වෙබ් ලිපිනය:

Saturday, January 25, 2020

ආදම්, ඒව සහ වෙනත් අය


පිරිමියෙකු කුසේ දරුවෙකු පිළිසිඳ ගැනීම බොහෝ දෙනෙකුට සුවිශේෂී පුවතක්. ලංකාවේ වගේම ඇමරිකාව ඇතුළු බටහිර රට වලත් එහෙමයි. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය සම්මතය අනුව දරුවකු පිළිසිඳ ගත හැක්කේ ගැහැණියකගේ කුසේ පමණක් නිසා.

අප බොහෝ විට කෙනෙක්ව පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස පහසුවෙන් වෙන් කර හඳුනා ගන්නවා. ඒ වගේම, පුරුෂයෙකුගෙන් හා ගැහැණියකගෙන් අපේක්ෂා කරන, එකිනෙකට වෙනස් වූ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. මේ ලක්ෂණ වලට ජීව විද්‍යාත්මක කරුණු, සිරුරේ බාහිර පෙනීම, ඇඳුම් පැළඳුම් ආදිය, සමාජ හැසිරීම, ලිංගික හැසිරීම්, නීතිමය කරුණු ආදී බොහෝ දේ ඇතුළත්.

බොහෝ දෙනෙකු හා අදාළව ලොකු ගැටළුවක් ඇති නොවුනත්, යමෙක් පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස ලේබල් කිරීම ඒ තරම්ම සරල කරුණක් නෙමෙයි. ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙනවා.

1. ජානමය වෙනස්කම් 

ගැහැණුන් හා පිරිමින් ජාන වලින්ම වෙනස්. ගැහැණියකට එකිනෙකට සමාන x වර්ණදේහ දෙකක් තිබෙනවා. පිරිමියෙකුට තිබෙන්නේ එකිනෙකට වෙනස්, එක් x වර්ණදේහයක් හා y වර්ණදේහයක්. ගැහැණියක හා පිරිමියෙකු අතර සංසර්ගයෙන් බිහිවන දරුවෙකුට මවගෙන් හා පියාගෙන් එක් වර්ණදේහය බැගින් ලැබෙනවා. මවට තිබෙන්නේ x වර්ණදේහ දෙකක් නිසා දරුවෙකුට මවගෙන් හැමවිටම උරුම වෙන්නේ x වර්ණදේහයක්. එහෙත්, පියාගෙන් x වර්ණදේහයක් හෝ y වර්ණදේහයක් ලැබෙන්න පුළුවන්. පියාගෙන් ලැබුණේ x වර්ණදේහයනම් දරුවා ගැහැණු දරුවෙකු වෙනවා. පියාගෙන් ලැබුණේ y  වර්ණදේහයනම් දරුවා පිරිමි දරුවෙකු වෙනවා. 

සුලබව දැකිය හැකි තත්ත්වයන් මේවා වුවත්, xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ග වල අයත් ඉඳහිට බිහි වෙනවා. මෙවැනි තත්ත්වයන් සැලකෙන්නේ ජාන විකෘති ලෙසයි. ඇතැම් ජාන විකෘති තත්ත්වයන් නිසා බාහිර පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙත් ඇතැම් විකෘති නිසා බාහිර වෙනස්කම් හා/හෝ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

xxy - ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයේදී පුද්ගලයෙකුට අමතර x වර්ණදේහයක් ලැබෙනවා. සාමාන්‍ය පිරිමියෙකුට හා ගැහැණියකට තිබෙන්නේ වර්ණදේහ 46ක් පමණක් වුවත්, මේ අයට වර්ණදේහ 47ක් තිබෙනවා. මෙය වඩාත්ම සුලබ ජාන විකෘති තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. 500-1000කට පමණ එක් අයෙක්ට xxy වර්ණදේහ පිහිටනවා. y වර්ණදේහය නිසා පිරිමියෙකු වුවත් x වර්ණදේහ දෙකක්ම තිබෙන නිසා ඇතැම් කාන්තා ලක්ෂණ මතු වීමේ ඉඩක් තිබෙනවා.

මීට වඩා දුලබ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණ තත්ත්වයන්ද තිබෙනවා. 50000කට එක් අයෙක් xxxy ලෙස වර්ණදේහ 48ක් සහිතවත්, 85000කට එක් අයෙක්  xxxxy ලෙස වර්ණදේහ 49ක් සහිතවත් උපදිනවා.

xyy - මෙහිදී 1000කගෙන් එක් අයෙකුට පමණ අමතර y වර්ණදේහයක් ලැබෙනවා. බොහෝ විට මෙවැනි අය සාමාන්‍ය නිරෝගී පිරිමින් වුවත් කථාකිරීමේ දුර්වලතා ආදී ඇතැම් රෝග තත්ත්වයන් ඇති වීමේ ඉහළ ඉඩක් තිබෙනවා. මෙවැනි අය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් යූටියුබ් හරහා උගන්වන ආකාරයේ බෙල්ල කැපුවත් කඳට කෙළින් හිට ගත හැකි "සුපර් මේල්ලා"නම් නෙවෙයි.

xxx - මෙයත් 1000කගෙන් එක් අයෙකුට පමණ ඇතිවන තත්ත්වයක්. ඉතා කලාතුරකින් xxxx හා xxxxx තත්ත්වයන් ඇති අයද ඉපදෙනවා.

x0 - ටර්නර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය 2500කින් අයෙකුට ඇති වෙනවා. මෙවැන්නෙකුට තිබෙන්නේ එක් x වර්ණදේහයක් පමණයි. ඒ නිසා මුළු වර්ණදේහ ගණන 45ක් පමණයි.

xxyy - මේ තත්ත්වය 25000කින් අයෙකුට පමණ ඇති විය හැකියි. මීට අමතරව xxxyy තත්ත්වය ඇති ඉතා සුළු පිරිසක්ද වාර්තා වී තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි ජානමය ලෙස බැලූ විට සාමාන්‍ය පිරිමි හෝ සාමාන්‍ය ගැහැණු නොවන වෙනත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. 

2. ශාරීරික ලක්ෂණ 

සාමාන්‍යයෙන් පිරිමියෙක් කියන්නේ සිරුරෙන් පිටත ලිංගික අවයවයක් ඇති, මුහුණේ රැවුල වැවෙන, පපුව පැතලි අයෙක්. සාමාන්‍ය ගැහැණියකගේ මුහුනේ රැවුල වැවෙන්නේ නැහැ. ලිංගික අවයව තිබෙන්නේ සිරුර ඇතුළට වෙන්නයි. ඔවුන්ගේ පියයුරු ඉදිරියට නෙරා එනවා. එහෙත්, මෙය හැම විටම මෙසේ විය යුතු නැහැ. ජාන වෙනස්කම් නිසා ගැහැණු ලක්ෂණ සහිත පිරිමි හා පිරිමි ලක්ෂණ සහිත ගැහැණු ඉපදෙනවා. සිරුරේ හෝමෝන වෙනස්කම් නිසාත් මෙය වෙනවා. ටෙස්ටටරෝන් හෝමෝනය බාහිරින් ගැනීමෙන් කෙනෙකුට පිරිමි ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ වගේම, ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් ගැහැණු ලක්ෂණ ඉස්මතු කර ගත හැකියි. මේ නිසා, කෙනෙකුගේ ශාරීරික ලක්ෂණ හැම විටම ජාන සැකැස්ම සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ.

3. තමන්ට දැනෙන ලිංගිකත්වය 

කෙනෙකුට දැනෙන තමන්ගේ ලිංගිකත්වය ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම සමඟ නොගැලපෙන්න පුළුවන්. ගැහැණු පෙනුම තිබෙන ගැහැණියකට උපන් දා සිටම තමන් පිරිමියෙක් සේ දැනෙන්න පුළුවන්. ඒ වගේම, පිරිමි පෙනුම තිබෙන පිරිමියෙකුට තමන් ගැහැණියක සේද දැනෙන්න පුළුවන්. මේ ආකාරයට "අනුන්ගේ සිරුරක" සිර වී සිටින්නට වීම විශාල වදයක්. හෝමෝන ප්‍රතිකාර හා/හෝ ශල්‍යකර්ම වලින් ලිංග වෙනස්කම් කර ගන්න යොමු වන්නේ එවැනි අයයි.

4. පිටතට පෙන්වන ලිංගිකත්වය 

ඇතැම් ගැහැණු පිරිමි ලෙස අඳින්න පළඳින්න හා හැසිරෙන්න කැමතියි. ඇතැම් පිරිමි ගැහැණු ලෙස හැසිරෙන්න හා අඳින්න පළඳින්න කැමතියි. මෙවැනි අය ඇතැම් විට ශාරීරිකව සාමාන්‍ය ගැහැණු පිරිමි වෙන්න පුළුවන්. ඒ වගේම මේ බාහිර ප්‍රකාශනය ඉහත සඳහන් කළ ඔවුන්ට දැනෙන ලිංගිකත්වයම නොවෙන්නත් පුළුවන්.

5. ලිංගික ආකර්ෂණය 

විවිධ අයට විවිධ ආකාරයෙන් ලිංගික ආකර්ශන ඇති විය හැකියි.
- විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වීම වඩාත්ම සුලබ තත්ත්වයයි.
- සම ලිංගිකයන්ට ආකර්ෂණය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ආකර්ශනය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට, සම ලිංගිකයන්ට මෙන්ම මේ දෙකටම නැති අයටද ආකර්ශනය වීම 
- කිසිදු ලිංගික ආකර්ශනයක් නැති වීම 

යමෙකුගේ ලිංගික ආකර්ෂණය, බාහිර පෙනීම, ජාන සැකැස්ම ආදිය අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතු නැහැ.

6. චිත්තවේගීය ආකර්ශනය 

චිත්තවේගීය ආකර්ශනය හා ලිංගික ආකර්ෂණය කරුණු දෙකක්. උදාහරණයක් විදිහට විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ලිංගිකව ආකර්ශනය වන කෙනෙක් චිත්තවේගීය ලෙස ආකර්ශනය වෙන්නේ විරුද්ධ ලිංගිකයෙකුට පමණක් විය හැකියි.

7. නීතිමය අර්ථ දැක්වීම 

මෙය තීරණය වන්නේ රටේ නීතිය අනුවයි. බොහෝ විට කෙනෙකුට නීතිය අනුව ගැහැණු හා පිරිමි යන දෙගොඩෙන් එකකට වැටෙන්න වෙනවා. 

මෙසේ විස්තර කළ පරිදි ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙන නිසා එක් මානයකදී පිරිමියෙක් ලෙස සැලකෙන අයෙක් වෙනත් මානයකදී ගැහැණියක් විය හැකියි. ඇතැම් අයට මේ ද්විමය බෙදීම ගැලපෙන්නේ නැහැ.

ලංකාවේ වත්මන් නීති රාමුව තුළ පුද්ගලයෙක් උපතින්ම ගැහැණියක හෝ පිරිමියෙකු වෙනවා. ඇතැම් මාන වලදී මේ විදිහට උපතින් ලැබෙන ලිංගිකත්වය ඇතුළේ නොසිටින අයට අපහාසාත්මක අර්ථයෙන් පොදුවේ "පොන්නයා" කියන වචනය භාවිතා කෙරෙනු දැකිය හැකියි. 

පිරිමි හා ගැහැණු නොවන අනෙකුත් අය එකම පොදු කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතර එකිනෙකට වෙනස් කණ්ඩායම් විශාල ගණනක් සිටිනවා.

ලංකාවේ උපතක් ලියාපදිංචි කරන විට "පිරිමියාද ගැහැණියද යන වග" සඳහන් කරන්න සිදු වී තිබෙන්නේ යුරෝපීය බලපෑම නිසා. ආබ්‍රහමික ආගම් අනුව දෙවියන් විසින් පිරිමියෙකු හා ගැහැණියක මවනවාට අමතරව වෙනත් වර්ග වල මිනිසුන්ව මවන්නේ නැහැ. ඒ නිසා, ආදම් වැනි පිරිමි හා ඒව වැනි ගැහැණු හැර වෙනත් ලිංගික අනන්‍යතා තිබෙන අය සිටීම ගැටළුවක් මතු කරනවා.

ත්‍රිපිටක සාහිත්‍යයේද ඇතුළුව ඉන්දියානු කලාපයේ දැකිය හැක්කේ චතුර්කෝටික බෙදීමක්. ඒ පුරුෂ, ස්ත්‍රී, නපුංසක හා උභතෝබ්‍යඤ්ජනක ලෙස. නපුංසක වචනය හැදී තිබෙන්නේ පුරුෂ හෝ ස්ත්‍රී නොවන තේරුමෙන්. ඉහත වර්ග කිරීම් අනුව, ගැහැණු හා පිරිමි නොවන අය වැටෙන්නේ මේ ගොඩටයි. උභතෝබ්‍යඤ්ජනක ලෙස හඳුන්වා තිබෙන්නේ ගැහැණු හා පිරිමි ලිංගික අවයව දෙවර්ගයම තිබෙන අයයි. මෙවැනි මිනිසුන් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්න නැහැ. අවශ්‍යනම් දරුවන් බිහි කරන පිරිමින්ව උභතෝබ්‍යඤ්ජනකයින් ලෙස හඳුන්වන්න පුළුවන්.

2 comments:

  1. පැහැදිලි ස්ත්‍රී පුරුෂ භේදයක් සහ පුරුෂ ආධිපත්‍යයක් ඇති සමාජ වඩාත් දිගු කාලීනව සාර්ථක වෙලා තියෙනවා.

    ReplyDelete
  2. ඉකොනෝ, මේ ලිපියෙන් පදාසයක් මගෙ පොස්ටුවකට සොරා ගත්තා. ස්තුතියි!
    https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: