වෙබ් ලිපිනය:

Saturday, June 20, 2026

අප්‍රේල් අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


අප්‍රේල් මාසය අවසානයේදීද, රාජ්‍ය අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. එම අතිරික්තය රුපියල් බිලියන 105.03ක්. 

රාජ්‍ය ආදායම් හා ලැබීම් = රුපියල් බිලියන 1958.33

සමස්ත රාජ්‍ය වියදම = රුපියල් බිලියන 1853.30

අයවැය අතිරික්තය = රුපියල් බිලියන 105.03


පෙර වසරේ පළමු මාස හතරට සාපේක්ෂව රාජ්‍ය ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබියදී රාජ්‍ය වියදම් ඊට අනුපාතිකව වර්ධනය නොවීම මෙවැනි අයවැය අතිරික්තයක් වාර්තා වීමට හේතු වී තිබෙනවා. වර්ධන ප්‍රතිශතයන් මෙසේයි.

බදු ආදායම = 31.7%

සමස්ත ආදායම හා ලැබීම් = 34.6%

පොලී වියදම හැර අනෙකුත් වියදම් = 19.3%

පොලී වියදම = (-4.6%)

සමස්ත වියදම = 8.2%


මූල්‍ය අරමුදල සමඟ පවත්නා ගිවිසුමෙහි ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. සමස්ත අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම එම ඉලක්කයෙන් ඔබ්බට යාමක්. පළමු මාස හතර අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 862.73 වැනි මට්ටමක පවතිනවා. 

ඉහත අතිරික්තයන් වාර්තා වන්නේ ඉන්ධන මිල සුබසාධනය කිරීම වෙනුවෙන් රජය විසින් මුදල් වෙන් කිරීමෙන් පසුවයි. තාවකාලික වියදමක් බැවින් මාස කිහිපයකින් පසුව එම වියදම් ඉවත් විය යුතුයි. අනෙක් අතට, පොලී අනුපාතික ඉහළ යාම නිසා පොලී වියදම් ඉහළ යාමේ නැඹුරුවක් දැකිය හැකිව තිබෙනවා. 

රාජ්‍ය අයවැය අතිරික්තයක් පැවතීම මගින් අදහස් වන්නේ රාජ්‍ය ණය අඩු වීම හා ණය තිරසාරත්වය වැඩි දියුණු වීමයි. පසුගිය දින වල පළ වූ එක් මතයක් වනුයේ ඩොලරයක මිල ඉහළ යාම නිසා රාජ්‍ය ණය ඉහළ ගොස් ඇති බවයි. ඩොලරයක මිල ඉහළ යද්දී විදේශ ණය වල රුපියල් අගය ඉහළ යන නමුත් මෙම ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් නොවන නිසා එය ණය බර වැඩි වීමක් සේ සැලකිය නොහැකියි.

ඩොලරයක මිල ඉහළ ගිය විට විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට රජයට වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන බව සත්‍යයක්. එසේ වුවද, ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මත අය කෙරෙන බදු ප්‍රමාණයද අනුපාතිකව හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ යන බැවින්, රජයේ ආදායම්ද ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවීම සඳහා වැඩියෙන් රුපියල් අවශ්‍ය වීම ප්‍රශ්නයක් වීමේ ලොකු ඉඩක් නැහැ. මේ කරුණ මහ බැංකුව විසින්ද මෑතකදී පැහැදිලි කර තිබුණා. (රටට ප්‍රමාණවත් තරම් විදේශ විණිමය නොලැබේනම් ණය ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.)

පසු ගිය වසර ඇතුළත දදේනියෙන් 16.7%ක රාජ්‍ය ආදායමක් එකතු වී තිබුණා. මෙම වසරේ පළමු කාර්තුවේ දදේනිය අනුව පළමු කාර්තුවේ රාජ්‍ය ආදායමද දදේනියෙන් 16.4% වැනි ඉහළ මට්ටමක පවතින බැවින්ද, රටේ  අවිධිමත් ආර්ථිකය විධිමත් ආර්ථිකය තුළට ගැනීමට සහ එමගින් බදු පදනම පුළුල් කර ගැනීමට රජය විසින් සැලසුම් සහගත ලෙස කටයුතු කරමින් සිටින බැවින්ද, මෙම වසර අවසානයේදී සමස්ත අයවැය ශේෂය ඉලක්ක ඉක්මවන හොඳ මට්ටමක පැවතීමේ හැකියාව වත්මන් ප්‍රවණතා වලින් පෙනෙන්නට තිබෙනවා. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන්හි බර නොවේනම් මෙම තත්ත්වය තව දුරටත් වැඩි දියුණු විය හැකිව තිබුණා. 

ආර්ථික අර්බුදයෙන් පසුව, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස, බදු අනුපාතික ඉහළ දමනු ලැබුවා. එය ඒ අවස්ථාවේදී කළ යුතුව තිබුණු දෙයක්. බදු පදනම පුළුල් කර ගැනීම ක්ෂණිකව කළ නොහැකි කල් ගත වන වැඩක්. මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ යන්නේ බදු පදනම ක්‍රමක්‍රමයෙන් පුළුල් වීම නිසායි. ප්‍රමාණවත් තරමින් බදු පදනම පුළුල් කර ගැනීම මගින් බදු අනුපාතික අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. 

රජයේ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වියදම් පියවා ගැනීම පිණිස අනිවාර්යයෙන්ම බදු අය කරන්නට සිදු වෙනවා. ඒ සඳහා ඊට වඩා හොඳ විකල්පයක් නැහැ. එසේ බදු අය කිරීමේදී බදු ගෙවන සීමිත පිරිසක් මත පමණක් එම බර පැටවීම සාධාරණ ක්‍රමයක් නෙමෙයි. බදු පදනම පුළුල් කර ගැනීම මගින් වැඩි දෙනෙකු බදු දැල තුළට ඇතුළු කර ගෙන වඩා සාධාරණ පදනමකින් බදු බර බෙදා හැරිය හැකියි. රටේ අවිධිමත් ආර්ථිකය විධිමත් ආර්ථිකය තුළට අවශෝෂණය කර ගැනීම මගින් බදු පදනම පුළුල් කර ගත හැකියි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: