දවස් කිහිපයකට කලින් අපේ පාඨකයෙක් අහල තිබුණා "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක් නිසා, සමරිසිතාවය විකෘතියක් නෙමේද?" කියලා. මේ ගැන කතා කරනවානම් මානව ජීව විද්‍යාව, මානව පරිණාමය, සමාජ පරිණාමය ආදිය ආවරණය වන තවත් කරුණු රැසක් ගැනම කතා කරලා ඉන්න වෙනවා. බාගෙට කතා කළාම ඉස්මතු වන්නේ වැරදි අදහස්. තනි ලිපියකින් අවශ්‍ය හැම දෙයක්ම කතා කරන්න බැහැ. පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය වැදගත්ම දේවල් ටික කතා කරන්න බලමු.
මේ ප්‍රශ්නය ඇතුළේ තවත් ප්‍රශ්න තිබෙනවා. අඩු වශයෙන් මූලික ප්‍රශ්න දෙකක්. ප්‍රශ්නය අහල තියෙන්නෙම "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක්" කියන පූර්ව උපකල්පනය ඇතුළේ ඉඳලයි. එය හැම විටම එහෙමද? එතකොට "විකෘතියක්" කියන්නේ මොකක්ද?
පරිණාමවාදී දෘෂ්ඨියකින් බලා ඉහත කී පූර්ව උපකල්පනය නිවැරදියි කියා කියන්න පුළුවන්. නමුත්, වර්ගයාගේ පැවැත්ම කියන්නේ වැඩි වැඩියෙන් දරුවන් බිහි කරන එකද?
බොහෝ සතුන් සම්බන්ධව එය එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් ජනිතයන් බිහි කරන එක. කොටසක් මැරෙනවා. ඒ දුර්වල අය. වඩා ශක්තිමත් කොටස ඉතුරු වෙනවා. ඔවුන් පරම්පරාව ඉදිරියට ගෙනියනවා. හදන දරුවන්ගෙන් සෑහෙන කොටසක් දරුවෝ නොහදා පොඩි කාලෙම මැරුණත් වැඩියෙන් දරුවෝ හදපු තරමට වැඩියෙන් දරුවෝ ඉතුරු වෙනවා. වැඩියෙන් දරුවෝ නොහැදුවොත් පරම්පරාව වඳ වෙලා යනවා.
මිනිස්සු සම්බන්ධව මේක වෙන්නේ මේ විදිහටම නෙමෙයි. එයට ජීව විද්‍යාත්මක හා පරිණාමික හේතු තිබෙනවා.
මිනිස් කාන්තාවකගේ කුසේ ඕනෑම වෙලාවක දරුවෙක් පිළිසඳ ගන්නේ නැහැ. එය සිදු විය හැක්කේ ඇගේ ඩිම්බකෝෂයකින් ඩිම්බයක් නිකුත් වීමෙන් පසු පළමු පැය 24 ඇතුළත පමණයි. මේ කාලය පැය 12ක් තරම් අඩු වෙන්නත් පුළුවන්. ඩිම්බයක් නිකුත් වෙන්නේ දවස් 28කට පමණ වරක් පමණයි. ඇතැම් කාන්තාවන් හා අදාළව මේ කාල පරතරය ඊටත් වඩා වැඩියි.
පිළිසඳ ගැනීමක් වෙන්නනම්, මේ පැය 24 ඇතුළත ඩිම්බය එක්ක ශුක්‍රාණුවක් එකතු විය යුතුයි. ඒ සඳහා එක්කෝ ඒ කාලය තුළ පිරිමියෙක් ඇගේ සිරුර තුළට ශුක්‍රාණු මුදා හැරිය යුතුයි. එසේ නැත්නම්, කලින් ඈ වෙත මුදා හැරිය ශුක්‍රාණු ඒ වන විට ඇගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව තිබිය යුතුයි. ශුක්‍රාණු වලට සාමාන්‍යයෙන් ගැහැණියකගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව ජීවත් විය හැක්කේ දින 5-6ක් පමණයි. ඒ නිසා, ලිංගික ආකර්ශනය ඇති වන්නේ වර්ගයාගේ පැවැත්ම පිණිස දරුවන් බිහි කිරීම සඳහාමනම්, ගැහැණු හා පිරිමි ලිංගිකව ආකර්ශනය විය යුත්තේ ගැහැණියකගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න දින 5-6 ඇතුළත පමණයි.
ගැහැණු හා පිරිමි අතර ලිංගික ආකර්ෂණය ඔය කියන දින 5-6ට සීමා නොවන බව අපි දන්නවා. "අවසර කල් රහස් තැන" ලිංගික ආකර්ශනයක් ඇති වෙන්නේ ගැහැණිය ඉන්නේ මාසික චක්‍රයේ පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි අවස්ථාවකනම් පමණක් නෙමෙයි. ඒ ඇයි?
පළමුව මිනිස් ගැහැණියක් දෙස බලා ඇය සිටින්නේ දරුවෙකු හැදිය හැකි අවස්ථාවකද නැද්ද කියා පහසුවෙන් දැන ගැනීමේ හැකියාවක් මිනිස් පිරිමින්ට නැහැ. එය මිනිස් පිරිමින්ට සංවේදී වෙනවානම් ඒ ඉතාම යාන්තමිනුයි. ඒ තියා, තමන්ගේ ගර්භාෂයෙන් ඩිම්බයක් නිකුත් වෙන වෙලාව අඩු ගානේ මිනිස් ගැහැණියක්වත් හරියටම දන්නේ නැහැ.
බොහෝ ක්ෂීරපායී සතුන් හා අදාළව මේ තත්ත්වය වෙනස්. ඇතැම් වර්ග වල ගැහැණු සතුන්ගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න වෙන විට ඇගේ යෝනි පෙදෙසේ හෝ ආසන්න පෙදෙසක පැහැය වෙනස් වෙනවා. එසේ නැත්නම් ඒ පෙදෙස ඉදිමී විශාල වෙනවා. එසේත් නැත්නම් ඒ දවස් වලට ඇගේ සිරුරෙන් කිසියම් රසායනිකයක් නිකුත් වෙනවා. පිරිමි සතුන්ට මේ වෙනස්කම් පැහැදිලිව පෙනෙනවා. නැත්නම් දැනෙනවා. ගැහැණු හා පිරිමි සත්තු අතර ලිංගික ආකර්ශනයක් ඇති වන්නේ එයින් පසුවයි. ඒ නිසා, අනෙක් හැම ක්ෂීරපායී සතාම නොවුනත් බොහෝ සත්තු ලිංගිකව ආකර්ශනය වන්නේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් අළුත් ජනිතයින් බිහි කළ හැකි කාල සීමාව ඇතුළත පමණයි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.
පරිණාමයේ යම් අවදියකදී මිනිස්සුන්ගේ ඉහත කී සංවේදීතාවය මුළුමනින්ම වගේ නැති වී ගිහින්. ගැහැණියකගේ සිරුර තුළ ඩිම්බයක් නිකුත් වන අවස්ථාව ඈ දෙස පිටින් බලා හඳුනා ගන්න බැහැ. එය ඇයටවත් දැනෙන්නේ නැහැ. ඒ නිසා මිනිස් ගැහැනියක් ඇගේ මාසික චක්‍රය පුරාම ලිංගිකව සක්‍රීයයි. වෙනත් ඇතැම් සතුන්ට මෙන් ගැහැණියකට ඇගේ මාසික චක්‍රයේ එක් කාලයකදී පිරිමින් ගැන උනන්දුව මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. කොහෙත්ම දරුවකු පිළිසිද නොගන්නා දවස්වලත් ඇයට පිරිමින්ව ආකර්ශනය කරගත හැකියි. මෙහි ප්‍රතිඵලය කුමක්ද?
ගැහැණියකගේ සිරුරේ දරුවෙකු පිළිසිඳ ගන්නා දවස් කිහිපය තුළ පමණක් ඇයව පිරිමියෙකුට ආකර්ශනය වුනානම් බොහෝ විට සිදු වන්නේ ඒ දවස් පහ හය ඇතුළත පමණක් පිරිමියෙකු ඈ ලඟින්ම සිට ඉතිරි දවස් වල වෙනත් සහකාරියන් පස්සේ වැටෙන එකයි. නමුත්, ගැහැණු සිරුරක දරුවෙකු හැදෙන දවස් දැන ගැනීමේ හැකියාව නැති වීම නිසා මිනිස් පිරිමි එක් ගැහැනියක් සමඟ දිගටම ඉන්නවා. මේ සංවේදීතාව නැති වී ඇති වෙනත් ඇතැම් සතුන් අතරත් මේ පුරුද්ද දැකිය හැකියි.
පරිනාමයේදී සිදුවූ මේ වෙනස්කම හේතුවෙන් මිනිස් පිරිමියෙක් එක් මිනිස් ගැහැණියක් සමඟ වැඩි කාලයක් ගත කිරීම නිසා මිනිස් දරුවෙකුට සාමාන්‍යයෙන් නිශ්චිතව හඳුනාගත හැකි ජීව විද්‍යාත්මක පියෙක් ඉන්නවා. ඒ ගැන පියාට සැක සංකා අඩුයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට මිනිස් දරුවෙකුට ඔහුගේ හෝ ඇගේ දෙමවුපියන්ගෙන් වැඩි කාලයක් පුරා විශාල රැකවරණයක් ලැබෙනවා. මැරෙන එකා මැරී ඉතුරු වෙන එකා ඉතුරුවෙන්න කියා දරුවන් තොගයක් හැදීම වගේම එසේ නොකර හදන දරුවන් ටික දෙනා ලොකු මහත් වන තුරු හොඳින් බලාගැනීමත් වර්ගයාගේ පැවැත්ම තහවුරු කළ හැකි ක්‍රමයක්. සමාජයක් සංකීර්ණ වන තරමට දෙවන ක්‍රමය වඩා සාර්ථකයි.
දැන් මෙතැනදීත් වර්ගයාගේ පැවැත්මට හේතු වෙන්නේ ලිංගික ආකර්ශනයම තමයි. නමුත්, වෙනස් ආකාරයකට. ලිංගික ආකර්ශනය නිසා පඩිපෙළ වගේ ළමයි නොහැදුනත් හැදෙන ළමයි ටික දෙනාට හොඳ රැකවරණයක් හා පුහුණුවක් ලැබෙන නිසා වර්ගයාගේ පැවැත්ම තහවුරු වෙනවා. වෙනත් ආකාරයකින් කිවුවොත් මිනිසුන් හා අදාළව ලිංගික ආකර්ෂණයේ කාර්ය භාරය වැඩි වැඩියෙන් දරුවන් වැදීමේ සිට සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම දක්වා වෙනස් වෙලා.
දැන් අපි වර්ගයා බෝ කිරීම පැත්තකින්ම තියලා සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම කියන කරුණට ආවොත් සමරිසිතාවය හරහා වුවත් ඔය වැඩේම වෙනවා. වඩා සමාජශීලී වෙනත් ක්ෂීරපායී සතුන් අතරත් මේ පුරුද්ද දකින්න පුළුවන්.
කොහොම වුනත් ජාන දිගින් දිගටම ව්‍යාප්ත වෙන්න විදිහක් නැතුව මේ වගේ පුරුද්දක් දිගටම පවතින්නේ කොහොමද කියන පරිණාමික ගැටළුව මෙතැනදී මතු වෙනවා. ඒ ගැටළුවට පිළිතුර පැහැදිළි කරන ප්‍රවාදත් කිහිපයක්ම තිබෙනවා.
එක මතයක් වන්නේ සමරිසි දරුවන් බිහි කරන කාන්තාවන් අනෙක් කාන්තාවන්ට වඩා දරුවන් බිහි කරනවා කියන එකයි. දත්ත ඇසුරෙන් මේ ප්‍රවාදයට සාක්ෂි සපයා තිබෙනවා. මේ ප්‍රවාදය අනුව සමරිසියන් දරුවන් බිහි නොකළත්, සමරිසියන් නොවන පවුලේ සහෝදර සහෝදරියන් හරහා සමරිසි ජානය ව්‍යාප්ත වෙනවා.
දෙවන ප්‍රවාදයක් අනුව සමරිසියන් බිහි කරන කාන්තාවන් ගැහැණු දරුවන් බිහි කරන්න වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම, සමරිසි ජානය ව්‍යාප්ත වෙන්නේ මවගෙන්. ඒ නිසා, ජානය දිගටම පවතිනවා.
ඉතිහාසය පුරා අද මෙන් සමරිසියන්ට සමරිසි ජීවිත ගෙවන්න ඉඩ නොලැබීමත්, ඔවුන්ට සමාජ බලපෑම නිසා දරුවන් හදන්න වීමත් නිසා මෙම ජානමය පුරුද්ද නැති නොවී පවතින බව තෙවන ප්‍රවාදයකින් කියවෙනවා. සමකාමී ගැහැණුන් හා අදාළව බොහෝ විට දැනටත් පවතින තත්ත්වය මෙයයි. මේ ප්‍රවාදය පමණක් සැලකුවොත් මේ පුරුද්ද පරම්පරා ගණනාවකට පසුව නැති වී යා යුතුයි.
තව හතරවන "යහපත් මාමා" ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, සමරිසියන්ට තමන්ගේම දරුවන් නැතත් ඔවුන් තම සොයුරු සොයුරියන්ගේ දරුවන් ආරක්ෂාකාරීව හා නිසි පෝෂණය ලබා ලොකු මහත් වී දරුවන් ලබන්න උපකාර කරන නිසා එම ඥාති දරුවන් විසින් දරුවන් හදන්න තිබෙන ඉඩකඩ ඉහළ යාමෙන් ජානය ව්‍යාප්ත වෙනවා.
බොහෝ සත්ත්ව ගහණ වල ගැහැණු සතුන්ගේ වැඩි ආකර්ෂණය ලබන්නේ වැඩිපුර පිරිමි ගති තිබෙන සටන්කාමී පිරිමි සතුන් වුවත්, දරුවන් ලොකු මහත් කර ගැනීමට අනෙක් සතුන්ට වඩා විශාල ආයෝජනයක් කළ යුතු මිනිස් ගැහැණුන් පිරිමින්ගෙන් යම් තරමකට ගැහැණු ගතිත් හොයනවා කියන එක මත පදනම් වූ පස්වන ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, ගැහැණුන්ගේ වැඩි ඉල්ලුම තිබෙන්නේ ගොඩක්ම පිරිමි ගති නැති, යම් තරමකට ගැහැණු ගතිත් තිබෙන පිරිමින්ටයි. එවැනි පිරිමින් දරුවන් වඩා හොඳින් රැක බලා ගන්න නිසා ඔවුන් ලොකු මහත් වී දරුවන් හදන්න තිබෙන ඉඩකඩ වැඩියි. එවැනි දරුවන්ගේ ජාන වල ගැහැණු ගතිය තවත් පොඩ්ඩක් වැඩි වූ විට ඔවුන් සමරිසියන් වෙනවා කියන එකයි පස්වන ප්‍රවාදය. සමරිසියා ගැහැණු ලක්ෂණ සහිත පිරිමියෙක් හෝ පිරිමි ලක්ෂණ සහිත ගැහැණියක් විය හැකියි.
මේ එක් ප්‍රවාදයක්වත් හරියටම පිළිගැනී නැහැ. කොහොම වුනත් මිනිස්සු අතර කාලයක් තිස්සේම සමරිසි චර්යාව පැවතී තිබෙන බවත්, ඇතැම් සතුන් අතර පවා මෙම චර්යාව තිබෙන බවත්, සමරිසි චර්යාවට ජානමය සම්බන්ධයක් තිබෙන බවත් පැහැදිලියි. අවසන් කරුණට සාක්ෂියක් ලෙස සමජාතීය නිවුන්නු දෙන්නෙක්ගෙන් එක් අයෙක් සමරිසියෙක්නම් අනෙක් කෙනාත් එසේ වෙන්න වැඩි ඉඩක් ඇති බවත්, විෂමජාතීය නිවුන්නු අතර එවැන්නක් නොපෙනෙන බවත් පෙන්වා දී තිබෙනවා.
ඒ ළඟ කරුණ විකෘතියක් කියන්නේ මොකක්ද කියන එකයි. විකෘතියක් ගැන කතා කළ හැක්කේ ප්‍රකෘතියකට සාපේක්ෂයි. හැම දෙනාටම හැම කලටම එකඟ විය හැකි එවැනි ප්‍රකෘති ස්වභාවයක් කියා එකක් තිබෙනවද?
දැන් මෙහි ප්‍රකෘතිය වන්නේ පරිපූර්ණ මිනිසෙක්. විකෘති, ශාරීරික හා මානසික රෝග ආදිය අර්ථදැක්වෙන්නේ මේ ප්‍රකෘතියට සාපේක්ෂවයි. කාලය, සංස්කෘතිය, දැනුම ආදිය එක්ක ප්‍රකෘතිය වෙනස් වෙනවා. පෙති ගෝමර, මල් ගෝමර ආදිය කාලයකදී ගැහැණියකගේ රූ සපුව විස්තර කරන ලකුණු. තවත් කාලයකදී මේවා චර්ම රෝග වෙනවා. නල දත් පිහිටීම ඇතැම් සමාජ වල ඇතැම් කාල වල සැලකෙන්නේ වාසනාවන්තකමේ ලකුණක් විදිහටයි. ලංකාවේ ජනප්‍රිය නිලියන් ගණනාවකට නල දත් පිහිටා තිබෙනවා. නමුත්, සමකාලීන ඇමරිකානුවන් මෙය සලකන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතු විකෘතියක් ලෙසයි. ස්වෙච්ඡතා රෝගයේ අර්ථදැක්වීම වෙනස් කිරීමෙන් පසුව එක් වරම ස්වෙච්ඡතා රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. සමරිසි සේවනය විකෘතියක්ද නැද්ද කියන එකත් අවසාන වශයෙන් සමාජය විසින් තීරණය කරන දෙයක්.
මේ කරුණ ගැන ලියන්න කියා ඉල්ලපු ඇනෝ සමරිසි සේවනය කෞමාර කාමයෙන් හා සත්ත්ව කාමයෙන් වෙනස් වන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහල තියෙනවා. වෙනත් බොහෝ සම්මත වගේම පසු කී කරුණු දෙක මානසික රෝග බවත්, සමරිසි සේවනය ප්‍රකෘතියේ කොටසක් බවත් තීරණය කරන්නේ සමාජය විසිනුයි. මේ සම්මතයේ පදනම වෙන්නේ සමරිසි සේවනය වැඩිහිටියන් දෙදෙනෙකු අතර කැමැත්තන් සිදුවන ගනුදෙනුවක් කියන එකයි.
සත්වකාමී පුද්ගලයෙකු ගනුදෙනුවකට කැමති වුවත් මිනිසෙකුට හෝ ගැහැණියකට මේ ගණුදෙනුවට සතෙකුගේ තිබෙන කැමැත්ත දැනගන්න විදිහක් නැහැ. ඒ නිසා, ඒ විදිහට කැමැත්ත දෙන්න නොහැකි අල්ලපු ගෙදර සුරතලේට හදන පොමරේනියන් බල්ලා තමන්ගේ ඒකපාර්ශ්වික කැමැත්ත මත පමණක් පදනම්ව තමන්ගේ අවශ්‍යතාවය පිණිස ප්‍රයෝජනයට ගන්නා මිනිසෙකුට අවසානයේදී විකෘතියක් ඇති මිනිසෙක් සේ ලේබල් වෙන්න වගේම පොලීසි යන්නත් සිදු වෙනවා. මෙතැනදී බල්ලාගේ අයිතිවාසිකම් ගැන සමාජය සංවේදීයි. බල්ලා මිය ගියත් බල්ලාගේ අයිතිකරුවන් බල්ලා බේරාගන්න අවශ්‍ය ප්‍රතිකාර කරනවා. තමන්ගේ සතුට වෙනුවෙන් බල්ලාව යොදාගෙන ඔහුව මරණයට පත් කරන අයෙක් මානසික රෝගියෙක් හෝ අපරාධකරුවෙක් විය හැකි වුවත්, කුකුළෙක් හෝ සේනා දළඹුවෙක් මරා දැමීම විකෘතියක් සේ සැලකෙන්නේ නැහැ.
කෞමාර කාමයේදී ඇතැම් විට බාලවයස්කරුවෙකුගේ කැමැත්ත තිබෙන්න හෝ විරෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත්, මෙවැනි අත්දැකීමක් ලබන දරුවෙකුට බොහෝ විට එහි හානිකර බලපෑම් ජීවිත කාලය පුරාම අත් විඳින්න වෙන්න පුළුවන්. බාල වයස්කරුවෙකුගේ කැමැත්ත පූර්ණ කැමැත්තක් සේ සැලකෙන්නේ නැහැ. නමුත්, මෙතැනදීත් බාලවයස්කරුවෙකු කියන එක සමාජ සම්මතයක්. ඇමරිකාවේදී වෙළඳසැලකින් මත්පැන් මිල දී ගත හැක්කේ වයස අවුරුදු 21 සම්පූර්ණ වූ අයෙකුට පමණයි. නමුත්, කැනඩාවේදීනම් ප්‍රාන්තය අනුව මේ වයස් සීමාව අවුරුදු 18ක් හෝ 19ක් පමණයි.
පසුගිය දිනක වාර්තා වී ඇති පුවතක් අනුව දෙමවුපියන් විසින් ඔවුන්ගේ පහළොස් හැවිදිරි දියණියට පුවත්පතක මංගල දැන්වීම් හරහා සහකාරයෙක් තෝරා ගෙන විවාහය තීන්දු කිරීමෙන් පසුව, ඔහුගේ සොහොයුරියකගේ නිවසේ පදිංචියට ගොස් තිබෙනවා. එහිදී මේ යෝජිත යුවල අතර සම්බන්ධය කෙළවර වී තිබෙන්නේ අදාළ තරුණයා ස්ත්‍රී දූෂණ චුදිතයෙක් වීමෙන්. ඔහුගේ ආගමික පසුබිම වෙනත් එකක් වුනානම් ඔහුට මේ චෝදනාව එල්ල විය නොහැකිව තිබුණා. වැරදි, විකෘති ආදිය තීරණය කරන්නේ සමාජය විසිනුයි.
සමකාමය ජානමය හේතු මත ඇති වන්නක් වෙන්න පුළුවන්. එය එසේ නොවුනත්, එය දැනුම් තේරුම් තිබෙන වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවක්. එයින් දෙදෙනාම සතුටු වෙනවානම් එහි ඇති වැරැද්දක් මම දකින්නේ නැහැ. මුලින්ම කී පරිදි, වැඩිහිටි ගැහැණු හා පිරිමි අතර සම්බන්ධතා ඇති වන්නේත් දරුවන් හැදීමේ හෝ වර්ගයා බෝ කිරීමේ අරමුණින්ම නෙමෙයි. ඒ නිසා, ඒ හේතුව මත පළමුවැන්න විකෘතියක් කියා කියන්න බැහැ.
ඇතැම් විට මේ වගේ ගනුදෙනුවකදී ලිංගික ආකර්ශනය තිබෙන්නේ එක් පාර්ශ්වයකට පමණක් වෙන්න පුළුවන්. අනෙක් පාර්ශ්වයට තිබෙන්නේ කිසියම් මූල්‍යමය හෝ වෙනත් වාසියක් ලබා ගැනීමේ අරමුණ වෙන්න පුළුවන්. එය එහෙම වුනත්, එහි ඇති වැරැද්දක් නැහැ. අවසාන වශයෙන් ගනුදෙනුව සිදුවෙන්නේ දෙපාර්ශ්වයේම කැමැත්තෙන්. ගැහැණු හා පිරිමි අතරත් එවැනි ගනුදෙනු සිදු වෙන්න පුළුවන්.
මෙතැනදී කතා කළ යුතු තවත් කරුණක් වන්නේ වර්ගයා බෝ කිරීම කියන්නේ කුමක්ද කියන එකයි. බොහෝ සතුන් හා අදාළව වර්ගයා බෝ කිරීම කියා කියන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීමයි. ඒ මගින් තමන් නැතත් තමන් වැනි වූ අයගේ පැවැත්ම තහවුරු කෙරෙනවා. කෙසේ වුවත්, මිනිසුන් හා අදාළව ගත් විට තමන් වගේ අය පවතින බව තහවුරු වෙන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීම මගින්ම නෙමෙයි.
මිනිසෙක් මිනිසෙක් වන්නේ ඔහු හෝ ඇය ජීව විද්‍යාත්මකව හැදී තිබෙන ආකාරය පමණක් අනුව නෙමෙයි. මිනිසෙකු සතු දැනුම, මිනිසෙකුගේ සංස්කෘතිය ආදියත් මිනිසෙකුව මිනිසෙකු බවට පත් කරනවා. ඇතැම් විට මිනිසෙකුගේ "වර්ගය" තීරණය කරන ප්‍රධාන සාධක මේ දෙවැනියට සඳහන් දේවල් වෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක් වැඩි වැඩියෙන් දරුවන් හදන එක පැත්තකට දමලා වෙනත් ආකාරයකින් තමන්ගේ වර්ගයා බෝ කරන්න පටන් ගන්න පුළුවන්. ඒ ක්‍රියා මාර්ගයේදී තමන්ගේ ජීවවිද්‍යාත්මක දරුවන් විසින් දරුවන් හදා තමන්ගේ ජාන ඉදිරියට ගෙන යන එක වලක්වන්න පුළුවන්. එසේ කළ ඇතැම් අය තමන්ගේ "වර්ගයා" වසර දහස් ගණනක් නොනැසී පවත්වා ගන්න සමත් වී තිබෙනවා.