සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ. ඔහුට මේ වගේ ප්‍රකාශයක් කරන්න සිදු වුනේ මේ වෙද්දී රටේ මිනිස්සු සල්ලි අච්චු ගැහිල්ල ගැන විමසිල්ලෙන් ඉන්න නිසයි. කොහොම වුනත්, ඔය වගේ ප්‍රකාශ වලට වඩා වැදගත් ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද කියන එකයි.
සල්ලි අච්චු ගැසීම කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන එක. රජයට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙන්නේ වෙන කවුරුවත් බිල්පත් මිල දී ගන්නේ නැති වුනාම. එහෙම නැත්නම් වෙන අය බිල්පත් මිල දී ගැනීම සඳහා ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති විට.
සාමාන්‍යයෙන් හැම බදාදා දවසකම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. පසුගිය සති තුනේ වෙන්දේසි දිහා බැලුවහම එම සති තුන තුළ රටේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් සිදු වී තිබෙන බව පැහදිලිව දකින්න පුළුවන්. ඩොලරයක කළුකඩ මිල දිහා බැලුවහමත් මේ වෙනස ඒ විදිහටම පේන බව මම කලින් ලිපියක විස්තර කළා.
දැන් මම මේ විදිහට යහපත් වර්ධනයක් කියා කියන්නේ සති තුනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව. එය ඉතා හොඳ තත්ත්වයක් බව හෝ මේ වර්ධනය මේ විදිහට දිගටම පවතියි කියන එක එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ඕනෑ වෙලාවක සුළු දෙයකින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ බංකොලොත් වෙච්ච රටක් ගැන. ඒ පසුබිමත් අමතක නොකර අපි පසුගිය තෙසතිය තුළ දැකිය හැකි වූ යහපත් වර්ධනයන් දිහා බලමු.
මැයි 18 වෙන්දේසිය
රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 50,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 20,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. එහෙත් මිල දී ගන්නේ දින-91 බිල්පත් රුපියල් මිලියන 6,416ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 3,433 ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 6,626 ක් පමණයි. ඒ කියන්නේ රජයට ඒ සතියේ රුපියල් මිලියන 90,000ක් අවශ්‍ය වුවත් බිල්පත් විකුණා හොයා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 16,475ක් පමණයි. දැන් මේ මදිපාඩු මුදල හොයා ගන්නේ කොහොමද?
මැයි 19 වෙනිදා රජය මහ බැංකුවට රුපියල් බිලියන 85ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. ඒ කියන්නේ එපමණ සල්ලි අච්චු ගැසීමක් වෙනවා. මේ ගැන මම අදාළ සතියේ ලිවුවා.
රජයට වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ල විකුණා ගන්න බැරි වෙන්නේ ලන්සු ඉදිරිපත් කළ අය ඉහළ පොලියක් ඉල්ලා සිටි නිසා. රජය වෙනුවෙන් මහ බැංකුව විසින් භාර ගන්නේ 24% මට්ටම නොඉක්මවන පොලියක් ඉල්ලන අයගේ ලන්සු පමණයි. ඒ කියන්නේ සල්ලි අච්චු නොගසා ඉන්නනම් පොලී අනුපාතික 28-31% මට්ටමට ඉහළ යාමට ඉඩ දිය යුතුව තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත් මැයි 18 වන විට වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික ඉදිරියේදී විශාල ලෙස වැඩි වනු ඇති බවයි.
ඒ නිසා, 24% පමණ පොලියක් ගෙවා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න බැරි වුනා. රජය (වෙනුවෙන් මහ බැංකුව) ගෙවන්න සූදනම්ව සිටි උපරිම පොලී අනුපාතික පහත පරිදියි.
දින-91: 24.07%
දින-182: 24.69%
දින-364: 24.50%
ඉහත පොලී අනුපාතික යටතේ ලබා ගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි.
මැයි 25 වෙන්දේසිය
රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 45,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 22,500ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 22,500ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 60,116ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 4,272ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 25,612ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 90,000 හොයා ගන්නවා. හැබැයි ඒක කරන්නේ දින-91 බිල්පත් වැඩියෙනුත්, දින-182 බිල්පත් අඩුවෙනුත් අරගෙන. ඒ ඇයි?
ලංසු ඉදිරිපත් කරන ගොඩක් අය දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලනවා. දින-182 බිල්පත් ඉල්ලන්නේ අඩුවෙන්. ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලන්නේ ඉක්මණින් සල්ලි ආපසු ලබාගෙන වැඩි පොලියකට නැවත ආයෝජනය කරන්න බලාගෙන.
කොහොම හරි මොන විදිගෙන් හෝ අවශ්‍ය සල්ලි ටික ලැබුණු නිසා සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ඇත්තටම බිලියන තුනකින් පමණ පහළ යනවා.
අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත පරිදියි.
දින-91: 23.65%
දින-182: 24.22%
දින-364: 24.30%
සුළුවෙන් වුවත් පෙර සතියට සාපේක්ෂව පොලී අනුපාතික පහළ ගිහින් බව පේනවා ඇතිනේ.
ජූනි 1 වෙන්දේසිය
රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 23,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 37,199ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 25,227ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,574ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 83,000 හොයා ගන්නවා පමණක් නෙමෙයි ආසන්න වශයෙන් වෙන්දේසියට දාපු ප්‍රමාණ වලින්ම මිල දී ගන්නටත් පුළුවන් වෙනවා. පොලී අනුපාතිකත් පහළ ගිහින්.
ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙලා. දැන් අපේක්ෂාව පොලී අනුපාතික ඉදිරි කාලයේදී පහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් නොඉල්ලා දින-182 හා දින-364 බිල්පත් ඉල්ලන්නේ පොලිය අඩු වෙන්න කලින් වැඩි කාලයකට තමන්ගේ ප්‍රතිලාභ සහතික කර ගන්නයි.
මේ විදිහට වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙන්නේ බදු වැඩි කිරීමට ගත්ත තීරණයත් එක්ක. වැඩි කරපු බදු ආදායම් තවම රජයට ලැබිලා නැහැ. ඒක කවුරුත් දන්නවනේ. හැබැයි මේ සල්ලි ඉදිරි කාලයේදී රජයට ලැබෙනවා. ඒ නිසා, භාණ්ඩාගාර බිල්පත් විකුණා සල්ලි හොයන්න තිබෙන අවශ්‍යතාවයත් පහළ ගිහින් රජයට අඩු පොලියකට බිල්පත් විකුණන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම, සල්ලි අච්චු ගැහිල්ල සීමා වන නිසා මහ බැංකුවට පොලී අනුපාතික වැඩි කරන්න පීඩනයක් එන්නේත් නැහැ. මේ සියල්ල ලංසුකරුවෝ දන්නවා. ඒ නිසා, පොලිය අඩු වෙන්න කලින් මේ වෙලාවේ බිල්පත් ගන්න ඔවුන් තරඟ කරනවා. සති දෙකකට කලින් සිදුවුනේ මෙහි අනෙක් පැත්ත.
ඒ එක්කම මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණය තවත් රුපියල් බිලියන හයකින් පමණ අඩු වෙලා. මහ බැංකුව සතු බිල්පත් කල් පිරුණු විට බිල්පත් ගන්න යෙදවූ සල්ලි පොලියත් එක්ක ආපසු මහ බැංකුවට එනවා. එවිට මුදල් සැපයුම පහළ යනවා. ඒ කියන්නේ අච්චු ගහලා එළියට දමපු සල්ලි වලින් කොටසක් නැවත සංසරණයෙන් ඉවත් වෙනවා.
බදු වැඩි කිරීමේ වාසි ක්ෂණිකවම පෙනෙන්න තිබෙනවා. බදු බර මිනිස්සු මතම වැටෙනවා වුනත් බදු වැඩි නොකර සල්ලි අච්චු ගැසූ විට වෙන්නෙත් ඒකම තමයි. බොහෝ විට දෙවැන්නේ හානිය වැඩියි. පොලී අනුපාතික ඉහළ ගියාම වැඩි වන වියදම් පියවන්න වෙන්නෙත් තව සල්ලි අච්චු ගහලා. මේ තත්ත්වය දැන් ක්ෂණයකින් වෙනස් වෙලා තියෙනවා. බදු වැඩි කිරීමේ බර වැඩිපුර වැටෙන්නේ ධනවතුන් මතයි. එහෙත් සල්ලි අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ ගිය විට එහි බර වැඩිපුර පැටවෙන්නේ දුප්පතුන් මත.
දුප්පතුන් තමන්ගේ ආදායම මුළුමනින්ම යොදවන්නේ පරිභෝජනය සඳහා. එහෙත් ධනවතුන් ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ආයෝජනය කරනවා. උද්ධමනය වැඩි වී පොලී ඉහළ යද්දී දුප්පතුන්ට මෙන්ම ධනවතුන්ටද හානියක් වුවත් ආදායමට සාපේක්ෂව වැඩි හානියක් වෙන්නේ දුප්පතුන්ටයි. ආයෝජන වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන නිසා ධනවතුන්ට එයින් වාසියක් වෙන්න වුනත් පුළුවන්. බදු වැඩි කිරීමේ හානියද සියල්ලන්ටම වුවත් වැඩි බරක් වැටෙන්නේ ධනවතුන් මතයි.
ජූනි 1 වෙන්දේසියේදී අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත වැටී තිබුනේ මේ විදිහටයි.
දින-91: 22.75%
දින-182: 23.60%
දින-364: 23.75%
ජූනි 8 වෙන්දේසිය
ඊළඟ බැඳුම්කර වෙන්දේසිය තියෙන්නේ ජූනි 8. මේ වෙන්දේසිය සඳහා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් මිලියන 98,000ක බිල්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 30,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 28,000ක් ලෙසයි. මේ බිල්පත් ප්‍රමාණය වෙන්දේසි කර ගන්න පුළුවන් වෙයිද? ඒ සඳහා කොපමණ පොලියක් ගෙවන්න වෙයිද? එසේ නැත්නම් මහ බැංකුවටම මේ බිල්පත් වලින් යම් ප්‍රමාණයක් මිල දී ගන්න වෙයිද? අපි වෙන්දේසියෙන් පසුව බලමු.
වෙන්න ඕන රජය කුඩා කරල ආර්තික නිදහස දෙන එක. කරන්නෙ වෙන එකක් . තව තවත් ණය ගන්නව.
ReplyDeleteපොලී අනුපාත වැඩි කරපු එකේ ප්‍රතිපලය ලැබුනද? බැන්කු වල ඉතුරුම් වැඩි උනාද?
ReplyDeleteභාණ්ඩාගාර බිල්පත් විකිණෙනවා කියන්නේ ප්‍රතිඵලයක් ලැබිලා කියන එකයි.
Deleteඒත් ඉකෝන් ලංකාවේ පොළී අනුපාතික වැඩි කරපු එකෙන් ලංකාවේ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට විශාල ලෙස හානි වී ඇති බව ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් පවසන කරුණු ඇත්තද?
Deleteමේ වීඩියෝ එක බලන්න පුලුවන් නම් හොඳයි
https://youtu.be/zl5FxDoR_20
මේකේ කර්මාන්ත කරුවන්ට අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් නොමැති වීමටත් වඩා බැංකු වල පොළී අනුපාතික වැඩි කිරීම සහ රජය විසින් අලුතින් හදුන්වා දි තිබෙන අධික බදු අය කිරීම නිසා හානිය වැඩියි කියලා කියන්නේ ඇත්ත ද? මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?
ආන්ඩුව මහ බැන්කුවට විකුනන භාන්ඩාගාර බිල් පත් වලට කල් පිරුනම අනිවාර්යෙන් ආපසු මුදල් ගෙවනවද? මීට කලින් ඒ විදියට ගත් මුදල් සියල්ල (සියලු ආන්ඩූ) මේ වෙනකොට ගෙවා තියෙනවද? සන්චිත මුදල් ප්‍රමානය ඉහල ගිහින් තියෙන්නේ එහෙම නොගෙවන නිසාද?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. රජය විසින් මහ බැංකුවට විකුණන භාණ්ඩාගාර බිල්පත් වලට කල් පිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම ආපසු මුදල් ගෙවනවා. මුදල් ගෙවීමේදී එය තියෙන්නේ කා අතේද කියා බලන්නේ නැහැ. ඒ වගේම මහ බැංකුව රජයෙන් බිල්පත් කෙලින්ම මිල දී නොගෙන වෙනත් අයෙකුගෙන් (ද්වීතියික වෙළඳපොළෙන්) මිල දී ගන්නවා වෙන්නත් පුළුවන්. කල් පිරෙන තුරු නොසිට වෙනත් අයෙකුට විකුණනවා වෙන්නත් පුළුවන්. එසේ වෙනත් අයෙකුට විකිණූ විට කලින්ම මුදල් ලැබෙනවා. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යන්නේ බිල්පත් කල් පිරුණු විට සල්ලි නොගෙවන නිසා නෙමෙයි. එසේ ගෙවන්නේ අලුතෙන් බිල්පත් විකුණලා නිසා. ඒ කියන්නේ මහ බැංකුවට 200ක බිල්පත් විකුණා ලැබෙන සල්ලි වලින් කල් පිරුණු බිල්පත් සඳහා ගෙවිය යුතු 100 ගෙවනවා. ඔය වගේ වැඩක් වෙන්නේ.
Deleteසංචිත මුදල් කතාවනම් ටිකක් සංකීර්ණයි. සංචිත මුදල් වැඩි වන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න නිසා පමණක් නෙමෙයි. මහ බැංකුව මොන දෙයක් මිල දී ගත්තත් සංචිත මුදල් වැඩි වෙනවා. උදාහරණයක් ලෙස මහ බැංකුව පරිගණකයක් මිල දී ගත්තත්, සේවකයෙකුට වැටුප් ගෙවුවත්, ලයිට් බිලක් ගෙවුවත් සංචිත මුදල් වැඩි වෙනවා. ප්‍රායෝගිකව සංචිත මුදල් වැඩිවීමට ප්‍රධානම හේතු දෙක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා ඩොලර් මිල දී ගැනීම. ඒ නිසා ඩොලර් (විදේශ සංචිත) විකුණන කොටත් සංචිත මුදල් අඩු වෙනවා. පසුගිය කාලයේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් තරමට සංචිත මුදල් වැඩි නොවුනේ අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණපු නිසා.
ලබන ජුනි 8 වෙන්දේසිවලදී කොච්චර විකිනිලාද නැද්ද ක්ිියල සමන්‍ය කෙනෙකක්ට දැන ගන්න පුලුවන් ලින්ක් එක්ක් තියෙනව ද?
ReplyDeleteවෙන්දේසියෙන් පසුව ප්‍රවෘත්ති නිවේදනයක් දානවා.
Delete