රටක බදු ප්‍රතිපත්තිය කුමක් විය යුතුද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු වලට හැමෝටම එකඟ වෙන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් ගැන සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. කොහොම වුනත්, මේ වගේ දෙයක් ගැන තමන්ගේ දේශපාලනික මතය හදාගන්න කලින් පවතින බදු ක්‍රමය මොන වගේ එකක්ද කියන එක ගැන හරි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ.
පහත වගුවේ තියෙන්නේ එක් එක් ආදායම් කාණ්ඩය බදු ගෙවන ආකාරය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන ආකාරය පිළිබඳ සාරාංශයක්. මෙහි ආදායම් දශකයක් කියා කියන්නේ ලංකාවේ නිවාස ඒකක වලින් 10%ක්. ලංකාවේ මුළු නිවාස ඒකක ගණන මිලියන 5.7ක්. ඒ අනුව, එක ආදායම් දශකයකට පවුල් 570,000ක් ඇතුළත්. පළමු ආදායම් දශකයට අයත් වන්නේ දුප්පත්ම පවුල් 10%. දෙවැන්න ඊළඟ පවුල් 10%. පැහැදිලියිනේ.
මෙහි එක් එක් ආදායම් දශකයේ මධ්‍යන්‍ය ආදායම 2019දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය හරහා හොයාගත් ගණන්. එක් එක් ආදායම් කාණ්ඩයේ බදු ගෙවීම් මගේ ඇස්තමේන්තු. මේ ඇස්තමේන්තු සර්ව සම්පූර්ණ නැහැ. අදහසක් ගැනීම සඳහා පමණයි. ගණනය කරපු ක්‍රමය මේකයි. අවම ආදායම් බදු සීමාව අනුව සෘජු බදු සියල්ල ගෙවන්නේ දහවන ආදායම් දශකයේ අය. වක්‍ර බදු හා අනෙකුත් ගාස්තු සියල්ල පරිභෝජනයට සමානුපාතික සේ සලකා ආදායම් කාණ්ඩ අතර බෙදා හැර තිබෙනවා. රජයේ වියදම් වල ප්‍රතිලාභ බෙදා හැරීමේදී සමෘද්ධි වියදම් පහළ 30% අතර බෙදාහැර අනෙකුත් වියදම් සියලු දෙනා අතර සම සේ බෙදා හැර තිබෙනවා. පොලී වියදම් හා ණය ගෙවීම් මෙහි ඇතුළත් නැහැ. මේ බදු වැඩි කරන්න පෙර 2021දී රජයේ ආදායම් හා වියදම්.
සාමාන්‍යයෙන් සාධාරණත්වය ගැන හිතනවානම් අඩු ආදායම් දශක වල බදු අනුපාතික අඩු විය යුතුයි. වැඩි ආදායම් දශක වල බදු අනුපාතික වැඩි විය යුතුයි. නමුත් මෙහි දැකිය හැක්කේ එහි අනෙක් පැත්ත. හැබැයි ඉහළම ආදායම් දශකය තමන්ගේ ආදායමෙන් 42%ක්ම බදු සේ ගෙවනවා. ඉහළ ධනවත් පංතියෙන් සැලකිය යුතු බදු ආදායමක් රටට එන්නේ නෑ කියන එක බොරුවක්.
ගොඩක් අය කියන්නේ ආණ්ඩුව තමන්ගෙන් හැම දෙයකින්ම බදු අය කරනවා කියලයි. නමුත් ඇත්තටම ශුද්ධ වශයෙන් බදු ගෙවන්නේ ඉහළම ආදායම් ලබන 10% පමණයි. අනෙක් හැමෝම ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ රජයෙන් ලබාගන්නවා. පහළ ආදායම් ස්ථර වල ඉන්න 40% එහෙම ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. නමුත්, අතරමැද ඉන්න අයත් ඒ විදිහට ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ ලැබිය යුතුද?
මධ්‍යම පන්තිය පරපෝශිතයො කියන එකනේද මේ කියන්නෙ වෙනත් වචනවලින්. දොස්තර පන්තිය.
ReplyDeleteදොස්තරලා ඉන්නේ ඉහළම දශකය තුළ විය යුතුයි. රාජ්‍ය සේවකයින් ඇතුළු මෙය කියන බොහෝ දෙනෙක් අයත් වන්නේ මැද කොටසට. පවුලේ මාසික ආදායම 44,329ට අඩුනම් පහළම 40%. රුපියල් 141,605ට වැඩිනම් උඩම 10%.
Deleteඑහෙනම් ඔයගනන් වැරදී වගෙ නේද.
Deleteදොස්තරල ලක්ශ ගානක් පඩි ගත්තට උන් ඒවට බදු ගෙවන්නෙ නැහැනෙ
44329 හා 141605 කියන අගයන් දෙක ගන්නේ කොහොමද?
Delete//AnonymousJune 6, 2022 at 8:06 AM//
Deleteලංකාවම ආවරණය කර කරන ආදායම් හා වියදම් සමීක්ෂණයකින්.
lankaJune 6, 2022 at 8:00 AM
Deleteඔය තියෙන්නේ ගෙවා තිබෙන බදු.
මේ ගනනය පැහැදිලි මදි.
Deleteඔබ කියන්නෙ මාසෙකට ලක්ශ දෙකක පඩි ගන්න අයෙක් ඉන් 80000ක් විතර බදු ගෙවනව කියලද? ඒ බදු ගෙවන්නෙ මොන ක්‍රම වලටද? ආදායම් බදු වෙන්න බැහැනෙ.
මෙහි තියෙන්නේ මාසයකට 141,605කට වඩා ආදායමක් උපයන පවුල් 570,000 විසින් ගෙවන බදු වල සාමාන්‍ය අගය. එම 10% ඇතුළේ ආදායම් බදු නොගෙවන අය ඉන්න පුළුවන්. නමුත් ඊට පහළ කාණ්ඩ වල ආදායම් බදු ගෙවන අය නැහැ. ආදායම් බදු ගෙවන සියළුම දෙනාම ඉන්නේ ඔය දහවන කාණ්ඩය ඇතුළේ.
Deleteඑහෙම ගෙවනවනම් ගෙවනව ඇත්තෙ වැඩි පාරිභෝජනය මගින් වක්‍ර බදු ලෙස.
Deleteඒක සාදාරණ බදු ගෙවීමක් නෙමෙයි මම හිතන්නෙ. ලක්ශ 10ට වඩා වැඩි අයනම් ආදායම් බදු ගෙවනව ඇති. මම මේ කියන්නෙ 2019 බදු සන්ශෝදනයෙන් පසුව ත්ත්වය ගැන.
//එහෙම ගෙවනවනම් ගෙවනව ඇත්තෙ වැඩි පාරිභෝජනය මගින් වක්‍ර බදු ලෙස.//
Deleteඔව්.
//ඒක සාදාරණ බදු ගෙවීමක් නෙමෙයි මම හිතන්නෙ. ලක්ශ 10ට වඩා වැඩි අයනම් ආදායම් බදු ගෙවනව ඇති. මම මේ කියන්නෙ 2019 බදු සන්ශෝදනයෙන් පසුව ත්ත්වය ගැන.//
වෙන්න පුළුවන්. ඒ තරම් දුරට විශ්ලේෂණය කිරීම සඳහා දත්ත නැහැ. සංශෝධනයෙන් පසුවත් ලක්ෂ 2.5ට වැඩි අය බදු ගෙවිය යුතුව තිබුනා නේද?
මම හිතන්නෙ පස්සෙ ආපහු ඒ නීතිය ගෙනාවෙ. ඒත් කලින් තිබුන ගානට වඩා ගොඩක් අඩු ගානක් චර්ජ් වෙන්නෙ. ටැක්ස් නොගෙව්ව වගෙ තමයි.
Delete1. උඩම දශකයේ ආදායම ඊට පහළ දශකයේ ආදායම මෙන් දෙගුණයකටත් වැඩියි. මේක ලංකාවට විශේෂ වූ තත්ත්වයක් ද?
ReplyDelete2. උඩම දශකය ලබාගන්නා ප්‍රතිලාභ මීටත් වඩා අඩු වෙන්න පුළුවන් නේද? උදාහරණයක් ලෙස ඔවුන් බොහෝ විට පුද්ගලික රෝහල් වලින් ්‍රතිකාර ලබා ගන්නවා. දරුවන් පුද්ගලික පාසැල් වලට යවනව
1. නැහැ
Delete2. අඩු වෙන්න වගේම වැඩි වෙන්නත් පුළුවන්. අධිවේගී මාර්ග ආදිය වැඩිපුර භාවිතා කරන්නේ ඔවුන්.
මට හිතෙන විදියට වඩා වැදගත්ම දත්ත සැපයෙන්නේ ප්‍රතිලාභ කොලම තුලින් බව පෙනෙනවා. 90% ජනගහනය 35,350 - 38,050 අතර ප්‍රතිලාබ ලබනවා. 10% පමණක් ශුද්ධ ගෙවීම් මගින් රටේ ආර්ථිකයට දායක වෙනවා. ආර්ථික මට්ටමින් ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩයේ අනෙක් රටවල් සමග සැසදීමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ReplyDeleteලංකාවේ ජනතාවගේ ආදායම් හරි හැටි හෙළි නොකිරීමේ පුරුද්ද නිසා මේ ගණන් මහ පොලොවෙ තත්ත්වයට වඩා ගොඩක් වෙනස්
ReplyDeleteඅයිතීය පුවත් පතේ "සල්ලි අච්චු ගැසීම ගැන ඇත්ත කතාව" කියවගෙන යනකොට හුරු පුරුදු රචනා විලාසයක් දැනුනා. ඉකොනෝගෙ ලිපි වලට තවත් පත්තරයක ඉඩක් ලැබීම ඔබ ලැබූ ජයග්‍රහණයක්. සුභ පැතුම්!
ReplyDeleteඅන්තිම ආදායම් දශකයේ මද්‍යයන ආදායම හරි විදියට නම් ඔයිට වැඩිය ගොඩක් වැඩි වෙන්න ඕනි.. ලංකාවේ ගොඩක් ව්‍යාපාරිකයින් සහ සේවා සපයන වෙනත් වෘත්තිකයන් නියමිත ආකාරයට බදු ගෙවන්නේ නෑ.. ඔය ගාන ඇවිල්ලා තියෙන්නේත් අපි වගේ ගන්න පඩිය කෙලින්ම බැංකුවට යන අසරණයෝ ටික නිසා.. :)))
ReplyDeleteආදායම් ඇස්තමේන්තු අරගෙන තියෙන්නේ ගෘහස්ථ සමීක්ෂණයකින්. බදු ගෙවනවද නැද්ද කියන එක එයට සම්බන්ධයක් නැහැ.
Delete