වෙබ් ලිපිනය:

Thursday, August 19, 2021

උද්ධමන බය


මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ වගේම සංචිත පොලී අනුපාතිකයද ඉහළ දමා තිබෙනවා. මේ හරහා මහ බැංකුව විසින් සංඥා කර තිබෙන්නේ මහ බැංකුවටද උද්ධමන බය දැනී තිබෙන බවයි. ඒ වගේම, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව නොපසුබට වන බවද මේ හරහා සංඥා කර තිබෙනවා.

මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම පිළිබඳව විශාල බියක් මේ වන විට ජනගත කරනු ලැබ තිබෙනවා. මේ බිය පදනම් විරහිත බියක්ම නෙමෙයි. කෙසේ වුවත්, මේ කියන සල්ලි අච්චු ගැහීම මූලික වශයෙන්ම මහ බැංකුවේ විදේශ සංචිත විකිණීමේ අතුරු පලයක්. ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය මිසක් සල්ලි අච්චු ගැහීම නෙමෙයි. එය ද්වීතියික ප්‍රශ්නයක්. ද්වීතියික ප්‍රශ්නයද විශාල ප්‍රශ්නයක් විය හැකි නමුත් එයට මුහුණ දෙන්න වෙන්නේ මුල් ප්‍රශ්නයට මුහුණ දීමෙන් පසුවයි.

කෝවිඩ් හමුවේ ලෝකයේ බොහෝ රටවල් වල මහ බැංකු විශාල වශයෙන් සල්ලි අච්චු ගහන්න පෙළඹුණා. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සිදුවිය යුතුව තිබුණු දෙයක්. කෙසේ වුවත්, ලංකාවේ රජයේ ආදායම් අඩු වී වියදම් වැඩි වුනේ කෝවිඩ් නිසාම නෙමෙයි. වසංගතයට පෙර ආණ්ඩුව විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව එක පැත්තකින් ආදායම් අඩු කර ගනිමින් අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් වැඩි කර ගත්තා. ඒ හරහා අයවැය හිඟය විශාල ලෙස පුළුල් කර ගත්තා. 

ආණ්ඩුව මෙහෙම කළේ ඇයි? දේශපාලනිකව මෙය ජනප්‍රියවාදී ප්‍රවේශයක්. රජයෙන් ලැබෙන දේවල් වැඩියෙන් අරගෙන අඩුවෙන් බදු ගෙවන්න මිනිස්සු කැමතියි. ඊට අමතරව, ලිහිල් රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තියක් දිගින් දිගටම පවත්වා ගැනීමෙන් ආර්ථිකය දිගින් දිගටම ප්‍රසාරණය කළ හැකිය යන විශ්වාසයද මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ තිබෙනවා. මේ සඳහා අයවැය හිඟය වගේම අඩු පොලී අනුපාතිකද නඩත්තු කළ යුතුයි.

රජයේ අයවැය හිඟය ඉහළ යද්දී ඒ අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතා අසීරු මට්ටමකට පත් වීමත් සමඟ මේ සඳහා ඉතිරිව තිබුණු විකල්පය දේශීය ණය ගැනීමයි. එහිදී පොලී අනුපාතික ඉහළ යනවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තබා ගනිමින් පොලී අනුපාතිකද පහළ මට්ටමක තබා ගත හැක්කේ විදේශ ණය දිගින් දිගටම ලබාගත හැකිනම් පමණයි. එය කළ නොහැකි වූ විට, එක්කෝ පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. එසේ නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. සල්ලි අච්චු ගැහීම උද්ධමනයට හේතු වූ විට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වන නිසා මෙය තුවාලය කැසීමක් පමණක්.

වසංගතය නිසා ලංකාවට එන ඩොලර් ප්‍රවාහ වල අඩුවීමක්ද සිදු වුනා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය හරහා රටට ගලා ආ ඩොලර්. මේ නිසා, රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් නැති වීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනා. මේ වගේ වෙලාවක මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රයෝජනයට ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සංචිත තියා ගන්නේම ඔය වගේ හදිසියකට ගන්න. නමුත් ප්‍රශ්නය ලංකාව සතුව මහා ලොකු විදේශ සංචිත ප්‍රමාණයක් නොතිබීමයි.

රජයට මහ බැංකුවෙන් ඩොලර් සෘජුවම මිල දී ගන්න වගේම බැංකු පද්ධතිය හරහා වක්‍ර ලෙස මිල දී ගන්නත් පුළුවන්. මහ බැංකුවෙන් සෘජුවම ඩොලර් මිල දී ගන්නා විට මහ බැංකුවට රුපියල් ආපසු එන නිසා මුදල් සැපයුම පහළ යනවා. එවිට මහ බැංකුවට නැවත මුදල් සැපයුම ප්‍රතිස්ථාපනය කරන්න සිදු වෙනවා. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න සිදු වෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළෙන් මිල දී ගත්තොත් ද්වීතියික වෙළඳපොළේ පොලී අනුපාතික පහළ යනවා. එහෙත් කෙළින්ම රජයෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් පොලී අනුපාතික වලට එවැනි බලපෑමක් වෙන්නේ නැහැ. 

රජයට මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නය වසංගතය නිසා ඇති වූ ඩොලර් ප්‍රශ්නය පමණක්නම් සල්ලි අච්චු ගැහීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජය රුපියල් දී මහ බැංකුවෙන් ඩොලර් ගන්නවා. මහ බැංකුව ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන රුපියල් එළියට දමනවා. මුදල් සැපයුම ස්ථාවරයි. පොලී අනුපාතිකත් අඩු වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. 

එහෙත් රජයට තිබුණේ ඩොලර් ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. විශාල අයවැය පරතරයක්ද පියවිය යුතුව තිබුණා. රජය මහ බැංකුවෙන් සංචිත මිල දී ගැනීම සඳහා ගෙවූ රුපියල් මහ බැංකුවෙන්ම ලබාගත් රුපියල්. ඒ නිසා, මහ බැංකුවට වසංගතය හමුවේ පොලී අනුපාතික අඩු කරන්න තව ගලක් ගහන්න වුනා. ඒ තමයි සංචිත පොලී අනුපාතික පහළ දැමීම.

දැන් මහ බැංකුව නැවතත් සංචිත පොලී අනුපාතික වැඩි කරලා. උද්ධමන පාලන උපාය මාර්ගයක් ලෙස ගත් මේ තීරණය නිසා පුළුල් මුදල් සැපයුම හැකිලෙනවා. රජයට දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීම වඩා අසීරු වෙනවා. ඒ වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන්න සිදු වෙනවා. එයට අනුරූපව ව්‍යවස්ථාපිත පොලී අනුපාතිකද ඉහළ දමා තිබෙනවා.

මේ එක්කම රජයේ දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් ඉහළ යන නිසා රාජ්‍ය අයවැය හිඟය මත පීඩනය තවත් වැඩි වෙනවා. ආදායම් වැඩි කර ගැනීම ගැන නොහිතනවානම් වියදම් කපන්න සිදු වෙනවා. මොන විදිහකින් හෝ රටට ඩොලර් ඇවිත් මහ බැංකුවේ සංචිත ඉහළ දාගත හැකි වුවහොත් එක්කෝ මහ බැංකුවට එම ඩොලර් මිල දී ගන්න අලුත් රුපියල් යොදාගන්න වෙනවා. එහිදී උද්ධමනය වැඩි විය හැකි නිසා නැවතත් පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් වැඩි වන ඩොලර් සංචිත වලට අනුරූපව භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. එහිදීත් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනය වලක්වා ගන්න අවශ්‍යනම් අයවැය හිඟය පාලනය නොකර ආණ්ඩුවට බේරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 

11 comments:

  1. මේ වෙලාවේ ආණ්ඩුව මොන තීරණය ගත්තත් මේ අර්බුධයෙන් ගොඩ එන්න බැරිද? ආණ්ඩුවට කරන්න පුළුවන් ප්‍රයෝගික දෙයක් මොකක්ද ඔබට පෙනෙන විදියට?

    දැන් නැවත රට සති දෙකක අවම ලොක් ඩවුන් එකකට යාමට ඉඩ ඇති බව වාර්තා වෙනවා. එහෙම උනොත් ආර්ථිකයට ඒක කොහොම බලපායිද?

    ReplyDelete
    Replies
    1. //මේ වෙලාවේ ආණ්ඩුව මොන තීරණය ගත්තත් මේ අර්බුධයෙන් ගොඩ එන්න බැරිද?//
      ආර්ථික අර්බුදයක් කියන්නේ ඔන් ඕෆ් ස්විච් එකක් වගේ දෙයක් නෙමෙයි. කරන දේවල් වලින් එහි දිග පළල තීරණය වෙනවා.

      //ආණ්ඩුවට කරන්න පුළුවන් ප්‍රයෝගික දෙයක් මොකක්ද ඔබට පෙනෙන විදියට?//
      මෙහි සඳහන් ඇතැම් දේ අඩු වැඩි වශයෙන් දැනටත් කරනවා.
      1. අර්බුදයක් තිබෙන බව තේරුම් ගැනීම හා පිළිගැනීම
      2. අර්බුදයට හේතුව කෝවිඩ් නොවන බව තේරුම් ගැනීම හා පිළිගැනීම
      3. මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ හා දැනටද අනුගමනය කරන ඇතැම් ප්‍රතිපත්ති අර්බුදය උග්‍ර කළ/කරන බව තේරුම් ගැනීම හා පිළිගැනීම.
      4. තාවකාලික දේශපාලන වාසි අමතක කිරීම (මෙය විපක්ෂයටද එක සේ අදාළයි).
      5. මේ අවස්ථාවේදී එදා වේල විසඳුම් නැතුවම බැරි නිසා එවැනි විසඳුම් සපයන අතරම දිගුකාලීනව (වසංගතය අවසන් වීමෙන් හෝ සාමාන්‍යකරණය වීමෙන් පසුව) අවශ්‍ය වන දිගුකාලීන විසඳුම් වෙනුවෙන් දැන්මම සෘජුව පෙනී සිටීම. මේ යටතේ,
      - ඉදිරි වසර වල රජයේ වියදම් තව දුරටත් වැඩි නොකරන බව සෘජුව ප්‍රකාශ කිරීම
      - හදිසි නොවන වියදම් කපා හැරීම
      - තාවකාලිකව වර්ධන ඉලක්ක අතහැර ආර්ථික ස්ථායීතාවය ලඟා කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීම හා ඒ බව ජනතාවට දැනුම් දීම
      - මහජන නියෝජිතයින් පුහුණු කර ඔවුන් හරහා ජනතාව දැනුවත් කිරීම
      - බදු පදනම් වැඩි කර ගැනීම සඳහා (බදු අනුපාතික නොවේ) අවශ්‍ය මූලික අඩිතාලම් දැමීම. මෙය ඉතාම වැදගත් කරුණක් වන අතර මෙය මේ සඳහා හොඳම අවස්ථාවද වේ. එසේම මෙය මේ ආණ්ඩුවට කළ හැකි දෙයක්.
      - ණය ගෙවීම සඳහා ණයට ඩොලර් ගැනීම නොවැලැක්විය හැකි වුවත් ණයට ගන්නා ඩොලර් වෙළඳපොළට සැපයීමෙන් වැලකීම හා එසේ නොකරන බව පැහැදිලිව පෙන්වා සිටීම.
      - විණිමය වෙළඳපොළේ ඉල්ලුම සැපයුම සමතුලිත කිරීම වෙනුවට ජංගම ගිණුම සමතුලිත කිරීම හා ඉන් පසුව අතිරික්තයක් කිරීම ඉලක්ක කිරීම, ඒ හරහා සංචිත වැඩි කර ගැනීම හා විණිමය අනුපාතිකය පසුපස පැන්නීම අතහැරීම.

      තවත් කරුණු ලියන්න පුළුවන්.

      //දැන් නැවත රට සති දෙකක අවම ලොක් ඩවුන් එකකට යාමට ඉඩ ඇති බව වාර්තා වෙනවා. එහෙම උනොත් ආර්ථිකයට ඒක කොහොම බලපායිද?//

      ලොකු බලපෑමක් වෙයි කියා මම හිතන්නේ නැහැ. මොකද ආණ්ඩුව මෙය නොකළත් සිදුවන හානිය වෙනවා.

      Delete
    2. අපේ පාලකයන්, දේශපාළුවන් හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ගැන විතරයිනේ. ලැජ්ජාවකුත් නෑ, කශේරුකාවකුත් නෑ ඇත්ත පිළිගන්න.

      Delete
  2. දේශප්‍රේමීත්වය ඉදිරියට දමාගෙන ලන්කාවෙ ඩොකාල සහ අනෙක් මාස් පඩිකාරයො නොවන උන් තමන්ගෙ බදු අඩුකරගන්න නේද මේ ආන්ඩුව ගෙනාවෙ.
    ඉකොනොට ඕනනම් මේරියන්ස් නලින් පෙරේර තරුනයා බෑන්ඩ් බෑන්ඩ් එකේ කරපු ඉන්ටර්විව් එකක් තියෙනව. 2015 යහපාලනෙට චන්දෙ දුන්න නලින්ල දැන් මේ ආන්ඩුවට කඩේයන්නෙ මොකද කියල ඕනනම් හින්ට් එකක් හොයාගන්න පුලුවන්.

    ReplyDelete
  3. //එහෙම නැත්නම් වැඩි වන ඩොලර් සංචිත වලට අනුරූපව භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා//
    මේ අලුත් භාණ්ඩාගාර බිල්පත් ද, නැත්නම් රජය විසින් මහ බැංකුවට කලින් විකුණා දැමූ ඒවාද

    ReplyDelete
    Replies
    1. හැම විටම භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන්නේ රජයයි. භෞතිකව මෙය කෙරෙන්නේ මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක වුවත් එහිදී මහ බැංකුව කටයුතු කරන්නේ රජයේ නියෝජිතයෙකු ලෙසයි. ඒ නිසා, මහ බැංකුවට අලුතෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ නොහැකියි. මෙහිදී විකුණන්නේ කලින් මිල දී ගත් බිල්පත්.

      Delete
  4. මුවන්පැලැස්සේ ආරච්චිලට උනදේම තමයි දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නෙත්. ආණ්ඩුවේ සල්ලි වලට උඩින් තව කවුරුහරි සල්ලි තැන්පත් කරපු නිසා ආණ්ඩුවේ සල්ලි ගන්න බැරුව ඇති.නැත්නම් ජොන්ස්ටන් ගොයියා කියපු විදියට ආණ්ඩුවට ඕන තරම් සල්ලි තිබුනනේ.

    ReplyDelete
  5. It was reported that Greek did not honor the bonds bought by SL gov upon matuarity.Can't we go and ask them back to pay back our money or place a gurantee to our oil supplier in the context of the recovered Greek economy.

    ReplyDelete
    Replies
    1. Greece ultimately honored their commitments. What really happened was, as happening with SL sovereign bonds now, prices dropped drastically when the risk of default escalated and SL sold its bonds in the secondary market at a huge loss before maturity. So, this loss has no direct connection with the issuer. The loss was the result of panic sell. (-which I think was a logical move under the circumstances)

      Delete
  6. Econo, it had been noticed the liquidity yesterday in the Sri Lankan banking sector was negative. The measures adopted by the Govt through increasing the lending rates and increasing SRR would further reduce the liquidity available. That means the bank interest rates would have to be raised substantially to get back the liquidity in the domestic market. My question is
    1) Would that be sufficient to contain the domestic inflation
    2) would containing the inflation be the priority of this hour, as the Sri Lankan inflation anyway is around mid single digits
    3) Does the reduction of imports through this mechanism be sufficient to overcome the dollar shortage issue (at least partially)

    ReplyDelete
    Replies
    1. 1. This is a difficult question. No person can precisely say what action is sufficient to manage inflation. Any central bank plays with the monetary policy tools on experimental basis, to some extent. CBSL has more data than I have as well as many professionals with required analytical skills to evaluate the situation and take necessary action. The important point is that CBSL has shown its commitment to maintain price stability when many people in the country have a concern. Economic variables do not behave exactly as the variables in a physics or chemistry laboratory experiment. Many outcomes depend on perceptions. If most Sri Lankans expect inflation soon, it will be there, no matter whatever the central bank does and whatever a mathematical equation would predict. This action, more than anything else, helps to manage expectations and strengthen the credibility of the bank.

      2. Yes. A central bank should always be proactive. When you notice inflation, it is too late for any action. The bank may have seen seeds of inflation.

      3. This has an effect but it will not overcome the dollar shortage.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: