වෙබ් ලිපිනය:

Wednesday, September 26, 2018

චී ණය!

දැනට අවුරුදු 20කට කලින්, 1998 වන විටත් ලංකාවේ ඒක පුද්ගල ආදායම චීනයේ ඒක පුද්ගල ආදායමට වඩා වැඩියි. 1998දී චීනෙක් ඩොලර් 829ක් උපයන විට ලාංකිකයෙක් ඩොලර් 851ක් ඉපැයූවා. චීනය ඒක පුද්ගල ආදායමේ නාමික ඩොලර් අගය අනුව අනුව ලංකාව පසු කර ගියේ 1999 අවුරුද්දේදී.

දැන් තත්ත්වය කොහොමද? පහුගිය 2017 අවුරුද්ද වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,065ක්. චීනයේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයකටත්  වඩා වැඩියි- ඩොලර් 8,827ක්. මේ අවුරුද්දේ මේ ගණන බොහෝ විට තවත් 6% කින්වත් වැඩි වෙයි. කොහොමද අවුරුදු විස්සක කෙරුවාවල් වල වෙනස?

ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් වලින් බැලුවොත් මේ අවුරුද්දේ 3-4%කට වඩා වැඩි වන්න ඉඩක් පෙනෙන්න නැහැ. මේ අවුරුද්ද ඇතුළත රුපියලේ ඩොලර් වටිනාකම ඒ වගේ දෙගුණයකටත් වැඩි ප්‍රතිශතාංකයකින් දැනටමත් අඩු වෙලා. ඒ නිසා මේ අවුරුද්ද ඉවර වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය අඩු වශයෙන් 5-6%කින් වත් අඩු වෙයි.

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇත්තටම ඉහළ ගියත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වන අවුරුදු වලදී රටේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය අඩුවෙන් පෙනෙන්න පුළුවන්. ඔයාකාරයටම රුපියල අධිප්‍රමාණය වෙන අවුරුදු වලදී රටේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වේගයෙන් ඉහළ යනවා. නමුත්, මේ විදිහට විණිමය අනුපාතිකයේ විචලනයන් නිසාම සිදුවන ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගයේ විචලනයන්ගෙන් නිරූපණය වන්නේ රටක ජීවන තත්ත්වයේ සිදුවන සැබෑ විචලනයන් නෙමෙයි.

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ගණනය කරන විට නාමික විණිමය අනුපාතිකය වෙනුවට ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතිකය යොදාගන්නේ ඉහත අඩුපාඩුව මග හැර ගන්නයි. නාමික විණිමය අනුපාතිකය අනුව මේ වන විටත් ලෝකයේ විශාලතම ආර්ථිකය ඇමරිකාව වුවත්, ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතිකය අනුව මේ වන විට ලෝකයේ  විශාලතම ආර්ථිකය චීනයයි. ලංකාව වගේම ඇමරිකාවත් ලෝකයට ණයකරුවන් වුවත් චීනයට ලෝකයම වාගේ ණයයි.

නාමික විණිමය අනුපාතිකය අනුව පමණක් නෙමෙයි ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතිකය අනුව බැලුවත් වෙලා තියෙන්නේ සහ තව දුරටත් වෙමින් තියෙන්නේ චීනයට වඩා කිහිප ගුණයක් ඉදිරියෙන් සිටි ලංකාව පහු කරගෙන චීනය වේගයෙන් ඉදිරියට යන එකම තමයි. එහෙම වුනේ කොහොමද?

මෙයට හේතු ගණනාවක් ඉදිරිපත් කළ හැකි වුවත්, ලංකාවේ හා චීනයේ ඉතිරි කිරීම් අනුපාත අතර වෙනස මෙහිදී කැපී පෙනෙනවා. චීනය කරන්නේ ඔවුන්ගේ ජාතික ආදායමෙන් අඩක් පමණම ඉතිරි කරන එකයි. ඒ විදිහට ඉතිරි කරන මුදල චීනයේ වත්මන් ආර්ථික වර්ධනය පවත්වා ගන්න අවශ්‍ය ආයෝජන අනුපාතයටත් වඩා ඉහළයි. මේ අමතර මුදල ණය විදිහට චීනයෙන් පිටතට ගලා යනවා. ලෝකය චීන ණය වලින් චීන බඩු මිල දී ගන්නවා. චීනයේ වෙළඳ අතිරික්තය ඉහළ යනවා. චීනයට ඩොලර් එකතු වෙනවා.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් වෙන්නේ මෙහි අනිත් පැත්තයි. මේ රටවල් වල ඉතිරි කිරීම් අනුපාත ආයෝජන අනුපාතය තරම් ලොකු නැහැ. අඩුව පිරවෙන්නේ ණය වලින්. ඇමරිකාව වගේම ලංකාවත් චීන සල්ලි වලින් චීන බඩු ආනයනය කරනවා.

රටක ඉතිරි කිරීම් අනුපාතිකය හා ආයෝජන අනුපාතය අතර වෙනස ආනයන අපනයන පරතරයට සමානයි. එය සාර්ව ආර්ථික සාම්‍යයක්. අවශ්‍ය ආයෝජන අනුපාතිකය තරමට දේශීය ඉතිරි කිරීම් අනුපාතිකය විශාල නැත්නම්, ඒ වෙනසට අනුරූප ආනයන අපනයන පරතරයතකුත් තිබිය යුතුමයි.

ලංකාවේ බඩු මිල මේ තරම් ඉහළින් තියෙද්දී ඉතුරු කරන්නේ කොහොමද කියා ඇතැම් අය අහනවා. ඉතිරි කිරීම් කියන්නේ ජීවන විලාසිතා අනුව තීරණය වන දෙයක් මිසක් බඩු මිල අනුව පමණක් තීරණය වන දෙයක් නෙමෙයි. ලංකාවේ හා චීනයේ ඒක පුද්ගල ආදායම් සමාන මට්ටමේ තිබුණු 1998 ආසන්න කාලයේදී ලංකාව ජාතික ආදායමෙන් 18%ක් පමණක් ඉතුරු කරද්දී චීනය ජාතික ආදායමෙන් 40%ක් පමණ ඉතුරු කළා. ලංකාවේ දැන් තිබෙන මට්ටමේ ඒක පුද්ගල ආදායමක් ලබද්දී චීනය කළේ තමන්ගේ ආදායමෙන් අඩක්ම ඉතුරු කරන එකයි.

රටක මූර්ත විණිමය අනුපාතය අවප්‍රමාණය වී තිබෙන්න ඉඩ හරින තරමට ඒ රටේ ආනයන ඉක්මවා අපනයන ඉහළ ගිහින් දේශීය ඉතිරි කිරීම් ඉහළ යනවා. චීනය කාලයක් තිස්සේම කළේ එයයි.



9 comments:

  1. චීනය ඔවුන්ගේ කරන්සි එක වැඩි වෙන්න නොදී පාලනය කරනවා නේද? ලංකාවේ සිදුවන පාලනයට වඩා. එතකොට ඇත්ත අගය ගත්තොත් 1999 දිත් අදටත් ඔවුන්ගේ එක පුද්ගල ආදායම ඩොලර් වලින් මීට වඩා වැඩි විය යුතුයි නේද ?

    ReplyDelete
    Replies
    1. චීනය ඔවුන්ගේ විණිමය අනුපාතිකය පාලනය කරන්නේ ලංකාව කරනවාට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. එය නිදහසේ තීරණය වුනානම් ඔබ කියන පරිදි මේ ගණන් මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

      Delete
    2. Dear Ian

      Value of the renminbi (Chinese Yuan) was pegged to the US dollar until 2005 as China pursued its transition from central planning to a market economy after 2005, and increased China's participation in foreign trade, the renminbi was devalued to increase the competitiveness of Chinese industry.

      Previously it has been claimed that Renminbi's official exchange rate was undervalued by as much as 37.5% against its purchasing power parity but more recently, however, appreciation actions by the Chinese government, as well as quantitative easing measures taken by the American Federal Reserve and other major central banks, have caused the renminbi to be within as little as 8% of its equilibrium value since 2006.

      Now Renminbi exchange rate has been allowed to float in a narrow margin around a fixed base rate determined with reference to "basket of world currencies".

      Chinese government announced that it will gradually increase the flexibility of the exchange rate & as a result of the rapid internationalization of the renminbi, it became the world's 8th most traded currency in 2013, & 5th by 2015.

      The RMB became the first emerging market currency to be included in the IMF's special drawing rights basket on October 2016 at the basket of currencies used by the IMF (reserve currency).

      Delete
  2. ඉකොනොමැට්ටා,

    "චී ණය" යනු එකල චීන ආධාර ගැන රනිල්වික්‍රමසිංහ කීව (වික්‍රමසිංහට චීනය යනු "චී-ණය" විය) කතාව ය. ලංකාවේ රාජපක්‍ෂ රෙජිමය චීනයට රට විකුණන බවට රනිල් ලතෝනි දුන්නේ වරාය නගරයෙන් වන පරිසර දුෂණ, මුහුදු කෑම ගැන චම්පකලා බෙරිහන් දුන් 2015 ජනපතිවරණ සමයේය. ලංකාව "චී ණය" ලබාගැනීමට අද රනිල් මහින්දගෙන් උපදෙස් ගෙන ඇත. ලංකාවේ වරාය නගරයෙන් දැන් පරිසර දූෂණය නොවන බවට රනිල් වග බලාගෙන ඇත.

    ලංකාවේ ආණ්ඩුවට සල්ලි නැත, සල්ලි දෙන අයකු ද නැත. ඇමරිකාව තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරන තරමට ලංකාවේ ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජන මුදල් ණයට ගැනීම පමණකි. හෙට අනිද්දා ලංකාවේ රුපියල බාල්දු වීම හා බදු වැඩි වීමත් සමග ගෑස් මිල ඉහළ යැම, ඉන්ධන මිල ඉහළ යෑම හා බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නොහැක. ලංකාවේ ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි. ලංකාවේ ආණ්ඩුවට දැන් චීනයේ පිහිට පැතීමට සිදු වී ඇත.

    ReplyDelete
  3. අපනයනයට දිරි දීමය සැනසීම
    ආනයනයට පිටුපෑමය ගැලවීම
    චී-ණය උනත් නොගැනීමය කලයුතුම
    සියරට දේ වේද එය සිරිසැප දේම

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=YSRAmS9OT-w

    ReplyDelete
  5. China also not that good as we think!!!
    https://www.youtube.com/watch?v=BcyYyyaPz84
    (can you please add post regarding china,Hambanthota ghost cities..)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: