වෙබ් ලිපිනය:

Tuesday, March 28, 2023

ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීම- ගැටළු හා අභියෝග


කලින් සටහනෙන් පසු අසා තිබුණු ප්‍රශ්න කිහිපයකට සටහනකින්ම පිළිතුරු දීම වඩා සුදුසුයි කියා හිතුනා.කිහිප දෙනෙකු විසින්ම එකම ආකාරයේ ප්‍රශ්න මතු කර තිබීම ඊට හේතුවයි. මේ ප්‍රශ්න බොහොමයක් හිතන්න පුරුදු වී සිටින ආකාරය නිසා, වඩා නිවැරදිවනම් හිතන්න පුරුදු කර තිබෙන ආකාරය නිසා, මතු වී ඇති ප්‍රශ්න. තවත් ප්‍රශ්න ඇහැට පෙනෙන නිරීක්ෂණ හා අතීතයේ සිදු වී ඇති දේවල් නිසා ඇති වන ප්‍රශ්න. විය හැකියාවක් ගැන වියුක්තව හිතන එක කාට වුනත් ටිකක් අමාරු වැඩක්. 

තවත් සමාගම් පැමිණි පසු තරඟකාරිත්වය ඇති වෙන බවට තිබෙන සහතිකය කුමක්ද?

මෙම ගැටලුවට අදාළ ප්‍රතිචාර කිහිපයක්.

"මෙතනදී ගැටළුවක් මතු වෙනවා. තරඟකාරීත්වය ගැන කියලා තමා IOC ලංකාවට ගෙනාවේ. ඒත් ඇතිවෙච්ච තරඟකාරිත්වයක් වත් CEYPETCO ලබන අලාභයේ වෙනසක් වත් උනේ නෑ. ඒ ටිකම මෙතනදිත් උනොත්?"

"IOC එක ඇයි Ceypetco එකට වඩා රුපියලක් හරි අඩුවෙන් දෙන්න try නොකරන්නේ. එහෙම උනොත් උන්ටනේ පාරිභෝගිකයෝ වැඩිපුර ඇදෙන්නේ"

"ඉදිරියේදි තව සමාගම් 03 ක් එනව එක්ක මාර්ක් ශෙයා එක අඩු වීමක් වෙනවනේ ceypetco එකේ. ඒකත් එක්ක ceypetco එකේ පවතින ව්‍යූහය වෙනස් කරල වෙලදපොල සමග තරග කරන මට්ටමට පත්කලොත් ඕකේ අලාබය අඩු වෙන්න පුලුවන් නේද?"

"ඒකාධිකාරයන් නැති තැන් වල පවා තරඟකාරී සමාගම් කීපයක් එකතු වෙලා price-fixing කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ තත්ත්වයන් නැති කරන්නේ කොහොමද?"

"ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරීම පමණක් තරඟකාරී කිරීම වැඩක් නෑ. මිලත් තරඟකාරී වෙන්න ඕනේ. නැත්නම් රජය (Ceypetco) මිල තීරකයා වූවොත් දැනටත් IOC එකට වෙන, සමාගම් අධික ලාභ ලැබීම පමණක් සිදුවෙයි."

මේ ප්‍රශ්න හා ප්‍රතිචාර සියල්ලටම එකට පිළිතුරු දෙන්නම්. පළමුව, මම පොඩි වියාචනයක් කරලා ඉන්නම්. IOC එකට මිල තීරණය කරන්න නිදහසක් නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. මම ප්‍රතිචාර දක්වන්නේ එවැනි නිදහසක් තිබෙනවා කියන උපකල්පනය මත පදනම්ව. ඒ වගේම තවත් කරුණක් විදිහට, කිහිප දෙනෙකු විසින්ම මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලෙස (නිවැරදි) පැහැදිලි කිරීම් ලබා දී තිබුනා. මම කරන්නේ ඒ දේවල් නැවත කීමක් වෙන්න පුළුවන්. 

අපි මෙහෙම තැනකින් පටන් ගනිමු. ලංකාව තුළ ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ විකිණීම ලාබ ලැබීම ඉලක්ක කරගත් තනි පෞද්ගලික සමාගමකට ලැබුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? 

මෙවැන්නක් නීතිමය ඒකාධිකාරයක් හෝ ස්වභාවික ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. අපි නීතිමය ඒකාධිකාරයක් කියන තැනින් පටන් ගනිමු.

දැන් මේ සමාගමේ එකම ඉලක්කය පුළුවන් තරම් ලාබ වැඩි කර ගැනීමයි. එය කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. 

1. ලාබ ආන්තිකය (විකුණුම් මිල හා පිරිවැය අතර වෙනස) හැකි පමණ වැඩි කර ගැනීම 

2. විකුණන ඒකක ප්‍රමාණය හැකි පමණ වැඩි කර ගැනීම 

3. පිරිවැය හැකි පමණ අවම කර ගැනීම 

පෞද්ගලික ආයතනයක්නම් ඉහත (3) කොහොමටත් කරනවා. මොකද පිරිවැය අඩු වන තරමට ලාබ ඉහළ යනවා. නමුත් (1) හා (2) ඉලක්ක දෙකම එක්ක එකවර ඉදිරියට යන්න බැහැ. ලාබ ආන්තික වැඩි කරගෙන යද්දී එයට අනුරූපව විකිණිය හැකි ඒකක ප්‍රමාණය පහළ යනවා. ඒ නිසා, එක්තරා මොහොතකදී ලාබ ආන්තික වැඩි කිරීම නිසා ලාබ වැඩිවීම වෙනුවට ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා, ලාබ ලැබීම ඉලක්ක කරගත් පෞද්ගලික ඒකාධිකාරයක් විසින් ලාබ ආන්තික වැඩි කර ගන්නේ ඔය ප්‍රශස්ත මට්ටම දක්වා පමණයි. ඒ අනුව මිල තීරණය වෙනවා. 

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරයක් නොවී ද්වි-අධිකාරියක් වුනොත් වෙන්නේ කුමක්ද? අපි හිතමු A සහ B කියා තරඟකාරී සමාගම් දෙකක් තිබෙනවා කියලා.  A කලින් තිබුණු සමාගම. B අලුතෙන් එන සමාගම. 

අලුතෙන් එන සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. පළමු එක A සමාගමේ මිලටම විකුණන එක. දෙවැනි එක ඊට වඩා අඩුවෙන් විකුණන එක. 

අපි හිතමු A සමාගමේ මිලටම විකිණුවා කියලා. දැන් පාරිභෝගිකයින්ට සමාගම් දෙක අතර වෙනසක් නැහැ. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම සමාගම් දෙක අතර සමසමව බෙදී යනවා. එක් එක් සමාගමට 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙනවා. මෙයින් B සමාගමට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. කලින් නොතිබුණු වෙළඳපොළක 50%ක වෙළඳපොළ පංගුවක් ලැබෙන එකයි වෙන්නේ. නමුත් A සමාගමට පාඩුවක් වෙනවා. වෙළඳපොළ පංගුව අඩු වීමට අනුරූපව එම සමාගමේ ලාබ වලින් 50%ක් නැති වෙනවා.

මේ අවස්ථාවේදී ඊළඟට සිදු වෙන දෙය තීරණය වෙන්නේ A සමාගම ප්‍රතිචාර දක්වන ආකාරය අනුව. එම සමාගමට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. එකක් මිල අඩු කිරීම මගින් වෙළඳපොළ පංගුව වැඩි කර ගන්න උත්සාහ කිරීම. දෙවැන්න අලුත් තත්ත්වය භාර ගැනීම.  A සමාගම ඔය දෙකෙන් කොයි එක කරයිද?

මේක තීරණය වෙන්නේ දැනට ලබා ගන්නා ලාබ ආන්තිකය මතයි. ලාබ ආන්තිකය තීරණය වන්නේ සාපේක්ෂ කාර්යක්ෂමතාවය මත. සාමාන්‍යයෙන් කාලයක් ඒකාධිකාරයක් ලෙස කටයුතු කළ ආයතනයක් ගොඩක්ම කාර්යක්ෂම නැහැ. අලුතෙන් එන ආයතනයක් වඩා කාර්යක්ෂමයි. නැත්නම් වැඩේට අත ගහන්නේ නැහැ. ඒ නිසා,  A සමාගම මිල අඩු කළොත් B සමාගමත් මිල අඩු කරනවා. ඔය වැඩේ දිගටම වෙනවා. අන්තිමට නවතින්නේ A සමාගමේ ලාබ ආන්තිකය ශුන්‍ය වුනාට පස්සේ. වඩා කාර්යක්ෂම B සමාගමේ පිරිවැය අඩු නිසා මේ අඩු මිල යටතේත් B සමාගමට ලාබයි. 

හැබැයි B සමාගම වැඩේ ඔතැනින් නවත්වන්නේ නැහැ. තව ඉතා සුළු මිල අඩු කිරීමක් කරලා A සමාගම වෙළඳපොලෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම නොවෙන්නනම් ඔය වෙද්දී A සමාගමටත් B සමාගම තරමටම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. එවිට 50%ක වෙළඳපොළ පංගුවක් ඉතිරි වෙනවා.

දැන් පැහැදිලියිනේ මේ ක්‍රමයට ගියොත් A සමාගමට සිදු වන දෙය. වෙළඳපොළ පංගුව කොහොමටත් 50%ට වඩා වැඩි කරගන්න බැහැ. එහෙම කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ දැනට ලැබෙන ලාබයත් නැති වෙන එක. ඒ නිසා, A සමාගමට වෙන්නේ 50% වෙළඳපොළ පංගුවෙන් සැහීමකට පත් වෙන්න. 

ඔය A සමාගමේ පැත්තනේ. B සමාගමේ පැත්තෙන් වෙන්නේ කුමක්ද?

තමන්ගේ වෙළඳපොළ පංගුව 50% මට්ටමට එන තුරු B සමාගමට මිල අඩු කරන්න අවශ්‍ය නැහැ. මොකද මිල අඩු කරද්දී ලාබ ආන්තික අඩු වෙනවා. ලාබ ආන්තික එලෙසම තියාගෙන වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම මගින් ලාබ වැඩි කරගන්න පුළුවන්කම තියෙද්දී මිල තරඟයකට යන්න අවශ්‍ය නැහැ. මෙතැනදී වෙන්නේ B සමාගම A සමාගම එක්ක "එකතු වෙලා price-fixing කිරීම" වගේ දෙයක් නෙමෙයි. තරඟකාරී සමාගම් දෙකක් තනිතනිව තීරණ ගනිද්දී සිදු වන දෙය. 

තෙල් සංස්ථාව රාජ්‍ය ඒකාධිකාරයක් වුනත්, IOC එක ආවට පස්සේ ලංකාවේ වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක්. විශේෂයෙන්ම අලුත් තත්ත්වයත් එක්ක, තෙල් සංස්ථාවට පාඩුවට තෙල් විකුණන්න බැහැ. අකාර්යක්ෂමතාවයන් නිසා IOC එකට වඩා පිරිවැයත් වැඩියි. ඒ කියන්නේ, තෙල් සංස්ථාව යාන්තම් පිරිවැය ආවරණය කර ගනිද්දී වුනත් IOC එකට හොඳ ලාබ ආන්තිකයක් ලැබෙනවා. මේ තත්ත්වයේ වාසි ගනිමින් IOC එක ක්‍රමයෙන් වෙළඳපොළ පුළුල් කර ගනිමින් සිටිනවා.

දැන් මම මේ එක්කම තවත් ප්‍රශ්නයක් ගන්නම්. මේ ප්‍රශ්නයට මම මේ වෙලාවේ පූර්ණ පිළිතුරක් සපයන්නේ නැහැ. පළමු ප්‍රශ්නයට අදාළ වන කොටස පමණයි.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ."

මේ වගේ තත්ත්වයක් යටතේ අලුතෙන් එන සමාගම් තමන්ගේ ලාබ රටෙන් එළියට අරන් යන්නේ නැහැ. වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීම සඳහා නැවත රට තුළම ආයෝජනය කරන එකයි කරන්නේ. මොකද අත් පත් කරගත හැකි විශාල වෙළඳපොළක් තිබෙනවා. නමුත් වැඩේට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය එළියෙන් ගේනවට වඩා ලාබයම නැවත ආයෝජනය කිරීම හොඳ උපාය මාර්ගයක්. (දෙවන ප්‍රශ්නයට පිළිතුරු දී අවසන් නැහැ. එය පසුව කරන්නම්. මෙම පැහැදිලි කිරීම පළමු ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරට සම්බන්ධ කොටසක් පමණයි.)

මේ වගේ තත්ත්වයක් තුළ වෙළඳපොළ පංගුව 50%ක් දක්වා වැඩි කරගන්න තුරු IOC එක පැත්තෙන් හොඳම උපාය මාර්ගය තෙල් සංස්ථාවේ මිලටම තෙල් විකුණන එකයි. ඒක තරඟය තුළම සිදු වෙන දෙයක්. ඕක වෙනස් වෙන්නේ වෙළඳපොළ පංගුව 50%ක් වූ විටයි. 

නැවතත් අපි IOC එක පැත්තකින් තියලා B සමාගම ගත්තොත්, වෙළඳපොළ පංගුව 50% මට්ටමට ආපු ගමන් B සමාගම ප්‍රහාරය පටන් ගන්නවා. මිල පොඩ්ඩක් අඩු කරපු ගමන් A සමාගමේ ලාබ විශාල ලෙස අඩු වෙනවා. විශේෂයෙන්ම A සමාගමේ පිරිවැය ස්ථිර පිරිවැයනම් (සේවක වියදම් වැනි) B සමාගමට ඔය අවස්ථාවේදී A සමාගම වෙළඳපොළෙන් ඉවත් කරන්න පුළුවන්. 

දැන් අපි  A සමාගම වත්මන් තෙල් සංස්ථාව ලෙස සැලකුවොත්, මිල සූත්‍ර ක්‍රමය දිගටම තිබුණොත්, ඔය අවස්ථාවේදී තෙල් සංස්ථාවට IOC එකේ මට්ටමට මිල අඩු කරන්න බැරි වෙනවා. ඒ නිසා, IOC එක ටිකෙන් ටික වෙළඳපොළ අල්ලලා ඒකාධිකාරයක් හදා ගන්නවා. තෙල් සංස්ථාව වැහිලා යනවා. 

අනෙක් අතට, මෙතෙක් කළා වගේ තෙල් සංස්ථාවේ පාඩු බදු මුදලින් සුබසාධනය කළොත් තෙල් සංස්ථාව වැහෙන්නේ නැහැ. IOC එක මිල අඩු කරද්දී තෙල් සංස්ථාවත් මිල අඩු කරනවා. මිල සමානයි. එකම වෙනස දැන් මිල තීරණය කරන්නේ IOC එක වීම පමණයි. ඔය වගේ තත්වයකදී මිල අඩු කිරීමෙන් වෙළඳපොළ පංගුව අල්ලා ගන්න බැරි නිසා IOC එක මිල අඩු කරන්නේ නැහැ. දැන් වගේම එකම මිලක් දිගටම පවතිනවා. තෙල් සංස්ථාවේ පාඩු බදු ගෙවන්නන්ට දිගටම ගෙවන්න වෙනවා.

තවත් එක් සමාගමක් අලුතෙන් ආ විට වෙන්නේ කුමක්ද?

දැන් වෙන්නෙත් ඔය කලින් සිද්ධියම තමයි. නමුත් කලින් වෙළඳපොළ පංගුව 50% වෙද්දී සිදු වුනු දෙය ඊට කලින්ම, ඒ කියන්නේ වෙළඳපොළ පංගුව 33% වූ වහාම සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම, මේ අවස්ථාවේදී A සමාගම (තෙල් සංස්ථාව) බදු මුදලින් සුබසාධනය වුනත් B සහ C සමාගම් අතර තරඟය නිසා මිල පහත වැටෙන්න පටන් ගන්නවා. ඒ වාසිය පාරිභෝගිකයාට එනවා. සමාගම් තුනක් අලුතෙන් ඇවිත් තරඟකරුවන් ප්‍රමාණය පහක් වුනොත් වෙළඳපොළ පංගුව 20% වෙද්දීම ඔය මිල තරඟය පටන් ගන්නවා. සමාගම් ප්‍රමාණය වැඩි වන තරමට වැඩේ ඉක්මන් වෙනවා.

දැන් අපි නැවත දෙවන ප්‍රශ්නයට යමු.

"ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදෙස් සමාගම් මගින් කරද්දී අවාසියක් වෙනවා. මෙතනදී එලියට ඇදිලා යන්නේ කොහොමටත් එලියට යන විදෙස් විනිමය පමණක් නොවෙයි. ඔවුන්ගේ ලාභයත් අපි ඩොලර් කරලා එලියට ගෙනියන්න දෙන්න ඕනෙනේ. අපේ ඩොලර් වලින් තෙල් ගෙනත්, ඒවා අපිටම විකුණලා ගන්න ලාභයත්, අපිම ඩොලර් වලට හරවලා දෙන්න ඕනේ අරං යන්න."

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ආයෝජනයක් කරන්නේ ලාබ බලාගෙන. ඒක ඉතාම පැහැදිලියි. ආයෝජනයක් කරද්දී අවදානම් ගැන සැලකිලිමත් වෙනවා. අනාගතයේ සිදුවිය හැකි ආර්ථික, දේශපාලන, සමාජ වෙනස්කම් මේ ආයෝජනය කෙරෙහි ඇති කරන අවදානම් මොනවද?

ප්‍රාග්ධනය ගේන්නේ මේ  මොහොත ගැන හිතලා නෙමෙයි. දීර්ඝ කාලයක් ඉදිරියට අනාගතය ගැන හිතලා. පළමු ප්‍රශ්නය වෙළඳපොළ විවෘත කළ පමණින්ම තෙල් සමාගම් ලංකාවට එයිද කියන එක. තෙල් සමාගම් දොර අරිනකම් බලාගෙන දොර ඉස්සරහ නැහැ. මේ වෙලාවේ සමාගම් හතරක් පහක් එනවානම් එහෙම එන එකම සුබ ලකුණක්. 

කොහොමටත් ලංකාව කියන්නේ අනාගත ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් තිබෙන රටක්. ඒ නිසා, තෙල් සමාගමක් රටට ආවත් එක පාරටම වෙළඳපොළ අල්ලගන්න තරම් විශාල ආයෝජනයක් අරගෙන එන්නේ නැහැ. පටන් ගන්නේ පොඩියට. IOC එක වෙළඳපොළ අල්ලගෙන නැත්තේ ඇයි කියන එකට පිළිතුරත් මේකමයි. එහෙම ඇවිත් ලාබ ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ තියෙනවානම් ලැබෙන ලාබ නැවත ලංකාවේම ආයෝජනය කරනවා මිසක් රටෙන් ආපහු ගෙනියන්න හදිස්සි වෙන්නේ නැහැ. ලංකාව ව්‍යාපාර කරන්න හොඳ තැනක්නම් ඔය ලාබ කවදාවත්ම රටින් ගෙනියන්නේ නැහැ. 

සිංගප්පූරුව අද තිබෙන තැනට ආවේ මේ වගේ විශාල ආයෝජන වලින්. ඒ විදිහට ආපු ආයෝජන වල ලාබත් නැවත සිංගප්පූරුවේම ආයෝජනය වුනා මිසක් රටින් එළියට ගිහින් නැහැ. මම කියන්නේ සමස්ත චිත්‍රය ගැන. තමන්ගේ ලාබ අරගෙන යන්න නිදහස වැඩි වෙන තරමට ලාබ එළියට ගෙනියන්න තිබෙන උනන්දුව අඩු වෙනවා. නිදහස සීමා වෙන තරමට ආයෝජකයෝ බලන්නේ හැකි මුල්ම අවස්ථාවේ ලාබ එළියට අරගෙන යන්න. මෑතකාලීනව ලංකාවේ වෙලා තියෙන්නේනම් දෙවැන්න තමයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ තිරසාර නිදහස් විණිමය ප්‍රතිපත්තියක් කාලයක් එක දිගට පවත්වා ගැනීම මගින් පමණයි. IMF වැඩ සටහන තුළ යෝජනා වී තිබෙන්නේ එවැනි ක්‍රමයක්.

කොහොම කළත් අවදානමක් තිබෙනවා තමයි. ආර්ථික, දේශපාලන, සමාජ අවදානම් ඉහළ ගියොත් ලාබ විතරක් නෙමෙයි ආයෝජනත් ආපහු අරගෙන යන්න ඉඩ තිබෙනවා. විශාල විනාශයකින් කෙළවර විය හැකි, ඒ වගේ තත්ත්වයක් වලක්වා ගන්න තමයි ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවන තිරසාර ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය වන්නේ. එහෙම එකක් හැදෙන්නේ බලයට පැමිණීමේ ඉඩක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර ආර්ථික වැඩපිලිවෙළක මූලික කරුණු පිළිබඳ සම්මුතියක් ඇති වුනොත් පමණයි. 

මෙවැන්නක් කොළ වල අත්සන් කරන සම්මුතියක් විය යුතු නැහැ වගේම එසේ වූ පමණින් වැඩේ කෙරෙන්නේත් නැහැ. වඩා වඩා වැදගත් වන්නේ බාහිර නිරීක්ෂකයින්ට පෙනෙන, ප්‍රායෝගිකව කටයුතු සිදු වන ආකාරයයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට යම් ඉඩක් ලබා ගැනීමේ වරදක් නැතත්, ඒ ඉඩ ලබාගත යුත්තේ රටේ අනාගතය අවදානමේ වැටෙන සීමාවට නොයමිනුයි. එවැනි තිරසාර ජාතික වැඩපිළිවෙළක් හා එකඟතාවයක් නැත්නම් ඕනෑම යහපත් වෙනසකට තිරසාර පැවැත්මක් නැහැ.

2 comments:

  1. වතුරට නොබැස හිටියම පිහිනුම් බැරිය
    සැඩ වතුරකට එකවර පැනලත් බැරිය
    බොර වතුරක් නම් ප්‍රවේසමත් හොඳය
    අන්තෙට ගියොත් නම් මේ කොයිකත් බැරිය

    ReplyDelete
  2. ඉකොනෝ ප්‍රායෝගිකව ඔබ පවසන දේවල් කළොත් වෙන ප්‍රතිවිපාක වලටත් ඇඩ්රස් කරන්න ඕන, මොකද CPC එකේ කතා වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් මීට අවුරුදු 08 කට විතර කලින් අපි ලංකාවේ හිටපු කාලේ ලංකාවෙ ප්‍රධාන ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක සැකසූ ආහාර බෙදා හරින ලොරිවලට GPS සවි කරන්න යෝජනාවක් ආවා.

    ඒ කාලෙ ඒ වාහන වල රෙපෙයාර් බාරව උන්නෙ අපි. ඒ හින්දා කාටවත් නොදැනෙන විදියට ටෙස්ට් එකට එකක් සවි කලා. යාපනේ යන ලොරියකට.

    අවුල් ගොඩයි. ඩීසල් බානවා, කාලෙ යවාගන්න කොහෙහරි නවත්තන් ඉන්නවා. අපි හැම දේම මොනිටර් කලා. කවුරුත් දන්නෙ නෑ. අඩුම අපිට වැඩේ බාරදුන්න ආයතනයේ ඉංජිනේරු මහතාවත් දන්නෙ නෑ.

    අපි කොටේශන් දීලා තිබුනු ගාන අයවෙන්න මාස දෙකක් යන්නෙත් නෑ GPS සවිකරලා නාස්තිය නැවැත්තුවොත්.

    ෆැක්ටරි එකේ මැනේජර් එක්ක මීටින් එකක් ගත්තා.

    අපි ඉල්ලීමක් කලා මේක සවි කරනවනම් අනිවාර්යයෙන් ලොරිවල යන අයගෙ පඩි වැඩිකරලා සවි කරන්න කියලා.

    මොකද ලොරි වල වැඩ කරන අය මේ ලොරි අවභාවිතා කරලා හම්බකරන සල්ලි වලින් ලමයි ස්කූල් වෑන් වලට දාලා ටියුශන් දාලා ඒ වියදම් හදාගෙන ඉවරයි.

    කාරනාව තේරුම් ගත්තු ෆැක්ටරි මැනේජර් තීරණයක් ගත්තා GPS සවි නොකර ඉන්න. 😊

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: