වෙබ් ලිපිනය:

Tuesday, August 10, 2021

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය


මා සාමාන්‍යයෙන් කිසියම් අයෙකු විසින් ගන්නා වෙනත් අයට බලපාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විවේචනය කරන්නේ අදාළ භූමිකාව පෞද්ගලිකව මට පැවරී තිබුණේනම් එය වඩා හොඳින් කළ හැකිව තිබුණු හෝ තිබෙන ආකාරයක් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති විට පමණයි. බොහෝ විට සිදු වන්නේ පවතින තත්ත්වය පහසුවෙන් විවේචනය කළ හැකි තරම් නරක වුවත්, එම තත්ත්වය වෙනස් කර ගත හැක්කේ කොහොමද කියන එක අවිනිශ්චිත වීමයි. මේ වගේ වෙලාවකදී, පවතින තත්ත්වය කොයි තරම් නරක වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන පුද්ගලයින් විවේචනය කිරීමට මම යොමු වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ලංකාව වගේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් වෙලාවට තමන්ට නිවැරදි සේ පෙනෙන දෙයම කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක එවැන්නෙකු කරන දෙයක් විවේචනය කිරීම ඒ අයටම කරන උදවුවක් වෙනවා. 

බොහෝ වෙලාවට ප්‍රශ්න පැහැදිලි වුවත් එම ප්‍රශ්න වලට විසඳුම් බ්ලොග් පෝස්ට් එකකින් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. එහෙත් එයින් අදහස් වෙන්නේ විසඳුම් නැති බව නෙමෙයි. බොහෝ විට අපේ බොහෝ පාඨකයින් ඇතැම් දේවල් සම්බන්ධව "කළ හැක්කේ කුමක්ද?" කියා අපෙන් විමසා තිබෙනවා. ඒ වගේම, "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන පිරිසකුත් ඉන්නවා.

මේ විදිහට "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන ගොඩක් අය සෘජුවම ප්‍රශ්නය විසඳීමේ වගකීම දරන අය නෙමෙයි. මේ ප්‍රකාශයෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියන එකයි. 

මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකෙන් එකක් නොවූවත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකටද ආණ්ඩුව මුහුණ දෙමින් සිටිනවා. "අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියා හිතන ඇච්චන් කෙසේ ප්‍රතිචාර දැක්වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන අය ලෝකයේ කොහේ හෝ සිටින අයගේ අදහස් වලට විවෘතව සිටින බව පේනවා.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී එකිනෙක හා ගැටෙන ඉලක්ක තුනක් ලඟා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. ඒ ප්‍රවේශය වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම හා පිරිවැය අඩු කිරීම කියන ඉලක්ක තුනයි. ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ එක් එක් ඉලක්කය සපුරා ගන්නේ කොහොමද?

පළමු ඉලක්කය වන ප්‍රවේශය වැඩි කිරීමට තිබෙන ප්‍රධානම බාධාව පිරිවැයයි. ඇමරිකාව තුළදී ඕනෑම සිසුවෙකුට අවම වශයෙන් වසර දහතුනක මූලික අධ්‍යාපනයක් නොමිලේ ලබා ගත හැකියි. මේ හරහා ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නය විසඳෙනවා.

ඇමරිකාවේ පාසැල් ආකෘතිය ප්‍රදේශය අනුව වෙනස් වන දෙයක්. ව්‍යතිරේඛද සුලභ වුවත්, වඩාත්ම සුලභ පාසැල් ආකෘතිය පහත ආකෘතියයි.

හෝඩිය

මූලික පාසැල (1-5 ශ්‍රේණි)

මධ්‍යම පාසැල (6-8 ශ්‍රේණි)

උසස් පාසැල (9-12 ශ්‍රේණි)

මේ අනුව ඇමරිකානු සිසුවෙකුට අවම වශයෙන් පාසැල් තුනකට හෝ හතරකට යන්න සිදු වෙනවා. හෝඩිය බොහෝ විට මූලික පාසැලේම කොටසක්. අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට පෙර පාසැල් අධ්‍යාපනයද නොමිලේ ලබා ගත හැකියි. 

ඕනෑම ඇමරිකානු සිසුවෙකුට තමන් ජීවත් වන ස්ථානය මත පදනම් වූ නිශ්චිත මූලික, මධ්‍යම හා උසස් පාසැලක් තිබෙනවා. පෙර ලිපියක විස්තර කළ පෞද්ගලික හෝ වරලත් පාසැලකට නොයන්නේනම් සහ නිවසේ සිට අධ්‍යාපනය නොලබන්නේනම් යා යුත්තේ මේ නිශ්චිත පාසැල් වලටයි.

පාසැල් දිස්ත්‍රික්කයක් යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ උසස් පාසැලක භූගෝලීය සීමාවයි. ඒ අනුව, ව්‍යතිරේඛ තිබුණත්, කිසියම් පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් බොහෝ විට යා යුත්තේ එකම උසස් පාසැලකටයි. එම සීමාව තුළ මධ්‍යම පාසැල් එකකට වඩා තිබිය හැකියි. මූලික පාසැල්නම් බොහෝ විට කිහිපයක් තිබෙනවා. උසස් පාසැලේ සීමාව තුළ මූලික පාසැල් වල භූගෝලීය සීමා ලකුණු කර තිබෙනවා. ඒ අනුව, සෑම සිසුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවසට ඉතාම ආසන්න පාසැලකට යා හැකියි. මධ්‍යම හා උසස් පාසැල් ඊට වඩා තරමක් ඈතින් පිහිටා තිබෙනවා විය හැකි වුවත් ඒවාද එම මට්ටමේදී තිබෙන ළඟම පාසැල්.

ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය පොදු සේවාවක් වුවත් එය මධ්‍යගතව සැලසුම් නොවන ප්‍රාදේශීය කටයුත්තක්. උසස් පාසැලකට නඩත්තු විය හැක්කේ යම් අවම සිසු ගහණයක් සිටීනම් පමණයි. ඒ නිසා, නාගරික ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් කුඩා වුවත්, ග්‍රාමීය ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් සාපේක්ෂව විශාලයි. සිසුන් ප්‍රමාණය යම් අවම මට්ටමක පවත්වා ගත හැකි පරිදි පාසැල් දිස්ත්‍රික් සීමා නිර්ණය වීමේදී අදාළ සීමාව තුළ නිවාස ඒකක ප්‍රමාණය යම් අවම මට්ටමක තිබීමද සහතික කෙරෙනවා. මේ අනුව, දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද යම් අවම මට්ටමක තිබීම සහතික කෙරෙනවා. පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ මේ දේපොළ බදු වලින්. 

කිසියම් පොදු පාසැලකට දරුවන් යවන පිරිසත් එම පාසැල නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවන පිරිසත් එකම පිරිසක්. මේ නිසා, පදිංචිය තහවුරු කර ගැනීම අපහසු නැහැ. පදිංචිය වෙනස් කළොත් දරුවන්ගේ පාසැල්ද වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය තුළ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සෘජුව මුදල් නොගෙවුවත්, එය වක්‍රව ගෙවන්නේ එම දරුවන්ගේම දෙමවුපියන් විසිනුයි.

වැඩි වැටුප් ගෙවීමෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකියි. එහිදී දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. එහෙත්, ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිදු වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත්, ඇමරිකානු පාසැල් දිස්ත්‍රික් ක්‍රමය තුළ ඕනෑම සිසුවෙකුට ප්‍රවේශය සහතික කෙරෙනවා. එය සාධාරණ ලෙසද සිදු වෙනවා. ඒ වගේම, පිරිවැය අවම වන පරිදිද එය සිදු වෙනවා. එහෙත්, මෙහිදී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමාන මට්ටමකින් පවතින බව සහතික කෙරෙන්නේ නැහැ.

පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගන්නනම් දෙමවුපියන්ට දේපොළ බදු ලෙස ඉහළ මිලක් ගෙවීමේ එකඟතාවයකට එන්න සිදු වෙනවා. දේපොළ බදු වැඩිපුර ගෙවන්න කැමති නැත්නම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවීම භාර ගන්න සිදු වෙනවා. පොදු පාසැල් හරහා ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු වූ විට තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් දරුවන්ව මුදල් ගෙවා පෞද්ගලික පාසැලකට යවන්න පෙළඹෙනවා. එවිට ඔවුන්ට පොදු පාසැල් නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවීමට තිබෙන අවශ්‍යතාවයද නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවත් පහළ යනවා. මෙය චක්‍රීය ලෙස සිදු වී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ විෂමතා ඉහළ යනවා. 

ඇතැම් ප්‍රදේශ වල වැසියන් පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බදු ගෙවීමට සූදානම් නොවීමෙන් ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැදගත් නොවන බවක් හැම විටම අදහස් වෙන්නේ නැහැ. පාසැල් දිස්ත්‍රික්ක වල පිහිටි නිවාස ඒකක වල ආදායම් මට්ටම් අතර සැලකිය යුතු විෂමතා තිබෙනවා. පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමේ බර හැම පෙදෙසකම වැසියන්ට එක සේ දැරිය නොහැකියි. ප්‍රාන්ත මට්ටමේ මැදිහත් වීම් වලින් වෙන්නේ මෙවැනි විෂමතා අඩු කිරීමයි. ප්‍රාදේශීය ආදායම් අඩු, ඒ හේතුව නිසා පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම අසීරු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් වල උදවුවෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කරගෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකියි. මේ ආකාරයෙන්ම ෆෙඩරල් අරමුදල් වලින් ප්‍රාන්ත අතර තිබෙන විෂමතා අඩු කළ හැකියි.

ගුණාත්මක භාවය පහළ අඩියකට වැටුණොත් එය ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සෑම සිසුවෙකුටම මුදල් නොගෙවා මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම අධ්‍යාපනය අවශ්‍ය පමණ ගුණාත්මක අධ්‍යාපනයක්ද විය යුතුයි. එවැනි ගුණාත්මක අධ්‍යාපනයක් සියල්ලන්ටම ලැබේනම් එය ලැබෙන්නේ කෙසේද යන්න වැදගත් නැහැ.

ඇතැම් දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය නිවසේදීම ලබා දිය හැකියි. තවත් දෙමවුපියන් මේ සඳහා පෞද්ගලික පාසැල් තෝරා ගන්නවා. පොදු පාසැල් අවශ්‍ය වන්නේ මේ අවස්ථා දෙකම හිමි නොවන දරුවන්ටයි. පොදු පාසල් ක්‍රමය තුළ, තමන්ගේ දරුවන් පොදු පාසැලකට නොයවන පවුල් වල අය ඇතුළු පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගේ වියදමෙන් මේ අධ්‍යාපනය ලැබෙනවා. මෙහිදී අදාළ ප්‍රදේශයේම වැඩි ආදායම්ලාභී පවුල් විසින් ඔවුන්ගේ කැමැත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සුබසාධනය කිරීමක් සිදු වෙනවා. එය අවශ්‍ය පමණට සිදු නොවන විට ප්‍රාන්ත රජය මැදිහත් වී ප්‍රාන්තයේම  වෙනත් ප්‍රදේශ වල වැසියන්ගේ වියදමින් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. එයද ප්‍රමාණවත් නොවන අවස්ථා වල පමණක් ෆෙඩරල් රජය මැදිහත් වී අනෙකුත් ප්‍රාන්ත වල වැසියන්ගේ වියදමෙන් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. මේ සියල්ල සිදු වන්නේ ධනවාදී සමාජ-ආර්ථික ව්‍යුහය එලෙසම තිබියදී. 

12 comments:

  1. මහත්තයා ඇමරිකාවේ පාසලක හෝඩියේද වැඩ කරන්නේ?

    ReplyDelete
  2. මේ ලිපියට අදාල ප්‍රශ්නයක් නෙමෙයි.
    2005 ලන්කාවෙ gdp එක 25 බිලියන් ඉඳල 2015 80 බිලියන් වෙනකන් වඩිඋන හැටි ලිපියක් එහෙම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ආර්ථික වර්ධනය වැඩි වුනේ කොහොමද වැනි ප්‍රශ්නයකටනම් කෙටි තනි පිළිතුරක් දෙන්න බැහැ. ඔබේ ගෙදර වැස්සියෙක් පැටියෙක් දැමීමේ හා පොල් පැලය පීදීමේ සිට රටේ සිදුවන හා මිනිස්සු කරන බොහෝ දේ ආර්ථික වර්ධනය කෙරෙහි දායක වෙනවා. ආර්ථික වර්ධන සංඛ්‍යාලේඛණ වලින් කෘෂිකාර්මික, කාර්මික, සේවා ආදී එක් එක් අංශ වලින් හා අනු අංශ වලින් ලැබුණු දායකත්වය බලා ගන්න පුළුවන්. පළාත් අනුවද සංඛ්‍යාලේඛණ වෙන වෙනම හදනවා. කෙසේ වුවත් ඔබ මෙහි අහන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ගැන මිසක් ආර්ථික වර්ධනය ගැන නෙමෙයි. එම අගය සාධක කිහිපයක් මත තීරණය වනවා.

      1. රටේ ආර්ථිකයේ සිදු වූ සැබෑ (මූර්ත) වර්ධනය
      2. සල්ලි අච්චු ගැසීම නිසා රුපියලේ වටිනාකම අඩු වීම නිසා වූ බලපෑම හෙවත් උද්ධමනය.
      3. විණිමය අනුපාතය වෙනස් වීමේ බලපෑම (ඩොලරයේ අගය වෙනස් වීම).

      ඔබ අහන්නේ 2005-2015 කාලය ගැනයි.

      2005 - දදේනි ඩොලර් අගය = මිලියන 24,406
      2015 - දදේනි ඩොලර් අගය = මිලියන 80,556
      දදේනි ඩොලර් අගයේ වර්ධනය = 230%

      මේ ගණන හැදෙන්නේ මේ විදිහටයි.

      සැබෑ ආර්ථික වර්ධනය = 86% පමණ
      උද්ධමනය = 140% පමණ
      ඩොලරයේ අගය වෙනස් වීම = 35% පමණ

      (1 + 86%) (1 + 140%) / (1 + 35%) = (1 + 230%)

      මේ අනුව, ඔබට පෙනෙනු ඇත්තේ මෙම දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයෙන් වැඩිපුරම නිරූපනය වන්නේ රට තුළ සල්ලි අච්චු ගැසීම නිසා රුපියලේ දේශීය අගය 140%කින් අඩු වුනත් එයට අනුරූපව ඩොලරය අවප්‍රමාණය වෙන්න ඉඩ නොදී රුපියලේ බාහිර අගය කෘතීම ලෙස ඉහළින් තබා ගැනීමේ බලපෑම බවයි. එය කළේ දිගින් දිගටම විදේශ ණය ලබා ගැනීම හරහා. රට අද මුහුණ දෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව මෙයයි. තවත් පැහැදිලිව කිවුවොත් ප්‍රශ්නය විදේශ ණය ගැනීමම නෙමෙයි. එම විදේශ ණය ආපසු ගෙවීමට අවශ්‍ය ඩොලර් සංචිත පවත්වා නොගනිමින් රුපියලේ බාහිර අගය කෘතීම ලෙස ඉහළින් තබා ගැනීම පිණිස ඩොලර් යෙදවීමයි. කොයි වෙලේ හෝ ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ ගොස් කාලයක් තිස්සේ පවත්වා ගෙන යන කෘතීම තත්ත්වය නිවැරදි වූ විට දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයද එකවර විශාල ලෙස කඩා වැටීම නොවැලැක්විය හැකි දෙයක්. ලිබියාව වැනි රටවල සිදු වුනේ එයයි.

      Delete
    2. මම හිතන්නේ පහත ලිපිය ඔබේ ප්‍රශ්නයට අදාළයි. ප්‍රතිචාර කොටසත් බලන්න.

      ගෝටාට අසූව ඩබල් කළ හැකිද?
      http://economatta.blogspot.com/2020/08/blog-post_13.html#comment-form

      Delete
    3. මේ ආටිකල් එක තමයි මම හෙව්වෙ. ස්තුති

      Delete
  3. මට දැනගන්න ඕන උනේ 24 ඉඳල 80වෙන්න අවුරුදු දහයක් එක දිගට 13% විතර වර්දන වේගයක් තියෙන්න ඕන නේද? අපි හැමෝම දන්නවනෙ එහෙම එකක් තිබ්බෙ නෑ කියල. කොහොමද එහෙනම් මේක උනේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ලින්ක් එකේ තිබෙන ලිපියේ තව දුරටත් පැහැදිලි කර තිබෙනවා.

      දදේනි ඩොලර් අගයේ වෙනස් වීම කියන්නේ ආර්ථික වර්ධනය නෙමෙයි.

      දදේනි ඩොලර් අගයේ වෙනස් වීම = ආර්ථික වර්ධනය + උද්ධමනය - විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම

      රටේ උද්ධමනය තරමට විණිමය අනුපාතිකය අවප්‍රමාණය නොවූ විට දදේනි ඩොලර් අගයේ වෙනස් වීම ආර්ථික වර්ධනයට වඩා වැඩියෙන් පේනවා. උද්ධමනයට වඩා වැඩියෙන් විණිමය අනුපාතිකය අවප්‍රමාණය වූ විට අඩුවෙන් පේනවා. ඔබේ ගැටළුව රුපියල් ආර්ථිකයක් දෙස ඩොලර් වලින් බලන්න යාමේදී ඇති වී තිබෙන ගැටළුවක්.

      Delete
    2. වෙනත් විදිහකින් කිවුවොත්, 2005 විණිමය අනුපාතිකය නිවැරදි සේ උපකල්පනය කර (බොහෝ විට එසේ නැහැ) 2015 දක්වා කාලය තුළ ලංකාවේ හා ඇමරිකාවේ උද්ධමන වෙනස පිළිබිඹු වන පරිදි විණිමය අනුපාතිකය අවප්‍රමාණය වුනානම් 2015දී ලංකාවේ දදේනි ඩොලර් බිලියන 60ක් වෙන්නෙත් නැහැ. එය ඩොලර් බිලියන 80ක් සේ පෙනෙන්නේ රුපියලේ සැබෑ අගයට වඩා වැඩි අගයක් පෙනෙන පරිදි ඩොලරය පහළින් තියා ගැනීම නිසයි. ඒ විදිහට ඩොලරයක මිල පහළින් තියා ගන්නනම් කොහෙන් හරි දිගින් දිගටම වෙළඳපොළට ඩොලර් සපයන්න වෙනවා. මේ විදිහට ඩොලර් සැපයුවේ ණය අරගෙනයි. ණය ගෙවන්න යන විට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතු නිසා මෙහි අනෙක් පැත්ත වී ඩොලරයක මිල ඉහළ යනවා. එය වලක්වන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ණය ගත යුතුයි. දැන් කරගන්න බැරුව හිර වී තියෙන්නේ එයයි. විණිමය අනුපාතිකය නියම මට්ටමට අවප්‍රමාණය වූ විට ඩොලර් හිඟයද නිකම්ම අවසන් වෙනවා. හැබැයි එවිට රටේ ආර්ථිකයේ නියම මට්ටම පේන්න ගන්නවා. ඒ වගේම රටේ ණය වල නියම මට්ටමද පේන්න ගන්නවා. විණිමය අනුපාතිකය කෙසේ හෝ පහළින් තියාගෙන ඉන්නේ එසේ කිරීමෙන් ආර්ථිකය නියම මට්ටමට වඩා වැඩියෙනුත්, ණය නියම මට්ටමට වඩා අඩුවෙනුත් පෙන්විය හැකි නිසයි. මෙය දිගින් දිගටම කළ හැකි දෙයක් නෙමෙයි.

      Delete
    3. කොහොම උනත් 2015න් පස්සෙ මේ අගය කරෙක්ශන් එකක් උනෙ නැත්තෙ ඇයි? ඔබ හිතන විදියට දදෙනි වල නියම අගය කීයක් වෙන්න ඕනද?

      Delete
    4. 2015න් පසු යම් නිවැරදි වීමක් වුනා. එහෙත්, 2015න් පසුවත් විදේශ ණය වල උදවුවෙන් විණිමය අනුපාතිකය නඩත්තු කිරීම කෙරුනා. දදේනි රුපියල් අගය එහි නියම අගයයි.

      Delete
    5. රුපියල් වලින් බැලුවත් උද්දමනයෙන් පසු 6.8% 3.8% අතර සෑහෙන්න වෙනසක් තියෙනව නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: