වෙබ් ලිපිනය:

Friday, March 10, 2023

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!


මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. 

අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ ආර්ථිකය 9.8%කින් හැකිලෙනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබුණත්, සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හැකිලීම 9.2%කට වඩා වැඩි වන්නේ නැහැ. 

කෙසේ වුවත්, වසර අවසාන වෙද්දී ඩොලරයක මිල රුපියල් 390 මට්ටමෙහි පවතිනු ඇති බවට වූ ඔවුන්ගේ පෙර පුරෝකථනය මේ වාර්තාව ඉදිරිපත් කරන විට යාවත්කාලීන කර නැහැ. මේ සම්බන්ධව බ්ලූම්බර්ග් ආයතනය විසින් විද්‍යුත් තැපෑලෙන් එහි විශ්ලේෂකයෙකු විමසද්දී එයට පිළිතුරු ලෙස ඔහු පවසා තිබෙන්නේ සැලසුම් කර ඇති පරිදි ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය හැකි බව ඔහුගේ අදහස බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

අදාළ වාර්තාව ඇමරිකන් ඩොලර් 1,555කට විකිණෙන දීර්ඝ හා විස්තරාත්මක වාර්තාවක්. මෙවැනි දිගු වාර්තාවක් දවසකින් දෙකකින් පිළියෙල කරන්නේ නැහැ. බොහෝ විට එහි ඇතුළත් විණිමය අනුපාතය පිළිබඳ පුරෝකථනය අවසන් වරට යාවත්කාලීන කරන්නට ඇත්තේ ඩොලරයක මිල පහත වැටීම පටන් ගන්නට පෙරයි. මේ පිළිබඳව බ්ලූම්බර්ග් විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසුව පැහැදිලි කිරීමක් ලෙස ඉහත පිළිතුර දී ඇති බවයි පෙනෙන්නේ.

ලංකාවේ මාධ්‍ය වල උපුටා දක්වා තිබෙන්නේ මේ හා අදාළව බ්ලූම්බර්ග් විසින් පළ කළ ප්‍රවෘත්තියයි. ඒ හැර එම මාධ්‍ය ආයතන වල කිසිවෙකු විසින් අදාළ ෆිච් සොලියුෂන්ස් වාර්තාව කියවා ඇතැයි මා හිතන්නේ නැහැ. 

මේ අතර අද (මාර්තු 10) ෆිච් රේටිං ආයතනය විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙහි ශ්‍රී ලංකාව විසින් මාර්තු 20 දින IMF අරමුදල් ලබා ගනු ඇති බවට විශ්වාසය පළ කර ඇති අතර, ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ වනු ඇති නමුත් එම කටයුතු අවසන් වන දිනය අවිනිශ්චිත බවද සඳහන් කර තිබෙනවා. මෙහි සංකීර්ණත්වය පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කරන්නේ 2022 අගෝස්තු මාසයේදී අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කළ සැම්බියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවමත් අවසන් කර නැති බවයි. 

පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය පහත වැටීම පිළිබඳව අවධානය යොමු කරන ෆිච් රේටිං ආයතනය විසින් පෙන්වා දෙන්නේ ඩොලරයක මිල පහත වැටීම නිසා උද්ධමනය පෙර ඇස්තමේන්තු කළාටත් වඩා අඩු විය හැකි බවයි. කෙසේ වුවද, ලොකුම අවදානම ලෙස ඔවුන් දකින්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. එවැන්නක් සිදු වුවහොත් දේශීය ණය වල අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට සිදු වන බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.

7 comments:

  1. ඉකෝන්...මේ වාර්තාව මම දැකලා නෑ..හැබැයි මේ වාර්තාව ගැන අනෙක් අය කියන දේවල් අහලා තියෙනවා...

    මේ වාර්තාවේ හැටියට ලංකාවේ ස්වෛරිත්ව බැදුම් ගත්ත පෞද්ගලික ණය කරුවන්ගේන් සමන්විත අවිධිමත් කණ්ඩායමක්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන කථා කරනවා නේද?
    එසේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වුවහොත්, දේශීය ණය සම්භන්දයෙන් ‍ෆිච් රේටීන් පහල වැටීමක් ගැන කතා කරනවද?

    මේ කරුණ ගැන ඔබගේ ලිපිය සදහන් නොවී තියෙන්නේ ඒක එතරම් වැදගත් දෙයක් හැටියට ඔබ නොසිතන නිසාද?

    ReplyDelete
    Replies
    1. ලිපියේ අවසාන වාක්‍ය දෙකේ තිබෙන්නේ ඒ ගැන තමයි. කලින් කතා කර ඇති දෙයක් නිසා වැඩිය විස්තර කළේ නැහැ. ඒ වගේම, තව දින 11කින් මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න ලැබෙන නිසා දැන්ම ලොකුවට විග්‍රහ කරන්න යන එකේ තේරුමකුත් නැහැ. IMF එක එකඟ වන GFN සීමාව ප්‍රමාණවත් තරම් ඉහළින් තිබුණොත් අවිනිශ්චිතතාවය එතැනින්ම ඉවරයි.

      Delete
  2. ඉකොනොමැට්ටා මාලිමාවේ කැස්බෑව ප්‍රාදේශීය සභා අපේක්ෂක වරාය සේවා වෘත්තීය සමිති නායකයකු මාධ්‍ය මගින් පවසනු පරිදි මාසිකව ලංකාවේ රුපියල් 120,220ක දළ වැටුපක් ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්‍රමයන්

    1) වරායේ මාස 10 ක්‍රමයේ ණය
    2) බහු කාර්‍ය ණය
    3) සමූපකාර ණය

    ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින් තව 3000කුත් ණය වලට ගෙවන්න ඕනලු..

    දැන් මෙයා කියනවා මෙයාගෙ පඩියට බද්දක් ගහන එක වැරදිලු. මාර ලොකු ගාණක් ගහනවා ඇති කියලා හිතලා ආයෙ වංගු නැතිව මෙයාගෙ පඩියට හරියටම ගහන බද්ද කීයක්ද බැලුවා..

    රුපියල් 120,220 ට මෙයාට ආදායම් බද්ද හරියටම අය කරන්නෙ රුපියල් 1213.50යි. එතකොට මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙ කියමුකො. එතකොට මෙයාව බද්දෙන් 100% නිදහස් කරත් මෙයා ඒත් ණයයිනෙ මිත්‍රවරුනි. මෙයාට මෙයාගෙ පඩියෙන් ණය ටිකවත් ගෙවලා ඉවර කරන්න බෑ...

    මාර වැඩේ තමයි වෙලා තියෙන්නෙ.. තමන්ගෙ මූල්‍ය කළමණාකාරණයේ අසමත්කම මුදා හැරලා ඒක නෙමෙයි ප්‍රශ්නෙ රුපියල් 1213 ක බද්ද තමයි ප්‍රශ්නෙ කියලා පාරම් බානවා..

    මේ බද්ද 100% අයින් කරේ නැත්නම් 15 වෙනිදා වරායෙ සම්පූර්ණ වැඩ කටයුතු නවත්තනවා කියලා එයා කියනවා. මේ වෘත්තිය සමිති නායකයොන්ට අපි මොකක්ද කරන්න ඕන?

    මෙයාලට Financial management ගැන උගන්නන්න ඕනද? එහෙම නැත්නම් එයාලගෙ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට සහය දෙන්න ඕනද? මේ මනුස්සයා තමයි පහුගිය දවසක වරායෙ වැඩ නවත්තලා කෝටි ගාණක පාඩුවක් වරායට කරා කියලා උදම් ඇනුවේ..

    මේ පාර ඡන්දෙත් ඉල්ලන වෘත්තිය සමිති නායකයෙක්. මේ වගෙ මනුස්සයෙක් පරිපාලනයට එන්න සුදුසුද? නායකයෙක් වෙන්න සුදුසුද?

    දේශපාලනය පැත්තකින් තියලා මානව කළමනාකරණය පැත්තෙන් හිතන්න..මූල්‍ය කළමණාකරණය පැත්තෙන් හිතන්න.

    සරළවම මෙච්චරයි. මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙ ද තමන්ගෙ මූල්‍ය කළමණාකාරණයෙද?

    ප.ලි. මම මොහුගේ ආදායම් බදු ගැන ගණනය කිරීම් කළ ආකාරය මෙහෙමයි PAYE පළමු 100,000 ට කැපෙන්නේ නෑ. ඊළඟ 41,666 සඳහා 6% = උපරිමය රු 2500 පමණ. ඊළඟ 41,666 සඳහා 12% = රු 5000 පමණ. ඉතින් ඒ ආදායම් මට්ටමේ උපරිමයේ එනම් රු 183,332 මාසික ආදායමක් ලැබුවත් කැපෙන්නේ රු 7,500යි.

    ඒ නිසා බදු වදින ආදායම් රුපියල් 20,220/= ට 6% තමා මෙයාට, එඑතකොට රුපියල් 1,213.00 මුළු බද්ද මම හරි නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  3. ලංකාවේ ආර්ථිකය වගේම සමස්ත ලෝකයේම ආර්ථිකය කඩා ගෙන වැටිලා. ලංකාවේ විපක්ෂ කල්ලි කණ්ඩායම් දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.

    රනිල් වික්‍රමසිංහගේප්‍රධානත්වයෙන් පවතින ලංකාවේ ආණ්ඩුවේ පැත්තෙන් බලද්දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයි එම් එෆ් එකේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. ඒ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ දකුණු කොරියාව විතරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ 1994 දී ඉන්දියාවේ පාලන තන්ත්‍රය ඉතා බුද්ධිමත් ලෙස විමසා කටයුතු කළ අයුරින්ම දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. නැතුව දැන් කරනවා වගේ සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.

    අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?

    රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.

    අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.

    අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් ආර්ථික කළමනාකරණය “Digital” කළ යුතුයි. නමුත් රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් ඊට ඉඩ දෙන්නේ නැහැ.රට ඉදිරියට ගෙන යා යුත්තේ එවැනි නවීකරණයන් හරහායි. එවිට සියලු දෙනාට සාධාරණය ඉටු වන අතර අවශ්‍යම අයට පමණක් සහන හිමි වේවි. සම්පත් සාපේක්ෂව වඩාත් සාධාරණ ලෙස සියලු දෙනා අතර වඩාත් හොඳින් බෙදී යාවි.

      රටේ වාර්ෂික වියදම ට්‍රිලියන 4.5 දක්වා වැඩි වී තිබෙනවා. එම මුදලින් 35%ක ම වැඩි වී තිබෙන්නේ පොලී අනුපාතය නිසයි. හැම රුපියලක්ම වැඩි වන විට රජයේ වියදම අයවැයෙන් අවුරුද්දට රුපියල් බිලියන 40ක් වැඩි වනවා. පොලී අනුපාතය සියයට එකකින් වැඩි වන විට අවුරුද්දකට රුපියල් බිලියන 70ක් 80ක් විතර වැඩි වනවා. මේ පොලිය සියයට එකක් අඩු වන විට රටේ වියදම රුපියල් බිලියන 70ක් අඩු වනවා. පොලිය 5% දක්වා අඩු වුණොත් රටේ වියදමෙන් රුපියල් බිලියන 350ක් විතර අඩු වනවා.

      මේ වගේ අලුතින් හිතන කට්ටිය ඉන්නවා. ඒ අයව පාවිච්චි කළ යුතුයි. මේ රටේ එක එක්කෙනාගේ පෞද්ගලික බූදලයක් විදිහට ගෙන යන්න ඉඩ නොදිය යුතුයි. ලංකාවේ මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රුපියල බාල්දු කර ඊට සමගාමීව පොලී අනුපාතය ද විශාල වශයෙන් වැඩි කිරීමයි. ඒ නිසා අලුතින් හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ව්‍යාපාරයක් සිය ආදායමෙන් 30%ක පොලිය වෙනුවෙන් ද, 40%ක් විතර වැටුප් වෙනුවෙන් ද, විදුලිය සහ ජලය ඇතුළු අනෙකුත් වියදම් වෙනුවෙන් ද වෙන් කළාම එම ව්‍යාපාර ගෙන යන්නේ කෙසේද..?

      උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන නමුත් ප්‍රායෝගිකව ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දැන දැනම රජයෙන් ඒ බද්ද දැම්මේ ඇයි..?

      ඇත්තටම මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..?

      සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.

      2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් ප්‍රායෝගිකව උපයා ගත හැක්කේ උපරිම වශයෙන් රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම ශීග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලිය යුතුයි. මේ බද්ද ප්‍රායෝගික නැහැ.

      EPF බදු ලිපි ගොනු මිලියන 14ක් තිබෙනවා. මේ හැම TAX FILE එකකටම මාසයකට රුපියල් 250ක් දැම්මොත් අවුරුද්දකට බිලියන 42ක් සොයා ගත හැකියි. සක්‍රීය බදු FILE මිලියන 3ක් තිබෙනවා. ඒ FILE වලින් හැම මාසයකම රුපියල් 750ක් ලබා ගත්තොත් අවුරුද්දකට බිලියන 27ක් ලැබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක පමණ බදු FILE ප්‍රමාණයක් තිබෙනවා. ඊට රුපියල් 75,000ක බද්දක් දැම්මොත් එමගින් බිලියන 90ක් ලැබෙනවා. මේ ඔක්කොම එකතු කළා ම බිලියන 157ක් ලැබෙනවා. මේ වගේ සරල ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් රටටත් ජනතාවටත් යහපතක් සැලසෙනවා.

      උපයන විට ගෙවීමේ බද්ද හේතුවෙන් සාමාන්‍ය මනුස්සයෙකුගේ ආදායමෙන් මසකට 20%ක් අඩු වුණොත් ඔහුගේ ගෙවීමට තිබෙන හැකිය වගේම ඔහුගේ ජීවන රටාව ද වෙනස් වනවා. මේ දේවල් දෙස නිර්මාණශීලීව බලා අලුතින් හිතා වැඩ කිරීමට මහා බැංකුව ක්‍රියා කළ යුතුයි.

      ආදායම් වැඩි කරන මාර්ග අවශ්‍යයි. වියදම් අඩු කරන මාර්ග අත්‍යවශ්‍යයි. රජයේ සේවකයින් ලක්ෂ 17ක් අපේ රටට අවශ්‍යද..? රටේ ලක්ෂ 230ක් ජීවත් වෙන්නේ මෙම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 17න් නම්, රාජ්‍ය ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවයට නම් ප්‍රශ්නයක් තිබෙනවා නොවේද..? පුද්ගලික අංශයේ ලක්ෂ 80ක් සිටිනවා. ඒ අයට සත පහක වාසියක් නැහැ. රටේ සංවර්ධනයට රජයේ සේවයෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා ද..?

      Delete
    2. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් හරි හමන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ කරුණු පැහැදිලි කළේ.

      කෙටියෙන් කියනවනම් ලංකාවේ රජය සහ නිලධාරීන් හිතන ආකාරය වෙනස් විය යුතුයි. රටේම TAX FILE තිබෙන්නේ ලක්ෂ 5යි. බදු ගෙවීමට හැකියාව තිබෙන්නේ එම සංඛ්‍යාවෙන් 35%යි. 2019 බදු අඩු කලාට පසුව එම FILEවලින් 50%ක් වසා දැම්මා.එසේ බදු අඩු කරන විට නිහඬව සිටී මහා බැංකුව අවුරුදු දෙකක් මුළුල්ලේ රට කඩා වැටෙන හැටි බලා ගෙන ඉඳලා මාස හයකින් රට නග්ගනවා කියලා එකපාරටම මිනිස්සු මත බර පැටවීම සාධාරණද..?

      විදේශ රටවල අපේ වැඩ කරන ජනතාව එදා ලක්ෂ 15ක් සිටියා. ඒ අයගෙන් වසරකට ඩොලර් බිලියන 7ක් ලැබුණා.මේ වන විට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් පිටරට ගිහින් ඉන්නවා. නමුත් ගිය මාසයේ ඒ අයගෙන් ලැබුණේ ඩොලර් මිලියන 470යි. මම හිතන ආකාරයට ඊට විශාල ප්‍රමාණයක් වැඩි විය යුතුයි. තමා උපයන ඩොලර් තමාගේ බැංකුවට ඩොලර්වලින්ම එවන්න හැකි ක්‍රමයක් විදේශ ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ යුතුයි.

      ලංකාවේ ව්‍යාපාරයක් කරන්න අද කෙතරම් අමාරුද..? රජයෙන් අනුමැතියක් ලබා ගන්න අවමය මාස තුන හතරකට වැඩ යනවා. නමුත් ඒ සියලු අනුමතීන් දවසින් ලබා ගත හැකියි. කෙතරම් නාස්තියක් සිදු වෙනවා ද..? අවුරුද්දකට මිලියන 2.1 ක නීතිමය ප්‍රශ්න තිබෙනවා.

      අප කළ යුත්තේ සරල දෙයක් අපනයනය කරලා ඩොලර් සොයා ගැනීමයි. අපනයනය වැඩි කළ යුතුයි. විදේශිකයින්ට අපේ පුද්ගලික සහ රජයේ විශ්ව විදයල විවෘත්ත කර අවුරුද්දකට බිලියන 5ක් සොයා ගත හැකියි. ඒ වගේම අපගේ රෝහල් ද එසේ විදේශිකයින් වෙනුවෙන් විවෘත කළ යුතුයි. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල අරින්විට අනතවදීන් උද්ඝෝෂණය කරනවා. කිසිම නවීකරණයක් කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ.

      බැංකු පද්ධතිය නවීකරණය කිරීම, සංචාරක කර්මාන්තය අලුත් විදිහට ගොඩනැගීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය නවීකරණය කර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ආදිය අපට කළ හැකියි. ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් තිබෙන රටක් ලෙස ලංකාව හැඳින්වීමට පුළුවන්.

      ලංකාව බංකොලොත් වුණේ ආණ්ඩුව නිසා නොවෙයි. මුල්‍ය පාලනය තිබෙන මහා බැංකුව නිසයි. අපි ආණ්ඩුවේ වගේම මහා බැංකුවේ වැරදිත් පෙන්වා දෙන්නෝනේ එසේ නැතිව රට අලුතින් හදන්න බැහැ. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ. මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ. ඒ අය ආණ්ඩු කරන්න හදනවා. එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්ද..? ප්‍රශ්නය රාජ්‍ය අංශයේ නිලධාරී වාදය නොවේද?

      Delete
  4. මගේ ප්‍රශ්නය ඔබේ ලිපියට අදාල නැත. ඒ ගැන සමාවන්න. කැලිෆෝනියාවෙ SVB බැංකුවේ බිඳ වැටීම ගැන ඔබේ විග්‍රහය කුමක්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: