වෙබ් ලිපිනය:

Thursday, September 29, 2022

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ


පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 23) දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ කලින් ප්‍රකාශයට පත් කර නොතිබුණු අමතර තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. මෙම තොරතුරු අනුසාරයෙන් ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඊට අමතරව, එයටම සම්බන්ධ, ණය ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ද මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබෙනවා. 

උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙයිද?

ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී මේ වන විට ප්‍රධානම මාතෘකාවක් වී තිබෙන්නේ උද්ධමනයයි. පසුගිය අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% මට්ටමේ තිබුණා. වැඩ පිළිවෙළෙහි ඇති ඇස්තමේන්තු අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 48.2% දක්වා ඉහළ ගොස්, 2023 වසරේදී 29.5% මට්ටම දක්වා අඩු වෙනවා. ඉන්පසු 2024 වසරේදී 6% දක්වා අඩු වී, 2027 දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් 5% මට්ටම දක්වා පහළ යනවා. 

උද්ධමන ඉලක්ක:

2022- 48.2%

2023 - 29.9%

2024 - 6.0%

2025 - 5.9%

2026 - 5.2%

2027 - 5.0%

මේ වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% වීම සැලකූ විට, වසරේ සාමාන්‍ය අගය 48.2% වීම සඳහා, අවසාන මාස හතරේ සාමාන්‍ය අගය 61.9% ,මට්ටමේ තිබිය යුතුයි. අගෝස්තු උද්ධමනය 70.2% වීම සැලකූ විට 48.2% ඇස්තමේන්තුව නිවැරදි වේයැයි මා සිතන්නේ නැහැ. දෙසැම්බර් වන විට උද්ධමනය 60-65% පමණ දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරි මාස හතරේ සාමාන්‍ය උද්ධමනය 65-70% පමණ මට්ට්කමවත් පවතිනු ඇති බව මගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 50% ඉක්මවීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ඉහත ඇස්තමේන්තුවේ විශාල ඇස්තමේන්තු වරදක් පෙනෙන්නට නැහැ.

ලබන වසරේ සාමාන්‍ය උද්ධමනය 29.9% මට්ටම දක්වා රැගෙන ඒම නරක ඉලක්කයක් නෙමෙයි. වසර මුල උද්ධමනය 60-65% අතර තිබුණත්, වසර අවසාන වෙද්දී එම අගය 6% පමණ දක්වා අඩු කර ගත හැකිනම් සාමාන්‍ය අගය ඉහත මට්ටමට එනවා. තව දුරටත් සල්ලි අච්චු නොගසන්නේනම්, මේ වන විට අච්චු ගසා ඇති සල්ලි වල උද්ධමන බලපෑම ඉවත් වූ පසු ඉතා පහසුවෙන්ම ඉහත ඉලක්කය කරා යා හැකියි. කෙසේ වුවද, ඒ සඳහා විණිමය අනුපාතයද ස්ථාවර ලෙස තබා ගත යුතු වෙනවා. ස්ථාවරව තබා ගැනීම යනු එකතැන හිර කර තබා ගැනීම නෙමෙයි.

එළඹෙන 2023 වසර අවසාන වන විට උද්ධමනය 6% මට්ටම දක්වා පහත වැටේනම් එය වැඩි වන්නට නොදී, 2027 වන වට 5% මට්ටම දක්වා අඩු කර ගැනීම කළ හැක්කක්. කෙසේ වුවත්, ඒ සඳහා දිගින් දිගටම යම් ප්‍රමාණයකින් විදේශ ප්‍රාග්ධනය රටට ගලා ආ යුතුයි.

ආර්ථිකය නැවත ගොඩ යන්නේ කවදාද?

මේ වසරේදී 8.7%කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතය ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ 2023දී තවත් 3.0%කින් හැකිළීමට නියමිතයි. ඉන්පසුව, 2024දී 1.5%කින්, 2025දී 2.6%කින්, 2026දී 3.0%කින් හා 2027දී 3.1%කින් ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ කියන්නේ, ඉදිරි වසර තුළ තව දුරටත් පහළ යාමෙන් පසුව, 2028 වන විට ලංකාවේ ආර්ථිකය නැවතත් 2018දී පැවති මට්ටමට පැමිණෙන බවයි. 

ආර්ථික වර්ධන ඉලක්ක:

2022  - (-8.7%) 

2023 - (-3.0%)

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%

මෙය හොඳ මට්ටමක් නොවන සේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. කෙසේ වුවත්, ප්‍රායෝගිකව මීට වඩා හොඳ ඉලක්කයක් කරා යන්න බැහැ. මෙය තමයි යථාර්ථවාදී ඉලක්කය. මේ අනුව, 2018-2028 දශකය ලංකාවට "අහිමි වූ දශකයක්" වෙනවා. ඉන් පසුවද, ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් ඉහළට ගැනීම වෙනම අභියෝගයක්. 

මේ ඉලක්ක වලට නිකම්ම යන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. ඔය මට්ටමෙන් වැඩේ ගොඩ දාගන්න රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වනු ඇත්තේ සැලසුම් කර ඇති පරිදි රජයේ ප්‍රාථමික හිඟය පහළ යන්නේනම් පමණයි. 2022දී දදේනියෙන් 4.0%ක් වූ ප්‍රාථමික හිඟය 2023දී දදේනියෙන් 0.7%ක් දක්වා අඩු කළ යුතුයි. ඉන් පසුව, 2024දී මෙය දදේනියෙන් 0.8%ක අතිරික්තයක් කර, 2025දී දදේනියෙන් 2.3%ක අතිරික්තයක් දක්වා ඉහළ දමා ගත යුතුයි. එම මට්ටම 2027 දක්වා (හා ඉදිරියට) නඩත්තු කළ යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් වැඩි කරගෙන වියදම් සීමා කළ යුතුයි. ඒ කොපමණ දුරකටද කියන එක පසුව විශ්ලේෂණය කරමු.

ප්‍රාථමික ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-4.0%) 

2023 - (-0.7%)

2024 - 0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%

මෙහෙම කළොත් ඩොලර් ප්‍රශ්නය විසඳෙයිද?

මේ වසරේදී, එනම් 2022දී, දදේනියෙන් 3.4%ක් ලෙස පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ජංගම ගිණුමේ හිඟය 2023දී දදේනියෙන් 2.0% දක්වාත්, 2024දී දදේනියෙන් 1.2% දක්වාත් අඩු කරගෙන ඉන්පසු එම මට්ටමේ පවත්වාගෙන යාම සැලසුමයි. ඒ කියන්නේ සැලසුම අනුව, දැනට වඩා අඩු වුවත්, ජංගම ගිණුමේ හිඟයක් දිගටම නඩත්තු වෙනවා. ඒ හිඟය පියවීම සඳහා දිගින් දිගටම විදේශ ණය අවශ්‍ය වෙනවා. 

ජංගම ගිණුම් ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-3.4%) 

2023 - (-2.0%)

2024 - (-1.8%)

2025 - (-1.8%)

2026 - (-1.8%)

2027 - (-1.8%)

අපේක්ෂා කරන විදිහට මේ විදේශ ණය ගන්න ලැබුණේ නැත්නම්, ඩොලරයේ මිල වැඩ සටහනේ සැලසුම් කර ඇති මට්ටමේ තියා ගන්න බැහැ. එහෙම බැරි වුනොත්, සැලසුම් කර ඇති පරිදි උද්ධමනය පාලනය කරන්නත් බැහැ. ඒ නිසා, 2027 වන තුරු (සහ ඉන් පසුවත්) වාර්ෂිකව යම් විදේශ ණය ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඊට අමතරව රජයේ අයවැය හිඟය පාලනය කරගෙන සල්ලි අච්චු නොගසා ඉන්නත් වෙනවා. 

මෙච්චර දඟලලත් අන්තිමට ඔච්චරද?

මා දකින විදිහට මෙහි තිබෙන්නේ දැන් ලංකාව වැටී සිටින තැන සිට යා හැකි උපරිම දුරයි. කටින් බතල වැඩ පිළිවෙළක් මිස, මීට වඩා හොඳ වැඩ පිළිවෙළක් හැදිය හැකියැයි මා සිතන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නය මේ වැඩ පිළිවෙළ වුවද ශුභවාදී (optimistic) වැඩ පිළිවෙළක් වීමයි. ශුභවාදී වුවත්, මෙය මනෝරාජික වැඩ පිළිවෙළක්නම් නෙමෙයි.

මේ වැඩ පිළිවෙළ යටතේ වුවද රාජ්‍ය ණය තිරසාරත්වයක් නැහැ. ඒ කියන්නේ, මේ ඉලක්ක වලට යමින් ණය ආපසු ගෙවන්න බැහැ. අපේක්ෂිත මට්ටමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණයහිමියන් එකඟ විය යුතුයි.

පසුගිය ජූනි අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය (මහ බැංකුවේ සහ රජයේ ඇප මත ලබාගෙන තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල ණයද සමඟ) ඩොලර් බිලියන 80.5ක්. 2021 දෙසැම්බර් අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක් වුවත්, ඩොලරයක මිල ඉහළ යාම නිසා ණය ප්‍රමාණය 20%කින් පමණ අඩු වී තිබෙනවා. 

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 46.6ක් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන ඇති ණයයි. දළ වශයෙන් එයින් බාගයක් පමණ වාණිජ ණය ලෙසත්, කාලක් පමණ ද්විපාර්ශ්වික ණය ලෙසත්, ඉතිරි කාල බහු පාර්ශ්වික ණය ලෙසත් වර්ග කළ හැකියි. මේ අතරින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස දෙක තුන තුළ සිදු වනු ඇති බව අපේක්ෂාවයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කර, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙන්නට පුළුවන්. ලබන ජනවාරි පමණ වන විට මෙම පළමු වාරිකය ලබා ගැනීම ලංකාවේ අපේක්ෂාවයි.

9 comments:

  1. බොහොම ස්තුති. ඇත්තටම ඉකොනො ගෙ ලිපි නිසා ගොඩක් දෙවල් ඉගන ගන තියනවා.
    //ජංගම ගිණුමේ හිඟයක් දිගටම නඩත්තු වෙනවා. ඒ හිඟය පියවීම සඳහා දිගින් දිගටම විදේශ ණය අවශ්‍ය //වෙනවා
    1) මෙහෙම කලාම රුපියල අදිප්‍රමානය වෙනවා නෙද? එතකොට අපනයනය පදනම් කරගත් ආර්තිකයක් හදන්නෙ කොහොමද?
    2) උද්දමනය පාලනය කිරිමට වඩා නය නොගෙන රුපියල අවප්‍රමානය වෙන්න ඉඩ හැර අපනයනය පදනම් කරගත් ආර්තිකයක් හදන එක වඩා වැදගත් නැති ද?
    3) එහෙම නැති නම් ටික කාලයක් නයට අරගන ඉන්පසු එය නවතා දමන එක ප්‍රයොගිකද(අපිට නය ගෙවන්නත් තියනවනෙ)?
    4) Local debt restructure කරන්න වෙයි කියලා ඉකොනො හිතනවද?

    ReplyDelete
    Replies
    1. මගේ පෞද්ගලික අදහසනම් විණිමය අනුපාතය මගින් උද්ධමනය පාලනය කිරීම වෙනුවට රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම මගින් අපනයන තරඟකාරිත්වය වැඩි කළ යුතු බවයි. ඒ කියන්නේ ඔබ කියන දෙය. වෙනත් විදිහකින් කිවුවොත් උද්ධමනය වැඩි වෙන්නේ ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම නිසානම් ඒ ගැන එතරම් වද විය යුතු නැහැ කියන එකයි. සමහර විට මෙය කෙටිකාලීන ප්‍රවේශයක් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ කෙටිකාලීනව නොවන දේවල් දිගුකාලීනව වෙයි කියා හිතන්න අමාරුයි. බැංකු පද්ධතියට තිබෙන බලපෑම ආදී හේතු නිසා Local debt restructure කරන එකක් නැහැ කියලයි මම හිතන්නේ. නමුත්, විදෙස් ණයහිමියන්ගෙන් බලපෑම් එන්න පුළුවන්.

      Delete
  2. දේශීය ණය අර්බුදයක් තියන වෙලාවේ උද්දමනය 10% වගේ තියාගන්න සැලසුම් කරන එක ප්‍රායෝගිකයි නේද, 5% කියන්නේ අනවශ්‍ය පීඩනයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. උද්ධමනය 5%ට සීමා නොකර 10% මට්ටමේ තියා ගත්තා කියලා විශාල වාසියක් ලැබේයැයි මම හිතන්නේ නැහැ. රුපියල විදේශ මුදල් වලට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම නිසා උද්ධමනය 10% වෙනවානම් එය නරක දෙයක් නෙමෙයි. නමුත්, උද්ධමනය 10% ලෙස සැලසුම් කර සල්ලි අච්චු ගහන්න ගියොත් අවුල් ගොඩක් ඇති වෙනවා. 5% නැතුව 10% මට්ටමේ තියාගෙන සැලසුම හැදුවොත් ප්‍රායෝගිකව වෙන්නේ දෙවැන්නයි.

      Delete
  3. ඉකොනොමැට්ටෝ

    ලංකාවේ මහ බැංකු වාර්තා වල විදියට පසුගිය අගෝස්තු මාසයේ උද්ධමනය 70.2% ක්. ඒ කියන්නේ මීට පෙර වසරේ අගෝස්තු මාසයේ තිබුන භාන්ඩ හා සේවා වල මිලට වඩා අද මිල 70% කට වඩා වැඩියි.

    මේක පටලවාගෙන හර්ෂ ද සිල්වා ගොන් වාහේ කියන්නේ කලින් රුපියල් 100 කට ගත්ත බඩු වලින් රුපියල් 70 ක් වටින බඩු දැන් ගන්න බැරිද මොකක්ද බයිලාවක් ඒ ගොනා කියන විදිහට ලංකාවේ උද්ධමනය 100% ක් වුණොත් මිනිස්සුන්ට බඩු ගන්නම බැරි වෙනවා මෙහෙම ගොන්නු තමයි ලංකාවේ ආර්ථික විශේෂඥයින් කියලා පෙන්නගෙන ඉන්නේ ඉතින් රටේ ආර්ථිකය මෙහෙම නොවී තියේවිද?

    ලංකාවේ ආහාර , ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වල මිල ගණන් වෙන වෙනම ගත්තහම මිල ඊටත් වඩා වැඩිවෙලා. මේ මෑතදී හඳුන්වාදුන් අධික විදුලි මිල ඉහල දැමීම් හා සමාජ අරක්ෂක බද්ද වැනි අළුත් බදු වල බලපෑම නැතුව. ඒවත් එකතු උනාම සැප්තැම්බර්, ඔක්තෝබර් උද්ධමනය ඊටත් වඩා වැඩි වෙනවා.

    රටේම අධික ලෙස මිල ඉහල ගියාට ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. පවුලට වෙනදා ගත් ආහාර ප්‍රමාණයවත් ගන්න නැතුව දරුවන්ට පාසැල් යන්න ඇඳුම් පොත්පත් සපත්තු අරන්දෙන්න බැරුව ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ මේ නිසායි.

    ඒ නිසා උද්ධමන ප්‍රශ්නෙට විසඳුම් හොයන්න නම් අපි මුලින්ම උද්ධමනයට හේතුව වටහා ගන්න ඕනේ. පහුගිය කාලේ සමහර ආර්ථික විශේෂඥයෝ උත්සාහ කලා අර්ථකතනය කරන්න මේ උද්ධමනය ඇතිවෙලා තිබෙන්නේ මුදල් සංසරණය වැඩිවෙලා ඉල්ලුම හා සැපයුම අතර සමතුලනය නැතිවෙලා කියලා. ඒකට පිළිතුරක් ලෙස මහ බැංකුව පොලී අනුපාතයන් අධික ලෙස ඉහල දැම්මා. නමුත් එය ප්‍රශ්ණය හරියාකාරව හඳුනාගෙන දුන් විසඳුමක් නොවන නිසා ඒ තීන්දුව පවා අද උද්ධමනයට වක්‍රාකාරව බලපාලා තිබෙනවා.

    ඇත්තෙන්ම කියනවා නම් ලංකාවෙ මේ දවස්වල උද්ධමනය වැඩිවෙලා තිබෙන්නේ මූලිකවම නිශ්පාදන පිරිවැය වැඩි වෙලා නිසායි. නිශ්පාදන පිරිවැය වැඩි වෙලා තිබෙන්නේ මූලිකවම ආනයනික භාන්ඩ වල මිල ඉහල යාම හා අධික පොලී අනුපාත නිසා ව්‍යාපාර කර ගෙන යාමේ වියදම වැඩි වීම වැනි කරුණු නිසායි.

    ඒ වගේම මේ කියපු කරුණු වලට හේතුව වෙලා තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වන්නට හේතුව නන්දසේන රාජපක්ෂ රෙජීමය පසුගිය කාලයේ අයවැය පරතරය පියවන්නට විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමයි.

    ඒ විදියට එම රජය මුදල් අච්චු ගසන්නට හේතුව 2019 පමණ වනවිට රටේ විදේශ ණයබර ඩොලර් බිලියන පණස් හය දක්වා අධික ලෙස ඉහල ගොස් තව දුරටත් ලංකාවට විදේශ ණය ගැනීම අපහසු වීමයි. ඒ වගේම 2019 පාස්කු කේස් එක සහ 2020/21 කොවිඩ් වසංගතය කාලේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම සමග ඉතාමත් බරපතල විදිහට විදේශ මුදල් සංචිතය සිඳී යාමත් කබ්රාල් වැනි අයගේ මුග්ධ තීරණ අනුව රුපියල බලෙන් පාලනය කිරීමට උත්සාහ කල සමයේ රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවී විදේශ සංචිත ක්ෂය වීමයි.

    ඔන්න ඔය නිසා ආර්ථික විද්‍යත්මකව මේ ගැන කල්පනාවෙන් බැලුවාම මේ සියල්ල එකිනෙකට බැඳුණු ආර්ථික ගැටලු බවත් මෙය සමස්ථයක් ලෙස සලකා විසඳුම් සෙව්වේ නැත්නම් මේ අර්බූදයෙන් ගොඩ එන්නට බෑ කියලා පැහැදිලියි. එහෙනම් රජය මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ අයවැය පරතරය අඩු කර ගැනීමට හා විදේශ ආදායම් වැඩි කර ගැනීමටයි.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ රජයේ හෝ විපක්ෂයේ කිසිවෙකුට එවැනි පැහැදිලි ආර්ථික වැඩ පිලිවෙලක් තිබෙනා බවක් අපට පෙනෙන්නට නෑ. යම් තරමකින් හෝ ධම්මික පෙරේරලා වැනි අය ඩොලර් ගේන්න ඕන කියලා අදහසක් තියෙනවා රනිල්ට ඒකවත් තේරෙන්නේ නැහැ ඒකයි අවුල තියෙන්නෙ.

    මේ වෙලාවේ රජයේ වියදම අඩුකරගැනීමට ප්‍රමුඛතාව දිය යුතු වුනත් ආන්ඩුව කරන්නේ තවත් රජයේ වියදම් වැඩි කරගැනීමයි. නිශ්චිත වගකීම් නැති රාජ්‍ය ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් පත් කරලා. තව කැබිනට් ඇමති වරුත් පත් කරනවාලු. මේකද මේ වෙලාවේ රජය කල යුත්තේ.

    ජනතාවට ඕන කුඩා කැබිනට් මන්ඩලයකින් සමන්විත අන්තර් කාලීන රජයක් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් පිහිටුවල ආර්ථිකය හසුරවන්න වුනත් අද වෙලා තියෙන්නේ ඇමති වරු විශාල ප්‍රමාණයක් පත් කරගෙන කිසිදු සැලස්මක් නැතුව කාලය කා දැමීමයි. ඒ වගේම ලංකාවේ විපක්ෂ කණ්ඩායම් සජබ ජවිපෙ ඇතුළු පිරිස ඇඟබේර ගෙන මාරු වෙලා ගිහින් බොරුවට විවේචනය කරමින් බැන බැන ඉන්නව විතරයි කිසිම දෙයක් තේරුම් අරන් නෑ. කිසිම වගකීමක් ගන්න හැකියාවකුත් නෑ.

    ගිය අගෝස්තු 30 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් අපි බලාපොරොත්තු වුනා වියදම් පාලනයට යම් ආදර්ශයක් දෙයි කියලා. නමුත් සිද්ධ වුනේ 2022 ට මුලින් ඇස්තමේන්තු කරලා තිබුන රුපියල් බිලියන 3,851 ක වියදම අතුරු අයවැයෙන් රුපියල් බිලියන 4,427 කින් වැඩි කර ගැනීමයි. රුපියල් බිලියන 576 කින් වියදම වැඩි වෙලා මේ ඇසතමේන්තුවේ. මේකද ආන්ඩුවේ විසඳුම?

    ReplyDelete
  4. ලංකාවේ වර්තමාන වික්‍රමසිංහ ආන්ඩුව ගන්නා තීන්දු තීරණ වලිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි. දැන් බලන්න පොලී අනුපාත වැඩි වුනාම එක පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඔවුන්ගේ වැඩි වෙන පිරිවැයත් ජනතාවට පැටවෙනවා. ණයට බඩු ගත්තොත් අධික පොලියක් ගෙවන්න වෙනවා.

    මේ වගේම ඊලගට රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ විශාල වශයෙන් බදු අය කිරීමට බදු වැඩි කලා. මේ බදු වලින් බහුතරය වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් දැරිය යුතු බදු. එයිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි.

    රජයේ මුදල්වලින් වෙන නාස්තිය අඩු කරගෙන ආදායම් වැඩි කරගන්න ක්‍රම හොයන්නේ නැතුව ආන්ඩුව උදේ ඉදන් රෑ වෙනකන් කතා කරන්නේ අලුතින් ණය ගන්න එක ගැනයි.

    මේ දවස්වල IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ලැබෙනවලු . හැබැයි ඒකට අවුරුදු 4 ක් ගත වෙනවා. මේ අය උත්සාහ කරන්නේ ඒ ණය පෙන්නලා ජපානය වැනි රටවලින් තවත් ණය ගන්නටයි. හැබැයි ඔය ගන්න ණය ගෙවන්න හෝ ආදායම් වැඩි කර ගැනීම සඳහා කිසිම සැලස්මක් රටට කියන්නේ නෑ. එහෙම එකක් නෑ වගේ පේන්නේ හැමෝටම.

    ඒ වගේම මෙතන තියන භයානක කම මේකයි අද ලංකාවේ ආර්ථිකය කලමණාකරනය කරන්නේ 2015-2019 කාලේ ලංකාවේ ආර්ථිකය කලමණාකරනය කරපු අයමයි. ඒ අය තමයි අද මේ රටට ගෙවා ගන්න බැරුව දඟලන ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 අයි එස් බී වගේම SLDB ඩිවෙලප්මන්ට් බොන්ඩ් ආදී බැඳුම්කර වැඩිම ප්‍රමාණයක් ගත්තේ.

    ලංකාවේ වර්තමාන විදේශ ණය ගැන වාර්තාවක් මෑතදී එලියට ඇවිල්ලා තිබුනා ඒ අනුව අපිට ගෙවන්න තිබෙනවා ඇමෙරිකාණු ඩොලර් බිලියන 46.6 ක් ණය. ඉන් ඩොලර් බිලියන 37.9 ඍජුවම මධ්‍යම රජය ගත් ණය,ඩොලර් බිලියන 5.5 ක් රාජ්‍ය ආයතන විසින් ගත් ගෙවීමට රජය බැඳී සිටින ණය, ඩොලර් බිලියන 3.2 ක් මහ බංකුව ගත් ණය. එතකොට ඩොලර් බිලියන 12.5 ක ISB ස්වෛරී බැඳුමකර කියන්නේ ආන්ඩුව ගත් ණය වලින් 32% පමන ඇරන් තිබෙන්නේ යහපාලන ආන්ඩුව කාලේ. ඒකෙත් වැදගත්ම කාරනය තමයි ඉන් බිලියන 6.5 ක් ම ලබාගෙන තිබෙන්නේ. ආන්ඩුවේ අවසාන අවුරුදු දෙකේ. ඒ කියන්නේ 2018,2019 කාලේ. එහෙනම් අපි අද මේ දුක් විඳින්නේ මේ අය ගත් ණය ගෙවා ගන්න බැරුව.

    ඒ වගේම දැන් ඒ මුග්ධ ආර්ථික තීන්දු ගත් අය ආයෙත් බලයට ඇවිත් තවත් රට ණය කරන්න කතා කරනවා. අද වන විට ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලෝකයට ණයයි.

    ලංකාවේ ජනතාව තවදුරටත් ණය කරුවන් කරනා හැටි කියවන්නේ නැතුව ඒ ණය බරින් මුදවන හැටි දැන් වත් කල්පනා කරන්න ඕන නැද්ද? රටේ භාණ්ඩ හා සේවා අපනයන ආදී විදේශ ආදායම් තව විශාල වශයෙන් වැඩි කර ගැනීම සඳහා සහ නව නිපැයුම් හරහා අපනයන විවිධාංගීකරණය සහ ප්‍රායෝගික විසඳුම් යෝජනා හොයා ගන්න ඕන නේද?

    ReplyDelete
  5. සැලසුම් හොඳය කඩදහි මත්තේ කෙරෙන
    එව්වා කෙරෙන්නේ විදිහකටය එරෙන
    පුරවැසියන්ට කෙළවෙන පාටක් තියෙන
    නමුදු, බේරිලා වගෙ තෝරුන් අහින

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි නිදි, ලංකාවේ ආර්ථිකය තුළ සැපයුම් වැඩි අත්‍යවශ්‍ය සේවා හෝ භාණ්ඩ නිෂ්පාදනය නොකරන ක්ෂේත්‍ර වල පුද්ගලයන් ට එක්කෝ ජීවන තත්ත්වය පහළ දමාගෙන ඉන්න වෙනවා නැතිනම් තම ශ්‍රමය ඉල්ලුම වැඩි ක්ෂේත්‍රය කට විතැන් කරන්න වෙනවා.

      නමුත් මෙවැනි වෙනසක් ඇති වෙන්න ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තව දුරටත් මේ විදියට යන්න බෑ කියලා තේරෙන්න අවශ්‍යයි නේද?

      දැන් පේන විදියට රනිල් වාදීන් සජබ පාක්ෂිකයන් විතරක් නෙමෙයි සමහර පොදුජන පෙරමුණේ කට්ටිය පවා හිතන් ඉන්නේ IMF ණය මුදල ලැබුණ ගමන් පෙර හිටපු ලාබ අධිපාරිභෝජන ජීවන ක්‍රමයට යන්න පුළුවන් කියලා. ජවිපෙ ජාතික ජන බලවේගයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ වීරවංසලා වාසුලා ඇතුළු ජාතික සභාව සහ ඩලස්ලගේ පක්ෂය යනාදී වාමාංශික පක්ෂ සම්ප්‍රදායික මතවාද මත පදනම්ව අයි එම් එෆ් එකට විරුද්ධව කතා කරනවා නමුත් තව අවුරුද්දකින් විතර අයි එම් එෆ් වැඩපිළිවෙල යටතේ තවත් බරපතල ලෙස අවුල් වී ආර්ථිකය කඩා බිඳ වැටීම සමගින් නැවත වතාවක් එම තල් පැන ගිය වාමාංශික මතවාද වලට සුජාත භාවයක් එකතු වෙලා ඔවුන් බලවත් වීමෙන් රට නැවතත් වල පල්ලට යන්න පුළුවන්

      ඒ නිසා අප ක්‍රියාත්මක වී රජයට පරිබාහිරව විදේශ විනිමය ලබාගැනීමට හැකි සේවා අංශයේ ව්‍යවසායයන් ඔන්ලයින් ව්‍යාපාර හා ව්‍යවසායයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපදේශන සේවා අපනයන ආදී විවිධ අංශ සමග නැවත සංචාරක ව්‍යාපාරය බලගැන්වීම සඳහා උපරිම වශයෙන් කටයුතු කළ යුතුයි ඒ වගේම රජයට දැඩි බලපෑමක් එල්ල කර ඒ සඳහා අවශ්‍ය රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවිය යුතුයි

      ඔය කසිකබල් අයි එම් එෆ් මගුල් කල් යන තරමට හොඳයි නැත්තම් ආයේ වතාවක් දිගටම ණය අරන් තව වසර දෙකකින් විතර විදේශ ණය බර ඩොලර් බිලියන සීයත් පන්නාවි රනිලා ණය බර දෙගුණයක් කරලා ෂේප් එකේ මාරු වෙයි ආයේ නන්දසේන වගේ ආර්ථිකය ගැන මුකුත් නොදන්න හාදයෙක් බලයට ඇවිත් ඊළඟ ආර්ථික අර්බුදයේදී රටටම හොම්බෙන් යන්න පුළුවන් වෙයි

      Delete
    2. නිමල් ඔබ ඇතුළු ලංකාවේ සිටින ප්‍රගතිශීලී පිරිස වහාම ක්‍රියාත්මක වී රජයට පරිබාහිරව විදේශ විනිමය ලබාගැනීමට හැකි සේවා අංශයේ ව්‍යවසායයන් ඔන්ලයින් ව්‍යාපාර හා ව්‍යවසායයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපදේශන සේවා අපනයන ආදී විවිධ අංශ සමග නැවත සංචාරක ව්‍යාපාරය බලගැන්වීම සඳහා උපරිම වශයෙන් කටයුතු කළ යුතුයි ඒ වගේම රජයට දැඩි බලපෑමක් එල්ල කර ඒ සඳහා අවශ්‍ය රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවිය යුතුයි අපිත් විදේශ රටවල සේවය කරන සියලුදෙනා එකතුකර ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන්නම්

      ඔය කසිකබල් අයි එම් එෆ් මගුල් කල් යන තරමට හොඳයි නැත්තම් ආයේ වතාවක් දිගටම ණය අරන් තව වසර දෙකකින් විතර විදේශ ණය බර ඩොලර් බිලියන සීයත් පන්නාවි රනිලා ණය බර දෙගුණයක් කරලා ෂේප් එකේ මාරු වෙයි ආයේ නන්දසේන වගේ ආර්ථිකය ගැන මුකුත් නොදන්න හාදයෙක් බලයට ඇවිත් ඊළඟ ආර්ථික අර්බුදයේදී රටටම හොම්බෙන් යන්න පුළුවන් වෙයි

      රටේ ආදායම් වැඩි කර නොගෙන ඔහේ ණය වෙලා ණයට කකා බිබී රටවල් ගොඩ දාගන්න බැරි බව පොඩි එකෙකුට උනත් තේරෙනවා මේ වෙලාවේ මිනිස්සු උනන්දු කරලා මිනිස්සුන්ට තේරුම් කරලා දීලා විදේශ විනිමය උපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් තව ආනයන ආදේශක හැකි උපරිමයෙන් රට පුරාම නිෂ්පාදනය කිරීමට දේශීය තරුණ තරුණියන් ඇතුළු ව්‍යවසායකයන් පුරුදු පුහුණු කර උනන්දු කළ යුතුයි තව තවත් ණය වෙලා කරන්න පුළුවන් ලබ්බක් නැහැ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: