වෙබ් ලිපිනය:

Sunday, January 26, 2020

බැඳුම්කර දේශපාලනය


හඬපට හඬ පරයමින් නැවතත් බැඳුම්කර හඬ මතු වී තිබෙනවා. ඒ වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ වීමෙන් පසුවයි. තවමත් සම්පූර්ණ කර තිබෙන්නේ වාර්තා හයකින් පහක් පමණයි. ඒ වාර්තා පහේද ඇමුණුම් ප්‍රසිද්ධ කර නැති නිසා වාර්තා වල ඇති දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම තරමක් අමාරුයි. එහෙත්, අදාළ වකවානු වල බැඳුම්කර නිකුතු නිසා රජයට සිදු වූ අලාභය කියන නිශ්චිත කරුණ ගැන කතා කිරීමට ප්‍රමාණවත් තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ වී තිබෙනවා. දැනට ප්‍රසිද්ධ වී තිබෙන වාර්තා පහ පිළියෙළ කිරීම සඳහා අදාළ විගණන සමාගම විසින් රුපියල් මිලියන 275ක මුදලක් අය කර තිබෙනවා.

බැඳුම්කර දේශපාලනය අමතක කර මේ සිද්ධිය ගැන කතා කරන්න බැහැ. මේ හා අදාළ ක්‍රියාදාමය පටන් ගත්තේ 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු වෙන්දේසියෙන් පසුවයි. ඒ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී සත් සතියක් ගෙවිලාත් නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී මාසයයි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුනේ එජාප, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් මහින්ද රාජපක්ෂට එරෙහිව ඔහුට සහයෝගය දුන් නිසයි. රාජපක්ෂ අනුගාමිකයින්ගේ පැත්තෙන් බැලු විට මහින්දගේ පරාජය අනපේක්ෂිත හා දරා ගන්න අමාරු එකක්ව තිබුණා. ජනාධිපතිවරණ වේදිකා වල මහින්ද ඇතුළු කණ්ඩායමේ හොරකම් හා දූෂණ ගැන විශාල ලෙස කතා වුනා. මේ කතා ඡන්දදායකයින් විසින් විශ්වාස කළ බව බොහෝ රාජපක්ෂවාදීන්ගේ අදහස වුනා. 

මේ වෙද්දී රනිල් වික්‍රමසිංහට කාලයක් තිස්සේ ගොඩ නගාගත් "මිස්ටර් ක්ලීන්" ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධාන ඡන්ද ඉවත් වූ පසු එජාපය විශාල වාසිදායක තැනක හිටියේ නැහැ. ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ප්‍රදේශ බොහොමයක් ජයගත්තේ මහින්ද රාජපක්ෂයි. එවන් පසුබිමක එලැඹීමට නියමිතව තිබුණු මහ මැතිවරණය ජයගැනීම එජාපයට අභියෝගයක්ව තිබුණා.

ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාප හා සන්ධානගත වීම සැලකිය හැක්කේ එම පක්ෂය පැත්තෙන් ගත් උපක්‍රමික තීරණයක් ලෙසයි. ජවිපෙට මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට අවශ්‍ය වුනා. එය කළ හැකිව තිබුණේ එජාපයටයි. ඒ සඳහා එජාපයට ජවිපෙ සහයෝගය අත්‍යාවශ්‍යව තිබුණා. එජාපය හා ජවිපෙ එක පිලකට නොපැමිණියානම් මහින්ද රාජපක්ෂ පැරදෙන්නේ නැහැ. නමුත්, ජවිපෙට ඉන් ඔබ්බට එජාපය ශක්තිමත් වනු දකින්න අවශ්‍ය වුණේ නැහැ. ජවිපෙ උපක්‍රමය වුනේ එජාප හා එක්ව රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමෙන් පසුව, වඩා දුර්වල එජාපයටද වැටෙන්නට හැර 2020දී රටේ දේශපාලන බලයට කිට්ටු වීමයි. රාජපක්ෂලා ඉතා ඉක්මණින්ම නැවත හිස ඔසොවයි කියා ජවිපෙ ගණන් බලා තිබුණේ නැහැ.

බැඳුම්කර කතාව එළියට ආවේ මෙවැනි පසුබිමකයි. සිද්ධිය ජනගත කිරීමට වැඩිම දායකත්වය සැපයුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේ කිරීමට ජවිපෙට උපක්‍රමික හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් රාජපක්ෂලා දුර්වල වී සිටියදී රනිල් ශක්තිමත් වීමද වැළැක්වූ විට තෙවන පාර්ශ්වය වූ ජවිපෙට මහ මැතිවරණයේදී ජනතා ආකර්ශනයක් හිමිවීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණා. දෙවනුව, මෙය ඔවුන්ගේ "උනුත් හොරු මුනුත් හොරු" ප්‍රවාදය සමඟ හොඳින් ගැලපුනා. තෙවනුව, රාජපක්ෂවාදීන් විසින් ජවිපෙ වෙත අලවා තිබුණු රතු අලි ලේබලය හමුවේ තමන් එජාපයට ප්‍රතිවිරුද්ධ විකල්ප දේශපාලනයක යෙදෙන බව ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් ජවිපෙට තිබුණා. අද දක්වාම මේ සිද්ධිය ඉදිරියට ඇදගෙන යාමේ ප්‍රමුඛ කාර්යයක් ජවිපෙ විසින් කරනවා.

පරාජයේ කම්පනයෙන් වික්ෂිප්ත වී සිටි රාජපක්ෂවාදීන්ට මෙය අනපේක්ෂිතව ලැබුණු මහඟු අවස්ථාවක් වුනා. ඔවුන් වහා ක්‍රියාත්මක වී කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙක් බවට පත් කළා. බැඳුම්කර මගඩිය ලංකා ඉතිහාසයේ සිදු වූ ලොකුම මූල්‍ය වංචාව බව එජාප පාක්ෂිකයින්ද ඇතුළුව රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පටන් ගත්තා. නමුත්, සිදු වුනේ කුමක්ද කියන එක ගැන රටේ බොහෝ දෙනෙකුට හරි අදහසක් තිබුණේ නැහැ. අදටත් නැහැ. සමහර අය මෙය තේරුම් ගන්නේ මහ බැංකුව මංකොල්ල කෑමක් ලෙසයි.

මේ සිදුවීම හා අදාළව කමිටු ගණනාවක් පත් කෙරුණු අතර වාර්තා ගණනාවක් එළි දැක්වුනා. ජවිපෙ විසින් බොහෝ විට පදනම් කර ගත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාවයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ "අසාමාන්‍ය" බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් මිලියන 889ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් රුපියල් මිලියන 785 ක පාඩුවක් ලෙසයි. 

එහෙත්, පොහොට්ටු පාක්ෂිකයින් විසින් ජනගත කළ අදහස් අනුව මේ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. 2015 අගෝස්තු මහ මැතිවරණයට මසකට පමණ පෙර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව ඒ වන විට රජයට සිදු වී තිබුණු අලාභය රුපියල් මිලියන 56,700ක්. මේ 2015 පෙබරවාරි 27 වෙන්දේසිය නිසා එදිනම සිදු වූ රුපියල් බිලියන 2ක අලාභයේත්, ඉන් පසුව අනෙකුත් රාජ්‍ය සුරැකුම්පත් වල පොලී අනුපාතික ඉහළ යාම නිසා සිදු වූ රුපියල් කෝටි 5,470ක (බිලියන 54.7ක) අලාභයන්හි එකතුවයි. මේ මුදල කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ට සාපේක්ෂව අති විශාල මුදලක්. මේ මුදල සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කළ පහත තිබෙන කබ්රාල්ගේ සාකච්ඡාවේදී තමන්ගේ කාලයේදී සිදු කළ බැඳුම්කර නිකුතු ගැනද කරුණු සොයා බලන මෙන් ඔහු අභියෝග කළා.


කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි මා මගේ වියුණු දෙකෙහි මේ සිදුවීම ගැනත්, පොදුවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළ තාක්ෂණික කරුණු ගැනත් කතා කරමින් ලිපි මාලා දෙකක් සහ තවත් තනි ලිපි ගණනාවක් පළ කළා. පළමු ලිපි මාලාවෙන් මා අවධානය යොමු කළේ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් රජයට සිදු වූ අලාභය ගැනයි. බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙය නොවූවත්, මේ ලිපි මාලාව හරහා මා පෙන්වා දුන්නේ ඉහත බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා නිසා රජයට සිදුව ඇති අලාභය විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ක මුදලට වඩා අඩු මුදලක් විය යුතු බවයි. එම ලිපි මාලාව හරහා මා ඉදිරිපත් කළ කරුණු ඇතැම් අයගේ කණස්සල්ලට හේතු වී ඇතත් අභියෝගයට ලක් වී නැහැ.

මා මේ ලිපි ලියන විට දැන් හෙළිදරවු වී ඇති බොහෝ කරුණු හෙළිදරවු වී නැහැ. ඒ නිසා, මට බොහෝ නිගමන වලට පැමිණෙන්න වුනේ න්‍යායාත්මක හා විශ්ලේෂණාත්මක පදනමක සිටයි. අලුතෙන් හෙළිව ඇති තොරතුරු වලින් එම නිගමන නිවැරදි බව සනාථ වී තිබෙනවා. ඒ නිසා, මා ලියූ දේවල් වෙනුවෙන් මට අදටත් පෙනී සිටිය හැකියි. ලියා පළ කළ සියළු ලිපි තව දුරටත් සංවාදයට විවෘතව අද දක්වාම එළෙසම තිබෙනවා.

මා විගණකාධිපති වාර්තාව හා ඒ මත පාදක වූ කෝප් වාර්තාව විවේචනය කළේ තාක්ෂනික පදනමක සිටයි. එම වාර්තා වල සඳහන් ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි.

පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1,154ක දීර්ඝ වාර්තාවක්. ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් මිලියන 689 ක් බවයි. 

මේ අලාභය සිදු වී තිබෙන්නේ  2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ. 

අළුත්ම වාර්තා අනුව, ඉහත කී කාලයේ මෙන්ම ඊට පෙර 2002 ජනවාරි 1 සිට 2016 මාර්තු 16 දක්වා වූ මුළු කාලය තුළ බැඳුම්කර නිකුතු වලින් රජයට සිදු වූ අලාභය ඇස්තමේන්තු කර තිබෙනවා. අදාළ ඇස්තමේන්තු සකස් කළ සමාගම ජාත්‍යන්තර විගණන සමාගමක් වීම හෝ එම සමාගමට රුපියල් මිලියන 275ක මුදලක් මේ වෙනුවෙන් ගෙවා තිබීම නිසා රජයට සිදුව ඇති හානිය පිළිබඳ මේ වාර්තා වල ඇති ගණන් බැලීම් හරියටම හරි කියා කියන්න බැහැ. මේ වාර්තා වල අලාභය ගණන් හදා තිබෙන්නේ අදාළ දිනයේ පැවති සාමාන්‍ය ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතිකය යටතේ රජයට අවශ්‍ය තරම් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකිව තිබුණේය යන පදනමින්. එය වැරදි උපකල්පනයක්. එහෙත්, කවර හෝ උපකල්පන මත නොපිහිටා අලාභය ගණනය කිරීමක් කළ නොහැකියි.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී රජයට සිදුව ඇති අලාභය අවම වශයෙන් රුපියල් මිලියන 1106.43ක්ද, උපරිම වශයෙන් 1114.63ක්ද වෙනවා. මේ ගණන් ජනාධිපති කොමිෂමේ වාර්තාවේ හා විගණකාධිපති/ කෝප් වාර්තා වල ඇති ඇස්තමේන්තු වලට වඩා වැඩියි. එහෙත්, අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි.

මේ ආකාරයටම 2002 සිට එක් එක් නිකුතු වලදී රජයට අලාභයක් සිදු වූයේද යන්නත් මේ විගණනයේදී සොයා බලා තිබෙනවා. මෙසේ අලාභ ගණනය කර තිබෙන පදනම නිවැරදියි මා සිතන්නේ නැති වුවත්, සියලු කාලපරිච්ඡේද හා අදාළව ඔවුන් යොදාගෙන තිබෙන්නේ එකම පදනමක් නිසා මේ ඇස්තමේන්තු සංසන්දනාත්මකයි. ඒ නිසා, උපකල්පන වෙනස් කර එක් කාලයක අලාභ අඩු හෝ වැඩි ලෙස ඇස්තමේන්තු කරන්නට සිදු වුවහොත් අනෙක් කාලයේ අලාභත් අනුරූපී ලෙස අඩු හෝ වැඩි වෙනවා.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 1 දින සිට සිදුව තිබෙන සමස්ත අලාභය රුපියල් මිලියන 6642.67ක්ද උපරිම වශයෙන් රුපියල් මිලියන 9690.16ක්ද වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 6.6-9.7 පරාසයේ අලාභයක්. ඊට පෙර 2005 සිට 2015 දක්වා කාලය තුළ රජයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 10.5-10.6 පරාසයේ (අවම වශයෙන් රුපියල් මිලියන 10477.31ක් හා උපරිම වශයෙන් රුපියල් මිලියන 10622.35ක් ලෙස) බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මගේ පෞද්ගලික මතයනම් 2015ට පෙර කාලයේදී අක්‍රමිකතා සිදුව ඇතත් මේ කියන ආකාරයේ අලාභයක් රජයට සිදුව නැති බවයි. අලාභයක් සිදු වුනා විය හැක්කේ රාජ්‍ය බැංකු වලට සහ සේවක අර්ථසාධක අරමුදලටයි. ඉන් පසු කාලයේද, රජයට අලාභයක් වූවානම් ඒ 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී පමණයි. එදින සිදු වී ඇති දෙය මේ වන විට රහසක් නෙමෙයි. ඒ අනුව, වඩාත්ම නිවැරදි ඇස්තමේන්තුව ලෙස මා සලකන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇස්තමේන්තුවයි.

මේ වන විට අර්ජුන් ඇලෝසියස් විසින් 2015 පෙබරවාරි 27 වෙන්දේසියට පෙර අභ්‍යන්තර තොරතුරු ලබාගෙන ඇති බවත්, අර්ජුන් මහේන්ද්‍රන් විසින් එම වෙන්දේසියට බලපෑම් කර ඇති බවත් පැහැදිලි කරුණක්. එය එජාප පාක්ෂිකයින්ට බැහැර කළ නොහැකි කරුණක්. ඒ නිසා, එජාපය දැන් උත්සාහ කරන්නේ එම වෙන්දේසියේදී රජයට අලාභයක් වූවානම් එම පදනම මත බැලූ විට ඊට පෙර යුගයේදී ඊට වඩා වැඩි අලාභයක් සිදු වී ඇති බව පෙන්වන්නයි. එවිට 2015 පෙබරවාරි සිදු වූ දෙය සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. වෝහාරික විගණන වාර්තාවෙන් එජාපයට අවශ්‍ය දෙය සිදු වෙනවා.

මේ වන විට එජාපය දේශපාලනිකව ශක්තිමත් තැනක නොසිටින නිසා උපාය මාර්ගිකව සැලකූ විට ජවිපෙට එජාපයට පහර දීමේ විශේෂ වාසියක් නැහැ. දෙගොල්ලන්ම එකයි කියන ඔවුන්ගේ දිගුකාලීන ප්‍රවාදය තහවුරු කිරීම ඔවුන්ට වඩා වාසියි. වෝහාරික විගණන වාර්තාවෙන් ඒ කටයුත්තත් සිදු වෙනවා. මූල්‍ය වෙළඳපොළ ඒකාධිකාරය, ළබැඳියා ගැටුම් වැනි බොහෝ කරුණු හා අදාළව ජවිපෙ විසින් දිගින් දිගටම කියන හා අපේ ලිපි වලද අප විසින් කතා කර තිබෙන දේවල් බොරු නෙමෙයි. ඒ බව මේ විගණන වාර්තා වලින් නැවත වරක් තහවුරු කර තිබෙනවා.

එහෙත් මේ තත්ත්වයන්ට මුල් වී ඇති හේතුව ලෙස අප විසින් හඳුනා ගන්නේ ජවිපෙ විසින් හඳුනා ගන්නා දෙයම නෙමෙයි. අප ඊට වඩා පියවරක් ආපස්සට යනවා. ඒ නිසා, අප විසඳුම ලෙස දකින්නේ  ජවිපෙ දකින විසඳුම නෙමෙයි. ජවිපෙට අනුවනම් දැන් ප්‍රශ්නය ඔවුන්ගේ මැදිහත්වීම නිසා විසඳී තිබෙනවා. එහෙත් අප එය ස්ථිර විසඳුමක් සේ දකින්නේ නැහැ.

බැලූ බැල්මටම පෙනෙන පරිදි වෝහාරික විගණන වාර්තාව පොදුජන පෙරමුණට අවාසිදායක එකක්. ඔවුන් විසින්ම ඉදිරිපත් කළ උපකල්පනයක් වන සෘජු ක්‍රමයට ද්වීතියික වෙළඳපොළ පොලියටම ප්‍රමාණවත් අරමුදල් සපයාගත හැකිව තිබුණේය යන පදනම මත පෙර වසර වල රජයට සිදු වූ අලාභ ගණනය කර තිබීම නිසා ඔවුන් උගුලක සිර වී සිටිනවා. එහෙත්, ඔවුන්ට ඒ අවාසියෙන් ගැලවිය හැකි මාර්ග මෙහි ඉතිරි වී තිබෙනවා. 2005-2015 අතර රජයට සිදුව ඇති අලාභයෙන් 95%ක් පමණම රාජ්‍ය බැංකු වලට හෝ සේවක අර්ථසාධක අරමුදල හරහා නැවත රජයට ලැබී ඇති බව වැනි තර්ක ඔවුන්ට ඉදිරිපත් කළ හැකියි.

බැඳුම්කර වෙන්දේසියෙන් සිදුවූ අලාභයට අමතරව 2005-2015 කාලයේ ඇතැම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට සිදුව ඇති හානි පෙන්වා දීමට පසුබිමක්ද මේ විගණන වාර්තා නිසා ලැබී තිබෙනවා. විශේෂයෙන්ම 2008 හා 2012 වසර වලදී.  විගණන වාර්තා අනුව රජයට වූ පාඩුවේ වැඩි කොටස සිදුව තිබෙන්නේ රුපියල නාමික පදනමකින් පවා අධිප්‍රමාණය වෙන්නට සලස්වනු ලැබූ ඒ දෙවසර තුළදී. රජයට සිදු වූ පාඩු ලෙස පෙන්වා ඇති සංඛ්‍යා තුළ මේ එක් එක් වසර වලදී පැවති සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ අපිළිවෙළ (ඇනෝමලිය) පිළිබිඹු කරනවා. 2005-2015 වැරදි ආර්ථික ප්‍රතිපත්ති කියන එකෙන් අදහස් කළේ 2015-2019 ප්‍රතිපත්ති මුළුමනින්ම නිවැරදියි කියන එක නෙමෙයි.

රුපියල් මිලියන 275ක් අය කර මේ විගණනය සිදු කළ සමාගම විසින් අන්තිමේදී සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 275කට වඩා අඩුයි කියා හොයා ගත්තානම් ඔවුන්ට කොන්ත්‍රාත්තුව භාර දුන් අය අමාරුවක වැටෙනවා. මෙහි අලාභය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැති නිසා එය කොහොමටත් කරන්න වෙන්නේ මොනවා හෝ උපකල්පන මතයි. විගණන සමාගම විසින් වැඩි අලාභයක් පෙන්විය හැකි පරිදි ඔවුන්ගේ උපකල්පන සිදු කර තිබෙනවා. මේ උපකල්පන සහ විශේල්ෂණ අප අපේ බ්ලොග් ලිපි ලියන විට සිදු කරන විශ්ලේෂණ වලට සාපේක්ෂව වුවත් ඉතා සරලයි.

කොහොම වුනත්, මාස කිහිපයකින් මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීම අභියෝගාත්මක කාර්යයයක්. ලිපි පෙළ ලියන්න පටන් ගනිද්දී මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ පසුබිම් කරුණු ගැන මනා අවබෝධයක් අපට තිබුණත්, අදාළ විගණන සමාගමේ නිලධාරීන්ට මේ දේවල් මුල සිටම හදාරන්න වෙනවා. ඔවුන් කර තිබෙන්නේ ඔවුන්ට කළ හැකි දේ. විගණනයේ මූලධර්ම හා ආර්ථික විද්‍යා මූලධර්ම හැම විටම සමාන නැහැ. ආර්ථික ලාභ හා ගිණුම්කරණ ලාභ (හෝ අලාභ) අර්ථ දක්වන්නේ එකම ආකාරයට නෙමෙයි. ගිණුම්කරණ සම්මත වෙනස් වෙන කොට ගිණුම්කරණ ලාභ වෙනස් වෙනවා. ආර්ථික ලාභ එසේ වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ආර්ථික ලාභ ගණනය කිරීමේදී විවිධ අවිනිශ්චිතතා ගැන සැලකිල්ලට ගන්නා නිසා හරියටම සතේටම ගණන් හදන්න අමාරුයි. බොහෝ විට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ මිනුම් වරදක් එක්කයි. එවැන්නක් මත පදනම්ව නීති ක්‍රියාමාර්ග ගන්න අමාරුයි. විගණන ඇස්තමේන්තු ඒ වැඩේට වඩා ගැලපෙනවා.

සිදුව තිබෙන අලාභය මීට වඩා බෙහෙවින්ම අඩු බව අපට පෙන්වා දිය හැකි වුවත්, එය මේ වෙලාවේ පොදුජන පෙරමුණේ, ජවිපෙ හෝ එජාපෙ යන කිසිදු පක්ෂයක පාක්ෂිකයින් සතුටු කරවන්නක් නෙමෙයි. එවැනි පාක්ෂිකයින් නොවන බොහෝ දෙනෙක් පවා මේ අලාභය විශාල වන තරමට සතුටු වෙනවා. රටේ දැවැන්ත හොරකම් සිදුවන විට තමන්ට පොඩි හොරකමක් කරන්න හිත හදාගන්න ලේසියි. කොහොම වුවත්, අපේ අදහස් දැනගන්න කැමති ටික දෙනෙක් හෝ ඉන්න නිසා අපේ හෘදය සාක්ෂිය අනුව අපට නිවැරදි සේ පෙනෙන දෙය සටහන් කරන්න අප පැකිළෙන්නේ නැහැ.

13 comments:

  1. ජාත්‍යන්තර මට්ටමේ විගණන සමාගමකින්, මේ ආකාරයේ වැරැද්දක් වෙන්න පුළුවන්ද? ඔවුන් පාඩුව ගණනය කර ඇති පදනම නිවැරදි නැති බව,ආර්ථික විද්‍යාව ප්‍රගුණ කල අපටත් වැටහෙනවා.

    ඇතැම් විට මෙම පාඩුව ගණනය කිරීමේ පදනම තෝරා ගැනීමේදි, එය මහබැංකුවේ මුල්‍ය මණ්ඩලයේ, නිලධාරීන්ගේ බලපෑම මත, සිදු උනා වෙන්නත් පුළුවන්.

    දැනටමත් එලිවී ඇති ආකාරයට,විගණන සමාගමත්, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයත් සම්භන්ධීකරනය කර ඇති නිළධාරීන් දැඩි රනිල් හිතවාදීන්..

    හැබැයි අර්ජුන මහේන්ද්‍රන් ඉන්සයිඩ් ට්‍රේඩීන්, කර ඇති බව වාර්ථාවේ පැහැදිලව සදහන් වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. අලාභය ගණනය කර ඇති පදනම වැරදි බව මටනම් එක එල්ලේම කියන්න පුළුවන්. ඒ බව පෙන්වා දෙන්නත් පුළුවන්. නමුත්, කෝප් වාර්තාවේ හා විගණකාධිපති වාර්තාවේ ක්‍රමවේද නිවැරදියයි පිළිගත් අයට මේ ක්‍රමවේදය වැරදියි කියා කියන්න බැහැ. වැල් පොලී හදමින් අලාභය පැටවු ගස්වා පෙන්නූ අයට කෙසේවත් මෙය වැරදියි කියන්න බැහැ. මෙහි යොදාගෙන තිබෙන පදනම මට අනුව වැරදි වුවත් රටේ විශාල පිරිසක් විසින් පිළිගත් හා අනුමත කළ ක්‍රමවේදයයි.

      //දැනටමත් එලිවී ඇති ආකාරයට,විගණන සමාගමත්, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයත් සම්භන්ධීකරනය කර ඇති නිළධාරීන් දැඩි රනිල් හිතවාදීන්//
      මෙය අදාළ කරුණක් නෙමෙයි. වැදගත් කරුණ එවැනි හේතුවක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා වාර්තාවේ විකෘතියක් ඇති වී තිබේනම් එය කුමක්ද කියන එකයි.

      //හැබැයි අර්ජුන මහේන්ද්‍රන් ඉන්සයිඩ් ට්‍රේඩීන්, කර ඇති බව වාර්ථාවේ පැහැදිලව සදහන් වෙනවා නේද//
      මේ සිද්ධිය වන විට ඉන්සයිඩ් ට්‍රේඩින් කියන එක ලංකාවේ සුළු පිරිසක් හැර වැඩි දෙනෙක් අසා හෝ නොතිබුණු දෙයක්. ඒ වගේම එය ලංකාවේ ව්‍යාපාරික සංස්කෘතියේ කොටසක්. සමහර විට දැන් මෙහි යම් වෙනසක් ඇති. ඉන්සයිඩ් ට්‍රේඩින් කියන වචනයට තේරුමක් තියෙන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළක් තිබෙන ඇමරිකාව වගේ රටක. ලංකාවේ හැම තැනම වගේ තියෙන්නේ ඉන්සයිඩ් ට්‍රේඩින්ම තමයි. සෘජු ක්‍රමය කියන්නේ නිල වශයෙන්ම කරන ඉන්සයිඩ් ට්‍රේඩින් එකක්.

      මෙතැනදී වුනේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිස් මේ තත්ත්වයෙන් වාසියක් ගැනීමයි. මහේන්ද්‍රන් ඉන්සයිඩ් ට්‍රේඩින් කළා කියා ලංකාවේ මිනිස්සුන්ට කියලා දේශපාලන වාසියක් ගන්න බැහැ. මහ බැංකුවේ ඉන්න මාමා තමන්ගේ බෑනාට මහ බැංකුව එක්ක බිස්නස් එකක් කරලා ගාණක් හොයා ගන්න උදවු කළා කිවුවනම් ලංකාවේ ගොඩක් මිනිස්සු ඕක ඒ තරම් සීරියස් ගන්නේ නැහැ. ඒ නිසා, එජාප නොවන කොටස් මිනිස්සුන්ට දැනෙන විදිහේ කතාවක් හැදුවා. මිනිස්සුන්ට දැනෙන්නේ ගාණ ලොකු වෙන තරමටයි. වෝහාරික විගණන වාර්තාව ඒ හදපු කතාව සමඟ ගැලපෙනවා.

      පසුගිය ආණ්ඩුව කාලයේ සිට 2017 අන්තිම වන තුරුම පැවති ක්‍රමවේදය අනුව බැඳුම්කර වෙන්දේසියකදී මහ බැංකුවට මුලින් කියූ ගාණට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් බැඳුම්කර විකුණන්න පුළුවන්. අඩුවෙන් විකුනන්න දැනටත් පුළුවන්. මේ ක්‍රමවේදය ඇතුලෙ ඔය වගේ වැඩක් වෙන්න පුළුවන්. එය පැවති ක්‍රමවේදය අනුව නිවැරදියි. දෙගුණයක් ගත්තත් දහගුණයක් ගත්තත් එය වැඩියෙන් ගැනීමක් පමණයි. ඒ නිසා පැවති ක්‍රමවේදයට සාපේක්ෂව රජයට කිසිම පාඩුවක් වෙලා නැහැ. පාඩුවක් වුනු බව පෙන්වන්න පුළුවන් වෙන්නේ වෙනත් විකල්ප ක්‍රමවේදයකට සාපේක්ෂවයි. මෙහිදී පොහොට්ටු පාර්ශ්වය විසින් විකල්ප ක්‍රමවේදය ලෙස ඉදිරිපත් කළේ සෘජු ක්‍රමය. ඔවුන්ට අනුව සෘජු ක්‍රමයට ද්වීතියික වෙළඳපොළේ පවතින මිලට (ඕනෑ තරම්) බැඳුම්කර විකිණිය හැකිව තිබුණා. වෙන්දේසිය නිසා ඊට වඩා අඩු මිලකට (වැඩි පොලියකට) විකුණන්න සිදුවුණා. මේ දෙක අතර වෙනස රජයට වූ පාඩුවයි. (සමහර අය මෙහි වැල් පොලීද ගණනය කළා- වැල් පොලී කිවුවට වැල් පොලීම නෙමෙයි. ද්වීතියක ප්‍රතිඵල ලෙස පොලී ඉහළ යාම) දැන් වෝහාරික විගණනය කර තිබෙන්නේත් එම පදනමේම සිටයි.

      Delete
  2. ස්තූතියි පැහැදිලි කිරීමට.....

    මගේ උඩ කමෙන්ට එකේ...//ආර්ථික විද්‍යාව ප්‍රගුණ// යන්න......ආර්ථික විද්‍යාව ප්‍රගුණ නොකල වශයෙන් නිවැරදි විය යුතුයි....

    ReplyDelete
    Replies
    1. කියවද්දී මෙය අත්වැරැද්දක් බව වැටහුනා.

      Delete
  3. Copied from Nadeepa Wickramage"s facebook Page.....


    බැඳුම්කර ගණුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව

    ==============================================

    1. ආණ්ඩුවට මුදල් සොයා ගැනීමට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සහ සුරැකුම්පත් නිකුත් කරයි. මෙතැන අවධානය භාණ්ඩාගාර බැඳුම්කර ගැනයි. බැඳුම්කර මිලට ගන්න ප්‍රාථමික ගැණුම්කරුවන් ඉදිරිපත් වෙනවා. ඔවුන්ට පුළුවන් මුහුණත වටිනාකමට අඩුවෙන්, සමානව, හෝ වැඩියෙන් ඉල්ලන්න. මේ මුහුණත වටිනාකමට පොලියකුත් ගෙවන නිසා ඔවුන්ට බැඳුම්කර කාලසීමාවට පස්සෙ යොදවන මුදලට සාපේක්ෂව ඉහල වටිනාකමක් ගන්න පුළුවන්.
    .
    2. ප්‍රාථමික ගැණුම්කරුවන් බොහෝ දුරට කරන්නෙ ඔවුන් මිලට ගන්නා බැඳුම්කර ද්විතීයික වෙළඳපොලේ විකිණීමයි. සාමාන්‍යයෙන් ඔවුන් ගන්නා මුදලට වඩා වැඩි මුදලකට තමා විකුණන්නෙ. උදාහරණයක් විදියට ප්‍රාථමික ගැණුම්කරුවෙක් මුහුණත වටිනාකම රුපියල් 100 ක් වන බැඳුම්කරයක් රුපියල් 98 කට මිලට ගන්නා බැඳුම්කරයක් (අදාල පොලියටම හා කල් පිරෙන කාලසීමාවටම) රුපියල් 98.10 කට විකිණුවාම ප්‍රාථමික ගැණුම්කරුට එක බැඳුම්කරයකට සත 10 ක් ලාබයි. බැඳුම්කර මිලියන ගණනක් විකිණුවාම ප්‍රාථමික ගැණුම්කරුවන්ට ලාභ උපයන්න පුළුවන්.
    .
    3. ප්‍රාථමික ගැණුම්කරුවන් සැමවිටම ලාභ උපයන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඔවුන් මිලට ගන්නා අගයට වඩා අඩුවට නම් ද්විතීයික වෙළඳපොලේ බැඳුම්කර විකිණෙන්නෙ, ඔවුන්ට පාඩු ලැබෙන්න පුළුවන්.
    .

    ReplyDelete
  4. 4. ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභය කියන්නෙ මහ බැංකුව ලබන පාඩුව නෙවෙයි. එහෙම ගණන් හදන එක වැරදියි. එහෙම ගණන් හදන්නෙ ද්විතීයික වෙළඳපොලේ ගානටම මහ බැංකුවටත් විකුණන්න පුළුවන් කියල උපකල්පනය කරලයි. උදාහරණයක් විදියට හාල් නිෂ්පාදකයෙක් තොග වෙලෙන්දාට රුපියල් 90 කට හාල් කිලෝවක් විකුණනව කියල හිතමු. තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දාට රුපියල් 95 කට විකුණනවා. සිල්ලර වෙලෙන්දා පාරිභෝගිකයාට රුපියල් 100 කට විකුණනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හාල් නිෂ්පාදකයාට රුපියල් 10 ක් පාඩුයි කියල. එහෙම ගණන් හදන එකම වැරදියි කියල ඕනෙ ගොනෙකුට තේරුම් යන්න ඕනෙ.
    .
    5. නමුත් බැඳුම්කර ගණුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවෙ මහ බැංකුවෙ "පාඩුව" ගණන් හදන්නෙ ප්‍රාථමික ගැණුම්කරුවන්ට විකුණන අනුපාතය එක සහ ද්විතීයික වෙළඳපොලේ විකිණුම් අනුපාත අතර වෙනස = රජයට/ මහ බැංකුවට වුන පාඩුව කියලයි.
    .
    6. දැන්, මේ විදියට මහ බැංකුවට වුනා කියල ගණන් හදපු පාඩුව ඇත්තටම පාඩුවක් කියල හිතමු. ඒක රජයට වුන පාඩුවක්ද? ඒක තීරණය වෙන්නෙ ඔය පාඩුව නිසා ලාභ ලබපු ආයතන ගැන හෙව්වහමයි. 2005-2015 ජනවාරි අතර මහ බැංකුවට වුනා කියල ගණනය කරපු පාඩුව රුපියල් මිලියන 10,622 යි. නමුත් ඒ බැඳුම්කර මිලට අරන් තියන ප්‍රාථමික ගණුදෙනුකරුවන් අතර සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉන්නවා. ඒ ආයතන මිලට ගත්ත බැඳුම්කර නිසා වූන පාඩුව රුපියල් මිලියන 9999 යි. ඒ කියන්නෙ මහ බැංකුවේ මුළු පාඩුවෙන් මිලියන 9999 ක් ම ගිහින් තියෙන්නෙ රජයේ ආයතන වලටයි. සමස්ත "පාඩුව" මිලියන 623 යි. (මේක පාඩුවක් කියල කිව්වෙ මේ පුද්ගලික බැංකු වලට ලැබුන ලාභය නිසයි. රජයේ ආයතන ලබපු ලාභයක් නොවන නිසයි.) මාසෙකට මිලියන 5 ක විතර පාඩුවක්.
    .
    7. 2015 ජනවාරි බලයට ආපු යහපාලන රජය යටතෙ 2016 මාර්තු දක්වා, මාස 14 ක් ඇතුලත විතරක් මහ බැංකුවට වුන පාඩුව රුපියල් මිලියන 9681 යි. ඒකෙන් රජයේ ආයතන අත්කරගත් ලාභය මිලියන 9 ක් විතරයි. ඒ කියන්නෙ පුද්ගලික ආයතන (ඇලෝසියස්ගෙ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඇතුළු ) ලබපු ලාභය රුපියල් මිලියන 9672 යි. රජයට මාසික පාඩුව රුපියල් මිලියන 691 ක්.
    .
    8. සාමාන්‍යයෙන් ප්‍රාථමික ගැණුම්කරුවෙකුට ද්විතීයික වෙළඳපොලේ ලොකු ලාභයක් ලබන්න බෑ. උදාහරණයක් විදියට 2005-2015 ඇතුලත අලෙවි කළ බැඳුම්කර වල වටිනාකම මිලියන 1,209,353 යි. ඒකෙන් ප්‍රාථමික ගැණුම්කරුවන් ලබපු ලාභය මිලියන 10,622 යි. ප්‍රතිශතයක් විදියට 0.88% යි. (මේ ලාභයෙන් වැඩි ප්‍රමාණයක් රජයේ ආයතන වලටයි.) පුද්ගලික ආයතන වල ලාභය 0.36% ක් වගේ ඉතා සුළු අගයක්. නමුත් 2015 ජනවාරි සිට 2016 මාර්තු දක්වා අලෙවි කළ මුළු බැඳුම්කර වටිනාකම වන මිලියන 558,910 න් ඇලෝසියස්ගෙ ආයතනය ඇතුළු ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභය මිලියන 9681 යි. ප්‍රතිශතයක් විදියට 1.73% යි. කලින් ප්‍රතිශතය දෙගුණ වෙලා. ඒ ලාභය පුද්ගලික සමාගම් වලටයි යන්නෙ. ද්විතීයික ගැණුම්කරුවන් ලෙස සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන පාඩු ලබනවා.
    .
    9. සාරාංශය විදියට ගත්තොත්, විගණන වාර්තාවෙ "පාඩුව" ගණන් හදපු ක්‍රමයම වැරදියි. "පාඩුව" කියන්නෙ සමස්ත රජයට වුන පාඩුවකුත් නෙවෙයි. හිතා මතා කරපු පාඩුවක් නම් තමයි ඒක හොරකමක් වෙන්නෙ. 2015 ට කලින්, එහෙම හිතා මතා පාඩුවක් කරපු බවක් හොයා ගන්න බෑ. නමුත් 2015 ඉඳන් හිතා මතා පාඩු වෙන විදියට බැඳුම්කර විකුණපු බවට සාක්ෂි තියනවා. ඒ වුන පාඩුව, පුද්ගලික ආයතන වලට ලාභ විදියට ලැබිලත් තියනවා. මේකෙන් පැහැදිලි වෙන්නෙ 2015 න් පස්සෙ වුන ජනතාවගේ සල්ලි පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ සාක්කු වලට යන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බව. 2015 ට කලින් පුද්ගලික සමාගම් වලට එහෙම අනිසි ලාභ ලබන්න හැකියාවක් තිබුනෙ නෑ. යහපාලන රජය යටතේ බැඳුම්කර වංචාවක් වුන බව අපි කියන්නෙ ඒකයි.
    .
    10. 2005 ඉඳන් 2016 මාර්තු වෙනකම් බැඳුම්කර විතරයි මේ විදියට විගණනය වෙන්නෙ. ඊට පස්සෙ ඒවා ගැන මේ වාර්තාවෙ නෑ. 2002-2005 ඇතුලත (රනිල්ගෙ කාලෙ ) වාර්තාත් නෑ. 2015 පෙබරවාරි ඉඳන් යහපාලන රජයෙන් කරපු ජනතා මුදල් පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ සාක්කු තර කරන මගඩිය වහන්නයි 2015 ට කලින් බැඳුම්කර ගැනත් හොයන්න ඕනෙ කියල කියන්නෙ. ඒකෙන් කරන්න උත්සාහ ගන්නෙ "අන්න මහින්දගෙ කාලෙත් හොරා කාල තියනව. උන් අපිට වඩා හොරා කාපු නිසා අවුලක් නෑ" වගේ චිත්‍රයක් මවල, 2015 ඉඳන් වුන ඇත්ත මගඩිය යට ගහන්නයි. ඒකට යූඑන්පී, ජවිපෙ අයත් හෝල් සේල් එකේ සපෝට් එක දෙනවා, මේ ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතිව. මේ වෝහාරික විගණන වාර්තාව හදන්නම මිලියන 275 ක් විතර වැය කරල තියනවා. ජනතා මුදල් පාවිච්චි කරල, ජනතාව නොමග යවන්න වාර්තා හදන මහන්සි වුන එකම අපරාධයක්. මොකද, වාර්තාව කියවන්නෙවත් නැතිව ඔහේ ඉලක්කම් වලට රැවටෙන අය රවට්ටන්න මේ වගේ වාර්තාවක් ඕනෙ නෑ. මයික් එකක් ඉස්සරහට ගිහින් ඕනෙ බොරුවක් කිව්වහම ඇති.

    ReplyDelete
    Replies
    1. 1, නිවැරදියි.

      2. නිවැරදියි. නමුත් මේ උදාහරණය ගැලපෙන්නේ මිලදී ගත් වහාම ගැණුම්කරුවෙකුට විකුණන අවස්ථාවේදී. ඒ කියන්නේ ගැනුම්කරුවෙකුගේ නියෝජිතයා (broker) ලෙස කටයුතු කරන අවස්ථාවේදී. කොටස් වෙළඳපොළ ගණුදෙනු කරන සමාගමක් වැඩි අවස්ථා ගණනකදී ගැනුම්කරුවෙකුගේ නියෝජිතයා (broker) ලෙස කටයුතු කරන නමුත් ප්‍රාථමික ගැණුම්කරුවන් බොහෝ විට කටයුතු කරන්නේ ගැණුම්කරුවකු (dealer) කෙනෙකු ලෙසයි. මෙහිදී (සෛද්ධාන්තිකව) යොදවන්නේ තමන්ගේම මුදල්. ඒ කියන්නේ අවදානම ගන්නේ තමන් විසින්. එසේ මිල දී ගන්නා බැඳුම්කර තමන් අතේ කාලයක් තබා ගැනීමෙන් උදාහරණයේ ඇති ගණනට සාපේක්ෂව විශාල ලාබයක් ලැබිය හැකියි. මේ බව මගේ ලිපි පෙළේ පැහැදිලි කර තිබෙනවා. කල් පිරීමේ කාලය වැඩි වන තරමට මෙසේ ලාබ ලැබීමේ හැකියාව වගේම අවදානමත් වේගයෙන් ඉහළ යනවා. ලංකාවේ ප්‍රාථමික ගැණුම්කරුවන් වැඩි පිරිසක් ඒ වැඩේ කරන්නේ ආයෝජනයක් වශයෙන්. (සේවක අර්ථසාධක අරමුදල සහ වාණිජ බැංකු) ඔවුන් විශාල අවදානමක් ගන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අරමුදල් වලින් වැඩි ප්‍රතිශතයක් ආයෝජනය කරන්නේ කෙටිකාලීනවයි. ඒවා බොහෝ විට නැවත විකුණන්නේ නැහැ. එසේ නොකරන්නේ වාණිජ බැංකු නොවන ප්‍රාථමික ගැණුම්කරුවන්. ඔවුන් අතරින්ද පර්පෙචුවල් ට්‍රේෂරීස් මුල සිටම වැඩි වශයෙන් දිගුකාලීන බැඳුම්කර වල ආයෝජනය කළ සමාගමක්. 2015ට පෙර ඔවුන්ගේ ප්‍රතිලාභ අනුපාතික දෙස බැලුවත් මෙය පෙනෙනවා.

      3. නිවැරදියි. නමුත් ඉහත විස්තර කළ හේතුව මත අසම්පූර්ණයි. පවතින මිල යටතේ විකුණන එක පාඩුනම් සාමාන්‍යයෙන් කරන්නේ විකුණන්නේ නැතිව මිල වෙනස් වන තුරු තබා ගැනීමයි. දිගින් දිගටම මිල අඩු වුනොත්, අල්ලාගෙන ඉන්න තරම් අරමුදල් නැත්නම් ලොකු පාඩුවකින් කෙළවර වෙන්න පුළුවන්.

      4. ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභය කියන්නෙ මහ බැංකුව ලබන පාඩුව නෙවෙයි කියන එක ඇත්ත. (මහ බැංකුව කියා කියන්නේ මෙහි තිබෙන අර්ථයෙන්. ඇත්තටම මේ වැඩෙන් පාඩුව හෝ ලාබය යන්නේ රජයට මිසක් මහ බැංකුවට නෙමෙයි. මහ බැංකුව විසින් කරන්නේ නියෝජිත කාර්යයක් පමණයි. එය අපි අමතක කරමු.) උදාහරණයත් නිවැරදියි. නමුත් විගණන වාර්තාවේ එසේ ගණන් හදලා නැහැ. ද්විතීයික වෙළඳපොලේ ගානටම මහ බැංකුවටත් විකුණන්න පුළුවන් කියල උපකල්පනය කරල තිබෙන බව ඇත්ත. එය වැරදියි. මෙය පසුගිය කාලයේ බැඳුම්කර වෙන්දේසියේ පාඩුව ගණන් හදා පෙන්වූ අය විසින්ද ඉදිරිපත් කළ පදනමයි.

      5. නිවැරදියි.

      6. මේ තර්කය ඉදිරිපත් කිරීමේදී එය ලියා ඇති පුද්ගලයා විසින් උඩින් ඔහු විසින්ම කියා තිබෙන "ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභය කියන්නෙ මහ බැංකුව ලබන පාඩුව නෙවෙයි" කියන කරුණ අමතක කරනවා. මහ බැංකුව ලබන පාඩුව කියන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලාභයම නෙමෙයි. මේ වෙලාවේ තමන්ගේ වාසියට ඉදිරිපත් කරන මේ තර්කය හේතුවෙන් අවසානයේදී ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. 2005-2015 කාලයේදී රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථ සාධක අරමුදලට මේ ගණන් වලට වඩා කිහිප ගුණයකින් වැඩි පාඩුවක් සිදු වී ඇති බව නිසි ගණන් බැලීමක් කළොත් පෙනෙයි. සමස්තයක් ලෙස එම කාලය තුළ රජයට පාඩුවක් සිදුවී ඇතැයි මා සිතන්නේ නැහැ. නමුත්, රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් සිදුවී තිබිය යුතුයි.

      7. ඉහත පැහැදිලි කර ඇති පරිදි වැරදි තර්කයක්.

      8. මේ ගණන් පරික්ෂා කර මිස පිළිතුරක් දිය නොහැකියි. මා විසින් පෙර ලිපියක ලියා ඇති පරිදි "පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අධික ලාභ ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට නොවේ. 2014 මාර්තු අවසානය වන විට මවු සමාගම වූ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යෙදවූ රුපියල් මිලියන 310.3ක ප්‍රාග්ධනයකට පමණක් හිම්කම් කියූ එම සමාගම පළමු වසර තුළ ලබන ලාභය මිලියන 959.5කි. මෙය 309.2%ක ප්‍රතිලාභ අනුපාතිකයකි."

      9-10. මම දැනට තීන්දු දෙන්න යන්නේ නැහැ.

      Delete
    2. ඇතැම් විට මේ පුද්ගලයා ද්වීතියික වෙළඳපොළ කියන එක වැරදියට තේරුම් අරගෙන වෙන්න පුළුවන්. ප්‍රාථමික හා ද්වීතියික වෙළඳපොළවල් අතර වෙනස සිල්ලර හා තොග වෙළඳපොළ අතර වෙනස වගේ එකක් නෙමෙයි. මෙහි ද්වීතියික වෙළඳපොළ කියන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් "සිල්ලරට විකුණන" මිල නෙමෙයි. එයින් අදහස් වන්නේ මිල දී ගත් බැඳුම්කරයක් තමන් සතුව කලක් තබා ගෙන නැවත විකිණීමයි. එසේ විකිණීම්/ මිල දී ගැනීම් වෙන්නෙත් මේ අය අතරමයි. මහ බැංකුව විසින්ම නැවත මිල දී ගන්නත් පුළුවන්. "සිල්ලර වෙළඳාම" වෙනම කරුණක්. ඒ තර්කය අනුවනම් ද්විතීයික වෙළඳපොලේ ගානටම මහ බැංකුවටත් විකුණන්න පුළුවන් කියන එක වැරදි උපකල්පනයක් නෙමෙයි. එය වැරදි උපකල්පනයක් වෙන්නේ අලුත් බැඳුම්කර නිකුත් කරන කොට බැඳුම්කර සැපයුම වෙනස් වී මිල වෙනස් වන නිසයි. ඒ වගේම වෙනත් විවිධ සාධක මත ඉල්ලුමද වෙනස් වෙනවා.

      Delete
    3. baiyanta bond kiyanne monwda kiyala denaganna forensic report eka enkamma inna una kiyahanko.

      Delete
    4. Foot notes wala tiyena ewa mokada den baiyo kiyawanne?

      Delete
    5. කෝප් කමිටුවට අනුව පාටි වලදි සමහරක් ව්‍යාපරිකයෝ මහ බැංකු අධිපතිව කැමති කරගෙන තමන්ගෙ පාඩු පිට තියෙන කොටස් වැඩි ගනනකට දි්ල ඊපිෆ් එකට (10 එක 40ට)නැවත මාස 6කට විතර පස්සෙ එම කොටස්ම 20ට අරගෙන තියෙනව.එහෙම ඩි්ල් තමයි පොඩි පොඩි පාඩු කිය්නෙ

      Delete
  5. දීර්ඝ පිලිතුරුවලට හා ඒ සදහා ගත කල කාලයට ස්තූතියි. හොද පැහැදිලි කිරීම් ලැබී තියෙනවා.

    ReplyDelete
  6. ස්තූතියි..වටිනා කරුණු දැක්වීමක්..!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: