තරමින් රජයෙන් එවැනි ඉල්ලීමක් කර නැත. ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ සඳහා කැමැත්තක් දක්වන අයගෙනි. මේ දෙක දෙකකි. මට පෙන්වන්නට අවශ්‍ය වන්නේ මේ දෙකේ ඇති වෙනසයි. කලාකරුවන් විසින් මෙවැනි ඉල්ලීම් කර ඇති අවස්තාවලදී මා විසින්ද පෞද්ගලිකව උදවු කර තිබේ. (මේ ගැන කියන්නේ මෙහි ප්‍රතිපත්තිමය අදාළත්වය සලකමින් පමණි). මා එසේ කර ඇත්තේ එයින් මට සතුටක් ලැබෙන නිසා මිස කිසිවකුගේ බලකිරීම නිසා නොවේ.

      //නමුත් මෙම බ්ලොග් සම්මාන උළෙලවල් පවතී අවස්ථා තුනේදීම ඔබ මේ අදහස ඉදිරිපත් කලබවට මාගේ මතකයේ නැත. එසේ කලානම් කාරුණිකව පෙන්න දෙන්න.//
      ඒ අදහස ඒ අවස්ථාවලදී මා විසින් ඉදිරිපත් කර නැත. පළමු බ්ලොග් සම්මාන උළෙල පැවැත්වෙන අවස්ථාවේදී මා ඒ ගැන තබා සිංහල බ්ලොග් ගැනවත් දැන සිටියේ නැත. දෙවන හා තෙවන බ්ලොග් සම්මාන උළෙලවල් ගැන මා දන්නේද වෙනත් ඇතැම් අයගේ බ්ලොග් වල ලියවී තිබුණු දේ පමණි. තෙවන බ්ලොග් සම්මාන උළෙල සඳහා රජය විසින් මුදල් වියදම් කර ඇති බවක් මා දන්නේ නැත. දෙවන බ්ලොග් සම්මාන උළෙල සඳහා ශාලාව මුදල් අය නොකර ලබා දුන් බව හා කෙටි ආහාර සැපයු බව සඳහන්ව තිබුණු බවක් මතක තිබේ. එදින වෙනත් කටයුත්තක් නොතිබුණානම්, ශාලාව ලබාදීමේ ආවස්ථික පිරිවැයක් රජයට නැත. පොදු මුදල් වලින් බ්ලොග් සම්මාන උළෙලට කෙටි ආහාර සැපයීමද කිසියම් අයෙකු විසින් අභිමතය පරිදි කරන දෙයක් ලෙස සැලකිය හැකි වුවත්, ඒ සඳහා වැය වන්නට ඇතැයි සිතන අරමුදල් ප්‍රමාණය හා බ්ලොග් යනු රටේ විශාල පිරිසකට වැදගත් දෙයක් නොවුනත් අඩු වශයෙන් දෙතුන් දාහක් දෙනෙකුටවත් වැදගත් දෙයක් නිසා තනි පුද්ගලයෙකු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සාපේක්ෂව මෙහි විශාල ප්‍රශ්නයක් පැවතී ඇති බවක් මට නොපෙනේ.

      Delete
    6. "...දෙවන බ්ලොග් සම්මාන උළෙල සඳහා ශාලාව මුදල් අය නොකර ලබා දුන් බව හා කෙටි ආහාර සැපයු බව සඳහන්ව තිබුණු බවක් මතක තිබේ. එදින වෙනත් කටයුත්තක් නොතිබුණානම්, ශාලාව ලබාදීමේ ආවස්ථික පිරිවැයක් රජයට නැත..."

      මෙහිදී වායුසමීකරණය, ආලෝකනය, ශබ්ද විකාශනය අඩිය සදහා වූ විදුලි වියදම් ඔබ සලකා නැති බව පෙනේ. තවද සැන්දාකාලයේ පවතී මෙමෙ උත්සවයට සේවය පිණිස සේවකයන්ට අතිකාල ග්විම්ට සිදුවිය හැකිය. මේවාද සැලකියයුතු වියදම් බව මගේ තක්සේරුවයි.

      දෙවන බ්ලොග් සම්මාන උළෙලිදී ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමුබව මාගේ මතකයි. ශාලාවට මුදල් ගෙවන්න සිදුවුනානම් මේ මුදල් ත්‍යාග අඩුකිරීමට හෝ නොදීමට ඉඩතුබුනි. ඔබ විසින් නොයෙක්වර මතුකළ ඇති පරිදි මෙම මුදල් ත්යාගවල කොටසක්ද පොදු අරමුදලින් පැමිනිබවට උපකල්පනයකළ හැක.

      ""...ඒ සඳහා වැය වන්නට ඇතැයි සිතන අරමුදල් ප්‍රමාණය හා බ්ලොග් යනු රටේ විශාල පිරිසකට වැදගත් දෙයක් නොවුනත් අඩු වශයෙන් දෙතුන් දාහක් දෙනෙකුටවත් වැදගත් දෙයක් නිසා තනි පුද්ගලයෙකු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සාපේක්ෂව මෙහි විශාල ප්‍රශ්නයක් පැවතී ඇති බවක් මට නොපෙනේ..."

      නමුත් මෙය ඔබ මතුකරන්නට උත්සහකරන අදහසට විසංවාදී (contradiction) බව මගේ අදහසයි!

      Delete
  9. කලාකරුවනුත් කරන්නේ රැකියාවක් කියන එක හරි. එකම වෙනස නම් රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයකුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාදක අරමුදල් ක්‍රමයත් තිබීමත් කලා කරුවන්ට එය නොතිබීමත්. එමනිසා අද පටන් හෝ මාසික ගෙවීමක් මත විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසෙනවානම් හොඳයි. සමහර අයට හැම මාසයකම එක ලෙස ආදායම නැතිබැවින් සමහර මාස වල නොගෙවන දායක මුදල් අවුරුද්දක් ඇතුලත ගෙවිය හැකි ආකාරයට. එමෙන්ම මොන කාලයේදී කලා කටයුතු වලින් ඉවත් වුණත් අවුරුදු 55 හෝ 60වනතෙක් විශ්‍රාම වැටුප නොගෙවෙන ආකාරයට. එයට සම්බන්ද නොවන කලා කරුවන්ට වයසට ගිය පසු සමාජයෙන් උදව් ඉල්ලීමට හේතු දීමට එවිට නොහැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඊටපස්සේ

      (1) ඒ පෞද්ගලික අර්ථසාදක අරමුදල කළමනාකරණය කරන්න අර්ජුන් මහේන්ද්‍රන් වගේ රනිල් හොරාගේ හෙන්චය්යෙක්ව දානවා.

      (2) පර්පෙටුඅල් ට්‍රේෂරිස් වලින් ගන්න බැදුම්කර වැඩිගානට මේ පෞද්ගලික අර්ථසාදක අරමුදලට විකුනලා එක පාරම බිලියන ගානක ලාබයක් හොයනවා

      කොහොමද සිම්පල් ප්ලෑන් එක!

      Delete
    2. //එකම වෙනස නම් රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයකුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාදක අරමුදල් ක්‍රමයත් තිබීමත් කලා කරුවන්ට එය නොතිබීමත්.//

      ඇමරිකාවේ සමාජ ආරක්ෂණ බදු අයකරන ක්‍රමවේදය වැනි දෙයක් මෙයට පිළියමකි. මෙහි ස්වයං රැකියා කරන අය තමන්ගේ ආදායම අනුව සමාජ ආරක්ෂණ බදු වල සේවක සේව්‍ය කොටස් දෙකම ගෙවිය යුතුය. මෙය ලංකාවේ තත්ත්වයට ආදේශ කරනවානම් සිය වාර්ෂික ආදායමෙන් 20-25% අතර ප්‍රමාණයක් EPF එකට දැමීමට සමානය. ඊට පෙර කලාකරුවන් හරියට ආදායම් බදු ගෙවනවාද යන්න විමසා බැලිය යුතු අතර උඩ ඇනෝ විසින් කියා ඇති ආකාරයේ දේවල් වලක්වා ගැනීම ගැනද සැලකිලිමත් වන්නට සිදුවේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: