Wednesday, November 6, 2019

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!


කලින් ලිපිය බොහෝ දෙනෙක් විසින් වත්පොතේ බෙදාගෙන තිබෙනවා. ඒ අය කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. පළමු කාණ්ඩය කිසිම විමසිල්ලක් නැතුව, වත්පොතේ ඇති දෙයක් දැකපු පමණින්, එය තමන්ගේ පූර්ව නිගමන හා ගැලපෙන්නක් මෙන් පෙනේනම්, බෙදා හරිමින් ප්‍රචාරය කරන අය. ඒ අයගෙන් වැඩි පිරිසක් මේ ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ රාජපක්ෂ ආගමිකයින්. නමුත්, ඒ ආකාරයට තමන් ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ ඇයි කියා ඒ අයවත් දන්නේ නැහැ. රාජපක්ෂ කඳවුරේ සිටින සියළුම දෙනා රාජපක්ෂ ආගමිකයින් නෙමෙයි. ඒ වගේම මේ වර්ගයේ අය එජාප, ජවිපෙ ඇතුළු අනෙකුත් කඳවුරු වලත් ඉන්නවා.

දෙවන කාණ්ඩයේ ඉන්නේ ලිපිය කියවීමෙන් පසුව එය බෙදාගත් අයයි. ඒ අය අතර දේශපාලනිකව විවිධ කඳවුරු වල සිටින අය දැකිය හැකියි. පොදුවේ ඔවුන් සියල්ලෝම රාජපක්ෂ විරෝධීන් නොවූවත් මේ අය අතර රාජපක්ෂවාදීන් සිටිනවා කියා මා හිතන්නේ නැහැ. මේ ඇතැම් දෙනෙක් එජාපයට හෝ ජවිපෙට පාක්ෂිකත්වයක් ඇති අය. වෙන පිලක හිටියත් ඒ  ඇතැම් අයත් ආගමිකයින්. කොහොම වුනත්, ඒ ආගමික කොටසට අමතරව දෙවන කාණ්ඩයේ සැලකිය යුතු පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායකයින් කියා කිව හැකි අයයි. මට අවශ්‍ය වුණේ ඒ අය වෙත ලිපිය ගෙන යන්නයි. සැලසුම් කළ පරිදිම මුලින් කී දේශපාලනික ආගමිකයින්ගේ උදවුවෙන් එය කර ගැනීමට හැකි වී තිබෙනවා.

වහල් මානසිකත්වකින් තොරව මේ ප්‍රශ්නය දිහා බලන කෙනෙකුට සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන විවිධ අය කියන කතා නිසා මොනවා හෝ ප්‍රශ්න මතු නොවෙන්න හේතුවක් නැහැ. එය ඉතාම සාධාරණයි. එවැනි වලංගු ප්‍රශ්න ගණනාවක් අපේ වියුණුවේ නිත්‍ය පාඨකයින් මෙන්ම එසේ නොවන අයද විසින් වියුණු ලිපියේ පරිකථා කොටසේ හා වත්පොතේ ප්‍රතිචාර හරහා මතු කර තිබෙනවා. කෙසේ වුවත්, ලිපිය බෙදාගත් වෙනත් අයගේ වත්පොත් වල තිබෙන ප්‍රතිචාර සියල්ල මට පෙනෙන්නේ නැහැ.

ඒ වගේම, බොහෝ විට සිදු වන පරිදි විවිධ අය විසින් මෙවරද ලිපිය උපුටාගෙන වෙනත් තැන් වල නැවත පළ කර තිබෙනවා. එසේ ලිපිය උපුටා පළ කර තිබෙන වෙනත් තැන් වලින් මෙහි පැමිණ කියවූවාට වඩා විශාල පිරිසක් විසින් කියවා තිබෙනවා. ඒ අයගේ ප්‍රතිචාර මට පෙනෙන්නේත් නැහැ. ඒ වගේම, ඇතැම් අය කිසිම හිරිකතක් නැතුව ලිපියේ කොටස් ඒ විදිහටම කොපි කර තමන්ගේ නමින් පළ කර තිබෙන බවත් පේනවා. අන්තිමේදී දවස් දෙකකට පසු මා ලියූ ලිපියේ කොටස් වෙනත් අයගේ නමින් මගේ වත්පොතේම දකින්නට ලැබෙනවා. මේ තියෙන්නේ එවැනි තැනක්.

http://lankanewsapp.com/archives/2234

නැවත මුලට ආවොත්, වඩා නිවැරදි දේ සොයා ගැනීමේ අරමුණින් මෙහි පළවන දෑ කියවන අපේ නිත්‍ය පාඨකයින් මතු කර තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන අපි තව ටිකක් කතා කරමු.

මේ ගිවිසුමේ වැරැද්දක් ඇත්තෙම නැද්ද?

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නා කියමනක්. මේ කියමන අපේ ඇඟවල් වලට පත්තියම් වෙලා තියෙන්නේ. ඒ නිසා, දුමක් නගින හැම වෙලාවෙම අපි හිතන්නේ කොහේ හෝ ගින්නක් තිබිය යුතුයි කියලයි. විවිධ දේවල් ගැන බොරු ප්‍රචාර යන අවස්ථා කිහිපයකදීම මේ වියුණුව හරහා ඇත්ත පෙන්වා දී තිබෙනවා. උදාහරණක් විදිහට කලකට පෙර වේගයෙන් ප්‍රචාරය වූ ප්ලාස්ටික් හාල් කතාව පෙන්වන්න පුළුවන්. මෙවැනි බොහෝ අවස්ථා වලදී දුම නගින්න හේතු වුනු ගින්න හොයාගෙන එය පෙන්වන්න අපට හැකි වුනා. නමුත්, මේ වෙලාවේ අප එවැනි ගින්නක් පෙන්වා නැති නිසා ගින්න කොහේ හෝ හැංගී ඇතැයි බොහෝ දෙනෙක් හිතනවා.

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාශ කරන බව විමල් වීරවංශ වැනි අය දන්නවා. ලංකාවේ මිනිස්සු හිතන ආකාරය ගැන ඔහුට තිබෙන අවබෝධය මත ගිණි නැතුව දුම් ගසා ගිණි ඇති බව පෙන්වීමේ කලාව ඔහු හොඳින් ප්‍රගුණ කර තිබෙනවා. සමහර විට ගහන දුම් නිසා පසුව ගිණි ඇති වෙනවා. මේ සිද්ධිය හා අදාළව හිතාමතා ප්‍රචාරය කෙරෙන කතා බොහොමයක් කිසිම පදනමක් නැති, අමූලික, පට්ටපල් බොරු. ඒ නිසා, මෙතන පෙන්නන්න තරම් ගින්නක් නැහැ. එවැන්නක් තිබුණානම් පෙන්වන්න අප පැකිලෙන්නේත් නැහැ.

මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් මේ තරම් වාසිදායක තත්ත්වයන් යටතේ ලංකාවට මෙවැනි මුදලක් ලැබී නැහැ. එක අතකින් අදාළ මුදල ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබුණු විශාලම ආධාර මුදල. ඒ වෙනුවෙන් ඇමරිකාවට කිසිවක් දිය යුතු නැහැ. අනෙක් පැත්තෙන් මේ හා අදාළ කොන්දේසි ඇත්තේම නැති තරම්. ඩොලර් මිලියන පන්සීයක් ගිණි පොලියට ගැනීමේදී පවා ලංකාව බොහෝ විට විවිධ කොන්දේසි වලට එකඟ වෙනවා. මුදල ලැබෙන්නේ ලංකාවෙන් ඉල්ලා සිටි කටයුතු දෙකක් කරන්නයි. ඒ කටයුතු වෙනුවෙන්ම මුදල් යොදවනවානම් වෙනත් ගැටලුවක් නැහැ.

බොහෝ දෙනෙක්ට සැක පහළ වී තිබෙන්නේම විශ්වාස කරන්නත් අමාරු මේ වාසිදායක තත්ත්වය නිසායි.

එතකොට ඇමරිකාවට ඉඩම් දෙන කතාව?

මේ කතාව තනිකරම ගොතපු කතාවක්. ගිවිසුමේ කොහේවත් එවැනි දෙයක් නැහැ. මේ ගිවිසුමට සම්බන්ධයක් නැති ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම කියා වෙනම එකක් තිබෙනවා. එය දිගුකාලීනව ලංකාවේ භෞතික සම්පත් වැඩි දියුණු කළ යුතු ආකාරය පිළිබඳ ජාතික සැලැස්මක්. මෙහි රටේ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපොළ ආදිය ඒකාබද්ධව සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ පුළුල් සැලසුමක් තිබෙනවා. චම්පික රණවක කියන ආකාරයට මෙය හදා තිබෙන්නේ දේශීය විශේෂඥයින් තුන් දහසක් පමණ මුල් වීමෙනුයි. සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන ප්‍රශ්න මතු වෙන්න පෙර සිටම මේ ගැන ඔහු කියා තිබෙනවා.

රාජපක්ෂ කාලයේ හම්බන්තොට ආශ්‍රිත බොහෝ යටිතල පහසුකම් දියුණු කළේත් මෙවැනි සැලැස්මක් අනුවයි. මෑතකාලීනව මේ සැලැස්ම යාවත්කාලීන කරන විට කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා තීරුවක් ඉදිරි සංවර්ධන කටයුතු වලදී ප්‍රමුඛතාවය ලැබිය යුතු ආර්ථික කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. චම්පික කියන විදිහට, ඒ තීරණය පිටුපස විද්‍යාත්මක හේතු තිබෙනවා. මේ තීරුව හඳුන්වා දී තිබෙන්නේ ආර්ථික කොරිඩෝරයක් ලෙසයි. එය බොහෝ දෙනෙකු දන්නවා ඇතැයි සිතන සංස්කෘතික ත්‍රිකෝණය හා පොල් ත්‍රිකෝණය වැනි ලංකා සිතියමේ ලකුණු කළ හැකි නිශ්චිත කලාපයක් වුවත් මහ පොළොවේ වැටවල් හෝ කම්බි ගසා වෙන් කෙරෙන ප්‍රදේශයක් නෙමෙයි. ඇමරිකාවට විකුණන අක්කර දොළොස් ලක්ෂයක තීරුව ලෙස පෙන්වන්නේ ලංකාවේ ජාතික භෞතික සැලැස්මේ තිබෙන මේ තීරුවයි. ඒ තීරුවට අයත් ආර්ථික කලාපයට අක්කර දොළොස් ලක්ෂයක් ඇතුළත්.

සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ සිතියම්ගත කෙරෙන දිස්ත්‍රික්ක හත තෝරාගෙන තිබෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉහත ප්‍රමුඛ ආර්ථික කලාපය ආවරණය වන ආකාරයටයි. ලංකාවේම ඉඩම් මැන පරිගණකගත කිරීම බොහෝ කලකට පෙර ආරම්භ වී මුදල් නැති කම නිසා ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතින කටයුත්තක්. ඇමරිකාවෙන් ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාව හදද්දී මේ කටයුත්ත වේගවත් කිරීම පිණිසත් මුදල් ඉල්ලා තිබෙනවා. නමුත්, මේ ආධාර ක්‍රමය යටතේ ලැබිය හැකි ආධාර ප්‍රමාණයේ සීමාවක් තිබෙන නිසා මුළු ලංකාවම සිතියම්ගත කරන්න ඇමරිකාවෙන් ආධාර ඉල්ලන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, කිසියම් ප්‍රදේශයක් තෝරා ගන්න වෙනවා. මෙහිදී ලංකාව පැත්තෙන් ව්‍යාපෘති යෝජනාව හදපු අය තෝරා ගෙන තිබෙන්නේ ඉහත දිස්ත්‍රික් හතයි.

මේ තේරීම ඉතා යෝග්‍ය එකක්. රටේ ජාතික භෞතික සැලැස්ම අනුව ප්‍රමුඛතාවය දිය යුතු වන්නේ මේ කලාපය සංවර්ධනය කිරීමට බව හඳුනාගෙන තිබෙන නිසා එහි වාසි ගණනාවක් තිබෙනවා. මූලික කරුණෙන් පිට පනින නිසා කරුණු සාකච්ඡා කිරීම පැත්තකින් තියමු. ඒ වගේම මේ ආධාරය ලබා දීමේදී ව්‍යාපෘති යෝජනා අතර විශාල තරඟයක් තිබෙනවා. මීට කලිනුත්, රාජපක්ෂ කාලයේත්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒවා තරඟකාරී මට්ටමක තිබී නැහැ. රටේ ප්‍රමුඛ සංවර්ධන කලාපයේ කරන දෙයකින් ප්‍රතිලාභ වැඩියි. එවැනි ව්‍යාපෘතියක් වඩා තරඟකාරීයි.

අනෙක් අතට මේ වැඩේට දකුණේ හා බස්නාහිර දිස්ත්‍රික්ක තෝරා ගත්තානම් මේ විවේචකයින් කියයි රටේම තියෙන වටිනාම ඉඩම් ටික කියා. උතුරු නැගෙනහිර ප්‍රදේශ තෝරා ගත්තානම් සිතියම් පෙන්වා කියන කතාව හිතාගන්න අමාරු නැහැනේ. දැන් මේ රට මැද වැඩිපුර සිංහල බෞද්ධයින් ඉන්න දිස්ත්‍රික්ක තෝරා ගෙන ඔවුන්ට යහපතක් වෙන දෙයක් කරද්දීයි මේ විවේචන කරන්නේ. තවත් නියම වැඩක් කියන්නේ ඔය උඩින් තිබෙන ගෝඨාභය කඳවුරේ අය භාවිතා කරන සිතියම ටැමිල්නෙට් එකෙන් ගත් එකක්. පසුගිය අප්‍රේල් මාසයේදී සහශ්‍ර අභියෝගිතා ආධාර මුදල් අනුමත වීමෙන් පසුව, මේ ව්‍යාපෘතිය ඔවුන් විසින් හඳුන්වාදී තිබෙන්නේ නාසිවාදී චම්පික රණවකගේ බලපෑමෙන් රනිල්ගේ ආණ්ඩුව විසින් වවුනියාව හා ත්‍රිකුණාමලය නාගරීකරණය කර, සිංහලයින් පදිංචි කර, සංවර්ධන ජනසංහාරයක් කිරීමේ වෑයමක් ලෙසයි. ඔය තීරුව නාගරික ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය වුනොත් "දෙමළ නිජබිම" දෙකට බෙදෙනවා කියන එකේනම් ඇත්තකුත් තියෙනවා.

විවේචකයින් අතර ඉන්නා එක් අයෙක් තිස්ස ජනනායකනම් ටියුෂන් ගුරුවරයෙක්. ඔය මනුස්සයා වෙන දේවල් ගැනත් බොරු කියනවා මම කලින් දැකලා තියෙනවා. එක වීඩියෝ එකක කැප්පෙටිපොළ දිසාවගේ ජාන විකෘතියක් ගැන කියන්නේ හරියට ඔය මනුස්සයා ඩීඑන්ඒ පරීක්ෂාවක් කළා වගේ. මේ ගිවිසුම හා අදාළවත් කිසිම පදනමක් නැති බොරු ගණනාවක් කියනවා. ගිණි නැතිව නගින දුම්! මේ පුද්ගලයා එක්කෝ ගිවිසුම කියවා නැහැ. නැත්නම් එහි නැති දේවල් ගැන හිතාමතාම බොරු කියනවා. වෙන බොරුත් කියනවා. ඉන්දු-ලංකා ගිවිසුම කියා එකක් අත්සන් කරන්න ගිහින් අන්තිමට විරෝධය නිසා අත්සන් කළේ නැහැයි කියන්නේ. මේ වැඩේ එක්කෝ දේශපාලන අරමුණකින් එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් නිසා ප්‍රසිද්ධිය බලාගෙන කරන වැඩක් කියා හිතන්න පුළුවන්.


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උපාධි ධාරියෙක්ද වන උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට අනුව පර්චසය රුපියල් 180 ගානේ අක්කර විසිනව ලක්ෂයක් ඇමරිකාවට අවුරුදු දෙසීයකට බදු දෙනවා දෙනවා. අක්කර විසිනව ලක්ෂයක් කියා කියන්නේ ඔය දිස්ත්‍රික්ක හතේ මුළු භූමි ප්‍රමාණය හෝ රජයට අයිති ඉඩම් කොටස. ඩොලර් මිලියන 480 රුපියල් කරලා, අක්කර ගණන පර්චස් කරලා, බෙදලා බැලුවහම ගණනනම් හරි.  කාශ්‍යප හාමුදුරුවෝ ඉත්තෙක් වී තිබෙන්නේ ගිවිසුම ගැන හාන්කවිසියක් නොදැන බව පැහැදිලියි. ඔය අවුරුදු දෙසීයේ බදු කතාව කියන්නේ ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහලයි.

සහශ්‍ර අභියෝගතා ගිවිසුම අනුව රටේ එක අඟලක්වත් ඇමරිකාවට විකිණීමක් වෙන්නේ නැහැ. නමුත්, ඔය ගණන අනුව බැලුවොත් රටේ දිස්ත්‍රික්ක හතක සෑම පර්චසයක්ම වෙනුවෙන් ඇමරිකාවෙන් රුපියල් 180ක් නිකම් ලැබෙනවා කියා කියන්න පුළුවන්. ඔය දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක්ට තමන්ගේ ඉඩම මැනගන්න අවශ්‍යනම් මිනින්දෝරු ගාස්තු විදිහට කීයක් ගෙවන්න වෙනවද?

ඇමරිකාව සල්ලි නිකම් දෙන්නේ ඇයි?

මේක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. කිසි කෙනෙක් තමන්ට වාසියක් නැතිව හිඟන්නෙක්ට රුපියලක්වත් නොදෙන මා මේ වියුණුව හරහාම පසුගිය වසර කිහිපය තිස්සේ සමාජගත කර තිබෙන අදහසක්. ඒ නිසා, බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ඇසීම ගැන මට තිබෙන්නේ සතුටක්. හිතන්න අවශ්‍ය නිවැරදි ආකාරය මෙයයි.

ඒ වගේම, මා තවත් අදහසක් ජනගත කරන්න උත්සාහ දරා තිබෙනවා. ගනුදෙනුවකින් කෙනෙක්ට වාසියක් වෙනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට අවාසියක් වෙනවා කියන එක නෙමෙයි. බොහෝ විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වෙන්නේ වාසියක්. ඇමරිකාවට මොනයම් හෝ වාසියක් නැත්නම් ඇමරිකාව මේ විදිහට නිකම් සල්ලි දෙන්න හේතුවක් නැහැනේ.

ඇමරිකාව අනෙකුත් රටවලට විවිධ ආකාර වලින් මුදල් ආධාර කරනවා. පළමු කොටස පෞද්ගලික ප්‍රේෂණ. දැන් අපි වගේ අය ලංකාවේ ඉන්න අපේ ඥාතීන් හෝ මිතුරන් වෙනුවෙන් හෝ ඇතැම් පොදු කටයුතු වෙනුවෙන් මුදල් යවනවා. ඒ ඇයි කියන එක පැහැදිලියිනේ. ඒ වගේම, පල්ලි හා රාජ්‍ය නොවන සංවිධාන වලිනුත් වෙනත් රටවලට මුදල් දෙනවා. නමුත්, මෙතැනදී අපි කතා කරන්නේ ඇමරිකාවේ ෆෙඩරල් ආණ්ඩුව විසින් ලබා දෙන ආධාර ගැනයි. මේවා ඇමරිකන් ජනතාවගෙන් එකතු කරන බදු මුදල්. ඒ නිසා, ඒ මුදල් වියදම් කරන ආකාරය හා ඒ හේතුවෙන් ඇමරිකාවට තිබෙන වාසිය ගැන ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුව ජනතාව දැනුවත් කළ යුතුයි.

ඇමරිකාවෙන් වෙනත් රටවලට ආධාර ලෙස ලබා දෙන මුදල් බොහෝ විට එම රට වලට ලොකු මුදලක් වුවත් ඇමරිකාවට විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, මේ ආධාර දෙන්නේ දිගුකාලීන වාසියක් බලාගෙන මිසක් එකවර ලැබෙන වාසියක් බලාගෙන නෙමෙයි. දිගුකාලීන වාසි ගැන සැලකූ විට ප්‍රාග්ධනය හිඟ රටවල් වලට ආධාර දීමෙන් ඇමරිකාවට දිගුකාලීනව ආර්ථික, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලදී ලැබෙන වාසි තිබෙනවා.

අපේක්ෂිත ප්‍රධානම ආර්ථික වාසිය වන්නේ අනාගතයේදී ඇමරිකාවේ නිෂ්පාදන වලට වෙළඳපොළක් ලැබෙන එකයි. එහෙම නැතුව ලංකාවේ ඉඩම් මිල දී ගැනීම නෙමෙයි. ඇමරිකාව කියන්නේ ලංකාවට සාපේක්ෂව ඉඩම් ඕනෑ තරම් තිබෙන රටක්. කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ ගිය විට ඇමරිකාවේ නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ යනවා. විශේෂයෙන්ම සහශ්‍ර අභියෝගිතා අරමුදල් ලබා දීමේදී ආදායම අඩුම රටවල් වෙනුවට පහළ මැදි ආදායම් රටවල් ඉලක්ක කරන්නේ එම රටවල් ඉක්මණින් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට තල්ලු කරන්නයි. දැන් ඩොලර් හාරදාහක් පමණ වන ලංකාවේ ඒක පුද්ගල ආදායම තෙගුණයකින් පමණ වැඩි වුනොත්, දැනට ඉන්දියාවේ හා චීනයේ හදන ආනයනික බඩු වෙනුවට ඇමරිකන් බඩු හොයන පිරිසක් රටේ ඇති වෙන්න ඉඩක් තිබෙනවා.

මේ කරුණ තහවුරු වූ කරුණක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ජපානයට විශාල වශයෙන් ආධාර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානය වේගයෙන් දියුණු වුනා. දැන් ජපානය ඇමරිකාවෙන් විශාල ලෙස භාණ්ඩ ආනයනය කරන රටක්.  ඉන් පසුව, ඇමරිකාවේ ආධාර ලැබූ දකුණු කොරියාව, මෙක්සිකෝව, බ්‍රසීලය, තායිලන්තය හා වියට්නාමය වැනි රටවල් වල ආර්ථිකයන්ද මේ වන විට විශාල ලෙස දියුණු වී එම රටවල් වලින් ඇමරිකන් භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම, අප්‍රිකානු රටවල ඒඩ්ස් වසංගතය තුරන් කිරීම පිණිස ඇමරිකාව විශාල ලෙස ආධාර කිරීමෙන් පසුව එසේ ආධාර ලැබූ අප්‍රිකානු රටවල් ගණනාවකම ඇමරිකන් ආනයන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට ඇමරිකන් භාණ්ඩ වලට එම රටවල් වල වෙළඳපොළක් හැදෙද්දී එම රටවල් වලින් ඇමරිකාවට කරන අපනයනද ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ඇමරිකන් දේශපාලනඥයින් වෙනස් මත දැරුවත් මෙයත් ඇමරිකාවට වාසිදායකයි. ඇමරිකාව වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කරන්නේ එය රට ඇතුළේ එම භාණ්ඩ නිපදනවාට වඩා වාසිදායක නිසයි. මේ පදනමින් ඇමරිකාවට වාසි සැලසෙන්නේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිය තරමටයි. එය ඇමරිකාවට වාසියක් වෙනවා වගේම ලංකාවට ඊටත් වඩා වාසියක්.

දෙවන වාසිය සෞඛ්‍යමය වාසියයි. ඒඩ්ස්, එබෝලා වැනි වසංගතයක් ලෝකයේ එක් ප්‍රදේශයක ව්‍යාප්ත වූ විට එය අනෙකුත් රටවල් වලටත් බලපානවා. ඒ නිසා, කවර හෝ රටක සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට ආධාර කිරීමෙන් අනෙකුත් රටවල් වලටද වාසි සැලසෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය අඩු රටක එය ඉහළ දැමීමට උදවු කිරීමෙන් ඇමරිකාවට වසංගත රෝග බෝවී ඇමරිකානු කාර්යක්ෂමතාව පහළ වැටීමේ අවදානම අඩු කරගත හැකියි. මෙයත් ඇමරිකාවට වාසියක් වුවත්, ආධාර ලබන රටවල් වලට ඊටත් වඩා වාසියක්.

තෙවන වාසිය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබද වාසියයි. කිසියම් රටක මිනිසුන්ගේ ආදායම් මට්ටම, අධ්‍යාපන මට්ටම හා සෞඛ්‍ය මට්ටම ඉහළ යන තරමට එවැනි රටවල් වලින් සමාජ විරෝධීන්, විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් බිහිවෙන්න තිබෙන ඉඩකඩ පහළ  යනවා. ඇතැම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මේ හැම අතින්ම ඉහළින් සිටි අය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. මා කියන්නේ ඇමරිකාව හිතන ආකාරයයි.

සහශ්‍ර අභියෝගිතා ආධාර ක්‍රමය ඇති කරද්දී ඉහත කරුණු වලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආධාර ලබා දීමේදී සලකා බලන නිර්ණායක සකස් කර තිබෙන්නේ මේ අනුවයි. ආධාර ක්‍රමය නිසා, අවසානයේදී ආධාර ලැබුනත් නැතත්, ආධාර ඉල්ලන්න බලාපොරොත්තු වන රටවල් වලට මේ කරුණු 20 ගැන අවධානය යොදවන්න වෙනවා. එය ඇමරිකාවට වාසියි. කොහොම වුනත්, ඇමරිකාවට තිබෙන වාසි ගැන සලකා බලා තිබෙන්නේ 2003දී අදාළ පණත සම්මත කරන විටයි. කිසියම් වසරක් තුළ ආධාර දීම සඳහා ව්‍යාපෘති යෝජනා තෝරා ගැනීමේදී සලකා බලන්නේ අදාළ ව්‍යාපෘතිය සලකා බලන නිර්ණායක අනුව කොයි තරම් තරඟකාරීද කියන එකයි. ව්‍යාපෘති යෝජනා සකස් කළ ලංකාවේ කණ්ඩායම මෙවර වැඩේ හොඳින් කර තිබෙනවා.

මේ සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට යයිද?

මේක සාධාරණ ප්‍රශ්නයක්නේ. මේ ප්‍රශ්නය අපට වඩා සල්ලි දෙන ඇමරිකාවට තිබෙන ප්‍රශ්නයක්. සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට ගියොත් ඇමරිකාවේ අරමුණු ඉටු වෙන්නෙත් නැහැ. ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් හැදිය යුතු වන්නේ මේ අවදානම අවම කර ගන්නයි. එවැනි වෙනම ආයතනයක් හැදූ විට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වගකිව යුතු නිශ්චිත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම, ගිවිසුමක් අත්සන් කර ගන්නේත් ලබා දෙන සල්ලි ලංකාවෙන් යෝජනා කර ඇමරිකාව විසින් අනුමත කර තිබෙන ව්‍යාපෘති වෙනුවෙන්ම යෙදවෙන බව තහවුරු කර ගන්නයි.

මේ ගිවිසුම මේ වෙලාවෙම අත්සන් කළ යුත්තේ ඇයි?

මේ ආධාර මුදල ලබා ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව 2016 සිට මහන්සි වී තිබෙනවා. ඇමරිකාවේ සහශ්‍ර අභියෝගිතා සමාගමේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආධාර මුදල අනුමත කර තිබෙන්නේ 2019 අප්‍රේල් 25 දිනයි. ගිවිසුම අත්සන් කිරීම මේ කාලයට වැටීම අදාළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සිදු වී තිබෙන සාමාන්‍ය දෙයක්. මා දන්නා තරමින්, ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කළ යුතු බවක් ඇමරිකන් පාර්ශ්වයෙන් කියා නැහැ. ආණ්ඩුව වෙනස් වුනත් ඉන් පසුව ගිවිසුම අත්සන් කිරීමට බාධාවක් ඇතැයි මා හිතන්නේ නැහැ. සල්ලි එපානම් ඇමරිකාව බලෙන් සල්ලි දෙන්න එන එකක් නැහැ. එපා කියා කියන්න විතරයි තියෙන්නේ. නමුත්, කවුරු බලයට පත් වුනත් මේ ගිවිසුම අත්සන් නොකර සිටීයැයි හිතන්න අමාරුයි. එය ඒ තරම්ම වාසිදායක දෙයක්.

මේ ආධාර මුදල ප්‍රතික්ෂේප කළොත් ලංකාවට නැවත මෙවැනි ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලංකාව දැනටමත් පහළ මැදි ආදායම් මට්ටමෙන් ඉහළ මැදි ආදායම් මට්ටමට ගිහිල්ලයි ඉන්නේ. හැබැයි ගිවිසුම අත්සන් කිරීම සති දෙක තුනක් ප්‍රමාද කළා කියා අනුමත වී ඇති ආධාරය නොලැබී යන එකක් නැහැ.

මගේ අදහස අනුව ගිවිසුම මේ වෙලාවේ අත්සන් කරන්න යොදා ගන්න ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවට දේශපාලන වාසියක් ගන්න බලාගෙනයි. නමුත්, වත්මන් ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් සිදු වී තිබෙන්නේ එහි අනිත් පැත්තයි.

ප්‍රසිද්ධ කර තිබෙන ගිවිසුම ඇත්ත ගිවිසුමද?

ප්‍රසිද්ධ වී ඇති ගිවිසුම ඇත්ත ගිවිසුම නොවන බව ආණ්ඩුවේ පැත්තෙන් කියා නැහැ. ඒ වගේම මේ ගැන විරෝධය පාන අය කතා කරන්නෙත් ප්‍රසිද්ධියේ තිබෙන ගිවිසුම ගැන බව පැහැදිලියි. ඒ හැර, මේ ගැන මීට වඩා වැඩි දෙයක් මම කියන්න දන්නේ නැහැ. ප්‍රසිද්ධ කර තිබෙන පිටු 84ක ගිවිසුමේ 12, 13 පිටු අඩුයි. මෙය ඡායාපිටපත්කරු අතින් සිදු වූ අත් වැරැද්දක් කියා මම හිතනවා. ඒ පිටු වල තිබෙන දේ පටුනේ තිබෙන නිසා මා ලියා ඇති මූලික කරුණු වලට මේ පිටු දෙක නොතිබීම බල නොපාන බව මගේ අදහසයි.

පසු සටහන: පිටු සියල්ල සහිත, නීතිපතිගේ එකඟත්වයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුම පහත තිබෙනවා.

http://www.treasury.gov.lk/documents/10181/519892/MCC+Rescan1.pdf/a5d28fac-22cc-4139-a88e-a37311bafb6b


ගිවිසුම නිසා ලංකාවට ඇමරිකන් හමුදා ගොඩ බසියිද?

ඇමරිකන් ෆෙඩරල් රජයේ ආධාර මිලිටරි ආධාර හා මිලිටරි නොවන ආධාර කියා කොටස් දෙකක් තිබෙනවා. මෙය මිලිටරි නොවන ආධාරයක්. මිලිටරි නොවන ආධාර සම්ප්‍රදායිකව බොහෝ විට ලබා දී තිබෙන්නේ යූඑස්ඒඩ් වැනි ආයතන හරහා. මෙවැනි මිලිටරි නොවන ආධාර ලබා දීමේදී ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් එම ආධාර මුදල් යොදා ගැනෙන බවට චෝදනා නැගී තිබෙනවා. 2003දී සහශ්‍ර අභියෝගිතා පණත සම්මත කර තිබෙන්නේම ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා ගැන නොසිතා ස්වාධීනව තරඟකාරී පදනමක් මත මේ ආධාර මුදල් බෙදා හැරීම වෙනුවෙන්. සහශ්‍ර අභියෝගිතා සමාගම පිහිටුවා තිබෙන්නේත් ඒ වෙනුවෙනුයි. මේ ක්‍රමයට ලබා දෙන්නේ ඇමරිකානු විදේශාධාර වලින් වසරකට ඩොලර් මිලියන 900ක පමණ "සුළු මුදලක්" පමණයි. ඒ කියන්නේ ආධාර ලැබෙන්නේ වසරකට රටවල් දෙක තුනකට පමණයි.

මේ පදනම යටතේ ආධාර ලැබූ අනෙකුත් රටවල් මොනවාද?

කලාපයේ නේපාලය හා ඉන්දුනීසියාව ඇතුළු රටවල් 37ක් පසුගිය කාලයේ මේ යටතේ ආධාර ලබා තිබෙනවා. ඇතැම් රටවල් දෙවරක් ආධාර ලබා තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කළ අනෙක් රටවල් දියුණු වෙලා නැහැ කියන්නේ ඇත්තද?

මේ කතාව බොරුවක් බව පෙන්වාදීම අමාරු නැති වුනත් එය තේරුමක් නැති දෙයක්. දැන් ලංකාවම ගම්මුකෝ. ඩොලර් මිලියන 480ක් කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත්, ඔය වගේ මුදලක් ලැබුණා කියා ඒ හේතුව නිසාම රටක් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා, රටක් දියුණු වුනේ හෝ නොවුනේ මේ වගේ ආධාරයක් නිසා කියා කියන්න බැහැ.

එතකොට ඉඩම් විකිණීමක් වෙන්නෙම නැද්ද?

ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යන්නනම් කළ යුතු මොනවාද කියන එක වරින් වර බොහෝ දෙනෙක් මගෙන් අසා තිබෙන ප්‍රශ්නයක්. මේ ගිවිසුමේ නොතිබුණත්, ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යාමට කළ යුතු දේවල් අතර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම අත්‍යාවශ්‍යම දෙයක් කියන එක මගේ අදහසයි. ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම සංවර්ධන ආර්ථික විද්‍යාඥයෙක් ලංකාව ගැන නිසි අධ්‍යයනයක් කළොත් මේ කරුණ සම්බන්ධව එකඟ වෙයි කියා මම හිතනවා.

ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 85.8%ක්ම අයිති රජයටයි. පෞද්ගලික අයිතිය යටතේ තිබෙන්නේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 14.2%ක් පමණයි. රජයට අයිති ඉඩම් වලින් 21%ක් විවිධ යෝජනා ක්‍රම යටතේ වගා කටයුතු සඳහා බෙදා දී තිබෙනවා. එවිට ඉතිරි ප්‍රමාණය 64.6%ක්. එහෙත්, මේ ඉතිරි ඉඩම් ඇත්තටම නිදහස්ව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඔය ඉඩම් බොහොමයක් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙනයි තියෙන්නේ. මේ ගැන දැන ගන්න වෙන්නේ රටේම ඉඩම් නැවත මැන සිතියම්ගත කළහොත් පමණයි.

රටේ මිලියන 21.4ක ජනගහණයකට මිල දී ගන්න හෝ විකුණන්න අයිතිය තිබෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 0.93ක් හෙවත් අක්කර මිලියන 2.3ක් පමණයි. ජීවිතය ගොඩ නගා ගන්නා තරුණයෙකුට හෝ ව්‍යවසායකයෙකුට ඉඩමක් මිල දී ගන්න බොහෝ අසීරු වෙන්න මෙය ප්‍රධාන හේතුවක්.

ප්‍රශ්නය විසඳෙන්නනම් රජය සතු ඉඩම් වලින් කොටසක් පුද්ගලික අංශය සතු විය යුතුයි. රජයට තමන් සන්තකව තිබෙන ඉඩම් වෙළඳපොල මිලට විකුණා එක පැත්තකින් රටේ ඉඩම් ප්‍රශ්නය විසඳමින් අනෙක් පැත්තෙන් රජයේ ආදායම් ප්‍රශ්නයත් විසඳාගත හැකියි. විකිණීම ප්‍රශ්නයක්නම් බදු දෙන්නත් පුළුවන්. ඇමරිකාවට හෝ විදේශිකයින්ට විකිණීම හෝ බදු දීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත්, රටේ ආර්ථික සංවර්ධනයට දායක කර නොගැනෙන ඉඩම් වල අයිතිය පුද්ගලික අංශය වෙත මාරු වෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ඉඩම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙන්නේ ප්‍රස්තුතයට අදාළ දිස්ත්‍රික්ක වලයි.

රජයට අයත් ඉඩම් විකිණීමෙන් ඉඩම් වෙළඳපොළේ සැපයුම වැඩි කළ හැකි වුවත්, ඒ පැති වල මිනිස්සු පදිංචි වෙන්න හා ව්‍යාපාර ආරම්භ කරන්න කැමති නොවුනහොත් සැපයුමට ගැලපෙන ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. දැනට ඉඩම් ඉල්ලුම තිබෙන්නේ බස්නාහිර, දකුණු, සබරගමු පළාත් වල පහත රට තෙත් කලාපයේ දිස්ත්‍රික්ක වලටයි. එයට හේතුව රැකියා තිබෙන්නේ ඒ ප්‍රදේශ වල වීමයි. ඒ නිසා, ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීමත්, අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් මගින් කොළඹ ත්‍රිකුණාමල තීරුවේ ආර්ථික කටයුතු උත්තේජනය කළ හැකිනම් එය නරක දෙයක් නෙමෙයි.

ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකාවෙන් සල්ලි ඉල්ලා සිටිද්දී ඒ ව්‍යාපෘතිය නිසා රටේ  මිනිස්සුන්ට සෙත සැලසෙන්නේ කොහොමද කියන එකත් පෙන්වා දෙන්න වෙනවා. එසේ පෙන්වා දීමේදී ආණ්ඩුවේ පැත්තෙන් ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම ගැනත් කිවුවා වෙන්න පුළුවන්. සහස්‍ර අභියෝගිතා ආධාර මුදලට සෘජු සම්බන්ධයක් නැතත්, ලංකාවේ ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම සංවර්ධනයේ ඊළඟ අදියරට යන්න කළ යුතුම දෙයක්.

මේ කරුණු ගෝඨාභය පාර්ශ්වයේ වගකිව යුතු අය නොදැන ඉන්න හේතුවක් නැහැ. ඔවුන් මේ ගැන කතා නොකරන්නේ ඒ නිසයි. නමුත්, ගෝඨාභය රකින්න කඩුව ගත්තු වඳුරෝ මැස්සෝ එළවන්න ගිහින් ගෝඨාභයට දැනටමත් සෑහෙන්න තුවාළයි.

(Image: https://www.tamilnet.com/art.html?catid=13&artid=39405)

38 comments:

  1. / අධ්‍යාපන මට්ටම හා සෞඛ්‍ය මට්ටම ඉහළ යන තරමට එවැනි රටවල් වලින් සමාජ විරෝධීන්, විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් බිහිවෙන්න තිබෙන ඉඩකඩ ඉහළ යනවා./ ???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇණයා! පොඩි ටයිපිං මිස්ටේක් එකක්. හැදුවා.

      Delete
  2. මෙහෙම චෝදනාවක් තියෙනවා...රජය සතු ඉඩම් නිදහස් ලෙස වෙළද පොලට එක් කිරීම නිසා, රටේ ඉඩම් විදේශික සමාගම් මගින් මිලදී ගෙන, ලාභය පමනක් හෝ දේශපාලනික කරුනු උදෙසා එවා භාවිතා කරන්න පුළුවන් නේද?

    ඇමෙරිකාව මෙවනි භූමිය ,නිදහස් වෙළද පොලට එක් කිරීමේ ආධාර වෙනත් රටවලට දීලා තියෙනවද? දී තිබෙනම් ඒ රටවල ගිවිසුමෙන් පසු තත්වය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ලිපියේ අන්තිම කොටසේ තිබෙන්නේ මගේ පෞද්ගලික අදහස්. ගිවිසුම අනුව එසේ කරන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් කිරීම හෝ නොකිරීම ද්වීතියික කරුණක්. ඔබ කියන දේ වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ රටේ පවතින සාමාන්‍ය නීතිය සහ වෙළඳපොල තත්ත්වයන් අනුවයි. දැනට පවතින නීතිමය බාධක හා බදු නිසා ලංකාවේ ඉඩම් විදේශිකයින්ට එතරම් ආකර්ශනීයයි කියා මම හිතන්නේ නැහැ. එසේ වුනොත් ඒ ලංකාව ගැන විශේෂ කැමැත්තක් ඇති අයෙකුට පමණයි. වෙනත් රටවල් වල ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ආධාර දීම් ගැන මම හදාරලා නැහැ. සමහර විට ඇති. වෙලාවක් ලැබුනොත් හොයා බලන්නම්. බොහෝ රටවල් ආධාර ඉල්ලා තිබෙන්නේ විදුලි බල ව්‍යාපෘති, සෞඛ්‍ය, අධ්‍යාපන, මහා මාර්ග, ස්වභාවික සම්පත් සංරක්ෂණය ආදියටයි.

      Delete
  3. දැන් සද්ද නොකර හිටියට ගෝටා දිනුවත් මේ ආධාරමුදල ගන්න වෙනවා. එතකොට කාශ්‍යප හාමුදුරුවොයි තිස්ස ජනනායකයි කතා කරන්න ගියොත් දෙන්නටම අබසරණයි!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කවුරුත් ඔය බව දන්නව , ඒත් කියන්නේ අනිත් එකා දිනුවොත් මේක කරයි කියල.
      කණ්ඩලම හෝටලේ ගැනත් , පොර්ට් සිටි එක ගැනත් ඒකාලේ මැතිවරණ වේදිකාවල කතා කරපුව ගැන මතක් කර ගන්න පුළුවන්.

      Delete
  4. බීබීසී වෙබ් පේජ් එකේ තිබුණා ඇමරිකාව කිව්වා කියා, ජනාධිපතිවරනයෙන් පස්සෙ ගිවිසුම අත්සන් කරන්නෙ, ඊටපස්සෙ ඒක ලංකාවෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න බලාපොරොත්තු වෙනව කියලා...

    ReplyDelete
  5. https://now.tufts.edu/articles/truth-about-conspiracy-theories

    ReplyDelete
  6. https://drive.google.com/file/d/0B60hIh13gTIiN1c5WmFIRGMwcjhrNmdoeEVsY1RXa0ZfZXpN/view?fbclid=IwAR0LHnjRXhYxI0i4qTZznTANQK8t_cCZwWLsivJjBamBhUbvqDk3jdT7jWw

    පිටු 12, 13 ත් අන්තර්ගත පිටු 86 ක සම්පූර්ණ පිටපත

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, තපස්! මෙයින් පිටු අඩු වීම අත් වැරැද්දක් කියන එක තහවුරු වෙනවා.

      Delete
  7. මේකාට ඇති ප්‍රදාන විරොදය් එන්නේ ඉඩම් නිර්වුල් කිරිම කියන කාර්නාවා හරහායි. මෙවැනි ව්‍යාපෘතියක් බිම්සවිය න්මින් ගම්පහ ක්‍රියාත්මක වුනා.එය් ඉත හොදයි මොකද ඉඩ්ම් වල අයිතිය නිරවුල් වෙන්වා. එක්ක් මතක තියාගන්න මේ බිම්ස්වියට නිති වෙදින් හා මිනිම්දොරුවන්ගෙ විරොදයක් තිබුනා කියලා මම දැනගත්ත. හිතන්න ඉතා පහසුවෙන් වාහනය්ක් විකිනන විදිහට ඉඩම් විකුනන්න පුලුවන් උනොත් නිති වේදින්ගේ මහ විසාල ආදයමක් නැති වෙනවා. මේන්න මේක ගැන හිතුවොත් කොහොමද මේ දැඩි විරොධය පැන්ණැගිම ගැන යම් හෝඩුවාවක ගන්න පුලුවන්. ඔය ගිවිසුම මම කියවලා නැහැ නමුත් සිරි ලන්කාවේ බොහෝ දේවල් මිනිස්සන්ට දෙන්න බැරිවෙන්නේ එහෙම කරාම බලය හා හැකියාව ඇති තව කට්ටියකට පාඩු වෙන නිසා. මේ ගැන පැය නෙමෙයි දවස් ගානක් කතා.කරන්න හා පිටු දහස් ගානක් ලියන්න පුලුවන්

    ReplyDelete
  8. ශ්‍රී ලංකාව කියන්නෙ ගිවිසුම් සම්බන්ඳයෙන් අපකීරිතිමත් ඉතිහාසයක් තියන රටක්.. ඒ කියන්නෙ ඔය ගහන ගිවිසුම් බොහොමයක් අවසන් වෙලා තියෙන්නෙ ලංකාවට අවාසි වෙලා.. 1815, 1987 ප්‍රසිද්ධ ගිවිසුම් දෙකෙන්ම අපි කෙලවා ගත්තා මම හිතන්නෙ.. ඒක හිංදා මේ ගිවිසුමෙන් අපිට ප්‍රයෝජන තියනවනම්, අවාසි නැත්නම් තවත් බොහොම අධ්‍යනය කරලා යන එක වඩා හොඳයි මම හිතන්නෙ.. විශේෂයෙන්ම, තාප්පයක් ගහලා ඒකෙ සල්ලිත් අනිත් පැත්තෙන් ගෙවන්න ඕනා කියන මෝරෙක් එක්ක ගිවිසුම් ගහද්දි..

    ReplyDelete
    Replies
    1. //අවාසි නැත්නම් තවත් බොහොම අධ්‍යනය කරලා යන එක වඩා හොඳයි මම හිතන්නෙ//
      දැන් ඔය වැඩේ කරන්න ඕනෑ කවුද? අවසන් නිගමනය ගන්න ඕනෑ කවුද?

      Delete
    2. තවත් ටිකක් පැහැදිලි කළොත්, රට වෙනුවෙන් මෙය අධ්‍යයනය කළ යුත්තේ ජාත්‍යන්තර ගිවිසුම් නීතිය හා අදාළ තාක්ෂණික කරුණු ගැන දැනුමක් තිබෙන පිරිසක් විසින් මිස මා වැනි බ්ලොග්කරුවෙකු විසින් හෝ ටියුෂන් ගුරුවරයෙකු විසින් හෝ බෞද්ධ භික්ෂූන් විසින් නෙමෙයි. එවැනි අයත් ගිවිසුම අධ්‍යයනය කර අදහස් පළ කරන එක හොඳයි. එහෙත්, කවුරු හෝ කෙනෙක් අවසන් තීරණය ගත යුතුයි. රටේ නීතිපති දෙපාර්තමේන්තුව කියා එකක් තියෙන්නේ මේ වැඩේ කරන්නයි.

      Delete
  9. ඔබේ ලිපිය මා ෆේස්බුක් එකේ කෙලින්මත් වෙනත් තැන්වල ප්‍රතිචාරයක් ලෙසත් බෙදා හැරියා. ඒ හරහා මේ වන විට මේ ලිපියට 567 දෙනෙකු පිවීසී ඇති බව මා භාවිතා කල බිට්ලි සේවාව අනුව කිව හැකියි.

    ReplyDelete
  10. කැල්ගරි විශ්වවිද්‍යාලයේ ජනක රුවන්පුර මේ ආධාර ගිවිසුම ගැන ලියූ ලිපිය මෙන්න
    https://www.facebook.com/janaka.ruwanpura/posts/10157349834435199

    ReplyDelete
  11. වෙනත් සාකච්ඡාවක දී ලියූ මගේ අදහස.

    ධනවත් රටවල් මගින් දියුණුවෙමින් පවතින රටවලට ආධාර ලබා දීම සාමාන්‍ය කරුණක්. මා වසන ඕස්ටේ‍ර්ලියාවත් එසේ කරනවා. In 2018–19, Australia will provide $4.2 billion in Official Development Assistance (Source: DFAT). විකිපීඩියාවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික විදේශාධාර ප්‍රමාණය බිලියන් 40 කට වැඩියි.

    මා කලක් සේවය කළ වානේ සංස්ථාව තනිකරම රුසියාවෙන් ලබා දුන් ආධාරයක්. රුසියාව තවත් කර්මාන්ත ශාලා ලංකාවට ලබා දී තියෙනවා. ඒ නිසා ලංකාව රුසියාව විසින් අත්පත් කර ගත්තේ නෑ.

    ඇමරිකානු විරෝධය සමාජවාදී කඳවුරට පක්‍ෂව සිටි විවිධ සමාජවාදී පක්‍ෂ මගින් ලංකාවේ ඇති කරන ලද අනියත බියක් පමණයි නේද? මෙතෙක් කල් සිදුවුණු දෙයක් නම් නැහැ.

    චීනයෙන් ණය දෙන විට ඒවා වෙළඳ අනුපාතික යටතේ දුන් නිසා මෙවැනි ප්‍රශ්ණ, එනම් යටි අරමුණු තිබේ ද වැනි, අපට ආවේ නෑ. අවසානයේ බොහෝවිට සිදුවූයේ සුදු අලි කිහිපදෙනෙකු සහ ණය බර ලැබීම පමණයි.

    මේ ආධාරය ලංකාව පසුගිය දශකය තුළ ගත් ණය හා සළකන විට ඉතා සුළු එකක්. ඩොලර් මිලියන 480 කියන්නේ ලෝක ආධාර ගැන සළකන විට සොච්චමක්. එයිනුත් අඩක් පමණ, මෙම ව්‍යාපෘතිවල සේවය කරන විදෙස සහ දේශීය පුද්ගලයින්, වාහන සහ ඔෆීස් කුලිය සඳහා වැයවෙන බව සිතිය හැකියි.

    ReplyDelete
  12. මේ සම්බන්ධයෙන් කණගාටුදායක ම සිදුවීම තමයි මෙතෙක් කල් මා ඇතුළු බොහෝ දෙනෙකු ධර්මධර භික්‍ෂුවක යැයි සිතා ගෙන සිටි පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ලේබලයක් වැදීමයි. එක්කෝ ඔහුට යම් මානසික ආතතියක් තියෙනවා නැතිනම් ඔහු මව්බිම, දේශප්‍රේමය වැන,ි ඔහු තරුණයෙකුව සිටි 88-89 කාලේ හොඳින් අලෙවි වුණු, සොච්චම් ලන්සුවකට අලෙවි වෙලා.

    පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේම උගත් ඉකොනොමැට්ටාව මෙසේ කියන්න හැකියි.

    ඉඳ ඉඳ එක වෙහෙර
    විඳ විඳ දහම් මනහර
    සිඳ බිඳ දුක් සසර
    අහෝ සංජීව නොදුටි මොක් පුර.

    (හැබැයි ඉතිං ගඟෙන් එගොඩ පීඨයක වුනත්, උපවාස කප්පිත්තා අතන මෙතන පනින රතන සිටියේ ද ඔය වෙහෙරේ ම තමයි!)

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං වෙහෙරෙ වැරැද්දක් නෙවෙයි ආයිබොවං...සමහර පාරාජිකා වෙච්ච උන්දැලත් මහ රහතුනුත් එකම වෙහෙරෙ ඉදල තියෙනවා...හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ විකිනෙයි කියලා...මං තාම උන්වහන්සේ එහෙම උනා කියල හිතන්නෙ නෑ..සමහර විට පොඩි ඇවතක් වෙන්ඩ ඇති...

      Delete
    2. ඇවැතක් නම් වෙලා.ඉඩං ඔප්පුව ලැබිලා.

      Delete
  13. Page No:16, Section 6.8, MCC Status යටතේ කියා තිබෙන්නේ ඇමරිකානු රජ්‍යය හෝ MCC එකට සම්භන්ධ හෝ හිටපු හෝ කිසිම නිලධරියකුට විරුද්ධව තුවාල වීම් හානි වීම් අලාභ වීම් හා මරණය සිදුවීම් යන කිසිදු හේතුවකට ලන්කාවේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට ලන්කා රජය එගඟ වන බවයි. ...මෙය ගැටළුකාරී තත්වයක් නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ ප්‍රශ්නයක්, තපස්. ගිවිසුම සැලකිල්ලෙන් කියවා ගැටළුකාරී සේ හැඟී යන මේ කරුණ ගැන විමසීම ගැන පළමුව ඔබට ස්තුතියි!

      මෙය ඇමරිකන් ෆෙඩරල් රජය කිසියම් ආධාරයක් දෙන හැම විටම වගේ යොදන සාමාන්‍ය වගන්තියක්. ඇමරිකාවේ පර්යේෂකයෙකුට හෝ ආයතනයකට ආධාරයක් දෙන විටත් ගිවිසුමේ මෙවැනි වගන්තියක් තිබෙනවා. ඇමරිකානු රජය වගේම වෙනත් ආධාර දෙන ආයතනත් මෙවැනි වගන්ති එකතු කරනවා. එසේ කීම පමණක් ඔබේ ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් නොවන නිසා මෙය තව ටිකක් වැඩිපුර පැහැදිලි කරන්නම්.

      දැන් හිතන්න මම පර්යේෂණයක් කරනවා කොතල හිඹුටු වලින් දියවැඩියාව සුව කිරීම ගැන. වැඩේ දිගටම කරගෙන යන්න මුදල් අවශ්‍ය නිසා ව්‍යාපෘති යෝජනාවක් හදලා ආධාර ලබා දෙන විවිධ අයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙක් ආධාර කරන්න කැමති වෙනවා. ඇමරිකන් ෆෙඩරල් රජයම කියමුකෝ. ඉන් පසු, අදාළ මුදල් යොදවා පර්යේෂණ කර මම ඔසුවක් හදනවා. එය විකුණා මුදල් හොයනවා. ෆෙඩරල් රජය පර්යේෂණ ව්‍යාපෘතියට ආධාර කළත්, එය කරන්නේ සෘජු වාසියක් බලාගෙන නොවන නිසා මේ මුදල් වලින් කොටසක් සෘජුව (බදු වශයෙන් වක්‍ර ලෙස මිස) රජයට යන්නේ නැහැ. ඔසුවේ අතුරු විපාකයක් නිසා නිදිමත හැදී කෙනෙක් වාහන අනතුරකට මුහුණ දෙනවා. ඉන් පසුව, ඔසුව හදපු පුද්ගලයාට විරුද්ධව නඩු දානවා. ඔසුව හදන්න ආධාර කළ ෆෙඩරල් රජයත් වග උත්තරකරුවෙකු කරනවා. නමුත්, ව්‍යාපෘතිය සලකා බලා ආධාර දීම හැර වෙන දෙයක් ෆෙඩරල් රජය විසින් කර නැති නිසා මේක අහක යන පරිප්පුවක්. ඔය වගන්තිය දමන්නේ එයින් ගැලවෙන්නයි. ප්‍රකාශයට පත් කර තිබෙන බොහොමයක් පර්යේෂණ පත්‍රිකා වල අදාළ පර්යේෂණ වලට ආධාර කළ අයට ස්තුති කරන අතරම පර්යේෂණය නිසා ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිඵල වලින් ආධාර දුන් පුද්ගලයා හා ආයතනය නිදහස් කරන බව ලිඛිතව සටහන් කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නැත්නම් වෙන්නේ දන්සැලක නරක් වූ බීම දී කාට හෝ අජීර්ණයක් හැදුනු විට දන්සැලට ආධාර කළ සියලු දෙනාට උසාවි යන්න වෙනවා වගේ වැඩක්.

      දැන් මේ ගිවිසුමටම ආවොත් ලැබෙන සල්ලි යොදවා අවිස්සාවේල්ල හා රත්නපුර අතර පාර හදනවා. වෙන ඇතැම් ණය ගිවිසුම් වල පවා තිබෙන පරිදි මේ කොන්ත්‍රාත්තුව ඇමරිකන් සමාගමකටම දිය යුතුත් නැහැනේ. අපි හිතමු ඔය කොන්ත්‍රාත්තුව චීන සමාගමකට දුන්නා කියා. අදාළ සමාගමට කියා හරියට වැඩේ කර ගැනීම ලංකාවේ වැඩක්. ඔය වැඩේ කරගෙන යද්දී හදිසි අනතුරකින් පුද්ගලයෙක් මිය යනවා. අනතුර සිදු වන්නේ ගිවිසුමේ කරුණු උල්ලංඝනය කරමින් කළ දෙයකදී හෝ එසේ නොවන දෙයකදී අහම්බයෙන් වෙන්න පුළුවන්. දැන් මේ අනතුරට ලක් වූ පුද්ගලයාට වන්දි ඉල්ලා අදාළ චීන සමාගමට, ලංකාවේ රජයට හෝ ලංකාවේ MCC සමාගමට නඩු පවරන්න පුළුවන්. නමුත්, මේ වගන්තිය නිසා ව්‍යාපෘතියට ආධාර දීම මත පදනම්ව ඇමරිකාවට හෝ ඇමරිකාවේ MCC සමාගමට නඩු පැවරිය නොහැකියි. මෙය ඉතාම සාධාරණ හා ඉතාම සාමාන්‍ය වගන්තියක්. මෙයින් කියන්නේ ඕගොල්ලන්ගේ වැඩේට අපි ඉල්ලන සල්ලි දෙනවා නමුත් සල්ලි අරගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී කවර හෝ වැරැද්දක් හෝ අතපසුවීමක් කරගත්තොත් එහි වගකීමෙන් අපි නිදහස් කියන එකයි.

      Delete
    2. /*..... මම පර්යේෂණයක් කරනවා කොතල හිඹුටු වලින් දියවැඩියාව සුව කිරීම ගැන. වැඩේ දිගටම කරගෙන යන්න මුදල් අවශ්‍ය නිසා ව්‍යාපෘති යෝජනාවක් හදලා ආධාර ලබා දෙන විවිධ අයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙක් ආධාර කරන්න කැමති වෙනවා. ඇමරිකන් ෆෙඩරල් රජයම කියමුකෝ. ඉන් පසු, අදාළ මුදල් යොදවා පර්යේෂණ කර මම ඔසුවක් හදනවා. එය විකුණා මුදල් හොයනවා. ෆෙඩරල් රජය පර්යේෂණ ව්‍යාපෘතියට ආධාර කළත්, එය කරන්නේ සෘජු වාසියක් බලාගෙන නොවන නිසා මේ මුදල් වලින් කොටසක් සෘජුව (බදු වශයෙන් වක්‍ර ලෙස මිස) රජයට යන්නේ නැහැ. */

      මෙම ආධාරවලින් කෙරෙන කටයුතු නිසා ජනනය වෙන බුද්ධිමය දේපල වෙතොත් ඒවා අයිති කාටද?

      Delete
    3. ඔබ අහන්නේ ඉහත උදාහරණය ගැනද MCC ගිවිසුම ගැනද කියන එක පැහැදිලි නැහැ. ඉහත උදාහරණය වැනි එකකදීනම් බුද්ධිමය හිමිකම තිබෙන්නේ අදාළ පර්යේෂකයාට හෝ ආයතනයටයි. MCC ගිවිසුමේ බුද්ධිමය දේපොළ ගැන විශේෂ සඳහනක් නැහැ. මේ ව්‍යාපෘතිය පර්යේෂණ ව්‍යාපෘතියක් නොවන නිසා එවැනි සඳහනක් එතරම් වැදගත් නොවන නිසා වෙන්න ඇති.

      Delete
  14. Excellent...thank you very much for the previous article and this follow up article...

    ReplyDelete
  15. මම අහලා තියෙන හැටියට ඔරුමත්තුනාඩුව ගොඩනගද්දී ආදර්ශයට අරන් තියෙන්නේ රෝම අධිරාජ්‍යය.
    බයිබලයේ පාවුල් තුමාගේ කතාවෙන් රෝම ක්‍රමය ගැන හිතාගන්න පුළුවන්.
    රෝම රටවැසියට නිදහස තියෙනවා. රෝම නොවන්නන්ට සලකන්නේ වහල්ලුන්ට වගේ.

    ReplyDelete
    Replies
    1. අයිශේ Jagath Pathirana ඔහේ මේ ආදි කාලේ කැලේ ගහක් යට හරි ගල් ගුහාවක හරි ජිවත් උනාට අපි නං මේ දැන් ඉන්නේ විසි එක් වන සියවසේ.

      Delete
  16. Best post in this time of political mud slinging and fake news.
    Thank you

    ReplyDelete
  17. ඉතා වැදගත් කරුණු, අදහස් රැසක් දැනගත්තා. මේ ලිපියත් වැඩි-වැඩියෙන් බෙදා හරිනු ලැබෙතැයි සිතමි; පතමි!

    ReplyDelete
  18. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔය ගිවිසුම ගැන විනිෂ්චයක් දෙන්න යන්නේ නෑ. හැබැයි මට තවමත් ඔ්ක ගැන සැක සංකා දුරුවෙලත් නෑ. අනිත් අතට රනිල්ගේ හැංගිමුත්තං සෙල්ලම් වලටනම් හැම සිංහලයෙක්ම විරුද්ධවිය යුතුයි. ඔ්කගැන ශුවර්නම් රනිල්ට පුළුවන් විය යුතුයි රූපවාහිනී නාලිකාවල පැය කාලක ගුවන්කාලයක් අරගෙන ජාතිය අමතලා මම මේ ගිවිසුමගැන වගකියනවා කියන්න.

    මට වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ ගිවිසුමෙන් ඇමරිකා ඔරුමත්තුනාඩුවට වෙන වාසිය ගැන කල පැහැදිලි කිරීම අනුව.
    හිතුවොත් ලංකාවේ කාන්තා සනීපාරක්ෂක තුවා ජනප්‍රිය වීමනිසාම ලංකාව තුල කාන්තා යටකලිසම් වෙළඳපොලත් වර්ධනය වියයුතුයි. එහෙනම් ලංකාවතුල කාන්තා යට ඇඳුම් අලෙවිකරුවන්ට එකතුවෙලා නැප්කින් බෙදාදිය හැකියි. ඒක රජයෙන් කරනවට වඩා වාසියි.

    ReplyDelete
    Replies
    1. ඇන්ටනි,
      ඔහෙට ඔය ගිවිසුම ගැන විනිෂ්චයක් දෙන්න බෑ, දුන්නත් කවුරුවත් පඩේකට ගනං ගන්නෙත් නෑ.
      අනික ඔහෙගෙ නම Antonella නේද, මේ කාන්තා සනීපාරක්ෂක තුවා ගැනම ලතැවෙන්නේ.

      Delete
    2. ව්‍යායාම උපකරන විකුනන කොම්පැනියකට පුළුවන් බාලිකා විද්‍යාලවලට පිහිනුම්තටාක හදන්න ආදාර කරන්න.
      :)

      Delete
    3. හැමදේටම ආර්ථික විද්‍යාව ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රීයාවක්.
      (නලීන් ද සිල්වා)

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙය කියවන්න සැලැස්වුවාට ස්තුතියි! මෙය ගොඩක් විස්තරාත්මක වාර්තාවක් නිසා එකින් එක කතා කරන එක ටිකක් ලොකු වැඩක්. ඒ නිසා, සාපේක්ෂව කෙටි පිළිතුරක් දෙන්නම්.

      1. යම් අඩුපාඩු පෙනෙන්නට තිබුණත් මෙය සකස් කළ පිරිස වාර්තාව මැනවින් අධ්‍යනයය කර තිබේ. මෙය වෘත්තීය මට්ටමකින් කර ඇති අධ්‍යයනයකි. ඒ නිසා දේශපාලනික අරමුණකින් කරන විවේචන ගොඩට දැමිය නොහැකිය. අධ්‍යයනයෙහි අරමුණ ලංකාවට ඇති අවදානම් හා/හෝ අවාසි ගැන සොයා බැලීම බව පෙනේ. ඒ පදනමින් කරන අධ්‍යයනයකදී කළ යුතු පරිදිම පෙනෙන්නට තිබෙන සියලුම අවදානම් හා/හෝ අවාසි ගැන මෙන්ම අපැහැදිලි/සැක සහිත තැන් ගැනද සොයා බලා ඇත.

      2. හඳුනාගෙන තිබෙන අවාසි බොහොමයක් කිසියම් දෙයක් වුවහොත් සිදු හැකි අවදානම්ය (contingent risks). ඕනෑම දෙයක එවැනි අවදානම් තිබේ.

      3. ඇතැම් කරුණු ලංකාව විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවේ ඇති දේවල් මිස ගිවිසුමට අලුතෙන් දැමූ දේවල් නොවේ. ඒවා ප්‍රශ්නනම් ඒ ගැන සොයා බැලිය යුතුව තිබුනේ ආධාර ඉල්ලා ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමට පෙරය. දැන් හෝ සොයා බැලීමේද වරදක් නැත.

      4. මෙය ප්‍රදානයකි. ප්‍රදානයකදී එය ලබා දෙන ආකාරය ගැන සාමාන්‍යයෙන් තීරණය කරන්නේ ආධාරය ලබා දෙන පාර්ශ්වයයි. ගනුදෙනුවකදීනම් දෙපාර්ශ්වයට හෙට්ටු කළ හැකිය. මෙහි ඇති බොහෝ දේ ගිවිසුමට ඇතුළත් කර තිබෙන්නේ ඇමරිකාවේ 2003 සහශ්‍ර අභියෝගිතා පණත අනුව මේ ආධාර ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මතය. ලංකාවට අමුතුවෙන් වෙනසක් කර නැති අතර ඇමරිකානු නීතියේ ඇති දේවල් ගිවිසුමේ ඇමරිකානු පාර්ශ්වයට වුවද වෙනස් කළ නොහැක. ඒවා ඒ විදිහට තිබෙන්නේ අවශ්‍ය අරමුණ (ආධාර ලබන රටේ ආර්ථික සංවර්ධනය) ඉටු කර ගැනීම සඳහා ඒ කොන්දේසි අවශ්‍ය නිසාය. ආධාර ලබා ගන්නවානම් මේ කොන්දේසි වලට එකඟ වන්නම සිදු වේ. ඒවා අසාධාරණ කොන්දේසි නොවේ. කොන්දේසි නිසා සීමා වෙන්නේ මුදල් අරගෙන පිස්සු කෙලීමට තිබෙන හැකියාවයි.

      5. ඇතැම් "අවාසි"මෙවැනි ඕනෑම ගිවිසුමකට අදාළය.

      6. අවාසි/ අවදානම් ලෙස හඳුනාගෙන ඇති බොහෝ දේ බොරු නොවූවත් ලැබෙන වාසියට සාපේක්ෂව ඒවා ලොකු අවාසි/ අවදානම් නොවේ.

      7. මෙහි අවාසි/ අවදානම් හඳුනා ගැනීමට මහන්සි වන තරමට වාසි හඳුනා ගැනීමට මහන්සි වී නැත. වාසි අවාසි ගැලපීමක්ද කර නැත. අවසන් නිගමනය ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රමාණවත් තරම් හේතු දක්වමින් නොවේ.

      8. කෙසේ වුවත්, මෙය ගිවිසුම ගැන දැන ගැනීමට කැමති අය විසින් කියවිය යුතු ලියවිල්ලකි. සියලු කරුණු ගැන විස්තර කිරීම අසීරු නිසා වැඩිපුර අදහස් දැක්වීමට අවශ්‍ය කරුණු තිබේනම් එය කළ හැකිය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.