වෙබ් ලිපිනය:

Friday, June 24, 2022

ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි!


ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 21,696.6ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ ජනගහණය මිලියන 21.59ක්. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට වැටෙන ප්‍රමාණය රුපියල් මිලියනය ඉක්මවනවා. හතර දෙනෙකු සිටින පවුලකටනම් රුපියල් මිලියන හතරක් පමණ.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 අවසානයේදී) ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක් පමණයි. ඒ අනුව, පසුගිය දෙවසරකට මඳක් වැඩි කාලය තුළ රුපියල් ට්‍රිලියන 8.7කින් පමණ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ ඉහළ ගොස් තිබිය යුතු බව අපේ ඇස්තමේන්තුවයි. මෙම සංඛ්‍යාලේඛණ වලට ඇතුළත් වන්නේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වල ණය මීට ඇතුළත් නැහැ. 

මීට පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලාංකිකයන්ගෙන් අවම වශයෙන් 90%ක්ම කරන්නේ තමන් සෘජු ලෙස හෝ වක්‍ර ලෙස රජයට ගෙවන බදු ප්‍රමාණයට වඩා වැඩියෙන් රජයෙන් ප්‍රතිලාභ ලබන එකයි. එසේ නොකරන්නේ ඉහළම ආදායම් ලබන 10%කට නොවැඩි පිරිසක් පමණයි. 

රජයේ වාර්ෂික බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ. මධ්‍යම රජයේ සමුච්ඡිත ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 24කට ආසන්න වී තිබිය යුතුයි. විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් මේ වන විටද පැහැර හැර ඇති අතර ඒ හේතුව නිසා අයවැය හිඟය පියැවීමට අලුතෙන් තවත් විදේශ ණය ගැනීම වසර ගණනාවක් යන තුරු කළ නොහැකි දෙයක්. දේශීය ණය ලබා ගැනීම සඳහා අවම වශයෙන් 20%ක පොලියක් ගෙවිය යුතුව තිබෙනවා. 

කොයි තරම් බදු වැඩි කළත් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.4කට වඩා වැඩි කර ගන්න අමාරුයි. මොන විදිහකින් හෝ ආදායම රුපියල් ට්‍රිලියන 2.4 දක්වා වැඩි කරගත්තත් එම ප්‍රමාණය මධ්‍යම රජයේ ණය වලින් 10%ක් පමණයි. ඒ කියන්නේ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම 10% වුනත්, රජයට ලැබෙන ආදායමෙන් තියෙන ණය වල පොලී ගෙවගෙවා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්න බැහැ. ඔන්න ඕකයි දැන් තියෙන තත්ත්වය.

ඔය විදිහට නොකියා තනි පවුල් ඒකකයකට ආදේශ කළාම කතාව වඩා හොඳින් තේරෙයි. හතර දෙනෙක් ඉන්න පවුලක් මොන විදිහෙන් හෝ තමන්ගේ ආදායමෙන් වියදම් පිරිමහගෙන ජීවත් වන අතරම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කර රජයට ණය ගෙවන්න රුපියල් මිලියන හතරක් එකතු කර දිය යුතුයි. මේ ගොඩක් පවුල් වල මාසික ආදායම රුපියල් පණස් දහස නොඉක්මවන බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ඔය වැඩේ මොන විදිහකින්වත් කළ හැකි වැඩක් නෙමෙයි.

පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!

(Image: https://www.newindianexpress.com/world/2022/mar/16/sri-lanka-battling-grave-economic-crisis-plans-to-look-beyond-beijing-2430794.html)

15 comments:

  1. //පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!//

    තත්වය ඉතාම භයානක යි වගේ. ඔබ කියන විදිහට කඩාවැටීම වැළැක්විය නොහැකිය වගේ නේද? අපිට ඉතුරු වෙලා තියෙන්නේ කඩා වැටෙන්නේ කොහොමද කියලා තීරණය කරන එක විතරද? නැවත 2019 ට යන්න අවම වශයෙන් කොච්චර කාලයක් යයිද?

    ReplyDelete
    Replies
    1. //ඔබ කියන විදිහට කඩාවැටීම වැළැක්විය නොහැකිය වගේ නේද?//

      නිකමට ලිපියේ තිබෙන සංඛ්‍යා එක්ක හිතල බලන්නකෝ. රජයේ ආදායම ණය වල පොලිය ගෙවන්නත් ප්‍රමාණවත් නැති තත්ත්වයක් යටතේ විශාල කඩා වැටීමක් නැතිව ගොඩ යා හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද?

      //අපිට ඉතුරු වෙලා තියෙන්නේ කඩා වැටෙන්නේ කොහොමද කියලා තීරණය කරන එක විතරද?//

      අවාසනාවට පිළිතුර ඔව්. එක්කෝ දිගින් දිගටම සල්ලි අච්චු ගසමින්, ඒ සල්ලි වලින් රජය නඩත්තු කරමින්, උද්ධමනය වැඩි වෙන්න ඉඩ හරිමින් සිම්බාබ්වේ මාර්ගයේ යා හැකියි. පීඩනය දරා ගන්න වෙන්නේ රජයට සෘජු සම්බන්ධයක් නැති මිනිස්සුන්ට. එහෙම නැත්නම් ඉතා ඉක්මණින් රජයේ සේවකයින් විශාල පිරිසක් ගෙදර යවලා ඔවුන්ට වෙනත් මොනවා හෝ ඵලදායී දෙයක් කරන්න පොළඹවන්න වෙනවා. අත්‍යවශ්‍ය නොවන, නාස්තිකාර වියදම් ගැනනම් හිතන්නවත් බැහැ.

      //නැවත 2019 ට යන්න අවම වශයෙන් කොච්චර කාලයක් යයිද?//

      පිළිතුරු නොදී ඉන්නම්!

      (වෙනත් බාහිර පාර්ශ්වයක් ඉදිරිපත් වී බේරා ගත්තොත් පමණක් තත්ත්වයේ වෙනසක් විය හැකියි. එහෙම කවුරුවත් නැති බවත් දැන් පැහැදිලියිනේ)

      Delete
    2. IMF එකට පිළිගත හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළත් යෝජනාවලියක් රජය පැත්තෙන් ඉරිපත් උනොත් තත්ත්වය වෙනස් වෙයි ද?

      Delete
    3. දැන් සාකච්ඡා සිදු වෙනවනේ. ඒ හරහා, ප්‍රායෝගිකව සකස් කළ හැකි හොඳම වැඩ පිළිවෙළ එළියට එයි කියා හිතනවා.

      Delete
  2. මන්ද පෝෂණය වැඩි වෙයි
    මන්ද බුද්ධිකයො වැඩි වෙයි
    රටම අනතුරේ වැටුණත්
    උන් රජ වෙයි- අපි නැති වෙයි!

    ReplyDelete
  3. තමන්ගේ ණය මිලියනය රටට ගෙවන ඕනිම කෙනෙකුට කරදරයක් නැතුව වෙන රටකට යන්න වීසා අරන් දෙනවා කියුවානම් ඕක සුටුස් ගාල විසඳෙනවා.. :))) වැඩේ තියෙන්නේ අනිත් රටවල් වලින් එහෙම ගන්න කැමති වෙන්නේ නැති එකනෙ.. :'(

    ReplyDelete
  4. මේ තරම් බයානක ආර්ථික තත්වයක් තියෙනවිට අපේ රටේ දේශපාලකයන්ගේ බලය ලබා ගන්න/අල්ලාගෙන ඉන්න දැගලිල්ලෙන් පෙනෙනවා මේ පිරිසට කිසිම අදහසක් නැතිබව. පුද්ගලිකව මේවගේ කරුමයකට කරගහන්න කට්ටිය දගලන හැටිදක්කහම හරි පුදුමයි.

    කෙටිකාලීනව රජයේ සේවකයන් ප්‍රමාණය අඩුකිරීමට විසදුමක් ලෙස පුද්ගලික අංශයට රැකියා සදහා යාමට ඉඩදීම ගැන ඔබ හිතන්නේ කොහොමද? අපිට ප්‍රමාණය අඩුකිරීමට අත්‍යවශ්‍ය වුනත් මෙතුලින් යන්තම් හරි වැඩක් කළහැකි skill එකක් තියෙන කිහිපදෙනත් ඉවත්වෙලා තියෙන පොඩි හෝ ගුණාත්මක බාවයත් නැතිවෙලා යයිද?

    ආයතන පිටින්ම privatise කිරීම තමයි මට හිතෙන උත්තරය, එත් කවුද මේ කුණුගොඩවල් ගන්නේ? කුනුකොල්ලෙටම කව්රුහරි ලංකාවේ business කරන කෙනෙක්ම තමයි ගන්නේ. 1980 ගණන් අගවල USSR බිද වැටුනහම වුනෙත් මේවගේ දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. රජය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සීමිත පිරිසක් පමණක් වැඩට එද්දී අනෙක් අයට ගෙදර ඉන්න කියලා ටික කාලයක් ඇද්දානම් අවශ්‍ය අය හා අනවශ්‍ය අය පහසුවෙන්ම වෙන් වෙනවා. ඉන් පසුව දෙවන පියවරකට යා හැකියි. ඒ රජයේ සේවකයෝ පැත්තෙන්. අනෙක් පැත්තෙන් දේශපාලනඥයින්ගේ වරප්‍රසාද ඉවත් කරන්න කියන එක රටේම වගේ ඉල්ලීම. ඒ වැඩේ තවම වෙලා නැහැ වගේම වෙන පාටකුත් පේන්න නැහැ. බංකොලොත් රටක බංකොලොත් රජයක් කියන එක මතක තියාගෙන අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් අවම වියදමකින් කරන මට්ටමට රජය කුඩා නොකර ඉදිරියට යාමක් නැහැ.

      Delete
  5. දැන් ඉකොනොමැට්ට මේ ලන්කාවෙ ප්‍රස්නෙ විසදන්නෙ කොහොමද කියන්න බැරිද? කෙටි, මැද හා දිගුකාලීන ව?

    ReplyDelete
    Replies
    1. ඒක හෘද සැත්කමක් කරන හැටි, එහෙම නැත්නම් මහල් ගොඩනැගිල්ලක් හදන හැටි ලිපියකින් විස්තර කරනවා වගේ වැඩක්. ඒ වගේම ඉකොනොමැට්ටා ළඟ කා ළඟවත් නැති මැජික් විසඳුමක් නැහැ. හැබැයි ඔබ අසන කෙටි, මැද හා දිගුකාලීන විසඳුම් පිළිබඳ අදහසක් තිබෙනවා. මේ වන විට මෙවැනි වැඩ පිළිවෙළ පිළිබඳව අත්දැකීම් තිබෙන IMF නිලධාරීන් හා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි තැන් වල නිලධාරීන් වැඩේට බැහැලා යම් දුරක් ගිහින් නිසා අවම වශයෙන් කෙටි හා මැදිකාලීන වැඩ පිළිවෙලක් ඉතා ඉක්මණින් එළියට එයි කියා හිතනවා. ඒ වැඩේ සිදු වෙමින් තියෙද්දී අප නිකරුණේ කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. IMF වැඩපිළිවෙළ ඉදිරිපත් වූ පසු ඒ ගැන කතා කරමු. එවැනි වැඩ පිළිවෙලක් තුළ රජය කුඩාවීම හා මැදිකාලීනව ආර්ථිකය සංකෝචනය වීම නොවැලැක්විය හැකියි.

      Delete
    2. මැජික් විසදුම් නැති බව දන්නව, ප්‍රායෝගික විසදුමක් තියේද කියල දැනගන්න ඇහුවෙ.

      මම ආර්තික විද්‍යාව දන්නෙ නෑ. මට පේන විසදුම රාජ්‍ය සේවාවෙ 50% ක් විතර රස්සාවෙන් අස් කරල, විකුනන්න පුළුවන් ඔක්කොම කුනු කොල්ලෙට හරිමාස කීපෙකින් විකුනල, සුබසාදන ඔක්කොම කපල අය වැය පරතරය නැති කරල සල්ලි අච්චු ගැහීම නැවැත්වීම.

      ඊටපස්ස් රුපියල සම්පුර්ණයෙන් පාකරන එක. ඔය අස්ස්සෙ නය ප්‍රතිවියුහගත කරන එකයි IMF යන එකයි කරගෙන ගියෑකි.

      න්මුත් ඔය ක්‍රමේ අවුල විසාල පිරිසක් අමාරුවෙ වැටෙනව. ජොබ් නැතිවෙලා. එහෙම එච්චර අවුලක් නොවී වැඩේ විසදගන්න ක්‍රමයක් එකොනොමැට්ටගෙ දැනුම අනුව නැද්ද කියල දැනගන්න ඇහුවෙ.

      Delete
    3. ඕකට ලොකු ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ යෝජනා කරනවා වගේ දෙයක් තමයි කරන්න වෙන්නේ. ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය වෙන්නේ ඔබ මුලින් කියපු දේවල් කරන එක සහ එසේ කිරීමේදී විශාල පිරිසක් අමාරුවේ වැටෙන එක සමතුලනය කරන්න. වෙනත් විදිහකින් කිවුවොත් ප්‍රශ්නය විසඳීම සඳහා යන කාලය දිගු වෙන්න ඉඩ හරිමින් මිනිස්සු අමාරුවේ වැටෙන එක යම් තරමකින් අඩු කරන්න. IMF සාකච්ඡා හරහා බොහෝ විට එවැනි අතරමැදි විසඳුමක් එළියට එයි.

      Delete
  6. Current Account එකේ ලන්කාව් රජය පිටරට වලට ගෙවන නය වාරික හෝ පොලී ඇතුලත්ද?

    ReplyDelete
    Replies
    1. පොලී තිබෙනවා. ණය වාරික නැහැ.

      Delete
  7. Check this out
    https://economynext.com/sri-lanka-monetary-meltdown-steve-hanke-on-currency-boards-and-flawed-pegs-96375/

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: