වෛද්‍යවරුන්ගේ සේවා වර්ජන සිදුවන අවස්ථා වලදී මරණ ප්‍රමාණය ඉහළ යන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එය බැලූ බැල්මටම ඉතා තර්කානුකූල අදහසකි. එහෙත්, පර්යේෂණ අධ්‍යයන විශාල ගණනකින් පෙනී ගොස් ඇත්තේ එහි අනිත් පැත්තයි. වෛද්‍ය වර්ජනයක් සිදුවන බොහෝ අවස්ථා වලදී ඇත්තටම සිදු වී ඇත්තේ මරණ අනුපාතිකය පහත වැටීමයි.
මේ කරුණ අධ්‍යයනය කර පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා පිළිබඳ විමර්ශනයක් 2008 වසරේදී සෝෂල් සයන්ස් ඇන්ඩ් මෙඩිසින් විමර්ශිත ජර්නලයේ පළ විය. එහිදී, විමර්ශනයට ලක් කෙරුණු පර්යේෂණ පත්‍රිකා හතෙන් හතරකින්ම පෙන්වා දී තිබුණේ වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය අඩු වන බවයි. වෛද්‍ය වර්ජන හේතුවෙන් මරණ අනුපාතිකයට බලපෑමක් නොවන බව ඉතිරි පර්යේෂණ පත්‍රිකා තුනෙන් පෙන්වා දී තිබුණේය. ඉන් පසුව පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකා වලින්ද ඉහත කරුණ තව දුරටත් තහවුරු කර තිබුණු අතර වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය ඉහළ යන බව මෙතෙක් පෙනී ගොස් ඇත්තේ එක් පර්යේෂණ අධ්‍යයනයකදී පමණි.
එසේනම්, දොස්තරලා වර්ජනය කිරීම ලෙඩ්ඩුන්ට හොඳද?
වෛද්‍ය වර්ජනයක් සිදු වන විට වහාම සිදු කළ යුතු නැති ශල්‍ය කර්ම සිදු නොවේ. මෙවැනි ඇතැම් ශල්‍ය කර්මයක් කිරීමෙන් පසු පළමු දෙසතියක පමණ කාලය තුළ රෝගියා මිය යාමට සැලකිය යුතු ඉඩකඩක් තිබේ. වෛද්‍ය වර්ජනය නිසා එවැනි මරණ සිදු වීම කල් යයි. ඒ හේතුවෙන් කෙටිකාලීනව මරණ අනුපාතිකය පහත වැටේ. ඇතැම් පර්යේෂණ පත්‍රිකා වල පෙන්වා ඇති පරිදි වෛද්‍ය වර්ජනයක් අවසන් වූ පසු මරණ අනුපාතිකය ඉහළ යයි. මේ නිරීක්ෂණය ඉහත පැහැදිලි කිරීම සමඟ සැසඳේ.
ලංකාවේ මෙන්ම වෙනත් බොහෝ රටවලද වෛද්‍ය වර්ජන සිදු කරන අවස්ථා වලදී අසාධ්‍ය ලෙඩුන් සඳහා දිගටම ප්‍රතිකාර සිදු කෙරේ. වෙනත් විදිහකින් කියනවානම් වර්ජනය තිබුණා කියා මැරෙන්නට යන බව පෙනෙන අසාධ්‍ය ලෙඩෙක් මැරෙන්නට හැරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. මරණ අනුපාතිකය පහත නොවැටීමට මෙයද හේතුවකි.
වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකයට ඇති බලපෑම දිගුකාලීන එකකි. මෙවැනි අවස්ථාවක අසාධ්‍ය නොවන රෝගීන්ගේ රෝග විනිශ්චය කිරීම් සිදු නොවන බැවින් එවැනි දේ කල් දැමේ. මේ හේතුව නිසා, බොහෝ රෝගීන්ගේ එකවර පෙනෙන්නට නැති රෝග තත්ත්වයන් හඳුනා ගනු ලැබීම ප්‍රමාද වේ. එහි අවසන් ප්‍රතිඵලය මරණය වන්නට පුළුවන. කෙසේ වුවද, වෛද්‍ය වර්ජන වල කෙටිකාලීන බලපෑම ගැන මිස දිගුකාලීන බලපෑම ගැන පුළුල් අධ්‍යයනයන් සිදු කෙරී නැත.
(Image: https://www.thelocal.de/20120110/40021)