තෙල් හා ආහාර කියා කියන්නේ අනෙක් බොහෝ පරිභෝජන භාණ්ඩ වර්ග වලට වඩා සුවිශේෂී කාණ්ඩ දෙකක්. වෙනත් සියළුම පරිභෝජන භාණ්ඩ වලට වගේම මේ කාණ්ඩ දෙකට අයත් භාණ්ඩ වලටත් ඉල්ලුම් හා සැපයුම් සාධක බලපානවා. නමුත්, අත්‍යාවශ්‍ය ආහාර හා ඉන්ධන වල ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ කියන්නේ මිල වෙනස් වන විට ඉල්ලුම වෙනස් වෙන්නේ අඩුවෙන්.
හේතුව පැහැදිලියි. අත්‍යාවශ්‍ය ආහාර නැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකියි. ඒ නිසා, මිල වැඩි වන විට සමානුපාතිකව මිල දී ගන්නා ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. මිල වැඩි වන්නේ ඇතැම් ආහාර ද්‍රව්‍ය වල පමණක්නම් පාරිභෝගිකයින්ට ඒ ආහාර ද්‍රව්‍ය වෙනුවට වෙනත් ආහාර ද්‍රව්‍ය ආදේශ කර ගන්න පුළුවන්.
බෝංචි මිල වැඩි වන විට කැරට්, ලීක්ස් ආදේශ කර ගත හැකියි. උඩරට එළවලු සියල්ලේ මිල වැඩි වූ විට පහතරට එළවලු ආදේශ කර ගත හැකියි. එළවලු, මාළු ආදී සියල්ලම දරා ගත නොහැකි තරමට මිල වැඩිනම් ටික කලක් සම්බෝලයි බතුයි හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එළවලු, මාළු මිල වැඩි වන විට ඉල්ලුමත් වේගයෙන් පහත වැටෙනවා.
නමුත්, හාල් වගේ ප්‍රධාන ආහාරයක මිල වැඩි වන විට තිබෙන විකල්ප සීමිතයි. බත් වලට ඇබ්බැහි වී සිටින කෙනෙක් තිරිඟු පිටි ආහාර ආදේශ කර ගන්නේ ලොකු කැමැත්තකින් නෙමෙයි. ඒ නිසා, හාල් මිල ඉහළ යන විට හාල් ඉල්ලුම පහත වැටෙන්නේ අඩුවෙන්. වෙනත් රටවල ප්‍රධාන ආහාර සම්බන්ධව තත්ත්වයත් මේ විදිහයි. අත්‍යාවශ්‍ය ආහාර මිල යම් මට්ටමක් ඉක්මවා ඉහළ යන බොහෝ අවස්ථා වලදී එය ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවී දේශපාලන ප්‍රශ්නයක්ද බවට පත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් කෘෂි කර්මාන්තයට යම් විශේෂයක් කරන්න යොමු වෙන්නේ මේ හේතුව මතයි.
ඉන්ධන හා අදාළ තත්ත්වයත් මුළුමනින්ම නොවූවත් මීට තරමක් සමානයි. වර්තමානයේ ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලිය වගේම එදිනෙදා ජනජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමටනම් අවම ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යම වෙනවා. ඒ නිසා, ඉන්ධන මිල ඉහළ යාමට සමානුපාතිකව ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. එය බහුවිධ අර්බුද ඇති කරනවා.
කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ යන විට පුද්ගලයෙකුගේ ආදායමෙන් ආහාර වෙනුවෙන් වැය කරන කොටස පහත වැටෙනවා. ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙක් ආහාරපාන වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 15%ක් පමණයි. එංගලන්තයේනම් 8%යි. ලංකාවේ මේ ප්‍රතිශතය 44%ක් පමණ. කොළඹ පමණක් සැලකුවොත් 28%ක් පමණ.
ලංකාවේ එළවලු මිල ඉහළ යන විට පිට පළාතක කෙනෙකුට සාපේක්ෂව කොළඹ ජීවත් වන කෙනෙක් එළවලු පරිභෝජනය සීමා කරන්නේ අඩුවෙන්. කොළඹ ජීවත් වන අයෙකුට තමන්ගේ ආදායම් අනුව පිට පළාතක කෙනෙකුට වඩා මට්ටම මිල වැඩිවීම දරා ගැනීම පහසුයි. බටහිර රටක ජීවත් වන අයෙකුට පොදුවේ ගත් විට ආහාර මිල යම් තරමකින් වැඩිවීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ඉන්ධන මිල වැඩි වීම විශාල ප්‍රශ්නයක්. බටහිර ජීවන විලාසිතාවන් පවත්වා ගත හැක්කේ ඉන්ධන මතයි.
පසුගිය සියවස තුළ ලෝක ඉන්ධන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ බටහිර රටවල ජීවන විලාසිතාවන්ගේ වෙනස් වීමයි. වෙනත් වචන වලින් කියනවානම් ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය ඉහළ යාමයි. ඒ ජීවන මට්ටම ඒ මට්ටමින් දිගටම පවත්වා ගැනීමට බටහිර රටවල සිදු වුනු ඉන්ධන නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා කාලයක් තිස්සේම බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට තෙල් අපනයනය කරන රටවලට යම් තරමකින් බටහිර රටවල් පාලනය කිරීමටත්, බටහිර සංවර්ධනයට තිරිංග හෙලීමටත් හැකි වුනා.
ලෝක තෙල් මිල ඉහළ ගිය බොහෝ අවස්ථා වලදී බටහිර රටවල ආර්ථිකයන්ට සෘණාත්මක බලපෑමක් ඇති වුනා. වඩාත්ම ආසන්නම අවස්ථාව 2008 ආර්ථික අර්බුදයයි. ආර්ථික අර්බුද බොහෝ විට දේශපාලන අර්බුද බවටත් පත් වෙනවා.
ලෝකයේ බොහෝ රටවලින් වෙනස්ව, ඇමරිකාවේ රජය තෙල් නිපදවන්නේ නැහැ. ඇමරිකාවේ පෞද්ගලික හෝ පොදු අයිතිය යටතේ තිබෙන ඉඩම් වල මෙන්ම මුහුදේ ඇති ඉන්ධන නිධි කැන බොරතෙල් ගොඩගෙන පිරිපහදු කිරීම,ගබඩා කිරීම හා විකිණීම මුළුමනින්ම කෙරෙන්නේ පෞද්ගලික සමාගම් අතින්. මේ සමාගම් අතරින් බහුතරය ඇමරිකානු දේශීය සමාගම්. එම සමාගම් වල කටයුතු ඇමරිකාවට සීමා වී තිබෙනවා. චෙව්රොන් හා එක්සෝන්මොබිල් වැනි ඇතැම් විශාල ඇමරිකානු සමාගම් ලෝකය පුරාම තමන්ගේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙනවා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (බීපී) හා ෂෙල් වැනි ඇමරිකානු නොවන වෙනත් සමාගම්ද මේ ආකාරයෙන්ම ලෝකය පුරා සිය ව්‍යාපාරික කටයුතු සිදු කරනවා.
වෙනත් පෞද්ගලික සමාගම් මෙන්ම තෙල් ව්‍යාපාරයේ යෙදෙන පෞද්ගලික සමාගම්ද කටයුතු කරන්නේ ලාබ අරමුණු කරගෙනයි. ඒ නිසා, චෙව්රොන් හෝ එක්සෝන්මොබිල් වැනි සමාගමක් ඇමරිකානු සමාගමක් වූ පමණින් ඔවුන්ගේ අරමුණු ඇමරිකානු දේශපාලනය සමඟ සෘජු ලෙස බද්ධ වී නැහැ. උදාහරණයක් විදිහට එවැනි සමාගමක් කිසි විටෙකත් ඇමරිකානුවන්ට අඩු මිලට තෙල් ලබා දීමේ අරමුණින් කටයුතු කරන්නේ නැහැ. ඇමරිකාවේ තෙල් මිල සාපේක්ෂව අඩු මට්ටමක තිබෙන්නේ ස්වාධීන තෙල් සමාගම් අතර තිබෙන තරඟය නිසයි.
ලෝක තෙල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ චෙව්රොන්, එක්සෝන්මොබිල්, බීපී හා ෂෙල් වැනි ලාබ අරමුණු කරගත් ජාත්‍යන්තර සමාගම් අතින් නෙමෙයි. ලෝකයේ තෙල් නිධි බොහොමයක්ම පාලනය වන්නේ අදාළ රටවල රජයන්ගේ සෘජු පාලනයට යටත් ජාතික සමාගම් විසින්. උදාහරණ ලෙස සවුදි ඇරම්කෝ, චීන ජාතික පෙට්‍රෝලියම් සංස්ථාව (CNPC), කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව, රුසියාවේ ගෑස්ප්‍රොම් හා රොස්නේෆ්ට් සමාගම්, මෙක්සිකෝවේ පෙමෙක්ස් සමාගම, ඉරාන ජාතික තෙල් සමාගම හා වෙනිසියුලාවේ පෙට්‍රෝලියෝස් සමාගම (PDVSA) පෙන්වා දිය හැකියි.
ජාතික තෙල් සමාගම් වල අරමුණ ලාබ පමණක් නොවන නිසා එම සමාගම් බොහෝ විට තෙල් වෙළඳපොළේ ඉල්ලුම් සාධක වලට කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එම සමාගම් විසින් බොහෝ විට තමන්ගේ රටේ වැසියන්ට අඩු මිලකට තෙල් සැපයීම, අනෙකුත් රාජ්‍ය සුබසාධන වියදම් වල පිරිවැය දැරීම, රටේ ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා රජයේ දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගේ ලාබ කැප කිරීමට පෙළඹෙන බව නිරීක්ෂණය කළ හැකියි.
බ්‍රසීලයේ පෙට්‍රොබාස් හා නොර්වේහි ඉක්විනෝර් වැනි සමාගම්ද අදාළ රජයන්ට වැඩි අයිතිය ඇති ජාතික සමාගම් වුවත්, මුළුමනින්ම රජයේ කොටසක් ලෙස කටයුතු කරන්නේ නැහැ. එවැනි සමාගම් ලාබ අරමුණු කරගෙන ක්‍රියාත්මක වුවත් එහිදී වෙනත් ජාතික ඉලක්ක ගැනද සලකා බලනවා.
ලෝකයේ බොහෝ රටවල රජයයන්ට තමන්ගේ රටේ තෙල් සැපයුමට හා තෙල් මිලට සෘජු බලපෑමක් පහසුවෙන් කළ හැකි වුවත් ඇමරිකාවේ රජයට ඒ හැකියාව නැහැ. නමුත්, වෙනත් රටවල රජයයන් විසින් දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන තෙල් සැපයුමට හා තෙල් මිලට බලපෑම් කළ විට එය ඇමරිකානු දේශපාලනයටද බලපෑමක් කරනවා. එවැනි අවස්ථාවක ඇමරිකාවේ රජයට ඇමරිකානු තෙල් සමාගමකට බලපෑම් කිරීම අපහසු නිසා බොහෝ විට යොමු වන්නේ වෙනත් රටක රජයකට බලපෑම් කර ලෝක තෙල් වෙළඳපොළ සමතුලිතතාවයට බලපෑම් කිරීමටයි. ඇමරිකාවේ තෙල් ඉල්ලුම හා සැපයුම අතර පරතරය වැඩි වන තරමට ඇමරිකානු ආර්ථිකයට ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑමද වැඩි වෙනවා.
ඉහත ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි, 1985-2008 අතර කාලයේදී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටුණා. අඩු මිලකට ගොඩ ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් ක්‍රමක්‍රමයෙන් අවසන් වීමත්, වෙනත් රටවල් බොහොමයක තවදුරටත් එවැනි නිධි තිබීමත් මෙයට හේතු වුනා. වෙනත් රටවලින් අඩු මිලට ඇමරිකාවට තෙල් ආනයනය කළ හැකිව තිබියදී, ඇමරිකානු සමාගම් වලට ඇමරිකාවේ ඉතිරිව තිබුණු තෙල් නිධි වලින් සම්ප්‍රදායික ක්‍රමයට තෙල් ගොඩ ගෙන පිරිපහදු කර විකුණා ලාබ ලැබීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඇමරිකානු පාරිභෝගිකයින් "දේශීය සමාගම් වල තෙල්" වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඔවුන් තෙල් මිල දී ගන්නේ අඩු මිලට ඇති තැනිනුයි.
මුලින්ම කියූ පරිදි තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ එකක්. ඒ කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන්නේ සමානුපාතිකව අඩුවෙන්. තෙල් ඉල්ලුම බොහෝ විට තීරණය වන්නේ ආදායම් මට්ටම අනුවයි. පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් සමානුපාතිකව වගේ ඉහළ යනවා.
අනෙක් අතට තෙල් සැපයුමත් කෙටි හා මැදිකාලීනව අප්‍රත්‍යස්ථයි. සම්ප්‍රදායික තෙල් ළිඳක් කැන නිෂ්පාදනය ආරම්භ කරන්න සැලකිය යුතු ආයෝජනයක් කළ යුතුවාක් මෙන්ම සැලකිය යුතු කාලයක්ද ගත වෙනවා. ඒ නිසා තෙල් කර්මාන්තයට ඉල්ලුමේ වැඩිවීමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අසීරුයි. තෙල් සැපයුම බොහෝ දුරට රැඳී තිබෙන්නේ පෙර විස්තර කළ ජාතික සමාගම් අතේ නිසා මෙය වඩාත් අසීරුයි.
මේ සහස්‍රයේ ආරම්භය පමණ වන තුරු ලෝක තෙල් පරිභෝජනයෙන් විශාල ප්‍රතිශතයකට වග කිව යුතු වුනේ බටහිර සංවර්ධිත රටවල්. ඒ රටවල් වල ආර්ථිකයන් වර්ධනය වුනේ කළින් පුරෝකථනය කළ හැකි මධ්‍යස්ථ වේගයකින්. ඒ අනුව, ලෝක තෙල් ඉල්ලුම වැඩි වන ආකාරය පුරෝකථනය කර කල් ඇතුව ප්‍රතිචාර දක්වන එක කර්මාන්තයට අසීරු වුනේ නැහැ. බොහෝ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවරව තිබුණා.
කලින් කලට ක්‍රමක්‍රමයෙන් හා වරින් වර තෙල් මිල වැඩි වුනා තමයි. එයට බොහෝ විට හේතු වුනේ ඔපෙක් සංවිධානයට අයත් රටවල් විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කරමින් මිල ඉහළ දැමීමයි. සැපයුම් සීමා කිරීම් හරහා ඔපෙක් සංවිධානයේ රටවලට තෙල් වල ආන්තික පිරිවැයට වඩා ගොඩක් වැඩියෙන් තෙල් විකුණන්න පුළුවන් වුනා. අඩු ආන්තික පිරිවැයකින් නිපදවිය හැකි තෙල් නිධි අදාළ රජයයන්ගේ සෘජු පාලනය යටතේ තිබීම මෙයට පහසුවක් වුනා.
ඔපෙක් සංවිධානය විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කිරීම නිසා තෙල් මිල ඉහළ ගියේ ටිකෙන් ටිකයි. මෙය කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වුනා. තෙල් සැපයුම සීමා වීම හා මිල ඉහළ යාම නිසා බටහිර රටවල සංවර්ධන වේගයට යම් නිශේධනාත්මක බලපෑමක් ඇති වුනා. ඉතා අඩු ආන්තික පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවීමේ හැකියාව තිබුණු මැද පෙරදිග රටවල රජයයන්ට තෙල් අපනයනය කර ලැබූ ලාබ වලින් තමන්ගේ රටවල විශාල සුබසාධන ආර්ථිකයන් පවත්වා ගත හැකි වුනා. ඒ හේතුව නිසා මේ රජයයන් අභ්‍යන්තරව වඩ වඩා ශක්තිමත් වුනා. තෙල් අපනයනය කර ඉපැයූ විදේශ විණිමය ලොව පුරා ආයෝජනය කරමින් බාහිරවද ශක්තිමත් වීමට මේ රාජ්‍යයන්ට හැකි වුනා. ඉස්ලාම් ආගමේ හා ආශ්‍රිත සංස්කෘතියේ ලෝක ව්‍යාප්තියටත් මෙය උදවුවක් වුනා.
ලෝක සංවර්ධනයේ සුක්කානම බටහිර රටවල් අතේ තිබීමත්, බටහිර සංවර්ධනය රඳා පැවතුනු තෙල් එම රටවල ප්‍රමාණවත් තරමින් නොතිබීමත්, අපනයනය කළ හැකි තරම් තෙල් තිබුණු රටවල් බටහිර සංස්කෘතියෙහි නොසිටි රටවල් වීමත් ආදී සාධක විසින් ලෝක දේශපාලන බලතුලනය තීරණය කළා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල තෙල් හිඟය විසින් බටහිර සංස්කෘතියේ ව්‍යාප්තිය සීමා කළා. මැද පෙරදිග රටවල තෙල් ආධිපත්‍යයේ වාසිය හේතුවෙන් මුස්ලිම් සංස්කෘතිය ලොව පුරා ප්‍රවර්ධනය වුනා. ජපානය වැනි රටවලට මේ බලතුලනයට කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි වූයේ නැහැ.
ආර්ථික තලයේදී, ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන සීමා කිරීම් ඇමරිකාවේ සම්ප්‍රදායික තෙල් සංචිත වඩා වේගයෙන් ක්ෂය වීමට හේතුවක් වුනා. මැද පෙරදිග සංචිත වලට සාපේක්ෂව ඇමරිකාවේ තෙල් සංචිත ගොඩ ගැනීමේ ආන්තික පිරිවැය වැඩියි. තරඟකාරී තත්ත්වයන් යටතේනම් මේ තෙල් ගොඩ ගැනෙන්නේ මැද පෙරදිග තෙල් ගොඩ ගැනීමෙන් පසුවයි. එහෙත්, මැද පෙරදිග තෙල් නිෂ්පාදනය සීමා කිරීම හා මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ තෙල් වඩා ඉක්මණින් ආර්ථික වශයෙන් ලාබදායක වුනා. ඒ නිසා, ඒ තෙල් ක්ෂය වීමත් වේගවත් වුනා. 1980-2008 අතර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් අඩු වුනේ ඒ නිසයි. මේ විදිහට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටෙද්දී තෙල් ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම නිසා ඇමරිකාවට අවශ්‍ය වූ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ඉහළ ගියා.
ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගික සැපයුම් සීමා කිරීම් වලට අමතරව මැදපෙරදිග යුද්ධමය තත්ත්වයන් ඇති අවස්ථා වලදීත් ඉන්ධන මිල ඉහළ යාම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. එහෙත්, මෙවැනි මිල ඉහළ යාම් තාවකාලිකයි. යුදමය තත්ත්වයන් පහව ගිය විට නැවත මිල ස්ථාවර වෙනවා. එහෙත්, දිගුකාලීන ඉල්ලුම් හා සැපයුම් සාධක මත තෙල් මිල වෙනස් වූ විට ඒ වෙනස්කම් එසේ නැවත ආපසු හැරෙන්නේ නැහැ.
පසුගිය ආර්ථික අවපාතයට පෙර ලෝක තෙල් මිල විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ කලින් අවස්ථා වලදී මෙන් ඔපෙක් සංවිධානය විසින් සැපයුම් සීමා කළ නිසා හෝ මැද පෙරදිග කලාපයේ යුදමය හේතුවක් නිසා නෙමෙයි. මෙහිදී මිල ඉහළ යාමට හේතු වුනේ චීනයේ වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉහළ ගිය තෙල් ඉල්ලුම සැපිරිය හැකි තරමට සැපයුම ඉහළ නොයාමයි.
චීනය කියා කියන්නේ කාලයක් තිස්සේම ඉන්ධන අපනයනය කළ රටක්. දැනටත් තෙල් නිෂ්පාදනය අතින් පස්වන හෝ හයවන තැන සිටින රට චීනයයි. පසුගිය දශක කිහිපය තිස්සේ චීන ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වූ බව කවුරුත් දන්නා දෙයක්. අඩු ආදායම් මට්ටමක සිටින රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ ඒ රටේ තෙල් ඉල්ලුම ඒ වේගයෙන්ම හෝ ඊටත් වැඩි වේගයකින් ඉහළ යනවා කියන එකයි. චීනයේත් මේ දේ වුනා.
අනූ ගණන් වලදී චීනයේ නිපදවන තෙල් ප්‍රමාණය ඉක්මවා චීනයේ තෙල් ඉල්ලුම ඉහළ ගියා. චීනයට තෙල් ආනයනකරුවෙකු බවට පත් වෙන්න සිදු වුනා. ඉන් පසුව චීනයේ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ක්‍රමක්‍රමයෙන් හා වේගයෙන් ඉහළ යන්න පටන්
ගත්තා.
චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ සිංගප්පූරුව වැනි කුඩා රටක් හෝ ජපානය වැනි තරමක රටක් වේගයෙන් වර්ධනය වෙනවා වැනි දෙයක් නෙමෙයි. ලෝක ජනගහණයෙන් පහෙන් එකක්ම ජීවත් වන්නේ චීනයේ. එවැනි විශාල පිරිසකගේ ජීවන තත්ත්වය කෙටි කලක් තුළ ඉහළ යාම නිසා වැඩි වන තෙල් ඉල්ලුම ලෝක තෙල් වෙළඳපොළේ සමතුලිතතාවයට දැඩි ලෙස දැනෙනවා. ඉන්දියාවේ ආර්ථිකය තවත් යම් ප්‍රමාණයක් වර්ධනය වූ විට නැවතත් මෙවැනිම තත්ත්වයක් දකින්න ලැබෙයි.
කලින් කීවාක් මෙන් ලෝක තෙල් ඉල්ලුම වගේම ලෝක තෙල් සැපයුමත් අප්‍රත්‍යස්ථයි. සිංගප්පූරුව හෝ ජපානය වැනි රටක් වේගයෙන් වර්ධනය වන විට ඉහළ යන ඉල්ලුමට තෙල් සැපයුම ප්‍රතිචාර දක්වන නමුත් චීනයේ වැඩිවන ඉල්ලුමට සරිලන තරමින් තෙල් සැපයුම ඉහළ යාමේ ශක්‍යතාවයක් නැහැ. චීනය වර්ධනය වුනේ ලෝක තෙල් කර්මාන්තයට ප්‍රතිචාර දැක්විය නොහැකි තරමේ වේගයකින්. ඒ නිසා, චීනයේ තෙල් ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව ඇමරිකාවේ හා යුරෝපයේ තෙල් පරිභෝජනය අඩු විය යුතු වුනා. එසේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ.
කාලයක් තිස්සේ පැවති මේ ප්‍රවණතාව නිසා ආසන්න වශයෙන් මේ සහශ්‍රයේ ආරම්භයේ පමණ සිට ලෝක තෙල් මිල ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ කාලය ඇතුළත එක පැත්තකින් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික අඩු වුනා. අනෙක් පැත්තෙන් ලෝක තෙල් සැපයුමෙන් චීනයට යන කොටස ටිකෙන් ටික ඉහළ ගියා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී අනිත් පැත්තෙන් එම ආනයන වල තරඟකාරිත්වය ඉහළ ගියා.
තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ නිසා මිල ඉහළ යන විට ඉල්ලුම පහත වැටෙන්නේ ඉතා අඩුවෙන්. මෙයම වෙනත් විදිහකට ප්‍රකාශ කළොත්, ඇමරිකාවේ තෙල් ඉල්ලුම තරමකින් පහත වැටෙන්නේ මිල විශාල ලෙස ඉහළ ගියහොත් පමණයි. ඒ නිසා, චීනයේ වේගයෙන් ඉහළ ගිය තෙල් ඉල්ලුම හමුවේ ලෝක තෙල් ඉල්ලුම හා සැපයුම සමතුලිත විය හැකිව තිබුණේ ඇමරිකාවේ හා වෙළඳපොළ සාධක මත තෙල් මිල තීරණය වන අනෙකුත් රටවල තෙල් මිල විශාල ලෙස ඉහළ යාමෙන් පමණයි. 2004-2008 කාලයේදී මේ ප්‍රවණතාව ලෝකයට දැනෙන තරමට වර්ධනය වී ආර්ථික අවපාතයකින් කෙළවර වුණා. ඇමරිකාවේ හා ඉන් පසුව යුරෝපයේ ආර්ථික අවපාතය නිසා බටහිර රටවල තෙල් ඉල්ලුම අඩු වී නැවතත් මිල පහත වැටුණා.
ඉන් පසුවත් චීනයේ තෙල් ඉල්ලුම දිගින් දිගටම වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. එහෙත්, හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය මගින් ශල්ක තෙල් නිපදවීම පටන් ගැනීමත් සමඟ කර්මාන්තයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. මෙය ඔපෙක් කණ්ඩායමේ රටවලට විශාල ප්‍රශ්නයක් වුනා.
ආරම්භයේදී සැපයුම ඉහළ දමා ලෝක තෙල් මිල පහත හෙළීමෙන් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය තිඹිරි ගෙයිම මරා දමන්නට සවුදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් රටවල් විසින් උත්සාහයක් දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය අඩු වී නැවත තෙල් මිල ඉහළ ගියා. නමුත්, දෙවන වටයේදී ශල්ක තෙල් කර්මාන්තය වඩාත් කාර්යක්ෂම වී නැවත හිස එසෙවුවා.
සවුදි අරාබිය වැනි රටවලට ඉතාම අඩු පිරිවැයකට තෙල් බැරලයක් නිපදවිය හැකි නිසා දැනට පවතින මිලට වඩා ගොඩක් අඩුවෙන් තෙල් විකිණිය හැකියි. මැද පෙරදිග රටවල් විසින් දිගින් දිගටම එසේ කළහොත් ශල්ක තෙල් කර්මාන්තයට පැවැත්මක් නැති වෙනවා. නමුත්, එම රටවල් එසේ කරන්නට ගියහොත් තෙල් අපනයන වල උදවුවෙන් පවත්වා ගන්නා සුබසාධන ආර්ථිකයන් එළෙසම පවත්වා ගෙන යන්න නොහැකි වෙනවා. අනෙක් අතට ඔවුන් තෙල් මිල පහතින් පවත්වා ගතහොත් රටක් ලෙස ඇමරිකාවට එයින් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැහැ. පොදුවේ අනෙකුත් බටහිර රටවලටත් එසේමයි. ශල්ක තෙල් කර්මාන්තය බිඳ වැටුණත් අනෙකුත් කර්මාන්ත දුවවන්න අවශ්‍ය තෙල් ලාබෙට ලැබෙනවා. ශල්ක තෙල් විප්ලවය විසින් පෙන්වා දී තිබෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමය සතු ඔරොත්තු දීමේ ශක්තියයි.
මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් නිෂ්පාදකයින්ට දැන් ශල්ක තෙල් කර්මාන්තය සමඟ සහජීවනයකට යාම හැර වෙනත් විකල්පයක් නැහැ. එය ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්.
පසුගිය දශකය තුළ ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික ඉහළ ගොස් මේ වන විට ඇමරිකාව ශුද්ධ තෙල් අපනයනකරුවෙකු බවට පත් වී තිබෙනවා. දැන් ලෝකයේ විශාලතම තෙල් පරිභෝජකයා මෙන්ම විශාලතම තෙල් නිෂ්පාදකයාද ඇමරිකාවයි. මීට අමතරව ලෝකයේ තවත් ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වන අසල්වැසි කැනඩාවේ තෙල් කර්මාන්තය තුළත් ඇමරිකානු සමාගම් වල දායකත්වය විශාලයි. ඒ නිසා, ජනාධිපති ට්‍රම්ප් පසුගියදා සඳහන් කර පරිදි දැන් ඇමරිකාවට මැද පෙරදිග තෙල් අවශ්‍ය නැහැ.
බොහෝ කාලයක් ලෝකයේ විශාලතම තෙල් ආනයනකරු වී සිටියේ ඇමරිකාව වුවත් දැන් ඒ තැන සිටින්නේ චීනයයි. තෙල් හා අදාළව කාලයක් තිස්සේ ඇමරිකාව මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්නේ චීනයයි. කෙසේ වුවත්, ඇමරිකාව විසින් සොයා ගෙන තිබෙන රෝදය චීනය විසින් නැවත සොයා ගත යුතු නැති නිසා චීනයට අනාගතය සැලසුම් කර ගැනීම සාපේක්ෂව පහසුයි. එක අතකින් චීන තෙල් සමාගම්, ඒවා රජය සතු සමාගම් වුවත්, ලෝකයේ තෙල් නිධි තිබෙන රටවල් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙනවා. අනෙක් පැත්තෙන් චීනයත් මේ වෙද්දී හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය යොදා ගනිමින් ශල්ක තෙල් කර්මාන්තයට අත ගසා තිබෙනවා.
ශල්ක තෙල් කර්මාන්තය ප්‍රවර්ධනය වීම කාලයක් තිස්සේ තෙල් නිසා බැට කෑ ඇමරිකාවේ සිදු වී තිබෙන එකම වෙනස නෙමෙයි. පොසිල ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානම හමුවේ පසුගිය කාලය පුරාවට ඇමරිකාව විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශාල ආයෝජන සිදු කර තිබෙනවා. ඒ වගේම, අලුතෙන් නිපදවන මෝටර් රථ බොහොමයක් පෙට්‍රෝලියම් ඉන්ධන යොදා නොගන්නා ඒවා. ඒ වගේම, මේ වෙද්දී බොහෝ දෙනෙක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාවය නිසාත්, අන්තර්ජාල වෙළඳාමේ ව්‍යාප්තිය නිසාත් ප්‍රවාහන අවශ්‍යතා සීමා වීමක් වෙනවා. ඇමරිකාව ආර්ථික වර්ධන හිනිපෙතේ දැන් ඉන්නා අදියර අනුව ආර්ථිකය වර්ධනය වීම යනු භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යාම නොවන නිසා ඇමරිකාවට තවත් වැඩි වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වන්නේ සීමිතවයි. ඒ නිසා, තවත් සෑහෙන කාලයකට ඇමරිකාවට තෙල් ප්‍රශ්නයක් මතු වීමේ ඉඩක් නැහැ.
ඇමරිකාව තෙල් ස්වාධීනත්වය ලබා ගත්තා කියා කියන්නේ බාහිර ලෝකයට ඇමරිකාව පාලනය කළ හැකි ප්‍රබල අවියක් නැති වුනා කියන එකයි. ඒ වෙනස ඉදිරි කාලයේ ලෝක දේශපාලන බලතුලනය කෙරෙහි බලපාන වැදගත් සාධකයක්.
ලෝකයේ ආර්ථික සංතුලනය ඔහොම වෙද්දි ලංකාවේ ආදායම් වැඩිවීමට නම් රට පුරා කර්මාන්ත ශාලා බිහිවිය යුතුයි. ඒ වගේම, රැකියා උත්පාදනය විය යුතුයි. මේ සඳහා එක් පැත්තකින් අපට තාක්ෂණය අවශ්‍යයි. අනෙක් පැත්තෙන් වෙළෙඳ පොළ අවශ්‍යයි. මේ අවශ්‍යතා දෙක ඉටුකර ගැනීමට මේ චීන ඇමරිකන් දැවැන්ත ආර්ථික බලවතුන් දෙදෙනා ප්‍රයෝජනයට ගැනීමට ලංකාව ඥානවන්ත විය යුතුයි. අද ආර්ථික බලවතෙකුව සිටින චීනය මෙන්ම, වියට්නාමය පවා දියුණු වීමට ප්‍රධානතම හේතුව ඇමෙරිකානු වෙළෙඳ පොළයි.
ReplyDeleteඑබැවින් ඇමෙරිකානු වෙළෙඳ පොළ නතුකර ගැනීම සඳහා ලංකාවේ බුද්ධිමත් විද්වතුන් සංවාදයක් ඇරඹිය යුතුයි. නමුත්, අපේ කේවල් කිරීම සිදුවන්නේ, ඩොලර් මිලියන 400ක - 500ක ආධාර සඳහා පමණයි.
නිකන් පිනට මුදල් ඉල්ලා සිටීම වෙනුවට, අතීතයේදී ජපානය, දකුණු කොරියාව, තායිවානය ආදී රාජ්‍යයන් සිදුකළාක් මෙන් The most favoured nation's කියන තත්ත්වයක් අපත් ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා කේවල් කළ යුතුයි. ඒ ආකාරයට ඉතා සහනදායී තීරු ගාස්තු යටතේ අපේ භාණ්ඩ සඳහා ඇමෙරිකානු වෙළෙඳ පොළ විවෘතකර ගත යුතුය.
ඔය අතරේ අප චීනය පාවිච්චි කළ යුත්තේ නවීනම තාක්ෂණය ලබා ගැනීම සඳහායි. නමුත්, අද අප චීනයෙන් ඉල්ලා සිටින්නේ, "පාරක් හදා දෙන්න, රේල් පාරක් හදා දෙන්න, ගෙවල් 1000ක් හදා දෙන්න, වාහන ටිකක් එවන්න" වගේ විකාර දේවල්. එවැනි ආධාර සඳහා අප චීනය පාවිච්චි නොකළ යුතුයි. ඒ වෙනුවට, අප චීනයෙන් තාක්ෂණය ඉල්ලා සිටීමට සංවාදයක් ගොඩනගා ගත යුතුයි. ZTE, Yutung, Huawei, Oppo, Lenovo වැනි කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළට රැගෙන එන ලෙස ඉල්ලා කේවල් කළ යුතුයි.
මෙහෙම එක පැත්තකින් තාක්ෂණයත්, අනෙක් පැත්තෙන් වෙළෙඳ පොළත් දිනාගත් විට කර්මාන්ත ශාලා ඉදිවෙලා, රැකියා උත්පාදනය වෙලා, ජනතාවගේ ආදායම් වැඩිවීම නිරායාසයෙන් සිදුවෙනවා. මෙය න්‍යායක් නොවෙයි. අතීතයේදී වෙනත් රටවල මෙය සිදුවුණා. එදා දකුණු කොරියාව, ජපානයෙන් තාක්ෂණය අරගෙන ඇමෙරිකානු වෙළෙඳ පොළට ගියා වගේ ලංකාවත් කළ යුත්තේ එයම නේද ඉකොනො?
පසුගිය එජාපයේ යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති දැනුම් දී තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඔහුගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූවක් අත ඒ බව දන්වා ඇති අතර තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් රු. මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.
තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් සදහන් කර තිබේ.
නමුත් එම මුදල ආපසු ලබා නොදුනහොත් තමන් දෙවරක් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබේ.
මේ වන විටත් පසුගිය එජාප අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපතිගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇත.
සේනාධිපති විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.
ඔබගේ අදහස් ඉතා විශිෂ්ටයි.චීනය ඇමරිකාව ගැන තිබුණු අදහස් ගැන විතරයි මං කියන්නේ. තව ඔයවගේ අදහස් එකතු කරන්න... Thank you
Deleteඅපේ රටේ උපදේශකයන්ට මෙවැනි පෝස්ට්ස් මෙන්ම ඉහත කමෙන්ටු වැනි දේත් කියවන්නට සිත් පහළ වේවා!
ReplyDeleteCan you explain the role of strategic reserves maintained by US?
ReplyDelete1973දී ඔපෙක් රටවල් විසින් ඇමරිකාවට සම්බාධක පැනවීමෙන් පසුව ඇමරිකාවේ තෙල් හිඟයක් ඇති වුනා. අනාගතයේදී ඇති විය හැකි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හා ස්වභාවික ව්‍යසනයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් රජය විසින් හදිසි ආපදා තෙල් සංචිත පවත්වා ගැනීම 1975දී නීතිගත කෙරුණා. ඒ අනුව, ඇමරිකන් රජය සතුව හදිසියකදී ප්‍රයෝජනයට ගත හැකි බොර තෙල් සංචිත හා පිරිපහදු කළ සංචිත යම් ප්‍රමාණයක් තිබෙනවා. ටෙක්සාස් හා ලුවිසියානා ප්‍රාන්ත වල තිබෙන මේ සංචිත සාමාන්‍ය මට්ටමෙන් පරිභෝජනය කළොත් අවම වශයෙන් මාසයකට ප්‍රමාණවත්. නමුත්, හදිසි අවස්ථාවකදී මේ සංචිත නිදහස් කරන්නේ පාලනයක් සහිතව නිසා අවම වශයෙන් මාස තුනකට පමණවත් ප්‍රමාණවත්. මැතකදී රජයේ අයවැය හිඟය පියවා ගැනීමට මේ තෙල් සංචිත වලින් කොටසක් වෙන්දේසි කළා.
Deleteවැඩි විස්තර (රජයේ නිල තොරතුරු): https://www.energy.gov/fe/services/petroleum-reserves
what is " shalka oil" ?
ReplyDeleteShale oil.
Deletehttps://www.investopedia.com/terms/s/shaleoil.asp
Thanks Eco!
Deleteබොහොම වැදගත් ලිපියක්. තාමත් ලංකාවේ සමාජවාදී මී හරක් ඇමරිකාවේ තෙල් නල දේශපාලනය ගැන කතා කරනවනේ. ඒ අය හිතන් ඉන්නෙ ඉරාන අර්බුධෙත් තෙල් කේස් එකක් කියල.
ReplyDeleteඉතාමත් ම වටිනා ලිපියක්.
ReplyDelete