වෙබ් ලිපිනය:

Sunday, March 1, 2020

ප්‍රතිපරිසිද්ධික තත්ත්වය හා පිරියම් ඵලය


ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන එක කලින් ලිපියෙන් පැහැදිලි කළානේ. ඒ නිසා, අද අපි තවත් අළුත් යෙදුමක් ගැන කතා කරමු. පිරියම් ඵලය හෙවත් ප්‍රතිකාරයක බලපෑම (Treatment Effect). හැම විටම නොවූවත්, බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වල ඉලක්කය පිරියම් ඵලයයි. මෙහි පිරියම එහෙමත් නැත්නම් ප්‍රතිකාරය කියන වචනය වෛද්‍ය ශබ්දකෝෂයෙන් ගත් වචනයක් වුවත්, මේ වන විට විවිධ ආකාරයන්හි ප්‍රතිකාර හා අදාළව පොදුවේ යෙදෙන වචනයක්. පිරියම් ඵලය සෙවීම කියන එකෙන් අදහස් වෙන්නේ කවර හෝ ප්‍රතිකාරයක් හේතුවෙන් කිසියම් නීරීක්ෂණය කළ හැකි තත්ත්වයක් වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමයි.

මුලින්ම වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනම සලකමු. මෙට්ෆොර්මින් නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය වෙනවාද? දැන් මෙහිදී ප්‍රතිකාරය වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට නිශ්චිත මෙට්ෆොර්මින් මාත්‍රාවක් (අපි හිතමු මිලිග්‍රෑම් 500ක් කියා) ලබා දීමයි. එම ප්‍රතිකාරයේ බලපෑම එහෙමත් නැත්නම් පිරියම් ඵලය අපට මැන ගන්න හැකි වන්නේ අදාළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂවයි. තනි පුද්ගලයෙක් හා අදාළව ගත්තොත්, මෙහිදී අවම වශයෙන් නිරීක්ෂණ තුනක් අවශ්‍ය වෙනවා.

1. පූර්ව ප්‍රතිකාර තත්ත්වය
2. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය
3. පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය

පූර්ව ප්‍රතිකාර තත්ත්වය - ප්‍රතිකාරය ලබා දීමට පෙර නිශ්චිත මොහොතකදී (අපි හිතමු 2020 මාර්තු 1 උදේ 8ට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය - උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය  - උදේ අටට මෙට්ෆොර්මින් අඩංගු නැති, එහෙත් එසේ පෙනෙන ව්‍යාජ පෙත්තක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

දැන් මෙහිදී අපට දැනගන්නට අවශ්‍ය වෙන්නේ උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව ඒ හේතුව නිසා රුධිරයේ සීනි මට්ටම කෙතරම් වෙනස් වුනාද කියන එකයි.

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා මෙය හොයා ගන්න බැරිද?

සරලව අපි මෙහෙම කියමු. උදේ අටට රුධිරයේ සීනි පරීක්ෂා කිරීමෙන් පසුව මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දෙනවා. ඉන් පසු, හවස දෙකට නැවත රුධිරයේ සීනි පරීක්ෂා කරනවා. සීනි අඩු වෙලා. එහෙමනම් සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසා නෙමෙයිද?

එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. පැය හය ඇතුළත සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා කවුද දන්නේ?

මේක හරියටම දැනගන්නනම් අපට පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය ගැනත් දැනුමක් තිබිය යුතුයි. මෙය පරීක්ෂා කිරීම සඳහා අපිට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් විදිහටම සකස් කළ එහෙත් කිසිම සක්‍රිය රසායනිකයක් අඩංගු නැති බොරු පෙත්තක් ලබා දී පැය හයකට පසුව සීනි ප්‍රමාණය මනින්න පුළුවන්. මුල් අවස්ථාවේදී සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසානම්, මේ දෙවන අවස්ථාවේදී සීනි අඩු නොවිය යුතුයි. දෙවන අවස්ථාවේදීත් සීනි අඩු වෙලානම් සීනි අඩු වීමට හේතුව මෙට්ෆොර්මින් වෙන්න බැහැ. ඒ අනුව, අපට පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න බැරි වුනත් පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන්.

ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි මේ කතාවේ අවුලක් තිබෙන බව. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන් තමයි. නමුත්, ඒ සෛද්ධාන්තිකව. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න බැහැ. එකම කාලාන්තරය තුළ එකම පුද්ගලයාට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් දෙන එකත්, ඒ වෙනුවට ඒ විදිහටම හදපු බොරු පෙත්තක් දෙන එකත් යන දෙකම කරන්න බැහැ. කළ හැක්කේ ඔය දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු යොදාගෙන අපට පර්යේෂණාත්මකව හොයා ගන්න පුළුවන් වෙන්නේ පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හෝ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, ඔය දෙකේ වෙනස වන පිරියම් ඵලය තනි පුද්ගලයෙකු හා අදාළව අපට කවදාවත්ම හරියටම හොයා ගන්න බැහැ.

මෙය වෛද්‍ය ප්‍රතිකාර වලට පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. පැලයකට හොඳින් වර්ධනය වෙන්න ජලය අවශ්‍යද? දැන් මෙහි ප්‍රතිකාරය වන්නේ පැලයට දිනපතා වතුර දැමීමයි. වතුර නිසා පැලයේ වර්ධනයට සිදු වන බලපෑම පිරියම් ඵලයයි. එය මනින්න වෙන්නේ වතුර සහිතව පැලයේ වර්ධනයේත්, වතුර රහිතව එම පැලයේම වර්ධනයේත් වෙනස ලෙසයි. නමුත්, අපට මේ දෙකම එකවර නිරීක්ෂණය කළ නොහැකියි.

සමාජ විද්‍යා පර්යේෂණ ගැටළු බොහොමයක්ද මූලික ආකෘතිය අනුව මීට සමානයි. ලංකාවට 1948දී නිදහස නොලැබී දිගටම ඉංග්‍රීසින් විසින් පාලනය කළානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? ජවිපෙ විසින් 1988/89 කැරැල්ල ජයගෙන ලංකාවේ සමාජවාදය පිහිටෙව්වානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජය නොගෙන සජිත් දිනුවානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද?

මේ සෑම අවස්ථාවකදීම අපට නිරීක්ෂණය කරන්න හැකි වී තිබෙන්නේ පූර්ව ප්‍රතිකාර තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය පමණයි. ඒ දෙකේ වෙනස පිරියම් ඵලය නෙමෙයි. පිරියම් ඵලය හොයා ගත හැක්කේ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වයත් නිරීක්ෂණය කළ හැකිව තිබුණානම් පමණයි.

එහෙමනම් මේ අවුල ලෙහා ගන්නේ කොහොමද? එය අපි වෙන දවසකට ඉතුරු කරමු.

3 comments:

  1. මෙයයි නියමයිනෙ බං අයිට ඕන විදියට දාපං. දකුණේ ගැබ්බ පෙන්නපන්.

    ReplyDelete
  2. "දැන් අපේ බ්ලොග් එක කියවන පාඨකයින් පිරිසත් සීරියස් පාඨකයින් පිරිසක් නිසා සීරියස් මාතෘකා ගැන කතා කරන එක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ"

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: