වෙබ් ලිපිනය:

Monday, February 20, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)


පර්යේෂකයකු විසින් කිසියම් පර්යේෂණයක් කිරීමේදී එය කළ යුත්තේ මතිග්‍රාහී නොවී, පූර්ව නිගමන රහිතව, සත්‍යය එළිදරවු කර ගැනීමේ අරමුණිනි. එහෙත්, ඇතැම් විටෙක පර්යේෂකයෙකු විසින් ඒ අයුරින්ම ක්‍රියා නොකිරීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස කිසියම් ඖෂධ නිෂ්පාදන සමාගමකින් වැටුප් හෝ වෙනත් වාසි ලබන පර්යේෂකයෙකු එවැනි සමාගමක් මඟින් අලෙවි කරන හෝ අලෙවි කිරීමට අපේක්ෂා කරන ඔසුවක අඩුපාඩු එළිදරවු නොකරමින් එවැනි සමාගමකට වාසිදායක වන පරිදි මතිග්‍රාහී ලෙස පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය.

කෙසේ වුවද, විමර්ශිත ජර්නලයක පර්යේෂණ පත්‍රිකාවක් පළ කරනු ලබන්නේ ලේඛකයාට කිසි දිනෙක හඳුනා ගැනීමට නොලැබෙන "ඇනෝ" විමර්ශකයින් අඩුම වශයෙන් දෙදෙනෙකු, බොහෝ විට තිදෙනෙකු, විසින් පර්යේෂණ පත්‍රිකාවක් දැඩි විමර්ශනයට ලක් කර අනුමත කිරීමෙන් පසුවය. ලේඛකයා විසින් හඳුනා ගනු නොලැබුවද, ජර්නලයේ සංස්කාරකවරයා විසින් මෙසේ තෝරා ගන්නේ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විමර්ශකයින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ ඇතැම් විට සිවු දෙනෙකි.

විශාල ආයෝජන සිදු කළ යුතු, වාණිජ නිෂ්පාදන හා අදාළ පර්යේෂණ බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික සමාගම් තුළ වුවත්, විමර්ශිත ජර්නලයන්හි සංස්කාරකවරුන්, විමර්ශකයින් මෙන්ම ලිපි පළකරන පර්යේෂකයින්ද බහුතරය කිසියම් සරසවියකට අනුබද්ධ ශාස්ත්‍රාලීය පර්යේෂකයින්ය. ආචාර්ය උපාධි ප්‍රදානය කරන මට්ටමේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලට සම්බන්ධ සරසවියක ආචාර්යවරයෙකු විසින් දේශන පැවැත්වෙන කාල වලදී ඉගැන්වීම හා අදාළ සියළු කටයුතු සඳහා (දේශන සඳහා නොවේ) සාමාන්‍යයෙන් ගත කළ යුත්තේ වැඩිම වුණොත් තමන්ගේ කාලයෙන් 30-40%ක් පමණි. වැඩි කාලයක් යෙදවිය යුත්තේ පර්යේෂණ වෙනුවෙනි. ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු වලින් මුළුමනින්ම නිදහස්ය.

හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කරන අයෙකුට ඉගැන්වීම සඳහා යොදවන කාලය තවත් අඩුකරගැනීමට හෝ තමන් සතුව පර්යේෂණ අරමුදල් ඇත්නම් 'කාලය මිලදී ගැනීමට' පුළුවන. මේ පර්යේෂණ අරමුදල් බොහොමයක් ලැබෙන්නේ රජයට සම්බන්ධ පොදු අරමුදල් වලින් හෝ වෙනත් භාර අරමුදල් වලිනි. ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුට තමන් කරන පර්යේෂණ වල ගුණාත්මකභාවය හා ආචාර ධාර්මීය කරුණු පිළිපැදීම සම්බන්ධව හැර පර්යේෂණ ක්ෂේත්‍රය හෝ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වීමට අවශ්‍ය නැත.

පර්යේෂණයක් සඳහා මිනිසුන් හෝ සතුන් යොදා ගැනීමේදී පර්යේෂකයෙකු විසින් ඒ සඳහා අදාළ අනුමැතීන් ලබා ගත යුතු අතර නිශ්චිත ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැදිය යුතුය. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවක් ජර්නලයකට ඉදිරිපත් කිරීමේදී තමන් විසින් මේ ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැද ඇති බවත්, අවශ්‍ය අනුමැතීන් ලබා ඇති බවත් සහතික කළ යුතුය. ඊට අමතරව, අදාළ පර්යේෂණයේ විෂයයට කිසියම් අයුරකින් සම්බන්ධ පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තමන් කිසියම් මූල්‍යමය වාසියක් ලබන්නේනම් එවැනි දේ එළිදරවු කරමින් වියාචනයක් කළ යුතුය. ස්වාධීන විමර්ශකයෙකු විසින් කිසියම් පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිඵලය හා ක්‍රමවේදය විමර්ශනය කිරීමේදී මෙවැනි වියාචන ඉදිරිපත් කර ඇත්නම් ඒවාද සැලකිල්ලට ගනී.

කෙසේවුවද, ඇතැම් විටෙක කිසියම් පර්යේෂකයෙකු මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නට ඉඩ තිබේ. එවැන්නක් එළිදරවු වීම යනු පර්යේෂකයෙකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයයි. එවැනි විටෙක ඒ වන විට පළ වී ඇති පර්යේෂණ පත්‍රිකාවක් ඉවත් කිරීම හා අදාළ පර්යේෂක කණ්ඩායම අසාදු ලේඛනගත කරනු ලැබීම, කලාතුරකින් වුවද, සිදුවේ.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෙකු හා උදරාබාධ විශේෂඥයෙකු (gastroenterologist) වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ප්‍රධාන පර්යේෂකයින් දොළොස් දෙනෙකු විසින් 1998 පෙබරවාරි මාසයේදී 'ලැන්සෙට්' විමර්ශිත ජර්නලයේ පළ කෙරුණු ලිපියකින් සිදුකර තිබුණේ ඉතා ආන්දෝලනාත්මක හෙලිදරවුවකි. මේ එළිදරවුව අනුව, උතුරු ලන්ඩනයේ හැම්ස්ටඩ්හි රාජකීය නිදහස් රෝහලේ ළමා උදර රෝග අංශයට 1996 ජූලි- 1997  පෙබරවාරි අතර කාලයේදී ප්‍රතිකාර සඳහා අනුපිළිවෙලින් පැමිණි වයස 6-10 අතර පිරිමි දරුවන් 11 දෙනෙකු හා ගැහැණු දරුවෙකු බඩවැලේ ආසාදනයකින් හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයකින් (gastrointestinal disease and developmental regression) පෙළුණු බවත්, මේ දරුවන්ගේ දෙමවුපියන් විසින් සපයා ඇති තොරතුරු අනුව දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකුම ඉහත රෝග තත්ත්වයන් ප්‍රදර්ශනය කර ඇත්තේ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝග සඳහා ලබාදෙන ත්‍රිත්ව එන්නත (MMR) ලබාදීමෙන් පසුව බවත් එම හෙළිදරවුවයි.

ඉතාම සුළු නියැදියකින් ලබාගත් දත්ත මත පදනම් වූ, සැකයක් පමණක් එළිදරවු කෙරුණු, මේ පර්යේෂණ පත්‍රිකාව පළවීමට සමගාමීව වෛද්‍ය වේක්ෆීල්ඩ් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් MMR ත්‍රිත්ව එන්නත හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයක් වන ස්වේච්ඡතාව (Autism) අතර තිබිය හැකි සම්බන්ධයක් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු කරවූවේය. එතැනින් පටන්ගත් MMR ත්‍රිත්ව එන්නතට එරෙහි වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය දිගින් දිගටම විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගත් අතර බොහෝ දෙනෙකුගේ අවධානයද දිනා ගත්තේය. වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය මූලිකවම එල්ල වූයේ රෝග තුනක් වෙනුවෙන් ලබාදෙන තනි එන්නතක් වූ MMR ත්‍රිත්ව එන්නතට එරෙහිවය. ඒ හැර, ඔහු පොදුවේ එන්නත් වලට එරෙහි නොවූ අතර MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන වැඩිදුර කරුණු සොයා බලන තුරු මෙම ත්‍රිත්ව එන්නත ලබා ගැනීමෙන් වැලකී, ඒ වෙනුවට විකල්පයක් ලෙස එක් එක් රෝගය සඳහා තනි එන්නත් ලබා ගත යුතු බව යෝජනා කළේය.

වේක්ෆීල්ඩ් විසින් මේ අනාවරණය සිදුකරන විටද, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලද සැලකිය යුතු ප්‍රතිශක්තිකරණ විරෝධීන් පිරිසක් සිටියහ. ඔවුන් විසින් බොහෝ විට ප්‍රදර්ශනය කළේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ විරෝධයකි. මෙවැනි කණ්ඩායම් විසින් පැතිරවූ විවිධ දුර්මත හෝ තහවුරු නොවූ කරුණු අතර වූ ප්‍රතිශක්තිකර
ය ඇත්තටම ප්‍රයෝජනයක් නැති ඖෂධ සමාගම් විසින් ලාභ වැඩි කරගැනීමට කරන කටයුත්තක් බවත්, ප්‍රතිශක්තිකරණ එන්නත් වල හානිකර විෂ රසායන ඇති බවත්, මේ එන්නත් නිසා වඩා භයානක වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් වැනි කරුණු පිළිගන්නට කැමති පිරිස් කලක සිටම සිටියේය. ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් විසින් සමස්තයක් ලෙස ප්‍රතිශක්තිකරණය කිරීමෙන් වැළකිය යුතුයැයි නොපැවසූ නමුත් ඔහු ඉතා ඉක්මණින් මේ කණ්ඩායම් වල වීරයෙක් විය. මෙතෙක් බොහෝ විට කටකතා වලට පමණක් සීමා වූ ප්‍රතිශක්තිකරණයේ හානිකර විපාක එළිදරවු කරමින් වේක්ෆීල්ඩ් විසින් ලැන්සෙට් වැනි පිළිගත් විමර්ශිත ජර්නලයක පළ කළ ලිපිය මේ 'කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ට' ලැබුණු මහඟු මැණිකක් විය.

මේ වන විට, අසූව දශකයේ අග (1988) සිට බ්‍රිතාන්‍යයේද, හැත්තෑව දශකයේ මුල (1971) සිට ඇමරිකාවේද වසරක් සපිරිණු දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබාදෙමින් පැවති අතර සරම්ප හා රුබෙල්ලා රෝග එම රටවලින් සම්පූර්ණයෙන්ම වාගේ දුරු වෙමින් පැවතියේය. වේක්ෆීල්ඩ්ගේ 'එළිදරවුව' පළමුව බ්‍රිතාන්‍යයේත්, පසුව ඇමරිකාවේත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳ දැමීමට සමත් වූ අතර එන්නත ලබාගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටෙන්නට විය.

දරුවෙකුගේ ස්වේච්ඡතාව පිළිබඳ රෝග ලක්ෂණ මුලින්ම පහළ වන්නේ වසරකට පමණ පසුවය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ MMR ත්‍රිත්ව එන්නත ලබා දුන්නේද දරුවෙකු වයස වසරක් සම්පූර්ණ කරද්දීය. මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය. ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. ඒ අනුව, වේක්ෆීල්ඩ් විසින් විසි කළ ගිණි පුපුරට තවත් බොහෝ දෙනෙකු අතින් පැට්‍රෝල් වැටී ප්‍රතිශක්තිකරණ විරෝධය බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රධානව ලෝකය පුරා පැතිරෙන්නට විය.

මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ. ඒ නිසා එතිල්මර්කරි සුළු මාත්‍රාවකින් සිරුරට සැලකිය යුතු බලපෑමක් සිදුනොවේ. කෙසේවුවද, එවකට ළමා එන්නත් බොහොමයක අඩංගු වූ, තිමරසල් ස්වේච්ඡතාවට හේතුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට විය. එහෙත්, MMR ත්‍රිත්ව එන්නතෙහි කිසිදු දිනෙක තිමරසල් අඩංගු වූයේ නැත.


ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙන්නේ කිසියම් රෝගයකට හේතුවන වයිරසයකින් සුළු මාත්‍රාවක් ජීවී හෝ මැරුණු ආකාරයෙන් සිරුරට එන්නත් කර සිරුර තුළ අදාළ රෝගයට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති කිරීමයි. ප්‍රතිශක්තිකරණය නිසා ලැබෙන වාසි (හෝ අවාසි) වල කොටස් දෙකකි. පළමුව, එහි පුද්ගලික ප්‍රතිලාභ තිබේ. ඊට අමතරව, ප්‍රතිශක්තිකරණයේ සමාජ ප්‍රතිලාභද තිබේ.

ප්‍රතිශක්තිකරණයේ පුද්ගල ප්‍රතිලාභ අතර උඩින්ම තියෙන්නේ අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ සැලකිය යුතු ලෙස අඩුවීමයි. ප්‍රතිශක්තිකරණය කිරීමෙන් පසුව වුවද, අදාළ වෛරසය සිරුරට ඇතුළු වූ විට රෝගය නොවැළඳීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එහෙත්, එම ඉඩකඩ සැලකිය යුතු තරම් අඩුවේ. උදාහරණයක් ලෙස MMR ත්‍රිත්ව එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු වෛරසය සිරුරට ඇතුළු වූ විට සරම්ප රෝගය වැළඳීමේ ඉඩකඩ 93% දක්වාත්, දෙවරක්
ගැනීමෙන් පසු 97% දක්වාත් අඩුවේ. එමෙන්ම, ඇතැම් පුද්ගලයින්ට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති බැවින් එන්නත නොගත්තද රෝගය සමඟ සටන් කළ හැකි ස්වභාවික ප්‍රතිශක්තියක් සිරුරේ තිබේ. එවැනි අයෙකුට වසංගත තත්වයකදී වුවද රෝගය නොවැළඳී බේරී සිටින්නට පුළුවන.

අනෙක් අතට, කිසියම් එන්නතක් ලබාගන්නා පුද්ගලයෙකුට ඇතැම් අවදානම් වලට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි එක් අවදානමක් වන්නේ එන්නත හේතුවෙන් අදාළ රෝගය වැළඳීමට සුළු ඉඩකඩක් තිබීමයි. මෙය අවම කිරීම සඳහා සිරුරට එන්නත් කරන වෛරස් මාත්‍රාව අඩු කළ විට, එන්නතේ සඵලතාවය එනම් එමඟින් රෝගය වැළැක්වීමට ඇති ඉඩකඩ අඩුවේ. අනෙක් අතට එන්නතක සඵලතාවය වැඩි කිරීමට වෛරස් මාත්‍රාව වැඩි කළ විට, එන්නත නිසා රෝගය හැදෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යයි. එන්නතක අඩංගු විය යුතු වෛරස් මාත්‍රාව තීරණය කරන්නේ මේ සම්භාවිතාවන් දෙක සමතුලිත කරමිනි.

මෙයට අමතරව එන්නතක් නිසා විවිධ අතුරු ආබාධ වැළඳීමේ ඉඩකඩක්ද පවතී. එහෙත්, බොහෝ විට එවැනි අතුරු ආබාධ දරුණු ඒවා නොවේ; එන්නත ලබාදුන් තැන ඉදිමීම හෝ රතුවීම වැනි ලොකු අපහසුතාවයක් ඇති නොකරන අතුරු ආබාධයි. වඩා දරුණු අතුරු ආබාධ ඇති වීමටද ඉතා සුළු ඉඩකඩක් තිබේ. මේ අවාසි වලට අමතරව එන්නතක් සඳහා වැය කළ යුතු මිලද එන්නත් ලබා ගන්නා තැනැත්තාගේ අවාසියකි. මේ වාසි අවාසි එකතු කළ විට බොහෝ දෙනෙකුට පුද්ගල මට්ටමින් වුවත් සිදුවන්නේ ශුද්ධ වාසියකි. එහෙත්, එය එසේ නොවන අයද සිටින්නට පුළුවන.

කිසියම් රෝගයක් පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කරන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයින්ය. බොහෝ විට, මෙවැනි රෝගියෙකු රෝග ලක්ෂණ මුලින්ම පහළ කරන විටත් සෑහෙන කලක් රෝග වාහකයෙකු ලෙස කටයුතු කර අවසන්ය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දින ගණනක් තිස්සේ ඔබ විසින් ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුට මේ වෛරසය ප්‍රදානය කරයි. ඔවුන්ගෙන් ඇතැම් අයට මේ වෛරසය මැඬ පවත්වා ගැනීමට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එහෙත්, සියල්ලන්ටම එය කළ නොහැකිය.

අනෙක් අතට, ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුගෙන් ඔබේ සිරුරට විවිධ වෛරස ඇතුළු විය හැකි නමුත් ඒ හැම විටම ඔබ රෝගී වන්නේ නැත. නමුත්, ඔබට එදිනෙදා හමුවන රෝගවාහකයින් ගණන වැඩි වන තරමට ඔබටද අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවේ. කිසියම් ප්‍රදේශයක කිසියම් රෝගයක වාහකයින් ගණන යම් නිශ්චිත සීමාවක් ඉක්මවූ විට එම ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ අදාළ රෝගයට මොනයම් අයුරකින් හෝ අනාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවේ.

යම් තැනැත්තෙකු විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසුව එම තැනැත්තා රෝග වාහකයෙකු බවට පත්වීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. කිසියම් ප්‍රදේශයක බොහෝ දෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් විට එම ප්‍රදේශයෙන් අදාළ රෝගය පතුරුවන වාහකයෙකු හමුවීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. ඒ නිසා, ඔබ එන්නත් කර නොතිබුණත්, වෙනත් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇත්නම් අදාළ රෝගය ඔබට වැළඳීමට ඇති ඉඩකඩද අඩු වේ. මේ ප්‍රතිශක්තිකරණයේ ඇති සමාජ ප්‍රතිලාභ කොටසයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් වල ඇති ඉහත සමාජ ප්‍රතිලාභයේ ඵලයක් ලෙස කිසියම් වසංගත රෝගයක් හැදීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යම් රටක ජීවත් වන සියළු දෙනාවම ප්‍රතිශක්තිකරණය කළ යුතු නැත. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය වී සිටින ප්‍රමාණය මුළු ජනගහණයෙන් 90-95%ක් පමණ වූ විට, රෝගයක් පැතිරවීමට ප්‍රමාණවත් වාහකයින් පිරිසක් නොමැති නිසා අදාළ රෝගය වැළඳීමේ ඉඩකඩ මුළුමනින්ම වාගේ නැති වේ. ඒ නිසා, විවිධ හේතූන් මත එන්නත් ලබා දිය නොහැකි කොටස් හා 'ප්‍රතිශක්තිකරණ විරෝධී' සුළු ප්‍රතිශතයක්ද සිටීම රෝගයක් මුළුමනින්ම දුරු කිරීමට බාධාවක් නොවේ. මේ ගණන රෝගය අනුව සහ වෙනත් සාධක මත වෙනස් වන අතර මීට වඩා බෙහෙවින් අඩු හෝ වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන. මේ සාධකය සමූහ ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හෝ ප්‍රජා ප්‍රතිශක්තිය (community immunity)
ලෙස හැඳින්වේ.

වසංගත රෝග තත්ත්වයක් ඇති වූ විට වැඩිපුරම එහි ගොදුරු බවට පත්වන්නේ කුඩා දරුවන්, මහල්ලන්, ගර්භණී කාන්තාවන්  හා කිසියම් හේතුවක් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය අහිමි කරගෙන සිටින -උදාහරණයක් ලෙස අවයව බද්ධයකින් පසු එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ගනිමින් සිටින- වැනි සාපේක්ෂව 'දුර්වල' අයයි. රෝගයකට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති තරුණ හා නිරෝගී අය බොහෝදෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන රෝග වාහකයින් ඇති වීමේ ඉඩකඩ අවම කළ විට එයින් විශාලම වාසිය සැලසෙන්නේ මෙවැනි කොටස් වලටය. ඒ අතින් මෙය තමන්ටත් වාසියක් ලබමින් සමාජයේ දුර්වල අයටත් උදවුවක් කළ හැකි කටයුත්තකි.

වේක්ෆීල්ඩ්ගේ MMR ත්‍රිත්ව එන්නත් විරෝධය හේතුවෙන් දැල්වුණු ප්‍රතිශක්තිකරණ විරෝධී රැල්ල ඇතිවන විට බොහෝ බටහිර රටවල් සමූහ ප්‍රතිශක්ති තත්ත්වයට ළඟා වී සරම්ප වැනි රෝග එම රටවලින් මුලිනුපුටා දැමීමට ආසන්නව සිටියේය. මේ අතරතුර, වර්ධනය වන්නට වූ එන්නත් විරෝධය නිසා බොහෝ දෙනෙකු සිය දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේය. ඇතැම් අය එන්නත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නටත් පටන් ගත්තේය. ඒ සමඟම බටහිර රටවල වසංගත රෝග අවදානම, විශේෂයෙන්ම සරම්ප අවදානම, විශාල ලෙස ඉහළ යන්නට විය.

ඒ වන විට (හෝ ඉන් පසුව මේ වන තුරු) තිමරසල් අඩංගු එන්නත් හේතුවෙන් එන්නත ලබාදුන් තැන රතු වීම හා ඉදිමීම හැර වෙනත් අතුරු ආබාධ ඇති බවක් තහවුරු වී නොතිබුණත් එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වැඩි වැඩි කර සමූහ ප්‍රතිශක්ති මට්ටම පවත්වාගැනීමේ මූලික  පියවරක් ලෙස 1999 ජූලි මාසයේ සිට තිමරසල් රහිතව එන්නත් නිෂ්පාදනය කිරීමට හෝ එන්නත් වල අඩංගු තිමරසල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ළමා වෛද්‍ය ඇකඩමිය, රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) හා ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදකයෝ එකඟ වූහ. කෙසේ වුවද, පෙරද කී පරිදි MMR ත්‍රිත්ව එන්නතේ කිසිදිනෙකත් තිමරසල් අඩංගු වූයේ නැත.


ත්‍රිත්ව එන්නත් විරෝධයට මුල් වූ වේක්ෆීල්ඩ් පර්යේෂණ පත්‍රිකාවේ එම එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධයක් ගැන සැකයක් මතු කර තිබීම හැර එවැන්නක් තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් කර නොතිබුණේය. එමෙන්ම, එහි නිගමන පදනම් වී තිබුණේ ඉතා සුළු නියැදියකින් (12 දෙනෙකුගෙන්) ලබාගත් දත්ත මතය. මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක්  සාමාන්‍යයෙන් ලැන්සෙට් වැනි ජර්නලයක පළ නොකෙරෙන නමුත් මෙය එහි පළ කර තිබුණේ අදාළ කරුණේ ඇති වැදගත්කම නිසාමය.

මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය. ඒ අතර, ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව සඳහා දායක වූ පර්යේෂකයින් දහදෙනෙකු එහි නිගමන පදනම් විරහිත බව පවසමින් ඉල්ලා අස් කර ගත්තේය. මේ කරුණු මෙසේ සිදුවෙද්දී, ජනතා අවධානය තවදුරටත් වැඩිපුර ලැබුණේ වේක්ෆීල්ඩ්ගේ මුල් මතයටය. 


මේ අතර, ප්‍රතිශක්තිකරණ විරෝධීන්ගේ වීරයෙකු වූ වේක්ෆීල්ඩ් ඇමරිකාවේ සංචාරය කරමින්, ස්වේච්ඡතාව පිළිබඳ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙමින්, දේශන පවත්වන්නට පටන් ගත්තේය. ඇමරිකාවේදී MMR ත්‍රිත්ව එන්නත් විරෝධය සම්පූර්ණ එන්නත් විරෝධයක් බවට හැරුණු අතර, මේ ව්‍යාපාරය විසින් වේගයෙන් ඉහළ යන හඳුනාගත් ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන වැඩිවීම සමඟ සම්බන්ධ කරමින් ප්‍රවාද ගොඩනඟන්නටත් පතුරුවන්නටත් විය. මේ මතවාද වේගයෙන් පැතිරෙද්දී MMR ත්‍රිත්ව එන්නත ලබා ගන්නා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යන්නට විය. පර්යේෂණ පත්‍රිකාව පළ වන විට 92% මට්ටමේ පැවති බ්‍රිතාන්‍යයේ MMR එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමටද වඩා පහත වැටුණු අතර ලන්ඩන් නගරයේ මේ අනුපාතය ඉතාම පහළ මට්ටමකට වැටුණේය. 2000 නොවැම්බරයේදී වේක්ෆීල්ඩ් CBS රූපවාහිණී චැනලය විසින් නිෂ්පාදනය කළ MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා වසංගත අවදානම පිළිබඳ පැයක වාර්තා වැඩසටහනක පෙනී සිටිද්දී ජෙනී මැකාති වැනි නිලියන් ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී වන්නට විය.

මෙසේ කල් ගත වෙද්දී, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හා චැනල් ෆෝ රුපවාහිනී නාලිකාව වෙනුවෙන් බ්‍රයන් ඩියර් විසින් විමර්ශනයක් ආරම්භ කළේය. බ්‍රයන් ඩියර්ගේ විමර්ශනය හේතුවෙන්, ඉහළ මධ්‍යම පාංතික වෛද්‍ය යුවලකගේ දරුවකු ලෙස ඉපිද පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබා තිබුණු, සල්ලි පසුපස නොහඹන අවංක හා ස්වාධීන පර්යේෂකයෙකු බව බැලූ බැල්මටම පෙනෙන, "වෙන්ඩ ටොයියෙකු නොව සැබැවින්ම පොෂ් ටොයියෙකු වූ", වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පිළිබඳ ඇත්ත එළිවිය.


ලැන්සෙට්හි පළ කළ පර්යේෂණය සිදුකරන්නට හිතන්නටත් පෙර, ත්‍රිත්ව එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර විශාල වන්දි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කළ රිචඩ් බාර්නම් නීතිඥයෙකු විසින් ඒ සඳහා උදවු ලබා ගැනීමට වේක්ෆීල්ඩ්ට මුදල් ගෙවා තිබුණේය. ස්වේච්ඡතාව වැළඳුණු දරුවන් පිලිබඳ මාධ්‍ය වාර්තා අනුව යමින් සම්බන්ධ කරගත් බ්‍රිතාන්‍ය පවුල් 1,600ක් වෙනුවෙන් අදාළ සමාගමෙන් වන්දි ලබාගෙන එමඟින් විශාල මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වූ, රිචඩ් බාර් තමන්ට අවශ්‍ය කතාව ගෙතීමට වේක්ෆීල්ඩ්ගේ උදවු සොයා එද්දී වේක්ෆීල්ඩ් විසින් බාර් සමඟ හෙට්ටු කර පැයකට පවුම් 150ක් බැගින් පවුම් 435,643ක මුදලක්ද සහ වෙනත් අමතර වියදම්ද ඔහුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර තිබුණු සමාගමක් හරහා ලබාගෙන තිබේ.

මේ මුදල වේක්ෆීල්ඩ්ගේ වාර්ෂික ආදායම මෙන් අටගුණයකට වඩා වැඩිය. මෙසේ වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇත්තේ අඩුආදායම් ලබන්න
න්ට නීති සහාය ලබා දීම සඳහා ස්ථාපිත කර තිබුණු එක්සත් රාජධානියේ නීති ආධාර අරමුදලේ මුදල්ය. මෙයට අමතරව මේ කටයුත්ත සඳහා තවත් පවුම් 55,000ක පර්යේෂණ ආධාර මුදලක්ද වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇති අතර ලැන්සෙට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන විට ඔහු මේ කිසිවක් එළදරවු කර නැත. එය බරපතල ලෙස ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.

වේක්ෆීල්ඩ් විසින් ලබාගන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන ආර්ථික වාසිය මෙය නොවේ. ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව පළ වන්නට මාස 9කට පෙර ඔහු විසින් සරම්ප රෝගය සඳහා ලබා දිය හැකි තනි එන්නතක් සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. එයට වාණිජ වටිනාකමක් ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත වෙළඳපොළෙන් ඉවත් වුවහොත් පමණක් බව කිව යුතු නැත.

මේ මූල්‍යමය කරුණු හැරුණු විට වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණයද කියන ආකාරයටම සිදුවී තිබුණේ නැත. පර්යේෂණය සඳහා යොදාගත් දරුවන් දොළොස්දෙනා ඔහුගේ සායනයට පැමිණි අහඹු රෝගීන් නොවූ අතර ත්‍රිත්ව එන්නත් විරෝධීන් යොදවාගෙන විශේෂයෙන් සොයාගත් රිචඩ් බාර්ගේ පාරිභෝගිකයින්ව සිටි අයයි. මේ කිසිවකු ලන්ඩනයේ ජීවත් වූ අය නොවූ අතර එක් අයෙක් පැමිණ තිබුණේ ඇමරිකාවෙනි. තවත් දෙදෙනෙක් සැතපුම් 280ක් දුරින් පිහිටි වෙනත් නගරයකිනි. මේ අයගෙන් ඇතැම් අය MMR එන්නත ලබා දීමට පෙරද ස්වේච්ඡතා රෝග ලක්ෂණ පෙන්වා තිබුණු බවත්, තවත් ඇතැම් අය ඉන් පසුවද එම රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බ්‍රයන් ඩියර් විසින් අනාවරණය කෙරුණේය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2010 ජනවාරි මාසයේදී ලැන්සෙට් සඟරාව තනිකරම බොරුවක් වූ වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉවත් කළ අතර එම වසරේම මැයි මාසයේදී වසර දෙකහමාරක විමර්ශනයකින් පසුව ඔහුගේ බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපංචිය අහෝසි කරනු ලැබ දෙසැම්බරයේදී එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.

කෙසේවුවද, වේක්ෆීල්ඩ් විසින් ස්වාභිවෘද්ධිය අරමුණු කර ගනිමින් දැල්වූ ප්‍රතිශක්තිකරණ විරෝධය එයින් නොනැවතුණු අතර ඔහු අදටත් කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ගේ වීරයෙකි. මෙය බොහෝ රටවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර රටවල් ගණනාවක
වසංගත රෝග අවදානම් වැඩි කර තිබේ.

43 comments:

  1. ඉකොන් මේක ඉතාම කාලින ලිපියක්. මම දැක්කා කෙන්නේක්ගේ සිතුවිලි කිහිප තැනකම ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝදී අදහස්. මේ ගොල්ලෝ මුළු කතාවම දන්නේ නැහැ. කැල්ලක් අල්ලගන බොරුවට කෑගහනවා.

    ReplyDelete
    Replies
    1. වත්මන් යුගයේ මාධ්‍ය හා දේශපාලනය වී තිබෙන්නේ මේ කෑල්ලක් අල්ලාගෙන කෑගැසීම තමයි, ඇනෝ. පෙරත් එය එසේ වුණත් සමාජ ජාලා හේතුවෙන් අද එය වඩා විශාල පරිමාණයකින් සිදුවෙනවා.

      Delete
  2. අගනා ලිපියක්...විශිශ්ටයි....

    ReplyDelete
  3. ලංකාවෙත් මහාචාරියෙක් ඉන්නවා නේද මේවගේ පේන කියන

    ReplyDelete
    Replies
    1. එවැනි අයට "පේන" දේ "කියනවා" ඇති.

      Delete
  4. පරීක්ශණ කරන්නේ තව්තිසාවේ ලැබ් එකේ නිසාත්, නිරීක්ෂණ හීනෙන් නිසාත් , නිගමන නාත දෙය්යෝ දෙන නිසාත් ඔය ප්‍රස්න මෙහෙ නැත

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ප්‍රශ්න නැති වීමම ප්‍රශ්නයක්!

      Delete
  5. ඉතාම වටිනා කරුණු රැසක් සපිරි ලිපියක් ...

    ReplyDelete
  6. Replies
    1. අපේ සාරස උන්නැහැගෙ වල්ලපට්ට රිසර්ච් එකට දැන් මොකෝ වෙලා තියෙන්නෙ ?

      Delete
  7. විකල්ප වෛද්‍ය ප්‍රතිකාර සොයන පිරිස ඒවාට යොමුවීම ගැන මා නම් විරෝධයක් දක්වන්නේ නැහැ. එයාලගේ කැමැත්තනේ ඉකෝ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ම ජිවත් වෙමින්, හුදු අවධානය දිනාගැනීමේ ආශාවෙන් මේවට විරුද්ධව සමාජ ජාල වල ලිවීම තමා සිනහවට කරුණ.

    සමහර පර්යේෂකයන් මුළු ජිවිතයම කැප කළ දේවල් ගැන, එක යූ ටියුබ් වීඩියෝවක් බැලීමෙන් පසු විශේෂඥයන් බවට පත්වී කරුණු ඉදිරිපත් කරනවා. මේ අය එක පර්යේෂණ පත්‍රිකාවක් හෝ කියවා නැති වග කියන පරස්පර අදහස් වලින් පැහැදිලියි.

    අපගේ ජිවිත වලට වෙලා තියෙන්නේ ප්‍රශ්න (අපගේ මෑත ඉතිහාසයේ පවා තිබුන) දැන් නැතිවීමයි. වසංගත රෝග බොහෝ දුරට මැඩ පවත්වා තිබීම ඉන් එකක්. කොමියුනිටි-ඉමුයුනිටි කියන එක තුරන් වුවොත්, මේ අයියලාට යලිත් අපගේ අතීතයේ තත්ත්ව වලට යන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන මගේ කිසිම විරෝධයක් නැහැ, රයිගම්. ඒවා ගැන නිසි පර්යේෂණ සිදුවනවානම් වඩාත් හොඳයි. විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ජනප්‍රිය වීමට එක හේතුවක් වන්නේ ප්‍රධාන ධාරාවේ වෛද්‍යවරුන් ප්‍රායෝගිකව කටයුතු කරන ආකාරයයි.

      Delete
  8. කාලීන ලිපියක්. සයිටම් විරෝධය තනිකරම පන්ති සටනක්. ඔය විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ගමේ ගොඩේ බයියන්ගෙ, කුහකත්වය සහ ඉරිසියාව තමයි සයිටම් විරෝධයෙන් පෙන්වන්නෙ. සයිටම් ප්‍රමිතියක් නැත්නම්, ඔවුන්ට රජයේ පත්වීම් නොදී සිටියනම් ඉවරයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මුන්ට ඉරිසියයි. අනික සයිටම් එකේ ඉන්නෙ පොෂ් කට්ටිය, බයියො කවුරුත් නෑ. සිංහලෙන් ඉගෙනගෙන, මෙඩිකල් ගියාම කඩ්ඩ ඉගෙන ගන්න බයියො දඟලන දැඟලිල්ල. උන්ට පාස් අවුට් වෙලා එලියට ආවමත් හරියට කඩ්ඩ බෑ. හරිනම් පිටරට යුනිවල වගේ IELTS හරි TOEFL හරි අනිවාර්ය කරන්න ඕනෙ මෙඩිකල්, ඉන්ජිනියරින් යන්න ඉස්සර වෙලා.

    ReplyDelete
    Replies
    1. මෙම කොමන්ටුව මෙමෙ පොස්ටුව හා කිසිම සබැදියක් නැති බැවින්, කරුණාකර මල්ලේ පොල් බ්ලොගයේ දමන්න!

      Delete
  9. ටෞකණ්ඩ.. මේ වේක්වෙල්විදානේට මක් කරලවත් හිතට ඇති වෙයිද?

    අනික් උන් තමයි ඔය බොරු කුමන්ත්රණ කාරයෝ.. උන්ගේත් තියෙන්නේ වෙනම ඇජේනඩා නේ.. ඔව්න් නිසා තමයි අත්තක් කියන මිනිහෙක්වත් ඒක කියන්න අකමැති..

    ReplyDelete
    Replies
    1. "ටෞකණ්ඩ".. හෙහ් මරු වචනේ.. මෙක උඹේම නිර්මාණයක් ද ?

      Delete
    2. පිස්සුද යකෝ. අපේ මුතුන් මිත්තෝ ටෞකණ බුදුපිලිමේ හැදුවේ ක්‍රිස්තු පූර්ව කාලේ. පව් සිද්දවෙන කතා නොකිය හිටු

      Delete
    3. කමී: දෙවන කොටසත් කියවන්න. (ඔබේ පෝස්ට් එකෙන් අගය කිරීම ගැන ස්තුතියි!)

      Delete
  10. මට මතක හැටියට ලංකාවෙත් ඔය එන්නත දෙන එක නැවැත්තුව ද කොහෙද ? ලෝකෙ කොහෙත් ජහමනයා කියන්නේ ‍රැවටෙන්න බලන් ඉන්න ජාතියක් නේද ?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමෙන් ඒ කාලයේ ලංකාවේ ලබා දී තිබෙන්නේ MR ද්විත්ව එන්නත. එයටත් ප්‍රතිරෝධයක් ඇති වී තිබෙනවා. හරියටම තොරතුරු හෝ වැඩියමක් කියන්න දන්නේ නැහැ.

      Delete
  11. This is an exact quote from the research paper published by Andrew Wakefield.
    "We wish to make it clear that in this paper no causal link was established between (the) vaccine and autism, as the data were insufficient."
    Yet these people who read into it says there is a link.
    First these people should learn how to read and critique a research paper.

    ReplyDelete
    Replies
    1. Most people, including many educated Americans, find it hard to understand the difference between causality and correlation, Ano.

      Delete
  12. හැමතැනම යන්නේ එක එකාගේ ගේම්, අන්තිමට මිනිස්සු තමයි තැලෙන්නේ...

    මේ වගේම අජිනමොටෝ (මොනෝ සෝඩියම් ග්ලුටමේට්) ගැනත් යමක් ලියන්න බැරිද...
    සමහර ලිපි වල අවුලක් නැහැ කියනවා, සමහර ලිපි වල උග්‍ර පිළිකාකාරක කියල කියනවා...

    ReplyDelete
    Replies
    1. මෙය විවාදාත්මක දෙයක්, ලොකු පුතා. මෑතකදී සිදුකළ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ MSG වල නරක ප්‍රතිඵලයක් සොයා ගන්නට නැති බවයි. එවැනි නරක ප්‍රතිඵල පෙන්වූ පර්යේෂණ බොහොමයකදී සිදුවී ඇත්තේ මීයන් වැනි සතුන්ට MSG එන්නත් කිරීමයි. මිනිසුන් MSG ආහාරයට ගනු මිස එන්නත් කර නොගන්නා නිසාත්, එවැනි පර්යේෂණ වලදී යොදාගත් තරම් අධික මාත්‍රාවන් නොගන්නා නිසාත් එම පර්යේෂණ ප්‍රතිඵල අදාළ නොවන බව බොහෝ දෙනෙකුගේ මතයයි. කොහොමවුනත්, අහිතකර නැති බව කියන්නේ සීමිත MSG ප්‍රමාණයක්.

      Delete
  13. ඇත්ත සහ බොරුව හඳුනාගන්න ඉඩ විවෘත කරපු ලිපියක්. පෝලියෝ එන්නත ලබාදෙන්න පකිස්තානයේ මිනිස්සුන්ට කියලා දෙන එක යුද්ධයකට වඩා අමාරුයි. ඒ බව ඩොකියුමෙන්ට්‍රියක දැක්කා.

    ReplyDelete
    Replies
    1. දැනුම බහුතරයක් වෙත ගෙනයාම මේ සියවසේ ලොකුම අභියෝගය වෙන්න පුළුවන්.

      Delete
  14. නියම ලිපියක් ඉකොන් බොහෝ දේ අලුතෙන් දැනගත්තා.

    වෛද්‍ය ලියාපංචිය අහෝසි කිරීම හැර වෙනත් දඩුවමක් වේක්ෆීල්ඩ්ට ලැබුනේ නැතිද ?

    ReplyDelete
  15. අනර්ඝ ලිපියක්. මේක කියවද්දී මට මතක් වෙන්නෙම අපේ රටේ Renewable Energy බිසිනස් හදාගන්ඩ ඕනේ හින්ද පරිසරවේදිය කියල තමන්ට කියාගෙන මිනිස්සුන්ට හුඹස් බියක් ඇති කරලා තමන්ගේ මඩිය තරකරගන්න බහුතරයක් පිරිස්!
    මිනිස්සුන්ට නිසි දැනුම ලබා නොදී ඔවුන් මිත්‍යාවෙන් තවත් මිත්යාවකට විද්‍යාව ආධාරයෙන් අද දමන ලංකාවේ අධමයන් සහ වෙක්ෆිල්ඩ් අතර වෙනසක් නැත.


    ReplyDelete
  16. ශ්‍රීලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලාසනධාරියා සායනික පර්යේෂණ සමාගමක හිමිකරුවෙකු නම් ? එහි ඇති ලබැඳියාව පිළිබද ගැටුමක් එතුමාට තේරෙන්න නැති බව කියනවා නම් ?

    ඒවගේම අපේ ශ්‍රී ලංකාවේ සායනික පර්යේෂණ පිලිබඳ නීති සකස් කර තිබෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාව අන්තිම නොසලකිල්ලකට භාජනය කරමින්.

    අනර්ඝ ලිපියක්.

    හැම ඇතිනම සම්පූර්ණ මේවගේ ලිපියක් ලියන්න වෙන මහන්සිය දන්නා නිසා ඊට හෘදයාංගම ස්තුතිය පළකරනවා.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ Bribers are world famous

      Delete
    2. ස්තුතියි, කෙන්කියුෂා! නොදන්න දේවල් ගැන ලියන එක වඩා පහසුයි. ටිකක් වැඩිපුර කරුණු දන්න මාතෘකාවක් ගැන ලියන විට වැඩි දෙනෙකුට තේරෙන ලෙස ඉදිරිපත් කළ යුතු නිසා ලිවිය යුතු හා නොලිවිය යුතු දේ ගැන හිතන්න වෙනවා.

      Delete
  17. බොහෝ දෙනෙක් දන්නේ නැතිවුනත් මේක තමයි ලෝකයේ සිදුවන දරුණු මාෆියාව. එක පුදගලයෙක්ගේ දෙන්නෙක්ගේ උවමනාව පිට ලෝකයේම මිනිසුන් කරදරේ වැටීම. මොකක් හරි කොනක් අහුවුණාම හරි වැරදි නොබලා විශාලනය කිරීම ලෝකයේ කොයි මධ්‍යයෙනුත් වෙන දෙයක්. මේ කාලය තුල රෝගය වැළඳීම නිසා කරදර විඳි දරුවන්, දෙමාපියන් ට වන්දි ගෙවන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි, රසුදැල්!

      Delete
  18. එකොනො, මම මේ ලිපිය ලියු වෙලේ එහි ඇවිත් මේ ප්‍රතිචාරය දැමුවා නම් හොඳ සංවාදයක් යන්න තිබ්බ. ඔබ කිසියම් හේතුවක් නිසා එය ප්‍රතික්ෂේප කරනවා. ඔබ ඔය කියන වෙක්ෆිල්ඩ් ප්‍රශ්නයට කලින් එංගලන්තයේ NHS එක මහජනයාට හොරෙන් එන්නත් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමුවා. ඒ ඒවායේ ප්‍රශ්න කාරී බව හෙළි වෙලා.
    මේ මගේ ලිපිය:
    බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් සමසමව භාවිත කරමුද?
    මම මගේ ළමයින් දෙන්නටම MMR එන්නත වෙනුවට තනි එන්නත් තුන බැගින් ලබා දුන්නා. පවුලේ GP සහ නර්ස් නුත් පසුව පාසලත් ඒක පිලි ගත්ත.
    ඊට කලින් මෙහෙ හැට්ෆිල්ඩ් වල MMR එන්නත් ලැබුණු එක්කම අසනීප වුනු දරුවන් දෙදෙනෙකු මුණ ගැසුන (දෙමාපියන්). බ්‍රිතාන්‍ය රජය මුලින් සද්ද්ද නැතිව හිටියත් හදල තියන මිලියන් ගානක MMR වක්සින විනාශ කරනන් වෙනවට ඔවුන් බයවුණා. අන්තිමට වෙක්ෆිල්ඩ් එලෙව්වට පස්සේ ඔවුන් මාත්‍රාව හොරෙන්ම අඩු කලා . හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා දෙවන කොටස බලන්න.

      http://economatta.blogspot.com/2017/02/blog-post_26.html

      Delete
  19. මම නම් එච්චර අවධානයක් නැතිව සිටි පැත්තක්.. හැබැයි මේ වගේ විකල්ප තර්ක (සාධාරණ අසාධාරණ කම කොහොම වුනත්) ගේන මිනිස්සු නිසා තව තවත් අලුත් දේ සොයා ගැනීමට හෝ තියෙන දේවල් වර්ධනය වීමට උපකාරී වීමකුත් වෙනවා නේද.. මේ කරුණු දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔව්, පැතුම්. පෙනෙන්න තියෙන දේම විශ්වාස නොකර වෙනත් අදහස් මතු කිරීම හොඳ දෙයක්. නමුත්, එසේ ඉදිරිපත් කරන විකල්ප අදහස් නිවැරදි නොවන බව තහවුරු වූ විට එය පිළිගැනීමට සංයමයකුත් ඒ සමඟම තිබිය යුතුයි. ඒ වගේම තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා කරුණු විකෘති කිරීම නිවැරදි යුතු නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: