වෙබ් ලිපිනය:

Tuesday, November 8, 2016

දිගම දවස

නොවැම්බර් මාසයේ පළමු ඉරිදා දිනය උතුරු ඇමරිකාවේ ජීවත්වන බොහෝ දෙනෙකුට අවුරුද්දේ දිගම දවසයි. දවසකට සාමාන්‍යයෙන් ඇත්තේ පැය 24ක් වුවත් මේ දවසට පැය 25කි. මෙවැනිම, අවුරුද්දේ කෙටිම දවසක්ද තිබේ. ඒ මාර්තු මාසයේ දෙවන ඉරිදාය. එදින, පැය 23කින් දවස අවසන් වේ.

උණුසුම් කාලය ඇරඹෙද්දී මාර්තු මාසයේ දෙවන ඉරිදා අලුයම දෙකට ඔරලෝසු පැයකින් ඉදිරියට කරකවන නිසා උතුරු ඇමරිකානුවන් වැඩි දෙනෙකුට දවසේ පැයක් අහිමි වේ. එසේ අහිමි වන්නේ අලුයම දෙකේ සිට තුන දක්වා වන පැයයි. පසුගිය ඉරිදා නැවත ආපසු ලැබුණේ සති 34කට පෙර ඇමරිකානුවන්ට එසේ නැති වූ පැයයි.

මේ වැඩිපුර පැයත් සමඟ නොවැම්බර් මාසයේ පළමු ඉරිදා අලුයම එකත් දෙකත් අතර කාලය පැය දෙකකි. ඒ නිසා මේ කාලාන්තරය තුළ, අලුයම 2.30 වැනි වෙලාවක් අනන්‍ය වෙලාවක් නොවේ. එවැනි 'එකම වෙලාවක' එකම තැන ඉපදුණු දෙදෙනෙකුගෙන් එක් අයෙක් අනෙකාට වඩා පැයකින් වැඩිමල් විය හැකිය. ඒ නිසා මෙවැනි වෙලාවක් ගැන සඳහන් කරන තැනක එම වෙලාව අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා මේ කියන්නේ සම්මත වෙලාවෙන් අලුයම 2.30 ගැනද නැත්නම් දිවා ආලෝක සුරැකුම් වෙලාවෙන් අලුයම 2.30 ගැනද යන්නද සටහන් කළ යුතුය.

මේ වසරේ උතුරු ඇමරිකාවේ දිවා ආලෝක සුරැකුම් කාලය මාර්තු මස 13 වැනි දින ඇරඹුණු අතර පසුගිය නොවැම්බර් 6 වැනි දින අවසන් විය.

ඔරලෝසු ආපසු කරකවා දින දෙකකට පසු ගෙවෙන අද දිනය ඇමරිකාවේ මැතිවරණ දිනයයි.


ජනාධිපතිවරයා වෙනස් වූ පමණින් ඔරලෝසු ආපසු කරකැවෙනවාක් මෙන් ඇමරිකාවේ බොහෝ දේ ආපසු හැරවෙන්නේ නැතත් රටට හා ලෝකයට සැලකිය යුතු බලපෑමක් එමඟින් සිදුවිය හැකිය.  

අද දිනය පැය විසිහතරේ සාමාන්‍ය දිනයක් වුවත් මීළඟ ඇමරිකානු ජනාධිපති ලෙස ධවල මන්දිරයට යාමට බලා සිටින හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ටනම් අද හා හෙට දින ඔවුන්ගේ ජීවිතයේ දිගම දින සේ දැනෙනවා නොඅනුමානය.

(Image: https://commons.wikimedia.org/wiki/File:Victory-Cigar-Congress-Passes-DST.jpeg)

4 comments:

  1. එක්තරා රටකදී වෙලාව වෙනස් වූ බව නොදැන පැයක් ප්‍රමාදවී සේවයට ගියා මතකයි. වෙලාව වෙනස් වන බව දැනගෙන හිටියත් එදා එය වන බව දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  2. ඔබ සුභ දිග දවසක් ගත කරන්න ඇතැයි සිතමි!

    ReplyDelete
    Replies
    1. පැයක් වැඩිපුර ලැබෙනවා කියන්නේ සුභ දවසක් තමයි!

      Delete
  3. ඒ අතින් අපි සෑහෙන වාසනාවන්තයො.. කාලයත් එක්ක ආරවුලක් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: