වෙබ් ලිපිනය:

Thursday, March 16, 2017

ඔබේ ලග්නය කුමක්ද?

වලාකුළු අඩු රාත්‍රියක පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන ඔබට අහසේ ඇති සියදහස් ගණනක් තරු පහසුවෙන් දැකගත ගත හැකි වනු ඇත. මෙසේ ඔබ අහස නිරීක්ෂණය කරන්නේ අර කම්මල ඉපදුණු දවස වැනි මාසෙ පෝය ආසන්න දවසකනම් මේ නිරීක්ෂණය තවත් පහසු වනු ඇත. මේ කටයුත්ත දින ගණනක්, පැය ගණනක්, සති මාස ගණනක් එක දිගට කළහොත් ඔබට අහසේ ඇති එක් එක් තාරකා පිහිටා ඇති තැන් සහ ඒවා පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එහෙත්, මේ සියදහස් ගණනක් වූ තාරකා එකින් එක අහසේ තියෙන තැන හරියටම මතක තියා ගන්නේ කොහොමද?

අද අහස නිරීක්ෂණය කරන අයෙකු මේ කටයුත්ත කරන ආකාරයේත්, වසර දහස් ගණනකට පෙර අහස නිරීක්ෂණය කළ අයෙකු ඒ දෙයම කළ ආකාරයේත් ලොකු වෙනසක් නැත. මෙහිදී, අප කරන්නේ පොළොවට පෙනෙන තරු රටා හඳුනාගෙන ඒ රටා මතක තබා ගැනීමයි. එක ළඟ පිහිටි සේ පෙනෙන (එහෙත් ඇත්තටම ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි) මෙවැනි තරු කිහිපයක් සරල රේඛා වලින් යා කළ විට මනසින් මවා ගත හැකි රූපය, අප දන්නා සතෙකු හෝ වෙනත් වස්තුවක් සමඟ සසඳමින් නම් කිරීම මේ තරු පිහිටි තැන් මතක තබා ගැනීම පහසු කරයි.


රාත්‍රී අහසේ දක්නට දක්නට ලැබෙන විවිධ රටා ඇසුරින් අහස හඳුනාගත් පසු නිරීක්ෂකයෙකුට මේ තරු රටා අහසේ චලනය වන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. වසර දහස් ගණනකට පෙරද අපේ මුතුන් මිත්තන් විසින් හඳුනා ගත් පරිදි මේ තාරකා මණ්ඩල චලනය වුණේ තනි තනිව නොවේ. එක් පද්ධතියක් ලෙසිනි.

හැන්දෑවේ බටහිරින් හිරු බැස යද්දී නැගෙනහිරින් තරු පායා ආවේය. මෙසේ හැන්දෑවේ නැගෙනහිරින් පායා ආ තාරකාවෝ රෑ මැදියම වෙද්දී අහසේ  මුදුන් වී උදෑසන බටහිරින් බැස ගියෝය. ඇඳිරි වැටෙන විට අහසෙහි මුදුන්ව පැවති තාරකාවෝ රෑ මැදියම වෙද්දී බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී ගියේය. රෑ මැදියම වෙද්දී නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවුනු තාරකාවෝ උදෑසන වන විට අහසේ මුදුන්ව සිටියෝය. කිසියම් දිනෙක හැන්දෑවේ බටහිර ක්ෂිතිජයෙන් නොපෙනී යන තාරකාවක් පසුදින උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙහි දකින්නට ලැබුණේය. මේ නිසා, මේ තාරකා සියල්ලම එකම පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කරන බවත්, දිවා කාලයේ අපට නොපෙනුණත් මේ තාරකා අහසේ නිශ්චිත තැනක ඇති බවත් සියවස් ගණනාවකට පෙර ජීවත් වූ භෞතික විද්‍යාඥයෝ දැන සිටියහ.

හඳුනා ගැනුණු විවිධ තාරකා පද්ධති හා තාරකාවන් අතර ඒවා සමඟ එක්ව චලනය නොවෙමින්, වෙනස් වේගයකින් චලනය වුනු වස්තූන් කිහිපයක්ද හඳුනා ගැනුණු අතර මේවා ග්‍රහ වස්තූන් ලෙස හැඳින්වුනේය. මේ ග්‍රහ වස්තූන්ගේ චලිතයද රාත්‍රී කාලය තුළ නිරීක්ෂණය කිරීමෙන් ඒවා දිවා කාලය තුළ අහසේ චලනය විය යුතු ආකාරය පුරෝකථනය කිරීමටද ඔවුන්ට හැකිවිය.

කෙසේ වුවද, සෑම දිනකම හැන්දෑවේ නැගෙනහිරින් පායා ආවේ එකම තාරකා සමූහය නොවේ. කිසියම් දිනක උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු තාරකාවක් පසු දින හැන්දෑවේ දකින්නට ලැබුණේ අහසේ මඳක් ඉහළිනි. තවත් දිනකට පසු එම තාරකාව දකින්නට ලැබුණේ වඩාත් ඉහළිනි. ඒ තාරකාවම තෙමසකට පසුව හැන්දෑවේ අහස මුදුනේ පෙනෙන්නට තිබුණු අතර සමසකට පසුව හැන්දෑ වෙද්දී බටහිර ක්ෂිතිජයෙන් බැස යනු දැකිය හැකි විය.

අහසේ තාරකා සියල්ල එක් පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කළත් සෑම දිනකම රෑ මැදියම හෝ වෙනත් නිශ්චිත වෙලාවක අහසේ දක්නට ලැබුණු තරු පිහිටීම සමාන නොවීය. එය දිනෙන් දින ක්‍රමයෙන් වෙනස් විය. කෙසේවුවද, කිසියම් දිනෙක නිශ්චිත වෙලාවක අහසේ දැකිය හැකි වූ තරු රටාවන්ම තවත් කලකට පසු නැවතත් එසේම දකින්නට ලැබුණේය. සූර්ය වර්ෂයක් ලෙස හඳුනා ගැනුනේ මෙසේ නිශ්චිත වෙලාවක අහසේ දකින්නට ලැබෙන තරු රටාව ඒ අයුරින්ම නැවත දැකගන්නට ලැබීමට ගත වන කාලයයි.

සූර්ය වර්ෂයක් සූර්ය මාස දොළහක් ලෙස සැලකුනේය. මේ සූර්ය මාස නම් කෙරුණේ උදෑසන හිරු නැඟෙන විට නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු, හෝ තිබිය යුතුයැයි (නිවැරදිව) පුරෝකථනය කෙරුණු තාරකා පන්තියක නමිනි. පොළොව වටා නිශ්චිත අනුපිළිවෙලකට ගමන් කරන මෙවැනි තාරකා පන්ති දොළහක් හඳුනාගෙන තිබුණු අතර ඒ එක් එක් තාරකා පන්තිය එහි අඩංගු තාරකා වලින් මැවෙන රටාවෙන් සිතේ ඇඳෙන රුවක නමින් නම් කෙරුණේය. මේ එක් තරු රටාවක් ආසන්න වශයෙන් දින තිහක කාලයක් උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙන් මතුවෙයි. ඉන්පසුව උදෑසන අහසේ දකින්නට ලැබෙන්නේ වෙනත් තරු රටාවකි. වසරකට පසුව නැවතත් උදෑසන අහසේ මුල් තරු රටාව දකින්නට ලැබේ.

ජ්‍යෝතිෂය නොපිළිගන්නා ලාංකිකයින් වුවත් අසා පුරුදු ලග්න දොළොසේ නම් වලින් හඳුනා ගැනෙන්නේ මේ තරු රටාවන් දොළොසයි. ඒවා පිළිවෙලින් මෙසේය. 


මේෂ- එළුවා
වෘෂභ- ගවයා
මිථුන- ස්ත්‍රීපුරුෂ යුවලක් (මෛථුන්‍යය)
කටක- කක්කුට්ටා
සිංහ- සිංහයා
කන්‍යා- කන්‍යාව
තුලා- තරාදිය
වෘශ්චික- ගෝනුස්සා
ධනු- දුනුවායා
මකර- මකරා
කුම්භ- කලය
මීන- මාළුවා

ආසන්න වශයෙන් සිංහල අවුරුදු දින සිට දින තිහක පමණ කාලයක් ඉර උදාවෙද්දී ඉර හා ආසන්නව ක්ෂිතිජයේ දැකිය හැක්කේ මේෂ රාශියට අයත් තරු පංතියයි. ඊළඟ දින තිහ තුළ වෘෂභ රාශියට අයත් තාරකා පංතියද, තවත් දින තිහකින් පසුව මිථුන රාශියට අයත් තාරකා පංතියද සූර්යයා හා සම්පාතව අහසේ දැකිය හැකිය.

කිසියම් දිනක උදෑසන ඉර උදාව ආසන්නව ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ මෙසේ අදාළ දින තිහක කාලය තුල ඉර හා සම්පාත වී තිබුණු තරු පන්තියේ නමයි. වෙනත් වෙලාවක ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයෙහි පෙනෙන්නට තිබුණු හෝ දිවා ආලෝකය නිසා නොපෙනුණත් තිබිය යුතු තරු පන්තියේ නමයි. මේ තරු පන්ති දොළහම දවසේ කිසියම් වෙලාවක නැගෙනහිර ක්ෂිතිජය හා සම්පාතව තිබෙන නිසා දවසක් තුළ ඉපදෙන අයට මේ ලග්න දොළහෙන් කවරක් වුවද ලග්නය ලෙස හිමි විය හැකිය.

උදෑසන නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන තරු පන්තිය ආසන්න ලෙස පැය විසිහතරකට පසුව නැවතත් එහි දැකිය හැකි අතර
ක්ෂිතිජයෙහි එක් තරු පන්තියක් දර්ශනය වී පැය දෙකකට පමණ පසුව ඊළඟ තරු පන්තිය දර්ශනය වේ. ඒ නිසා කිසියම් දිනක ආසන්න ලෙස පැය දෙකක කාලයක් තුළ ඉපදෙන දෙදෙනෙකුට හිමි වන්නේ එකම ලග්නයයි. පැය දෙකක පරතරයක් ඇතිව ඉපදෙන අයෙකුට එක ළඟ ලග්න දෙකක් ලැබේ.

සිංහල අවුරුද්ද පසුවී මාස හයකට පසුව දිනක රසික ඉපදුණු දින වැනි දිනක ඉර උදාවන විට ක්ෂිතිජයෙහි දක්නට ලැබෙන්නේ හත්වන ලග්නය වන තුලා ලග්නයයි. එහෙත්, (මගේ උපකල්පන අනුව) රසික ඉපදී ඇත්තේ ඉර උදාවී පැය හතරකට පමණ පසුව නිසා ඒ වන විට තුලා හා වෘශ්චික ලග්න වලට අයත් තරු රටා ක්ෂි
තිජයෙන් මතු වී අවසානය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ ඇත්තේ ධනු ලග්නයට අයත් තරු පන්තියයි.

රාශි දොළහට අයත් තාරකා පන්ති ඇතුළු තාරකා පොළොවට සාපේක්ෂව චලනය වන්නේ එක් පද්ධතියක් ලෙස වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහයන් චලනය වන්නේ වෙනත් වේගයන්ගෙනි. කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ වස්තූන්ගේ පිහිටීම නැවතත් හරියටම සමාන ලෙස පිහිටන්නේ ඉතා විශාල කාලයකට පසුවය. ඒ නිසා, කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සෑහෙන දුරකට අනන්‍ය පිහිටීමකි.

කේන්ද්‍ර සටහනක් යනු කෙනෙකු ඉපදෙන මොහොතේ හෝ වෙනත් නිශ්චිත වෙලාවක පොළොවට හා නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා තවත් ග්‍රහ වස්තු කිහිපයක පිහිටීම පෙන්වන සටහනකි. මේ සටහනෙන්, නිරවද්‍යතා සීමාවකට යටත්ව, යම් පුද්ගලයෙකු උපන් මොහොත වැනි කිසියම් මොහොතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේ. 


 (කලකට පෙර ලියා පළ නොකළ ලිපියකි. කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණකින් ලියන්නක් නොවේ.)

(Image: http://wuwm.com/post/tips-how-observe-night-sky#stream/0)

29 comments:

  1. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
    Replies
    1. නෙලුම්යාය "බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන" පිරිස අතර ඉකොනොමැට්ටා නැති අතර සම්මාන උලෙළේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නෙලුම්යාය සඳහා වෙහෙසෙන අයෙකුගේ ඉල්ලීම පරිදි දකුණේ උඩ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමේ තිබෙන මූලික තොරතුරු වලට වඩා වැඩි යමක් ඉකොනොමැට්ටා දන්නේ නැත. නෙලුම්යාය සංවිධායකයින් විසින් කරන ඕනෑම යහපත් කටයුත්තක ගෞරවය ඒ සඳහා වෙහෙසෙන අයට හිමිවිය යුතුය. මා පෞද්ගලිකව නොහඳුනතත් බ්ලොග් කරුවෙකු ලෙස ලියවිලි හරහා හඳුනන විචාරක මහතා අසනීපව සිටින බව දැනගන්නට ලැබීම කණගාටුවට කරුණකි. ඔහුට ඉක්මන් සුවය පතමි.

      Delete
  2. ඉස්කොල ටෙක්ස්බුක් ලියන එවුන්ට මක්ක කලාට හිත් දෙනවද මෙච්චර ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් කරුණු පවා කෑලි කැලි කඩල අපබ්‍ර‍ංශ කරනවාට,ඉකොන්ට බොහොම ඉස්තූතියි සැරෙන් සැරේට ගිලල බෝක්කේ හිරවෙල තිබූ දේවල් ඩයිජෙස්ට් කරගන්න පුළුවන් විදිහට සරලව පෙළගස්වල දුන්නාට.

    ReplyDelete
  3. සෑහෙන කාලයක් ගියා නේද මේ ලිපිය එළිදකින්න, නැකත උදා වෙනකල් ඉන්න වෙනවා නේ!!!

    ReplyDelete
    Replies
    1. ග්‍රහයින් ගණනාවක්ම රාශි මාරු කරන තුරු බලා සිටින්නට විය.

      Delete
  4. ඉස්කොල ටෙක්ස්බුක් ලියන එවුන්ට මක්ක කලාට හිත් දෙනවද මෙච්චර ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් කරුණු පවා කෑලි කැලි කඩල අපබ්‍ර‍ංශ කරනවාට,ඉකොන්ට බොහොම ඉස්තූතියි සැරෙන් සැරේට ගිලල බෝක්කේ හිරවෙල තිබූ දේවල් ඩයිජෙස්ට් කරගන්න පුළුවන් විදිහට සරලව පෙළගස්වල දුන්නාට. X 2

    ++++++++++++

    මගේ ලග්නේ හැදිච්ච විදිය අද තමයි ඉගෙන ගත්තේ. පොඩිම එකාට ලග්නයක් හදල තිබ්බේ නෑ. දැන් පුළුවන් මටම ඒක හදන්න :)

    ReplyDelete
    Replies
    1. සිංහල අවුරුද්දේ සිට දින ගණන 30.5න් පමණ බෙදන්න. ඉර උදා වූ වෙලාවේ සිට (ආසන්නව උදේ හය) ගත වූ පැය ගණන දෙකෙන් බෙදා ඉහත ගණනට එකතු කරන්න. එකතුවේ පූර්ණ සංඛ්‍යාව ගෙවී ගොස් ඇති ලග්න ගණනයි. පොඩි එකාගේ ලග්නය ඊළඟට ඇති රාශියයි. පෘථිවියේ සාපේක්ෂ චලිතය මේ තරමටම සරල නැති නිසා ලග්නය මෙසේ සොයාගන්නා එකම නොවී දෙපැත්තේ ඇති දෙකෙන් එකක් වන්නට පුළුවන. වැඩි විස්තර පසුව පැහැදිලි කරන්නම්.

      Delete
    2. උදෑසන හයටම හිරු පායන දවසට හාවා හඳ දකියි.

      Delete
    3. සමකයෙන් ඈතට යන විට වැඩේ වඩා සංකීර්ණ වේ.

      Delete
  5. ඔය කියන විදියට ලග්නෙයි කෙන්දරෙයි අතරෙ ඒතරම්ම සම්බන්ධයක් නෑනේද. ඇයි ලග්නෙ කියන්නෙ පෘතිවියෙන් ඈත ඉන්න තරුවල පිහිටීම, කෙන්දරේ කියන්නෙ ළඟම ඉන්න ග්‍රහයන්ගෙ පිහිටීමනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා. මෙය ඉදිරි කොටසක් කියවූ විට පැහැදිලි වෙයි.

      Delete
  6. නියම පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  7. චීනෙ සහ ජපානෙ Zodiac ක්‍රමය අනුව සෑම අවුරුද්දක්ම සතෙකුගෙ නමකින් නම් වෙනවා.
    (Rat, Ox, Tiger, Rabbit, Dragon, Snake, Horse, Goat, Monkey, Rooster, Dog, Pig ).
    මේ දොලොස් දෙනා පිලිවෙලින් නම් වෙනවා සෑම අවුරුද්දකම.
    මේකත් සමහරවිට ඔයවගේ තරු රටාවලින් බිහිවුනු එකක වෙන්න පුලුවනිද. අවුරුදු 12ට වරක් කැරකෙනෙ තරු රටාවල් තියෙනවද දන්නෙ නෑ.
    ඒකෙ ඉතිහාසය දන්නෙ නෑ කියවල නෑ.

    ReplyDelete
    Replies
    1. මෙය පදනම් වන්නේ ප්‍රධාන වශයෙන්ම තාරකා පද්ධතියට සාපේක්ෂව බ්‍රහස්පති ග්‍රහයාගේ චලිතය මත. බ්‍රහස්පති ග්‍රහයා කිසියම් හඳුනාගත හැකි තාරකාවක් හෝ කිහිපයක් සමඟ සම්පාත වන්නේ ආසන්න වශයෙන් වසර 12කට වරක්.

      Delete
  8. ඔය තාරකා රාශීන්ගේ හා ග්‍රහයන්ගේ බලපෑම එක එක පුද්ගලයට වෙනස් විදිහට බලපාන්න (එහෙම බලපෑමක් තියනවනම්) පුළුවන් ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අපි හෙමිහිට කතා කරමු.

      Delete
  9. සුපිරි

    ReplyDelete
  10. ඉකොන්...මම අහසයි, පොලවයි අතර තියෙන සහසම්බන්දතාවය තේරුම් ගත්තේ, එහෙම දෙකක් තියෙනවා කියන එක දැකලා සහ දන්න නිසා පමනයි. ඒක අතර ගනුදෙනුව මොකක්ද කියන එක වටහාගන්නවත් කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. ඒ වෙන කිසිම දෙයක් නිසා නොවේ..ඒක ජීවත්වෙලා ඉන්න කාලේ මගේ ජීවිතයට සත පහක්වත් පලදායකත්වයක් හිමි නොකරන දෙන නිසා. ආගම ගැනත් කියන්න තියන්නේ ඔය ටිකම තමයි. ඔය දේවල් අතරේ අසරණයා තවත් අසරණ වුනා සහ මාසේ පඩියෙන් කීයක් හරි පූජා කරනවා දැක්කම මට කනගාටුවක් ඇතිවෙනවා. මම ඒක හිතේ දරාගෙන උපේක්ශාවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අරූ, ඒක ඒ අයට මාසේ පඩියෙන් බෝතලයක් ගැනීම, චිත්‍රපටයක් බැලීම වැනි විනෝද වැයක්.

      සුබසෙත, ඉරණම කියා පත්තර පවා තිබුණා නේද?

      Delete
    2. අරූ, සහතික ඇත්ත බන්.. ඔක්කොම ආගම් සහ මේ වගේ සාස්තර කාරයෝ කරන්නේ මිනිස්සුන්ව ගරාගෙන කන එක තමා.....

      Delete
    3. මිනිහෙක්ට මොනවා හෝ දෙයකින් සතුටක් ලැබෙනවනම්, වෙනත් අයට කරදරයක් නොවන තුරු, ඒ දේ කළාට ප්‍රශ්නයක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: