වෙබ් ලිපිනය:

Saturday, November 4, 2023

රාජ්‍ය සේවක වැටුප්


කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. 

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2

එකතුව - රුපියල් බිලියන 1,305.5

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%


මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9

එකතුව - රුපියල් බිලියන 1,153.4

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා. 

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු. 

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8

එකතුව - රුපියල් බිලියන 433.0

වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)


මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා. 

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)


මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%

ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%


ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%

අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%


වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%


අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%

අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න. 

12 comments:

  1. අයවැයෙන් පඩි වැඩි කරොත් මෙ ප්‍රතිශතය කීයක් වෙයිද ඉකොනෝ

    ReplyDelete
  2. මේ දත්ත ගත්තු තැන ලින්ක් එක දෙන්නකො

    ReplyDelete
  3. රජයෙ සේවක වැටුප් වැඩි වෙයි පළමු වටයෙදි සතුට දනවා
    දෙවෙනි වටයෙදි බඩු ගණන් යයි; මතක් වෙනකොට පපුව දනවා
    දුප්පතාගේ වැය ශීර්ෂය, රොකට් වේගෙන් ඉහළ යනවා
    මේව දැක දැක දෙසිය විසිපහ පිස්සු කෙළ-කෙළ රටම කනවා

    ReplyDelete
  4. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  5. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා,

    ඔබ අනුර කුමාර දිසානායක සහෝදරයා එක්සත් ජනපදයේ පැවැත්වූ කතාව සම්පූර්ණයෙන්ම ඇහුවා ද? ඒ කතාව සම්පූර්ණයෙන්ම අහල මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න කියල මම ඔබට අභියෝග කරනවා.

    අපි ඔහු කී දේවල් වලින් අර කුප්‍රකට ග්‍රැෆයිට් මිනිරන් කතාව ජාතික ප්‍රශ්නය වගේ දේවල් අමතක කරලා ලංකාවේ විදේශ ණය (External Debt) ගැන විතරක් කතාකරල බලමු

    අනුර සහෝදරයා එතනදී කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International sovereign bonds - ISB) ණය නැවත නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියල කියන අපි හිතන විදියට බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි.

    මේ වගේ මනස්ගාත කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් අන්තර්ජාලය හරහා හෝ සොයා යමක් මූලික දේවල්වත් ඉගෙන ගත යුතුව තිබෙන බවයි මගේ අදහස.

    ස්වෛරී රාජ්‍ය වල නීත්‍යානුකූල ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කරන්නේ රටේ පවතින හදිසි මූල්‍ය ගැටලු වන අයවැය හිඟය සහ පවතින ණය ප්‍රතිමූල්‍යකරණය වැනි විවිධ අරමුණු සඳහා වගේම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පවා ප්‍රාග්ධනය රැස් කිරීම සඳහායි.

    ගෝලීය මූල්‍ය ආයෝජන වෙළඳපොළේදී ISB නිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරන්නේ ප්‍රබල ආයෝජන බැංකු සහ මූල්‍ය ආයතන සමූහයක්. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවා මිල නියම කිරීමට රජයන්ට නියෝජිතයන් Agents ලෙසට වැඩ කරනවා

    මේ එවැනි ආයතන කීපයක්.

    BNP Paribas
    Credit Suisse
    Bank of America
    JPMorgan Chase
    CITIGROUP Inc
    Goldman Sachs
    ICBC
    Morgan Stanley
    UBS
    Wells Fargo
    Sumitomo Mitsui Financial Group
    Credit Agricole
    Santander Group
    Etc...

    දැන් අනුර කියන විදියට මෙම ණය ගෙවීම පැහැර හැරීම රටක් බංකොලොත් ලෙස සැලකෙනවා. දැනටමත් ලංකාව තාවකාලිකව මෙය කර ඇති අතරම එමගින් රටේ ආර්ථිකය ජාත්‍යන්තර ණය දර්ශකවල පහළටම ඇද වැටෙනවා.

    එවිට තවදුරටත් විදේශ ආයෝජන ආකර්ෂණය සහ විදේශ ණය ගන්නට බැරි වෙනවා. ලෝක වෙළෙද සංවිධානය WTO ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට රට යටත් විය හැකියි.

    එහි ඵල ලෙස විදේශ වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම් මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ඒ වගේම ආයෝජක විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ නැති වෙනවා.

    අනිත් අතට අනුරම කියන ඩොලර් ඉපැයීම ඔහොම ණය පැහැර හැරලා කවදාවත් කරන්න බැහැ. ඔහු කියන පරිදි තමන් කැමති සමාගම්වලට විතරක් ආරාධනා කරන්න පුළුවන් වෙයිද එහෙම රටකට? ISB ණය නොගෙවන රටවලට ගෝලීයව විශාල අපකීර්තියක් ඇති වෙනවා.

    Cont'd

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැහැනේ. මේ ණය වලින් කොටසක් ගත්තෙ අනුරලා මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා පුළුල් කරපු රාජ්‍ය අංශය නඩත්තු කරන්න. 2005 සිට 2008 දක්වා ජවිපෙ අන්තරේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලක්ෂයක් විතර දෙන්න තව රජයේ ආයතන තවදුරටත් පුළුල් කරන්න සහ ඊට පසුව පොහොට්ටුවේ අයටද ඒ වගේ රැකියා ලබාදීම වගේ දේවල්වලට.

      ඒ වෙනුවෙන් ගත් ඩොලර් බිලියන පහක ණය ගෙව්වෙත් තව ණය අරන්. ඊළඟට ඉතුරු විශාල කොටස ජවිපෙ සහාය ඇතිව ජවිපෙත් ඡන්ද අරගෙන පත්වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 12 ක ISB අරගෙන රජයේ සේවකයන්ට රු. 10k අනවශ්‍ය පඩි වැඩිකිරීමට නොමිලේ යතුරුපැදි දීම සමෘද්ධිය වැඩි කිරීමට සමාජ සේවා සෞඛ්‍ය සේවා තවදුරටත් පුළුල් කර නොමිලේ දීම, සුවිසැරිය වගේ සේවාවන් 2015 අධික ලෙස ආනයනවලට තීරු බදු අඩුකිරීම, තෙල්මිල රූ. 155 සිට රු. 117 ට අධික ලෙස අඩුකර පාඩුපිට පෙට්රල් ද රු. 95ට ඩීසල් ද ලබාදීම රු. 1500ට ලාබෙට ගෑස් ආදී ජනප්‍රිය දේවල් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය වල තීරු බදු අධික ලෙස අඩුකර ලාබෙට දෙන්න අවශ්‍ය අරමුදල් සපයාගන්න සතොසෙන් ඉතා අඩුමිලට අධික පාඩුපිට උත්සව සමයන්වලදී බඩුමලු දෙන්න වගේ විගඩම් වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනප්‍රියා වැඩිකරගන්න කරපු විකාර වලට

      ඒ අනුව ණයවලින් කොටසක් පමණක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම අනුරගේ මනස්ගාත හිතලුවක් බව මෙමගින් ඔබට වැටහෙනු ඇති

      මේ වගේ ගොබ්බ විසඳුම් වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටි ග්‍රීසියේවත් යෝජනා වුණේ නැහැ. ග්‍රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නැවත restructure කර ආපසු ගෙවමින් ඉන්නවා. ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිහින් දැන් නැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

      අනුර කියන විදියට අපට ණය නොගෙවා ෆුල් චූන් එකේ ආතල්දිදී ඉන්න බැහැ. එතකෝට ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකියි. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ තවත් මිලියන ගණනක නෛතික ගාස්තු අය කරගැනීමට පුළුවන්.

      ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් ජාත්‍යන්තර වාණිජ නීතිය යටතේ රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට පුළුවන්. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල විදේශගත බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකියි.

      මීට කේස්ලෝ උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත්තා. නඩුව තවමත් අවසන් නැහැ. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා.

      එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබෙනවා. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යනවා.

      ඇමරිකා ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයෙක්.

      අනුර කුමාර සහෝදරයා මේ කරන්නේ ලංකාවේ නූගත් මිනිසුන් බරපතල මිථ්‍යාවක හෙළන එක. අමාරුවෙන් ගොඩ ගනිමින් සිටින ලංකාව ඔහුගේ මේ කිසිම පදනමක් නැති බහුබූත ජනප්‍රියවාදී කටහැකර කතා නිසා තවත් අමාරුවේ වැටෙන බවයි මටනම් පේන්නේ. මේ ගැන ඔබ දරන මතය ඇත්තටම කුමක්ද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: