වෙබ් ලිපිනය:

Tuesday, August 24, 2021

ජීවිතයක වටිනාකම අසීමිතද?


මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ. 

ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි. 

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!

හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.

කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.

මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.

"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."

මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර  එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.

මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ  වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?

සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි. 

ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි. 

තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්. 

පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.

සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.

දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.

රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.

මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.

කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,

මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි. 

16 comments:

  1. Replies
    1. ප්‍රාජේ එකඟ නැත්නම් නිදහසේ ප්‍රාජේගේ අදහස ඉදිරිපත් කරන්න. කිසිම බාධාවක් හෝ අමනාපයක් නැහැ.

      Delete
  2. w a විජේවෝදන නම් කියන්නෙ ජීවිතේක වටිනාකම අසීමිතයි කියල් නේද

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී එසේ සලකන්නේ නැහැ. එහෙම සලකනවානම් ආර්ථික විද්‍යා න්‍යායයන් බොහොමයක්ම වැරදි බව පහසුවෙන් පෙන්විය හැකියි.

      Delete
    2. බුවාගෙ ආර්තික විද්‍යාවෙනම් එහෙමයිලු.
      හීන් නුඉලෙන්ම ගෙව්ම ගහන එකෙක් තමයි. ඉස්සර හිටිය විගණිකාදිපති වගේ

      Delete
    3. යුරෝපයේ , ජර්මනියජිවිතයක් වටිනාකම වැඩියෙන්ම වගේ සලකන රටක් හැටියට ප්‍රසිද්ධයි (යුරෝපයට සාපේක්ෂව උතුරු ඇමෙරිකාවේ ඊට වැඩිය වැඩියි ) . ටිකක් ironic මටනම්. දෙවන ලෝක යුද්ධය එක්ක බැලුවහම. අති විශාල වෙනසක්. නමුත් අපේ දකුණු ආසියාතික රටවල ඒක යුරෝ 40000 වගේ අගයක් කියලනේ කියන්නේ.

      Delete
  3. තොපි දැනගනියව්.
    සුද්දෝ තව ටික කාලෙකින් මේ රට දාලා යනවා.
    අන් යන්නේ මංගල සමරවීර වගේ කළු සුද්දෝ බෝකරලා.
    උන් කියයි.
    දෙමලා, හම්බයා, මරක්කලයා,බෝරා කාරයා උන් ඔක්කොම එක සමානයි උන් හැමෝටම මේ රට අයිතියි කියලා. එදාට උඹලගේ ළමයින්ට වෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ නියව නියව ඉන්න.

    ReplyDelete
  4. උද්ඝෝෂනෙන් පඩි වැඩිවීමේ සම්භාවිතාව හොයන්න අමාරුයි.
    කෙනෙක් කියයි කෝවිඩ් නිසා එය වැඩිවෙයි කියලා.
    තව කෙනෙක් කියයි එය අඩුවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් වාස්තවික ලෙස හොයන එක ඉතාම අසීරු දෙයක්. එහෙත්, එක් එක් පුද්ගලයාට සාපේක්ෂ කවර හෝ ඇස්තමේන්තුවක් අවිඥානකව හෝ තිබෙනවා. එය හොයා ගන්න එක වුනත් පහසු දෙයක් නෙමෙයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන අයට සාපේක්ෂව මෙය වැඩිවීමක් මිස අඩු වීමක් විය නොහැකියි. පඩි අඩු කර ගැනීම සඳහා කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැහැ.

      Delete
    2. මම කිව්වේ උද්ඝෝෂණය සාර්ථක වීමේ සම්භාවිතාව ගැන.

      Delete
    3. ඔව්. ඒක හරි. උද්ඝෝෂණය සාර්ථක වීමේ සම්භාවිතාවට කෝවිඩ් තත්ත්වය වෙනස් වීම නිසා සිදුවන බලපෑම (ඔබ කියන්නේ ඒ ගැනනම්) අඩු හෝ වැඩි විය හැකියි. එහි දිශාව ගැන නිගමනයකට එන්න පැහැදිලි පදනමක් නැහැ.

      Delete
  5. @ Jagath Pathirana,

    මංගල සමරවීර අපෙන් සමුගෙන ගිය පසුවත් ඔහුට දොස් පැවරීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි, නමුත් ඔහු ගැන හොඳින් දන්නා කෙනෙක් විදියට බොහෝ දෙනෙක් නොකියන කතා මේවායි;

    * මංගල සමරවීර කවදාවත් ලිබරල්වාදියෙක් වුනේ නෑ. හොඳින් දේශපාලනය කියවන මිනිස්සු එකඟ වෙයි. ඔහු "ලයිෆ් ස්ටයිල්" කියන තැනකදී සාම්ප්‍රදායික දේශපාලකයෙකු ගෙන් චුට්ටක් වෙනස් ඇප්‍රෝච් එකක් තිබුන තවත් එක් සාමාන්‍ය මිනිහෙක් විතරයි.

    ඔහුගේ නිදහස් ලිංගිකත්වය වැනි සාධක නිසා ඔහු "ලිබරල්වාදියෙක්" විදියට හංවඩු ගැහුනා.

    * ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ, රටට දරන්න බැරි රාජ්‍ය සේවයක් ඇති කිරීමේ ප්‍රමුඛයා මංගල.

    මංගල තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජලසම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වල අමුතු කෝටා ක්‍රම ඇති කරලා රාජ්‍ය ආයතන වල තමන්ට සහ ලංකාව පුරාම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු වෙනුවෙන් පෝස්ටර් ගහපු, කොඩි වැල් ඇදපු සුදුසුකම් නැති උන් ලක්ෂ ගණනින් රජයේ රස්සා දුන්නේ.

    පසුකාලීනව රාජපක්ෂ රෙජීමය සහ සජිත්ලා ද අනුගමනය කරපු "උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු" කන්සෙප්ට් එක මුලින්ම නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් වෙනුවෙන් ගෙනාවේ මංගල.

    අද රටේ රජයේ සමස්ත බදු ඇතුළු ආදායම රුපියල් බිලියන 1350යි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් හා වැටුප් වියදම පමණක් රු. බිලියන 1,100යි. මේකට වගකියන්න අවශ්‍යවන ඉදිරිපෙළ සාමාජිකයෙක් මංගල සමරවීර (සහ පසුව රාජපක්ෂ රෙජීමය).

    * මංගල ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. තුවක්කු, මැරයො, මිනීමැරුම් වලට, ස්ත්‍රී දූෂණ වලට නම්දැරූ පාතාල මැරවරයන් රාශියක් එක්ක දේශපාලනය කරපු චරිතයක්.

    ලංකාවේ ඉතිහාසයේ දූෂිතම හා භයන්කාරම මැතිවරණයක් ලෙස මා දකින 1999 වයඹ පළාත් සභා මැතිවරණය චන්ද්‍රිකා වෙනුවෙන් ඉතාමත්ම අශික්ෂිත ජඩ සහ කාලකණ්ණි විදිහට මෙහෙයවූවේ මංගල. ඒ මැතිවරණයේ මංගල අණ දුන් පතාල කණ්ඩායම් කිහිපයක් හිටියා.

    මංගල මාතර දේශපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක සමග ගැටුමකින් දෙදෙනෙකු මිය ගොස් තවත් උපාධිධාරී උගත් තරුණයෙකුගේ ඇස් අන්ධ වුනා. වෙඩි තැබුවෙ මංගලගේ මැරයො. තවත් සෑහෙන පිරිසක් තුවාල වෙලා රෝහල් වල කට්ට කෑවා.

    එජාප නායකත්වයෙන් රනිල් ඉවත් කිරීමට එජාපයේ සැබෑ පාක්ෂිකයන් ආරම්භ කළ පාගමනට මාතරදි 4"×4" තඩි කුරුදු පොලු වලින් ගහලා, ඔළු පළලා වෙඩි තියෙව්වේ මංගල සහ ඔහුගේ මිනීමරු පාතාල මැර හමුදාව. බලයේ සිටි දූෂිත රාජපක්ෂ කල්ලියේද සහාය ඇතුව සිදුකළ මේ කිහිප දෙනෙක් ඝාතනයට ලක්වූ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව අදටත් අධිකරණයේ නඩුවක් තියෙනවා.

    කුප්‍රකට උඩතලවින්නේ දස පුද්ගල මනුෂ්‍ය ඝාතන සිදු කළේ රත්වත්තේගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කරපු මංගලගේ මැරයො. ආරක්ෂක ඇමති රත්වත්තේ සහ මංගල ඔවුන් ආරක්ෂා කළ අතර ඒ වෙනුවට මුදල් ගෙවා හමුදා නිලධාරීන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළා.

    මංගල සමරවීර ප්‍රජාතන්ත්‍රවාදියෙක් කීම ලොකු බොරුවක්.

    * මංගල සමරවීර හොරකම් කරලා නෑ.

    1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුලින්ම දූෂණ චෝදනා එල්ල වෙන්නේ මංගලට.

    මංගල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජපන් සමාගමක් එක්ක ගිවිසුමක් ගහලා රටට පාඩු කරලා කෝටි ගානක කොමිස් මුදලක් ගසා කෑම ඒ කාලයේ දේශපාලන වේදිකාවේ ප්‍රබල සටන් පාඨයක්.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් මංගල සිදු කළ ලක්ෂ පනහක වංචාවක් එවකට පුවත්පත් සාක්ෂි සහිතවම හෙළි කළා. (මීට වසර විසි පහකට පෙර)

    * මංගල නිදහස් මිනිහෙක්.

    මංගල කොළඹදි ඉතා ලිබරල් කතා කිව්වට මංගලගේ මාතර දේශපාලනය අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ලෙස තුච්ඡ "කුලවාදය" මත පදනම් වුනා.

    ඔහු මාතරදී මේ කුලභේදය ඉතා අවලස්සන විදියට ඔහුගේ ඡන්ද වෙනුවෙන් ඇවිස්සුවා.

    මංගල පසුකාලීනව තමන්ව හදපු ලංකා ඊ නිවුස්, තමන්ට විරුද්ධව මත දරපු නිසා ශ්‍රී ලංකාවෙන් තහනම් කළා.

    * මංගලගේ දේශපාලනය

    'පුද්ගලික මඩ' හා 'ෆේක් නිවුස්' ශ්‍රී ලංකා දේශපාලනයට හඳුන්වා දෙන්නේ මංගල.

    ඔහු මුල්වී රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර ආදීන් සමග ආරම්භ කළ මඩ වෙබ් අඩවි මනුෂ්‍යත්වයට පවා නිගා දෙන මඩ කලාවක නිරත වුනා.

    මේ පොලිටික්ස් වල අලුත් මඩ "Genre (ජොන්රේ)" එක හැදුවේ මංගල.

    ප්‍රතිවාදීන්ගේ අම්මා, අප්පා, ළමයි පවා ඈදලා පවා අතිශය තුච්ඡ මඩ මේ වෙබ් අඩවි වලින් ගැහුවා.

    මංගල සුන්දර ලස්සන මිනිහෙක් නෙවෙයි.

    Contd...

    ReplyDelete
    Replies
    1. මංගල හා රට

      රාජ්‍ය සංකල්පය දුර්වල කරන්න දේශපාලනය කරපු මිනිස්සු අතර කෙනෙක් මංගල..

      ඔහුට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රටක් කරන්න.

      ඔහුගේ සුදු නෙළුම ව්‍යාපාරයේ ඉදලා දේශපාලනය පුරාවටම තිබුනේ ෆෙඩරල්වාදය.

      ඔහු චන්ද්‍රිකා, මහින්ද, රනිල් මේ සියල්ලන්ම ෆෙඩරල් රටක් හදන්න මෙහෙයවන්න උත්සාහ කළා.

      ඔහු තීරණාත්මක විදියට ඒ වෙනුවෙන් කැප වුනා. මේ රාජ්‍ය දුර්වල කරන්න අවශ්‍ය වෙච්ච සෙසු කණ්ඩායම් වල දේශීය නියොජිතයා වුනේ මංගල.

      ඇන්ටම් බාලසිංහම් පවා "සාදූ චරිතයක්" ලෙසට දකුණේ සමාජගත කිරීමට මංගල උත්සාහ කළා.

      යුද්ධය අවස්තාවේ "සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවකට හෝ සුදුසු නෑ" කියලා දකුණේ ජනතාව අතර හමුදාව පිළිබඳ කන්ෆිඩන්ස් එක බිඳින්න ඔහු ගොඩක් උත්සාහ කළා.

      * මංගල හා ආගම

      මංගල සමරවීර ඔහු හඳුන්වා ගත්තේ සැබෑ බෞද්ධයා කියලා.

      ඔහුට ඒ වෙනුවෙන් කීමට බොහො දේ තිබුනා. ඔහු මුදල් ඇමති සමයේ "ආගමික ස්ථාන" වෙනුවෙන් මුදල් වෙන් කළා කියලා.

      නමුත් ඒ ආගමික ස්ථාන අතර පන්සල් තිබුනේ ඉතා අඩුවෙන්. ඒ පන්සල් ටික පවා දේශපාලන සබදතා මත තෝරාගත් ඒවා.

      නමුත් ඔහු භික්ෂූන් සහ ගිහියන් අතර දැඩි බෙදීමක් ඇති කිරීමට උත්සාහ කළා.

      ඔහුට දේශපාලනමය වශයෙන් විරුද්ධ භික්ෂූන්ට ඉතා නින්දිත මඩ ගැහුවා.

      ඒ වගේම 2015-19 කාලයේ අතිශය හිරිකිත ලෙස ජනතාවට පිළිකුල් සහගත වූ මොහු කොහොමත් පරදින බව ඉතාමත් පැහැදිලි වූ නමුත් 2020 සමගි ජන බලවේගයේ නායකත්වය සමග මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ඉල්ලීමට උත්සාහ කලා. නමුත් බුද්ධික පතිරණ මහතා වහාම ක්‍රියාකාරීවී දැඩි විරෝධයක් දක්වා මංගල ආවොත් තමා බෙල්ල කපා ගෙන මියයන බවට දැඩි ස්වරයෙන් පවසමින් යන්තම් ඔහුව දේශපාලනයෙන් ඉවත් කළ පසුව ඒ වනවිට මාතර ජනතාව අතර ජනප්‍රිය වී සිටි සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් පෙනී සිටි බැවින් අවාසනාවන්ත ලෙස සුනිල් හඳුන්නෙත්ති ද කුජීත ලෙසින් පැරදී ගියා.

      මේ අද අපෙන් වෙන්ව යන මංගල සමරවීර පිළිබඳ නොකියවෙන කතාව.

      මේ කතාව ප්‍රසිද්ධියේ අප නොලියූවේ මිය ගිය පුද්ගලයෙකුගේ ගුණ, අගුන වින්ශිචය ඒ තරම් නොවන නිසයි.

      නමුත් ඔහුට කිසිම විදිහකින් නොගැලපෙන අදාළ නොවන පන්නයේ අසාමාන්‍ය ගුණ කතා, අසාධාරණ වර්ණනා ලියවෙද්දි අපට මේ විදියට සැබෑ තොරතුරු ලිවීමට සිදු වුනා.

      ඒ සත්‍ය තොරතුරු සමග ඔහුට නිවන් සුව පතමි ! සුබ ගමන් මංගල !

      Delete
  6. මංගල මිය ගියේ හෘදයාබාධයකින්. ඔහුට වෙනත් chronic ලෙඩත් තිබුන බවයි මම දන්නේ. කෝවිඩ් සුව වුවත් ඒ වෛසරයයේ හැටියට මැරෙන්න තියන සම්භාවිතාව වැඩියි. මොකද වෛරසය හැදුනු අය (මගේ බිරිඳටත් හැදුනා) කියනව කොපමණ අමාරුද කියල. සනීප වෙලත් සුමන දෙකක් විතර යනකන් හරියට ඇවිදින්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. හෘදයාබාධයකින් මිය ගියත් මෙය කෝවිඩ් මරණයක්ම නේද? කෝවිඩ් නිසා මිය යන ප්‍රධානම ක්‍රමය නියුමෝනියාව වුනත් හෘදයාබාධ හා වෙනත් අවයව අකර්මන්‍ය වීම් නිසා සිදුවන මරණද ඉතා විශාලයි. මෙහි සුව වුනා කියා කියන්නේ පෙනහළු වල තත්ත්වය යහපත් අතට හැරීම කියා මම හිතනවා.

      Delete
    2. ඔව් කොවිඩ් මරණයක්. එන්නත් දෙකක් ගහලත් මැරුණේ ඇයි කියල අහනවනේ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: