වෙබ් ලිපිනය:

Friday, July 2, 2021

මහ බැංකුව බංකොලොත්ද?


ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින් අදහස් කළේ විපක්ෂ දේශපාලනඥයින් විසින් නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ බව නෙමෙයි. ඒ අය විසින් බොහෝ විට කළේ පවතිනවාටත් වඩා අශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලනඥයින් විසින් මාරුවෙන් මාරුවට සිදු කළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙවැනි පැහැදිලි කිරීම් නිසා ආර්ථික දර්ශක ගැන ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව බොහෝ විට අන්දමන්ද වෙලයි හිටියේ. හැමදාම විපක්ෂයේ ඉන්න පක්ෂ වල දේශපාලනඥයින් කොහොමටත් පවතින තත්ත්වය ගැන ශුභවාදීව නොබලන අශුභවාදීන් වූ නිසා ඒ අය කියන දේවල් දිහා ගොඩක් අය බැලුවේත් සැකයෙන්. ඔය අතර කලාතුරකින් රටේ ආර්ථිකය ගැන නිවැරදි විශ්ලේෂණ කරන විෂය ප්‍රවීණයන්ද හිටියත්, විෂය ප්‍රවීණයන් බොහෝ දෙනෙකුද කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නන් වූ නිසා එසේ නොවූ අයෙකු කියන දෙයකට වුනත් වැඩි දෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. 

මේ සෙල්ලම දැන් කෙළවරකට ඇවිත්. මේ වෙද්දී රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ විපක්ෂ දේශපාලනඥයින් විසින් පමණක් නෙමෙයි. පවතින ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් විසිනුත් තරඟයට වගේ ආර්ථික අර්බුදය ගැන මිනිස්සු දැනුවත් කරනවා.

මේ ගැන දැන් ඕනෑවට වඩා කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන එකේ තේරුමක් තිබුණු කාලයේ අප මේ ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. දිනපතා ව්‍යායාම කරන්න උපදෙස් දිය යුත්තේ හෘදයාබාධයක් හැදෙන්න කලින්. හෘදයාබාධයක් හැදුනු අයෙකුට විවේකයෙන් ඉන්න උපදෙස් දෙනවා මිසක් ලොකුවට ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න බැහැ. එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. ඒ කාලය වඩා ඵලදායී කටයුත්තකට යෙදෙවුවානම් සමහර විට ලෝකයේ කොහේ හෝ ජිවත්වන වැඩි දෙනෙකුට යහපතක් විය හැකිව තිබුණා. කොහොම වුනත් අප ලියන දේ දිගින් දිගටම උනන්දුවෙන් කියවන යම් පිරිසක් ඉන්න නිසා වියුණුව මැරෙන්න දෙන්න අදහසක් නැහැ.

මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන සල්ලි අච්චු ගැහීම ගැන කිහිප දෙනෙක්ම විමසා තිබුණා. ඒ එක්කම ඔය සල්ලි අච්චු ගැහීම ගැන විවිධ ප්‍රවෘත්ති පැතිරෙමින් තිබෙනවා.

සල්ලි අච්චු ගැහීම ගැන මම කාලයක් තිස්සේ පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන එකටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු. මේවා සල්ලි බව කාට වුනත් පැහැදිලියි. දෙවන කොටස මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල තැන්පතු මුදල්. දෙවන කොටස සල්ලි වෙන්නේ කොහොමද කියන එක එකවර පැහැදිලි වෙන දෙයක් නොවුනත්, ඔය කොටස් දෙකේ වැඩි වෙනසක් නැහැ. මේ කොටස් දෙකේම තිබෙන්නේ මහ බැංකුවේ "වගකීම්" එහෙම නැත්නම් "බැරකම්".

වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.

මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. 

මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව. 

මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ.

ඔය විදිහට රුපියලේ වටිනාකම විදිහට මහ බැංකුව විසින්ම දැනුම් දෙන වටිනාකම අනුව මහ බැංකුවේ බැරකම් සියල්ල පියවන්න ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. එසේ නැත්නම් කියන්න වෙන්නේ මහ බැංකුව බංකොලොත් වී ඇති බවයි. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා, එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා, කියා කියන්නේ මහ බැංකුවේ බැරකම් වැඩි වෙනවා කියන එකයි. එවිට මහ බැංකුවට එක්කෝ එම අනුපාතයට විදේශ සංචිත වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ ඇර ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්න අරින්න වෙනවා. දෙවන ක්‍රමයේදී වත්කම් ඇත්තටම වැඩි වෙන්නේ නැතත් වත්කම් වල රුපියල් අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව සතු ඇමරිකන් ඩොලර්, රන් වැනි වත්කම් වලට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා. 

දැන් අපි මුලින්ම බලන්න වෙන්නේ මාධ්‍ය වාර්තා වල දැකිය හැකි පරිදි මහ බැංකුව ඇත්තටම විශාල ලෙස සල්ලි අච්චු ගහනවද කියන එකයි. පහතින් තියෙන්නේ පසුගිය කාලය තුළ රුපියල් බිලියන වලින් මහ බැංකුවේ සංචිත ඉහළ ගිය ආකාරය.

2019 දෙසැම්බර් 31-  932.6

2020 දෙසැම්බර් 31-  964.4

2021 ජූලි 1 -            1,072.0

මේ අනුව, 2019 වසරේදී රුපියල් බිලියන 31.8ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 2020 පළමු මාස හය ඇතුළත රුපියල් බිලියන 107.6ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 

ඔය රුපියල් බිලියන ගණන් අපි ගොඩක් අයට ඇඟට දැනෙන්නේ නැහැනේ. කොහොම වුනත් මේ ප්‍රමාණය එක පැත්තකින් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැකිය හැකි තරම් විශාල මුදලක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ ඉතිහාසය බැලුවහම අසාමාන්‍ය මුදල් සල්ලි අච්චු ගැහීමක් නෙමෙයි. ඔය වගේ ප්‍රමාණයකින් සංචිත මුදල් සැපයුම වැඩි වුනා කියලා ලංකාව සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ!

මේ කතාව ගොඩක් අයට පිළිගන්න අමාරු වෙන එකක් නැහැ. ලංකාවේ බඩු මිල ඉහළ යමින් තිබෙනවා තමයි. නමුත්, මෙය අසාමාන්‍ය ඉහළ යාමක් නොවන බව මැදහත්ව සිතන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. ඔයිට වඩා වේගයෙන් ලංකාවේ බඩුමිල ඉහළ ගිය වකවානු ඕනෑ තරම් තිබුණා.

එහෙමනම්, මේ සල්ලි අච්චු ගහන කතාව කිසිම පදනමක් නැති කතාවක්ද?

මහ බැංකුව විසින් අලුතින් අච්චු ගහන සල්ලි එළියට දමන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඩොලර් මිල දී ගැනීම. දෙවැන්න භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. හැබැයි ඒ වගේම මේකේ අනෙක් පැත්තත් වෙනවා. මහ බැංකුවේ සංචිත හෝ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී අච්චු ගහලා එළියට දමපු සල්ලි නැවත මහ බැංකුව ඇතුළට එනවා. සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ හේතුව නිසා කිසියම් මොහොතක සංචිත මුදල් ප්‍රමාණය දෙස බලා එය උද්ධමනයට හේතු වන බව කියන්න බැහැ. උද්ධමනය ඇති වන්නේ මුදල් සැපයුම එක දිගට යම් කාලයක් ඉහළ මට්ටමක තිබුණු විටයි. 

පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. බදු අඩු කර ආදායම් අහිමි කරගත් ආණ්ඩුව ඉතාම විශාල ලෙස පුළුල් වී තිබෙන අයවැය හිඟය පියවාගනිමින් සිටින්නේ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්. එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහීමෙන්. 

පසුගිය වසරේ (2020) ජනවාරි පළමුවෙනිදා වන විට මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම (මුහුණත අගය) වුනේ රුපියල් බිලියන 74.7ක් පමණයි. 2021 ජූලි පළමුවෙනිදා වන විට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 919.2ක් වෙලා. දොළොස් ගුණයකට වඩා වැඩි වැඩි වීමක්!

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ අලුතින් සල්ලි සංසරණයට එකතු කරනවා කියන එකනේ. ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් අය සල්ලි අච්චු ගැහීම කියලා මේ දවස් වල කතා කරන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැන. එහෙමනම් මම කලින් විස්තර කළ පරිදි සංචිත මුදල් මේ අනුපාතයට වැඩි වෙලා නැත්තේ ඇයි?

මහ බැංකුව විසින් එක පැත්තකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කරන අතරම අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණනවා. විදේශ සංචිත මිල දී ගන්න අය රුපියල් වලින් ගෙවන නිසා සංසරණයේ තිබෙන සල්ලි නැවත මහ බැංකුවට එනවා. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කිරීමේ බලපෑම නිශේධනය වෙනවා. ලංකාවට තවමත් උද්ධමන තර්ජනයක් ඇති වී නැත්තේ ඒ නිසයි.

ඒ කියන්නේ මේ කියන ආර්ථික අර්බුද කතාව බොරුවක්ද?

මෙතැන තියෙන්නේ සල්ලි අච්චු ගැහීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා සල්ලි වල ගුණාත්මක භාවය අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේක පුළුවන් තරමින් පැහැදිලි කරන්නම්.

මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.

අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.

මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. 

මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.

මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!

මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.

නිකමට වගේ කිවුවත් රටක මුදල් ඒකකය කඩා වැටෙන්න කලින් මහ බැංකුව විසිරුවා හරින එකත් විසඳුමක්. අපි හිතමු ඩොලරයක මිල රුපියල් 265.87ක් වෙන්න ඇරියා කියලා. මේ වෙද්දී පවතින තත්ත්වය යටතේ මහ බැංකුව බංකොලොත් ලෙස ප්‍රකාශයට පත් නොකරනවානම් ඊට මෙහායින් නවත්ත ගන්න කිසිම හැකියාවක් නැහැනේ. ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකු වල තැන්පතු සියල්ල ඩොලර් වලින් ගෙවලා, මුළු රටේම තියෙන රුපියල් ටිකත් ඩොලර් වලට මාරු කරලා දෙන්න. ඊට පස්සේ රුපියලුත් නැහැ. මහ බැංකුවකුත් නැහැ. රටේ මිනිස්සු හැමෝම අතේ ඩොලර් තියෙනවා. මිනිස්සු ඩොලර් වලින් ගනුදෙනු කරනවා. රජය ඩොලර් වලින්ම බදු අය කරගෙන ණය ගෙවනවා. රාජ්‍ය ණය ප්‍රශ්නය ඒ විදිහටම තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය එතැනින් ඉවරයි. උද්ධමන ප්‍රශ්නෙකුත් නැහැ. 

කතාවට කිවුවට ඔය වගේ දෙයක් වෙන්න ඉඩක් නැහැනේ. මහ බැංකුව විසුරුවා හරිනවා තියා ඩොලරයේ අගය වැඩි වෙන්න දෙන්න වුනත් රජය හෝ මහ බැංකුව කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමනම්, පවතින තත්ත්වය යහපත් අතට වෙනස් විය හැක්කේ කොහොමද? 

ඩොලරයේ අගය දැන් මට්ටමේම තියා ගනිමින් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයේ තියා ගන්නනම් නිල සංචිත ප්‍රමාණය අඩු වශයෙන් ඩොලර් බිලියනය 1.5කින් පමණවත් වැඩි කර ගන්න වෙනවා. අපි හිතමු රජය ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්තා කියලා. ඒ ඩොලර් ටික මහ බැංකුවට විකුණලා ලබා ගන්න මුදල් ටික නැවත මහ බැංකුවටම දීලා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 300ක පමණ ප්‍රමාණයක් ආපහු ගත්තොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම එලෙසම තියෙද්දී විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගිහින් නැවතත් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයට පත් වෙනවා. 

ලංකාව ණය අරගෙන තියෙන හැටියට ඩොලර් බිලියන 1.5ක ණයක් කියන්නේ මහා ලොකු දෙයක් නොවුනත් මේ වෙද්දී ලංකාවේ රජයට ඒ ප්‍රමාණයේ ණයක් ගන්න එක වුනත් පහසු නැති බව අපිට පැහැදිලිව පේනවා. අනෙක් එක කලින් අරන් තියෙන ණය ගෙවන්නත් වෙනම ණය ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ජූලි 27 කල් පිරෙන ඩොලර් බිලියනයේ බැඳුම්කරය. ඒ නිසා, තත්ත්වය හිතන තරම් ශුභදායී නැහැ. ආණ්ඩුවට ඩොලර් බිලියනයක් හොයා ගන්න එක ලේසි නැති බව ආණ්ඩුවේ ප්‍රධානියෙක්ම කියල තිබුණනේ.

මගේ විශ්ලේෂණ නිවැරදි නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් අනෙක් පැත්තත් පොඩ්ඩක් කතා කරමු. ජූලි 27 බැඳුම්කරය ගෙවන්න ඩොලර් බිලියනයක් සංචිත වලින් ගත්තා කියා හිතමු. ඒ එක්කම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනට බහිනවා. සංචිත වලින් ඩොලර් ගත්තත් ඔය ඩොලර් ටික මිල දී ගන්න රජය රුපියල් හොයා ගන්නත් අවශ්‍යයිනේ. මේ වෙලාවේ හරි හමං බදු ආදායමකුත් නැති නිසා ඔය සල්ලි ටික හොයා ගන්න වෙන්නෙත් භාණ්ඩාගාර බිල්පත් විකුණලා. 

ඩොලර් බිලියනයක් මිල දී ගන්නනම් රුපියල් බිලියන 200ක භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. යන ක්‍රමේට ඔය භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් ආපහු මහ බැංකුවටම විකුණයි කියන එකත් නරක උපකල්පනයක් නෙමෙයිනේ. අපි ඔය රුපියල් බිලියන 200න් රුපියල් බිලියන 128 මහ බැංකුවට විකිණුවා කියා හිතමු. දැන් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,200 දක්වා ඉහළ යනවා. එම බැරකම් ආවරණය කරන්න තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට අඩු වෙලා. 

මේ වගේ තත්ත්වයක් යටතේ මහ බැංකුවට ද්‍රවශීල තත්ත්වයේ ඉන්න පුළුවන් වෙන්නේ ඩොලරයක මිල කීයට ගියොත්ද? රුපියල් බිලියන 1,200 බිලියන තුනෙන් බෙදා බලන්න!

ලංකාව දැන් පවතින තත්ත්වය යටතේ ආර්ථික අර්බුදය මුලින්ම හිස ඔසොවනු ඇත්තේ විදේශ අංශයේ අර්බුදයක් විදිහටයි. එහිදී මුලින්ම විය හැක්කේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාම. ඉහත කී ගණනය කිරීම අනුව බැලුවොත් ඩොලරයක මිල රුපියල් 400ක් දක්වා යන එක වුනත් වෙන්න බැරි දෙයක් නෙමෙයි. මම කියන්නේ එහෙම වෙනවාම කියන එක නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ආර්ථිකයේ සමතුලිතතාවය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. හොඳ අතට වගේම නරක අතටත්. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ නරක අතට වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙන බවයි.

රුපියල් 400 නෙමෙයි රුපියල් 300 දක්වා ඩොලර් එක වැඩි වුනා කියමු. ඒ එක්කම රටේ බඩු මිලත් නොවැලැක්විය හැකි ලෙස විශාල ලෙස ඉහළ යනවා. රජයේ විදේශ ණය වල රුපියල් අගයත් ඉහළ ගිහින් රජයේ අයවැය පරතරය තවත් වැඩි වෙනවා. අයවැය පරතරය පියවන්න තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඊට පස්සේ විෂම චක්‍රයක සර්පිලාකාර ගමනක් මිසක් ගොඩයාමක් නැහැ.

මේ කිසිවක් මගේ ප්‍රාර්ථනාව නෙමෙයි. ඒ වගේම මට විතරක් තේරෙන දේවලුත් නෙමෙයි. මේවා තේරෙන අය ලංකාවේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමේ ඉන්නවා. ඒ අය, තත්ත්වය පාලනය කර ගන්න මොනවා හරි කරයි කියා මම හිතනවා. කොහොම වුනත් ඕක තමයි මම දකින විදිහට මේ වෙද්දී ලංකාවේ තත්ත්වය.

31 comments:

  1. //එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. //

    උපදින හැමෝටම තියෙනව වගකීමක්
    සමහරු ලබති ජන්මෙන් හොඳ හැකියාවක්
    හැකියාවෙන් ලියා තේරුම් කර දීමක්
    හැමටම කළෑකිද කියලත් හිතමු ටිකක්

    ReplyDelete
  2. // වාණිජ බැංකුවක බැරකම් වලට වඩා වත්කම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි.//

    මෙතන වත්කම් ,බැරකම් මාරුවෙන්න ඕනා නේද !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! නිවැරදි කළා.

      Delete
  3. මට මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිය ප්‍රශ්න ටිකක් තීනවා අහන්න


    A කියන රටේ මනුස්සයෙක්ගේ බැංකු ගිනුමක යම් සැලකිය යුතු මුදල්ක් තියෙනවා නම්, සහ ඉස්සරහට A කියන රටේ ආර්තිකය අනිවාර්‍යෙනම කඩා වැටෙනවා නම්,අර මනුස්සය කරන්න ඕන සල්ලී බැංකුවෙන් ගන්න එකද ,නැත්නම් දිගටම තියෙන එක ද ?

    නැත්නම් ඒ සල්ලී අරගෙන ඉඩමක් ගන්න එක වගේ ද?

    නැත්නම් තීන ඉඩම් වගේ දේවලුත් විකුනලා අර බැංකුවේ දාන එකද?

    ReplyDelete
    Replies
    1. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ආර්ථිකයක් විශාල අර්බුදයකට ගියහම මොනවා කළත් අන්තිමට වෙන්නේ පාඩුවක්. ඒ වගේම කළ යුතු හොඳම දෙය (අවම පාඩුවක් වන දෙය) තීරණය වන්නේ මුලින්ම අර්බුදයට හා හැක්කේ ආර්ථිකයේ කවර අංශද කියන එක මතයි.

      අතේ සල්ලි තියා ගැනීමට සාපේක්ෂව බැංකුවේ තියා ගැනීමෙන් උද්ධමනයෙන් යම් ආරක්ෂාවක් සැලසෙනවා. මොකද කීයක් හෝ පොලියක් ලැබෙනවනේ. නමුත් යම් හෙයකින් උද්ධමන අවදානමට වඩා බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම වැඩිනම් එසේ කිරීමෙන් සල්ලි නැතුවම යන්නත් පුළුවන්. ඉඩම් වගේ දෙයක ආයෝජනය කළොත් ඉඩම ඉතුරු වෙනවා. නමුත් කන්නවත් සල්ලි නැතුව ගොඩක් අය ඉඩම් විකුණන්න හෝ උගස් තියන්න ගත්තහම ඉඩම් මිලත් විශාල ලෙස වැටෙන්න පුළුවන්. වඩාත්ම සුරක්ෂිත මොනවා හෝ නිෂ්පාදනයක් සිදුවන දෙයක ආයෝජනය කිරීමයි. තේ, පොල් ඉඩමක් හෝ කුඹුරක් කියමු. එහෙම නැත්නම් රත්තරන් වගේ දේවල්. හැබැයි මම නැවතත් කියන්නේ ලංකාව තවමත් ඉන්නේ වල ගැට්ටේ මිසක් වලට වැටිලා නෙමෙයි. මොන විදිහකින් හෝ ඩොලර් බිලියන දෙක තුනක් හොයා ගත්තොත් දැනට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි එහෙම කළත් ආර්ථිකයේ ව්‍යුහමය ප්‍රශ්න විසඳුවේ නැත්නම් ටික කලක් යද්දී නැවතත් හිටපු තැනටම වැටෙනවා. ඒ වගේම ඩොලර් බිලියන දෙක තුනක් හොයා ගන්න එකත් මේ වෙලාවේ ලේසි නැති බව පැහැදිලියි. මම හිතන විදිහට ලංකාව ඇතුළේ මුලින්ම අර්බුදය දැනිය හැක්කේ ආනයනික භාණ්ඩ වල මිල විශාල ලෙස ඉහළ යාමක් හා විශාල ආනයනික භාණ්ඩ හිඟයක් ලෙසයි. ආණ්ඩුවේ ක්‍රමෝපාය වන්නේ විණිමය අනුපාතිකය වැඩි වෙන්න නොදී ආනයන සීමා කිරීම නිසා මුලින්ම වැඩිපුරම සිදු වනු ඇත්තේ ආනයනික භාණ්ඩ වල විශාල හිඟයක්. දේශීය නිෂ්පාදන වල මිල එකවර ඉහළ යන එකක් නැහැ. නමුත් බොහෝ දේශීය නිපැයුම් වලටත් කවර හෝ ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන නිසා දෙවන වටයකදී දේශීය නිෂ්පාදන වල මිලත් ඉහළ යාම වලක්වන්න බැහැ. ප්‍රාග්ධන සංචිත තියෙන අයට ඉඩම් වැනි දේ කුණු කොල්ලයට මිල දී ගන්න අවස්ථාවක් සැලසෙන්න පුළුවන්.

      Delete
  4. ආර්තිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු රටවල මිනිස්සුන්ට්ට එම රටවල් අත් හැරලා ,නිතිමය ආකාරයට වීදේශ ගත විය හැකිද ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ආර්ථිකය කඩා වැටීම මත එවැනි අවස්ථා හිමි වනවා කියා මම හිතන්නේ නැහැ.

      Delete
  5. //එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. //

    ඇත්ත. මේ බ්ලොග් එක කියවන්නේ ලංකාවේ ජනගහනයෙන් ඉතා සුළු පිරිසක්. මීට වඩා ලක්ෂ ගණනක් පියුමිගේ වීඩියෝ එක දවසට බලනවා ඇති. එත් ඉතින් කිහිප දෙනෙකුට හරි මෙහෙම ලියන එකට ස්තුති ඉකොන්.


    ඔය කියන විදියට තව බොහොම ටික කාලෙකින් ලංකාවේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වෙනවනම් (මස 2ක් ඇතුලත ඩොලර් එක 240 විතර වෙයි කියල හිතමු) මේ වෙලාවේ ලංකාවට රුපියල් වලින් එවන විදේශ ප්‍රේෂණ වල අඩුවෙක් වෙන්න පුළුවන් නේද. මේක ඉතින් මාසේ වියදම් විතරක් එවන අයට අදාල නෑ. ඒවා කොහොමත් එවන්න ඕනනේ. මම කිව්වේ සැලකිව යුතු මුදලක් මාස්පතා එවන අය ගැන. මොකද ඔය මිනිස්සු සල්ලි එවන්නේ රටේ ආර්ථිකය ගැන හිතල නෙමෙයිනේ. එහෙම උනොත් ආණ්ඩුව කබලෙන් ලිපට වැටෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මෙය විදේශ ප්‍රේෂණ ගලා ඒම් වලට ධනාත්මක ලෙස මිස සෘණාත්මක ලෙස බලපායි කියා මම හිතන්නේ නැහැ. ඔබ කියන මාස්පතා මුදල් එවන අය හැර විදේශගත බොහෝ අය ලංකාවට මුදල් එවන්නේ අනුකම්පාව මත පදනම්ව. ලංකාවේ නෑදෑයින්ගේ හිතවතුන්ගේ තත්ත්වය නරක් වන විට බොහෝ දෙනෙක් කීයක් හෝ වැඩියෙන් එවන්න පෙළඹෙනවා. විණිමය අනුපාතිකය වැඩි වූ විට ඩොලරයකින් ලංකාව ඇතුළේ තිබෙන ප්‍රයෝජනය වඩා ඉහළ යන නිසා එම පෙළඹුම වැඩි වෙනවා. දැනට වුවත් ඇත්තටම විදේශ ප්‍රේෂණ යම් තරමකින් හෝ වැඩි වෙලයි තියෙන්නේ. රජයට යම් හෝ සහනයක් වී තිබෙන්නේ අඛණ්ඩව ගලා එන විදේශ ප්‍රේෂණ. උතුරේ යුද්ධ තත්ත්වය හොඳටම උග්‍ර වී යාපනේ මිනිස්සුන්ට කිසිදු ආදායම් මාර්ගයක් නැතිව තිබූ වකවානු වල ඔවුන්ට ලැබුණු විදේශ ප්‍රේෂණ විශාල ලෙස ඉහළ ගියා. ගොඩක් පවුල් ජීවත් වුනේ රටින් සිටි සාමාජිකයෙක් විසින් නිල හෝ නිල නොවන මාර්ග වලින් එවපු සල්ලි වලින්.

      Delete
    2. මේ ආන්ඩුව ආවට පස්සෙ කොරෝනා නිසා ඩොලර් ආදායම අහිමි උනා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද? සන්චාරක හා විදේශ ප්‍රේශන නැති උනා කියන්නෙ

      Delete
    3. සංචාරක ආදායම් අඩුවුනා කියන එක පැහැදිලි කරුණක්නේ. එහෙත් ඒ නිසා රජයේ ආදායම් වලට විශාල බලපෑමක් වුනා කියා මම හිතන්නේ නැහැ. රජයේ ආදායම් අඩු වුනේ බදු අඩු කිරීම නිසා. සංචාරකයින් නොපැමිණීම නිසා වුනේ රටට එන ඩොලර් ප්‍රවාහ අඩු වීම.

      Delete
    4. රෙමිටන්ස් අඩු වෙලා නැද්ද?
      බදු අඩු වීමයි ඩොලර් හිඟයයි අතරෙ සම්බන්දයක් තියෙනවද?

      Delete
    5. //රෙමිටන්ස් අඩු වෙලා නැද්ද?//

      ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වෙලයි තියෙන්නේ. පසුගිය අවුරුද්ද තුළ ශ්‍රමික ප්‍රේෂණ වල රුපියල් වටිනාකම 2019ට සාපේක්ෂව 9.7%කින් වැඩි වුනා. ඩොලර් අගය 5.8%කින් වැඩි වුනා. රුපියල් බිලියන 1,317ක් හෙවත් ඩොලර් මිලියන 7,104ක් දක්වා. පසුගිය වසරේ රජයේ මුළු බදු ආදායමම මීට වඩා අඩුයි. එම ප්‍රමාණය රුපියල් බිලියන 1,217ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ නැත්නම් මේ වෙද්දී ලංකාවට යන එන මං නැති වෙලා. 2021 පළමු මාස වල ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ වල ඩොලර් අගය 2020 පළමු මාස පහට වඩා 18.2%කින් තව දුරටත් විශාල ලෙස වැඩි වී තිබෙනවා.

      //බදු අඩු වීමයි ඩොලර් හිඟයයි අතරෙ සම්බන්දයක් තියෙනවද?//

      බදු අඩු කිරීම නිසා රජයේ අයවැය හිඟය කවදාවත්ම නොවූ මට්ටමකට වැඩි වුනා. අයවැය හිඟය මේ තරමට ඉහළ ගිය විට එය පියවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා බවත්, එයින් රට ඉතා ඉක්මණින් අර්බුදයකට යන බවත් ඕනෑම විශ්ලේෂකයෙකුට තේරෙනවා. රජයේ අදූරදර්ශී හා අකාර්යක්ෂම රාජ්‍ය-මුල්‍ය කළමනාකරණය නිසා ණය ශ්‍රේණිගත කිරීම් විශාල ලෙස පහළ ගියා. රජය හා මහ බැංකුව ශ්‍රේණිගත කිරීම් විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරනවා මිසක් පෙන්වා දුන් වැරදි හදාගන්න කිසිවක් කළේ නැහැ. මෙතෙක් දිගින් දිගට ණය ගනිමින් ගහපු රෝල ගහගන්න බැරි වී ඩොලර් හිඟයක් ඇති වුනේ ඒ නිසයි. සංචාරක කර්මාන්තයේ කඩා වැටීමත් ඩොලර් අඩු වීමට බලපෑ නමුත් අනෙක් පැත්තෙන් ලාංකිකයින් විදේශ සංචාර නැවැත්වීම, ඉන්ධන ආනයන වියදම් අඩු වීම ආදී හේතු නිසා ඩොලර් ඉතිරි වීමක්ද සිදු වුනා. ශුද්ධ බලපෑම ඕනෑනම් ඩොලර් බිලියනයක පමණ අඩුවක් වෙන්න ඇති. ඒ නිසාම නැවත සංචාරකයෝ ආවා කියලා මේ තත්ත්වයේ විශාල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් වැටිලා ඉන්න තත්ත්වය අනුව ඩොලර් බිලියනයක් කියන්නේත් ගොඩක් වටිනා දෙයක්.

      Delete
    6. අයවැය පරතරය ඩොලර් හිඟයට බලපාන්නෙ කොහොමද කියන එක පැහැදිලි මදි. රේටින්ග්ස් පහල ගිහින් ඩොල්‍රර් නය ගන්න බැරි නිසාද? අය්වැය්ය හිඟය පියවන්නනම් ඩොල්‍රර්ම ඕනෙ නෑ නේද? දේශීය නය වලිනුත් පුලුවන්නෙ. මේ ගැන කලින් ලියපු ලිපි එහෙම නැතිද?

      Delete
    7. අයවැය හිඟය පියවන්න ඩොලර් අවශ්‍ය නැහැ. අයවැය හිඟය පියවන්න අවශ්‍ය වෙන්නේ රුපියල්. ඒ නිසා ඔබ කියනවා වගේ දේශීය ණය අරගෙන අයවැය හිඟය පියවිය හැකියි. නමුත් රජය විසින් ගෙවිය යුතු විදේශ ණය හා වාරික ගෙවන්න ඩොලර් අවශ්‍යයි. ඒ නිසා, දේශීය ණය අරගෙන අයවැය හිඟය පියවා ගත්තත් ඉන් පසුව විදේශ ණය හා වාරික ගෙවීම සඳහා එම රුපියල් ගෙවා කොහෙන් හෝ ඩොලර් මිල දී ගත යුතුයි. දැන් ප්‍රශ්නය ඒ විදිහට මිල දී ගන්න ඩොලර් රටේ නැති එකයි. ඒ නිසා විදේශ ණය යම් ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඒ විදේශ ණය රජය විසින්ම ගත යුතු නැහැ. රටේ කවුරු විදේශ ණය ගත්තත් රටට ඩොලර් එන නිසා රජයට ඒ ඩොලර් මිල දී ගත හැකියි. දැන් වෙන්නේ රජයේ ණය ගෙවන්න මහ බැංකුව ණය ගන්න එක. හැබැයි ඒ වැඩෙන් වෙන්නේ මහ බැංකුවත් අස්ථාවර වෙන එකයි.

      ඒ වගේම දේශීය ණය අරගෙන අයවැය හිඟය පියවා ගත හැකි බව ඔබ කිවුවත් අයවැය හිඟය වැඩි වන තරමට ගත යුතු ණය ප්‍රමාණයද ඉහළ යන නිසා එම ප්‍රමාණය සපයා ගන්න වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. එහිදී රජයේ වියදම් තවත් ඉහළ ගොස් නැවත වටයකින් අයවැය හිඟය වැඩි වෙනවා. ගොඩයාමක් නැති විෂම චක්‍රයක හිර වෙනවා. අයවැය හිඟය පාලනය නොකර දිගුකාලීනව කිසිසේත්ම ගොඩයන්න බැහැ. මේ කරුණු විස්තර කර කලින් ලියපු ලිපි ගණනාවක් තිබෙනවා.

      Delete
    8. හරි. ඔය පරන ගත්තු විදේශ නය නිසානෙ ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ. නැතුව මේ රජයෙ ප්‍රතිපත්ති වල වරදක් නෙමෙයිනෙ? මේ රජයෙ මූල්‍ය ප්‍රතිපත්ති මේක උත්සන්න වෙන්න බලපෑව කියල ඔබ කියන නිසා ඒක පැහැදිලි කරගන්න ඇහුවෙ.

      Delete
    9. ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ මූලික වශයෙන්ම රාජ්‍ය ණය නිසා. රාජ්‍ය ණය වලට දේශීය ණය වගේම විදේශ ණයත් ඇතුළත්. අයවැය හිඟය අඩු කිරීම හරහා රාජ්‍ය ණය අඩු නොකර දේශීය ණය වෙනුවට විදේශීය ණය හෝ විදේශීය ණය වෙනුවට දේශීය ණය ආදේශ කළා කියලා දිගුකාලීනව ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ණය සංයුතිය වෙනස් වීමේදී ලැබෙන බව පෙනෙන වාසියක් ඇත්නම් එය තාවකාලික එකක්. දේශීය හෝ විදේශීය හෝ ණය දෙන කෙනෙක් ණය ආපසු ලබා ගැනීමේ අවදානම ගැන සැලකිලිමත්. අයවැය හිඟය පාලනය කර ගැනීම වැදගත් සේ නොසලකන බව පෙන්වීම හරහා මේ ආණ්ඩුව විසින් සංඥා කළේ ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනය ඉතාම දුර්වල බවයි. දැනටත් මූල්‍ය වෙළඳපොළෙන් විදේශ ණය ලබා ගන්න පුළුවන්. නමුත් 15-20% පමණ පොලියක් ගෙවන්න වෙනවා. පොලී අනුපාතික මෙපමණ වැඩි වී තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වල දුර්වලතාවය නිසා. සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වෙද්දී හා/හෝ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වෙද්දී කොහොමටත් නැවත විදේශ ණය ගන්න වෙනවා.

      Delete
    10. ඔබ කියන දේ සන්ක්ශිප්ත කලොත් මේ වගේ දෙයක්ද වෙන්නෙ?
      රජයෙ විදේශ නය ගෙවන්න ඩොලර් ඕන. ඒ ඩොලර් ගෙවන්න අපි උපයන ඩොලර් මදි නිසා තවත් විදේසීය නය ගන්න වෙනව. නමුත් ආන්ඩ්ඩඩුව බදු අඩු කරපු නිසා රජයේ දේශීය ආදායම් අඩු උනා. එය රජයේ මූල්‍ය තත්වයට අහිතකරව බලපාල තියෙන්නෙ ඩිෆිසිට් එක වැඩිඋන නිසා. එය වක්‍රව විදේසීය මූල්‍ය ශ්‍රේනිගත් කිරීම් වලට බලපාපු නිසා තමයි ඩොලර් හිඟය ඇවිල්ල තියෙන්නෙ.

      Delete
    11. සෑහෙන දුරට හරි. කෙසේ වුවත්, විදේශීය මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කිරීමේ තිබෙන අවදානම වැඩි වීම පෙන්නුම් කරන දර්ශකයක් පමණයි. වැදගත් දෙය මූල්‍ය ශ්‍රේණිගත කිරීම් නොව එමගින් පිළිබිඹු වන සැබෑ අවදානමයි. විශාල ආයෝජකයින් බොහෝ දෙනෙක් සෘජුවම අයවැය හිඟය ඇතුළු ආර්ථික දර්ශක හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිරීක්ෂණය කරමින් ඔවුන් විසින්ම අවදානම තක්සේරු කරනවා. ඒ සඳහා කාලය නොයොදවා කෙළින්ම ශ්‍රේණිගත කිරීම් දිහා බලන්නේ සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරන අය.

      ඒ වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නොවන වෙනත් කරුණු වල බලපෑමක්ද තිබෙනවා. එය මා විසින් ප්‍රතික්ෂේප නොකරනවා වගේම කිසිවෙකුට බැහැර කරන්න බැහැ. කෝවිඩ් නිසා බලපෑමක් සිදු වූ බව පැහැදිලි කරුණක්. නමුත් කෝවිඩ් වලට පෙර රජයේ මූල්‍ය විනය හොඳ තත්ත්වයක තිබුනානම් පවතින තත්ත්වය කොවිඩ් නිසා ඇති වූ තාවකාලික අයහපත් තත්ත්වයක් බවත්, ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කිරීමේ දිගුකාලීන අවදානමක් නැති බවත් ආයෝජකයින් විසින් තේරුම් ගන්නවා. දැන් තිබෙන ප්‍රශ්නය කෝවිඩ් වලින් පසුවත් රජයේ මූල්‍ය තත්ත්වයෙහි දිගුකාලීන ස්ථාවරත්වයක් පෙනෙන්න නොතිබීමයි. වසර පහක හෝ දහයක කාලයකට ආයෝජනය කරන කෙනෙකුට කෝවිඩ් අදාළ නැහැ. ඔවුන්ට වැදගත් වන්නේ බැඳුම්කරය කල් පිරෙන අවස්ථාව වන විට සල්ලි ආපහු ලැබෙයිද කියන එකයි.

      Delete
  6. ඔබ කියනවා මේ තත්වය තේරෙන අය ලංකාවේ ආර්ථිකය පාලනය කරන කන්ඩායමේ සිටින බව. නමුත් මේ ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ කබ්රාල් වගේ අය.ඒ අස්සේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙක් වන කෙනෙක් බැසිල් ඇවිත් ආර්ථිකය හදයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙලා බැසිල් ට ආසනය දෙන්න සූදානම්. මේ වගේ අයද ආර්ථිකය නගා සිටුවන්න හදන්නේ. මගේ තව ප්‍රශ්නයක් තියනවා. දැන් ලංකාවේ රුපියල් භාවිතය නවත්තලා වෙනත් රටවල් කලා වගේ ඩොලර් භාවිතා කරන්න පටන් ගත්තොත් මේ අර්බුදයට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ද? කාම්බෝජය ඔවුන්ගේ මුදල් ඒකකයක් තිබියදීත් ඇමරිකානු ඩොලර් භාවිතා කරනවා. මේ වෙලාවේ දේසපාලුවන් බලය පිළිබඳ කෑදරකම අතෑරලා එකතු නොවුනොත් ගැලවීමක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මම ලියා තියෙන දේවල් මටම පමණක් වැටහෙන සුවිශේෂී දේවල් නෙමෙයි. මේ දේවල් ආර්ථික විද්‍යාව පිළිබඳවත්, ආර්ථික විද්‍යා දත්ත ගැනත් පුහුණුවක් තිබෙන අයට වගේම එවැනි විධිමත් පුහුණුවක් නැතත් විමසිල්ලෙන් විග්‍රහ කරන අයෙකුට පැහැදිලිව පෙනෙන දේවල්. අවාසනාවට බොහෝ දෙනෙක් ප්‍රකාශ නිකුත් කරන්නේ අවංකව නෙමෙයි. එක්කෝ පවතින රජයට පක්ෂව. එහෙම නැත්නම් විපක්ෂව. කෝවිඩ් වගේ දෙයක් ගත්තත් එහෙමනේ.

      රටක ආර්ථිකය විශාල ලෙස කඩා වැටුනොත් කොහොමටත් මුදල් ඒකකය අතාරින්න වෙනවා. සිම්බාබ්වේ වගේ රටවල් වලට එහෙම වුනා. වෙන රටක ශක්තිමත් මුදල් ඒකකයක් භාවිතයට ගැනීම උද්ධමන ප්‍රශ්නයට විසඳුමක්. (ලංකාවට තවමත් එවැනි උද්ධමන ප්‍රශ්නයක් ඇති වී නැහැ). එහෙත් ඒ එක්කම එම රටේ මුදල් සම්බන්ධ ස්වාධීනත්වය නැති වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් රජයට සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමේ හැකියාව නැති වෙනවා.

      Delete
  7. ගොඩක් ස්තූතියි ලිපියට. දැන් වයස අවුරුදු 30 ක් වෙලත් නොතේරුනු දේ දැන් තේරෙනවා මේක කියෙව්වට පස්සෙ. මට තව එක දෙයක් පුලුවන් නම් පැහැදිලි කරල දෙන්න. දැන් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම වැඩි වෙද්දි ඩොලර් සංචිත අඩු වෙනවා(රටට ඩොලර් එන්නෙ නැති නිසා). හරි නම් ඊට සමානුපාතික ලෙසින් ඩොලරයක මිල වැඩි වෙන්න ඕනා. මම හිතනවා ඒ විදිහට තමා මට මතත ඇති කාලෙයේ 120 වගේ තිබ්බ ඩොලරයක මිල දැන් 200 ට වගේ ඇවිත් තියෙන්නෙ. දැන් තියෙන අර්බුදෙත් එක්ක ඩොලරයක මිල 265.87 විය යුතු නමුත් කොහොමද 200 හිර කරන් තියන් ඉන්නෙ? ඇයි පසුගිය රජයවල් මේ විදිහට එක අගයක හිර කරල තිබ්බෙ නැත්තෙ? ඒ වගේම මේ විදිහට 200 ටත් හිර කරන් තියාගෙන ඉන්න බැරි වෙන සීමාව කොතනද තියෙන්න?

    ReplyDelete
    Replies
    1. මම කියපු මුළු තර්කයම වලංගු වෙන්නේ රුපියල් තියෙන මිනිස්සු රුපියල් ඩොලර් වලට මාරු කරන්න පටන් ගත්තොත්නේ. සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඒ රුපියල් වල පෙන්වන තරමේ වටිනාකමක් ඇත්තටම තිබෙන බව සිතා සිටින නිසා. ඒ වගේම සාමාන්‍යයෙන් මුදල් ඒකකයක මහ බැංකුව කියන වටිනාකම තිබෙනවා. එසේ නොවූ විටත් ඒ බව මිනිස්සුන්ට තේරෙන්න යම් කාලයක් යනවා. එතෙක් ඇදගන්න පුළුවන්. ඒ වගේම දැන් තියෙන තත්ත්වය යටතේ වුනත් ඩොලර් බිලියන දෙකක වගේ ණයක් අරගෙන ගොඩ දාගන්න පුළුවන්නේ. ඒ වගේ ණයක් ගත්තොත් නැවතත් අර රුපියල් 200 වටිනාකම එනවා. රජයට එවැනි ණයක් ගන්න පුළුවන් කියා බොහෝ දෙනෙක් විශ්වාස කරන තුරු විණිමය අනුපාතිකය පවත්වා ගන්න පුළුවන්. මෙතෙක් කල් කළේ ඔය සෙල්ලම තමයි. හිර වෙනකොට කොහොම හරි ණයක් අරගෙන ගොඩ දාගන්නවා. දැන් ඔය වැඩේ තවදුරටත් කරන්න අමාරු තැනකට ඇවිත් තියෙන්නේ. කොහොම හරි ණයක් අරන් ගොඩ දාගත්තත් ඒ ණය ගෙවන්න වෙන කොට නැවත හිටපු තැනමයි. ඒ නිසා යම් තරමක හෝ දිගුකාලීන ණයක්ම ගන්න වෙනවා.

      Delete
  8. What would happen when the bonds get matured? Does this increase the money supply ?

    ReplyDelete
  9. කෙටියෙන්ම ආන්ඩුවෙ රෙදි අප්පුල කියන්නෙ සන්චාරක කර්මාන්තෙ සහ රෙමිටන්ස් අඩුවුනා. ඉතින් ඩොලර් හිඟයි. ඒ දෙක ඕවර්නයිට් රිප්ලේස් කරන්න බෑ.
    ටැක්ස් අඩුකරපු නිසා බදු ආදායම අඩුවුනාට ඩොලර් අර්බුදේට ඒකෙ සම්බන්දයක් නෑ. ඩොලර් එන්නෙ නැත්තේ කොරෝනා නිසා ඉහත ආදායම් මාර්ග දෙක නැවතුන නිසා.
    බැලූ බැල්මට හරි වගේ පේනවනෙ මේ තර්කෙ. මොකක්ද මේකෙ අවුල?

    ReplyDelete
    Replies
    1. රෙමිටන්ස් අඩු වුනේ නැහැ. වැඩි වුන එකයි වුනේ. සංචාරක කර්මාන්තය හරහා ලැබෙන ඩොලර්නම් අඩු වුනා. කලින් ප්‍රතිචාරයකට පිළිතුරු ලෙස මේ කරුණු විස්තර කළා. අදාළ කොටස් නැවත කොපි කරන්නම්.

      //ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වෙලයි තියෙන්නේ. පසුගිය අවුරුද්ද තුළ ශ්‍රමික ප්‍රේෂණ වල රුපියල් වටිනාකම 2019ට සාපේක්ෂව 9.7%කින් වැඩි වුනා. ඩොලර් අගය 5.8%කින් වැඩි වුනා. රුපියල් බිලියන 1,317ක් හෙවත් ඩොලර් මිලියන 7,104ක් දක්වා. පසුගිය වසරේ රජයේ මුළු බදු ආදායමම මීට වඩා අඩුයි. එම ප්‍රමාණය රුපියල් බිලියන 1,217ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ නැත්නම් මේ වෙද්දී ලංකාවට යන එන මං නැති වෙලා. 2021 පළමු මාස වල ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ වල ඩොලර් අගය 2020 පළමු මාස පහට වඩා 18.2%කින් තව දුරටත් විශාල ලෙස වැඩි වී තිබෙනවා.//

      //සංචාරක කර්මාන්තයේ කඩා වැටීමත් ඩොලර් අඩු වීමට බලපෑ නමුත් අනෙක් පැත්තෙන් ලාංකිකයින් විදේශ සංචාර නැවැත්වීම, ඉන්ධන ආනයන වියදම් අඩු වීම ආදී හේතු නිසා ඩොලර් ඉතිරි වීමක්ද සිදු වුනා. ශුද්ධ බලපෑම ඕනෑනම් ඩොලර් බිලියනයක පමණ අඩුවක් වෙන්න ඇති. ඒ නිසාම නැවත සංචාරකයෝ ආවා කියලා මේ තත්ත්වයේ විශාල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් වැටිලා ඉන්න තත්ත්වය අනුව ඩොලර් බිලියනයක් කියන්නේත් ගොඩක් වටිනා දෙයක්.//

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. //මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකු වල තැන්පතු සියල්ල ඩොලර් වලින් ගෙවලා, මුළු රටේම තියෙන රුපියල් ටිකත් ඩොලර් වලට මාරු කරලා දෙන්න. ඊට පස්සේ රුපියලුත් නැහැ. මහ බැංකුවකුත් නැහැ. රටේ මිනිස්සු හැමෝම අතේ ඩොලර් තියෙනවා. මිනිස්සු ඩොලර් වලින් ගනුදෙනු කරනවා. රජය ඩොලර් වලින්ම බදු අය කරගෙන ණය ගෙවනවා. රාජ්‍ය ණය ප්‍රශ්නය ඒ විදිහටම තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය එතැනින් ඉවරයි.//

    මෙහෙම උණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ නේද? මුදල් ඒකකය අත හැරියත්, ආනයන+ප්‍රේෂණ+සංචාරකයින් ගේන මුදල් කියන එකතුව අපනයන වලට වඩා වැඩි නම් ටිකින් ටික රටේ ඩොලර් හිඟයක් ඇති වෙලා කිසිවක් මිල දී ගන්න ඩොලර් නැති තත්ත්වයක් එන්න පුලුවන් නේද?

    සිම්බාබ්වේ වැනි රටවල් වලට දැනටම එහෙම වෙන්නෙ නැද්ද? එතකොට එයාල මොනවද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන් පවතින ක්‍රමය මත පදනම්ව හිතන්න කාලයක් තිස්සේ පුරුදු වීමෙන් පසු වෙනස් තත්ත්වයක් ගැන පරිකල්පනය කිරීම ටිකක් අසීරුයි. රුපියල් අහෝසි වී ඩොලර් ආදේශ වුනොත් ඔබ කියන කිසිවක් වැදගත් වන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ අපනයන+ප්‍රේෂණ+සංචාරකයින් ගේන මුදල් කියන එකතුව ආනයන වලට වඩා වැඩිද නැද්ද කියන එක ගැන හිතන්න මහන්සි විය යුතු නැහැ. ආනයන කරන කෙනෙක් ආනයනය කරන දේවල් වලට ඩොලර් වලින්ම බදු ගෙවා ලාබයක් තියාගෙන ඩොලර් වලින්ම විකුණනවා. රජයට ඩොලර් ආදායමක් ලැබෙනවා. ආනයනකරුට ඩොලර් ලාබයක් ලැබෙනවා. ආනයනය කිරීම සඳහා සහ බදු ලෙස ගෙවන්නේ විකුණුම් මිලට වඩා අඩු ඩොලර් ප්‍රමාණයක් නිසා ඩොලර් අඩුපාඩුවක් ඇති වන්නේ නැහැ. අපනයන කරන අය ඩොලර් උපයන නමුත් වැටුප් ආදිය ගෙවන්නෙත් ඩොලර් වලින්ම නිසා ඉතිරි වන්නේ ලාබය පමණයි. ඒ නිසා ව්‍යාපාරයක් ආනයන කළත් අපනයන කළත් වෙනසක් නැහැ. වැදගත් වන්නේ උපයන ලාබය පමණයි. ප්‍රේෂණ ලබන අය ඒ මුදල් රට ඇතුළේ ඩොලර් වලින්ම වියදම් කරනවා. එසේ නැත්නම් ඩොලර් වලින්ම බැංකුවක දමන්න පුළුවන්. බැංකු ඩොලර් වලින්ම ණය දෙනවා. ඩොලර් වලින්ම පොලී ගෙවනවා. සංචාරකයින් ගේන මුදල් සංචාරක හෝටල් ආදී තැන් වලට ලැබෙනවා. ඒවායින් සේවකයින්ට ඩොලර් වලින්ම වැටුප් ගෙවනවා. සැපයුම්කරුවන්ට ඩොලර් වලින්ම ගෙවනවා. රජයට ඩොලර් වලින්ම බදු ගෙවනවා. රජයේ සේවකයන්ට වැටුප් ලැබෙන්නෙත් ඩොලර් වලින්. හැමෝටම ආදායම් ලැබෙන්නේ ඩොලර් වලින් නිසා අපනයන+ප්‍රේෂණ+සංචාරකයින් ගේන මුදල් හා රට ඇතුළේ මොනවා හෝ කර උපයන ආදායම් අතර වෙනසක් නැහැ. කොයිවත් ඩොලර්. රජය තවදුරටත් ආදායමට වඩා වියදම් කරනවානම් වෙනස පියවා ගන්නේ දේශීය ණය වලින්ද විදේශීය ණය වලින්ද කියන එකෙත් වෙනසක් නැහැ. දෙවර්ගයම ඩොලර් ණය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: