වෙබ් ලිපිනය:

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

15 comments:

  1. ඉකොනොමැට්ටගේ අදහස දැන ගැනීමේ අරමුණෙන් අසමි, අකමැත්තක් නැත්නම් පිලිතුරක් දමන්න,

    ඔබ දකින්න ඇති කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධිය ප්‍රධානෝත්සව වැඩසටනේ දී නව කුලපති හාමුදුරුවන්ගෙන් ඇතැම් ළමයින් උපාධිය නොගෙන සිටීම. ඇතැම් අය මෙහි හොද කියනවා නුසුදුස්සකු තනතුරට පත් කිරීම නිසා කල වර්ජනයක් ලෙස, ඇතැම් අය එහි නරක කියනවා.

    ඔබත් කලක් එහී ගිය පුද්ගලයකු ලෙස ඔබේ මතය මෙය සම්බන්දව දැනගැනීමට කැමැත්තෙමි . මෙකල ඔබ ශිෂ්‍යයෙක් නම් කොළඹ වි.වි. ඔබ උපාධිය හාමුදුරුවන් අතින් ගනී ද නැද්ද ??



    අකැමැත්තක් නැත්නම් කියන්න

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කලින් මේ ප්‍රශ්නයම ඇහුවේත් ඔබ කියලා. මට මේකට පිළිතුරක් දෙන්න බැරිකමක් නැහැ. එහෙත් මෙය තනිකරම පෞද්ගලික කරුණක්. ඒ වගේම, ප්‍රතිපත්තිමය කරුණක් හෝ බරපතල ලෙස සිතා තීරණය කරන දෙයක් නෙමෙයි. උපාධි ප්‍රදානෝත්සවයක් කියා කියන්නේ ලොකු වැදගත්කමක් නැති, උපාධි පාඨමාලාව සමඟ සෘජු සම්බන්ධයක් නැති, උත්සව අවස්ථාවක්. මෙයට සහභාගී වීමේ තිබෙන එකම වැදගත්කම ඡායාරූපයක් ගැනීමට ලැබෙන අවස්ථාවයි. ඇමරිකාවේනම් උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා උපාධිය අරගෙන තියෙන්නම අවශ්‍යත් නැහැ. උපාධි පාඨමාලාව අවසාන කරන්න සෙමෙස්ටරයකට පෙර අවශ්‍යනම් උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී විය හැකියි. ඇමරිකාවේ, ලංකාවේ වගේම වෙනත් තෙවන රටවලද සරසවියකින් උපාධි ලබා ගන්නා හැම දෙනෙක්ම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන්නේ නැහැ. පෞද්ගලිකව මමත් උපාධි පාඨමාලා සම්පූර්ණ කළ හැම අවස්ථාවකදීම අදාළ උපාධි ප්‍රදානෝත්සව වලට සහභාගී වී නැහැ. ලංකාවේ සරසවි වල අවසන් විභාගය හා උපාධි ප්‍රදානෝත්සවය අතර සැලකිය යුතු පරතරයක් තිබෙනවා. අපේ කාලයේදී මේ පරතරය දැනටත් වඩා වැඩියි. විශේෂයෙන්ම කොළඹ. ඒ නිසා, උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමේ දෙවන වාසියක්ද තිබුණා. ඒ කලකට පසු මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වෙන්න අවස්ථාවක් ලැබීමයි. ඒ යුගය ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් තිබුණු යුගයක් නෙමෙයි. අනෙක් අතින් පැය කිහිපයක් එක තැනකට ගාල් වී සිටීමේ පීඩාවද මෙහිදී විඳින්න වෙනවා. කොළඹ මෙන්ම පේරාදෙණියේද උපාධි ප්‍රදානෝත්සව වලට මා සහභාගී වී තිබෙනවා. එසේ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ අදාළ ලෝගුව ඇඳ ඡායාරූපයක් ගැනීමයි. හැබැයි එම ඡායාරූපය ගන්නෙත් උපාධි ප්‍රදානෝත්සවයට පෙර හෝ ඉන් පසුව ඡායාරූප ශාලාවකදී. සංකේතාත්මකව උපාධිය (හෝ හිස් බම්බුව) පිරිනමන අවස්ථාවේදීද ඡායාරූප ගත්තත් කැමරාව නිසි සේ සීරුමාරු නොකර ගන්නා මේ ඡායාරූප වල ගුණාත්මක භාවය එතරම් ඉහළ මට්ටමක නැහැ. මේ ඡායාරූප වල පිටපත් රාමු කර නිවසේ තබා ගැනීමෙන් වෙනත් බොහෝ දෙමවුපියන් මෙන්ම මගේ දෙමවුපියන්ද සතුටට පත් වුනා. මා සතුව තිබුණු පිටපත්නම් ලංකාවෙන් එද්දී අරගෙන ආවේවත් නැහැ. දැන්නම් මට මේ උපාධි ප්‍රදානෝත්සව වල හෝ එම අවස්ථා වලදී ලබාගත් ඡායාරූප වල ලොකු වටිනාකමක් නැහැ. එහෙත්, ඒ දවස් වල හිතපු ආකාරය වෙනස්. ඒ නිසා ඔබේ ප්‍රශ්නයට මට දිය හැකි පිළිතුරක් උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවේදී මා සිටි තත්ත්වය මත වෙනස් වෙනවා. පශ්චාත් උපාධියකට සාපේක්ෂව ප්‍රථම උපාධිය ලබා ගැනීමේදී එහි වටිනාකම ලොකුවට දැනෙනවා. හොඳ ඡායාරූපයක් ගැනීමේ කැමැත්තද එයට ඇතුළත්.

      අද මා දකින ආකාරයට රාජ්‍ය ඒකාධිකාරයකට යටත් ලංකාවේ සරසවි පද්ධතියම විකෘතියක්. ඒ විකෘතිය සමස්තයක් ලෙස බැහැර නොකර කුලපති පත්වීමක් පමණක් ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයක්. 1978දී නිල බලයෙන් ජේආර් සියලු සරසවි වල කුලපති වීමෙන් පසුව පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවකදී ඇති වූ තත්ත්වයක් ගැනද මා අසා තිබෙනවා. සංකේතාත්මක පත්වීමක් පමණක් වන, රජයෙන් පත් කරන සරසවි කුලපතිවරයෙකුගේ සුදුසුකම් මා ගැටළුවක් සේ සලකන්නේ නැහැ. නමුත්, ඔය තනතුරට බෞද්ධ භික්ෂුවක් පත් කිරීමේ යම් අවුලක් තිබෙනවා. සරසවි වල උපාධි ප්‍රදානෝත්සව සිදු වන්නේ කතෝලික පල්ලි සම්ප්‍රදාය තුළයි. එක පැත්තකින් සිවුර හා ලෝගුව එකට යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අසුනක වාඩි වී සිට උපාධිය පිරිනැමීම සම්ප්‍රදායට ගැලපෙන්නේ නැහැ. සුදුසුකම් ඇති හෝ නැති, සිවුර උඩින් හුඩ් එකක් දමා ගෙන පුටුවක වාඩි වී සිටින බෞද්ධ භික්ෂුවක් අතින් උපාධිය ලබා ගන්නා ඡායාරූපයක එහි තිබෙන "ගතිය" නැහැ. තනතුරට බෞද්ධ භික්ෂුවක් පත් කරනවානම් මුළු උත්සවයම බෞද්ධ සම්ප්‍රදායට ගැලපෙන සේ වෙනස් කළ යුතුයි.මා ඔය අවස්ථාවට සහභාගී වුනානම් නියම ඇඳුමෙන් සැරසී සිටින උප කුලපතිගෙන් උපාධිය ලබා ගනිමින් වඩා ලස්සන ඡායාරූපයක් ගන්නට කැමති වනු ඇති නමුත් ඒ හේතුව මතම කුලපතිගෙන් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එහෙත් වෙනත් තරුණයින්ට මෙන්ම මටද තරුණ කාලයේ යම් තරමකින් කැපී පෙනීමේ ආශාවක්ද තිබුණු නිසා ඒ අරමුණින් එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කළ හැකිව තිබුණු බවද කිව හැකියි. එක දෙයක්නම් පැහැදිලිව කියන්න පුළුවන්. මා බෞද්ධ භික්ෂුවක්ව සිට ඔය තනතුර ඔය තත්ත්වයන් යටතේ මට දුන්නානම් එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට මා පැකිළෙන්නේ නැහැ.

      Delete
    2. කෙසේ වෙතත් මේ වගේ දේකට විරෝධය පළ කිරීම ගැන නම් මගේ අදහස් ටිකක් වෙනස් මේ සම්බන්ධයෙන්. මොකද තමන් අකමැති දෙයකට “විරෝධය“ දැක්වීම කලයුතුම දෙයක්. හැබැයි “විරෝධය“ දක්වන්න ඕනේ ඇමරිකන් එක්සත් ජනපදයේදී කලකට පෙර මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන උළෙලකදී ඉතාමත් කලාත්මක විදියට පෙන්වු අමතක නොවන විරෝධය වගේ ආදරේ හිතෙන විදියට. ලෝකයම තමන් වෙත අවදානය දිනාගන්නා විදියට.

      මගේ විශ්වාසය අනුව විරෝධය දැක්වීම හරහා අපි කරන්නේ සමාජයට පණ්ඩිඩයක් දීමයි, ඔවුන් කරනා දෙයට අපේ අකමැත්ත ප්‍රකාශ කිරිමයි, සමාජයේ මේ ගැන කතාකිරිමට අවස්ථාවක් හදාගැනීමයි. හැබැයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි, එහි කුලපති හිමියන්ට විරෝධය දක්වපු විදිය ගැන මම කිසිසේත්ම එකග නැහැ. එයින් වුනේ, විරෝධය දක්වපු අයට විරෝධයක් සමාජයෙන් ආපු එකයි. ඇත්තටම ඒ දක්වපු විරෝධයෙන් වුනේ ඒ කුලපති හිමියන් ගැන සමාජයේ තිබුණු විරෝධය නැතිවීමයි. ඒක කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක්. යම් දෙයකට විරෝධය දැක්වීමට ඉගෙන ගැනීමත් කලාවක්. ඒක දන්නේ නැතිනම් විරෝධය පාන්නේ නැතුව ඉන්න එක විරෝධය පාලා ඇනගන්න එකට වඩා ඉතාමත් හොදයි.

      එදා මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔහුට ලැබුණු “ඔස්කාර්“ සම්මානය ප්‍රතික්ශේප කිරීම හා ඔහුගේ විරෝධය පෙන්වූ විදියෙන්, ඔහු අපි හැමෝටම දෙන්නේ හොද ආදර්ශයක්. මේක ගැන ඔබ හිතන්නේ මොකද?

      https://www.youtube.com/watch?v=2QUacU0I4yU

      Delete
    3. ආණ්ඩුවේ පත් කිරීම් සම්බන්ධව පොදුවේ ප්‍රශ්න තිබුණත්, මට පෞද්ගලිකව මේ කුලපති පත්වීම සම්බන්ධව විරෝධයක් නැහැ. මම දන්නා තරමින් ලංකාවේ සරසවියක පාලන කටයුතු කරන්නේ උපකුලපති විසින්. උපකුලපති සේ නුසුදුස්සෙක් පත් කළේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. මේ පත්වීම සම්බන්ධව මට පෞද්ගලිකව විරෝධයක් නැති නිසා එවැනි විරෝධයක් තිබෙන කෙනෙක් සාමකාමී ලෙස කවර ආකාරයකින් විරෝධය දැක්වුවත් මට එහි වෙනසක් නැහැ. මේ පත්වීම සම්බන්ධව විරෝධය දැක්වීමට අවශ්‍ය වූ අයෙක් මේ ක්‍රමයට එය කිරීමේ වැරැද්දක් මට පේන්නේ නැහැ. එය එසේ කරන අයගේ පෞද්ගලික තේරීමක්. අවශ්‍ය අයෙකු අවශ්‍ය ආකාරයකින් විරෝධය දැක්වීම මෙන්ම වෙනත් අය එසේ විරෝධය දැක්වීම පිළිබඳව විරෝධය දැක්වීමද හොඳ දෙයක් කියා මම හිතනවා. එයින් පෙනෙන්නේ කටයුතු සිදුවන පිළිවෙළ ගැන කැමැත්තක් නැති අයට විරෝධය දැක්වීමේ අවස්ථාව ලංකාවේ සමාජය තුළ තිබෙනවා කියන එකයි. වීඩියෝවේ තිබෙන මාලන් බ්‍රැන්ඩෝගේ විරෝධය දැක්වීම පිළිබඳව මට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. හැමෝම එකම ආකාරයෙන් විරෝධය දැක්විය යුතු නැහැ.

      Delete
    4. ඉකොන් කියන දේ හරි. විරෝධය දක්වන ආකාරය පෞද්ගලික හා අපි පොඩි කාලෙ ඉඳලා පුරුදු වෙලා තියෙන ගති සිරිත් අනුව වෙනස් වෙයි. නමුත් වඩා වැදගත් ඉහලම තැන සිට පහලට මේ ආණ්ඩුව පෙන්වන tone deaf ස්වභාවය හෙවත් 'උඹලා මොනවා හිතුවත්, කිව්වත් අපේ විදිහ අපි වෙනස් කරන්නෙ නෑ' යන ආකල්පයට සුලු හෝ විරෝධතාවයක් පෙන්වීමයි.

      Delete
    5. 'මා බෞද්ධ භික්ෂුවක්ව සිට ඔය තනතුර ඔය තත්ත්වයන් යටතේ මට දුන්නානම් එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට මා පැකිළෙන්නේ නැහැ'. The best for last!

      'ඔය තත්වයන්' යටතේ කියලා අදහස් කලේ ලංකාවට අදාල සමාජ, ආර්තික, ආකල්පමය කරුණු නම්, පාරිභෝගිකයන්ට ආමන්ත්‍රණය කරන්න පොදුවේ භාවිතා කරන වචන වන සර්, මැඩම් කියලා අනිත් අය තමන්ට කතාකිරීම ගෞරවයක් කියලා හිතන, එහෙම කිව්වෙ නැත්නම් තරහ යන බහුතරයක් ඉන්න රටක ඔය වගේ තනතුරක් ප්‍රතික්ෂේප කරන කෙනෙක් හොයා ගන්නා අමාරු වෙයි.

      'මුළු උත්සවයම බෞද්ධ සම්ප්‍රදායට ගැලපෙන සේ වෙනස් කළ යුතුයි'. ලංකාවට වැඩිය විදේශ විනිමයත් නැති එකේ 'ඔබේ උපාධි උත්සවයට බෞද්ධ මුහුනුවරක්' කියලා පිට රටවල මාකටින් කැම්පේන් එකක් එහෙම කරලා- කොහොමද සෙත් පිරිත් මැද්දෙන්, පිරිත් පැන් ඉහමින් උපාදිධාරීන් පෙරහැරේ එක්කගෙන එනකොට, 'සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්- පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්' වගේ ලස්සන සිංදුවක් එහෙම දාලා. වැඩ නැතුව අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න 'හාමුදුරු' ගොල්ලටත් හොඳයි.

      Delete
  2. සමහර රටවල තියෙනව කියනව ධනවාදී පාලන තන්ත්‍ර
    තවත් දිහාවල සමාජවාදෙලු මැතිරෙනවා වාගේ මන්ත්‍ර
    සිරි ලංකාවේ තියෙන්නෙ ක්‍රමයකි, කරුමෙට ඒකත් හරි ලොන්ත
    'ගජ මිතුරන්ගේ වාදය' කියමුද පිළිඅරගෙන සත්තක ඇත්ත

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතරතුර ලංකාව ස්ථිර වශයෙන්ම බංකොලොත් වෙනවා

      -මාධ්‍යවේදී වික්ටර් අයිවන්-

      අදාළ කෙටි වීඩියෝව නරඹන්න -

      https://youtu.be/EuV3nXekSEA

      Delete
  3. PADURU THALANNA EPA .. MITHRAYA.. COMMIS GAHALA PRAMITHIYAK NATHI GASS GENAWE

    ReplyDelete
  4. ගෑස් පිලිබද පත්කල කොමිටියට ඉකොනොමිස්ට් කෙනෙකුත් පත් කරන්න තිබ්බා...දැන් වෙලා තියෙන්නේ හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ ගෑස් වල ප්‍රමිතිය රකින්න තවත් රාජ්‍ය ආයතනයක් පත් කර එහි වියදමත් බදු ගෙවන ජනතාව මත පටවන්න...

    මෙන්න ගෑස් ප්‍රස්ණයට පත් කල කොමිටියේ විසදුම

    https://www.ft.lk/front-page/Expert-committee-recommends-regulatory-body-for-LPG/44-727890

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා

    ඔබ මොකද හිතන්නේ මේ වගේ පුනර්ජනනීය බලශක්ති වලින් විදුලි වාහන බලාත්මක කරන එක ගැන? ඒ වගේම සූර්ය සහ ජල විදුලිය ලංකාවේත් ජනප්‍රිය මාතෘකාවක්.

    https://www.youtube.com/watch?v=1Mxw3cZa56A

    ලංකාවේත් මහා පරිමානයේ සුර්ය, සුළං සහ ගෑස් (එල් එන් ජී - ‍යුගදනවි) වගේ ව්‍යාපෘති මේ දවස්වලත් නැගල යනවා, එමෙන්ම මේ වන විට ගෝලීය ආර්ථික අන්තර්සබැඳියාව සමග එක භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලෝකයේ කිසිම රටක් නැති තරම් යන කාරණය අප මතක කළ යුතු නැහැ. මොකද මේ වන විටත් ගෝලීය වෙළඳ පොළේ හොඳින් මාකට් වන ඕනෑම කුඩා භාණ්ඩයක් වුණත් ලෝකයේ රටවල් 20ක පමණ එකතුවෙන් තමයි හැදෙන්නේ. ඔබට මේ සඳහා උදා: ලෙස ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයේ බ්‍රැන්ඩඩ් කොට්න් ඩ්‍රෙස්ස් එකක් හදනකොට කපු ලබාගන්නේ එක රටකින්, නූල් හදන්නේ තවත් රටකින්, රෙදි හදන්නේ තව රටක, වර්ණක හදන්නේ තවත් රටක, මැෂින්, උපකරණ හදන්නේ වෙනත් රටක, මහලා ව්හොලෙසලෙ එxපොර්ට් කරන්නේ ලංකාවේ, නැව් මගින් රෙ-එxපොර්ට් කරන්නේ, බොන්ඩෙඩ් වරෙහොඋසෙස්, ස්ටොරෙස්, එතකොට රෙටඉල් චඉන් එක තව රටවල් ගණනාවක තියෙන්නේ. ඒ නිසා මේ වගේ පොඩි නිෂ්පාදනයක් ගත්තත් එය රටවල් 20ක, 30ක වගේ පැතිරිලා තියෙන විදිහ ඔබට හොඳින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    ඒ වගේම මම කැමතිම විෂයයක් වන වාහන නිෂ්පාදනය කරන ආකාරය සැලකුවත් එහෙම'මයි. මර්සිඩීස් බෙන්ස්, බීඑම් කාර් ගත්තොත් ඒවායේ සීට්වලට ඇතුළත් කරන සංවේදක සෙන්සොර් උනිට් Sensor Units, ඒ වගේම කැබින් Air Filter එකේ Active Carbon Filtration (ෆිල්ට්‍රටිඔන්) කොටස් වගේ දේවල් හදන්නේ ලංකාවේ. එතකොට Tesla වාහන වල සුපිරිධාරිත්රක (Supercapacitors) ගැෆීන් (Graphene) යොදාගනිමින් ලංකාවේ හැදුවත් ඒ පොඩි කොටස් විතරයි ලංකාවේ හදන්නේ. සම්පූර්ණයෙන්ම මර්සිඩීස් බෙන්ස්, බීඑම්, ටෙස්ලා වාහනේ ලංකාවේ හදන්න බැහැ. අපට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ වගේම ඒ විශේෂ ප්‍රාගුණ්‍යය නැති අපිට ඊට වඩා විශාල වියදමක් යන බව, තව ගෝලීය සැපයුම් දාමය ලංකාවේ දේශපාලකයන් සහ මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින් නිසි පරිදි තේරුම් නොගන්න එක අපට කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්. හැමදෙයක්ම ලංකාවේ හදන්න පුළුවන් කියන සංකල්පයේ අපි හිටපු ඒ යුගය දැන් ඉවර වෙලා තියෙන්නේ ඉකොන්, අපි එය තේරුම්ගත යුතුයි. අපි දැන් අලුත් යුගයකට ඇවිත් ඉන්නේ. මේ නිසා ලංකාව හැටියට අපිත් මේ ගෝලීය ව්‍යාපාර ජාලයේ මහා පරිමාණ නිෂ්පාදනවල අපට ලේසියෙන්ම පුළුවන් කොටස්වලට එකතු වී අප උපරිම වශයෙන් ඉන් ප්‍රයෝජන ගැනීම අවශ්‍යයි කියලයි මගේ අදහස. ඔබ ඊට එකඟ නොවේ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාවේ මේ දවස් වල තියෙන විදේශ මුදල් සංචිත (ඩොලර්) අර්බුදය බොහෝ දෙනෙක් හිතන තරම් සරල නෑ

      ලංකාවේ ඩොලර් බිලියන අසූවක පමණ ආර්ථිකය තුළ සාමාන්‍යයෙන් විදේශ සංචිතය ඩොලර් බිලියන 16 ක් වත් තියෙන්න ඕන වාර්ෂිකව බිලියන 20 ක් විතර ආනයන වියදම් සමග. ඒ නිසා මේ දවස් වල ලංකාවේ විදේශ ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි දශක ගණනාවක් පුරා තිබුණු ප්‍රශ්නයක් ලෙස එය ඔඩු දිවූ ආකාරය, එයට හේතු රාශියක් තිබෙන බවත් ඉන් මූලිකම එකක් වන ලංකාව තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පසුබිමක් අවුරුදු ගණනාවක් තිස්සේ හැදුණෙ නැති එක ගැන විස්තර කරන්න ඕන. ලෝක බැංකුව ඇතුළු ජගත් දර්ශක ගණනය කිරීම් සහ විවිධ ආර්ථික පර්යේෂණ ආයතන වල වර්ගීකරණ අනුව ලොව ව්‍යාපාර කරන්න පුළුවන් හැකියාව තිබෙන රටවල් අතර අපි හැමදාම හිටියේ පහළ මට්ටමේ. නමුත් අපේ දකුණු සහ ගිනිකොන දිග කලාපයේම වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව විතරක් නෙමෙයි බංග්ලාදේශය සහ ඉන්දියාව වගේ රටවල් පවා ඇතුලත්ව මේ රටවල් සියල්ල අපිට වඩා ඉදිරියට ගිහින්. මේ තරගකාරී රටවල් අතර ආයෝජකයෙක් මේ කලාපය තෝරා ගනිද්දි ලංකාව තෝරාගත්තා කියලා විශේෂ වාසියක් ඔවුන්ට නැහැ. ඉතින් අපේ කලාපය තුළ ව්‍යාපාර කරන්න අපේ රට තුළ අපහසු නම්, ඒ සඳහා පහසුකම් නැත්නම් කවුරුත් මෙහෙ ව්‍යාපාර කරන්න එන්නෙ නැහැ. මේ ප්‍රශ්නය දශක ගාණක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේ ගැන හොයලා බලන්න ගිය අවුරුද්දෙ ජනාධිපති කමිටුවක් පවා පත්කරලා තියෙන්නේ.

      මේ වගේ ලංකාවේ විදේශ මුදල් (ඩොලර්) අර්බුදයට තවත් විශාලම හේතුවක් තමයි අපිට ගෙවන්න තිබෙන විශාල ණය වාරික සහ පොලිය. ඒ නිසා ආනයනයට ඩොලර් වියදම් කරනවා වෙනුවට ණය සහ පොලිය ගෙවීමට අපිට ඩොලර් වියදම් කරන්න වෙනවා. ලංකාවට 2019 සිට එක දිගටම වසර 10 ක කාලයක් වසරකට ඩොලර් බිලියන පහ හමාරක් බැගින් ණය සහ වාරික ගෙවිය යුතුයි මහ බැංකුවේ ප්‍රකාශ අනුව.

      2021ජූලි විසි හත ඩොලර් බිලියනයක පමණ බැඳුම්කර (ණය) ගෙවීම, 2021 Jan 1 billion USD ISB, 2022 වසර අගදී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. මහ බැංකු වාර්තා දත්තවලට අනුව අපි ලබාගෙන තිබෙන ණයවල පොලිය පමණක් ගෙවන්න අපේ රට ලබන ආදායමෙන් සියයට 50ක් පමණ වැයවෙනවා. මේ තත්ත්වය තුළ ණය, ණය වාරික සහ පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම මදි වෙනවා.

      ඒ වගේම මේ දවස් වල තියෙන වසංගත තත්ත්වය යටතේ රාජ්‍ය ආදායම අඩුවෙලා වියදම වැඩි වෙලා තිබෙනවා.

      ඊට අමතරව සාමාන්‍යයෙන් රජය උපයන සෑම රුපියලකින්ම සත 86ක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න.

      ඒ නිසා මේ විෂම චක්‍රීය තත්ත්වයෙන් නිදහස් වෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි, තවත් ණයක් අරගෙන අපිට තිබෙන ණය සහ පොලිය ගෙවලා ඉදිරියට යන එක. නමුත් ඒක කරන්න අමාරු තත්ත්වයක තිබෙන්නේ. ඒ මොකද ග්‍රේණිගත කිරීම් අනුව අපි පහළ මට්ටමක ඉන්නේ. එවැනි රටකට ණය දෙනවා නම් ඒ දෙන අය විශාල පොලියකට තමයි ණය දෙන්නේ. ඒ නිසා අපිට නැවත ණය අරගෙන මේ ප්‍රශ්නය විසඳන තැනට යන්න බැහැ. මේ නිසාම වෙන්න ඇති දැන් පෞද්ගලික ආයතනවලට විදෙස් ණය ලබාගන්න අවස්ථාව දීලා තියෙන්නේ.

      Delete
    2. ඒ වගේම මේ දවස් වල විපක්ෂයේ දැඩි සේ විවේචනයට ලක් වූ රජය වැඩි වශයෙන් මුදල් අච්චු ගහන කතාව අනුව රජයේ වියදම වැඩිවෙලා අදායම අඩුවෙලා තියෙන නිසා මේ වියදම පියවන්න තවදුරටත් වැඩපුර ණය ගැනීමට යොමුවෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නිතුත් කිරීම හෝ විනිමය සුරැකුම්පත් නිකුත් කරන විට මහ බැංකුවම ඒවා මිලදීගෙන බැංකුවලට යම් මුදල් ප්‍රමාණයක් නිදහස් කරනවා. මේක ලංකාවේ මූල්‍ය පද්ධතියට එකතු වෙන්නේ ඒ වගේ කිහිප ගුණයක් වැඩි වෙලා. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ ක්‍රියා දාමයට. පසුගිය මාස 18ක කාලයේදී ඒ ආකාරයට මුදල් ට්‍රිලියන 02ක වගේ මුදලක් මේ පද්ධතියට එකතු වුණ බව ලංකාවේ විපක්ෂයේ අදහසයි.

      ඒ අනුව එම තත්ත්වය අපිට දරන්න අමාරුයි. රජයේ බදු ආදායම අඩු වුණ අතරේ මේ ආකාරයට වැඩිපුර මුදල් පද්ධතියට එකතු කිරීම තුළ වක්‍රකාරයෙන් සිදුවෙන්නේ ආනයනය වැඩි වීමයි. ඒ අපි කොපමණ ආනයනය සීමා කළත් මුදල් අච්චු ගැසීම හරහා සිදුවෙන්නේ ජනතාවගේ පරිභෝජනය වැඩි කිරීමයි. උදාහරණයක් විදිහට වාහන ආනයනය තහනම් කරලා තිබුණත්, මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම්, අඩු පොළියට ණය ගන්න පුළුවන් නම් ඔවුන් කරන්නේ වාහනය ගෙන්වනවා වෙනුවට වෙනත් කටයුත්තක් කරන එක. ඇතැම් විට ගොඩනැගිල්ලක් හදන එක හෝ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට වාහන ආනයනය කරන ප්‍රමාණය තහනම් වුණාට නිවාස හදන ප්‍රමාණය වැඩි වෙනවා.

      ඒ කියන්නේ යකඩ වගේ දේවල්, සිමෙන්ති හදන්න ක්ලින්කර්, තීන්ත හදන්න ඨිO2 ඇතුළු අමුද්‍රව්‍ය පිටරටින් අපට ආනයනය කරන්න වෙනවා. ඒවා සීමා කරන්න අමාරුයි. අපි එක දෙයක් ආනයනය සීමා කරන විට ඒ හා සාපේක්ෂව වෙනත් දෙයක ආනයනය වැඩිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරන්න හොඳ දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ පරිභෝජනය අඩු කරලා ආනයනය අඩු කරන එක විතරයි. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තමයි ඕනෑම දෙයකට ඕනෑවට වඩා තහංචි දැම්මොත් කළු කඩ මාෆියාව ඇති වෙන සීන් එක. උදා: Glyphosate (Roundup) තහනම් කරාම ඊට වඩා විස හොර තෙල් වර්ග මාකට් (Black market) එකට හොරෙන්ම ගෙන්වන්න පුළුවන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: