වෙබ් ලිපිනය:

Friday, September 10, 2021

ඩොලරයේ මිල ස්ථාවර වුනේ කොහොමද?


පසුගිය සති කිහිපය තුළ ඩොලරයේ මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ ඉහළ යමින් තිබුණු බව අපි දැක්කනේ. මහ බැංකුවේ නිල විණිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 203ක් පමණ වුවත්, වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල රුපියල් 226-232 වැනි පරාසයකයි තිබුණේ. හැබැයි එකවරම වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල නැවතත් මහ බැංකුවේ මිලටම පහත වැටුණා. එහෙම වුනේ කොහොමද?

වාණිජ බැංකු වල ඩොලරයේ මිලෙන් නිරූපනය වුනේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ විණිමය අනුපාතයක්. විවිධ නියාමන කොන්දේසි හරහා ඩොලර් ඉල්ලුම සීමා කර තිබෙන නිසා මෙයත් ඩොලරයක හරි මිලනම් නෙමෙයි. එහෙත්, මහ බැංකුවේ මිලට වඩා හරි මිලට තරමක් හෝ කිට්ටු මිලක්. මහ බැංකුවේ මිල, ඉතා පැහැදිලිවම, නියම මිලට වඩා අඩු මිලක්.

මේ විදිහට ඩොලරයක මිල එහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලට වඩා පහළින් තියා ගනිද්දී ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඒ නිසා, මිල පහළින් තියා ගන්නනම් කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන ඉල්ලුමට ගැලපෙන පරිදි සැපයුම වැඩි කළ යුතුයි. කාලයක් තිස්සේම ලංකාවේ ඩොලරයක මිල නියම මිලට වඩා පහළින් තියා ගන්නේ විදේශ ණය අරගෙන එම ඩොලර් වෙළඳපොළට පොම්ප කර සැපයුම වැඩි කිරීමෙන්. විදේශ ණය ගැනීම දිනපතා සිදුවන දෙයක් නොවන නිසා එදිනෙදා ඩොලරයේ මිල පාලනය කර ගන්නේ මහ බැංකුවේ තිබෙන රටේ නිල සංචිත විකුණා ඩොලර් සැපයුම වැඩි කිරීමෙනුයි. අඩු වන සංචිත නැවත පිරවෙන්නේ ණයක් ගත්ත වෙලාවට.

දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය රජයට තවදුරටත් විදේශ ණය ලබා ගැනීම අසීරු වී තිබීමයි. ඒ නිසා, ඩොලරයේ මිල පහළින් තියා ගැනීම සඳහා සංචිත විකුණන තරමට සංචිත නැවත පුරවාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත හොඳටම පහළ වැටිලා මහ බැංකුවට තව දුරටත් විණිමය අනුපාතය ආරක්ෂා කර ගන්න අමාරු මට්ටමකට ආවා. අන්තිමේදී මහ බැංකුව විණිමය අනුපාතය බේරා ගැනීම සඳහා සංචිත විකිණීම සීමා කරලා පසුගිය සති කිහිපය තුළ වාණිජ බැංකු වල ඩොලරයක මිල නිදහසේ ඉහළ යන්න ඉඩ හැර තිබුණා. මෙය මහ බැංකුව පැත්තෙන් සිදුව තිබුණු බව පෙනුණු යම් "හැරවුමක්".

කොහොම වුනත්, මේ වෙද්දී මහ බැංකුව විසින් නැවතත් ඩොලරයේ මිල සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. මෙවැන්නක් කිරීම "මිල අධික" කටයුත්තක් බව කිව යුතු නැහැ. ඩොලරයක මිල පහළින් තියා ගන්නනම් අඛණ්ඩව වෙළඳපොළට ඩොලර් සපයන්න වෙනවා. පෙනෙන්නට තියෙන්නේ මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදී ලැබුණු එස්ඩීආර් ඩොලර් කර එම ඩොලර් විකුණමින් සිටින බවයි. 

පසුගිය අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක් ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මේ වන විටත් ඩොලර් වලට හුවමාරු කරගෙන තිබෙනවා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා.

අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කර තිබෙනවා. ඒ නිසා, අගෝස්තු අවසානයේදී සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 3,550ක් දක්වා පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු සංචිත මෙන්ම බංග්ලාදේශ බැංකුවෙන් ලබා ගත් මුදල්ද මහ බැංකුවේ විදේශ බැරකම් යටතට වැටෙන නිසා මේ ලැබීම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන්නේ නැහැ. පසුගිය මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක පමණ මට්ටමකට පහත වැටී තිබුණා. පසුගිය මාසයේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය සැලකූ විට මේ වෙද්දී මහ බැංකුවේ විදේශ වත්කම් එහි බැරකම් වලට වඩා අඩු විය යුතුයි. ඒ කියන්නේ රජය හා රටේ බැංකු පද්ධතිය වගේම මහ බැංකුවත් මේ වෙද්දී ලෝකයට ණයකරුවෙක් කියන එකයි. 

මහ බැංකුව විසින් ඩොලරයේ මිල නැවත සිය පාලනය යටතට ගනිද්දී ආණ්ඩුව විසින් මහ බැංකුවේ පාලනයද අතට ගෙන ඇති බවක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකු අධිපති වරයා ඉල්ලා අස්වෙන්නට යන්නේ ඔහුගේ ධුර කාලයෙන් විශාල කොටසක් ඉතිරිව තිබියදී පමණක් නොව කලින් සැලසුම් කළ බව කියන දිනයටද සති කිහිපයක් කලිනුයි.

45 comments:

  1. ශවේන්ද්‍රටවත් කියන්න නන්දේ
    පොඩ්ඩක් බලන්න කියලා උනදේ

    ReplyDelete
  2. ඉකොනෝමැට්ටා දැන් සති දෙකකට විතර කලින් ලිව්වේ ඉදිරී මසයේ ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා.

    මේ තියෙන්නේ ඒ ලිපිය. කොයිදෝ යන්නේ මසකට පස්සේ...

    ඔකේ තියෙන දේවල් මොනවත් උනේ නැහැ. ආණ්ඩුව කොහොම හරි තත්වය පාලනයකට අරගනිමින් ඉන්නවා. තත්වය කිව්වේ ආර්ථිකය සහ සෞඛ්‍යය දෙකම.

    ඉකොනෝගේ අනාවැකි හැමදාම වැරදි. ජන්දේ ගැන දාපු අනාවැකි උනත් ඔක්කොම වැරදි.

    ඉකොනෝ හැමදාම කියන්නේ ලබා මාසේ ලොකු ආර්ථික අර්බුධයක් එනවා, ලබන අවුරුද්දේ අර්බුදයක් එනවා වගේ කතා, හැබැයි එහෙම එකක් එන්නේ නැහැ. එක්කෝ ඉකොනෝ කොරහෙත් කිඹුලෝ දකින කෙනෙක්. එහෙම නැත්තං සර්ව අශුභවාදී පට්ට නෙගටිව් මිනිහෙක්.

    ඔයාම නිකං 2015 ඉදන් මේකේ දාපු දේවල් ගැන බලන්නකෝ. මොනවද හරි ගියේ කියපු දේ වලින්?

    -රංග තේනුවර(GTRZ)-

    ReplyDelete
    Replies
    1. //ඔකේ තියෙන දේවල් මොනවත් උනේ නැහැ. ආණ්ඩුව කොහොම හරි තත්වය පාලනයකට අරගනිමින් ඉන්නවා. තත්වය කිව්වේ ආර්ථිකය සහ සෞඛ්‍යය දෙකම.//

      අන්තිම කෝවිඩ් රෝගියාත් සනීප වෙලා, ණයත් ඔක්කොම ගෙවලද? අහන්නත් සන්තෝසයි!

      Delete
    2. //ඉකොනෝ හැමදාම කියන්නේ ලබා මාසේ ලොකු ආර්ථික අර්බුධයක් එනවා, ලබන අවුරුද්දේ අර්බුදයක් එනවා වගේ කතා, හැබැයි එහෙම එකක් එන්නේ නැහැ.//

      ඒක නේන්නම්! ආනයන පාලනය කරලා, මහ බැංකු අධිපති අස්වෙලා, ආණ්ඩුවේ ආදායම් අඩු වෙලා, බංග්ලා දේශයෙනුත් ණය අරගෙන, ආදී බොරු ප්‍රවෘත්ති හැම තැනම දකින කොට අපිට හිතෙන්නේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලයි. වැඩේ කියන්නේ ආණ්ඩුවේම ඇමතිලා කියන්නෙත් බොරුනේ! දැන් පේන විදිහට කවදාවත් ආර්ථික අර්බුදයක් එන එකක් නැහැ වගේ.

      Delete
    3. ඉකොනෝමැට්ටා,

      තමා ප්‍රවේශම් උනොත් හොදයි. බොරුවට අසත්‍ය ලියලා ෆේස්බුක් එකවුන්ට් එකට කෙලවගත්තා වගේ මේකත් බ්ලොක් කරගන්නේ නැතුව.

      -රංග තේනුවර(GTRZ)-

      Delete
    4. http://elakiritalk.blogspot.com/2010/09/?m=1

      Delete
    5. //ෆේස්බුක් එකවුන්ට් එකට කෙලවගත්තා වගේ මේකත් බ්ලොක් කරගන්නේ නැතුව.//

      අපෝ එහෙම කරන්න එපා. මම ජීවත් වෙන්නේ මේ බ්ලොග් එක නිසානේ. මේක බ්ලොක් වුනොත් කන්නෙ බොන්නේවත් කොහොමද? දැන් මම ලියන්න ඕනෑ ලංකාවේ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳිලා කියලද? ලියන්න ඕනෑ දේ පැහැදිලිව කියන්න. නැත්නම් අපි කොහොමද දන්නේ ඔයාට අවශ්‍ය සත්‍යය මොන වගේ එකක්ද කියලා.

      Delete
    6. ඉකොනෝමැට්ටා,

      ඔබ සමග පෞද්ගලික අරෝවක් නැහැ. එනමුත් ඔබ ලියනා දෑ ගැන ගැටළුවක් තිබෙනවා. ඔබ ලියු දෑ අසත්‍ය නිසානේ ඔබගේ බ්ලොග් අඩවිය ෆේස්බුක් එකෙනුත් අයින් කරේ. ඒ නිසා අසත්‍ය ලියන්න එපා. ඔබගේ අනාවැකි සියල්ලම පාහේ වැරදි. ඒක පිළිගන්න මුලින්.

      -රංග තේනුවර(GTRZ)-

      Delete
    7. කවුද මේ හිවල් මොටා

      Delete
    8. //ඒ නිසා අසත්‍ය ලියන්න එපා. //
      අප දිගින් දිගටම කර තිබෙන්නේ වැරදි තොරතුරු වලට එරෙහිව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමයි. මෙහි කවර හෝ අසත්‍ය දෙයක් ඇත්නම් ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැකියි.

      //බ්ලොග් අඩවිය ෆේස්බුක් එකෙනුත් අයින් කරේ.//
      ෆේස්බුක් වාරණයට හේතු වී තිබෙන්නේ විවිධ අය මෙහි ප්‍රතිචාර කොටසේ දමා ඇති දේවල් මිස අප ලියූ දේ නොවේ. ඒවා එකින් එක සොයා බලා ඉවත් කිරීමට කාලයක් නැති නිසාත්, මේ අවස්ථාවේ අපට ෆේස්බුක් එක එතරම් වැදගත් නැති නිසාත් මෙය අප ප්‍රශ්නයක් කරගෙන නැහැ. අපට අවශ්‍ය වන විටෙක අප නැවත ෆේස්බුක් එනවා.

      //ඔබගේ අනාවැකි සියල්ලම පාහේ වැරදි.//
      මෙය අපගේ අදහස් හා විශ්ලේෂණ සටහන් කරන තැනක් මිස අනාවැකි කියන තැනක් නොවේ. ඒ නිසා කරුණාකර අනාවැකි හොයා ගෙන මෙහි එන්න එපා. අනාවැකි අවශ්‍යනම් විශ්ව ශක්තිය ඇති අයෙක් හෝ වෙනත් ක්‍රමයකින් අනාවැකි කියන කෙනෙක් වෙත යන්න.

      Delete
    9. අල්ලල දාන්න ඉකොනො. ඔය අපතෙ යවන කාලය මොකක හරි ප්‍රශ්නයකට පිකිතුරක් දෙන්න යොමු කරා නම් වටිනව.

      Delete
  3. එදා ඉඳන් කරපු ගොන් වැඩේම කරමින් ණයට ලැබුණු ඩොලර් ටික විකුණලා තව ටික දවසක් අල්ලාගෙන ඉන්න ඕනේ කියන තත්වෙට ආණ්ඩුව වැටිලා ද?
    කිසිම corrective action එකක් ගන්න බවක් පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවන්න වෙන තුරු ලැබුණු ඩොලර් ටිකෙන් අදියි වගේ!

      Delete
    2. මාස 4 ක් අදින්න ඇතිද? තෙල් ගන්නත් තියනවා

      Delete
    3. මේ බැදුන්කරය ගෙවන්න තියෙන්නේ කොයි කාලයේද?

      Delete
    4. ජනවාරි 18. ජූලි 25 තවත් එකක් තිබෙනවා.

      Delete
    5. ඊලඟට ගෙවන්න තියෙන්නෙ කවද ගත්තු ඒවද? ගියපාර ගෙව්වෙ 2011 ඒව නේද?

      Delete
    6. 2012 ජූලි 25 දින ගත් ඩොලර් බිලියනයක් හා 2016 ජූලි 18 දින ගත් මිලියන 500ක්.

      Delete
    7. මේවගෙ දත්ත හොයාගන්න විදිය ගැන ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ලිපියක් විදියට දාන්න බැරිද? අපි වගෙ ලේමන්ලට තේරෙන විදියට

      Delete
    8. හැම දෙයක්ම එක තැනක නැහැනේ. තිබිය හැකි විවිධ තැන් පරීක්ෂා කර දත්ත සොයා ගත යුතුයි. එය තරමක් පුහුණුවක් අවශ්‍ය වැඩක්. ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් බලා ගෙන කළ හැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. එවැන්නක් හැදුවත් ටික කලක් යද්දී මුලින් තිබුණු තැන් වලින් දත්ත එලෙසම හොයාගන්න බැරි විය හැකියි. හැබැයි දත්ත හොයන්න උනන්දුවක් ඇති වී පටන් ගත්තට පස්සේ අමාරු වැඩක් නෙමෙයි. කාලයක් යද්දී එකවරම අවශ්‍ය තැනට යන්න පුළුවන්කම ලැබෙනවා. මම පෞද්ගලිකව ගත්තොත් විවිධ තැන් වලින් ගත් මට නිතර අවශ්‍ය වන දත්ත පරිගණකයේ ගබඩා කරගෙන තියා ගන්නවා. ලංකාවේ ආර්ථිකය හා අදාළ අලුත් දත්ත බොහෝ විට ගන්නේ මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, වෙනත් රජයේ දෙපාර්තමේන්තු, සුරැකුම්පත් කොමිසම ආදී තැන් වලින්. ලෝක බැංකුව, IMF, WHO, FAO වැනි ජාත්‍යන්තර සංවිධාන වලිනුත් දත්ත ගන්නවා. මම ලිපි වල හා ප්‍රතිචාර වල ඉදිරිපත් කරන හැම දත්තයක්ම පොදු අන්තර්ජාල අවකාශයක තිබෙන දත්ත. එසේ නැති දත්ත ලැබුණත් මම සාමාන්‍යයෙන් ඒවා මත පදනම්ව බ්ලොග් සටහන් ලියන්නේ නැහැ. මේ දත්ත ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දත්ත. එහෙත් හරියටම අවශ්‍ය දෙය ගන්න බොහෝ විට යම් දත්ත සැකසීමක් කරන්න වෙනවා.

      Delete
  4. මේක මහ බැංකුව ඩොලර් විකුණලා කරන දෙයක්ද නැත්නම් බැංකු බය කරලා කරන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. පසුගිය මාස වල සුළුවෙන් වුවත් මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිමිනුයි සිටියේ. පසුගිය මාසයේ ශුද්ධ වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 175ක් පමණ විකුණලා තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් විකිණීමක් කරන බව පැහැදිලියි. තිබෙන දැඩි ආනයන පාලන සමඟ මෙවැනි ඩොලර් ප්‍රමාණයක් විකුණා විණිමය අනුපාතය පාලනය කළ හැකියි.

      Delete
  5. ලංකාවේ ආර්ථිකය ගැන අදහසක් සාමාන්‍ය කෙනෙක් exchange rate එක බලල ගන්නවා වගේ සරලව සාමාන්‍ය ඇමෙරිකානු වැසියෙක්ටත් තේරෙන ඇමෙරිකානු නිර්නායකය මොකද්ද?


    ReplyDelete
    Replies
    1. විරැකියා අනුපාතය. මෙය මිනිස්සුන්ට සෘජුවම දැනෙන දෙයක්.

      Delete
  6. දිගටම ආනයන පාලනය කලොත් විදේශ ණය අඩු වෙනවද? මේ අවුරුදු දෙක තුල මොකෝ විදේශ ණය වලට වෙලා තියෙන්නෙ? වැඩිවෙලාද අඩු වෙලාද?

    ReplyDelete
    Replies
    1. ආනයන පාලනය කළා කියලා විදේශ ණය අඩු වෙන්නෙවත් වැඩි වෙන්නෙවත් නැහැ. අලුතෙන් විදේශ ණය ගන්න බැරි තත්ත්වයක් යටතේ, තියෙන ණය ගෙවද්දී විදේශ ණය අඩු වෙනවා. එහිදී ඩොලර් හිඟයක් ඇති වෙනවා. ආනයන පාලනය එම ඩොලර් හිඟය හමුවේ කරන්න සිදු වී තිබෙන දෙයක්. එසේ නැත්නම් ණය පැහැර හරින්න සිදු වෙනවා.

      Delete

    2. 2019 අවසානයේ සිට 2021 ජූනි අවසානය දක්වා වසර එකහමාරක කාලය තුළ රජයේ විදේශ ණය රුපියල් බිලියන 431කින් ඉහළ ගොස් තිබෙනවා. අලුත් සංඛ්‍යාලේඛණ වල විදේශ ණය වලින් කොටසක් දේශීය ණය වලට එකතු කර තිබෙන නිසා මේ ගණන මීට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම, මේ කාලය තුළ මහ බැංකුව හා වාණිජ බැංකු විසින් අරගෙන රජයට දුන් ණයත් ඇත්තටම විදේශ ණයයි.

      Delete
    3. ප්‍රශ්නය වෙන විදියකට ඇහුවොත්, මේ ඉහල ගිය ණය මේ රජයෙ ණයද?

      //අලුත් සංඛ්‍යාලේඛණ වල විදේශ ණය වලින් කොටසක් දේශීය ණය වලට එකතු කර තිබෙන නිසා //
      මේක කරන්නෙ කොහොමද?

      Delete
    4. //මේ ඉහල ගිය ණය මේ රජයෙ ණයද?//
      මේ ආණ්ඩුව පත් වීමෙන් පසුව ඉහළ ගිය විදේශ ණය ප්‍රමාණය.

      //මේක කරන්නෙ කොහොමද?//
      ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ලාංකිකයන්ගේ මුදල් විදේශීය ගොඩෙන් දේශීය ගොඩට දමා තිබෙනවා.

      Delete
    5. ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල පදනම් කරගෙන පෙන්නුම් කරන එකත් මේ වගේම ඇස්බැන්දුමක් ද

      Delete
    6. ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ ණය කියන ලිපියෙ ලියල තියෙන පදනම මත ඉඳල. මේ ණය වැඩිවෙලා තියෙන්නෙ පරණ ගත්තු ණය ගෙවීම සඳහානම් මේ ආණ්ඩුවෙන් ගත්තු ණය විදියට සලකන්න බෑ නේද රාජ්‍ය ණය වැඩි උනත්? ඒ අර්තයෙන් ගත්තම මේ වැඩිවෙල තියෙන ණය අයිති වෙන්නෙ පරණ ආන්ඩු වලටද?
      මේකටම තව ඇඩ් කලොත්, ණය වැඩිවීම ගන්න ඕන සන්චිත අඩුවීමත් එක්ක එකතු කරලද?

      Delete
    7. //ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල පදනම් කරගෙන පෙන්නුම් කරන එකත් මේ වගේම ඇස්බැන්දුමක් ද//

      මෙසේ පෙන්වීමේ තාක්ෂනික වැරැද්දක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. නමුත් මේ සංඛ්‍යා වල පැහැදිලි දෘෂ්ඨි මායාවක් තිබෙනවා. ඇත්ත ණය පෙනෙන ණය මෙන් දෙගුණයකට කිට්ටුයි.

      Delete
  7. ඉකොනො ඩොලර් එක පාවෙන්න දෙන්න කියන්නෙ ඒකෙන් ආනයන ඉබේම පාලනය වෙන නිසා කියල මම හිතන්නෙ. ඒ වෙනුවට මේ ආකරයෙන් ආණ්ඩුව ආනයන පාලනය කරන එකෙනුත් ඒකම නේද වෙන්නෙ. ඊට අමතරව ඒ ඉතිරි වෙන ඩොලර් ටිකෙන් ඩොලර් මිල පාලනය කරගත්තම ආණ්ඩුවට වාසියි නේද? ආර්තිකයට මේ ඇප්‍රෝච් දෙක බලපාන්නෙ එකම විදියට නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔවු සමානකම් තිබෙනවා. ඒ වගේම වෙනස්කම්ද තිබෙනවා. විණිමය අනුපාතය ඉහළ ගිය විට ආනයන පාලනය වන්නේ ස්වභාවිකයි. ඒ වගේම ආනයන පාලනය වීමට අමතරව රටට එන ඩොලර් වැඩිවීමක්ද වෙනවා. ආනයන පාලනය කෘතීම තත්ත්වයක්. මෙහිදී ආනයනය කරන දේ, කරන අය, තීරණය වන්නේ ආණ්ඩුවේ කැමැත්ත මතයි. එමගින් තමන්ගේ හිත මිතුරන්ට සැලකීමට ඉඩ සැලසෙනවා. ආණ්ඩුවකට කිසි විටෙකත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම ලෙස ආනයන පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය ඉහළ ගිය විට මුලින්ම සීමා වන්නේ කාර්යක්ෂමතාවයට අහිතකර සේ බලපාන ආනයනයි. රජයේ පාලනය යටතේ එවැන්නක් වෙන්නේ නැහැ. ආනයන පාලනයට වඩා ගොඩක්ම හානිකර ඩොලරයේ මිල පාලනය කිරීමයි. ඒ නිසා රටට එන ඩොලර් අහිමි වෙනවා.

      Delete
    2. //ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ ණය කියන ලිපියෙ ලියල තියෙන පදනම මත ඉඳල. මේ ණය වැඩිවෙලා තියෙන්නෙ පරණ ගත්තු ණය ගෙවීම සඳහානම් මේ ආණ්ඩුවෙන් ගත්තු ණය විදියට සලකන්න බෑ නේද රාජ්‍ය ණය වැඩි උනත්? ඒ අර්තයෙන් ගත්තම මේ වැඩිවෙල තියෙන ණය අයිති වෙන්නෙ පරණ ආන්ඩු වලටද?//

      ඔබ අහල තියෙන ප්‍රශ්නය පිළිතුරු දීමට අසීරු ප්‍රශ්නයක්. "යහපාලන ණය සහ රාජපක්ෂ ණය" ලිපියේ කතා කරන්නේ රාජ්‍ය ණය ගැන. ඔබ මෙහි අහන්නේ විදේශ ණය ගැන. රජය විසින් ගන්න දේශීය ණය හා විදේශීය ණය එක ගොඩකට දමා වියදම් කරනවා මිසක් වෙන වෙනම වියදම් නොකරන නිසා එක් එක් කොටස වැය වුනේ මොනවාටද කියා හොයන්න අමාරුයි. එවැනි විශ්ලේෂණයක් කළ හැක්කේ සමස්තයක් ලෙස රාජ්‍ය ණය ගැනයි.

      //මේකටම තව ඇඩ් කලොත්, ණය වැඩිවීම ගන්න ඕන සන්චිත අඩුවීමත් එක්ක එකතු කරලද?//
      රටේ විදේශ ණය අවදානම ගැන කරන විශ්ලේෂණයකදී සංචිත අඩු/වැඩි වීමත් සලකා බැලිය යුතුයි.

      Delete
  8. උන්ඩියල් ක්‍රමයට මුදල් යැවීම ගැන ගොඩක් සදහන් වුනාට එය ඇත්තටම කරන ක්‍රමයක් දන්නවද (Sydney contact එකක් තිබෙනවානම් වඩා හොදයි.) ? එය කොතරම් save option එකක්ද?

    ReplyDelete
    Replies
    1. මම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති නැහැ.

      Delete
  9. ළිප ගිනි මොළවන තෙක් දිය හැළියේ
    සැපයක් යයි කකුළුව .....

    ReplyDelete
  10. පෝස්ට් එක කියවලා මට හිතුනෙ පාලනය කිරීම (control) සහ කළමනාකරණය කිරීම (manage) අතර වෙනස ආන්ඩුවකට හෝ පුද්ගලයෙකුට අවබෝධ කරගන්න පුලුවන් වුනොත් ඒකත් ලොකු පියවරක් ඉස්සරහට තැබීමක් කියලා.

    ReplyDelete
  11. ච්නද්‍රිකා රජයෙන් එක පාරක් ඩොලර් එක පා කලා නේද? ඊට පස්සෙ ආපහු ඒක නැති කලේ කොයි කාලෙද? පා කරන එක නැති කලේ ඇයි?

    ReplyDelete
    Replies
    1. නිල වශයෙන් තවමත් තිබෙන්නේ පාවෙන විණිමය අනුපාතික ක්‍රමයක්. එහෙත්, සංචිත විකුණමින් මිල පාලනය කරනවා.

      Delete
    2. චන්ද්‍රිකා පාකලෙත් එහෙමද?

      Delete
    3. නැහැ. සමස්තයක් ලෙස ගත්තත් චන්ද්‍රිකාගේ කාලය විණිමය අනුපාතය විශාල ලෙස පහත වැටෙන්න ඉඩ හළ කාලයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 1994-2004 අතර ආනයන 68%කින් වැඩි වෙද්දී අපනයන 79%කින් ඉහළ ගියා. එහෙත්, 2004-2014 අතර ඩොලරය අවශ්‍ය පමණ අවප්‍රමාණය වෙන්න නොදුන් නිසා අපනයන 143%කින් ඉහළ යද්දී ආනයන ඉහළ ගියේ 93%කින් පමණයි.

      Delete
  12. කලු සල්ලි ටිකක් එන වෙලාවේ කබ්බා මහා බැංකුවට රිංගන එකේ මොකක් හරි සම්බන්ධයක් නැද්ද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: