වෙබ් ලිපිනය:

Saturday, August 21, 2021

වසංගත බය, දුර්භික්ෂ බය හා ගෝටාබය


ගොඩක් අය ජනාධිපති ගෝටාබය රාජපක්ෂව සලකන්නේ දුර්වල සන්නිවේදකයෙක් ලෙසයි. කතාව බොරුවක්ම නෙමෙයි. නමුත්, හොඳ සන්නිවේදකයෙක් කියා කියන්නේ මොන වගේ කෙනෙකුටද? මහින්ද වගේ ඇදලා පැදලා "දැන් සැපද" කියලා අහන්න පුළුවන් කෙනෙක්ටද? සජිත් වගේ "ආදරණීය සදාදරණීය" කියලා පටන් ගන්න කෙනෙක්ටද? අනුර කුමාර වගේ "නැද්ද හා" කියල අහන කෙනෙක්ටද? 

ඊයේ කළ  ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ කතාවේදීනම් ඔහු කියන්න අවශ්‍ය දේ ඉතා හොඳින් සන්නිවේදනය කළා. ආලවට්ටම් වැල් වටාරම් නැතුව පොයින්ට් එකට කරපු කතාවක් කියා කියන්න පුළුවන්. සුපුරුදු පුරාජේරුවනම් පොඩ්ඩක් තිබුණා. සමහර විට ලියලා දීපු කතාවක් කියෙවුවා වෙන්න පුළුවන්. ඒක අදාළ කරුණක් නෙමෙයි. කතාව කළේ ගෝටාබය.

කතාවක හොඳ නරක එහි ඉලක්කගත කණ්ඩායම අනුව වෙනස් වන දෙයක්. පොයින්ට් එකට කරන කතා හැමෝටම හරියන්නේ නැහැ. ඒ වුනත්, මැතිවරණ වේදිකාවකදී කරන කතා කොහොම වුනත්, රාජ්‍ය නායකයෙකු විසින් කතාවක් කරද්දී එහි අන්තර්ගතය දිහා ඇතැම් විට ලෝකයම බලා ඉන්නවා. මේ කතාවේ වැදගත් සංඥා ගණනාවක් තිබෙනවා. 

කෝවිඩ් සැමදා අප සමගය කියන අදහස වසංගතය ආරම්භයේදීම ප්‍රචලිත වූ අදහසක්. අදහසට පදනම් වුනේ බටහිර විද්‍යාත්මක චින්තනය වුවත්, විද්‍යාව මත පදනම් වූ මෙවැනි විශ්වාසයක් තහවුරු කළ හැකි සාධක ඒ වෙද්දී තිබුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. කෝවිඩ් අප හැර නොයන බව ඉතා පැහැදිලියි. කෝවිඩ් සමඟ සහජීවනයකට යනු හැර විකල්පයක් කිසිදු රටකට නැහැ. 

පෘථිවිය මත වෛරස් සැරිසරන්න පටන් ගත්තේ මිනිස්සු බිහි වෙන්නට විශාල කාලයකට පෙරයි. වෛරස් ආසාදන කියන්නේ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරා මිනිස්සු වෛරස් ආසාදන වලින් මිය ගියා. කෝවිඩ් වසංගතය ආරම්භයේදී වෛරස් පිළිබඳව තිබුණු දැනුම තරම් දැනුමක් මීට පෙර කිසිදු වසංගත අවස්ථාවක මිනිස්සුන්ට තිබුණේ නැහැ.

ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. එහෙත්, කෝවිඩ් ආසාදනය පැතිරෙන ආකාරය පිළිබඳව බටහිර විද්‍යා දැනුමට කිට්ටුවෙන්වත් තැබිය හැකි වෙනත් කිසිදු විකල්ප දැනුමක් නැති බව මේ වෙද්දී ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වී තිබෙනවා. බටහිර විද්‍යා දැනුම වුවද පරිපූර්ණ දැනුමක් නෙමෙයි.

කෝවිඩ් හමුවේ මිනිස් සංහතිය හමුවේ දැනට තිබෙන එකම සාර්ථක අවිය එන්නත්කරණයයි. වෙනත් අවි තිබිය හැකි වුවත් ඒ කිසිවක සාර්ථකත්වය තහවුරු වී නැහැ. එහෙත් එන්නත්කරණයේද සීමාවන් තිබෙනවා. එන්නත්කරණය මගින් වුවද කෝවිඩ් මිහිමතින් තුරන් කළ නොහැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. කෝවිඩ් සදා අප සමඟයි!

එන්නත්කරණය මගින් කෝවිඩ් ලෝකයෙන් හෝ ලංකාවෙන් තුරන් කළ නොහැකි වුවත් පාලනය කළ හැකියි. වල් අලි තරම් හීලෑ අලි දරුණු නැහැ. හීලෑ අලින්ද ඇත් ගොව්වන් ඔසොවා පොළොවේ ගහනවා. එහෙත්, හීලෑ අලින් නිසා වල් අලින්ගෙන් තරම් හානි හෝ මරණ සිදු වන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුව වසංගතය ආරම්භයේදී පෙරහරේ ගෙනිච්චත්, හීලෑ අලින්ගෙන් මෙන් කෝවිඩ් හදන වෛරසයෙන් වැඩ ගන්නනම් බැහැ. 

වසංගතය ආරම්භයේදී කෝවිඩ් මර්දනය කළ හැකි එන්නත් පිළිබඳව තිබුණේ බලාපොරොත්තුවක් පමණයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක ආණ්ඩුවකට මෙය දුරස්ථ බලාපොරොත්තුවක්. දියුණු වන රටවල්ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් එන්නත් හදන වැඩේට අත ගැහුවත් ලංකාව එවැන්නක් කළ හැකි තැනක හිටියේ නැහැ. ඒ නිසා, ලංකාවට වෙන රටක එන්නත් හැදෙන තුරු බලා ඉන්න සිදු වී තිබුණා. මුල් කාලයේ ලංකාවේ ආණ්ඩුව අනුගමනය කළ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න ඇතත්, සමස්තයක් ලෙස අදාළ ක්‍රියාවලිය පිළිබඳව වැරැද්දක් කියන්න බැහැ. 

මේ වන විට ලංකාවේ ආණ්ඩුව එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තබා ඇතුවාක් මෙන්ම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඒ බව සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවම එන්නත් කිරීමෙන් පසුව වුවත් ලංකාවෙන් කෝවිඩ් තුරන් වෙන එකක් නැහැ. හැමදාම රට වහගෙන ඉන්නත් බැහැ. 

කෝවිඩ් එක්ක ජීවත් වෙන්නනම් දිගින් දිගටම එන්නත් අවශ්‍ය වෙනවා. පරීක්ෂණ කට්ටලද අවශ්‍ය වෙනවා. වසරකට වරක් රටේ ජනගහණය එන්නත් කරන එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්. එහෙත්, මෙවැන්නක් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. යටිතල පහසුකම් ප්‍රශ්නය විසඳා ගැනීම හා පවතින සෞඛ්‍ය ආකෘතිය තුල වැඩේ සංවිධානය කර ගැනීම අසීරු වන එකක් නැතත්, මේ වැඩේට දිගින් දිගටම මුදල් හා විදේශ විණිමයත් අවශ්‍ය වෙනවා. ලංකාවේ රජයට නැත්තේම ඔය දෙකයි!

රට වැහීම කියා කියන්නේ මිනිස් ජීවිත හා ආර්ථිකය අතර සිදු කරන තේරීමක් නෙමෙයි. ආර්ථිකය කියා කියන්නෙත් මිනිස් ජීවිතම තමයි. දෙපැත්තේම තියෙන්නේ මිනිස් ජීවිත. රට වැහීමෙන් මිනිස් ජීවිත බේරෙනවද අහිමි වෙනවද කියන එක පවතින තත්ත්වය අනුව තීරණය වන, වෙනස් වන දෙයක්.

තාවකාලිකව මොනවා කළත්, ආණ්ඩුව මේ වෙලාවේ සිතිය යුත්තේ පවතින තත්ත්වය දිගුකාලීනව කළමණාකරණය කර ගන්නේ කොහොමද කියන එකයි. ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය ආරම්භ කළ හැකිනම් එය වසංගත ප්‍රශ්නයට වගේම ආර්ථික ප්‍රශ්න වලටද තාවකාලික මෙන්ම දිගුකාලීන විසඳුමක්. මේ වෙලාවේදී චීනයට තිබෙන භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මේ වැඩේට ප්‍රයෝජනයට ගත හැකියි. 

එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්. මේ වගේ වැඩ වලට ලාංකිකයෝ දක්ෂයි. මම කියන්නේ තිබෙන එන්නත් වල මාත්‍රා නිෂ්පාදනය කිරීම ගැන පමණක් නෙමෙයි. එය කෙටිකාලීනව හා මැදිකාලීනව හොඳ ඉලක්කයක්. දිගුකාලීනව අලුත් එන්නත් හදන වැඩේටත් අත ගහන්න බැරිකමක් නැහැ. එක් නිශ්චිත එන්නතක් සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩු වුවත්, වැඩේ දිගටම කරගෙන යද්දී එකක් පත්තු වුනොත් ලැබෙන වාසිය ඉතා විශාලයි. මාත්‍රා නිෂ්පාදනය වුවත් අපනයනය ඉලක්ක කරගෙන කළ හැකිනම් විශාල වෙළඳපොළක් තිබෙනවා. එය ලේසියකට නැති වන වෙළඳපොළක් නෙමෙයි.

4 comments:

  1. //එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්. මේ වගේ වැඩ වලට ලාංකිකයෝ දක්ෂයි.
    සිංහල බාශාව සන්නිවේදන බාශාව හැටියට යොදාගෙන කරනවා නම් මේ වගේ වැඩ වඩාත් සාර්ථක වෙයි.

    ඩෙල්ටා ටොෆි ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කිරීමෙනුත් තවදුරටත් විදේශ විනිමය උපදවා ගත හැකියි.

    ReplyDelete
  2. ඩස්ට් කැප් එකක් අතේ තියාගන බයිසිකලයක් හදන්න ඉතිරි කෑලි හොයන වැඩක් වගේ පෙනුනට ලංකාව දකින්න ඕන හීනයක් තමයි "එන්නතක් නිපදවීමේ කලාව".

    ReplyDelete
  3. හොඳයි තමයි මෙරටම හැදුවම එන්නත්
    ඉතිරියි පිටට දෙන සෑහෙන සල්ලියකුත්
    හැබැයි කෙරෙන්නේ නැත මෙය කවදාවත්
    කොමිස් කාක්කෝ සුන් නේ මේක වුණොත්!

    ReplyDelete
  4. 'එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්'ගැනනම් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් ඉහලම පුටුවෙ ඉන්න කෙනාට වඩා කවුරු හෝ දක්ශ හෝ ජනප්‍රිය වුනොත් ඒ තැනැත්තාව කපලා දානවනෙ. රජතුමාගෙ 'ඇඳුම' වර්ණනා කිරීමට වැඩි දෙයක් වියත්, නොවියත් කාටවත් කරන්න ඉඩ තියෙනවද.

    ඉකොන් දිගටම විවිධ බය ගැන ලියපු නිසා ඊගාවට ලියන්නෙ මොන බය ගැනද. බයිඩන්ගෙ තීරන නිසා ඇෆ්ගන් මිනිස්සුන්ට (අමෙරිකන්, බ්‍රිටිෂ්, ඔසී හමුදාවලට උදව් කල අයට) ඇතිවෙලා තියෙන බය ගැන ලියනවද.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: