වෙබ් ලිපිනය:

Monday, December 12, 2016

උතුර බලාගෙන දකුණට පහරන බල්ලෝ


බලු වැඩ ගැන අප කාටත් හොඳ අවබෝධයක් තිබේ. ඒ බල්ලා සත්ත්ව ලෝකයේ සිටින මිනිසාට සමීපතම සතා නැත්නම් සතෙක් වන නිසාය. සහශ්‍ර ගණනක සිට ගෘහස්තකරණය වී සිටින සතෙක් වන බල්ලාගේ බලු වැඩ අප හොඳින් නිරීක්ෂණය කර ඇති අතරම මිනිසුන් සමඟ කාලයක් තිස්සේ ජීවත් වන බල්ලන්ට මිනිස්සුන්ගේ මිනිස් වැඩත් රහසක් නොවන්නට ඉඩ තිබේ.

බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් නැතැයි කීවොත් එය නිවැරදි නොවන්නේ ඒ කටයුතු කර ගැනීම සඳහා ඉඩහරිමින් දම්වැලෙන් ලෙහන තුරු ඉවසා සිටින්නට බල්ලන්ට බැරි කමක් නැති නිසාය. එසේ ඉඩ හළ පමණින් බල්ලෝ මේ කටයුතු එතැනම නොකරති. තමන්ට අවශ්‍ය තැනක් සොයා යති. මේ තැන ගහක්, වාහනයක ටයරයක් හෝ අල්ලපු වත්ත විය හැකිය. මේ අනුව පෙනී යන්නේ බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් ඇති බවයි.

මේ ලිපිය බල්ලන් පහරන හා සුළුදිය හෙලන තැන් මෙන් වැඩි දෙනෙකු නිරීක්ෂණය කර නොමැති දෙයක් විය හැකි කරුණක් ගැනය. බල්ලන්ට මේ කටයුතු කරන්නට තැනක්, වෙලාවක් මෙන්ම දිශාවක්ද තිබේ!

චෙකොස්ලොවැකියානු හා ජර්මානු සරසවි දෙකකට අනුබද්ධ පර්යේෂක කණ්ඩායමක් විසින් බලු වර්ග 37කට අයත් බල්ලන් 70ක් වසර දෙකක පමණ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් වසර කිහිපයකට පෙර පළ කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව බල්ලන් බොහෝ විට මළපහ කරන්නේ එක්කෝ උතුර බලා දකුණට පස්ස හරවාගෙනය. එසේ නැත්නම් දකුණ බලා උතුරට පස්ස හරවාගෙනය!

මේ පර්යේෂණය සඳහා අදාළ පර්යේෂණ කණ්ඩායමට මේ බල්ලන් 1,893 වරක් පහරන තුරුත් 5,582 වාරයක් සුළුදිය හෙලන තුරුත් බලා සිටින්නට විය. පර්යේෂණ දත්ත එකතු කිරීම යනු ඇතැම් විට බල්ලෙකු පහරන තෙක් බලා සිටීම වැනි අප්‍රසන්න කටයුත්තකි.

බල්ලන් මළපහ කරන විට අනුගමනය කළ මේ රීතිය සුළු දිය හෙලන විට ඒ අයුරින්ම අනුගමනය නොකළත්, බැල්ලියෝනම් අවස්ථා දෙකේදීම ශුභ දිශාව බලන්නට අමතක නොකරති.

මේ චර්යාවට හේතුව පැහැදිලි නැතත් බල්ලන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව මේ පර්යේෂණය තහවුරු කරයි. පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය එතරම් ප්‍රබල නොවූ අවස්ථාවල බල්ලන්ගේ ඉහත චර්යාව එතරම් පැහැදිලිව නොපෙනුණේය.

මෙසේ උතුර බලා දකුණට හෝ දකුණ බලා උතුරට පහරන්නේ බල්ලන් පමණක් නොවේ. වෙනත් පර්යේෂණයකට අනුව ගොන්නු තණ කන්නේද මෙවැනිම චර්යාවක් ප්‍රදර්ශනය කරමිනි.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් හා සෘජු නිරීක්ෂණ ඇසුරෙන් හරක් පට්ටි 308ක හරක් (හා එළදෙනුන්) 8,510ක්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමෙන් පෙනී ගියේ හරකුන් බොහෝ විට තණ කන්නේත්, විවේක ගන්නේත් උතුර බලා දකුණට පස්ස හරවා බවයි. 


මේ චර්යාව හරකුන්ට අමතරව මුවන් විසින්ද පෙන්වූවකි. පරවියන් හා වවුලන් වැනි ඇතැම් පක්ෂීන් හා ක්ෂීරපායීන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව කලක සිටම තහවුරු වී ඇති කරුණකි.

මින් පසු බල්ලෙක් පහරනු හෝ ගොනෙක් තණ කනු දුටු විට ඌ එය කරන්නේ කවර දිශාව බලාගෙනදැයි නිරීක්ෂණය කර බලන්න.


(Image: http://www.livescience.com/44732-eliminating-pet-poop-pollution.html)

12 comments:

  1. /* බල්ලන් බොහෝ විට මළපහ කරන්නේ එක්කෝ උතුර බලා දකුණට පස්ස හරවාගෙනය. එසේ නැත්නම් දකුණ බලා උතුරට පස්ස හරවාගෙනය! */

    අම්මට සිරි, උතුරු-දකුණු සංවාදය වගේ!!!

    ReplyDelete
  2. එතකොට බල්ලන් සහ බැල්ලියන් සංවාසයේ යෙදෙන දිශාව ගැන සමීක්‍ෂණයක් කර නැතිද? ඔන්න කාට හරි කරන්න හොඳ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක්!

    හිටං විහිළු වැඩසටහනකට හොඳයි මේ විස්තරය!

    ReplyDelete
  3. මාතෘකාව දැක්කම මම හිතුවේ වෙන කතාවක් කියලා. මොන කතාව වුනත් විස්තරේ නම් කදිමයි. මමත් මේක හොයලා බලන්න ඔිනි.

    ReplyDelete
  4. මල කෙලියයි, නීරීක්ෂණය නම් ඉබේම කෙරෙයි, එත් වට පිටාවේ මිනිස්සුන්ට නොට් වුනොත් මොනව නොහිතයිද?

    උතුර දකුණ මාරු වෙච්ච වේලාවට බොහොම ප්‍රයෝජනවත් වෙයි, බල්ලටත් ඒ සන්තෑසියම වෙලා නොතිබ්බොතින්.

    ReplyDelete
    Replies
    1. අතුරු ප්‍රතිඵල වලට වග කියනු නොලැබේ!

      Delete
  5. උතුරේ බල්ලෝ දකුණු දෙස බලා, දකුණේ බල්ලෝ උතුරු දෙස බලා, උඩුබුරලන එක තමයි දරන්න බැරි.

    ReplyDelete
  6. මම බල්ලෙක්ගෙන් ඇහුව උතුර බලාගෙන දකුණට සුළුදිය පිටකරන්නේ ඇයි කියලා. මූ මගෙන් අහනවා " ඔහෙ හුජ්ජ කර බිජ්ජ දෙවරක් සොලවන්නේ ඇයි" කියලා. මුන් බල්ලෝ නෙමේ බලු මහප්පලා.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ දොස්තර හොඳහිත වගේ බල්ලන්ට කතා කරන රහස දන්න කෙනෙක්!

      Delete
  7. සමහරු කැරකෙමින් කරනවා. එතකොට උතුර දකුණ මාරුවෙනවා.
    http://www.dogforums.com/first-time-dog-owner/10293-spinning-while-pooping-why.html
    අපේ එක්කෙනෙකුත් ඔහොමයි

    ReplyDelete
    Replies
    1. මේ පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර ඇති විදිහට නැගෙනහිර-බටහිර දිශානුගතව මේ කටයුත්ත සඳහා යොමු කළත් උතුරු-දකුණු දිශානුගතව කැරකිලා තමයි වැඩේ පටන් ගන්නේ. සමහර විට මේ කැරකීම මැග්නටික් ෆීල්ඩ් එක වීක් තැන් වලදී දිශාව හොයාගන්න අපහසු නිසා කරන දෙයක්ද දන්නේ නැහැ. (මෙහෙම කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. කවුද දන්නේ බල්ලන්ගේ චාරිත්‍රයක් හෝ සංස්කෘතියේ කොටසක්ද කියලා. බල්ලෝ එක්ක කතා කරන රහස දන්න එකක්යැ?)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: