වෙබ් ලිපිනය:

Saturday, November 19, 2016

මේ ගෙවී යන්නේ ජාත්‍යන්තර පරිප්පු වසරයි!


පසුගිය ලිපියෙන් ඇමරිකාවේ පරිප්පු සමරන හැටි ගැන ගැන ලිවුවෙමි. එම ලිපියේ නොලියැවුණු වැදගත් පරිප්පු කතාවක් වන්නේ මෙම ගෙවී යන්නට ආසන්න 2016 වසර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිප්පු, කඩල, මුං ඇට, සෝයා බෝංචි ආදිය පොදුවේ හැඳින්වෙන මාෂබෝග (pulses) වෙනුවෙන් වෙන් කර ඇති ජාත්‍යන්තර මාෂබෝග වසර බවයි.

මෙම 2016 වසර ජාත්‍යන්තර මාෂබෝග වසර ලෙස නම් කරමින් 2013 දෙසැම්බර් 20 දින පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ හැට අට වන මහා සභා සැසියේදී මෙසේ නම් කිරීමට පදනම් වූ හේතු පාඨය ඉදිරිපත් කර තිබුණේ මෙසේය.

-පරිප්පු, කඩල, කව්පී, බෝංචි ආදී මාෂබෝග ලොව පුරා ජනතාවගේ මෙන්ම සතුන්ගේද ශාක ප්‍රෝටීන් හා ඇමයිනෝ අම්ල අවශ්‍යතාව සපුරන ඉතා වැදගත් ආහාර කාණ්ඩයකි.

-ලෝක ආහාර වැඩ සටහන සහ අනෙකුත් ආහාර ආධාර වැඩසටහන් මාෂබෝග පොදු ආහාර පැසක ඉතා වැදගත් කොටසක් ලෙස සලකයි.

-ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉලක්ක කරගත්, තිරසාර ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීමේදී මාෂබෝග වලට විශේෂ අවධානය යොමු විය යුතුය.

-මාෂභෝග අයත් වන්නේ පසට නයිට්‍රජන් එකතු කරමින්, පස සරු කරන අතරම පරිසරයටද හිතකර රනිල ශාඛ කුලයටය.

-ලොව පුරාම සෞඛ්‍ය සංවිධාන විසින් අධික ස්ථුලතාවය අඩු කරගැනීමටද, දියවැඩියාව, හෘද රෝග හා පිළිකා වැළඳීමේ හැකියාව අඩුකරගැනීමටද ඉවහල් වන සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස මාෂබෝග නිර්දේශ කරයි.

-මාෂබෝග වලින් ලබාගන්නා ප්‍රෝටීන් වඩා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමද, ලෝක මාෂබෝග නිෂ්පාදනය ඉහළ නැංවීමද, බෝගමාරු ක්‍රමය වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීමද, මාෂබෝග වෙළඳාම හා අදාළ අභියෝග වලට විසඳුම් සෙවීමද දිරිමත් කරමින් අදාළ පාර්ශ්ව අතර සම්බන්ධතා ගොඩනැඟීමට මෙසේ මාෂබෝග වසරක් නම් කිරීම නිසා අනන්‍ය අවස්ථාවක් උදාවේ.

-තිරසාර කෘෂිකර්මය වැඩි දියුණු කිරීමද, මාෂබෝග වල පෝෂණ ගුණ ගැන පොදු ජනතාවගේ දැනුම ඉහළ නැංවීමද අවශ්‍යතාවයකි.

ඉහත අරමුණු ඇතුව 2016 වසර ජාත්‍යන්තර මාෂබෝග වසර ලෙස නම් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයටය. ඒ අනුව, එම සංවිධානය විසින් වසර තුළ ලෝකයේ විවිධ රටවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉල්ලා සිටි පරිදි, මාෂබෝග පිළිබඳ දැනුම හා අවධානය ඉහළ නැංවීමට ඉකොනොමැට්ටා විසින්ද යාන්තම් අවුරුද්ද ඉවර වෙන්නට පෙර සුළුවෙන් වුවත් දායක වෙමින් මේ ලියන්නේ වසරේ දෙවන පරිප්පු ලිපියයි. ඉකොනොමැට්ටාගේ ලිපි වලට වඩා රසවත් පරිප්පු ලිපියක් තිලකසිතේ කලින්ම පළවී තිබුණේය.


(Image: http://prepareias.in/current_affair/19/12/2015/2016-international-year-of-pulses)

4 comments:

  1. මටත් හිතෙනවා පරිප්පු කතාවක් ලියන්න!

    ReplyDelete
  2. ඕකනේ ඒ කාලෙදිම ජේ ආර් උන්නැහේ ඇට කිලෝ අටක් දෙන්න හැදුවේ. කෝ අපේ අයියලා ඒ වැඩේ කඩාකප්පල් කලානේ.

    ReplyDelete
  3. බලාගෙන යනකොට "පරිප්පු"කෑමත් සැහෙන්න වටිනා වැඩක්

    ReplyDelete
  4. අපේ වත්තේත් මං මුං ඇට හිටෙව්වා කව්පි හිටෙව්වා සාර්ථක නෑ..තාත්තා නම් කියන්නේ මගේ අත් ගුනේ හොද නෑලු.. විඩක් මම හිතන්නේ තාත්තා පෝරා දානවා තාත්ත හිටවන හැම අලගෙඩියකටම..මගේ ඒවට පෝර දැම්මේ නෑ..ඒ නිසා හැදෙන්නේ නැතුව ඇති බඩු..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: