මීට දශක තුනකට පමණ පෙර ඇස ගැටුණු සිංහල පරිවර්තනයක් ඒ පරිවර්තනයේ තිබුණු විකාරරූපී ස්වරූපය නිසාම මට තවමත් හොඳින් මතක තියෙනවා. මෙහිදී පරිවර්තකයා විසින් බ්‍රින්දබෑනයේ අන්ධ ගායකයා ලෙස සිංහලට නඟා තිබුණේ "The blind poet of Brindaban" කියන ඉංග්‍රීසි වචන ටිකයි.
අදාළ නිර්මාණයේ මුල් රචකයාගේ නම බෙංගාලි නමක්. ඒ නිසා, මුල් රචනය එක්කෝ මේ බෙංගාලි ජාතිකයා විසින් ඉංග්‍රීසියෙන්ම ලියූවක් විය යුතුයි. එසේ නැත්නම් ඔහු විසින් වංග බසින් ලියනු ලැබ පසුව ඉංග්‍රීසියට පරිවර්තනය වූවක් විය යුතුයි. ඔය දෙකෙන් කොයි එක වුවත් මෙහි Brindaban ලෙස ඉංග්‍රීසියට හැරවී තිබෙන්නේ බෘන්දාබොන් (বৃন্দাবন) කියන බෙංගාලි වචනයයි. මුල් රචනය "බෘන්දාබොනේර් ඔන්ධො කොබි (বৃন্দাবনের অন্ধ কবি)" වගේ එකක් වෙන්න ඇති.
වංග භාෂාවෙන් බෘන්දාබොන් කියා කියන්නේ වෘන්දාවනය කියන එකටයි. ඒ නිසා, මෙයට ගැලපෙන සිංහල පරිවර්තනය වෘන්දාවනයේ අන්ධ කවියා කියන එකයි. (ඔය කියන අන්ධ කවියා පහළොස්වන සියවසේදී සුර් සාගර් (සුර සයුර) කාව්‍යය ලියූ සුර් දාස්.)
බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියා කියද්දී ඔ ස්වරය තැන් ගණනාවකම පෙනෙන්න තියෙනවනේ. මේ විදිහට ඔ ස්වරය යොදා ගෙන තිබෙන්නේ බෙංගාලි හෝඩියේ පළමු අකුරේ (অ) ශබ්දය නිරූපණය කරන්නයි. බෙංගාලි හෝඩිය කියවෙන්නේ "ඔ ආ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඐ ඒ ඓ ඕ ඖ...කො ඛො ගො ඝො ඞො..." ආදී ලෙසටයි. "ඔ" කියා කිවුවත් මේ පළමු අකුරේ තියෙන්නේ සිංහල ඔයන්නේ ශබ්දය නෙමෙයි. සිංහල අ සහ ඔ ශබ්ද වල අතරමැදි ශබ්දයක්. LOVE කියන ඉංග්‍රීසි වචනයේ O ශබ්දයට ටිකක් කිට්ටුයි. ඒ වගේම ඓ කියා ලිවුවත් එහි තිබෙන්නේත් ඓ හා ඔයි අතරමැද ශබ්දයක්. ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාර වල බෙංගාලි හෝඩියේ පළමු ශබ්දය ඔ වලට වඩා කිට්ටුයි. ඇතැම් තැන් වල අ ශබ්දයට වඩා කිට්ටුයි. ඔය ස්වරය නිරූපණය කරන්න ඔ වෙනුවට අ දැම්මොත් බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියන එක බෘන්දාබනේර් අන්ධ කබි කියා කියන්න පුළුවන්.
බෙංගාලි භාෂාව හා සිංහල භාෂාව යන භාෂා දෙකම විකාශනය වන්නට ඇත්තේ ප්‍රාකෘත භාෂාවේ නැගෙනහිර ප්‍රභේදයකින් වුවත් සියවස් විසිපහකට වැඩි කාලයක් තිස්සේ මේ භාෂා දෙමගක ගොස් ඇති නිසා මුලදී තිබෙන්නට ඇති සමානකම් එකවර හඳුනාගන්න අමාරුයි. ප්‍රාකෘත භාෂාවේ වූ අ ශබ්දය ඔ ශබ්දයක් වෙන්න ඇත්තේ පසු කාලයකයි.
මේ විදිහටම පසු කාලයකදී බෙංගාලි භාෂාවෙන් ව ශබ්දය හැලිලා ගිහින් තිබෙනවා. එය එසේ වෙද්දී මුල් ප්‍රාකෘත වචන වල වූ ව ශබ්දය බ(බො) ශබ්දයක් බවට විකාශනය වෙලා තියෙනවා. බෙංගාලයේ බිමල්ලා, රොබීන්ද්‍රොලා මිසක් විමල්ලා, රවීන්ද්‍රලා නැහැ. බෘන්දාබොනේර් ඔන්ධො කොබි කියන පාඨයේ ඔ වෙනුවට අ ආදේශ කරනවාට අමතරව බ වෙනුවට ව ආදේශ කළොත් වෘන්දා වනේ(ර්) අන්ධ කවි(යා).
වංග හෝඩිය අඩු වශයෙන් සිංහල හෝඩිය තරමටම ශබ්දරූපී හෝඩියක්. එහි අකුරු භාවිතා කරලා ඕනෑම සම්ප්‍රදායික බෙංගාලි වචනයක් අපහසුවකින් තොරව ලියන්න පුළුවන්. නමුත්, විදේශ භාෂාවක වචන ලියද්දී ඒ ශබ්දරූපී කම ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදිහට "වාසිත" වගේ සිංහල නමක් වංග බසින් ලියන එක තරමක් ප්‍රශ්නකාරී වැඩක්. එය ලියන්න වයන්නක් බෙංගාලි හෝඩියේ නැහැ. ඒ නිසා, වාසිත කියන සිංහල නම බෙංගාලි භාෂාවෙන් ලියන්න වෙන්නේ භාෂිත කියා ලියන ආකාරයටමයි. ඔවුන් ඉංග්‍රීසි V අකුර හඳුන්වන්නේත් "භී" ලෙසයි.
බෙංගාලි භාෂාවේ භාෂිත කියා නමක් තිබුණානම් ඔවුන් එය ඉංග්‍රීසියෙන් ලියද්දී BHASHITHA හෝ VASITHA යන දෙයාකාරයෙන් කොයි ආකාරයකට වුවත් ලියන්න ඉඩ තිබෙනවා. ඒ ඔවුන්ට ඒ දෙකේ වෙනසක් නැති නිසා. මෙය හරියට අපට WIJAYA හා VIJAYA කියන නම් දෙකේ වෙනසක් නැතුවා වගේ දෙයක්. (බංගලියන්ට V හා W අකුරුනම් සම්පූර්ණයෙන් වෙනස් ශබ්ද හඟවන අකුරු දෙකක් මිසක් අපට මෙන් සමාන ශබ්ද හඟවන අකුරු දෙකක් නෙමෙයි). නමුත්, අපට BHASHITHA හා VASITHA කියන්නේ මුළුමනින්ම වෙනස් නම් දෙකක්. සිංහලයින් අතර වාසිතලා වගේම භාෂිතලාත් ඉන්නවා.
සිංහල හෝ වංග වගේ ශබ්දරූපී හෝඩියකින් අදාළ භාෂා වල මුල් වචන අපහසුවකින් තොරව ලියන්න පුළුවන් වුවත් වෙනත් භාෂාවක වචන ලියන්න යද්දී ප්‍රශ්න මතු වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ F හා Z අකුරු වල ශබ්ද සිංහල හෝ වංග භාෂා වල මුල් වචන වල නැහැ. නමුත්, අරාබි භාෂාවේ මේ ශබ්ද (හෝ මේ ශබ්ද වලට බොහෝ කිට්ටු ශබ්ද) තිබෙනවා. උදාහරණයක් විදියට ලංකාවේ හා බෙංගාලයේ මුස්ලිමුන් විසින් භාවිතා කරන අරාබි මූලයක් සහිත නම් සිංහල හෝ බෙංගාලි අකුරෙන් ලියද්දී මේ ප්‍රශ්නය මතු වෙනවා.
මේ වන විට ඉංග්‍රීසි F අකුරේ ශබ්දය නිරූපණය කිරීමට සිංහලෙන් ෆ අකුර යෙදීම බොහෝ දුරට ප්‍රචලිත වෙලයි තියෙන්නේ. නමුත් අපි කුඩා කාලයේ ඔය අකුර එතරම් භාවිතා වුනේ නැහැ. F ශබ්දය වෙනුවට ප අකුර හා ශබ්දය යොදා ගැනීම ඒ කාලයේදී ලොකු ප්‍රශ්නයක් වුනෙත් නැහැ. සමහර වෙලාවට ප අකුර මැදින් හෝ පැත්තකින් f අකුරක් ලිවීම සිදු වුණා. ඔයාකාරයටම සිංහලයින් ඉංග්‍රීසි Z අකුර වෙනුවට ස ශබ්දය ආදේශ කරගන්නවා. එය තවමත් ඒ විදිහටම සිදු වෙනවා. දැන් ඇමරිකාවේ ජීවත්වන වෛද්‍ය සිසිර රණසිංහ විසින් අසූව දශකයේ මුල් කාලයේදී සිංහල ෆොන්ට් එකක් නිර්මාණය කරද්දී මේ ශබ්දය වෙනුවෙනුත් අකුරක් යෝජනා කර තිබුණත් ඉන්පසුව එවැනි යෝජනාවක් පැමිණි බවක් හෝ මම දන්නේ නැහැ.
දැන් ෆයිසාල්, ෆයිසර් ආදී ලෙස සිංහලෙන් ලියන මුස්ලිම් නම් අප කුඩා කාලයේදී ලිවුවේ පයිසාල්, පයිසර් ආදී වශයෙනුයි. මේ නම් දෙකේම වගේම සහිරා, රාසික්, හිස්බුල්ලා ආදී නම් වල ස අකුරෙන් නිරූපණය වෙන්නේ ඉංග්‍රීසි Z අකුරේ ශබ්දයට කිට්ටු ශබ්දයක්. F හා Z ශබ්ද සම්ප්‍රදායික බෙංගාලි වචන හෝ නම් වලත් නැහැ. පිටින් ආ වචන බෙංගාලි බසින් ලියද්දී ඔවුන් F වෙනුවට ඵ ශබ්දය නිරූපනය කරන අකුරත්, Z වෙනුවට ජ ශබ්දය නිරූපනය කරන අකුරත් යොදා ගන්නවා. ඒ නිසා, බෙංගාලයේ ඉන්නේ ඵයිජාල්ලා හා ඵයිජර්ලා. සිංහලයින් සූ එක බලන්න යද්දී බෙංගාලීන් ජූ එක බලන්න යනවා.
දෙමළ හෝඩිය සිංහල හා බෙංගාලි හෝඩි තරම් ශබ්දරූපී හෝඩියක් නෙමෙයි. සිංහල භාෂාවේ තිබෙන ශබ්ද සෑහෙන ප්‍රමාණයක් දෙමළ භාෂාවේ තිබුණත් ඒ ශබ්ද අනන්‍ය සේ හඳුනාගත හැකි සංකේත දෙමළ හෝඩියේ නැහැ. නමුත්, දෙමළුන්ට මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එකම සංකේතය වචන වල යෙදෙන ආකාරය අනුව එය නිවැරදිව උච්ඡාරණය කරන්න ඔවුන්ට පුළුවන්.
කොහොම වුනත් පිටින් ආ වචන හැදිලා තියෙන්නේ දෙමළ රීතියට නොවන නිසා එවැනි වචන දෙමළෙන් ලියද්දී ගැටළු මතු වෙනවා. දෙමළුන් මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙන්නේ සියවස් ගණනාවකට කලින්. ඒ සංස්කෘත වචන දෙමළෙන් ලියන්න ඕනෑ වුනු කාලයේදී. මේ වෙනුවෙන්ම යොදා ගැනුණු ඇතැම් අකුරු දැනටත් දෙමළ හෝඩියේ පැත්තක තියෙනවා. ජ (ஜ ), හ (ஹ) වගේ අකුරු ඒ විදිහට සංස්කෘත හෝ වෙනත් පිටින් ආ වචන ලියන්න භාවිතා කෙරුණත් ඉතා මෑතක් වන තුරුම දෙමළ නම් ගම් ලියන්න මේ අකුරු භාවිතා වී නැහැ. ප්‍රභාකරන් කියා කිවුවත් ප්‍රභාහරන් කියා කිවුවත් එක විදිහටම (பிரபாகரன் ලෙස) ලියනවා මිස අලුතෙන් එකතු වුනු හ (ஹ) අකුර යොදා ගැනීමක් සිදු වුණේ නැහැ.
ප්‍රභාකරන් කියන නම දෙමළෙන් ලියන්නේ பிரபாகரன் කියලයි. මෙහි ப අකුර සිංහල ප අකුරේ ශබ්දය ලෙසත් க අකුර සිංහල ක අකුරේ ශබ්දය ලෙසත් සැලකුවොත් මේ දෙමළ අකුරු කියැවෙන්නේ පිරපාකරන් කියලයි. නමුත්, දෙමළ ப අකුරෙන් එය යෙදෙන තැන අනුව සිංහල ප, ඵ, බ, භ ශබ්ද වලින් එකක් අදහස් වෙන්න පුළුවන්. ඒ වගේම, දෙමළ க අකුරෙන් සිංහල ක, ඛ, ග, ඝ, හ අකුරු වලින් එකක ශබ්දය අදහස් වෙන්න පුළුවන්. ඔයාකාරයටම දෙමළ த අකුරෙන් සිංහල ත, ථ, ද, ධ අකුරක් අදහස් වෙන්න පුළුවන්.
තර්ජිනී හා දර්ශිනී යන නම් දෙකම දෙමළෙන් தர்சினி ලෙස ලියන්න පුළුවන්. මෙහි තෙවන சி අකුර සි, චි, ශි හෝ ජි ලෙස ශබ්ද විය හැකි වුවත් එය වචනයේ එම අකුර යෙදෙන ආකාරය අනුව තීරණය වන්නක්. தர்சினி சிவலிங்கம் ලෙස දෙමළෙන් ලියන නමක් දෙමළෙක් විසින් දර්ශිනී සිවලිංගම් ලෙස උච්ඡාරණය කරන්න වැඩි ඉඩක් තිබුණත් වෙනස් ආකාර වලට උච්ඡාරණය කරන්නත් බැරි කමක් නැහැ.
උදාහරණයක් ලෙස, පහත වීඩියෝවෙහි ප්‍රස්තුතයට අදාළ දැල්පන්දු ක්‍රීඩිකාව සමඟ සාකච්ඡා කරන නිවේදිකාව ඇයව හඳුන්වා දෙන්නේ දර්ජිනී සිවලිංගම් වශයෙනුයි. නමුත්, ඈ තමන්ව හඳුන්වා දෙන්නේ "එනදු පේර් දර්ශිනී සිවලිංගම්" කියමිනුයි. මෙහි එනදු කියා ලිවුවත් ඔතැන තිබෙන නියම දෙමළ ස්වරය සිංහල උයන්න නෙමෙයි. ඒ ස්වරයත් සිංහල භාෂාවේ නැහැ.
දර්ශිනී සිවලිංගම් ඇගේ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ THARJINI SIVALINKAM ලෙසයි. ඔය නම දෙමළෙන් ඔය විදිහටම ලියන වෙනත් අය ඉංග්‍රීසියෙන් THARSHINI, THARSINI හා DHARSHINI ආදී වෙනත් ආකාර වලිනුත් ලියනවා. මේ කොයි විදිහට ලිවුවත් දෙමළෙක්ට එහි ප්‍රශ්නයක් නැහැ, සිංහලයෙක්ට VIJAYA හා WIJAYA වගේ දෙයකුයි ඔතැන තියෙන්නේ. සිංහල මාධ්‍ය මේ නම තර්ජිනී ලෙස සිංහලෙන් ලියන්නේ ඉංග්‍රීසියෙන් එය ලියන ආකාරය ඉංග්‍රීසියෙන් ලියා තිබෙන සිංහල නමක් තේරුම් ගන්නා ආකාරයට තේරුම් ගනිමිනුයි. වීඩියෝවේ නිවේදිකාව ඇගේ නම උච්චාරණය කරන්නේත් සිංහල ක්‍රමයට නොවූවත් එහි ඉංග්‍රීසි අකුරු අනුව යමිනුයි.
දැන් මේ නම දර්ශිනී ලෙස සිංහලෙන් නොලියා තර්ජිනී ලෙස ලිවීම ප්‍රශ්නයක් වෙන්නේ කාටද? දර්ශිනීට හෝ මවුබස දෙමළ වූ වෙනත් අයෙක්ට මෙහි ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් දර්ශිනී කියා ලිවුවත්, තර්ජිනී කියා ලිවුවත් දෙමළෙක්ට ඔය දෙකම එකයි. හරියට බෙංගාලියෙක්ට භාෂිත හා වාසිත කියන නම් දෙකේ වෙනසක් නැහැ වගේ. ජපනෙක්ට විදුල හා විදුර කියන නම් දෙකේ වෙනසක් නැහැ වගේ. සිංහලයෙක්ට UWA හා UVA දෙකම එකයි වගේ. නමුත්, සිංහල මවුබස වූ කෙනෙක්ට දර්ශිනී හා තර්ජිනී යන මේ නම් දෙක සම්පූර්ණයෙන් වෙනස් නම් දෙකක්. එය ප්‍රශ්නයක් වෙන්නේ සිංහලයින්ටයි.
එහෙමනම් දෙමළුන්ට මෙහි ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? තියෙනවා. ඒක මෙහෙමයි.
දෙමළ රට ඉතිහාසය පුරාවටම උතුරු ඉන්දියාවෙන් ස්වාධීනව පැවතුණා වගේම දෙමළුන් දිගින් දිගටම ආර්ය ආධිපත්‍යයට ප්‍රතිරෝධයක් දැක්වූ පිරිසක්. දෙමළුන්ට සිංහලයින් එක්ක තිබෙන ප්‍රශ්නයේ එක් මුලකුත් මෙහි තිබෙනවා. නමුත්, නිදහසින් පසුව ඉන්දියාව පාලනය කරන උතුරු ඉන්දීය බමුණන්ට දෙමළ අනන්‍යතාවය යටපත් කරලා ඉන්දියානු අනන්‍යතාවය ඔවුන් තුළ මතු කිරීමේ උවමනාවක් තියෙනවා. ඒ උවමනාව ක්‍රමයෙන් ඉටුවෙමින් පවතිනවා.
ප්‍රියා කියන නම සම්ප්‍රදායිකව දෙමළෙන් ලිවුවේ පිරියා කියලයි. දැන් මේ නම ප්රියා ලෙස ලිවීම ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ වගේම, උතුරු ඉන්දීය නම් තමිල්නාඩුවේ (හා ලංකාවේ දෙමළ අය අතර) ක්‍රමයෙන් ජනප්‍රිය වෙද්දී ඒ නම් දෙමළෙන් ලියන්න ජ අකුර යොදා ගැනීමත් ජනප්‍රිය වෙමින් පවතිනවා.
මේ අතර ලංකාවේ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් රජයේ සේවකයින්ට දෙමළ ඉගෙන ගැනීම වෙනුවෙන් දිරි දීමනා දෙන්න පටන් ගැනීම, පහේ ශිෂ්‍යත්වයට දෙමළ එකතු වීම ආදී හේතු මත සිංහලයින් දෙමළ ඉගෙන ගැනීම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වුණත්, මේ ගොඩක් අය දෙමළ කතා කරන අයත් එක්ක සෘජුව ගැටෙන්නේ නැහැ. මෙයින් වෙනස්ව මගේ පියාගේ පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දෙමළ වතු කම්කරුවන් සමඟ සෘජුව ගැටීමෙන් දෙමළ කතා කරන්න පුරුදු වී හිටියා. නමුත්, ඔවුන් දෙමළ අකුරු දැනගෙන හිටියේ නැහැ. බොහෝ විට ඒ දෙමළ කම්කරුවෝත් දෙමළ ලියන්න දැනගෙන හිටියේ නැහැ.
ඉහත කී ආකාරයේ අරමුණු වෙනුවෙන් සිංහලයින් දෙමළ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිහටම දෙමළ හෝඩියෙන් පටන් අරගෙනයි. ඒ අනුව, මුලින්ම කරන්නේ සිංහල අකුරු වලට දෙමළ අකුරු අනන්‍ය ලෙස ගලපන්න උත්සාහ කිරීමයි. සිංහලයේ තිබෙන හ, ජ වගේ අකුරු එක්ක ගලපන්න අනන්‍ය අකුරු දෙමළ හෝඩියේ තියෙද්දී ඒ ශබ්ද වෙනුවෙන් සම්ප්‍රදායිකව යෙදුනු දෙමළ අකුරු තවදුරටත් යොදා ගැනීම සිංහලයින්ට තේරුම් ගන්න අපහසු දෙයක්. ඒ නිසා, සිංහලයින් තමන්ගේ නම් ගම් දෙමළෙන් ලියද්දී මේ අකුරු බහුලව භාවිතා කරනවා වගේම දෙමළ නම් ලියද්දීත් හැකි හැමවිටම ඒ අකුරුම යොදනවා.
සිංහලෙන් තර්ජිනී කියා ලිවීම අනුව යමින් දකුණේ ඇතැම් දෙමළ මාධ්‍ය මේ නම දෙමළෙන් ලියද්දී අර පසුව එකතු වුනු ජ අකුර යොදමින් தர்ஜினி ලෙස ලියනවා. දෙමළෙන් தர்சினி කියා ලියූ විට එය දර්ශිනී වගේම තර්ජිනී කියා වුවත් කියවන්න පුළුවන් වුවත් දෙමළෙන් தர்ஜினி කියා ලියූ විට එය දර්ජිනි හෝ තර්ජිනී ලෙස මිස දර්ශිනී ලෙස කියවීමේ හැකියාවක් නැහැ. දර්ශිනීට හෝ වෙනත් දෙමළෙක්ට මෙය ප්‍රශ්නයක් වෙන්නේ ඔන්න ඔතැනදීයි.
"தர்சினி சிவலிங்கம் ලෙස දෙමළෙන් ලියන නමක් දෙමළෙක් විසින් දර්ශිනී සිවලිංගම් ලෙස උච්ඡාරණය කරන්න වැඩි ඉඩක් තිබුණත් වෙනස් ආකාර වලට උච්ඡාරණය කරන්නත් බැරි කමක් නැහැ."
ReplyDeleteඒ කියන්නෙ දෙමළෙන් ලියන නමම වුනත් "තර්ජිණි" කියලා උච්චාරණය කරන්න පුළුවන් නේද ? ඔතන ප්‍රශ්ණෙ වෙන්නෙ "තර්ජිණි" කියන වචනෙට දෙමළෙනුත් තියෙන්නේ සිංහලෙන් තියන තේරුමම නම් තමා.
කොහොම උනත් දර්ශිණී සිංගප්පූරුව ඇතුලු අනිත් රටවලට තර්ජණයක් වුන බවනම් සහතිකයි.
මේ භාෂා අතර වෙනස දිගින් දිගට ස්ටඩි කරන්න තරම් ආසා හිතෙන විශයක් ඉකොනො. සිංහල භාෂාවෙන් කරන්න පුළුවන් සිංහල අයගේ සන්නිවේදන සාර්ථකවම කරන්න පුළුවන් එක විතරයි සහ සිංහල කතා කරණ අපිට මේ ලෝකේ ඕනෑම භාෂාවක් ලේසියෙන් කතාකරනන් පුළුවන් කියන මිත්‍යාවෙන් එළියට එන්නත් මේ ලිපි පෙළ උදව් වුනා කියන්න ඕනා.
බොහොම ස්තූතියි.
//ඒ කියන්නෙ දෙමළෙන් ලියන නමම වුනත් "තර්ජිණි" කියලා උච්චාරණය කරන්න පුළුවන් නේද ? //
Deleteතර්ජිනී කියා උච්ඡාරණය කළ හැකි වුවත්, තර්ජිණි කියල උච්ඡාරණය කරන්න බැහැ. දෙමළුන් න හා ණ අතර වෙනසට සංවේදීයි. උදාහරණයක් විදිහට, මනම් (மனம்- මනස, හිත) හා මණම් (மணம், එක්කෝ ගන්ධය එසේ නැත්නම් විවාහය) කියන්නේ වෙනස් විදිහට උච්ඡාරණය වන වෙනස් තේරුම් තිබෙන දෙමළ වචන දෙකක්.
//සිංහල භාෂාවෙන් කරන්න පුළුවන් සිංහල අයගේ සන්නිවේදන සාර්ථකවම කරන්න පුළුවන් එක විතරයි සහ සිංහල කතා කරණ අපිට මේ ලෝකේ ඕනෑම භාෂාවක් ලේසියෙන් කතාකරනන් පුළුවන් කියන මිත්‍යාවෙන් එළියට එන්නත්..//
Deleteසිංහලයින්ට විශේෂ උච්ඡාරණ පුහුණුවක් නැතිව ලෝකයේ වෙනත් කිසිම භාෂාවක් ඒ බස මුල් බස වූ අය මෙන් කතා කරන්න බැහැ. මේ වෙනත් භාෂා යන යෙදුමට ලංකාවේ බහුලවම භාවිතා වන අනෙක් භාෂා දෙක වන ඉංග්‍රීසි හා දෙමළත් ඇතුළත්. වෙනත් භාෂාවක් නිවැරදිව කෙසේ වෙතත් ඒ භාෂාව මුල් බස වූ අයෙක්ට අපහසුවකින් තොරව තේරුම් ගත හැකි පරිදි කතා කරන්න අවශ්‍යනම් එහි මුල්ම පියවර විය යුත්තේ අප වෙනත් භාෂා කතා කරන විදිහ පරිපූර්ණ නැති බව අවබෝධ කර ගැනීමයි. මෙය සිංහලයින්ට වගේම දෙවන භාෂාවක් ඉගෙන ගන්නා ලෝකයේ ඕනෑම කෙනෙක්ට අදාළ කරුණක්.
"දෙමළුන් න හා ණ අතර වෙනසට සංවේදීයි"
Deleteඇත්තම කිව්වොත් w , v අතර වෙනස තේරෙන්නෑ වගේම මට න, ණ අතර වෙනසකුත් නොතේරෙන තරම්..
අපි නයා සහ ණය දෙකම පටන් ගන්නෙ එකම විධිහටනෙ. අනිත් තැන්වලත් මටනම් වෙනසක් පේන්නෑ...
"අනන්තයක් දේ දන්නා සේ තැන තැන..." කියද්දී න ශබ්ද සියල්ලම හැදෙන්නේ දිව දතේ වැදෙමිනුයි. නමුත්, "කණ්ණාඩියේ ඌෂ්ණේ" කියන විට එලෙස දිව දතේ වැදෙන්නේ නැහැ. දිව යන්නේ තල්ලේ මුදුනටයි. මේ ගැන සැලකිලිමත් වුනොත් දන්තජ හා මූර්ධජ ශබ්ද අතර වෙනස හඳුනාගන්න පුළුවන්. එසේ වුවත්, මේ වෙනසට අප සංවේදී නැති නිසා "තණ" යන්න උච්ඡාරණය කරන්නේ "තන" ලෙසයි.
Deleteඉංග්‍රීසි V ශබ්දය සිංහල ඇතුළු ඉන්දියානු භාෂා වලින් හොයාගන්න අමාරු වුවත් W ශබ්දයට ආසන්න තැන් සොයා ගැනීම එතරම් අපහසු නැහැ. ඌව හෝ හූව කියද්දී එන්නේ W ශබ්දය. ඌ කියන්න කට උල් කිරීමෙන් පසුව ඒ ගැම්මටම යන නිසා ව ශබ්දය W ශබ්දයට කිට්ටු වෙනවා. ඒ නිසා, UWA ලෙස ලිවීම වඩා නිවැරදියි. මේ රටාවේ සිංහල වචන උච්ඡාරණය කර තිබීමේ පුරුද්දට සිංහලයින් OVER කියන ඉංග්‍රීසි වචනය උච්ඡාරණය කරන්නේත් OWER ලෙසයි.
කිවුවා, බිවුවා, දිවුවා ආදී ලෙස උච්ඡාරණය කරද්දී W ශබ්දය මතු වුවත් මේ වචනම කිව්වා, බිව්වා, ලිව්වා ලෙස උච්ඡාරණය කරද්දී V ශබ්දයට කිට්ටු වෙනවා. දිවුවා කියන විට තොල් උල් වන නමුත් දිව්වා කියන විට යටි තොල හැපෙනවා.
විශිෂ්ඨයි ඉකොනොමැට්ටා තුමනි. ආර්‍යයන් සොයා යෑම කියන මගේ ලිපි පෙලේ ඉදිරියට ලියන්ඩ හිටපු එක ලිපියක් තමයි ආර්‍යයන්ගේ භාශා ආධිපත්‍යය. ඔබ ඔය කියන බෙංගාලි වදන් උසුරුවීමත් හිංදි බසත් අතර තත්වය නේපාලි බසේ දැකිය හැකියි. ඔරියා බස ගැන මට එතරම් දැනුමක් නෑ. එයත් මීට සමාන නම් භූගෝලීය පැතිරීම හා භාෂා ව්‍යාප්තිය වඩා හොදින් පැහැදිලි කල හැකියි.
ReplyDeleteබොහොම ස්තුතියි, ලොකු මල්ලී. ඔරියා බස ගැන මගෙත් උනන්දුවක් තිබුණත් භාෂාව ගැන දැනුමක් නැති තරම්.
Deleteවෙරි ගූඩ්. අගේ ඇති ලිපියක්
ReplyDeleteස්තුතියි, ඇනෝ!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅශිද් තර්ම මහතා කමෙන්ටුව ඩිලිට් කර ඇත..
Deleteඉතාම රසවත් වටිනා ලිපියක් ඉකෝන්. මේ දවස් වල ඉකොන්ට අහු වෙච්චි පොල් කෙන්ද මරු. කොස්ස හැදිල එනකොට අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. එතකොට හරියි කියල හිතන දේවල් කොස්සෙන්ම අතුගාලා දානවා. වෙල්ඩන්
ReplyDeleteවෙනදා වගේම අපූරු ලිපියක් ඉකොනො . ඔය "බංගලියෙක්" , "දෙමළෙක්" වගේ වචන ගරුත්වයෙන් අඩු ගතියක් දැනෙන්නෙ මට විතරද ?
ReplyDelete