වෙබ් ලිපිනය:

Friday, October 2, 2026

ජංගම ගිණුම - අගෝස්තු 2026


මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම ගිණුමෙහි නැවතත් අතිරික්තයක් දැකිය හැකිව තිබෙනවා. එය ඩොලර් මිලියන 133.4ක්. මේ අනුව, මෙම වසරේ පළමු මාස අටේ සමුච්ඡිත ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 290.6 දක්වා පහත වැටී තිබෙනවා.

අගෝස්තු මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 579.0ක මුදලක් මිල දී ගෙන තිබුණු අතර, ඊට පෙර ජූලි මාසයේදී ඩොලර් මිලියන 346.6ක් මිල දී ගෙන තිබුණා. එහෙත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති ඩොලර් මිලියන 85.0ක මුදලින් ඩොලර් මිලියන 20.8ක් විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නැවත විකුණා තිබෙනවා. මේ අනුව, පසුගිය මාසයේ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 64.2ක් පමණයි. 

ඉහත තත්ත්වය අනුව, සැප්තැම්බර් මාසය තුළ නිල විදේශ සංචිත ප්‍රමාණයේ ලොකු ප්‍රගතියක් සිදු වී නොතිබෙන්න පුළුවන්. 

පසුගිය මාසය තුළ විදේශිකයින් විසින් ශුද්ධ වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් විකුණා මුදල් ආපසු රැගෙන ගොස් ඇති ආකාරයද නිරීක්ෂණය වෙනවා. ඇමරිකාවේ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යාමද මීට හේතු වූවා විය හැකියි. 

පසුගිය 2025 වසරේ පළමු මාස අටක කාලය තුළ ඩොලර් මිලියන 2,047.0ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබුණා. එවැනි මට්ටමක වූ ජංගම ගිණුම් ශේෂය ඩොලර් මිලියන 290.6ක හිඟයක් දක්වා පහත වැටීමට ප්‍රධාන ලෙසම දායක වී තිබෙන්නේ මෙම වසරේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාමයි.

පසුගියේ වසරේ පළමු මාස අටේදී ඩොලර් මිලියන 13,340.9ක් වූ ආනයන වියදම ඩොලර් මිලියන 16,557.1 දක්වා ඩොලර් මිලියන 3,216.2කින් ඉහළ යද්දී අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 300.3කින් පමණයි. මේ අනුව, වෙළඳ හිඟය ඩොලර් මිලියන 4,264.2 සිට ඩොලර් මිලියන 7,180.2 දක්වා 68.4%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඩොලර් බිලියන තුනකට ආසන්න ඉහත වැඩි වීමෙන් ඩොලර් ඩොලර් බිලියන 1.5කට පමණ දායක වී තිබෙන්නේ ඉන්ධන වියදම් ඉහළ යාම වුවත්, වාහන ඇතුළු අනෙකුත් ආනයන වියදම් ඉහළ යාමද ඊට ආසන්න දායකත්වයක් සපයා තිබෙනවා. කෙසේ වුවද, අගෝස්තු මාසයේදී වාහන ආනයන වියදම් වල කැපී පෙනෙන අඩු වීමක් දකින්න පුළුවන්. 

රටේ මුදල් සැපයුම වේගයෙන් ප්‍රසාරණය වෙද්දී, ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ නොයන්නේනම්, ආනයන ඉල්ලුම ඉහළ යනවා. රාජ්‍ය අංශය විසින් දැඩි රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගනිමින් රටේ මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා දායක නොවන තත්ත්වයක් තුළ මහ බැංකුව විසින් 5%ක උද්ධමන ඉලක්කයක් හඹා යමින් මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඉඩ හරිද්දී බැංකු වලින් පෞද්ගලික අංශයට ලබා දෙන ණය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදු වෙනවා. 

ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ දේශීය බැංකු ඒකක වලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය 29.6%කින් වර්ධනය වී තිබෙනවා. ජූලි මාසය අවසානයේදීද, එම වර්ධන වේගය 28.5%ක් තරම් ඉහළ මට්ටමක්. පොලී අනුපාතික සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම මීට හේතුවයි. 

ප්‍රමාණාත්මකව 2026 ජූලි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ දේශීය බැංකු ඒකක වලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,411කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ මෙම වැඩිවීම මගින් භාණ්ඩ හා සේවා සඳහා වන පෞද්ගලික අංශයේ ඉල්ලුමද විශාල ලෙස ඉහළ දැමෙන බවයි. එහෙත්, ඉල්ලුමේ එවැනි විශාල ඉහළ යාමක් මුළුමනින්ම සැපිරීමේ ධාරිතාවක් රටේ ආර්ථිකය තුළ නොමැති බැවින් අවසාන වශයෙන් සිදු වන්නේ ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. 

මහ බැංකුව විසින් ඉදිරි වසර තුනක කාලය තුළද 5%ක උද්ධමන ඉලක්කයක් හඹා යන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: