වෙබ් ලිපිනය:

Tuesday, November 7, 2023

අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණය හා කොන්ග්‍රස් මැතිවරණ වල සිට ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ මෙන්ම ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක්ද එක වර පැවැත්වෙන්නේ මෙම මැතිවරණ දිනයේදීයි.

මේ අයුරින්, මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් තිබෙන නිසා ඇමරිකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව හෝ පැවැත්වෙන දිනය පිළිබඳව අවිනිශ්චිතතාවයක් නැහැ. බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්වෙන දිනය කල් දමන්නට හෝ මැතිවරණ කලින් පවත්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම, සියලුම මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා වියදමත් අඩුයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක් නිසා වසර හතරකට වරක් මැතිවරණ දිනය කෙරෙහි ලෝකයේම අවධානය විශාල ලෙස යොමු වෙනවා. වසර දෙකකට වරක් කොංග්‍රස් මැතිවරණ පැවැත්වෙන නිසා එම වසර වල මැතිවරණ දිනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. මේ අයුරින් ප්‍රධාන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේ ඉරට්ටේ අවුරුදු වලයි. ඒ නිසා, මේ අවුරුද්ද වැනි ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ දිනය කෙරෙහි යොමු වන්නේ සාපේක්ෂව අඩු අවධානයක්. 

ප්‍රධාන ජාතික මැතිවරණ නොපැවැත්වුනත්, ඔත්තේ අවුරුදු වලදී අනෙකුත් මැතිවරණ හා ජනමතවිචාරණ දහස් ගණනක් එක වර පැවැත්වෙනවා. එමෙන්ම, හදිසි මරණයක් හෝ ඉල්ලා අස්වීමක් වැනි විශේෂ හේතුවක් නිසා කොංග්‍රස් ආසන පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු පිරවීම සඳහාද ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ පැවැත්වෙනවා.

මීට වසර කිහිපයකට පෙර අපේ පාසැල් කලාපයේ පාසැල් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ගුරු වැටුප් වැඩි කිරීම, සිසු-ගුරු අනුපාතය අඩු කිරීම හා අනෙකුත් පහසුකම් වැඩි කිරීම පිණිස වසර හතක කාලයක් සඳහා වසරකට 0.2275%ක අමතර දේපොළ බද්දක් පැනවීම යෝජනා වූ අතර එම යෝජනාව ජනමත විචාරණයකින් අනුමත වුනා. වසර හතක කාලය අවසන් වීම නිසා මෙම බද්ද මේ වසරේදී අහෝසි වෙනවා. ඒ නිසා, පාසැල් පවත්වාගෙන යාම සඳහා ලැබෙන අරමුදල් පහත වැටෙනවා. මේ තත්ත්වය හමුවේ තරමක වියදම් කප්පාදුවක් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර අටක කාලය තුළ 0.1995%ක අමතර දේපොළ බද්දක් පැනවීම සඳහා අද ජනමත විචාරණයක් පැවැත්වුණා. මෙය කලින් වසර හත තුළ පැවති බදු අනුපාතයට වඩා තරමක් අඩුයි. මෙම යෝජනාව අනුමත කරමින් 70%ක පමණ ඡන්ද ලැබී තිබෙනවා.

ඇමරිකාව පුරාම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් අද දින මෙවැනි ජනමතවිචාරණ ගණනාවක් පැවැත්වුණා. ඒ අතරින් එක් වැදගත් ජනමතවිචාරණක් වූයේ මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් ඇති කිරීම සඳහා පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. දැනට ප්‍රාන්තයේ විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධති ප්‍රධාන වශයෙන්ම අයිති ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකකටයි. එහෙත්, මෙම සමාගම් දෙකේ සේවා සැපයීම පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා. ජනමතවිචාරණයෙන් යෝජනා කෙරුණේ මෙම සමාගම් සතු යටිතල පහසුකම් මිල දී ගෙන අදාළ සේවා සැපයීම සඳහා ලාබ ලැබීම ඉලක්ක නොකරන පොදු සමාගමක් පිහිටුවීමටයි. තවමත් ප්‍රතිඵල මුළුමනින්ම ප්‍රකාශයට පත්ව නැතත්, මෙම යෝජනාව පරාජය වී ඇති බව පැහැදිලියි. 70%ක් පමණම ඡන්දය දී තිබෙන්නේ යෝජනාවට විරුද්ධවයි. 

9 comments:

  1. අද එහෙනං ඉකොනෝලා බත් පැකට්ටෙකට බෝතලේට චන්දෙ දීලා එයි

    ReplyDelete
  2. කවුරු දිනයිද හිකොනෝ චන්දෙන්?

    රතිඥ්ඥා ගෙනාවද

    ReplyDelete
  3. දැන් මේ ජන්ද වලත් සම්හර ප්‍රාන්ත ඉලෙක්ට්‍රොනික් සිස්ටම් පාව්ච්චි කරන කොට තව සමහර ප්‍රාන්ත කඩදාසි කොල භාවිතා කරනවද.
    ගොඩක් ජන්ද එක දවසේ තියෙන කොට නරක් වෙන ජන්ද ප්‍රමානය වැඩි වෙනවද. ලංකාවේ සාකශරතාවය කොච්චර උඩ හිටියත් නරක් වෙන ජන්ද ප්‍රමානය වැඩියි කියලා හිතනවා.
    මේ ජන්ද වලට තියෙන සහභාගීත්වය කොහොමද. ජන්දේ දැම්මෙ නැත්තං දසයක් ගහනවා වගේ සිස්ටම් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. 1. මම දන්නා තරමින් බොහෝ දුරට ඡන්ද පැවැත්වෙන්නේ විද්‍යුත් ක්‍රමයට. එහෙත් කඩදාසි වල ඡන්ද දැමීමද සිදු වෙනවා. උදාහරණයක් විදිහට තැපැල් ඡන්ද.

      2. විද්‍යුත් ක්‍රමයට ඡන්ද පැවැත්වීමේදී ඡන්ද නරක් වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ වගේම ඡන්දය පැවැත්වෙන්නේ එකම දිනක වුනත් අවශ්‍යනම් කලින් ඡන්දය දැමීමේ අවස්ථාවද තිබෙනවා.

      3. සාමාන්‍යයෙන් මේ වගේ ඔත්තේ අවුරුද්දකදී 50% ඉක්මවන්නේ නැහැ. ඉරට්ටේ අවුරුදු වල ඡන්ද භාවිතය වැඩියි. ජනාධිපතිවරණ අවුරුදු වල තවත් වැඩියි. ඒත් ලංකාවේ තරමට නැහැ. 65%-70% සීමාවේ. දඩ ගැසීමක් නැහැ.

      Delete
  4. ඉකොනොමැට්ටා ලංකාවට ඩොලර් මිලියන 553 ක එක්සත් ජනපදයේ ආයෝජනයක් එන්න හදනවා නේද කොළඹ වරාය පුළුල් කිරීමට ආදානි සමාගමේ ආයෝජන එක්කම?

    https://fb.watch/obIvhdj1So/?mibextid=Nif5oz

    ඒත් මේ ගැන මදිනේ අඩුම තරමින් ඩොලර් බිලියන පහකට වඩා එක්සත් ජනපදයේ ආයෝජන ලංකාවට ගේන්න ඕන නේද?

    ReplyDelete
  5. හොඳ ක්‍රම කොච්චර තිබ්බත් අපි නං වැද්ද ගන්නෙ නෑ මෙහෙට ඉතිං
    හොර බොරු කළහැකි ක්‍රමයක් නං ලංකාවට ඇප්ලයි කෙරෙයි ඉතිං
    ජහමනයොන්ටත් අවංක පාලක රොත්තක් අරහං ආයුබොවන්
    උනුත් මුනුත් හොරු කිය-කිය දෙගොල්ල පත් කර ගන්නව මනාපයෙන්

    ReplyDelete
  6. ඉකොනෝ ඉන්නේ lisd බල ප්‍රදේශයේද? නැත්නම් මෙහෙත්(nort dallas) මූලික චන්ද කාරණාවක් උනේ ඔය ඉස්කෝල වල මුදල්.

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ මහත්තයා පාසැල් සිසුවෙක්ද මෙහෙත් බල ප්‍රාදේශීය සභාවේ?

      Delete
    2. නෑ. මම ඉන්නේ ලුවිස්විල් නෙමෙයි. ලුවිස්විල් ජනමතවිචාරණත් ආකෘතිය අතින් මේ වගේම තමයි. මීටත් වඩා පහළ මට්ටමට යනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: