වෙබ් ලිපිනය:

Thursday, March 23, 2023

මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

 


ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය . ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය. 

පහත තියෙන්නේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ කියන්නේ 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය. පැහැදිලිව මතක තියාගන්න මේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට - ඩොලර් මිලියන 212යි 

ලෝක බැංකුවට - ඩොලර් මිලියන 284යි 

ආසියානු සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 521යි 

අනෙකුත් බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට - ඩොලර් මිලියන 63යි.

බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල - ඩොලර් මිලියන 1,080යි 


ජපානයට - ඩොලර් මිලියන 197යි 

පැරිස් සංසදයේ අනෙකුත් රටවලට - ඩොලර් මිලියන 276යි 

චීනයට -ඩොලර් මිලියන 596යි 

ඉන්දියාවට - ඩොලර් මිලියන - 653යි 

පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට - ඩොලර් මිලියන 33යි 

වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව - ඩොලර් මිලියන 1,755යි 


ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් මිලියන 2,010යි 

චීන සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 477යි 

අනෙකුත් වාණිජ ණය - ඩොලර් මිලියන 2යි. 

වාණිජ ණය එකතුව - ඩොලර් මිලියන 2,489යි 


ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 400යි 

බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 200යි 

චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 1,433යි 

මුදල් හුවමාරු ගිවිසුම් එකතුව - ඩොලර් මිලියන 2,033යි 


වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 7,356යි. 

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි. 

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් නැහැ.)


දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:

වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් - ඩොලර් මිලියන 10,404යි 

බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී - ඩොලර් මිලියන 6,106යි 

අනෙකුත් ණය - ඩොලර් මිලියන 3,862යි 

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව - ඩොලර් මිලියන 20,372යි.


දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 27,727යි. 


මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.


වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:

බදු ආදායම - රුපියල් බිලියන 3,005යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 263යි 

ප්‍රදාන - රුපියල් බිලියන 12යි 

එකතුව - රුපියල් බිලියන 3,280යි 


ඇස්තමේන්තුගත වියදම්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 1,012යි 

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - රුපියල් බිලියන 300යි 

සහනාධාර - රුපියල් බිලියන 1,104යි 

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,073යි 

පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම - රුපියල් බිලියන 3,489යි


වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව - රුපියල් බිලියන 209යි.

මම හිතන්නේ දැන් තත්ත්වය පැහැදිලි ඇති. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක් ණයට අරගෙන වියදම් කරන්න වෙනවා. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගන්න වෙනවා.

වියදම පැත්තකින්ම තියමු. බදු වැඩි කරලා, රාජ්‍ය ආයතන විකුණලා අමාරුවෙන් එකතු කරගන්න රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම එක්ක රජයේ වියදම රුපියල් බිලියන 3,489යි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ල තියෙන්නේ ඔය ගණන ඇතුළේ. හොරකම්, දූෂණ නවත්වලා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වියදම් කපලා ඔය වැඩේ කරන විදිහ කාට හරි කියන්න පුළුවන්ද?

සමහර අය තවමත් සිහින ලෝක වල හිටියට ඕවා සුරංගනා කතා පමණයි. ප්‍රායෝගිකව නෙමෙයි සෛද්ධාන්තිකවවත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය ගෙවන්න කීයක් හෝ ඉතිරි කරගන්න එක. එතෙක් දිගටම ණය ගන්න වෙනවා. ඒ වගේම, ගෙවාගන්න බැරි ණය ගෙවන්න කල් ඉල්ලාගන්න වෙනවා. ඕක තමයි අවුරුදු 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය. 

කොයි තරම් කාලයකටද? 

අඩුම වශයෙන් අවුරුදු 25ක්වත් යනතුරු ඔය ණයෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්නම් ක්‍රමය කියන්න. එහෙම හරි ගොඩ එන්න පුළුවන් මේ වගේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ මේ වැටුණා වගේ කිහිප ගුණයක් විශාල අගාධයකට වැටෙන එක පමණයි.

මම හිතන්නේ මේ තරම් පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම වුනත් ලංකාව වෙනුවෙන් හදලා නැහැ. එහෙම හදන්න තරම් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් ගොඩදාගන්න පුළුවන් තාවකාලික ප්‍රශ්න. 

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගන්න පුලුවන් එකක් නෙමෙයි. මෙවර කලින් වාර වල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වැඩේට බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සැරෙත් මේ ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් එහෙමවත් ගොඩදාන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරි වෙනවා. සහසුද්දෙන්ම කතාව ඕකයි. 

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අය වාමාංශික අදහස් දරන අය බවයි පෙනෙන්නේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි. 

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නෙමෙයි. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් තිබෙනවා. එහෙම නැතුව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල හරියන්නේ නැහැ. හැබැයි හරියන්න හෝ වැරදෙන්න පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඒක තිබෙනවා. 

වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්වනවා. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස දකින්නේ ඒ නිසා වෙන්න ඇති. 

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ කියා එකක් ඉදිරිපත් කළා. කලින් ඉදිරිපත් කළ එකම යාවත්කාලීන කිරීමක්. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මේ වගේ ප්‍රතිපත්ති රාමුවක් කවදාවත් අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. 

මේ වගේ සංකීර්ණ තාක්ෂනික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට වුනත් තනිව මේ වගේ දෙයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ. දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි කතාවක්. ඒ කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේ වන විට හදා තිබෙන වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකක්. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව කියන එක ඒ අයගේ වැඩක්.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කවදාවත් හදන්න බැහැ.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකක්. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒ වගේම, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයක් එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නෙමෙයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයක්. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයක්. එහෙත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකියි. අරමුදලේ වැඩ සටහන හදද්දී මේ වගේ වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුයි. 

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුනත්, රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවන්න තියෙද්දී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒවා තනිකරම සුරංගනා කතා පමණයි. 

සමහර වාමාංශික අදහස් දරන අය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පේනවා. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නැති බවයි එයින් පෙනෙන්නේ. හැබැයි මමනම් එහෙම හිතන්නේ නැහැ. අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි කැපවීමක් තිබෙනවානම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මේකයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීම කියන එකයි. ඇතැම් අයට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

සමහර අය හිතාගෙන ඉන්නේ ලංකාවට තවත් වැටෙන්න තැනක් නැහැ කියලයි. එය මිථ්‍යාවක්. ඔය වැටුනා වගේ කිහිප ගුණයක් නරක තැනකට රට වැටෙන්න පුළුවන්. අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. 

12 comments:

  1. බොරු තර්ක එපා ඉකොනො. තාමත් IMF කොන්දේසි සමහරක් රහසක්. ඒව විනිවිදබාවයකින් යුතුව උන එකඟ වීමක් නෙවෙයි. උදාහරණයක් විදියට ලෙබනනය වගේ රටවල් සමහර කොන්දේසි වලට එකඟ නෑ...... ඒ රටවල් වලට ජාත්‍යන්තර යුධමය වශයෙන් ගැටළු තියෙනව තමයි නමුත් ඊටත් වඩා එතන තිබෙන ගැටළුව අයි එම් එෆ් එක වගේ ඒජන්සි එකක තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමට මූලික හේතුව ඒ රටේ දේශපාලකයො ජණතාවට වග කියන ජණ මතයෙන් ගොඩ නැඟුන ආණ්ඩුවක් තියෙන්නෙ. අපේ මවු රට ලංකාවේ වගේ කිසි ජන මතයක් නැති රටේ ජනතාව බල්ලට දාල ගෙඩිය පිටින් උන්ගෙ කොන්දේසි පිලිගත්තෙ නෑ ඒ රටවල්. ලංකාවට අවූරුදු 4ටම ඩොලර් බිලියන 2.9යි ලැබෙන්නෙ. හැබැයි මේ ජුනි වෙද්දි ඩො.බි. 3.2ක ණයක් ගෙවන්න තියෙනවා. එය එදිනට ගෙවා අවසන් කල යුතුයි කියල කොන්දේසියක් තියෙනවා. දන්නවද ඒ ගැන?

    ඒ වගේම තමයි මේක //වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ.//

    මේකේ ටිකක් විතර හරි ටිකක් වැරදියි ඒ වැරදි නිවැරදි කරන්න ඉක්මනට මෙන්න මෙහෙම//

    මීටත් වඩා ගොඩාක් හොඳ වැඩපිළිවෙළක් සකස් කරන්න දක්ෂ බුද්ධිමත් අය ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස අතර ඕනෑතරම් ඇත, නමුත් මෙම දැනට කරගෙන යන දුර්වල අයි එම් එෆ් වැඩසටහන පවා තේරුම් ගන්න පුළුවන් අය පොහොට්ටු පක්ෂයේ පොල් බූරු මීහරක් වහල් බයියො හැත්ත අතරේ නම් ඇත්තේම නැත, සජිත් ප්‍රේමදාසලගේ සජිත් ජලනි බලවේගයේ ද මේක තේරුම් ගන්න පුළුවන් අය වෙනුවට ඇත්තේ දමිතා සහ හිරුනිකර් වැනි ගලි බවුසර් පමණයි//

    මේ කොටස ඉක්මනට නිවැරදි කරන ලෙසට අපි වහාම කියනවා ඒ වගේම මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ ප්‍රශ්න ගැන දක්ෂ ලෙස කල්පනා කරලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කර ඇති බවත් අපි අභියෝග කරමු, ඒවා කියවා නුඹත් දෙයක් ඉගෙන ගෙන රට ගොඩ නගන එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය පමණක් බව තේරුම් ගන්න උත්සාහ කරන්න ඉකොනොමැට්ටා මේ වගේ බයිලා ලියන්න කලින්

    ReplyDelete
    Replies
    1. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ගැන විවේචනයක් නොමිලේ ලියවා ගැනීම සඳහා ආණ්ඩුවේ හිතවතෙකු විසින් දැමූ ප්‍රතිචාරයක් බව පෙනේ.

      Delete
    2. ඉකොනොමැට්ටා කටඋත්තර නැති වුණා නේද? හපොයි ඉකොනොමැට්ටාගේ රෙදි ඉල්ලෛ... 😬🥴🤠 ඒක තමයි ජවිපෙ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව හිතුවටත් වඩා ගොඩාක් සීරියස් විදියට රටේ ප්‍රශ්න ගැන හිතලා හදපු විශිෂ්ඨ නිර්මාණයක්, ඒකට මුකුත් කියන්න තරම් දැනුමක් හෝ හරිහමන් තර්කයක් හෝ නැති නිසා උත්තර නැති හින්දා බොරුවට වෙන බයිලයක් ගහලා ලිස්සා මාරු වීමේ හැකියාව තියෙනවා කියලා කියන්න පුළුවන් ඉකොනොමැට්ටා අංකල්ට 😁😁😁 එච්චරම තමයි 😁

      Delete
    3. ඕගොල්ලෝ වගේ ජවිපෙට හෝ ආණ්ඩුවට කඩේ යන ලපයි සිපයි නැතුව එම පක්ෂයේ හඳුනාගත හැකි නායකයෙක් ජවිපෙ ජාතික ජන බලවේගයේ නිල ආර්ථික ප්‍රතිපත්ති මාලාව එක්ක ෆේස්බුක් පිටුවේ කමෙන්ට් එකක් දැම්මොත් හෝ එම පක්ෂය බලයට ආ දවසක මිසක් ඔය ගැන කාලය නාස්ති කරන්න අදහසක් නැහැ.

      Delete
  2. ජවිපෙ ව්‍යාපෘතියක් නම් මුල මැද අග පිලිවෙලයි..ලංකාවේ පළාත් පාලනයේ සුවිශේෂී කොට්ඨාස සභා 8,000 ට ගැලපෙන කුමක් හෝ නිෂ්පාදනයක් කිරිමට ගමේ නියොජිතයාට සහය වෙමු..රට ගොඩ නගමු..

    ජවිපෙ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීමැසි පාලන හරිත සවිය ව්‍යාපෘතිය යටතේ ගමකට මී මැසි පෙට්ටි දහයක් බැගින් ලබාදෙන බව ඔබ හැමෝම හොඳින් දන්නා කරුණකි. මේක දැක්කම ඇත්තටම මටත් පුද්ගලිකව ආසාවක් ඇතිවුණා මෙවැනි ව්‍යාපෘතියකට... ඇත්තෙන්ම ජවිපෙ කිසියම් වැඩක් කරනවනම් එය හරිම සැලසුම් සහගතයි..රැස්වීමක් පැවැත්වුවත් එය පටන්ගැනිමට කලින් අවසන් වෙන තුරු බලා සිටියනම් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා..මිමැස්සෝ පොදියක් වගේ තමයි පිරිස..කවුරුවත් කරනකම් උපදෙස් ලබාදෙමින් පුටු රත්කරමින් බලාසිටින්නේ නැ..හැමොටම පුළුවන් උපරිමෙන් දයෙකත්වය ලබා දෙනවා..උදව් උපකාර කිරිමට නොහැකිනම් ගෙදරින් බත් එකක් උයාගෙන හරි සහයෝගය දක්වනවා..අනෙක් දෙශපාලනය වඩා හරිම වෙනස්..රැස්වීම අවසන් වු පසුත් එක විනාඩි දහයට සියල්ල පිරිසිදු කර පිලිවලකට තබා තමාට හැකි උපරිමයක් ලබා දෙයි..

    එමෙන්ම ජවිපෙ මාස 14 පරිවාස ආණ්ඩුවේ සිටියදි කිරි ගම්මාන පන්සිය ව්‍යාපෘතියත් ඉතා සාර්ථකයි..කිරිගොවියා මෙන්ම ව්‍යාපාර ආයතනය ලාභ ලබමින් රටේ අභිවෘද්ධියද නගා සිටෙව්වා..
    මෙය දුටු මා හට සි⁣තෙන්නේ අපේ කොට්ඨාස සභා 8,000 යටතේ එක ගමක ව්‍යාපෘති දහයක් හරියට කරානම් ව්‍යපෘති 80,000ක් පටන්ගැනෙනවා..එයට එක ව්‍යාපෘතියකට 15 සමාජිකයන්ට නිරත විමට හැකිනම් 1,200,000 ජනතාවකට සෘජු රැකියා බිහිවෙනවා.වක්‍ර රැකියා කිය නිමකල නොහැකි තරම්..
    තිස්ස ප්‍රාදේශීය සභාව ගැන කවුරුත් අදටත් කතාකරන්නේ ජවිපෙ දැක්ම ඉතා අගයමින්..මා පුද්ගලිකව ප්‍රාර්ථනා කරනවා අපේ ප්‍රාදේශීය සභාවත් එදා තිස්ස ප්‍රාදේශීය සභාව මෙන් කරන්න පුළුවන් නම් කියා...

    ජවිපෙ ආවෝත් ර⁣ට හැදෙන්නේ මෙහෙම..සුළුකර්මාන්ත නගා සිටිමෙන් රට ආර්ථික වශයෙන් දැවැන්ත මහාපරිමාණ ආර්ථිකයකට හිමිකම් කියන බව සියල්ල දනි..අපිත් කොට්ඨාස වශයෙන් ගමේ ආර්ථිකයක් නිෂ්පාදනයක් බිහි කරමු..

    ReplyDelete
  3. මම උඩ ඇනෝ නෙවෙයි, වෙන ඇනෝ කෙනෙක්,
    මගේ පුද්ගලික මතය අනුව පොහොට්ටුව, සහ සජබ කියන දෙකේ ප්‍රතිපත්ති ගැන කරන්න දෙයක් ඇත්තෙම නැහැ. AKD ගේ පක්ෂේ උනත් ඉස්සර තිබ්බ තත්ත්ව එක්ක, එයාලගේ ඉස්සර තිබ්බ ප්‍රතිපත්ති එක්ක මම එකග වෙනවා ගොඩක් දුරට (හැම එකම නෙවෙයි), නමුත් මේ වෙලාවේ මට පෙන්නේ එයාල කියන්නෙත් නිකන් ජනප්‍රිය වෙන්න දේවල් මිසක් ප්‍රායෝගික දේවල් නෙවෙයි. එකෙත් වරදක් නැහැ, ඉතින් එයාලගේ පැත්තෙන් බලපුවම.

    මම හිතන්නේ අකමැත්තෙන් උනත් මේ වෙලාවේ තීරණ ගන්න වෙනවා. අනික ඉතින් IMF වල දේවල් 100% සාර්ථක නැහැ, ඒවාට හැමෝම එකග වෙන්න ඕනෙත් නැහැ, නමුත් මේ තියන තත්වේ හැටියට වෙන කරන්න දෙයක් නැහැනේ. lesser evil (අඩු නරක) දේ තෝරාගන්න වෙනවනේ.

    ලංකාවට ගොඩක් වෙලාවට ප්‍රශ්න උනේ ඔය ideal solution හොයන්න ගිහිල්ලනේ. එහෙම ideal දේවල් නැහැ, හම දේම වැරදි තියනවා. නමුත් තියන option වලින් අඩු හානි තියන option එක තෝරාගන්න ඕනේ අපි. සරලයි.

    තව පොඩි දෙයක් කියන්න ඕනේ, ගොඩක් වෙලාවට concept එහෙම නැත්නම් තියරි ලස්සනයි, නමුත් ඕවට ඉලක්කම් ටික දාල බලපුවම ගොඩක් තියරි එලියට විසිවෙනවා.

    ReplyDelete
    Replies
    1. @ 11.27

      මූලික වශයෙන් ඔබේ නිරීක්ෂණ සමග එකඟ වෙන්න පුළුවන් ඒත්
      තව මීට වඩා දේශපාලන වශයෙන් ගැඹුරු විශ්ලේෂණයක් කිරීමට අවශ්‍යයි මොකද දේශපාලන වශයෙන් ලංකාව දැන් ගමන් කරමින් ඉන්නේ 2009න් පසු ග්‍රීසිය ගමන් කළ ට්‍රැක් එකට ඉතාම කිට්ටු ට්‍රැක් එකක බවයි පේන්නේ එහෙම නේද?

      ලංකාවේ මේ දවස්වල සමාජ ජාල වල ජනප්‍රිය බව පේන ජාතික ජන බලවේගය වගේම ග්‍රීසියේත් ආර්ථිකය බංකොළොත් වුණු පසු වාම ජනප්‍රියවාදී (left-wing populist) බලවේගයක් රැල්ලක් වගේ ඉහළට මතු වී ආවා. ග්‍රීකයන් එය හැඳින්වූයේ සිරිසා (Syriza) කියන නමෙන්.

      ග්‍රීක ආර්ථිකයත් (ලංකාවේ ආර්ථිකය සැබැවින්ම විනාශ කළ අන්ත දූෂිත 2015- 2019 රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ කාලේ වගේම) 2008 විතර වෙනකොට ඉතා අවදානම් තත්ත්වයක් යටතේ පැවතියා, ඒ සමගම එවකට පැතිර ගිය 2008/09 ගෝලීය ආර්ථික අර්බුදයට සමගාමීව 2009 ග්‍රීක් ආර්ථික අර්බුදය ඇතිවෙනකොට සිරිසා කියන වමේ බලවේගයට තිබුණේ සියයට 4.6%ක ඡන්ද ප්‍රතිශතයක්. ඒක පහුගිය මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයට දළ වශයෙන් සමාන එකක්.

      එම ග්‍රීක ආර්ථික අර්බුදය ඇති වී වසර තුනක් යනකොට, ඒ කියන්නේ 2012 දී, සිරිසා ව්‍යාපාරය සියයට 26.9%ක් ඡන්ද ලබාගත්තා. 2015 වන විට ඔවුන් එම ප්‍රතිශතය සියයට 36.3% දක්වා වැඩි කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට ද සමත් වුණා.

      ලංකාවේ 2019 දී රාජපක්ෂ පවුලේ හවුල් ව්‍යාපාරයක් වූ පොහොට්ටුව බලයට ඇවිත් හිටියා වගේම ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙනකොට බලයේ හිටියේ ග්‍රීක PASOK කියන පක්ෂයයි. එතනදී අපි කියපු ඒ 2009 ග්‍රික ආර්ථිකය කඩාවැටෙන්න කලින් PASOK පක්ෂයට සියයට 43.9%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. නමුත් අර්බුදය නිසා දැඩි ලෙස විවේචනයටලක් වූ ජනතාවගේ දැඩි ක්‍රෝධයට බඳුන් වූ පසුව දැඩි පසුබෑමකට ලක්ව එම පක්ෂය 2012 වන විට ජනවරම සියයට 12.3% දක්වා කඩාවැටුණා. 2015 වන විට එය සියයට 4.7%ට පහත වැටී පක්ෂය අතුගෑවිලා ගියා.

      ඒ වගේම ලංකාවේ සමගි ජන බලවේගය වගේ ග්‍රීසියේ ඒ වන විට අනෙක් ප්‍රධානම විපක්ෂ කණ්ඩායම වන 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්' එම පක්ෂයේ දුබල විසුළු සහගත මුග්ධ නායකත්වය නිසාම දැඩි ලෙස සමාජය තුල නායයාමකට ලක්වුණා.

      පේන විදියට නම් ලංකාවේ දැනට දකින්න ලැබෙන්නේත් ආර්ථිකය කඩාවැටුණු පසු ග්‍රීසියේ දකින්න ලැබුණාට සමාන දේශපාලන තත්ත්වයක් බවයි මට නම් හිතෙන්නේ, ලංකාවේත් යෝජිත පළාත් පාලන මැතිවරණය මේ වසරේදී ඉදිරි මාසවලදී පැවැත්වුණොත් ග්‍රීසියේ 2012 ලැබුණු ප්‍රතිඵලයට සමාන්තර ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මමත් ගෙස් කරනවා.

      නමුත් ඇත්තට ම බලන්නට අවශ්‍ය වන්නේ බලයට පැමිණි පසුව ග්‍රීසියේ වාම ජනප්‍රියවාදී පක්ෂයට සිදුවුණේ කුමක්ද කියලයි.

      ඒ ගැන සොයා බැලුවහොත් ඔබටත් දකින්නට පුළුවන් වෙයි 2015 ලොකු රැල්ලකින් බලයට ආ විදියට ම 2019 වන විට සිරිසා පක්ෂය බලයෙන් අතිශය පිළිකුල් සහගත ලෙස වීසි වුණා.

      වාම ජනප්‍රියතාවාදය ආර්ථික අර්බුදයකට විසඳුමක් නොවන බව ග්‍රිසියේ මිනිසුන් අත්දැකීමෙන්ම තේරුම් ගත්තා.

      Contd...

      Delete
    2. ඒ නිසා මේ වන විට ලොකු රැල්ලක් පෙනෙන්න තියෙනවා නම් ඒ රැල්ලට එරෙහිව පීනන්න උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔය ඕනෑම රැල්ලක් රැල්ල උඩ එන විදියටම රැල්ල යට යන වෙලාවක් එනවා. දේශපාලන රැලිවල ස්වභාවය ඒකයි. ඒකට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය බලයට පැමිණි විදියත්, ගෝඨාභය බලයෙන් ගිය විදියත් මතක් කර ගැනීමයි.

      මේ රැල්ලේ මා දකින එක හොඳ ප්‍රතිඵලයක් වන්නේ සජිත් ප්‍රේමදාසට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට එම පක්ෂයේ ඇතුලතින්ම විශාල පීඩනයක් එල්ල වීමට ඉඩ ඇතිවන බවයි. එසේ නැතිවුණොත් බොහෝ දුරට සමගි ජන බලවේගය කැඩී අලුත් පක්ෂයක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

      එක්සත් ජනපදයේ, යුරෝපීය සංගමයේ සහ ඉන්දියාවේ දැවැන්ත මූල්‍ය සහ බුද්ධිමය සහාය මත පදනම් වූ දැවැන්ත කැම්පේන් වල පිහිටෙන් ලංකාවේ දූෂිත රාජපක්ෂ
      ආණ්ඩුව මේ තරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන වෙලාවක, විදේශීය සහාය සහිතව රටේ ජනතාව පාරට ඇවිත් ජනාධිපතිවරයා ගෙදර යැවූ වෙලාවක, වෙන නායකයන් හොයා ගන්න නැති නිසාම මැතිවරණ කල් දමා එක්සත් ජනපදයේ සෘජු මැදිහත්වීමෙන් තනි අලියා රනිල්ව පොහොට්ටු නායකත්වයට බලෙන්ම පත් කරන්නට සිදු වූ මොහොතක, විපක්ෂ නායකයාට තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට බැහැ කියලා කියන්නේ එම විපක්ෂ නායකයා දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.

      එවැනි පසුබිමක මගේ අදහස නම් ඔහු තවදුරටත් විපක්ෂ නායකකමේ කාලය නාස්ති නොකොට තමන්ට කරන්නට පුළුවන් වෙනත් රැකියාවක් සොයාගත යුතුයි.

      වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි.

      ග්‍රීසිය මේ සම්පූර්ණ ගමන් පථය යන්නට අවුරුදු 10ක් ගත කළා. හුඟ වෙලාවට ලංකාවේ මෙය අවුරුදු 5-6ක් ඇතුළත හෝ ඇතැම් විට ඊටත් කලින් සිදුවෙන්නට පුළුවන් කියා මා හිතනවා. ඒ නිසා මේ වන විට අප කළ යුත්තේ ලෝකයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉදිරියේ දී සිදුවන්නට නියමිත පෙරළි සඳහා දේශපාලන වැඩබිම සූදානම් කිරීමයි. එහෙම නේද?

      Delete
  4. ඉකොනොට්මැට්ටා මහත්මයා, ඔබතුමන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මොනවාද ?

    ReplyDelete
  5. Breaking නිව්ස් 💥

    IMF එකෙන් ලැබුණු $ මිලියන 330න්, 121ක් ඉන්දියාවෙන් ගත්ත ණය වලට ගෙවලා..

    දැන් ඉතිරි $ මිලියන 209යි. ඒකත් බංග්ලාදේශයේ ණය ගෙවන්න ඕන නේද?

    ඒ අස්සේ ෂේප් එකේ බිල් ටිකයි ටැක්ස් වැඩි කරගන්න සහ චීන යුරෝපීය කඹ ඇදිල්ලේ තරඟාවලිය අත්හිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරපු බොරු මැතිවරණ කැරට් අලේ පෙන්නලා කපුටාස් හරහා චීනයේ සහයෝගයෙන් රුපියල් බිලියන ගණනක් වියදම් කරලා හදපු "අපි නම් මාලිමාවට" රැල්ලත් ඉවරයි දැන්, ඒ අස්සේ රැල්ලට අහු වෙලා පාවුණ උන් දැන් ටික ටික වැල්ලට ගොඩ ගහනවා, ඇත්තටම ඉකොනොමැට්ටා ඊළඟ විදේශ ණය වාරිකේ ගන්න රනිල් වික්‍රමසිංහ උන්නැහේ මොන වගේ ගේමක් දෙයිද දන්නේ නැහැ නේද? ආයේ බූරුවංස වාසි දේව මංගොන්පිලයා සොරිසේන ගමරාලලව කොට ඩලස්ලව ප්‍රමෝට් කරන්න උන්ගේ අර මොකක්ද සබාවට රැල්ලක් හදයි ද? සජබයියෝ ටිකනම් තාවකාලිකව ආණ්ඩුව විරෝධි කතා නවතා අයි එම් එෆ් මුරුංගා අත්තේ තබා හෙන වර්ණනාවක් කරලා ෂේප් වුණා වගේ තව ටික දවසක් සයිලන්ස් වෙයි නේද? ඇත්තටම ඊළඟට මොකද වෙන්නේ කියලා කාටහරි කියන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  6. @ Anonymous 11.27 & Anonymous 3.10

    ඔය කරුණු වලට අමතරව තවත් දෙයක් කියන්න ඕනේ, පහුගිය 2022 අප්‍රේල් මාසයේ තුන් වෙනිදා ලංකාවේ සැලසුම් සහගත ගෝ හෝම් ප්‍රොපගැන්ඩා එක පටන් ගත්ත වෙලාවේ පැහැදිලි දේශපාලන පක්ෂ හා සංවිධානය නොවූ අරගලවලට අප සම්බන්ධ නොවන බව ජවිපේ අරගලය ආරම්භයේ දීම කිව්ව..ඒකම වීරවංසලා සහ ගම්මන්පිල සහ තවත් කට්ටිය ගොඩක් එකම විදියට කියුවා කියන්නේ ආරම්භකයෝ ඔවුන් කවුරුත් නොවෙයි වෙනත් විශේෂ තෝරාගත් පිරිසක්.පස්සේ වැඩේ නැගල යනකොට set උනා...ඇත්ත කතාව ජවිපේ ප්‍රමාණයට වඩා පිම්බුනා, දැන් සිදුරු වෙලා, ඒ නිසා ඇත්ත වශයෙන්ම වෙන්නේ අඩියක් පස්සට ගන්නව නෙවෙයි පිම්බිලා වැඩිවෙලා සිදුරු හැදිලා ටික ටික හුළං යනවා.. අන්තරය මෙන්ම ජවිපෙ ජාතික බලවේගයද ලංකාවේ බලවත් ධනවත් ව්‍යාපාරික ප්‍රජාව හරහා බටහිර සහ භාරතීය තානාපති කාර්යාල විසින් ගෝ හෝම් සීන් එක නැගලා යන වෙලාවේ අරගලයට භාවිතා කල තවත් tool එකක් විතරයි. ඊට පස්සේ 2023 මුලදී ඔවුන් මැතිවරණ ප්‍රචාරක වැඩ හරහා ජන මනස වෙනත් දිශාවකට හැරවීමට යොදා ගත් ටූල් එකක් වුණා නමුත් පේන විදියට නම් වැඩේ ඉවර වුණ නිසා දැන් ඒක විසිකරල. ආයේ අවශ්‍යතාවයක් වුණොත් ආපහු අතට ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  7. ඉකොන්

    ලංකා ආණ්ඩුව දිගින් දිගටම ණය ගන්නා බවට මාධ්‍ය වාර්තා සහ වීරවංශ ගම්මන්පිල වැනි අය චෝදනා එල්ල කරනවා මේක ඇත්ත කතාවක් වගේ නේද පේන්නේ? මේ බලන්න මේක

    //දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් බලාපොරොත්තු වන ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ශ්‍රී ලංකාවේ රජය ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් පැවසුවේය.

    එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ගණනක් වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

    එම මුදල ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර පාන වර්ග, බිත්තර, කුකුල් මස්, ගව මස් සහ එළු මස්,ල තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුංඇට, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු වර්ග, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.//

    තව දුරටත් මෙවැනි ණය ගැනීම මගින් ලංකාවේ ආර්ථිකයේ තවත් අර්බුදයක් ඇතිවිය හැකි නේද? මේ ගැන කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: