විජේතුංගට පෙර සිටි ජයවර්ධන හා ප්‍රේමදාස ජනාධිපතිවරුන් දෙන්නාම හැඳින්විය හැක්කේ දැඩි පාලකයින් ලෙසයි. ජයවර්ධන යුගයේ මාධ්‍ය නිදහස ගැන දැන් පණහ පැනලා සිටින, එවකට තරුණ හෝ මැදි වියේ සිටි පරම්පරාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. නමුත්, දැන් තරුණ වියේ සිටින අයට ඒ ගැන හිතා ගන්න අසීරු වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නොතිබුණු, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිතව නොතිබුණු, මුද්‍රිත මාධ්‍ය සියල්ලම වාගේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ තිබුණු ඒ යුගයේ මේ දැඩි පාලනය පවත්වා ගෙන ගිය එක් ප්‍රධාන ක්‍රමයක් වුනේ මාධ්‍ය හරහා ආණ්ඩුවට අවශ්‍ය මතවාද දිගින් දිගටම පොම්ප කිරීමයි.
ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ මතයෙන් වෙනස් දේශපාලන අදහස් හා ආණ්ඩුවට ප්‍රචාරය කිරීමට අවශ්‍ය නොවූ පුවත් ඉදිරිපත් කළේ ලොකු පිටපත් ගණනක් නොවිකුණුනු, දේශපාලන පක්ෂයක පුවත්පතක් වූ ඇත්ත පුවත්පත වැනි සීමිත මාධ්‍ය කිහිපයක් විසින් පමණයි. එක පැත්තකින් රජයෙන් පත් කළ බලධාරියෙකු හරහා සෘජුවම අදහස් හා පුවත් වාරණය කෙරුණා. අනෙක් අතින්, තෝරාගත් පුද්ගලයින්ට බලපෑම් හෝ බිය වැද්දීම් කිරීම මගින් ඔවුන් හා තවත් අය නිහඬ කරනු ලැබුවා. මෙයට සමාන්තරව බොහෝ දෙනෙක් තමන්ටම ස්වයං වාරණයක් පනවා ගත් නිසා ආණ්ඩුවේ කාර්යය එතරම් අපහසු වුනේ නැහැ.
නිසි බලධාරියා හරහා හෝ අනෙකුත් බලපෑම් හරහා නාන තොටේ හෝ මත්පැන් සාදයක සිදුවන කතාබහ නියාමනය කරන්න බැහැ. නමුත්, මිනිසුන් විසින් ස්වයං වාරණයක් පනවා ගත් විට ගෙවල් වල බිත්ති හතර ඇතුළේ සිදුවන කතාබහ පවා නවතිනවා. නරකම තත්ත්වය එයයි. ජයවර්ධන ආණ්ඩුවේ අවසන් කාලය වෙද්දී මුලින්ම රාවය සඟරාව නිසා නිහඬ බව තරමක් දුරට බිඳුණා. පසුව රාවය සඟරාව විකල්ප පුවත්පතක් වුනා. යුක්තිය වැනි තවත් විකල්ප පුවත්පත් ආවා. කතා කරන්න තිබෙන බය පොඩ්ඩක් අඩු වුනා. හැබැයි පොඩ්ඩක් විතරයි!
ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූ විට ප්‍රේමදාස පාලනය කවර අයුරකින් හෝ ජයවර්ධන පාලනයට වඩා හොඳ පාලනයක් වුනේ නැහැ. ප්‍රේමදාසව ඝාතනය වීම බොහෝ දෙනෙකුට දැනුනේ පපුව මත තබා තිබුණු ලොකු කළු ගලක් ඉවත් වුනා වගෙයි. මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි. කොහොම වුනත්, මේ කාලය වෙද්දී ආණ්ඩු විරෝධය ජේආර්ගේ කාලයේ මෙන් යටපත්ව තිබුණු එකක් නෙමෙයි. විකල්ප පුවත්පත් වැඩිම ගණනක් පළ වුනේත්, ඒවාට වැඩිම ඉල්ලුමක් තියෙන්න ඇත්තේත් මේ කාලයේ වෙන්න ඇති. විමල්, ඩලස් හා විනී වගේ අයට එකතු වී මහජන ආධාර එකතු කර විකල්ප පත්තරයක් පටන් ගන්න පුළුවන් වුනෙත් ඒ වෙද්දී විකල්ප මතවාද වලට විශාල වෙළඳපොළක් තිබුණු නිසයි.
ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධුරයට පත් වුණේ රණසිංහ ප්‍රේමදාසගේ අනපේක්ෂිත මරණය නිසයි. ඔහු එම ධුරය දැරුවේ වසර එකහමාරක පමණ සාපේක්ෂව කෙටි කාලයක් පමණයි. ඒ කාලය සාපේක්ෂව සාමකාමී, මිනිස්සු බයෙන් ජීවත් නොවූ කාලයක් බව කවුරුත් වාගේ එකඟ වෙන දෙයක්. එහෙම වෙන්න ජනාධිපති විජේතුංගගේ චරිත ලක්ෂණ යම් තරමකින් හේතු වෙන්න ඇති. නමුත්, ප්‍රධාන හේතුව එය කියා මා හිතන්නේ නැහැ.
ප්‍රේමදාස ඝාතනයට පෙරම ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර කණ්ඩායම විසින් එජාපය දෙකට කඩලයි තිබුණේ. ඔවුන් පිහිටවූ පක්ෂය ආණ්ඩු විරෝධී වූ, එහෙත් සමාජවාදීන් නොවූ, නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස් වේගයෙන් ආකර්ෂණය කර ගනිමින් සිටියා. අනෙක් පැත්තෙන් චන්ද්‍රිකාගමනය නිසා විශාල කාලයක් අකර්මන්‍යව තිබුණු ශ්‍රීලනිපය නැවත පණ ලබා තිබුණා.
ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර තිදෙනාම ඝාතනය වී ඔවුන් පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අකර්මන්‍ය වී ගියත් එම පක්ෂය තවමත් නමට හෝ තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ආසන ගණනාවක තෙවැනි තැනට ආ ආරියවංශ දිසානායක තරඟ කළේ එම පක්ෂයෙන්. මුල් කාලයේදී එම පක්ෂය වැරදිලා වැටෙන ඡන්ද ලබාගත් පක්ෂයක් නෙමෙයි. තෙවන පක්ෂයක් ලෙස ටික කලක් වේගයෙන් ඉදිරියට ආ පක්ෂයක්.
ඩීබී විජේතුංග විසින් ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට එක පැත්තකින් ප්‍රඑජාපෙ විසින් එජාප නාගරික ඡන්ද පදනම කඩා ගනිමින් වර්ධනය වෙමින් සිටියා. අනෙක් පැත්තෙන් කලක් ශ්‍රීලනිපයෙන් මෙන්ම රටින්ද බැහැරව සිටි චන්ද්‍රිකා කුමාරතුංග නැවත ලංකාවට පැමිණ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව, වාමාංශික පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ ශක්තිමත් ලෙස සංවිධානය වෙමින් සිටියා.
ප්‍රේමදාස ඝාතනයෙන් හා ඩීබී විජේතුංග ජනාධිපති සේ පත් වීමෙන් තෙසතියක් යන්නත් පෙර පැවැත්වුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් පළමු වරට එජාපයේ පරිහානිය පැහැදිලිව පෙන්නුම් කළා. තරඟ කළ දිස්ත්‍රික්ක සියල්ලේම මුල් තැනට ආවේ එජාපය වුවත්, බස්නාහිර, දකුණු හා වයඹ පළාත් සභා වල බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී වරුන් ගණන එජාපය සතු වූයේ නැහැ. පුටුව ලකුණින් තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණ හා රාජාලියා ලකුණින් තරඟ කළ ප්‍රඑජාපෙ මන්ත්‍රී ධුර වල එකතුව එජාපයේ මන්ත්‍රී ධුර ගණන ඉක්මවූවා.
බස්නාහිර පළාතේදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනා. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර කොළඹදී 17-17-10 ලෙසත්, ගම්පහදී 16-15- 4 ලෙසත් කළුතරදී 10-9-3 (හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීධුරයක්) ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගියා. බෝනස් ආසන දෙක හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ධුරයද සමඟ සමස්තයක් ලෙස එජාප මන්ත්‍රීවරුන් ගණන 46ක් පමණක් වෙද්දී, එජාප විරෝධී කණ්ඩායම සතුව මන්ත්‍රී ධුර 58ක් තිබුණු නිසා චන්ද්‍රිකා කුමාරතුංගට බස්නාහිර පළාතේ මහ ඇමති වීමට හැකි වුනා. පළාත් සභා පිහිටුවීමෙන් පසුව, විපක්ෂය විසින් එජාපයට එරෙහිව මෙවැනි ජයග්‍රහනයක් ලබා ගත්තේ මුල් වරටයි.
දකුණු හා වයඹ පළාත් වලත් විපක්ෂය සතුව වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් තිබුණත්, එජාපය හා එජාප විරෝධී කණ්ඩායම් දෙක අතර බස්නාහිර පළාතේ මෙන් ලොකු පරතරයක් තිබුණේ නැහැ. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර දකුණු පළාතේදී 27-22-6 ලෙසත්, වයඹ පළාතේදී 25-18- 9 ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගොස් තිබුණා. කෙසේ වුවත්, බස්නාහිරදී මෙන් මේ පළාත් දෙකේදී මහ ඇමති ධුරය අත් හරින්න එජාපය සූදානම් වුනේ නැහැ. වයඹ ආණ්ඩුකාර මොන්ටේගු ජයවික්‍රම විසින් ප්‍රඑජාපෙ ජී එම් ප්‍රේමචන්ද්‍ර වෙනුවට එජාපෙ ගාමිණී ජයවික්‍රම පෙරේරාවත්, දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් විසින් පොඑපෙ අමරසිරි දොඩම්ගොඩ වෙනුවට එජාපයේ එම් එස් අමරසිරිවත් මේ දෙපළාතේ මහ ඇමතිවරුන් සේ පත් කළා.
එජාප විරෝධී කණ්ඩායමට ප්‍රශ්නය විසඳා ගැනීමට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනා. අධිකරණයේ තීරණය අනුව 1993 ඔක්තෝබර් සිට ජී එම් ප්‍රේමචන්ද්‍රට වයඹ මහ ඇමති ධුරයත්, අමරසිරි දොඩම්ගොඩට දකුණු මහ ඇමති ධුරයත් හිමි වුනා. මෙය එජාපය ලැබූ විශාල පරාජයක්.
කොහොම වුනත් එජාපය පහසුවෙන් බලය අත හරින්න සූදානම් වුනේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය වුනේ යාන්තම් එක් වැඩි ඡන්දයකින් පවත්වාගෙන ගිය දකුණු පළාත් සභාවයි. 1993 දෙසැම්බර් මාසයේදී පළාත් අයවැය ඡන්ද විමසීම් පැවැත්වෙන දින හම්බන්තොට පොඑපෙ මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු පැමිණ සිටියේ නැහැ. එජාපය විසින් ඔහුව ඔහුගේ කැමැත්තෙන් හෝ අකැමැත්තකින් තොරව සඟවා තබා ගෙන සිටීම නිසා දකුණු පළාත් සභාවේ අයවැය යෝජනා සම්මත කර ගැනීමට නොහැකි වී පළාත් සභාව විසුරුවා හරින්න සිදු වුනා.
එහෙත්, 1994 මාර්තු මාසයේ පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණය එජාපයට පාරාවළල්ලක් වුනා. එවර බලපිටිය හැර දකුණු පළාත් සභාවේ සියලුම ආසන ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණයි. පළාත් සභාවේ මන්ත්‍රීධුර 32ක්ම පොඑපෙට හිමි වූ අතර, එජාපයට ලැබුණේ මන්ත්‍රීධුර 23ක් පමණයි. ඉන් පසුව, 1994 අගෝස්තුවේදී පැවති මහ මැතිවරණයෙන් එජාපය පරාජය කර පොඑපෙ ජයග්‍රහණය කිරීම සඳහා පාර කැපුණේ මේ දකුණු පළාත් සභා මැතිවරණයෙනුයි.
මහ මැතිවරණයෙන් පසුව 1994 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලද ජය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණයයි. එවර මහියංගනය හැර දිවයිනේ සියලුම මැතිවරණ ආසන වල ඉදිරියෙන් සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගයි. මේ එක්කම ඩීබී විජේතුංගගේ වසර එක හමාරක ධුර කාලයත් අවසන් වුනා.
ජනාධිපතිවරයෙකු ලෙස ඩීබී විජේතුංගගේ භූමිකාව ගැන විග්‍රහ කරද්දී අදාළ වසර එකහමාරක කාලය තුළ රටේ දේශපාලන බලතුලනය වෙනස් වෙමින් පැවති ආකාරය අමතක කර ඒ ගැන කතා කරන්න අමාරුයි. විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන්නේම රටේ මිනිස්සුන්ගේ අමන්දානන්දයට හේතු වූ, ඔවුන් රතිඤ්ඤා පත්තු කර කිරිබත් උයා කා සතුටු වූ මරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ එක්කම පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලින් රැල්ල අනිත් පැත්තට කැරකෙන බව පැහැදිලි වෙනවා. විජේතුංගගේ වසර එකහමාර ඇතුළත දාහත් වසරක් එජාපය සතු වූ දේශපාලන බලය ක්‍රමයෙන් ගිලිහී යනවා. එජාපය මැතිවරණ පරදිනවා. අධිකරණය එජාපයට අවාසිදායක තීන්දු දෙනවා. මේ දේවල් වෙන්නේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි නිසා කියා කියන්න බැහැ. තරමක් උත්ප්‍රාසජනක ප්‍රකාශයක් වුවත්, එජාපය වැටෙන කාලයේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි බව කීමේ වැරැද්දක් නැහැ.
රටේ පවතින දේශපාලන බලතුලනය අනුව විධායක ජනාධිපතිවරයෙකුට වුවත් කළ හැකි දේ සීමා වෙනවා. එය අමතක කර කිසියම් පුද්ගලයෙකු මෘදු පාලකයෙකු හෝ පඹයෙකු සේ හැඳින්විය නොහැකියි. ඩීබී විජේතුංග කියා කියන්නේ ඇතැම් ප්‍රතිපත්ති කරුණු අරභයා දැඩි ස්ථාවරයක සිටි පුද්ගලයෙක්. උතුරේ ප්‍රශ්නය තනිකරම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් බවත්, ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ යුදමය විසඳුමක් බවත් සෘජුව හා දිගින් දිගටම පැවසූ එකම ජනාධිපතිවරයා ඩීබී විජේතුංගයි. මහින්ද රාජපක්ෂ පවා ආරම්භයේදී මෙවැනි ස්ථාවරයක සිටියේ නැහැ. ඒ වගේම, රාජපක්ෂ කාලයේදී මෙන් මේ ස්ථාවරය ඒ කාලයේදී රටේ ජනප්‍රිය ස්ථාවරය වුනේත් නැහැ. රටේ බොහෝ දෙනෙක් විශ්වාසය තැබුවේ සාම සාකච්ඡා පිළිබඳවයි. චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි. චන්ද්‍රිකා රජයේ බලය බෙදීමේ වෑයම අසාර්ථක වූයේ රනිල් ප්‍රධාන එජාපය දැඩි සේ විරුද්ධ වූ නිසයි. (මෙය ඉතිහාසය ගැන කරුණු ඉදිරිපත් කිරීමක් මිස ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ ලේඛකයාගේ එදා හෝ අද මතය ගැන අදහස් දැක්වීමක් නෙමෙයි.)
යහපාලන ආණ්ඩුවේ සාපේක්ෂ මෘදු පාලනයට හේතු වුනේත් පුද්ගල සාධක වලට වඩා රටේ පැවති දේශපාලන බල තුලනයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ පත් වුනේ තනතුරේ බලය මිස රටේ දේශපාලන බලයක් රහිතවයි. දේශපාලන බලය බෙදී ගොස් තිබුනේ රනිල් හා මහින්ද අතරයි. රට තුළ දේශපාලන බලයක් නැත්නම් විධායක ජනාධිපතිවරයෙකුට වුවත් රිසි දේ කළ නොහැකියි. ශ්‍රීලනිප සභාපති ධුරය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මුල සිටම උත්සාහ කළේ තමන්ට අහිමි දේශපාලන බලය කෙසේ හෝ ලබා ගන්නයි. එහෙත්, ඔහුට එය කරගත හැකි වූයේ නැහැ. මහින්දගේ ශක්තිය ලැබුණු කෙටි කාලය තුළදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් වෙනස පැහැදිලි විය යුතුයි.
පාලනය දැඩි හෝ මෘදු වෙන්නේ ව්‍යවස්ථාව හරහා රටේ ප්‍රධාන තනතුරු වෙත බලය නාභිගත කර තිබීම හෝ පුද්ගල සාධක මත පමණක් නෙමෙයි. එය වැඩිපුරම තීරණය වෙන්නේ රටේ පවතින දේශපාලන බලතුලනය මතයි.
ඉතිහාසය මතක් කිරීම හොඳයි. විජේතුංග ඔය කියන තරම් බලතල පාවිච්චි නොකළ කෙනෙක් නොවෙයි. නමුත් ඔහු කළ බලතල අවභාවිතාවන් ජනගත වී මනසේ ස්ථාවර වීමට තරම් කාලයක් ඔහුට ලැබුණේ නෑ. එසේම ප්‍රතිවාදී කණ්ඩායම් වලට ඊට වඩා පහසු ඉලක්ක තිබියදී ඔහු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් ද තිබුණේ නෑ. විශේෂයෙන් විපක්‍ෂය "17 වසරක ශාපය" ගැන කතා කළ පසුබිමක ඔහු එහිම කොටසක් මිස ඉන් වෙන් කරගෙන චෝදනා නැගීම පලක් නෑ.
ReplyDeleteමා ඔහුගෙන් දකින වැදගත්ම ලක්‍ෂණය දෙමළ ත්‍රස්තවාදය ගැන ඔහු තුල තිබූ නිවැරදි තක්සේරුව සහ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තිබූ හැකියාවයි. ගාමිණී දිසානායක වෙනුවට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විණි නම් අපගේ නිසැක සහය ලැබෙන්නේ ඔහුටයි. මා 1994 දී ත් චන්ද්‍රිකා කුමාරතුංග (එවකට ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බවට පත් වී සිටියේ නෑ) හැඳින්වීමට භාවිතා කළ වචනය දේශපාලන වෛශ්‍යාව යන්නයි. මා ඒ වචනය යොදා ගත්තේ තම දෙමාපියන්ගෙන් ලැබුණු උරුමය වාසි තකා පිටස්තරයන්ට පරිහරණයට දෙන තැනැත්තිය යන අරුතින්. ඈ රටක් නැති දෙමළුන්ට මගේ රටින් කොටසක් දීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇති බව මා එදත් විශ්වාස කළා. මා නිවැරදි බව ඇය ඔප්පු කළා.
"චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි." යන්නේ සාමයට කැප වී සිටි යන කොටසට අප එකඟ නෑ. ඈ මතවාදීමය වශයෙන් සිංහල විරෝධී තැනැත්තියක්. විජේ සමග ඈ දෙමළ රටේ ගුබ්බෑයම් වල රිංගමින් දෙමළ ත්‍රස්තවාදීන් සමග මේ රටේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කළා. විජේගේ මරණයෙන් පසු එංගලන්තයට ගොස් සිටි ඈ මෙහි ගෙනාවේ ඊළඟට කොහොමත් දිනන තත්වයක තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක සිංහල බලය දුර්වල කිරීමේ අරමුණින් සිංහල විරොධීන් විසින්. මේ තත්වය විස්තර කිරීම පිණිස, තරමක් උත්ප්‍රාසජනක ප්‍රකාශයක් වුවත්, ශ්‍රී.ලං.නි.පය දිනන කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග නැවත මෙහි පැමිණ සිටි බව කීමේ වැරැද්දක් නැහැ. චන්ද්‍රිකා වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් වුවත් ජනාධිපතිවරණය දිනන බව සත්‍යයක් වුවත්, ඒ ජය එජාපය මහියංගනයට සීමා කර දෙමළ ජාතිවාදීන්ගේ දේශපාලන ජය භූමි ජය කෙහෙළි නැංවීමට සමත් වූ චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට සම කිරීමට උත්සාහ දරයි නම් එහි ඇත්තේ හුදු අතිශයෝක්තියක්.
කෙසේ වුවත් චන්ද්‍රිකා සාමයට කැප වී සිටි තැනැත්තියක් නොවෙයි. ඈ දෙමළුන්ට සාමය සාමය කීවත් ප්‍රභාකරන්ට මහත්තයා / ස' කීවත් දේශපාලන විරුද්ධවාදීන්ට අමතන / සළකන ආකාරය දැක ඇති අපට ඇගේ සාමයට ඇති කැප වීම විහිළුවක්.
කතා කතෘ,
Deleteඔබ සමග බොහෝ දුරට එකඟයි. නමුත් 1994 අපේ සහය පොදුජන එක්සත් පෙරමුණට ලබා දුන්නේ තිබ්බ එකම විකල්පය නිසා.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දිනුවේ යන කෝච්චියට ගොඩ වීම නිසා. එතකොට එක්සත් ජාතික පක්ෂය කුජීත වෙලා නායකයින් මැරිලා කෑලි වලට කැඩී නාය ගිහින් තිබුණා. අනෙක 1994 ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වුනේ කිසිම වැඩක් නැති ශ්‍රීමා දිසානායක...
හැබැයි ඉතින් අනික් අතට විකල්ප කණ්ඩායම් වලට 225න් පිට අලුත් ම අලුත් අමුතු විදියේ නායකත්වයක් මාකටින් කරගත්තොත් විශාල වශයෙන් ඡන්ද ලබා ගැනීමට හැකි බව පෙනුනා. මේ මාකටින් කැම්පේන් එක රාවය ඩලස් ඇතුලු පිරිස ජවිපෙ සහ වෙනත් වාමාංශික ව්‍යාපාර එකතු වෙලා කරා. චන්ද්‍රිකා කියල කියන්නේ මෙලෝ හසරක් නැති කමකට නැති පුස් චරිතයක් නමුත් චන්ද්‍රිකා බලයට ආවේ ඒ ඊට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස පජාත විදියට දුර්වලකම් වලින් පිරිලා ඉතිරිලා හිටපු නිසා.
ඒ කාලේ හොඳ නායකත්වයක් පෙන්නූවේ සුළු පක්ෂයක හිටපු හරිස්චන්ද්‍ර විජේතුංග සහ පොදුජන එක්සත් පෙරමුණේ නම් අනුරුද්ධ රත්වත්තේ වගේ ටික දෙනෙක්. මහින්ද රාජපක්ෂත් වාමාංශික මතවාද වලට සිරව හිටියා. මම හිතන්නෙ මහින්ද වෙනස් කරල යුදකාමී කලේ ගෝඨාභය සහ හෙළ උරුමය ඇතුලු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු කියලා. ඔබට ඒ ගැන හිතෙන්නෙ කොහොමද?
1994 දී හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ භූමිකාව ගැන හරි මතකයක් නෑ. මහින්ද නම් පැහැදිළි වාමාංශික නැඹුරුවක් පෙන්නුවා. ඒ වාමාංශික නැඹුරුව තිබුණත් ඔහු සිරිමාවෝ මැතිණිය යටතේ ගොඩ නැගුණු නිදහස් පක්‍ෂ ප්‍රතිපත්ති (දේශීය වශයෙන් ජාතිකවාදී හා විදේශ වශයෙන් නොබැඳි) සමග බද්ධ වුණු පුද්ගලයෙක් ලෙසයි මා දුටුවේ. පැහැදිළිවම 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ මා පෞද්ගලිකව ඉතාම ප්‍රිය කළ අමාත්‍යවරයා මහින්ද වුණත් මා සහය පල කළේ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණට. යම් හෙයකින් දෙමළ ජාතිවාදී චන්ද්‍රිකා ආගමනය සිදු නොවී නම් මහජන එක්සත් පෙරමුණ නිදහස් පක්‍ෂය හා සංධානගත වීම 1994 දී ම සිදු විය හැකිව තිබුණා.
Deleteඑසේ වී නම් 1994 අගමැති වන්නේ සිරිමාවෝ. ජනාධිපතිවරණයෙන් පසු අගමැති ධුරය අනුරට හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබුණා. නමුත් ඒ මහින්ද සේ ම, පසුගිය දා දිවංගත වූ ජයරත්න සහ වසර කීපයකට පෙර දිවංගත වූ වික්‍රමනායක ඇතුළු බොහෝ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සිටියදී. එවැනි සමාන්තර විශ්වයක පිහිටි ශ්‍රී ලංකාවක් ගැන කතාවක් ගෙතිමත් යම් ආශ්වාදයක් ගෙන දෙන කටයුත්තක්.
ඉංදු-ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ පස් කෑ, පළමු පළාත් සභා මැතිවරණය වර්ජනය කළ මැතිණියගේ ආණ්ඩුවක් යටතේ දෙමළ ජාතිවාදී කුමාරතුංග අවතාරය වන චන්ද්‍රිකා සහ ඇගේ සහචරයන්ට බලයක් නොමැති තත්වයක් යටතේ, මීට වඩා බොහෝ වෙනස් ලංකාවක් බිහි වීමට ඉඩ තිබුණා. මා විශ්වාස කරන්නේ එසේ වී නම් එක්සත් ජාතික පක්‍ෂය දැන් පවත්නා දුර්වල තත්වයට පත් නොවනු ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතිවාදයට යට වීම සහ ඔහුගේ ක්‍රිස්තියානිකරණ ව්‍යාපාරය හේතු කොටගෙන ඒ පක්‍ෂයෙන් ගිළිහෙන යම් ජාතිකත්වයක් ඇති සිංහල ඡන්ද විසිර යා නොදී එකතු කර ගැනීම හෙළ උරුමය නම් දේශපාලන පක්‍ෂයේ ඓතිහාසික කාර්‍ය භාරයයි. එය 2015 දී අවසන් වුණා. මහින්ද ජාතිකත්වය වෙත ගෙන ඒමට ඔවුන්ගේ විශේෂ බලපෑමක් වුණේ නෑ. නමුත් සිංහල ජනයාගේ හඬ ජනාධිපති මහින්ද වෙත ගෙන යාම නම් ඔවුන්ගෙන්, විශේෂයෙන් මන්ත්‍රී භික්ෂූන්ගෙන්, යම් තරමකට සිදු වුණා.
කොහොමත් ජාතිකවාදී නැඹුරුවක සිටි මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහි පූර්ණ මෙහෙයුමකට ගියේ සිංහල ජාතික ව්‍යාපාර වල තෙරපුම හා සිංහල ජනයා දේශපාලනික වශයෙන් තමා සමග සිටින බවට ඔහුටම ඒත්තු යාම නිසා බව අපගේ අදහසයි.
'මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි.'
ReplyDeleteරෝහණ විජේවීර මියගිය පුවත ඇසු විට මිනිසුන් රතිඤ්ඤා පත්තු කළා මට මතකයි. ඒ ප්‍රේමදාස ජනාධිපති මියයාමට වසර 4 කට පමණ පෙරයි.
කිරිබත් කෑ දින දෙකක්: https://katha32.blogspot.com/2015/05/may-18.html
Delete@ Ano 9.48
ReplyDeleteඔය අප්‍රියජනක භීෂණකාරී පුද්ගගලයෙක් මළාම කිරිබත් හදන එක සහ පස්සේ රතිඤ්ඤා පත්තු කරලා චූන් එකක් දාන එක වගේ දේවල් ඊට ගොඩක් ඉස්සර ඉඳන්ම ලංකාවේ තියෙන තවත් පිස්සු පුරුද්දක්. ඕක 1970 ගණන් වල විතරක් නෙමෙයි ඊටත් ඉස්සර ඉදන්ම තියෙනවා. හැබැයි ඉතින් ප්‍රාදේශීය වශයෙන්.
උදාහරණයක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉස්සර හිටපු (1979/80 වගේ මතකයි) හරක් හොරකම් කරපු දරුණු මිනීමරු පුද්ගලයෙක් මළාම අවට ගම් කීපයක මීනිස්සු කිරිබත සමඟ රතිඤ්ඤා වලින් සැමරුම් කලා කියලා මතක් උනා. හැබැයි ඉතින් මූලික වශයෙන් මුලු රටම එකතු වෙලා එකට සැමරුම් කලේ නම් විජේවීර මරණය (එජාපයේ පාක්ෂිකයන් සහ ජවිපෙ විරෝධීන්) සහ ප්‍රේමදාස මරණය (එජාප විරෝධීන්) කියලා කියන්න පුළුවන් නේද?