වෙබ් ලිපිනය:

Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

25 comments:

  1. අතුරේ යන කල
    ලැබෙයි අතුරු ඵල
    උඳු වපුරන කල
    ලැබෙන්නෙ නෑ තල

    ReplyDelete
  2. භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර දෙක අතර වෙනස මොකක්ද.....බැදුම්කර කියන්නේ මහබැංකුව විසින් භාන්ඩාගාර බිල්පත් විකුනණ එකටද

    ReplyDelete
    Replies
    1. බිල්පත් කියන්නෙ අවුරුද්දක් ඇතුලත කල් පිරෙන සුරුකුම්පත්(කෙටිකාලීන)

      බැඳුම්කර කියන්නෙ අවුරුදු 2-30 අතර කාලයේ කල්පිරෙන සුරැකුම්පත්(දිගුකාලීන)

      Delete
    2. http://emgesathapaha.blogspot.com/2016/11/blog-post.html

      Delete
  3. අපි හිතමු ඩොලර් බිලියන ගෙව්වාට පස්සේ කිසිම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නැහැ කියලා.එහෙම තත්වයකදී මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන් ද

    ReplyDelete
    Replies
    1. වඩාත් නිවරදිව ඇහුවොත්
      //එහෙම තත්වයකදී ණය ගෙවීමේ අතුරු ඵලයක් විදිහට මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන් ද

      Delete
    2. ඩොලර් බිලියනය ගෙවූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 200කට මඳක් වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා. එවිට මුදල් සැපයුම කලින් මට්ටමේම තබා ගැනීම සඳහා එපමණ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් මිල දී ගන්න වෙනවා. එහිදී මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් අච්චු ගැසීමක් කියා කියන්නේ සංචිත මුදල් ඉහළ දැමෙන කවර හෝ ක්‍රියාවක්. මෙහිදී එවැන්නක් සිදු වන්නේ නැහැ. අච්චු ගසා කලින්ම එළියට දමා තිබුණු මුදල් මහ බැංකුවට ආපසු පැමිණීම සහ එම සල්ලි වෙනත් ක්‍රමයකින් නැවතත් එළියට දැමීමක් වෙන්නේ. එසේ එළියට යන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල්. මම හිතන්නේ ඔබ අහන්නේ ඩොලර් ගෙවීමෙන් පසුව මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන හිටියොත් වෙන්නේ කුමක්ද කියන එක වැනි දෙයක්. එහිදී මුදල් සැපයුමේ හැකිලීමක් වෙනවා. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිරුද්ධ දෙය කියා කිව හැකියි. මෙහිදී කර තිබෙන්නේ එය නිශේධනය කිරීමක්.

      Delete
  4. විදේශ වත්කම් වැඩි උනොත් හරි මිලදී ගත්තොත් හරි නෙමේද සල්ලි අච්චු ගහන්නෙ.

    විකිණීමේ ප්‍රතිඵලයකට අච්චු ගහන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. අච්චු ගැසීමක් නැති බව මා පැහැදිලි කර තිබෙන්නේ ඒ නිසා තමයි. විදේශ වත්කම් විකිණීමේදී වෙන්නේ කලින් අච්චු ගසා තිබුණු මුදල් නැවත නොම-මුදල් බවට පත් වීමක්. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් එය වැළකෙනවා.

      Delete
  5. හර්ෂ ද සිල්වා පවසනවා ලංකාව මුහුණ දී සිටින්නේ liquidity ප්‍රශ්නයකට වඩා solvency ප්‍රශ්නයක් කියලා. මේ ගැන ඔබේ අදහස කුමක්ද

    ReplyDelete
    Replies
    1. මෙය සංකීර්ණ දෙයක්. ඔහු මෙය පවසන පදනම මට තේරෙනවා. එහෙත් ඔහු සලකා නොබලන කරුණු නිසා මම මේ ප්‍රකාශය සමඟ එකඟ නැහැ. මූල්‍ය වත්කම් පමණක් සලකා බැලුවොත් මේ ප්‍රකාශය නිවැරදියි. ඒ වගේම මෙය මෑතකාලයකදී ඇති වූ ප්‍රශ්නයක්ද නෙමෙයි. වසර 60ක පමණ ඉතිහාසයක් තිබෙන ප්‍රශ්නයක්. මූල්‍ය වත්කම් පමණක් සලකා බැලුවොත් ලෝකයේ රටවල් වලින් අඩක් පමණ solvent නැහැ. එහෙත් මූර්ත වත්කම්ද සලකා බැලුවොත් ලෝකයේ ඕනෑම රටක් solvent. උදාහරණයක් ලෙස රජය සතු ඉඩම් යම් ප්‍රමාණයක් විදේශිකයන්ට විකුණා විදේශ ණය ගෙවිය හැකියි. වෙනත් භෞතික සම්පත්ද විකිණිය හැකියි.

      Delete
  6. මහා බැංකුව මුදල් අච්චු ගහන්නේ කොහෙද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව මුදල් අච්චු ගැසීම ලෙසින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මුදල් නෝට්ටු භෞතිකව මුද්‍රණය කරන එක නෙමෙයි.

      Delete
  7. මතෘකාවට අදාල නැති දෙයක් දැන ගන්න ඕනා
    , දන්නවා නම් කියන්න පුලුවන් ද stochastic processes වලට ලියවෙලා තියෙන සිංහල පොත් තියෙනවා නම් එවයේ නම් එහෙම

    ReplyDelete
    Replies
    1. මේ හා අදාළ සිංහල පොත් ගැනනම් මම දන්නේ නැහැ. කණගාටුයි.

      Delete
  8. යහපාලන කාලෙ ගත්තු විදේශ නය නේද වැඩිම? ඒව අරගෙන මොකද කලේ?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නයට මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ.

      Delete
    2. දැනගන්න පුලුවන්ද මොකද උත්තර නොදෙන්න්නෙ කියල?

      Delete
    3. මේ ප්‍රශ්නයෙන් හරියටම අදහස් කෙරෙන්නේ කුමක්ද කියන එක පැහැදිලි නැහැ. අහල තිබෙන ප්‍රශ්නය දැනට තිබෙන විදේශ ණය වලින් වැඩි කොටස යහපාලන කාලයේ ගත්ත ණයද කියන එකනම් පිළිතුර නැහැ කියන එකයි. දළ වශයෙන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ රටේ විදේශ ණය ඩොලර් බිලියන 12කින් පමණ ඉහළ ගියා. ඊට පෙර දශකයේදී ඩොලර් බිලියන 33කින් පමණ ඉහළ ගියා.

      දෙවන ප්‍රශ්නයත් එතරම් තේරුමක් නැති ප්‍රශ්නයක්. කවර ආණ්ඩුවක් යටතේ වුවත් ගන්න ණය යෙදවෙන්නේ අයවැය හිඟය පියවීමටයි. ආදායමට වඩා වියදම් කළ විට අඩුව පුරවන්න දේශීය හෝ විදේශීය ණය ගන්න වෙනවා.

      Delete
    4. නමුත් යහපාලනයවගේ නෙමෙයි, මහින්ද රජය විදේශ ණය අරන් රට සන්වර්දනය කලා නේද? GDP එක 25 බිලියන් ඉඳල 80බිලියන් කලා

      Delete
    5. මම හිතන්නේ පහත ලිපිය ඔබේ ප්‍රශ්නයට අදාළයි.

      ගෝටාට අසූව ඩබල් කළ හැකිද?
      http://economatta.blogspot.com/2020/08/blog-post_13.html#comment-form

      Delete
  9. ඉකොනො, ජූලි 27 බිලියන එකහමාර ගෙවල තියෙන්නෙ කොහොමද? සන්චිත විකුනලද?එහෙමනම් ඉතිරි කොච්චරද?

    ReplyDelete
    Replies
    1. බිලියන එකහමාරක් ගෙවන්න තිබුණේ නැහැ. ඩොලර් බිලියනයයි. පොලියත් එක්ක බිලියන 1.03125ක්. සංඛ්‍යාලේඛණ එළියට එන තුරු නිශ්චිත කිව නොහැකි වුනත්, මෙය ගෙවා තියෙන්නේ සංචිත විකුණා බව ඉතාම පැහැදිලියි. ඒ අනුව, මේ වෙද්දී සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 පමණ දක්වා අඩු වී තිබිය යුතුයි.

      Delete
  10. Yield එක ඍණ වෙන්නේ ඇයි? ඒ වගේ අවස්ථාවක කවුරු හරි බිල්පතක ආයෝජනය කරන්නේ මොන වගේ අරමුණකින් ද?

    ReplyDelete
    Replies
    1. මෙය ඉතා කලාතුරකින් විය හැකි දෙයක්. ඒ වගේම බොහෝ විට සෘණ පැත්තට යන්නේ යාන්තමින්. එය මුදලේ ආරක්ෂාව වෙනුවෙන් කරන ගෙවීමක් කියා සිතිය හැකියි. සේප්පුවක සල්ලි තියන්න වාර්ෂිකව මුදලක් ගෙවනවා වගේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: