වෙබ් ලිපිනය:

Monday, April 18, 2022

මහ බැංකුවේ රස්සාව


මේ ලිපිය ලියන්නේ කලින් ලිපිය පළ කිරීමෙන් පසුව අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්ද වුවත් ඒ හේතුව නිසාම පමණක් නෙමෙයි. දැන් සිදුවන සමස්ත ක්‍රියාවලිය ඇතුළේ බොහෝ දෙනෙකුට තවමත් අපැහැදිලි සේ පෙනෙන දෙයක් පැහැදිලි කිරීමේ අරමුණද ඇතිවයි.

අපි වත්මන් මහජන අරගලයෙන්ම පටන් ගත්තොත් තනි පුද්ගලයින් විශාල පිරිසක් පාරට බැහැලා තමන්ගේ ප්‍රශ්න හඬගා කියන්න පටන් අරන්. ඒ බොහෝ දෙනෙකු සතුව ඒ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. මේක ඒ අයගේ වැරැද්දක් නෙමෙයි. මේ මිනිස්සු පාරට බැහැලා ඉන්නෙම ඒ අය ළඟ ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා. තමන්ට විසඳාගත හැකි ප්‍රශ්න මිනිස්සු මොන විදිහෙන් හරි විසඳා ගන්නවා. 

ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියා කියන දේශපාලනඥයින්ට වඩා මේ මිනිස්සු අවංකයි. කළ යුත්තේ කුමක්ද කියා තමන්ට නොතේරෙන බව ගොඩක් තරුණයෝ මයික් ඉදිරිපිට බය නැතුව කියනවා.

"ඒකනම් මට තේරෙන්නේ නැහැ. කවුරු හරි මොනවා හරි කරන්න ඕනෑ!"

ඒ අය කියන්නේ කරන්න පුළුවන් කෙනෙක්ට රට බාර දෙන්න කියලා මිසක් තමන්ට බාර දෙන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් කෙනෙක් සේ පෙනෙන පුද්ගලයෙක් කෙරෙහි විශ්වාසය තියන්න මේ මිනිස්සු සූදානම්. නන්දලාල් වීරසිංහ මේ විදිහේ මනුස්සයෙක් කියලා ගොඩක් අය හඳුනා ගෙන තියෙනවා. ඒ එක්කම නන්දලාල් වීරයෙක් වෙලා.

වීරයෝ හදන එක භයානකයි. ඒක කාට වුනත් අදාළයි. නන්දලාල් කියා කියන්නෙත් වැරදි කළ හැකි, වැරදීම් විය හැකි සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා, කොයි තනතුරට කවුරු ආවත් මනුස්සයා ගැන විශ්වාසය තියනවාට වඩා කරන දේ ගැන සැලකිල්ලෙන් බලා සිටිය යුතුයි. විශ්වාස නොකරනවා මෙන්ම ඕනෑවට වඩා අවිශ්වාසද නොකළ යුතුයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරු පුද්ගලයෙක් අතින් වුනත් සිදු විය යුතු නිවැරදි දේ සිදු විය හැකියි.

නන්දලාල් කියන පුද්ගලයා පැත්තකින් තිබ්බොත්, මහ බැංකු අධිපතිට හා මහ බැංකුව කියන ආයතනයට කළ හැකි නිශ්චිත දේවල් ටිකක් තියෙනවා. අධිපති සේ කොයි තරම් සුදුසු පුද්ගලයෙක් පත් වුනත්, එතැනින් එහාට දෙයක් කිරීමේ හැකියාවක් මහ බැංකුවට නැහැ. මේ ටික පැහැදිලිව කිව යුත්තේ නන්දලාල් රට ගොඩ දාන තුරු බලා ඉන්න අයගේ අහස් මාලිගා කැඩිලා වීරයා දුෂ්ඨයෙක් වෙන එකත් එක මොහොතකින් වෙන්න පුළුවන් දෙයක් නිසා. IMF එක ගැන කියන්න තියෙන්නෙත් ඔය වගේම දෙයක්.

දැන් මේ රට ගොඩ දැමීම කියන එකෙන් කියන්නේ රටේ ආර්ථිකය ගොඩ දැමීම. රටේ ආර්ථිකය කියන එකත් එක එක්කෙනා තේරුම් ගන්නේ විවිධ ආකාර වලින්. අරගලය හා බද්ධ වී සිටින මධ්‍යම හා ඉහළ ආදායම් ස්ථර වල නාගරිකයන්ට හා අර්ධ නාගරිකයන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සල්ලි තිබුණත් ඒ සල්ලි වියදම් කර තමන් දෙවසරකට පෙර ගත කළ ජීවිතය ඒ විදිහටම ගත කරන්න බැරි වීම. එතකොට රට ගොඩ යාම කියා කියන්නේ ඒ ජීවිතය නැවත ලැබීම. 

ආර්ථික අර්බුදයේ පරිණාමයට සමාන්තරව මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඉතා ඉක්මණින්ම සල්ලි තිබුණත් ඒ සල්ලි වලින් වැඩක් නැති වීමේ ප්‍රශ්නය සල්ලි නැති වීමේ ප්‍රශ්නයක් බවට පත් වීමට නියමිතයි. මෙය පාරට බැස නැති පහළම ආදායම් ස්ථර වලට මුල සිටම තිබුණු ප්‍රශ්නයක්.

මහ බැංකුව විසින් හා රජය විසින් පාලනය කරන්නේ රටේ සාර්ව ආර්ථිකයයි. සාර්ව ආර්ථික කළමනාකරණ සැලසුම් කොටස් පහක් යටතේ හඳුනාගත හැකියි.

1. මූර්ත අංශය: දළ ජාතික නිෂ්පාදිතය, රැකියා අනුපාතය වැනි දේ 

2. විදේශ අංශය: ආනයන, අපනයන ආදිය 

3. රාජ්‍යමූල්‍ය අංශය: බදු, රාජ්‍ය වියදම් ආදිය 

4. මුදල් අංශය: මුදල් සැපයුම, උද්ධමනය හා පොලී අනුපාතික වැනි දේ 

5. බැංකු අංශය: මෙය අවශ්‍යනම් මුදල් අංශය සමඟ එකතු කර "මුදල් හා බැංකු අංශය" ලෙස හඳුන්වමින් ඉහත බෙදීම කාණ්ඩ හතරකට ලඝු කළ හැකියි.

ඉහත අංශ සියල්ල එකිනෙකට සම්බන්ධයි. එක අංශයක ඇතිවන අස්ථාවර භාවය හෝ කම්පන අනෙකුත් සියලු අංශ කෙරෙහි බලපෑම නොවැලැක්විය හැකියි. මේ අංශ අතරින් ජනජීවිතය කෙරෙහි වැඩිම හා සෘජු බලපෑමක් කරන්නේ මූර්ත අංශයයි. අනෙක් අංශ කොයි තරම් ප්‍රසස්ථ ලෙස ක්‍රියාත්මක වුවත් තමන්ගේ ආදායම් වැඩි වී නැත්නම් රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. 

මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ රටක මූර්ත අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට දීර්ඝකාලීන බලපෑමක් කළ නොහැකියි. ධනවාදී රටක දළ ජාතික නිෂ්පාදිතය හා එහි දිගුකාලීන වර්ධන වේගය තීරණය කරන්නේ පෞද්ගලික අංශයයි. මහ බැංකුවට වගේම රජයටද කළ හැක්කේ ආර්ථිකය වර්ධනය වන පථය චක්‍රීය හා සමමිතික ලෙස සුමට කිරීම පමණයි. 

මෙහි සමමිතික කියන කරුණ ඉතාම වැදගත්. අපි හිතමු පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය (කාර්යක්ෂමතාවය වැඩි වීම) මත දිගුකාලීනව රටක ආර්ථිකය 4%ක වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා කියා. එසේ 4% වේගයෙන් වර්ධනය වන අතරම මෙම වේගය 2%-6% අතර දෝලනය විය හැකියි. මේ සංඛ්‍යා උදාහරණ පමණයි. මහ බැංකුවට හා රජයට මැදිහත් වී මේ දෝලනය වීම 3%-5% මට්ටමට සීමා කළ හැකි වුවත්, සෘජු මැදිහත්වීම් හරහා දිගුකාලීන වර්ධන වේගය වෙනස් කළ නොහැකියි. මෙහි සෘජු මැදිහත්වීම් කියන එකෙන් අදහස් කළේ මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති.

ඉහත කී දිගුකාලීන වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහාද රජයට කළ හැකි දේ තිබෙනවා. ඒ මා පෙර කී පරිදි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ආර්ථික වර්ධනයේ තාවකාලික විචලනයන් පාලනය කිරීම නෙමෙයි. ඒ දේවල් වලින් දිගුකාලීනව වෙනසක් සිදු නොවන බව කලින්ම කිවුවනේ. රජයට කළ හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය සුරැකීම, ආර්ථික කටයුතු වලදී සියල්ලන්ට සම අවස්ථා ලැබෙන නීතිමය පසුබිමක් සකස් කර පවත්වාගෙන යාම, වෙළඳපොළ ප්‍රවර්ධනයට ඇති බාධා ඉවත් කිරීම, නොකරම බැරි මැදිහත්වීම් වලදී පුළුවන් තරම් සැලකිලිමත් වී තවත් ටිකක් සැලකිලිමත් වීම හා පාරදෘශ්‍ය වීම, මහ බැංකුව සමඟ සහයෝගයෙන් දිගුකාලීන සාර්ව-ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම වගේ දේවල්. 

දැන් ඉහත බෙදීම වෙත නැවත පිවිසෙමු. මේ බෙදීම තුළ, මහ බැංකුවේ රාජකාරිය තියෙන්නේ හතර වන කාණ්ඩය ඇතුළේ. ලෝකයේ කොයි මහ බැංකුව ගත්තත් එහි ප්‍රධානම කාර්යය මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. ටිකක් සරලව කිවුවොත් අඩු හා ස්ථාවර උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම. මෙය මහ බැංකුවේ අනන්‍ය වගකීමක්. රජයේ වගකීමක් නෙමෙයි. 

අනෙක් පැත්තෙන් තුන් වන කාණ්ඩයේ දේවල් කිසිසේත්ම මහ බැංකුවේ වගකීම් නෙමෙයි. රජයේ වගකීම්. ලංකාව ගත්තොත් මුදල් අමාත්‍යාංශයේ හා ඒ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ අනන්‍ය වගකීම්. ඉහත තුන් වන කාණ්ඩය හා හතරවන කාණ්ඩය අතර පැහැදිලි බෙදුම් ඉඩක් තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නෙත් ඒක.

පස් වෙනි කාණ්ඩය යටතේ තිබෙන බැංකු පද්ධතිය නියාමනය කර එහි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඇතැම් රටවල රජයෙන් බාහිර මහ බැංකුව වැනි වෙනත් ආයතනයක් තිබෙනවා. එහෙත්, තවමත් ලංකාව ඇතුළු බොහොමයක් රටවල මේ වැඩේ කරන්නෙත් මහ බැංකුව විසින්. ඒ නිසා, අපට එක්කෝ හතර හා පහ කාණ්ඩ එකතු කරන්න පුළුවන්. නැත්නම් පස්වන කාණ්ඩයත් මහ බැංකුවේ අනන්‍ය වගකීමක් සේ සලකන්න පුළුවන්.

දැන් ඉතිරි දෙවන කාණ්ඩයනේ. මේකත්, මූර්ත අංශය තරමටම නැතත්, රජයට හෝ මහ බැංකුවට ලොකුවට පාලනය කළ නොහැකි දෙයක්. නමුත්, වක්‍ර ලෙස යම් පාලනයක් කළ හැකියි. දැන් ගොඩක්ම අවුලට ගිහින් තියෙන්නේ රටේ විදේශ අංශය නිසා මේ වගේ කතාවක් කියලා අපට මේ ප්‍රශ්නය මග හැර යන්න බැහැ. නමුත්, මහ බැංකුවට හෝ රජයට විදේශ අංශය පාලනය කළ හැක්කේ ඔවුන්ට පූර්ණ වශයෙන් මෙන් පාලනය කළ හැකි මුදල්, බැංකු හා රාජ්‍යමූල්‍ය අංශ හරහා නිසා අපට විදේශ අංශය ගැන කතා කරන්න වෙන්නෙත් ඒ අංශ වලින් පටන් අරගෙනයි.

අපි මුදල් අංශයෙන් පටන් ගනිමු. මෙය තනිකරම මහ බැංකුවේ වගකීමනේ. මහ බැංකුවක් තියෙන්නෙම ඔය වැඩේට. හැමෝම සල්ලි අච්චු ගහනවා කියලා මහ බැංකුවට බැන්නත් මහ බැංකුවේ රාජකාරියම සල්ලි අච්චු ගහන එක. රටේ මිනිස්සු නිදහසේ ගනුදෙනු කරද්දී ඒ වැඩේ කාර්යක්ෂම ලෙස කරන්න සල්ලි අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් සල්ලි නැත්නම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවතී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. එහෙම නොවෙන පරිදි ඉල්ලුමට සරිලන තරම් සල්ලි ආර්ථිකයට පොම්ප කරන එක මහ බැංකුවේ වගකීම. 

හැබැයි මේ වැඩේ ලේසි වැඩක් නෙමෙයි. රටක මුදල් ඉල්ලුම හරියටම පුරෝකථනය කරන එක අමාරු වැඩක්. ඒ නිසා, හැම වෙලාවෙම ඉල්ලුම ඉක්මවා හෝ අඩුවෙන් මුදල් සැපයීමේ අවදානමට මහ බැංකුවට මුහුණ දෙන්න වෙනවා. අඩුවෙන් මුදල් සැපයීමේ අවදානම අඩු කරන එක ලේසියි. පොඩ්ඩක් වැඩියෙන් සල්ලි අච්චු ගහන එකයි කරන්න තියෙන්නේ. නමුත් ඒ එක්කම උද්ධමනය ඉහළ යාමේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් ඕනෑවට වඩා සල්ලි අච්චු නොගහන බව සහතික කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. 

ලෝකයේ බොහොමයක් මහ බැංකු තමන්ගේ ප්‍රධාන  කාර්ය සාධන ඉලක්කය විදිහට උද්ධමනය යම් නිශ්චිත මට්ටමක පවත්වා ගෙන යාම තෝරාගෙන තියෙන්නේ මේ නිසා. ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මෙම ඉලක්කය 2% මට්ටමයි. ඒ කියන්නේ සෑම වසරකම "අවශ්‍ය ප්‍රමාණයට" වඩා 2%ක් වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියන එකයි.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් සල්ලි අච්චු නොගසා මේ විදිහට 2%ක් වැඩිපුර සල්ලි අච්චු ගහන්නේ ඇයි? අවශ්‍යනම් මෙයට හේතුව වඩා විස්තරාත්මක ලෙස වෙනම ලිපියකින් පැහැදිලි කළ හැකියි. දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. 

රටේ මුදල් ඉල්ලුම හරියටම පුරෝකථනය කරන්න බැරි බව කලින්ම කිවුවනේ. එහෙම තියෙද්දී හරියටම ටක්කෙටම ඉල්ලුම පුරෝකථනය කරලා ඒ මුදල් ප්‍රමාණය පමණක් සපයලා ඒ ගාණ මදි වුනොත් මොකද වෙන්නේ? රටේ සල්ලි මදි වුණාම සිදුවන දේ ගෑස් නැතිවුණාම වෙන දේට වඩා දරුණුයි. 2%ක් වැඩිපුර සැපයුවහම පුරෝකථනය 2%කින් වැරදිලා තිබුණත් අවුලක් නැහැනේ. 

පුරෝකථනය හරියටම හරි වුනත් මුදල් සැපයුම තීරණය කළාට පස්සේ මුදල් ඉල්ලුම වෙනස් වෙන්නත් පුළුවන්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ භෞතික වස්තු එක්ක කටයුතු කරන ඒක-දෛශික විද්‍යාවක් නෙමෙයි. මුදල් ඉල්ලුම දිහා බලාගෙන මුදල් සැපයුම වෙනස් කරද්දී, මුදල් සැපයුම දිහා බලාගෙන මිනිස්සු ප්‍රතිචාර දක්වනවා. එහිදී මුදල් ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුමට වඩා පොඩ්ඩක් වැඩියෙන් මුදල් සපයන්නේ ඒ නිසා. උද්ධමනය කියා කියන්නේ මේ වෙනුවෙන් ගෙවන්න වෙන මිල. 2% වුනත් උද්ධමනයක්නේ.

බටහිර සංවර්ධිත රටවල් කාලයක් තිස්සේ උද්ධමනය සාර්ථක ලෙස 2% මට්ටමේ නඩත්තු කළත් (එහෙමනම් ඇමරිකාවේ උද්ධමනය 8.5% වෙලා තියෙන්නේ ඇයි කියන එකට උත්තර දෙන්න ගියොත් මේක වෙන පැත්තකට යනවා. අපි ලිපිය හැකි තරම් කෙටි කරමු) ලංකාවට තවමත් එවැනි ඉලක්කයකට යා හැකි වී නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 4%-6% අතර නඩත්තු කිරීමයි. මෙය මහ බැංකුව විසින්ම පනවා ගත් ඉලක්කයක්. මේ ඉලක්කය ගිලිහෙනවා කියා කියා කියන්නේ මහ බැංකුව අසමත් කියන එකයි.

මේ වෙලාවේ තිබෙන දැවෙන ප්‍රශ්නය ඩොලරය පාලනයක් නැතිව ඉහළ යන එකනේ. දැනටනම් සිහිනයක් වුනත්, අනාගතයේ කවදා හරි දවසක ඩොලරයක මිල ස්ථාවර මට්ට්ටමක තියා ගන්න ලංකාවට පුළුවන් වෙන එකක් නැද්ද? 

පුළුවන්. මෙය කළ හැකි එකම තිරසාර ක්‍රමය ලංකාවේ උද්ධමනයද දිගුකාලීනව 2% මට්ටමේම පවත්වා ගැනීමයි. එය සාමාන්‍ය වශයෙන් 5% මට්ටමේ තියා ගන්නවා කියා කියන්නේ ඩොලරයක මිල වසරකදී 3%කින් ඉහළ යාම භාර ගන්නවා කියන එකයි. මේ ක්‍රමයෙන් මහ බැංකුවට විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීමද පාලනය කළ හැකියි. සංචිත යොදා ගෙන විණිමය අනුපාතය පාලනය කිරීම තිරසාර නැති කෙටිකාලීන ක්‍රමයක් පමණයි. ඒ හරහා විණිමය අනුපාතයේ විචලනයන් චක්‍රීය හා සමමිතික ලෙස පාලනය කර ගත හැකියි. ආර්ථික වර්ධනය වගේම තමයි.

මේ වන විට උද්ධමනය කෙරෙහි මහ බැංකුවේ පාලනය ගිලිහී ගොස් තිබෙනවා. මම මේ කියන්නේ දැනට වාර්තා වී තිබෙන 18.7% පමණ උද්ධමනය ගැන හෝ නුදුරු දිනක වාර්තා විය හැකි 25% පමණ මට්ටමක උද්ධමනය ගැන නෙමෙයි. මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩි කිරීම නිසා සැඟවී තිබෙන සැබෑ උද්ධමන පීඩනය ගැන. එය ඉතා භයානකයි. මහ බැංකුවේ වපසරියට යටත් සන්දර්භය තුළ, විනිමය අනුපාතය කෙරෙහි පාලනයක් නොමැති වීමත් ඒ හරහා ඇති වී තිබෙන අනෙකුත් අතුරු ප්‍රශ්නත් මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩි කිරීමේ ප්‍රතිඵලයි. 

මේ තත්වය යටතේ මහ බැංකුවට කළ හැක්කේත්, මහ බැංකුව විසින් කරමින් සිටින්නේත්, මුදල් සැපයුම පාලනය කිරීම හරහා වක්‍ර ලෙස විණිමය අනුපාතය පාලනය කිරීමයි. ඒ සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. මේ ගැනද වැඩි විස්තර අවශ්‍යනම් වෙනම ලිපියක් ලිවිය හැකියි.

නන්දලාල් වීරසිංහගේ නායකත්වය යටතේ මහ බැංකුවට කළ හැකි රට ගොඩ දැමීම වන්නේ මුදල් සැපයුම සීමා කිරීමෙන් උද්ධමනය පාලනය කර විණිමය අනුපාතය අවප්‍රමාණය වන වේගය අඩු කර ගැනීමයි. හොඳම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යටතේ මහ බැංකුවට උද්ධමනය නැවත 4%-6% මට්ටම දක්වා පහත බස්වා විණිමය අනුපාතය වසරකට 3%කින් පමණ අවප්‍රමාණය වන සමතුලිතතාවයක් වෙත යා හැකි විය යුතුයි. ඒ සඳහා වුවද සැලකිය යුතු කාලයක් (අඩු වශයෙන් වසර තුනක් පමණ) ගත වෙයි. ඒ අතරතුර කෙටිකාලීනව උද්ධමනය මෙන්ම විණිමය අනුපාතයද තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

අවසාන වශයෙන් උද්ධමනය නැවත 4%-6% මට්ටම දක්වා පහත බස්වා විණිමය අනුපාතය වසරකට 3%කින් පමණ අවප්‍රමාණය වන සමතුලිතතාවයක් වෙත යා හැකි වුවහොත් එය සැලකිය හැක්කේ මහ බැංකුව විසින් තමන්ගේ රස්සාව හරියට කිරීමක් ලෙසයි. එය වීරකමක් වන්නේ තමන්ගේ රස්සාව හරියට කරන ඕනෑම කෙනෙකු වීරයෙකු වන අර්ථයෙන් පමණයි. එය සේවයක් වන්නේ තමන්ගේ රස්සාව හරියට කරන ඕනෑම කෙනෙකු සේවයක් කරන්නේය අර්ථයෙන් පමණයි.

මහ බැංකුවට මේ වැඩේ කළ නොහැකි වුවහොත් එය සැලකිය හැක්කේ තමන්ගේ රස්සාව හරියට නොකිරීමක් ලෙසයි. එහි වැරැද්ද රජය මත පැටවිය නොහැකියි. එහෙත් රජයේ බලපෑම් නිසා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කළ නොහැකි වීම මහ බැංකුවේ ඉලක්ක වලට යාමට බාධාවක් විය හැකියි. එය එසේ වන්නේනම් මහ බැංකුව විසින් කළ යුත්තේ ඒ බලපෑම් එළිදරවු කිරීමයි.

ලංකාවේ සන්දර්භයේදී මහ බැංකුව කියා කියන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. මහ බැංකු අධිපති එහි එක් සාමාජිකයෙක්. මහා භාණ්ඩාගාරයේ ලේකම්ද නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ හරහා මහ බැංකුවේ තීරණ වලට සෘජු ලෙසම හා පවතින නීති රාමුව තුළ නිල වශයෙන්ම රජයේ බලපෑමක් ඇති වෙනවා. මේ දෙදෙනාට අමතරව මුදල් මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සිටිනවා. මේ පස් දෙනා අතරින් දෛනික පදනමින් මහ බැංකුවේ කටයුතු වලට මැදිහත් වන්නේ මහ බැංකු අධිපතිවරයා පමණයි.

ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය යනු ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ධුරය වැනි කැබිනට් තනතුරක් නෙමෙයි.  මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයා රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව කටයුතු කළත් ඒවා මෙහෙයුම් කටයුතු. රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව ප්‍රතිපත්ති තීරණ ගන්නේ පාර්ලිමේන්තුවයි. ප්‍රතිපත්ති තීරණ හා සම්බන්ධව මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස මහ බැංකු අධිපතිවරයාට තිබෙන ස්වාධීනත්වය මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයාට නැහැ. ඒ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි. මහා භාණ්ඩාගාරය හරහා සිදු වන්නේ පාර්ලිමේන්තුවෙහි සම්මත වූ රාජ්‍ය අයවැයෙහි ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමයි. වැඩි විස්තර ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

#ඉකොනොමැට්ටා 


22 comments:

  1. නන්දලාල් කියන පුද්ගලයා කවුද මල්ලි?

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ මහත්තයා ආසා නැද්ද ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද අයියාගේ පන්සලේ මහණ රස්සාව කරන්න? මහා බැංකුවේ රස්සාවට වඩා ජයයි එතන.

      Delete
  2. මූල්‍ය් බලය ඇමෙරිකාවෙ තියෙන්නෙ සම්පූර්නයෙන්ම භාන්ඩාගාර ලේකම් වෙතද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම කා අතේවත් නැහැ. ඇමරිකාව නීති මත දුවන බලය විශාල ලෙස විමධ්‍යගත වූ දුර්වල රජයක් තිබෙන රටක්. ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් තනතුර ආසන්නව සමාන කළ හැක්කේ ලංකාවේ මුදල් ඇමති තනතුරටයි.

      Delete
  3. ගෝටාගෝගමට අලුත් මුදල් ඒකකයක් හදුන්වා දීලා මේක ගොඩ දාගන්න බැරි වෙයිද

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔබ නිකමට වගේ දැමූ ප්‍රතිචාරයක් විය හැකි වුවත් ලොකු දෙයක් කියවෙන අදහසක්. මම පවතින සමස්ත ක්‍රමයටම විරුද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වුනානම් රජයට විරුද්ධව යොදා ගන්නේ මෙවැනි අවියක්.

      Delete
    2. අක්බාර් මුදල් වගේ ඒකකයක් ගෝටාගෝගමට හදුන්වලා දීලා ටික දවසකින් අක්බාර් මුදලාලි වගේ ගාන එකතු කරගෙන මාරු උනා නං ගජ ලාබයි නේද ඉකොනෝ. බලන්න ඕනි කල්පනා කරලා අද හෙටම මේ වැඩේ කරන්න.

      Delete
  4. නන්දලාල් මැතිඳුන් පත් කරපු එක
    පොඩ්ඩක් වැරදුණා කියලා කියපු එක
    රිවර්ස් නොකරාවි කියලා ළඟ දිනෙක
    පතමි! ගණිඳු දෙත් නම් නුවණත් යෙහෙක

    ReplyDelete
  5. රජයකට ආර්තික වර්දනය වකෘතිමව වැඩි කරන්න බැරි උනාට අඩු කරන්නපුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල බලපෑම කෙටිකාලීනයි. දිගුකාලීනව බලපෑමක් නැහැ. වර්ධනය කිරීමට වගේම බාධා කිරීමටත් මෙය අදාළයි.

      Delete
    2. කෙටිකාලීනයි කියල අදහස් කරන්නෙ කොයි වගෙ කාලයක්ද?

      Delete
    3. සාමාන්‍යයෙන් අවුරුදු තුන හතරක්. ලංකාව අවුලට ගියේ පොන්සි ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඊට වඩා කාලයක් ඇදගෙන ගිය නිසා.

      Delete
    4. අවශ්‍යනම් පහත ලිපිය අවසානයේ තිබෙන රූප සටහනෙන් මෙම කාලය පිළිබඳ නිශ්චිත අදහසක් ගත හැකියි.
      http://emgesathapaha.blogspot.com/2018/08/blog-post.html

      Delete
  6. 'එහෙම තියෙද්දී හරියටම ටක්කෙටම ඉල්ලුම පුරෝකථනය කරලා ඒ මුදල් ප්‍රමාණය පමණක් සපයලා ඒ ගාණ මදි වුනොත් මොකද වෙන්නේ'

    එතකොට භාණ්ඩ මිල පහල බහිනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. සැබෑ ප්‍රශ්නය එය නෙමෙයි. භාණ්ඩ මිල සමස්තයක් ලෙස පහළ යද්දී මූර්ත නිෂ්පාදනයත් පහළ යනවා.

      Delete
  7. This question is not related to the article, but I would like to know your thoughts.

    The discussion around the issue of three cargo planes that went to Uganda. People are accusing that Rajapaksha's took their dollars to Uganda, and uses the graph that shows how the foreign reserves of Uganda went up.

    While it's no doubt that they are crooks, I find it hard to believe that they would have actual dollars in terms of physical currency with them. What are your thought on this?

    ReplyDelete
  8. ආර්තික වර්දනය වැඩිවෙනකොට මුදල් සැපයුමත්බේ හා සමගාමීව වැඩි කරන්න ඕන කියන එකද තියරිය?
    ඒ අලුතෙන් එකතුවන දදෙනි ප්‍රතිශතයට අයත් භාන්ඩ සඳහා අවශ්‍ය මුදල කියල හිතුවොත් හරිද?

    ReplyDelete
    Replies
    1. ආසන්න වශයෙන් මෙය හරි. එහෙත් මීට වඩා ගොඩක් සංකීර්ණයි. මුදල් සැපයුම කොපමණ වැඩි කළ යුතුද කියා තියරියක් නැහැ. එය දේශපාලනික/ප්‍රතිපත්තිමය තීරණයක්. මුදල් සැපයුම වැඩි කරද්දී සිදු විය හැකි දේ ගැන තියරි තිබෙනවා.

      Delete
  9. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා මහ බැංකුව දේදේශපාලනීකරණය උනා නේද? අලුත් කෙනා ආපු ගමන් දේශපාලනයෙන් ඒක වෙන් කරන්න කිව්වෙ නිකන් නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව දේශපාලනයෙන් වෙන් කරන්න කියා කියන්න දෙයක් නැහැ. එහෙම කියනවානම් එහි අදහස වන්නේ මහ බැංකුවට ස්වාධීනත්වයක් නැති බව පිළිගැනීමයි. නීතිය අනුව මහ බැංකුවට ස්වාධීනත්වයක් තිබෙනවා. අලුත් අධිපති කිවුවේ එම ස්වාධීනත්වය ක්‍රියාවේ යොදවනවා කියලා. ඇත්තටම මෙය සෘජු, නිර්භීත ප්‍රකාශයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: