වෙබ් ලිපිනය:

Monday, July 31, 2023

උද්ධමනය තනි අංකයකට!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අගයක්. ආහාර උද්ධමනය සෘණ 1.4%ක් වීම විශේෂ කරුණක්.

උද්ධමනය අඩුවීම යනු මිල ගණන් අඩුවීම නොවුනත්, සෘණ උද්ධමනයක් හෙවත් අවධමනයක් යනු මිල ගණන්ද අඩු වීමක්. මේ අනුව, පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 1.4%කින් අඩු වී තිබෙනවා. සහල්, තිරිඟු පිටි, පාන්, පොල් තෙල්, නූඩ්ල්ස්, කරවල, සීනි, මයිසූර් පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර බිත්තර, කුකුළු මස්, පොල්, අළුත් මාළු, පළතුරු, තේ කොළ ආදී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් තව දුරටත් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පවතිනවා.

Friday, July 28, 2023

තවත් රාජ්‍ය මැදිහත්වීමක්!


ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීමාවයි. මෙවැනි සීමාවන් හා අදාළව රටවල් අතර ඇති සම්මුතීන් බිඳුණු විට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා, රටක් කියන්නේ රටක රජය නොවුනත්, රටක් පැවතීම සඳහා එම රට මත අණසක පැතිරවිය හැකි රජයක්ද පැවතිය යුතුයි. 

රජයක් පවතිනවා කියන්නේනම රාජ්‍ය මැදිහත්වීම්ද තිබෙනවා කියන එකයි. රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් එහි රජයක් කියා දෙයක් නැහැ. එවිට ඉතිරි වන්නේ අරාජිකත්වයයි. එහෙත්, ජන ජීවිතය කෙරෙහි මැදිහත් වන ප්‍රමාණය අනුව විවිධ රටවල රජයයන් වෙනස් වෙනවා.

ධනවාදී ආර්ථික ක්‍රමයක පදනම වන්නේ පෞද්ගලික දේපොළ එක් රැස් කර ගැනීමට, මිනිසුන් අතර නිදහස් ගනුදෙනු කිරීමට හා එම නිදහස් ගනුදෙනු වලින් පෞද්ගලික ලාබ ලැබීමට ඉඩ සැලසීමයි. මෙහිදී මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත හැකි හා එම තීරණ වල වගකීම තමන් විසින්ම ගත හැකි බුද්ධිමතුන් පිරිසක් සේ උපකල්පනය කෙරෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමය හා එයට පාදක වූ පුද්ගල නිදහස පිළිගන්නා රජයක රාජ්‍ය මැදිහත් වීම් සිදු වන්නේ පුද්ගලයින් අතර සිදු වන ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස කර ගැනීමට ඉඩ සලසන වටාපිටාවක් ඇති කෙරෙන ආකාරයෙනුයි. 

මෙවැනි, ධනවාදය පිළිගන්නා රජයක මූලික කාර්යයක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා, රටේ සියල්ලන්ටම එකඟ විය හැකි පරිදි, නීතිය මගින් දේපොළ අර්ථදැක්විය හැකියි. මෙහිදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වය අතර ඇති විය හැකි අවිනිශ්චිතතා අඩු වී ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

එක් සරල උදාහරණයක් ලෙස පොළේ ගිහින් එළවළුවක් මිල දී ගනිද්දී ගොඩවල් ගණනට විකිණීම හා මිල දී ගැනීමට සාපේක්ෂව බර අනුව මිල දී ගනිද්දී ගනුදෙනුව සිදු කරන භාණ්ඩය පිලිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීම පහසු වෙනවා. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය සටහන්ව ඇති විට පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ලැබෙන අතර වෙළෙන්දාට එය තහවුරු කිරීම පහසු වෙනවා. මේ ආකාරයේ සම්මුතීන් ඇති වීම සඳහා රජයක පැවැත්ම අනිවාර්ය නොවුනත්, රජයක් පැවතීම තුළ එම රජයේ අණසක පවතින ප්‍රදේශය තුළ මෙවැනි සම්මුතීන් ඒකාකාරී ලෙස පවත්වා ගත හැකියි. එයින් පුද්ගල ගනුදෙනු වල වපසරිය පුළුල් වී කාර්යක්ෂමතාවය ඉහළ යනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගන්නා සහ එහි කාර්යක්ෂමතාවය අවබෝධ කරගත් රජයක් මිල පාලන ආදී ක්‍රම වලින් වෙළඳපොළට මැදිහත් වන්නේ ඉතා අඩුවෙන්. පෞද්ගලික අංශයට කළ හැකි නිෂ්පාදන, බෙදාහැරීම් හා විකිණීම් හරහා වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්. මෙහිදී මා ඉතා අඩුවෙන් යන වචනය භාවිතා කරන්නේ රටේ පවතින දේශපාලනික තත්ත්වයන් අනුව ඕනෑම රටක රජයක් විසින් රටක වෙළඳපොළට යම් මැදිහත්වීමක් කරන නිසා. එහෙත්, එවැනි මැදිහත්වීමක් කරන්නේ විශේෂ හේතුවක් ඇත්නම් පමණයි.

ඕනෑම රටක රජයක් එම රජයේ පැවැත්ම හා රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා. සැලසුම් හැදීම ඒකීය පුද්ගලයින්, ව්‍යවසායකයින්, ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් මෙන්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් සමාගම් හා සංවිධාන විසින්ද කරන දෙයක්. රටක රජයක් විසින් සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගත් පමණින් එවැනි රජයක් කිසිදු සැලසුමක් නැතිව ඉබාගාතේ යන රජයක් වන්නේ නැහැ. වෙළඳපොළ නිදහස තහවුරු කිරීම සඳහා වුවද සැලසුම් අවශ්‍ය වෙනවා. 

සමාජවාදී මධ්‍යගත සැලසුමක් කියන්නේ ඉහත ආකාරයේ සාමාන්‍ය සැලසුමක් නෙමෙයි. මෙවැන්නක් මූලධාර්මික තලයේදීම වෙනස් වෙනවා. සමාජවාදී ක්‍රමයේ පදනම වන්නේ මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි පිරිසක් ලෙස හඳුනා ගැනීමයි. ඒ අනුව, මුළු රටකම මිනිසුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම දේශපාලන පක්ෂයක්, එම දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන රජය හෝ වෙනත් සුළු පිරිසක් විසින් අතට ගන්නවා. රටේ අනෙකුත් සියලුම මිනිසුන්ට ඒ සැලසුමේ කොටස්කරුවන් වීමට සිදු වෙනවා. මෙහිදී රාජ්‍ය මැදිහත්වීමක් කිරීම සඳහා විශේෂ හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ ආකාරයේ මධ්‍යගත සමාජවාදීන්ට නිදහස ලබන්නටත් පෙර සිටම ලංකාවේ දේශපාලනය තුළ විශාල බලයක් තිබුණා. ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ආකාරයට ලංකාවේ රාජ්‍ය ආකෘතියද සකස් වුනා. අදටත් ලංකාවේ රජය විසින් කරන බොහෝ දේවල් රජය විසින් කරන්නේ එසේ කළ යුතු විශේෂ හේතුවක් තිබෙන නිසා නෙමෙයි. 

කෙසේ වුවත්, රාජ්‍ය ආකෘතියක් තුළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් එකතු කර ඇති කොටස් ගලවා දැමීම සීරුමාරුවට කළ යුතු වැඩක්. රජයක් විසින් කොපමණ මැදිහත්වීම් කළත් එම මැදිහත්වීම් හමුවේ වුවද වෙළඳපොළ නැවත සකස් වෙමින් හැකි පමණින් කාර්යක්ෂමතාවය සොයා යනවා. එසේ කිසියම් ආර්ථිකයක් සීමාවන් තුළ වුවද ප්‍රසස්ථකරණය වී ඇති විටෙක, එකවර රාජ්‍ය මැදිහත්වීම ඉවත් කළ විට ඇසිඩ් පානය කළ අයෙකුට වමනය කරවීමේදී සිදු වන ආකාරයේ හානියක් සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ කාර්යක්ෂමතාවය සොයා යාමේදී එයට බාධා කෙරෙන ආකාරයේ රාජ්‍ය මැදිහත් වීම් ඉවත් කළ යුතු වුවත්, හදිසියේ එවැන්නක් කිරීම්දී ඇති විය හැකි වෙළඳපොළ කම්පනය ගැනද සැලකිලිමත් විය යුතුයි. 

ලෝකය පුරා නැවත නැවතත් අසාර්ථක වී ඇතත් මධ්‍යගත සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැනටත් ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකියි. ඔවුන්ට රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා හේතු අවශ්‍ය නැහැ. ජනමතය විරුද්ධ පැත්තේ ඇති විට ප්‍රසිද්ධියේ නොකිවුවත්, කවුරු හෝ විසින් ලාබ ලැබීම කෙරෙහි වන මූලික විරෝධය හා පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ විරෝධය ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් හේතුවක්. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම රජය මගින් කිරීම ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන්ට හේතු අවශ්‍ය වන්නේ පෞද්ගලික අංශයට ඉඩක් දීමේදීයි. 

ඉහත මධ්‍යගත සැලසුම් ක්‍රමය ප්‍රතික්ෂේප කරන, වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිගන්නා රජයයන් විසින් වුවද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. එහෙත්, එවැනි මැදිහත්වීම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි හා නිශ්චිත ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. මෙවැනි පියවරක් තබන්නට පෙර සමත් විය යුතු පළමු පරීක්ෂාව අදාළ කාර්යය පෞද්ගලික අංශය හරහා ඉටු නොවන බව තහවුරු කර ගැනීමයි. දෙවන පරීක්ෂාව එසේ පෞද්ගලික අංශය විසින් අදාළ කාර්යය නොකිරීමට හේතුව හෝ හේතු හඳුනාගැනීමයි. තෙවන පරීක්ෂාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බව සෑහෙන තරමක විශ්වාසයකින් යුතුව තහවුරු කර ගැනීමයි. පළමු පියවර දෙකට සාපේක්ෂව දෙවැන්න දේශපාලනිකයි. 

පසුගිය (2022) දෙසැම්බර් මාසයේ පළ කළ "ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්" ලිපියෙන් ඇමරිකාවේ සිදු වන මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. එම සටහනේ ලියා ඇති පරිදි, සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් ගෙයක් මිල දී ගනිද්දී අඩු වශයෙන් නිවසේ වටිනාකම මෙන් 5%ක පමණ ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. එක්තරා කාලයකදී මෙය 30%-50% පමණ ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. 

මේ ඩවුන් පේමන්ට් එක ගෙවිය යුතු නිසා, යමෙකුට ගෙයක් මිල ගන්න කලින් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගෙය ඇපයට තියා ගත්තත්, ගෙයි වටිනාකම අඩු විය හැකි නිසා ණය දෙන බැංකුවකට ගෙයි මුළු වටිනාකමම ණයට දීලා අවදානමක් ගන්නත් බැහැ. 

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න ඉඩ සලසනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. නමුත් එම මැදිහත්වීම බදු ගෙවන්නට බරක් නැති මැදිහත්වීමක්. මැදිහත්වීම හරහා කෙරෙන්නේ බැංකු මුහුණ දෙන අවදානම අඩු කිරීම මගින් අඩු ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දිය හැකි වාතාවරණයක් හදන එක. මේ වන විට ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් මේ වර්ගයේ ණය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම නිසා සාමාන්‍ය නිවාස ණයක් සඳහා ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එකද ක්‍රමයෙන් අඩු වී තිබීමයි.

කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ රජය මුල් වී රක්ෂණ ක්‍රමයක් හදන එක. රක්ෂණ ආයතනයක් විශාල වූ තරමට වැඩි අවදානමක් ගන්න පුළුවන්. මේ විදිහට හදන ආයතනය රජය මුල් වී හදන ආයතනයක් වුනත් එහි කොටස්කරුවෝ සාමාජික බැංකු. ලාබය යන්නෙත් ඔවුන්ට. ඒ නිසා, රජයේ මූල්‍යමය මැදිහත් වීමක් නැහැ. 

මීට කිට්ටු ආකෘතියක් යොදා ගනිමින් මේ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය දීම සඳහා අලුත් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා. මම හිතන්නේ මෙය හොඳ ප්‍රවේශයක් හා හොඳ රාජ්‍ය මැදිහත්වීමක්. 

කෙසේ වුවත්, මෙය ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව ස්ථාපනය කිරීම මෙන් රජය විසින් මාර්ගෝපදේශනය පමණක් කිරීමක් නෙමෙයි. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල හවුල්කාරිත්වයක් ලෙස බිහිවන ආයතනයක්. ලංකාවේ දැනට පවතින සන්දර්භයේ එහි වැරැද්දක් නැහැ. ආයතනය හොඳින් ස්ථාපනය වූ පසු අවශ්‍යනම් රජයේ කොටස්ද සාමාජික බැංකු වලටම විකුණා දමන්න පුළුවන්. National Credit Guarantee Institution (NCGI) ලෙස හැඳින්වෙන මෙම ආයතනයේ කොටස්හිමියන් හා සාමාජිකයින් ලෙස බැංකු 10ක් හා බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් එකතු වී තිබෙනවා.ඉහත ආයතනය පිහිටුවීම සඳහා තාක්ෂණික සහයෝගය මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙන අතර සාමාජික බැංකු වල කොටස් ආයෝජන වලින් තවත් ඩොලර් මිලියන 10ක් එකතු වෙනවා. ඒ අනුව, වැඩේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් එකතු කරන්නේත්, රැකියා වලින් 45%ක් සපයන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ. රටේ ආර්ථික වර්ධනයේ එන්ජිම මොවුන් කියා කියන්නත් පුළුවන්. එහෙත්, සාමාන්‍යයෙන් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට බැංකු ණයක් ගන්න එක ලේසි නැහැ. ප්‍රධානම හේතුව ඇපයට තියන්න දෙයක් නැතිකම. යම් හෙයකින් ණයක් ගත්තත් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු වල පැත්තෙන් මෙය සාධාරණයි. ඒ මොවුන්ගේ ණය පැහැර හැරීමේ අවදානම වැඩි නිසා සහ ඇපකරයක් නැත්නම් එහිදී විය හැකි පාඩුව වැඩි නිසා.

අලුත් ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව හරහා සිදු වන ආකාරයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ණය රක්ෂණය වෙනවා. ඒ නිසා, බැංකු වලට ණය ආපසු නොලැබීමේ අවදානම අමතක කරලා සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන්. මේ විදිහට ණය රක්ෂණය කිරීම වෙනුවෙන් ලබාගන්නා රක්ෂණ වාරික මුදල් වලින් අලුත් ආයතනයට රටේ මහ ජනතාවට බරක් නොවී පවතින්න පුළුවන්. 

වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා අලුත් ආයතනයේ ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම හිතන්නේ එක් එක් සාමාජික ආයතනයට යම් කෝටා එකක් ලැබෙයි. එම කෝටා එකට යටත්ව එක් එක් ආයතනය විසින් සහන පොලියකට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙයි. ඒ හැර අලුත් ආයතනයෙන් කෙළින්ම ණය ලබා දෙන එකක් නැහැ. එහෙත්, මේ ක්‍රමය යටතේ ණය ගැනීමේදී ණය ගන්නා ආයතනයෙන් සහ මෙම ආයතනයෙන් යන දෙතැනින්ම අනුමැතිය ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ සිදු වන දෙයක් නිසා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් සාමාජික බැංකු වලට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම්, මෙයත් තවත් එක් රාජ්‍ය ආයතනයක් විය හැකියි. කොහොම වුනත්, එදාවේල තීරණ වෙනුවට දිගුකාලීනව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන මෙවැනි දෙයක් ගැන හිතපු එකම වුනත් හොඳ ප්‍රවණතාවක්.

Thursday, July 27, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)


ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා, දේශ සීමා ඉක්මවා බිත්තර වෙළඳාම් වන නමුත්, එම පරිමාව රටවල් තුළම සිදුවන බිත්තර නිෂ්පාදනයට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

ඉහත කතාව ලංකාවටද එලෙසම වලංගුයි. ලංකාවේ බිත්තර කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම ලංකාවට බිත්තර ආනයනය කර තිබෙන්නේ නොගිනිය හැකි තරම් සුළු වශයෙන්. ඊට සාපේක්ෂව යම් තරමකින් හෝ ලංකාවෙන් බිත්තර අපනයනය කර තිබෙනවා. 

ලංකාවේ බිත්තර අපනයන ආදායම (ඩොලර් මිලියන)

2013 - 2.94

2014 - 3.91

2015 - 1.61

2016 - 1.05

2017 - 5.68

2018 - 5.62

2019 - 2.37

2020 - 1.16

2021 - 1.77

ලංකාවේ බිත්තර ආනයන වියදම (ඩොලර් මිලියන)

2013 - 0.00

2014 - 0.00

2015 - 0.03

2016 - 0.26

2017 - 0.02

2018 - 1.00

2019 - 0.32

2020 - 0.05

2021 - 0.00

ඉහත දත්ත වලින් පෙනෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පැවතී ඇති බවයි. මගේ අදහස වන්නේ මෙය ආනයන පාලන හෝ වෙනත් සීමාවන් හරහා ඇති කරගත් තත්ත්වයක් නොවූ බවයි. පසුගිය කාලය මුළුල්ලේම ලංකාවේ බිත්තර මිල පැවතුණේ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකයි. යම් තරමකින් හෝ අපනයන කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අඩු මිලකට රට ඇතුළේම බිත්තර නිපදවා ගත හැකි නම් ආනයන සඳහා විවෘත වීම බාධාවක් වන්නේ නැහැ. අනෙක් අතට ලොකුවට අපනයන සිදු කළ හැකි මට්ටමේ නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු වී නැහැ. 

මේ වෙද්දී මේ සමතුලිතතාවය වෙනස් වී ඇති බව අපි දන්නවා. දැන් ලංකාවේ බිත්තරයක මිල ඇමරිකාවේ එම මිලටද වඩා ගොඩක් වැඩියි. මේ විදිහට මිල ඉහළ යන්නනම් එක්කෝ ඉල්ලුම වැඩි විය යුතුයි. එසේ නැත්නම් සැපයුම අඩු වී තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ අදහස දෙවැන්න බවයි. 

දත්ත මගින් තහවුරු කිරීමේ හැකියාවක් නැතත්, මගේ අදහස වන්නේ පසුගිය කාලය තුළ ලංකාවේ බිත්තර ඉල්ලුමේද යම් හෝ වැඩි වීමක් සිදු වී ඇති බවයි. ආදායමට සාපේක්ෂව බඩු මිල සැලකිය යුතු ලෙස ඉහළ යද්දී මස්, මාළු මිල දී ගැනීම සීමා කරන්නට සිදුවන බොහෝ දෙනෙකුට ඒ වෙනුවෙන් බිත්තර ආදේශ කරන්නට සිදු වී ඇති බව මේ හා අදාළ මගේ කල්පිතයයි. කෙසේ වුවද, සැපයුම සීමා වී ඇති බව වඩා පහසුවෙන් පෙන්වා දිය හැකියි. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල ලංකාවේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති ආකාරයයි.

2017 - 172,739,190

2018 - 164,350,980

2019 - 173,684,230

2020 - 155,807,870

2021 - 162,809,310

2022 - 154,049,817

බිත්තරයක මිල ඩොලර් ශත 10ක් සේ සැලකුවොත් බිත්තර මිලියන 172.7ක් කියන්නේ ඩොලර් මිලියන 17.27ක්. 2017 වසරේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 5.66ක බිත්තර අපනයනය කර තිබෙනවා. ඒ කියන්නේ බිත්තර මිලියන 56.6ක් පමණ. මාසයකටනම් සාමාන්‍ය වශයෙන් බිත්තර මිලියන 4.7ක් පමණ. ඒ කියන්නේ රටේ නිපදවූ බිත්තර ප්‍රමාණයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි 97%ම විකිණී තිබෙන්නේ රට තුළයි. මාසයකට බිත්තර මිලියන 168ක පමණ දේශීය බිත්තර ඉල්ලුමක්. 

ඉහත බිත්තර ඉල්ලුම මේ වන විට අඩු වී මිස වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. 2019න් පසු වසර වලදී රටේ බිත්තර පරිභෝජනය මේ මට්ටමට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබෙන්නේ එක්කෝ බිත්තර ආනයනය කිසියම් ආකාරයකින් සීමා කෙරුණු නිසා. එසේ නැත්නම් ආනයනික බිත්තර වල මිල දේශීය බිත්තර මිලට වඩා ඉහළින් පැවතුණු නිසා. එනම් ලංකාවේ මිලට පිටරටින් බිත්තර ගෙන්විය නොහැකි වූ නිසා. 

පසුගිය තෙවසර තුළ බිත්තර නිෂ්පාදනය පහත වැටෙන්නට හේතු හඳුනාගැනීම අපහසු නැහැ. පහත තිබෙන්නේ 2018 වසරෙන් පසුව ලංකාවේ බිත්තර දමන ෆාම් කිකිලියන් ගණන ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරයයි. මෙම කාලය තුළ මිලියනයකට වඩා වැඩි ගම් කිකිළියන් ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී නැති අතර යම් වැඩිවීමක් දැකිය හැකියි.

2018 - 8,054,520

2019 - 6,601,780

2020 - 6,221,620

2021 - 5,879,190

2022 - 5,617,100

කවර හෝ හේතු නිසා මෙම කර්මාන්තය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව පැහැදිලි වන අතර පරිහාණිය ආරම්භ වී තිබෙන්නේ ආර්ථික අර්බුදයට, කෝවිඩ් වසංගතයට මෙන්ම 2020 ආණ්ඩු මාරුවටද පෙරයි. මෙයට එක් හේතුවක් ලෙස බිත්තර නිෂ්පාදකයින් කුකුළු මස් කර්මාන්තය වෙත විතැන් වීම හඳුනා ගත හැකියි. 2018දී 9,450,240ක මට්ටමේ වූ මස් පිණිස හදන කුකුළන් ප්‍රමාණය 2022 වන විට 13,000,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි විතැන් වීමකින් පෙන්නුම් කරන්නේ බිත්තර කර්මාන්තයේ ලාබ වලට සාපේක්ෂව කුකුළු මස් කර්මාන්තය වඩා ලාබදායී බවයි. 

රසායනික පොහොර තහනම, ඒ හේතුව නිසා බඩ ඉරිඟු අස්වැන්න පහළ යාම, කුකුළු කෑම මිල ඉහළ යාම ආදී හේතු බිත්තර සඳහා කුකුළන් හැදීම අධෛර්යමත් වීමට හේතු ලෙස ඉදිරිපත්ව තිබෙනවා. තර්කානුකූලව මෙම හේතු පිළිගත හැකි වුවත්, ඊට පෙර සිටම සිදුව ඇති යම් දෙයක ලකුණුද මෙහි පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විට තරඟකාරිත්වය හා සැපයුම ඉහළ යාම හමුවේ බිත්තර මිල පහත වැටීම තුළින්ම නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු බිහිවුණා වෙන්න පුළුවන්.

කෙසේ වුවත් බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම සාපේක්ෂව මෑතකාලීන සංසිද්ධියක්. පහත තිබෙන්නේ පසුගිය වසර වල ජනවාරි හා ජූලි මුල් සති වලදී පැවති බිත්තරයක සාමාන්‍ය මිලයි.

2017 ජනවාරි - රුපියල් 14.53

2017 ජූලි - රුපියල් 14.43

2018 ජනවාරි - රුපියල් 13.79

2018 ජූලි - රුපියල් 17.52

2019 ජනවාරි - රුපියල් 20.81

2019 ජූලි - රුපියල් 18.94

2020 ජනවාරි - රුපියල් 20.41

2020 ජූලි - රුපියල් 20.55

2021 ජනවාරි - රුපියල් 17.50

2021 ජූලි - රුපියල් 19.72

2022 ජනවාරි - රුපියල් 26.14

2022 ජූලි - රුපියල් 42.55

2023 ජනවාරි - රුපියල් 61.64

2023 ජූලි - රුපියල් 55.50

මම හිතන විදිහට 2017-2018 වගේ අවුරුදු වලදී වෙන්නේ දේශීය බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම නිසා මිල ඕනෑවටත් වඩා පහත වැටීමක්. මේ තත්ත්වය තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් විතැන් වෙන්න පටන් ගන්නවා. (හොයා ගන්න පුළුවන් සීමිත, ඒ වගේම ගොඩක්ම විශ්වාසනීය නැති දත්ත මත පදනම්ව කරන මේ වගේ විග්‍රහයන් වැරදෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්නත් එපා!). ඒ වැඩේ දිගටම වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදය, වසංගතය හා ආණ්ඩු මාරුව එන්න කලින්. හැබැයි මේ විදිහට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙන නිෂ්පාදකයෝ නිකම් ඉන්නේ නැහැ. ඒ වෙනුවට කුකුළු මස් හදනවා. (මේ කියන්නේ බිත්තර දමන කිකිළියන් මසට විකිණීමක් ගැන නෙමෙයි. මාරු වෙන අතර යම් අවස්ථාවක එවැන්නක්ද කරන්න ඇති.)

මේ විදිහේ මිල කඩා වැටීම් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථික ආකෘතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී ඇති වන ප්‍රශ්නයක්. රටේ වී/ සහල් නිෂ්පාදනය අදාළව දැකිය හැක්කේත් හරියටම මේ වගේ තත්ත්වයක්. කාලගුණ තත්ත්වයන් හා වෙනත් සාධක මත නිෂ්පාදනය විචලනය වන නිසා සැපයුම අඩු වෙන වෙලාවල් වලදීත් ඉල්ලුම සපුරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් තිබුනොත්. නමුත්, නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් පවත්වා ගනිද්දී කාලගුණ තත්ත්වයන් ඇතුළු බාහිර සාධක මත සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙනවා. ඒක නිෂ්පාදකයින්ට දරාගන්න අමාරුයි. 

මේ ප්‍රශ්නය තීව්‍ර වන්නේ ලංකාවේ වී වගා කර්මාන්තයේ වගේම බිත්තර නිෂ්පාදනයේත් නියැලී ඉන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ වීම නිසා. ඔවුන්ට ලොකු සමාගමකට මෙන් වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේ වෘත්තීය හැකියාවක් නැහැ. කළ හැක්කේ පාඩු වෙන විට කර්මාන්තයෙන් ඉවත් වීම සහ වෙනත් අයගේ ලාබ දකින විට කර්මාන්තයට ඇතුළු වීම පමණයි. කර්මාන්තය තිබෙන්නේ තරමක් ලොකු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අතේනම් ඔවුන් බොහෝ විට සැලසුම්සහගතව නිෂ්පාදනය සීමා කර මිල පහත වැටීම පාලනය කර ගන්නවා. එසේ නැත්නම් නිෂ්පාදනය එලෙසම තිබියදී සැපයුම පාලනය කර මිල පවත්වා ගන්නවා. ඒක කරන්න ගබඩා පහසුකම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. කුඩා නිෂ්පාදකයින්ට එවැනි ආයෝජන කළ නොහැකියි.

නිෂ්පාදකයින් අතින් මිල නියාමනය සිදු නොවන විට එය සිදු විය හැක්කේ අතරමැදියන් අතින්. ඔවුන්ට මිල අඩු වෙද්දී අදාළ භාණ්ඩය මිල දී ගෙන මිල වැඩි වෙද්දී වෙළදපොළට නිකුත් කිරීම මගින් ලාබයක් ගන්න පුළුවන්. මෙවැනි අතරමැදියන්ගෙන් නිෂ්පාදකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් විශාල සේවයක් සැලසෙනවා (නමුත් අතරමැදියන් මේ වැඩේ කරන්නේ ලාබ හොයන්න මිසක් කාටවත් සේවයක් කරන්න නෙමෙයි. සේවය සිදු වෙන්නේ ඒ විදිහට ලාබ හෙවීම තුළයි.)

ලංකාවේ වී කර්මාන්තය තුළ මේ වැඩේ වෙනවා. නමුත් බිත්තර කර්මාන්තය තුළ එවැන්නක් වෙන්නේ නැහැ. එයට හේතුව බිත්තර ගබඩා කර තබා ගැනීමේ පිරිවැය වඩා අධික වීම. බිත්තර ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් වැනි මූලික පිරිවැය මෙන්ම විදුලි බලය වැනි විචල්‍ය පිරිවැයද ගොඩක් වැඩියි. එවැනි ආයෝජනයක් කර ලාබ ලැබිය හැකි තරමේ මිල විචලනයන් සිදු නොවනවා විය හැකියි. 

බිත්තර අපනයනය හරියකට සිදු විය හැක්කේ ඔය ආකාරයෙන් බිත්තර ගබඩා කරගෙන පසුව විකුණන අතරමැදියෝ ටිකක් බිහිවීමෙන් පසුව පමණයි. එවැන්නක් වෙන තුරු, රටේ බිත්තර නිෂ්පාදනය වැඩි වුනා කියා, කුඩා නිෂ්පාදකයින්ට එම බිත්තර අපනයනය කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ නිසා වෙන්නේ දේශීය වෙළඳපොළේ බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී මිල පහත වැටෙන එකයි. එහිදී නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඉවත් වී, සැපයුම පහළ ගොස්, මිල ඉහළ යනවා. අනෙක් අතට සැපයුම් කම්පනයක් ආපු ගමන් මිල ඉහළ යනවා. මොකද අඩු වූ සැපයුම සැපිරිය හැකි අතරමැදි ගබඩාකරුවෝ නැහැ. 

ලංකාවේ බිත්තර මිල පහළ යද්දී පහසුවෙන් බිත්තර අපනයනය කරන්න බැරි වුනත්, මිල ඉහළ යද්දී බිත්තර ආනයනය කරන එක අපහසු නැහැ. මෙය ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට තිබෙන වාසියක්. ඇමරිකාවට හෝ ඉන්දියාවට මේ වාසිය නැහැ. මොකද රටේ නිෂ්පාදනය කඩා වැටුනොත් ඒ සඳහා ආදේශ විය හැකි ප්‍රමාණවත් බාහිර වෙළදපොළක් නැහැ. මේ වාසිය තිබෙන්නේ රටේ පාරිභෝගිකයින්ට. නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය අවාසියක්.

කුඩා ආර්ථිකයක් තිබෙන රටක නිෂ්පාදනයේ සිදුවෙන විචලනයන් නිසා සිදුවන මිල විචලනයන් සීමා කරගත හැකි හොඳම ක්‍රමය හැකි පමණ විවෘත වීම. සංවෘත ආර්ථික ආකෘතියකදී මෙන් නොව, මෙහිදී නිෂ්පාදනයේ ඉලක්කය දේශීය වෙළඳපොළ නෙමෙයි. ඒ නිසා, ලංකාව වගේ රටක පැත්තෙන් බැලූ විට ඉල්ලුම සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වී මිල ඕනෑවට වඩා පහළ යාමක් නැහැ. සැපයුම අඩු වූ විටක පහසුවෙන්ම අපනයන අඩු කර හෝ අපනයන කරන අතරම ආනයනද කර අඩුව පුරවා ගන්න පුළුවන්. මෙය සිදු වන්නේ නිෂ්පාදකයින්ට ඉහළින් අතරමැදියන් ගොඩ නැගෙන තරමටයි.

ඉහත කතා කළේ කර්මාන්තය හා අදාළ දිගුකාලීන තත්ත්වයන් ගැන. මෙහි කතා කළ ප්‍රශ්න හමුවේ වුවත්, 2019 වන විටද ලංකාවේ බිත්තර වෙළඳපොළේ කැපී පෙනෙන අවුලක් නැහැ. සැපයුම වැඩි වීම නිසා 2017-2018 පමණ කාලයේදී මිල පහත වැටීම වෙළඳපොළ තුළම විසඳී තිබෙනවා. ඒ, බිත්තර නිෂ්පාදකයින් මස් නිෂ්පාදනය වෙත විතැන් වීම මගින්. අමතර නිෂ්පාදනය අපනයනය කළ හැකි වූවානම් එය වඩා හොඳ තත්ත්වයක් වුවත්, වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රශ්නය විසඳී තිබෙනවා. ඇතැම් විට, ඩොලරයක මිල මීට වඩා උඩින් තිබුණානම් විසඳුම වෙනස් විය හැකිව තිබුණා.

රටේ සාමාන්‍ය ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී බිත්තර ඉල්ලුම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගියා වෙන්න පුළුවන්. රට පුරා හමා ගිය සංස්කෘතික රැළි නිසා යම් තරමකින් හෝ වෙනත් මස් වර්ග වෙනුවට කුකුළු මස් ආදේශ වීමකුත් වෙන්න ඇති. එවැනි තත්ත්වයක් හමුවේ බිත්තර නිපදවා අපනයනය කරන්න මහන්සි වීමට සාපේක්ෂව රට ඇතුළේම තිබෙන කුකුළු මස් ඉල්ලුම සපුරන එක වඩා වාසිදායක තේරීමක්.

ඔය සියලුම තත්ත්වයන් එක්ක, 2021දී පෙර වසරට සාපේක්ෂව බිත්තර මිල පහළ යනවා. 2022 ජනවාරි වන විට බිත්තරයක මිල රුපියල් 26.14ක්. එම වසරේ ජූලි මාසය වන විට මෙම මිල රුපියල් 42.55 දක්වා ඉහළ යනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියෙද්දී රුපියල් 26.14ක් කියන්නේ ඩොලර් ශත 13ක්. ඩොලරය රුපියල් 360 වූ විට එයම රුපියල් 46.80ක් වෙනවා. ඒ වගේම, ඔය මාස හයක කාලය අතරතුර රටේ සාමාන්‍ය මිල මට්ටම (කොළඹ පාරිභෝගික මිල දර්ශකය) 44%කින් ඉහළ යාම සැලකුවොත් බිත්තරයක් රුපියල් 38ක් පමණ විය යුතුයි. මෙම ඉහළ යාම් වලට සාපේක්ෂව බිත්තරයක මිල රුපියල් 42.55ක් වීම ඉතාම සාමාන්‍ය දෙයක් මිසක් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩි වීමක් නෙමෙයි. මිල එවැනි මට්ටමකට නොගියේනම් නිෂ්පාදකයින්ට පවතින්න අසීරු වෙනවා. 

මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44ක පාලන මිලක් පනවන්න ඇත්තේ ඔය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන විය යුතුයි. නමුත්, ඒ වන විට බිත්තරයක වෙළඳපොළ මිල රුපියල් 61.64ක්. මෙම මිල ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම රටේ පැවති උද්ධමනයේ බලපෑමද ඉක්මවූ මිල ඉහළ යාමක්. එයට හේතුව කුමක්ද? 

මිල ඉහළ යාමට හේතුවක් ලෙස ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන සාධකයක් වන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා ඊට අනුරූපව මිල ඉහළ යාමයි. එය එසේ විය හැකියි. එහෙත්, අදාළ දත්ත සොයා ගත නොහැකි නිසා විග්‍රහයක් කළ නොහැකියි. ඉහත දත්ත අනුව, 2018-2022 කාලය අතරතුර රටේ සිටි බිත්තර දමන කිකිළියන් ප්‍රමාණය 30%කින් අඩු වී තිබෙනවා. මෙය ක්‍රමික අඩුවීමක් මිසක් එකවර සිදු වූ අඩුවීමක් නෙමෙයි. 2023දී මෙම ප්‍රමාණය තවත් අඩුවුනා විය හැකියි. එය පෙර වසර වල වූ අඩුවීමේම දිගුවක්ද නැත්නම් ඊට වඩා වැඩි අමතර අඩුවීමක්ද යන්න හරියටම දැනගන්න වෙන්න දත්ත ඇති විටෙක පමණයි.

පෝර සහනාධාරය ඉවත් වීම කුකුළු ආහාර වල මිල ඉහළ යාම කෙරෙහි දිගුකාලීනව බලපෑවා වෙන්න පුළුවන්. එය එසේනම්, මෙය ඉදිරියේදී ආපසු නොහැරෙන තත්ත්වයක්. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ යාම නිෂ්පාදකයින්ගේ මූල්‍ය පිරිවැය ඉහළ දැම්මා විය යුතුයි. එයනම්, නැවත ආපසු හැරෙන තාවකාලික තත්ත්වයක්. ඒ වගේම, වසංගත සමයේදී හා ඉන්පසු පැවති අර්බුද සමයේදී සැපයුම අඩු වුවද ඊට අනුරූපව ඉල්ලුමද අඩු වූ බව සිතිය හැකියි. වසංගත සමයේදී ලොව පුරා දැකිය හැකි වූයේ මෙවැනි තත්ත්වයක්. ඉල්ලුම හා සැපයුම යන දෙකම අඩු වෙද්දී මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙද්දී කලින් පහළ ගිය බිත්තර ඉල්ලුමද නැවත පෙර මට්ටමට එනවා වෙන්න පුළුවන්. ඊට අනුරූපව සැපයුම වැඩි නොවුවහොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වෙනස් වන තරම් හදිසියෙන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ලාබ දැක කර්මාන්තයට පිවිසෙන්නට වගේම පාඩු හමුවේ කර්මාන්තයේ ඉවත් වීමටද යම් කාලයක් ගත වෙනවා. 

ජනවාරි මාසයේදී එක පැත්තකින් බිත්තර ආනයනය වාරණය කරන අතර අනෙක් පැත්තෙන් මිල පාලනය කිරීම ඉතාම අදූරදර්ශී ක්‍රියාවක්. විශේෂයෙන්ම එය කළ නිශ්චිත ආකාරය. බිත්තර මිල ඉහළ මට්ටමක තිබියදී ආනයන වලට ඉඩ ලැබුණානම්, නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම සිදු වෙද්දී වුවද, පාරිභෝගිකයින්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට ඉඩ ලැබෙනවා. නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය කෙසේ වෙතත් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, කළ දෙයින් නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය හෝ පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම හරහා සිදු වුනේ බිත්තර නිෂ්පාදකයින්ට කර්මාන්තයට පිවිසෙන්නට ආරාධනා කරමින් වෙළඳපොළ විසින් සංඥාවක් නිකුත් කිරීමයි. මිල දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් අලුත් නිෂ්පාදකයින් කර්මාන්තයට ආකර්ෂණය වී රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ යනවා. එහිදී නැවත මිල අඩු වෙනවා. එහෙත්, මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරක පමණ කාලයක් විය හැකියි. මිල පාලනය නිසා මෙය සිදු වුනේ නැහැ. ඒ නිසා, සැපයුම ඉහළ නොගොස් ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තීව්‍ර වුනා. අවසාන වශයෙන් ප්‍රායෝගිකව පාලන මිල පවත්වා ගත නොහැකි වුනා. 

ඒ වගේම, මිල පාලනයක් සිදු නොවුනානම්, ඉහළ මිල යටතේ වුවද ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල පාලනයක් පැවතියද එය දැඩිව ක්‍රියාත්මක නොවූ නිසා රටේ විශාල බිත්තර හිඟයක් ඇති වී නැහැ. මිල පාලනය හමුවේ වුවද බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා විය හැකියි. මිල පාලනය නිසා බොහෝ දුරට සිදු වුනේ කර්මාන්තයට අලුත් නිෂ්පාදකයින් ඇතුළු වීම අධෛර්යමත් වීම හා ඒ මගින් බිත්තර මිල පහළ යාමේ ස්වභාවික යාන්ත්‍රණයට බාධා පමුණුවනු ලැබීමයි. කළ යුතුව තිබුණේ යම් පාලනයක් ඇතිව බිත්තර ආනයනයට ඉඩ දීමයි. එසේ කළේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මිල වැඩි වීම පමණක් පාලනය කරමින්, පිරිවැය ඉහළ යාමේ බලපෑමෙන් නිෂ්පාදකයින් ආරක්ෂා කළ හැකිව තිබුණා.

දැන් එක වර ක්ෂණිකව සීමාවකින් තොරව බිත්තර ආනයනයට ඉඩ දීමෙන් තවත් හානි සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ බිත්තරයක මිල රුපියල් 55ක් පමණ. ඇමරිකාවෙන් වුවද බිත්තර ආනයනය කර රුපියල් 35ක පමණ මුදලකට විකිණිය හැකි විය හැකි බව මගේ අදහසයි. මේ අයුරින් රටේ වෙළඳපොළ ලෝකයට විවෘත කිරීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුවත්, කාලයක් තිස්සේ වෙළඳපොළ ලෝකයට වසා ගෙන සිට එක වර ස්විච් එකක් දැම්මාක් මෙන් විවෘත කළ විට සිදු වෙන්නේ එය සැලසුම්සහගතව කරන විට සිදු වන දෙයම නෙමෙයි.

පසුගිය වසරේ දත්ත අනුව වුවද රටේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 154ක්. බිත්තරයක් ඩොලර් ශත 10 සේ සැලකුවොත් (ලංකාවේ දැන් මිල අමතක කර) ඩොලර් මිලියන 15.4ක්. වසරකටනම් ඩොලර් මිලියන 185ක් පමණ. මෙය 2019 වසරේදී පැවති ඩොලර් මිලියන 209ක දේශීය බිත්තර කර්මාන්තයට වඩා කුඩා වුවත් අඩුව 12%කට වඩා අඩු නැහැ. රටේ බිත්තර ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම අඩුව 12%කට, එනම් ඩොලර් මිලියන 24කට වඩා නොවැඩි අඩුවක්. 

කෙසේ වුවද, 2019 යනු බිත්තර මිල අඩු වූ වසරක්. ඒ අනුව, ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පැවති සේ සැලකිය හැකි වසරක්. දැන් පවතින තත්ත්වයන් තුළ ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම පරතරය 12%කට වඩා අඩු පරතරයක් විය යුතුයි. එසේ නොවන්නේනම්, රටේ විශාල බිත්තර හිඟයක් පැවතිය යුතුයි. ඩොලර් මිලියන 185ක පමණ බිත්තර කර්මාන්තයක් තවමත් රටේ තිබෙනවා. 

දැන් පවතින තත්ත්වයන් තුළ බිත්තර ආනයනයට ඉඩ දීමෙන් දැනටත් ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 185ක බිත්තර කර්මාන්තය මුළුමනින්ම විනාශ වී යයිද? ලෝක බිත්තර කර්මාන්තය එක්ක ගත්තහම (දැනට රටේ බිත්තර හිඟය 8%ක් සේ සලකා) ඩොලර් මිලියන 200ක වගේ බිත්තර ප්‍රමාණයක් පහසුවෙන් රටට එන්න බැරිකමක් නැතත්, මේ ප්‍රමාණය පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි. උදාහරණයක් විදිහට 2021 වසරේදී ඉන්දියාවේ මුළු බිත්තර අපනයන ආදායම ඩොලර් මිලියන 31.1ක්. එම වසරේදී ඇමරිකාවේ බිත්තර අපනයන ආදායම වුනත් ඩොලර් මිලියන 596ක් පමණයි. ඩොලර් මිලියන 200ක් කියන්නේ ලෝක බිත්තර වෙළඳාමෙන් 4%ක්. ඒ වගේ බිත්තර ප්‍රමාණයක් ලංකාව එක පාරටම ආනයනය කළොත් ලෝක බිත්තර මිලේ කම්පනයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. ඒ නිසාම, බිත්තර ආනයනයෙන් කර්මාන්තයට යම් හානියක් විය හැකි වුවත් ලංකාවේ බිත්තර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ ඉඩක් නැහැ. 

ලෝකය පුරා ඉන්න බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ බිත්තර අලෙවි කරන සැපයුම් දාම තිබෙනවා. මේ ගොඩක් අය කලින්ම ගිවිසුම්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා, ලංකාවට හදිසියේ, අඩු මිලට බිත්තර ආනයනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙද්දී බිත්තර වෙනුවෙන් ගෙවන්න වෙන මිලත් ක්‍රමයෙන් ඉහළ යනවා. 

ඔය තත්ත්වයන් එක්ක ලංකාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කළත්, ඉල්ලුමෙන් ඉතිරි 90% පිරිමැහෙන්නේ දේශීය නිෂ්පාදන වලින්. ඒ නිසා, අවසාන වශයෙන් රටේ බිත්තර මිල තීරණය වෙන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයාගේ පිරිවැය මත. එම මිල දැන් මිලට වඩා ටිකක් අඩු මිලක් විය හැකි වුවත්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ බිත්තර මිල තරමට ලංකාවේ බිත්තර මිල පහළ යන එකක් නැහැ. ඒ නිසා, මේ කරපු විවෘත කිරීමෙන් වෙන්නේ සීනි බද්ද ඉවත් කරපු අවස්ථාවේදී මෙන් යම් බිත්තර ආනයනකරුවන් පිරිසකට ක්ෂණික, විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක. 

ආනයනකරුවෝ ලාබ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ප්‍රශ්නය මේ වගේ ලාබ සාමාන්‍ය ලාබ නෙමෙයි. රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලාබ. මේක අදාළ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ වෙළෙන්දෝ එකතු වී කරපු "හොරකමක්" කියා මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ තීරණ ගනිද්දී කාට හෝ ඒ වගේ චෝදනාවක් කරන්න ඉඩක් ඉතිරි වෙනවා. ලබන සතියේ කවුරු හෝ කෙනෙක් එකපාරටම විශාල බිත්තර ප්‍රමාණයක් ආනයනය කළොත්, එහෙම කළේ තමන්ගේ මොනවා හෝ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙනම වුනත්, අදාළ ප්‍රතිපත්ති තීරණය ගැන කලින් දැනගත්තාද කියන සැකය මතු වෙන එක වලක්වන්න බැහැ.

සීනි බද්ද ඉවත් කළ වෙලාවේ වගේ බිත්තර බද්ද ඉවත් කළාට පස්සෙත් බිත්තර මිල අඩු වුනේ නැත්නම් කරන්නේ කුමක්ද? ප්‍රායෝගිකව කරන්න වෙන්නේ නැවත බද්ද යම් මට්ටමක් දක්වා වැඩි කරන එක. එවිට අස්සයා පැනලා ගිහින් ඉවරයි. 

මේ බදු ඉවත් කිරීම සහ ඒ මගින් ආනයන වලට ඉඩ දිය යුතුව තිබුණු හරි ක්‍රමය කුමක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බිත්තර බද්ද එලෙසම තිබියදී බිත්තර නිෂ්පාදන මත වූ බද්ද ඉවත් කරන එක. ඒ බද්ද තවමත් ඉවත් කරලා නැහැ. එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඊට පස්සෙත් මිල වැඩිනම් ඒ පිරිවැය නිසා ඉහළ ගිය මිල. බිත්තර ආනයනය කළා කියලා ඒ මිල තවත් අඩු වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ ටිකෙන් ටික කර්මාන්තයෙන් ඉවත් වෙන එක පමණයි වෙන්නේ.

හැබැයි බිත්තර ආනයනය කරන්න පටන් ගත්තත් නිෂ්පාදකයින්ට එක දවසෙන් කර්මාන්තයෙන් ඉවත් වෙන්න බැහැ. රජය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කළා කියලා කිකිළියෝ දන්නේ නැහැ.  උන් දිගටම බිත්තර දමනවා. ඒ බිත්තර ලොකු ලාබයක් නැතිව හෝ විකුණන්න වෙනවා. අඩු වශයෙන් විචල්‍ය පිරිවැය හෝ ආවරණය කර ගන්න වෙනවා. එම මිල හා බිත්තර ආනයනය කළ හැකි මිල අතර පරතරය ආනයනකරුවන්ගේ ක්ෂණික ලාබය. එම කොටස පාරිභෝගිකයින්ට යාමේ ඉඩක් නැහැ. සීනි බද්ද ඉවත් කරපු වෙලාවේ වුනෙත් ඕකමයි.

බිත්තර ආනයනයට ඉඩ දෙනවානම් කළ යුතුව තිබුණේ රුපියල් 50ක බද්ද එකවර ඉවත් නොකර රුපියල් 15-20ක් පමණ දක්වා අඩු කරන එක. එසේ කළානම් ආනයනකරුවන්ට ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. බිත්තර වල වෙළඳපොළ මිල අඩු වෙන ආකාරය දිහා බලාගෙන අවශ්‍යනම් බද්ද ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. නමුත් රුපියල් 50ක බද්දක් එක පාරටම අයින් කරනවා කියන්නේ බරපතල මැදිහත් වීමක්.

ආනයන බද්ද කියන්නෙම රාජ්‍ය මැදිහත්වීමක් නිසා එය ඉවත් කරන එකේ වැරැද්ද කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ බද්ද ඉවත් කරන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කරපු විදිහේ. 

බිත්තර කර්මාන්තය කියන්නේ අවුලක් නැතුව හොඳට තිබුණු කර්මාන්තයක්. පොහොර සහනාධාරය හරහා කුකුළු කෑම වල මිල වක්‍ර ලෙස සුබසාධනය වෙන්න ඇති. ඒ හැර කර්මාන්තයට ලොකු රාජ්‍ය මැදිහත්වීමක් තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීම නිසා (ආනයනික බිත්තර ලාබ වීම නිසා) සිදු වූ අවාසියකුත් තිබුණා. කර්මාන්තය කාලයක් තරඟකාරී ලෙස පැවතුණා.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය ඇමරිකාවේ එම කර්මාන්තයට වඩා වෙනස්. ඇමරිකාවේ ශ්‍රමයේ මිල අධික නිසා ඇමරිකාව ප්‍රාග්ධන ආයෝජන මගින් නිෂ්පාදන වියදම අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ ඉන්නේ ලොකු නිෂ්පාදකයෝ. ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්නේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්න කුඩා නිෂ්පාදකයෝ. ලාබ ශ්‍රමය කියා කිවුවත් කුඩා තේ වතුහිමියන් හා අදාළව කියපු පරිදි බොහෝ විට තමන්ගේම හෝ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය. 

පසුගිය වසරේ පැවති ඉහළ උද්ධමනය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගත හැකි හැම කෙනෙක්ම එසේ කරමින් උද්ධමනයට මුහුණ දී තිබෙනවා. වැටුප් ශ්‍රමිකයින්ට සාපේක්ෂව කිසියම් නිෂ්පාදන කාර්යයක යෙදෙන අයට උද්ධමනයෙන් සිදු වී තිබෙන බලපෑම අඩුයි. පොදුවේ ආහාර උද්ධමනය අඩු වෙමින් ඇතත් මිල අඩු වෙන්නේ ආනයනික ආහාර වල. මාළු, එළවලු මිල අඩු වෙලා නැහැ. බිත්තර මිලත් එහෙමයි. ත්‍රිරෝද රථ ගාස්තු වල සිට වෛද්‍ය, නීතිඥ සේවා ගාස්තු ආදිය දක්වා ශ්‍රමයේ මිල ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය අඩු වුනත් මිල අඩු නොවෙන්නේ ඒ නිසා. හැමෝගෙම නොවුනත් බොහෝ දෙනෙකුගේ වියදම් ඉහළ යද්දී ඒ අය තමන්ගේ ආදායම්ද වැඩි කරගෙන. බිත්තර නිෂ්පාදකයින් විසින්ද මේ වැඩේ කරගෙන තිබෙනවා. 

අනෙක් පැත්තෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් බැංකු ණය මත දුවන අය. ඉහළ පොලී අනුපාතික ඔවුන්ගේ පිරිවැය වැඩි කරනවා. මේ සියල්ල තාවකාලික තත්ත්වයන්. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙද්දී බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් යම් කොටසක් අඩු වෙනවා. එවිට ලංකාවේ බිත්තර මිල සහ ලෝක වෙළඳපොළේ මිල අතර පරතරය නැවතත් නැති වෙලා යයි. එහෙම වෙද්දී දේශීය බිත්තර කර්මාන්තය තරඟයට නිරාවරණය කරන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ඔය වැඩේ එක දවසකින් කරන එක භයානකයි. ඒක ඩොලරයක මිල කාලයක් හිරකරගෙන ඉඳලා එක දවසෙන් අත ඇරියා වගේ වැඩක්.

බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැහැ. හැබැයි ඔම්ලට් එක හදන්න කිසිම සූදානමක් නැතුව හදිස්සියේ බිත්තරේ කඩලා හරියන්නෙත් නැහැ.

Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

Saturday, July 22, 2023

තේ කහට යට හිතේ කහට...


පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 24,148ක්. මේ සඳහා කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වලින් ලැබී තිබුණු දායකත්වය පහත පරිදියි

කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය - රුපියල් බිලියන 2,113යි. එනම්, 8.7%ක් පමණයි.

කර්මාන්ත - රුපියල් බිලියන 7,309යි. එනම් 30.3%ක්.

සේවාවන් - රුපියල් බිලියන 13,549යි. එනම් 56.1%ක්. 

මේ කොටස් තුනේ එකතුව 100%ක් නොවීම කාට හෝ ප්‍රශ්නයක්නම් ඉතිරි කොටස එනම් රුපියල් බිලියන 1,177ක් (4.9%ක්) රජය විසින් භාණ්ඩ හා සේවා මත අය කරන බදු. මෙහිදී අවධානය යොමු කරන්න අවශ්‍ය ඉහත සංයුතිය දෙසයි. විශේෂයෙන්ම වන වගාව, කරදිය හා මිරිදිය ධීවර කර්මාන්ත, කෘෂිකාර්මික ආධාරක සේවා ආදියද ඇතුළත්ව මුල් කොටසේ සමස්ත දායකත්වය. 

දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය තුළින් ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ එම කර්මාන්තය වෙනුවෙන් යොදවන ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ විදිහට කවර ආකාරයකින් හෝ බෙදී යා හැක්කේත් ඔය කොටස පමණයි කියන එක. 

පසුගිය වසර අවසානයේදී ලංකාවේ ජනගහණයෙන් කිසියම් ආර්ථික කාර්යයයක නියැලුණු පිරිස 8,147,731ක් පමණයි. වැටුප් ලබන රැකියාවක් කළ අය වගේම (වැටුප් ලබමින් විවිධ හේතු මත රැකියා නොකළ අයද ඇතුළත්ව), ස්වයං රැකියා කළ අය, තමන්ගේ පවුලේ නිෂ්පාදන කාර්යයකට උදවු කළ අය, වෙනත් අයව සේවයේ යෙදවූ අය ආදී සියල්ලන්ම මෙම ඇස්තමේන්තුවට ඇතුළත්.

මේ විදිහට කවර හෝ ආර්ථික කාර්යයක නියැළුණු පිරිස කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ අතර බෙදී ගොස් සිටියේ කවර ආකාරයකින්ද?

කෘෂිකාර්මික - 2,158,559 (26.5%)

කාර්මික - 2,158,199 (26.5%)

සේවා - 3,830,973 (47.0%)

මෙයින් පෙනෙන පරිදි කාර්මික හා සේවා අංශ වල ශ්‍රම යෙදවුම් වලින් සාපේක්ෂව වැඩි අගය එකතු කිරීමක් සිදු වෙනවා. කෘෂිකාර්මික අංශයේ එය සිදු වෙන්නේ ගොඩක් අඩුවෙන්. එක් එක් අංශයේ ශ්‍රමිකයෙකුගේ අගය එකතු කිරීම සාමාන්‍ය වශයෙන් පහත පරිදියි. (මෙයින් අදහස් වන්නේ ශ්‍රමය නිසා පමණක් සිදු වන අගය එකතු කිරීම නෙමෙයි. ප්‍රාග්ධනයේ කොටස ඇතුළත්ව.)

කෘෂිකාර්මික - රුපියල් මිලියන 0.98ක් පමණ 

කාර්මික - රුපියල් මිලියන 3.37ක් පමණ 

සේවා - රුපියල් මිලියන 3.57ක් පමණ 

මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි, රටම කෘෂිකර්මය කරා යොමු වුනොත් වෙන්නේ මුළු රටේම සාමාන්‍ය ජීවන තත්ත්වය දැන් තිබෙන මට්ටමෙන් 25%-30% පමණ පහළ මට්ටමකට වැටෙන එක. ඒ වගේම, රටම කෘෂිකර්මයෙන් ඉවත් වුනොත් වෙන්නේ රටේ 26.5%කගේ ජීවන තත්ත්වය තුන් හතර ගුණයකින් ඉහළ යන එක. (මේ දෙකම පැහැදිලි කිරීම සඳහා පමණක් පෙන්වන උපකල්පිත තත්ත්වයන් පමණයි).

දැන් ඉහත පෙන්වා ඇති පරිදි කෘෂිකාර්මික අංශයේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මොන විදිහකින් හෝ බෙදී යා හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.7%ක් වන කොටසක් පමණයි. ඒ ටික බෙදාගන්න රටේ ශ්‍රම බලකායෙන් 26.5%ක් බලාගෙන ඉන්නවා. මේ අයගෙන් යැපෙන අය වෙනම ඉන්නවා. තේ වගා කර්මාන්තය කියා කියන්නේ ඔය 8.7%ක කොටසෙනුත් එක් කොටසක් පමණයි.

පසුගිය වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයට තේ වගා කර්මාන්තයේ දායකත්වය රුපියල් මිලියන 203,024ක් පමණයි. එය ප්‍රතිශතයක් ලෙස 0.84%ක් පමණයි. මෙයින් තේ වතු සමාගම් වල දායකත්වය ආසන්න වශයෙන් 25%ක් පමණයි. ඉතිරි 75%ම එන්නේ පෞද්ගලික තේ වතු වලින්. එයින්ද 60%ක් පමණ කුඩා තේ වතු හිමියෝ. 

ඓතිහාසික තත්ත්වයන් මත අවවරප්‍රසාදිත ජන කණ්ඩායමක් වී තිබෙන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවෝ සේවය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය වතු සමාගම් වල. ලොකු පෞද්ගලික වතුහිමියන් යටතේද ඔවුන්ගෙන් යම් පිරිසක් සේවය කරනවා විය හැකියි. එහෙත්, මේ කොටස් දෙක ගත්තත් මේ වෙද්දී තේ වගා කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින් සියළු දෙනා ඉන්දීය සම්භවයක් ඇති අය නෙමෙයි.

ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 60%-65%ක් පමණ වන පහත රට තේ වලින් 96%ක්ම නිපදවන්නේ කුඩා තේ වතුහිමියෝ. මැදරට තේ වලින් 65% නිපදවන්නේත් ඔවුන්. ලොකු තේ වතු වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ උඩරට. 

ලක්ෂ හතරකට වැඩි කුඩා තේ වතුහිමියන් විසින් වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 200කට වඩා හදනවා. වතු වල තේ නිෂ්පාදනය එයින් තුනෙන් එකක් පමණයි. ඉහත මිලියන 200 ලක්ෂ හතරෙන් බෙදුවොත් එක් කුඩා තේ වතුහිමියෙක් විසින් වසරකට නිපදවන්නේ තේ කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක්. මෙම සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ සකස් කළ වියලි තේ කොළ විය යුතුයි. එසේනම්, මාසයකට අමු දළු කිලෝග්‍රෑම් 200කට වඩා නොවැඩි ප්‍රමාණයක්. මෙවැනි ප්‍රමාණයක් දළු කඩන්න සහ අනෙකුත් ශ්‍රම යෙදීම් වෙනුවෙන් සාමාන්‍ය වශයෙන් මාසයකට මිනිස් දින දහයකට වඩා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මට්ටමේ ශ්‍රම යෙදවුමක් බොහෝ විට පවුලේම ශ්‍රමය මිස කුලී ශ්‍රමය නෙමෙයි. 

අනෙක් අතට, අමු තේ දළු කිලෝවක මිල රුපියල් 200 සේ සැලකුවොත්, තේ දළු කිලෝග්‍රෑම් 200ක් විකුණා ලැබිය හැකි ආදායම රුපියල් 40000ක් පමණයි. මේ ආදායම කියන්නේ ලාබයක් නෙමෙයි. කුලියට දළු කඩා ගෙන අනෙක් කටයුතුද කුලියට කර ගත්තොත් ඔය මුදලින් සැලකිය යුතු කොටසක් ඒ වෙනුවෙන් යනවා. ඊට අමතරව පෝර වැනි අනෙකුත් වියදම් ගියාට පස්සේ තේ වතුහිමියෙකු වීම නිසා ලැබෙන ප්‍රතිලාභය විශාල එකක් නෙමෙයි. එම ප්‍රතිලාභය ලැබෙන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ගන්නා අවදානම යන සියල්ල වෙනුවෙන්.

අද වෙද්දී ලංකාවේ කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙක් තමන්ගේම වත්තේ පැත්තක තේ ටිකක් වවාගෙන, තමන්ගේ පවුලේ ශ්‍රමය ඒ වෙනුවෙන් යොදවන දුප්පතුන් නොවේනම් එසේ නොවන්නේ වෙනත් රැකියාවක් කරන නිසා හෝ වෙනත් ආදායම් මාර්ග තිබෙන නිසා. කුඩා තේ වතුහිමියන් අතර සිටින තරමක් විශාල තේ ඉඩමක් තිබෙන අය හා අදාළව පමණක් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැන්නෙකුගේ ආදායම ගැන හිතද්දීත් වතුහිමියා ලෙස යොදවන මානසික හා ශාරීරික ශ්‍රමයේ මිල අඩු කර ගණන් බැලිය යුතුයි. 

ඔය ආකාරයේ කුඩා තේ වතු හිමියෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන දෙය හා සංසන්දනය කළ විට ලොකු තේ වත්තක ශ්‍රමිකයෙකු සේ වැඩ කරන, සාමූහික ගිවිසුම් හා කම්කරු නීති වලින් අවම වැටුප් හා වරප්‍රසාද තීරණය වී ඇති අයෙකුගේ තත්ත්වය අද වෙද්දී ගොඩක්ම නරකයි කියා මම හිතන්නේ නැහැ. එයින් මම අදහස් කරන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය කතා කරන්න අවශ්‍ය නැති තරම් හොඳ බව නෙමෙයි. එය නරකනම්, එය සමස්තයක් ලෙස කර්මාන්තයේ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රශ්නයක් මිසක් වතුහිමියන් විසින් ශ්‍රමිකයින්ගේ කොටස ඔවුන්ට නොදීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ලංකාවේ වැවිලි සමාගම් විසින් යොදවා ඇති ප්‍රාග්ධනයට සාපේක්ෂව හා ගෙන ඇති අවදානමට සාපේක්ෂව ඉතා සාමාන්‍ය ලාබ මිසක් සුපිරි ලාබ ලබන්නේ නැහැ. අභාවප්‍රාප්ත වූ මෙරිල් ප්‍රනාන්දුට අයත් සමාගම් විසින් මෑත වසර වලදී පාලනය කළ කහවත්ත ප්ලාන්ටේෂන් වැනි සමාගම් පසුගිය කාලය මුළුල්ලේම පවත්වාගෙන ගොස් තිබෙන්නේ පාඩුවටයි. එම පාඩු ආවරණය කරගෙන තිබෙන්නේ වෙනත් සමාගම් වලින් මුදල් පොම්ප කිරීමෙන්. පහත තිබෙන්නේ පසුගිය වසර වල එම සමාගමේ ලාබ. 

2021 - රුපියල් මිලියන 106ක ශුද්ධ පාඩුවක්.

2020 - රුපියල් මිලියන 246ක ශුද්ධ පාඩුවක් 

2019 - රුපියල් මිලියන 510ක ශුද්ධ පාඩුවක් 

2018 - රුපියල් මිලියන 249ක ශුද්ධ පාඩුවක් 

2017 - රුපියල් මිලියන 18ක ශුද්ධ ලාබයක් 

2016 - රුපියල් මිලියන 138ක ශුද්ධ පාඩුවක් 

2015 - රුපියල් මිලියන 192ක ශුද්ධ පාඩුවක් 

ඔය සමාගම යටතේ පාලනය වන වතු රජය විසින් පෞද්ගලික අංශයට දිගුකාලීනව බදු දී නොතිබුණානම් මේ වෙද්දී ඔය පාඩු වල බර දරන්න වෙන්නෙත් බදු ගෙවන්නටයි. දැන් එම පාඩු අදාළ සමාගමේ කොටස් හිමියන්ගේ ප්‍රශ්නයක්.

සමාගමක් මේ අයුරින් දිගින් දිගටම පාඩු ලබද්දී එම සමාගමේ සේවකයින්ගේ තත්ත්වය එන්න එන්නම යහපත් වීමේ ඉඩක් නැහැ. (ඇතැම් රාජ්‍ය ආයතන වලනම් එහෙම වෙනවා.) අනෙක් අතට ලංකාවේ වැවිලි කර්මාන්තයේ ස්වභාවය අනුව වැවිලි සමාගමක් පාඩු ලබද්දී එහි සේවකයින් එළවා දමා පාඩු මකා ගැනීමේ හැකියාවක් නැහැ. එයට නීතිමය බාධා වලට අමතරව සංස්කෘතික හා දේශපාලන බාධාද හරස් වෙනවා. ඒ වගේම, ඒ විදිහට ඉන්න සේවකයින් ඉවත් කර අලුතෙන් සේවකයින් හොයා ගැනීම පහසු නොවන නිසා ආර්ථික වශයෙන් වුවද එවැන්නක් බොහෝ විට හොඳ තීරණයක් නෙමෙයි. මේ හේතුව නිසාම අධික සේවක පිරිවැය නිසා සිදුවන පාඩු පියවා ගන්න වෙන්නේ කවදා හෝ ලාබ ලබන අවස්ථාවකයි. ඒ වගේ වෙලාවකදී ලාබයෙන් සේවකයින්ට යන කොටස අඩු වෙනවා. 

ප්‍රතිලාභ අඩු වුනත් කෘෂිකාර්මික ශ්‍රමිකයින් මහා පරිමාණයෙන් කර්මාන්තයෙන් ඉවත් නොවන්නේ ඔවුන්ට එසේ ඉවත් වී කළ හැකි වෙනත් දේ නැති නිසයි. මෙය කුසලතා නැති වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. යම් ආකාරයකින් කුසලතා ගොඩ නගා ගත්තත් එවැනි විශාල පිරිසකට රැකියා සැපයිය හැකි වෙළඳපොළක් ලංකාවේ නැහැ. මම මුලින් කියපු "සියලු කෘෂිකාර්මික ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඉවත් වීම" වැනි දෙයකින් සෛද්ධාන්තිකව එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය වගේම රටේ ආර්ථිකයද වර්ධනය වන නමුත් මෙවැනි අදහසක් ලංකාවේ වත්මන් සන්දර්භය තුළ මනෝරාජික අදහසක් පමණයි. මේ තිබෙන පසුබිමේ කෘෂිකර්මයේ නියැලෙන අය කෘෂිකර්මයෙන් ඉවත් වුනොත් වෙන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටී රටේ ආර්ථිකයද පසුපසට යාමක් පමණයි. කෙසේ වුවත්, දිගුකාලීනව බැලූ විට මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි.

රටේ කාර්මික හා සේවා අංශ වල ප්‍රමාණවත් රැකියා ඇත්නම් කෘෂිකර්මය තුළ හිර වී තිබෙන ශ්‍රමය ඒ වෙත විතැන් වෙනවා. එහිදී කෘෂිකර්මය තුළ ඉතිරි වන සීමිත පිරිස අතර එම අංශයේ සීමිත දදේනි දායකත්වය බෙදී යාමෙන් එම අංශය තුළ ශ්‍රමය වෙනුවෙන් වගේම ප්‍රාග්ධනය වෙනුවෙන්ද ලැබෙන ප්‍රතිලාභ ඉහළ යනවා. එය නොවන්නේ රටේ කාර්මික හා සේවා අංශ වල ප්‍රමාණවත් රැකියා ජනනය කිරීමක් සිදු නොවන නිසා. 

මෙය රට තුළ ප්‍රාග්ධනය නැතිකම පිළිබඳ ප්‍රශ්නයකට වඩා ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. වෘත්තිකයෙකුට ලැබෙන ගෞරවය ව්‍යසායකයෙකුට රටෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම, ප්‍රාග්ධනය එක්රැස් කරගෙන සිටින, ව්‍යසායකයකත්ව කුසලතා තිබෙන හෝ ගොඩ නගා ගැනීමේ හැකියාව තිබෙන බොහෝ දෙනෙකු ඒ සඳහා දිරිමත් වන්නේ නැහැ. ශ්‍රමය සූරාකන්නන් ලෙස ලේබල් කර අපහාස කරනු ලැබීමේ අවදානමට බිය වන එවැන්නන් අනෙක් පැත්තෙන් තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අනවරත උවමනාවකින්ද පෙළෙනවා. ඒ සඳහා මාර්ග සීමා වෙද්දී විදේශගත වීම විසඳුම ලෙස දකිනවා. 

තේ කර්මාන්තයේ නියැලෙන ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රමිකයින්ගේ ජීවිත වල සියවස් එකහමාරක තේ කහට පැල්ලම් තිබෙනවා. ඒ කහට පැල්ලම් ඉවත් කළ යුතුයි. එහෙත්, ඒ කහට පැල්ලම් ගැන කතා කරන බොහෝ දෙනෙකු විසින් ප්‍රදර්ශනය කරන්නේ රටේ සිටින ධනය උපදවන්නට එරෙහි ඔවුන්ගේ හිතේ කහටයි. වැවිලි සමාගම් සතු තේ වතු වල මෙන්ම තමන්ගේම කුඩා තේ වතු වල ශ්‍රමය වැය කරන කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ ජීවිත වඩා යහපත් වීමටනම් මේ ශ්‍රමිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වී කර්මාන්තයේ ස්වභාවය වෙනස් විය යුතුයි. එය සිදු වීමටනම් විකල්ප රැකියා අවස්ථා බිහිවිය යුතුයි. ඒ සඳහා වැඩි වැඩියෙන් ලාබ සොයන්නන් රටට අවශ්‍යයි. එවැන්නන් ගොඩ නැගෙන්නේ ලාබ සෙවීම පිළිබඳව වැරදි මතවාද කාලයක් තිස්සේ ජනගත කිරීම නිසා එකතු වී තිබෙන හිතේ කහට රටේ සාමූහික විඥානයෙන් ඉවත් වන්නේනම් පමණයි.

Thursday, July 20, 2023

හිතේ ඇති තේ...


මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඩිල්මා තේ කාර්ය භාරය ගැන යම් සංවාදයක් ඇති වී තිබෙන බව පේනවා. මේ හා අදාළව අපටත් ප්‍රශ්න කිහිපයක් යොමු කෙරුණා.

"ශ්‍රමිකයින් සූරාකමින් හෝ ඊට උල්පන්දම් දෙමින් තේ නිපදවා අලෙවි කර ලාබ ලබන ආයතනයක් විසින් තමන්ගේ ව්‍යාපාරය සදාචාරත්මක වෙළඳාමක් ලෙස හඳුන්වා දීම කෙතරම් නිවැරදිද? මේ ප්‍රශ්නය වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද?"

මෙය අසා තිබුණු ප්‍රශ්නයම නෙමෙයි. එම ප්‍රශ්න ඇසුරෙන් සකස් කර ගත් ප්‍රශ්නයක්. මුල් ප්‍රශ්නයට පෞද්ගලිකව පිළිතුරු දී අවසන් නිසා ප්‍රශ්නය මේ විදිහට සූත්‍රගත කළේ කියන්න අවශ්‍ය දේ කියන එක පහසු කර ගන්නයි. 

අප සාමාන්‍යයෙන් පුද්ගලයින් අගය කරමින් හෝ විවේචනය කරමින් ලිපි ලියන්නේ නැහැ. එසේ කරන්නේයැයි පෙනෙන බොහෝ අවස්ථා වල ඇත්තටම කරන්නේ පුද්ගලයෙකුගේ නිශ්චිත ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සංවාදයට බඳුන් කිරීමයි. කිසියම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් අගය කළ පමණින් එවැන්නෙකු විසින් කරන හැම දෙයක්ම අනුමත කෙරෙන්නේ නැතුවා වගේම යම් ක්‍රියාවක් විවේචනය කිරීමේදී එවැන්නෙකුගේ වෙනත් ක්‍රියාවන් හෙළා දැකීමක් අදහස් වන්නේ නැහැ. 

ඩිල්මා තේ සම්බන්ධව පෞද්ගලිකව ලේඛකයාට අගය කිරීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න, මේ දවස් වල බොහෝ දෙනෙකු විසින් උත්කර්ශයට නංවන ඩිල්මා සන්නාමය ගොඩ නගා රටින් පිටට ගෙනයාමයි. එය ලෝක පරිමාණයේදී මහා ලොකු දෙයක් නොවුනත්, එවැනි දේ ඉතා අඩුවෙන් සිදු වී ඇති ලංකාවේ සන්දර්භයේදී ලොකු දෙයක්. දෙවැන්න ඩිල්මා තේ ආයතනයේ ඇතැම් සමාජ සත්කාරක කටයුතුයි. 

මෙම සමාජ සත්කාරක කටයුතු අතරින් පෞද්ගලිකව ලේඛකයාට ඉතාම වැදගත් වී තිබෙන්නේ ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ඓතිහාසික ලේඛණ සංරක්ෂණය කර, ඩිජිටල්කරණය කර, පොදු දේපොළ බවට පත් කිරීමයි. ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳව සහ වෙනත් ඓතිහාසික කරුණු පිළිබඳ සටහන් සකස් කිරීමේදී (උදාහරණයක් ලෙස මෑතකදී පළ කළ ලක්ෂ හතරකට අධික පිරිසක් විසින් මේ වන විට කියවා ඇති පෝය නිවාඩු පිළිබඳ සටහන) මෙම ලේඛණ අපට බොහෝ සේ උපකාරී වී තිබෙනවා. පොදු අරමුදල් වලින් නඩත්තු වන ලංකාවේ කිසිදු සරසවියක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක් හෝ රාජ්‍ය ලේඛණාගාරයක් විසින් මෙවැන්නක් කර ඇති බවක් අප දන්නේ නැහැ. මෙය දෙවන වනවානම් ඒ ගෝලීය ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවේ නූලහම් (நூலகம்) ව්‍යාපෘතියට පමණයි. අඩු වශයෙන් මේ වෙලාවේ හෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඩිල්මා තේ ආයතනයට අපගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. 

"උඩරට කඳුකර සිරියා පරදන..."

ඔය කතාව ගොඩක් පරණ කතාවක්. ඔය සිංදුවේ වගේම "තේ කූඩය පිටේ බැඳන්" වගේ සිංදු වලිනුත් හිතේ මැවුවේ වගේම පසුව රූපවාහිනියෙන් පෙන්නුවේ රූප ලාවන්‍යාලේපන තොල් වල, නියපොතු වල උලාගෙන තේ දළු කඩන අව්වක් ඉඳහිටවත් නොදුටු සුදු, ලස්සන ලලනාවෝ. නමුත් ඇත්තටම තේ දළු කඩන්නේ අවුවට පිච්චිලා කළු ගැහුණු සරීර කූඩු දරන දුක්ඛිත ජීවිත කියන එක ඒ තරම්ම පරණ කතාවක් නොවුණත්, ඒ කතාවත් අලුත් කතාවක් නෙමෙයි. ඔය දෙවන කතාවත් අපි අහලා දැන් අවුරුදු තිහ හතළිහක්වත් වෙනවා. අද ලංකාවේ තේ කර්මාන්තය අවුරුදු පණහකට කලින් තිබුණු කර්මාන්තය නෙමෙයි. හැබැයි තවමත් ගොඩක් අයගේ හිතේ ඇති තේ කර්මාන්තය පළමු එක කොහොම වෙතත් එයින්ම ව්‍යුත්පන්න වී තිබෙන ඔය දෙවෙනි එක. 

ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ වුනේ උඩරට කඳුකරයේ තමයි. ඒ වගේම, ආරම්භයේදී මේ කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පැහැදිලි විභේදනයක් තිබුණා. ඔය ආකෘතිය ඇසුරෙන් තේරුම් ගත හැකි පැරණි තේ කර්මාන්තයේ නෂ්ඨාවශේෂ තවමත් තිබෙන එක ඇත්තක් වුවත්, ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් මුහුණුවර ඔය ඒකාකෘතික දැක්මෙන් කිසිසේත්ම නිරූපණය වෙන්නේ නැහැ. 

ලයින් කාමර වලට හිර වෙලා මුළු ජීවිතේම තේ වත්තට කඹුරන එයින් එහා ලෝකයක් නැති ජීවිත අද ලංකාවේ නැහැයි කියලා මම කියන්නේ නැහැ. නමුත්, අද ලංකාවේ තේ කර්මාන්තයේ සාමාන්‍ය ශ්‍රමිකයා ඔය විදිගේ කෙනෙක් නෙමෙයි. ඒ වගේම සාමාන්‍ය තේ වතුහිමියෙක් කියා කියන්නෙත් දශක ගණනාවකට කලින් හිටපු විදිහේ තේ වතු හිමියෙක් නෙමෙයි. කර්මාන්තය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර වූ පැහැදිලි විභේදනය මේ වෙද්දී ටිකෙන් ටික වියැකී ගිහින්. බොහෝ විට වතුහිමියා සහ ශ්‍රමිකයා කියන්නේ එක්කෙනෙක්. 

මේ වෙද්දී තේ දළු නිෂ්පාදනය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ටත් වඩා අඩුයි. රටේ මුළු කෘෂිකාර්මික නිෂ්පාදිතයම ගත්තත් 9%කට අඩුයිනේ. ඔය කර්මාන්තයේ වතුහිමියන්ට වගේම ශ්‍රමිකයින්ටත් මොන අනුපාතයෙන් හෝ බෙදාගන්න තියෙන්නේ රටේ ජාතික ආදායමෙන් 1%ක්වත් නැති ඔය කොටස තමයි. නමුත් හදන තේ කොළ වලින් වැඩි කොටසක් අපනයනය කරන නිසාත්, ඩිල්මා වගේ සමාගම් විසින් රට ඇතුළේම අගය එකතු කිරීම් කරන නිසාත් රටේ අපනයන ආදායම් වලින් 10%කට ආසන්න කොටසක් තේ වලින් ලැබෙනවා. 

මේ වෙද්දී ලංකාවේ නිපදවන තේ වලින් 60%ක් පමණම හදන්නේ පහතරට මිසක් සිරියා පරදන උඩරට කඳුකර නෙමෙයි. රටේ තේ නිෂ්පාදනයෙන් 74%ක් පමණ හදන්නේ පෞද්ගලික වතුහිමියෝ. එයිනුත්, 59%ක් පමණම කුඩා තේ වතුහිමියෝ. 2021දී මේ විදිහේ කුඩා තේ වතුහිමියෝ ප්‍රමාණය 420,000කට වඩා වැඩියි. වැඩිපුරම රත්නපුර දිස්ත්‍රික්කයේ. ඊළඟට ගාල්ලේ. තේ ඉඩම් වලින් 76%ක් පමණම අයිති ඔවුන්ටයි.

මේවා කුඩා ඉඩම් කැබලි. පෞද්ගලික තේ වතුහිමියන්ගෙන් 43%කටම අයිති අක්කර බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක්. 77%කටම තියෙන්නේ ඉඩම් අක්කරයකට වඩා අඩුවෙන්. කුඩා තේ වතුහිමියෙකු සතු සාමාන්‍ය ඉඩම් ප්‍රමාණය අක්කරයකට වඩා අඩුයි.

දැන් ලංකාවේ සාමාන්‍ය තේ ඉඩම්හිමියා කියන්නේ ඔය වගේ කෙනෙක්. මේ වගේ කුඩා ඉඩම්හිමියෝ තමන් විසින්ම නිවාඩු පාඩුවේ දළු ටික කඩා ගන්නවා මිසක් ඒ වැඩේට වෙන කෙනෙක්ව කුලියට ගන්නේ නැහැ. එහෙම කුලී ගෙවලා ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න බැහැ. සැලකිය යුතු පිරිසක් සමෘද්ධිලාභීන්. සමහර විට සති අන්තයේ දළු ටික තමන් විසින්ම කඩා ගන්න රජයේ සේවකයෙක්. 

තේ ඉඩම් අක්කර කිහිපයක් තියෙන කෙනෙක් සැලකිල්ලට ගත්තත්, කුලියට හෝ අස්වනු හවුලට ශ්‍රමිකයින් යොදවා ගන්නවා මිස ස්ථිර ලෙස සේවකයින් බඳවා ගන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ සමාගම් නොවන ලොකු තේ වතු හිමියෝ පමණයි. ඒ වගේ කෙනෙකුට වුනත් කුණු කොල්ලෙට ලාබ ශ්‍රමය ලබා ගත හැකි ශ්‍රම සැපයුමක් දැන් ලංකාවේ නැහැ. සමහර වෙලාවට දළු ටික කඩා ගන්න මනුස්සයෙක් හොයා ගන්න පණිවිඩ කීපයක් යවලා නොවඳිනා වැඳුම් වඳින්න වෙනවා.  

මේ විදිහට ලොකු තේ වතු සමාගම් අකර්මන්‍ය වෙමින් කුඩා තේ වතු අංශය දියුණු වෙන්නේ ඇයි? 

එකක් වතු අංශයේ සේවකයෝ වෘත්තීය සමිතිගත වී සිටීම. මේ හරහා ඔවුන් හදාගෙන තිබෙන ඒකාධිකාරය මගින් වතු අංශයේ සේවකයෝ කාලයක් තිස්සේ තේ මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් තමන්ගේ වැටුප් වැඩි කරගන්න සමත් වී තිබෙනවා. එම වැටුප් වැවිලි සමාගම් වලට බරක්. ඊට අමතරව කාලයක් තිස්සේ ඩොලරය පහළින් තියාගෙන සිටීමේ බරත් කර්මාන්තයට දරන්න වෙනවා. මේ තත්ත්වයන් හමුවේ, තමන්ගේ වැඩේට තමන්ගේම ශ්‍රමය යොදවන කුඩා තේ වතුහිමියන්ට කර්මාන්තය තුළ රැඳී ඉන්න එක වඩා පහසු වී තිබෙනවා.

හැබැයි වෘත්තීය සමිතිගත වී සිටියා කියලා දිගුකාලීනව ශ්‍රමිකයින්ට සිදු වන යහපතක් නැහැ. අවසාන වශයෙන් දිගුකාලීනව ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවයට සමාන වැටුපක්. සමාජවාදී ආකෘතිය යටතේ වතු රජයසතු කළා කියලා ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් වුනාද? අන්තිමට වුනේ ලාබ ලබපු වතු පාඩු ලබන තත්ත්වයට පත්වීම පමණයි. හැබැයි ඔය පාඩුව එකම පාඩුව නෙමෙයි.

ඉංග්‍රීසින් විසින් හඳුන්වා දී ලංකාවට ඉතිරි කර ගිය තේ කර්මාන්තය නිදහසින් පසුව ඉදිරියට ගියේ නැති තරම්. ඊට හේතුව කර්මාන්තය තුළ වූ රජයේ බලපෑමයි. මුල් යුගයේදී පොදුවේ "සිලෝන් ටී" සන්නාමය ඉංග්‍රීසින් විසින් ජනප්‍රිය කරලා තිබුණත් ඒ වගේ සන්නාමයක් අද ලෝක වෙළඳපොළ ජයගන්න ප්‍රමාණවත් නැහැ. 

අදටත් ලංකාවේ තේ වලින් වැඩි කොටසක් රටින් එළියට යන්නේ නිකම්ම තේ කොළ විදිහට. මේ තේ කොළ රටෙන් පිටතදී කාගේ හෝ සන්නාමයක් බවට පත් වෙනවා. ඩිල්මා තේ කියන්නේ මේ බැරියරය කඩා ගෙන ඉස්සරහට ගිය පුරෝගාමී මෙහෙවරක්. දැන් ඒ වගේ ශ්‍රී ලාංකික සන්නාම ගණනාවක් තිබෙනවා. ස්ටාර්බක් කෝපි වගේ දැවැන්ත සන්නාමයක් හදාගන්න ඩිල්මා සමාගමට හෝ වෙනත් එවැනි සමාගමකට හැකි වී නැහැ. හැබැයි නිකම්ම තේ කොළ රටෙන් එළියට යවන එකට සාපේක්ෂව මෙය ලොකු දෙයක්.

ඩිල්මා කියන්නේ තේ වවන සමාගමක් නෙමෙයි. කොළඹ තේ වෙන්දේසියෙන් තේ කොළ මිල දී ගෙන එම තේ කොළ සහ වෙනත් තේ කොළ තමන්ගේ සන්නාමය යටතේ අගය එකතු කර විකුණන සමාගමක්. එම සමාගම ප්‍රමාණාත්මකව දැවැන්ත සමාගමක් නෙමෙයි. සේවකයෝ 624ක් ඉන්න සාපේක්ෂව පොඩි සමාගමක්. සතියකට වරක් රුපියල් බිලියන 160ක පමණ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන රටක රුපියල් බිලියන 11ක වාර්ෂික පිරිවැටුමක් තිබෙන සමාගමක් කියන්නේ ප්‍රමාණාත්මකව පොඩි සමාගමක්. ඒ වගේ පොඩි සමාගමකට රටේ තේ කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ලොකුවට වෙනස් කරන්න බැහැ. හැබැයි කර්මාන්තයේ පුරෝගාමියෙකු වීම හරහා විශාල ගුණාත්මක වෙනසකට මුල පුරන්න පුළුවන්. 

ඇඟලුම් කර්මාන්තයේදී ටික කලක සිට "සදාචාරාත්මක ශ්‍රමය" වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙය සාපේක්ෂව අලුත් ප්‍රවණතාවක්. ඩිල්මා සමාගම "සදාචාරාත්මක" කියන වචනය යොදා ගන්නේ ඒ සන්දර්භයේම නෙමෙයි. ඒක ඊට වඩා පරණ කතාවක්. 

එක පැත්තකින් මේක ඔවුන්ගේ සන්නාමය ජනප්‍රිය කර ගැනීම සඳහා යොදාගෙන තිබෙන සාර්ථක උපාය මාර්ගයක්. මේ හරහා ඔවුන් අහන්නේ "සිලෝන් ටී" කියන සන්නාමය නිසා ලැබෙන ව්‍යාපාරික වාසිය ලංකාවට නොලැබී වෙන රටකට ලැබෙන එක කොයි තරම් සදාචාරාත්මකද කියන ප්‍රශ්නය. මේ පුරෝගාමී කාර්යයේ වාසිය අනෙකුත් ශ්‍රී ලාංකික තේ නිෂ්පාදකයින්ටත් ලැබෙනවා.

මෙරිල් ප්‍රනාන්දුට සහ පවුලේ සාමාජිකයින්ට කොටස් හිමිකම් තිබෙන හා ඔවුන් විසින් කළමනාකරණය කරන වෙනත් සමාගම් තිබෙනවා. ඒ ඇතැම් සමාගම් සතුව තේ වතු තිබෙනවා. කහවත්ත ප්ලාන්ටේෂන්ස් සමාගම එවැනි සමාගමක්. එහෙත් එම සමාගම පසුගිය කාලය පුරාම ලාබ වලට වඩා පාඩු ලැබූ සමාගමක්. කොටස් වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද එම සමාගමට දුන් ණය වෙනුවෙන් හිලවුවට ලබා දී තිබෙන කොටස්. මහා පරිමාණ වැවිලි සමාගම් කියන්නේ ලොකු අනාගතයක් තිබෙන ව්‍යාපාර නෙමෙයි. එවැනි සමාගම් වලට බංකොලොත් නොවී ඉන්නනම් මිලෙන් නොව ගුණාත්මක භාවයෙන් තරඟ කරන්නම වෙනවා. ලංකාවේ ශ්‍රමයේ මිල එක්ක මිලෙන් තරඟ කරන්න අමාරුයි. ගුණාත්මක භාවයෙන් තරඟ කරනවා කියන්නේ සන්නාම හදාගන්න වෙනවා. 

ඩිල්මා සමාගම කියන්නේ මෙම අභියෝගය ජයගත් සමාගමක්. ලංකාවට අවශ්‍ය වන්නේ තවතවත් මේ වගේ සමාගම්. 2021/22 මූල්‍ය වර්ෂයේ එම සමාගමේ කොටස් හිමියන්ගේ ලාබය 34%ක්. ඒ ලාබය ලබාගෙන තියෙන්නේ ශ්‍රමය සූරා කාලා නෙමෙයි. සමාගමේ එක් සේවකයෙකුට ගෙවා තිබෙන වාර්ෂික වැටුප් හා ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් මිලියන දෙකකට වඩා වැඩියි. ඒ කියන්නේ මේ සමාගමේ බොහොමයක් සේවකයෝ ආදායම් බදු ගෙවන්නෝ. මෙරිල් ප්‍රනාන්දුගේම සමාගම් වල කොටස් හැරුණු විට ප්‍රධානම කොටස් අයිතිකරු සේවක අර්ථසාධක අරමුදල. ඒ කියන්නේ ඩිල්මා සමාගම වැඩි වැඩියෙන් ලාබ උපයද්දී ඒ ලාබ සේවක අර්ථසාධක අරමුදලේ සියලුම සාමාජිකයින් අතරද බෙදී යනවා කියන එක. 

වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්. එක සමාගමක් වැඩියෙන් ලාබ උපයනවා කියා කියන්නේ අවසාන වශයෙන් මුළු රටටම වගේ ඒ ලාබ බෙදී යනවා කියන එක. ලංකාවේ ප්‍රශ්නය එහෙම සමාගම් වැඩිපුර නැති එක. හැදෙන සමාගමක වුනත් කකුලෙන් අදින්න මිනිස්සු වැඩි එක. 

Wednesday, July 19, 2023

අද පොලී අනුපාතික තවත් ඉහළට!


අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඵලදා අනුපාතික තව දුරටත් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වී තිබෙන්නේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 63.7ක ප්‍රමාණයක් පමණයි. දින-91 බිල්පත් වල ඵලදා අනුපාතිකය 19.99%දක්වාත්, දින-182 ඵලදා අනුපාතිකය 17.77 දක්වාත්, දින-364 ඵලදා අනුපාතිකය 14.35% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. 

රුපියල් බිලියන 220.7ක ලන්සු ඉදිරිපත් වී ඇතත්, අවශ්‍ය බිල්පත් ප්‍රමාණය මිල දී ගෙන නැත්තේ එසේ කළේනම් ඵලදා අනුපාතික තවත් ඉහළ යන නිසායි. එයින් අදහස් වන්නේ මෙම ඵලදා අනුපාතික නියම වෙළඳපොළ ඵලදා අනුපාතික නොවන බව සහ නියම වෙළඳපොළ ඵලදා අනුපාතික මීටත් වඩා වැඩි බවයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනය නිකුත් වීමෙන් පසුව පැවති පළමු බිල්පත් වෙන්දේසියේදී, එනම් ජූලි 5 වෙන්දේසියේදී, දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික 23.00% සිට 17.79% දක්වාත්, දින-182 ඵලදා අනුපාතික 19.49% සිට 15.93% දක්වාත්, දින-364 බිල්පත් වල ඵලදා අනුපාතික 16.99% සිට 13.86% දක්වාත් පහත වැටුණා. එමෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 140ක මුළු බිල්පත් ප්‍රමාණයම එම මිල ගණන් යටතේ අලෙවි කළ අතර වෙන්දේසියෙන් පසුව තවත් අමතර රුපියල් බිලියන 35ක බිල්පත් ප්‍රමාණයක් එම මිල ගණන් වලටම අලෙවි කළ හැකි වුනා. මෙය මේ අයුරින් වෙන්දේසියෙන් පසුව අලෙවි කළ හැකි උපරිම ප්‍රමාණයයි. එනම්, වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් 25%කට සමාන ප්‍රමාණයක්. 

කෙසේ වුවත්, ජූලි 5 වෙන්දේසියේදී පැවති ඉහත තත්ත්වය සතියකට පසුව ආපසු හැරී තිබුණා. ජූලි 12 වෙන්දේසියේදී පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වූයේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 99.7ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. අද වන විට මෙම තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. 

පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමක දිගටම පැවතුණහොත්, යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසුවද ණය තිරසාරත්වය ඇති කර ගැනීම අපහසු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් මතු විය හැකියි. නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් පෙනෙන්නට ඇති විට පොලී අනුපාතික පහත වැටෙන්නේ නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ඉතා ඉක්මණින්, අපේක්ෂිත අයුරින් පහත නොවැටුනහොත් ඒ හේතුව නිසා විෂම චක්‍රයක් ආරම්භ වෙන්න පුළුවන්. 

මේ අතර, රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුලින් ඉදිරිපත් කළ කාල රාමුව දෙසතියකින් පමණ කල් දමා තිබෙනවා. ඒ අනුව, මුලින් සැලසුම් කළ පරිදි ජූලි මාසය අවසන් වෙද්දී මේ කටයුත්ත අවසන් වන්නේ නැහැ. 

මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා රජයට ලැබෙන සහනය ගණන් හදා තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් වල බැඳුම්කර 100%ක්ම ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ඇතැයි යන උපකල්පනය යටතේ. එහෙත්, පොලී අනුපාතික පිළිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතීනම් මෙම අරමුදල් සතු බැඳුම්කර සියල්ල ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම සිදු නොවිය හැකියි. මේ පිළිබඳව හරියටම දැනගන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසුවයි. 

මේ අතර, ඉහළ ගිය ඩොලරයක මිල ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන අතර එයට හේතුව මහ බැංකුවේ මැදිහත්වීමක් විය හැකියි.

Saturday, July 15, 2023

ජූනි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම්


ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 77.5ක් මිල දී ගෙන ඩොලර් මිලියන 91.0ක් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5ක් විකුණලා. මේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් විකුණන්නේ මාස ගණනාවකට පසුවයි. 

පසුගිය අප්‍රේල් හා මැයි මාස වලදී මහ බැංකුව ඩොලර් විකිණුවේම නැහැ. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එක පමණයි කළේ. ඊට පෙර මාස තුනේදී යම් ඩොලර් ප්‍රමාණයක් විකිණුවත් ඒ ප්‍රමාණය මිල දී ගත් ප්‍රමාණයට වඩා අඩුයි. සුළුවෙන් වුවත්, ජූනි මාසයේදී මේ ප්‍රවණතාව වෙනස් වෙලා. ඒ වගේම, සුළුවෙන් වුනත් නිල සංචිත ප්‍රමාණයත් පහළ ගිහින්.

මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබුණා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබුණා. ජුනි අවසාන වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,659.43 දක්වා අඩු වෙලා. ඒ වගේම, සංචිත ප්‍රමාණයත් ඩොලර් මිලියන 3,491 සිට ඩොලර් මිලියන 3,468 දක්වා අඩු වෙලා.

විණිමය අනුපාතයේ තාවකාලික විචලනයන් සීමා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි මැදිහත් කිරීම් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී මහ බැංකුව මැදිහත් වෙලා විශාල වශයෙන් ඩොලර් මිල දී ගෙන එම පහත වැටීම සීමා කළා. දැන් මිල ඉහළ යද්දී ඒ විදිහට කලින් මිල දී ගත් ඩොලර් වලින් යම් ප්‍රමාණයක් විකුණන එකේ කිසිම වැරැද්දක් නැතත්, මහ බැංකුව විසින් ළඟා කර ගත යුතු විදේශ සංචිත ඉලක්කත් එක්ක මහ බැංකුවට ලොකුවට ඩොලර් විකුණන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල ඉහළ යන එක ලොකුවට පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. දිගින් දිගටම ඔය වැරැද්ද කරන්න ගිහින් අත විතරක් නෙමෙයි සරුවාංගෙම පුච්චගෙන ඒ ගින්නෙන් රටම ගිණි තියපු මහ බැංකුව විසින් නැවතත් එම පරණ වැරැද්දම කරන්න උත්සාහ කරන එකක් නැහැ. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ එහෙම කරන්න පුළුවන් අවකාශයකුත් නැහැ.

පසුගිය දෙසතියක කාලය තුළ ඩොලරයක මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලි ලෙසම දකින්න පුළුවන්. එම කාලය තුළ මහ බැංකුව විසින් සුළු වශයෙන් හෝ ඩොලර් විකිණුවා මිසක් මිල දී ගත්තා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ, බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා කියන එක. මේ හිඟයට කරුණු කීපයක් හේතු වෙන්න පුළුවන්.

පළමුව, ඩොලර් මිලියන 855ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 748ක්ම තිබෙන්නේ දේශීය බැංකු සතුව. දේශීය බැංකු වල විදේශ ශාඛා වලින් රජය විසින් ලබාගත් තවත් ඩොලර් ණය යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ණය වලින් 30%ක් නොලැබී යද්දී බැංකු වල ඩොලර් වත්කම්ද ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වල උදවුවෙන් බැංකු වල ශේෂ පත්‍ර වල මේ විදිහට විදේශ වත්කම් අඩු වෙන එක නොපෙන්වා ඉන්න පුළුවන් වුනත්, එහෙම කළා කියලා කවුරු හරි බැංකුවෙන් ඩොලර් ආපසු ඉල්ලුවාම මතු වන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. ඒ නිසා, අඩුව පුරවා ගන්න බැංකු වලට යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා.

මේ විදිහට කප්පාදුවට ලක්වෙන්නේ බැංකු වල දේශීය ණය පමණක් නෙමෙයි. බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ප්‍රමාණය ඉහත සංවර්ධන බැඳුම්කර ආයෝජන ප්‍රමාණය මෙන් දෙගුණයකට කිට්ටුයි. මේ ඩොලර් වලින් 30%කුත් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අඩුව පුරව ගන්නත් බැංකු වලට සංචිත හදා ගන්න වෙනවා. මේ වැඩේට කොපමණ කාලයක් යයිද කියලා මම හරියටම දන්නේ නැහැ. මාස කිහිපයක් වෙන්න පුළුවන්. කාලය කොපමණ වුනත් අඩුව පිරෙනකම් ඔය ඩොලර් ඉල්ලුම තිබෙනවා.

දෙවනුව, පසුගිය මාස කිහිපය තුළ ඩොලරයක මිල පහත යාම සහ ඉහළ පොලී අනුපාතික නිසා කෙටිකාලීන ආයෝජන විදිහට රටට ඩොලර් ගලා ආවා. දැන් මේ තත්ත්වයන් දෙකම කණපිට හැරිලා නිසා ඒ ආපු ඩොලර් ආපසු යන්න පටන් අරගෙන. ඩොලර් රටට එද්දී මහ බැංකුව විසින් එම ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කරගත් නිසා අවශ්‍ය වූ විටෙක ආපසු විකුණන එකේ ප්‍රශ්නයක් නැතත්, එහෙම කළොත් මහ බැංකුවේ සංචිත ඉලක්ක වලට යන්න අසීරු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගත් ඩොලර් ආපසු විකිණුවේ නැත්නම් ඒ ඩොලර් ටික අඩු වෙන්නේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන ඩොලර් වලින්.

තෙවනුව, තවමත් ආනයන පාලන ඉවත් වෙලා නැහැ. මේ තහනම් කොයි වෙලාවේ හෝ ඉවත් කරන්නම වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම ඉහළ ගිහින් ඩොලරයක මිල වැඩි වෙනවා. මේ වැඩේ කරලා ඉවරයක් කරන තුරු, ඔය දිහා බලාගෙන තීරණ ගන්න අය ඉන්න නිසා, ඩොලර් සැපයුම තරමක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා, මිල ඉහළ යන එකට බයේ ඔය වැඩේ ප්‍රමාද කරනවානම් ඒක මෝඩ වැඩක්. 

ආනයන සීමාවන් ඉවත් කළොත් මිල පොඩ්ඩක් ඉහළ ගිහින් ඊට පස්සේ අළුත් තැනක ස්ථාවර වෙයි. ඔය වැඩේ කරන එක කල් යද්දී ඔය මිල වැඩි වීම දිහා බලාගෙන ඩොලර් සැපයුම්කරුවෝ තමන්ගේ අර්පණයන් ඉහළ දමන එක වලක්වන්න බැහැ. ඒ නිසා, වැඩේ පරක්කු කළත් මිල තෙරපුමෙන් සැලකිය යුතු කොටසක් තිබෙනවා. වැඩේ කරලා අහවර කළානම් ඔය ප්‍රශ්නය ඉවරයි.

සමහර විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු හෝ ලෝක බැංකු සල්ලි ලැබෙන තුරු වැඩේ අදිනවා වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ හේතුවක් තියෙනවානම් පොඩ්ඩක් කල් දැම්මට කමක් නැහැ. නමුත් එහෙම කරන්නත් අවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ලෝක බැංකු සල්ලි සති දෙකකින් හෝ මාසයකින් එනවනම් ඒ එද්දී මිල පහත වැටෙන බව වෙළදපොළ සහභාගීවන්නෝ දන්නවා. ඒ නිසාම, ඊට කලින් වුනත් අර්පණයන් සිදු කරන්නේ ඒ ගැන සලකලා. ඒ නිසා, ඒ අනාගත මිල අඩු වීමේ බලපෑම කළින්ම එනවා. 

Friday, July 14, 2023

ඇමරිකාවේ උද්ධමනය



පසුගිය ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 2.97% දක්වා පහත වැටුනා. පෙර වසරේ ජූනි මාසයේදී උද්ධමනය පැවතුණේ 9.1% මට්ටමේ. එම මට්ටම ඇමරිකාවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2% මට්ටමට වඩා බෙහෙවින්ම වැඩි මට්ටමක්.

උද්ධමනය ඉලක්ක මට්ටමෙන් ඉහළ යන බව පෙනෙද්දී ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඊට එරෙහිව ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් 0.00-0.25% මට්ටමේ පැවති පොලී අනුපාතික එක දිගට දහ වරක්ම වැඩි කරමින් මාස 14ක කාලයක් ඇතුළත 5.00-5.25% දක්වා ඉහළ දැම්මා. 

පසුගිය මාසයේදීද ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් විසින් දැනුම් දුන්නේ උද්ධමනය ඉලක්ක මට්ටමටම එන තුරු පොලී අනුපාතික තව දුරටත් ඉහළ දැමීමට නොපැකිලෙන බවයි. කෙසේ වුවද, උද්ධමනය 3% සීමාවෙන් පහළට පැමිණ ඇති තත්ත්වයක් තුළ ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් වැඩි නොකරන්නට ඉඩ තිබෙනවා. 

කෝවිඩ් වසංගතය පැමිණෙන්නට පෙර, 2019 වසර අවසානයේදී ඩොලර් බිලියන 3,427 මට්ටමේ පැවති ඇමරිකාවේ සංචිත මුදල් ප්‍රමාණය දෙවසරකට පසුව ඇමරිකන් ඩොලර් බිලියන 6,413 දක්වා ඉහළ ගියා. යුක්‍රේන-රුසියා යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යාම හා චීනයේ නිෂ්පාදන සීමා ආදිය නිසාද බලපෑමක් සිදු වුනත්, උද්ධමනය මේ අයුරින් ඉහළ යාමට ප්‍රධානම හේතුව වූයේ මුදල් සැපයුම ඉහළ ගොස් නිෂ්පාදනයට සාපේක්ෂව ඉල්ලුම වැඩි වීමයි. ගෙවුණු මැයි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 5,569 දක්වා පහත හෙළා තිබෙනවා. 

උද්ධමනය මේ අයුරින් පහත වැටුණත්, ඉහළ උද්ධමනය හේතුවෙන් ඉහළ ගිය මිල ගණන් නැවත පෙර මට්ටම දක්වා පහත වැටෙන්නේ නැහැ. උද්ධමනය 2% මට්ටමේ ඇති විට මිල ගණන් වල ඉහළ යාම ඇඟට දැනෙන්නේ නැහැ. එහෙත්, කාලයක් තිස්සේ උද්ධමනය 2% මට්ටමේ තිබී එක වර 9% මට්ටම දක්වා වැඩි වූ විට මිල ගණන් වල ඉහළ යාම පැහැදිලි ලෙස ඇඟට දැනෙනවා. 9% දක්වා උද්ධමනය වැඩි වූ විට එසේ වේනම් 70% ඉක්මවා උද්ධමනය වැඩි වූ විට එය දැනෙන ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. 

උද්ධමනය හමුවේ ඉහළ යන මිල ගණන් නැවත පහත නොවැටෙන්නේ උද්ධමනය හමුවේ සැලකිය යුතු පිරිසකගේ වැටුප් හා ආදායම්ද ඉහළ යන නිසා. ඇමරිකානු සන්දර්භයේදී අඩුම වැටුප් ලබන ශ්‍රමිකයන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් කරණවෑමි සේවා වැනි සේවාවන් වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික ශ්‍රමිකයින් හා සාප්පු සේවකයින්ගේ වැටුප්ද මේ අයුරින්ම උද්ධමනය හා ගැලපෙන සේ ඉහළ ගොස් තිබෙනවා. 

උද්ධමනය හමුවේ ස්ථිර රැකියා නොකරන ශ්‍රමිකයින්ගේ වැටුප් මේ අයුරින් ක්ෂණිකව ඉහළ ගියත්, දිගුකාලීන සේවා ගිවිසුම් යටතේ ස්ථිර රැකියා කරන මාස් පඩි ලබන්නන්ගේ වැටුප් ඒ අයුරින් ඉහළ යන්නේ නැහැ. එය එවැන්නන් වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙද්දී එයට එරෙහිව කිසියම් මුක්තියක් ලබමින් සේවා ගිවිසුම් හරහා රැකියා සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිලක්. 

රටේ ආර්ථික තත්ත්වය  නරක අතට හැරෙද්දී ක්ෂණිකව සිය රැකියා අහිමි වීමේ අවදානම ගන්නා පහළ මට්ටමේ ශ්‍රමිකයින්ට හා ස්වයං රැකියා කරන්නන්ට ශ්‍රම ඉල්ලුම ඉහළ යාමේදී එහි වාසියද ක්ෂණිකව ලැබෙනවා. එහෙත්, රැකියාවක් වඩා සුරක්ෂිත වන තරමට ආර්ථිකය විචලනය වීමේදී ආදායම් විචලනය වීමද සීමා වෙනවා. අධි-උද්ධමන සමයකදී මෙය අවාසියක්. 

උද්ධමනය හමුවේ, බැඳුම්කර වැනි දිගුකාලීන ආයෝජන කරන්නෙකුට සිදු වන්නේද දිගුකාලීන සේවා ගිවිසුමක් අත්සන් කරන ශ්‍රමිකයෙකුට සිදු වන ආකාරයේ දෙයක්. එවැන්නෙකුට, කෙටිකාලීන ආයෝජන කරන්නෙකුට මෙන්, පොලී අනුපාතික ඉහළ යාමේදී එහි වාසිය එලෙසම ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එසේ වුවත්, මෙහිදී දිගුකාලීනව සිදු වන්නේ එවැනි ආයෝජකයින්ගේ ආදායම් වඩා සුරක්ෂිත වීමයි. 

Thursday, July 13, 2023

තවත් අවදානම් අධිභාරයක් එකතු වෙලාද?


කාලෙකට පස්සේ අද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණා. ඊට පෙර, පසුගිය මාස හතරේම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වුණේ නැහැ. මාර්තු 13 දින පැවති අන්තිම වෙන්දේසියේදී 18% හා 22% කූපන් පොලී ගෙවන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කෙරුණා. එම වෙන්දේසියේදී අලෙවි වූ මිල ගණන් අනුව, ඵලදා අනුපාතික 29.99% හා 28.11% තරම් ඉහළ මට්ටමක පැවතුණා. 22.99%ක් ගෙවලත් 22% කූපන් බැඳුම්කරයෙන් ඉතා සුළු කොටසක් පමණයි විකිණුනේ. 

ඒ අන්තිම වෙන්දේසියට සාපේක්ෂව බැලුවොත්, මේ වන විට ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. අද වෙන්දේසියට දැම්මේ 9% හා 11% කූපන් පොලී ගෙවන බැඳුම්කර. ඒවා පිළිවෙළින් 15.74%ට හා 15.67%ට අලෙවි වුනා. ඕනෑනම් මාස හතරකට පෙර පැවති තත්ත්වය එක්ක සංසන්දනය කරලා බාගෙට බාගයක් අඩුවෙලා කියන්න පුලුවන්. හැබැයි ඔය මාස හතරේ සිදු වූ දේවල් සහ රජය හා මහ බැංකුවේ අපේක්ෂාවන් එක්ක බැලුවහම මේ අනුපාතික ඒ තරම්ම අඩු නැහැ. 

පසුගිය මාර්තු වෙද්දී උද්ධමනය තිබුණේ 50% මට්ටමටත් ඉහළින්. මේ වෙද්දී උද්ධමනය 12% දක්වා අඩු වෙලා. ඔය අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 4.5%කින් අඩු කළා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය හා අදාළ කළු පෙට්ටිය විවෘත කෙරුණා. වෙන්දේසියට දැමූ බැඳුම්කර වෙනුවෙන් ගෙවන 9% හා 11% කූපන් පොලී අනුපාතික වලින් පොලී අනුපාතික හා අදාළව මහ බැංකුවේ හා රජයේ අපේක්ෂාව තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතාගන්න අමාරු නැහැ. නමුත් වෙළඳපොළ තවමත් ඒ පොලී අනුපාතික භාර ගන්න සූදානම් නැහැ. ඒ ඇයි?

මේ කරුණට තවත් එකතු කිරීමක් විදිහට ඊයේ පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියද සාර්ථක එකක් නොවූ බව කියන්න පුළුවන්. රුපියල් බිලියන 160ක් වෙන්දේසියට දැම්මත් විකුණගන්න පුළුවන් වුනේ එයින් රුපියල් බිලියන 99.7ක් පමණයි. ඒ කෙටිකාලීන පොලී අනුපාතික 1.29%කින් ඉහළ යන්න ඉඩ දුන්නටත් පස්සේ. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කළු පෙට්ටිය ඇරුණු පෙර සතියේ දැකිය හැකි වූයේ වෙනස් තත්ත්වයක්. පසුගිය සතියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගියා. සතියකට පසුව එම හැරවුමෙන් යම් කොටසක් ආපහු හැරිලා. ඊට අමතරව ද්වීතියික වෙළඳපොළේ බැඳුම්කර වල ඵලදා අනුපාතික 9.57% ප්‍රමාණයේ අඩුවීමක් දක්වා විශාල ලෙස පහළ ගියා. අද බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ එම හැරවුමෙන් යම් කොටසක්ද ආපසු හැරී ඇති බවයි. 

සතියක් ඇතුළත මේ ආකාරයෙන් වෙළදපොළ මනෝගතීන් (market sentiment) වෙනස් වුනේ කොහොමද?

දිගුකාලීන ආයෝජන වලදී ආයෝජකයෙකු සැලකිය යුතු අවදානමකට මුහුණ දෙනවා. අවුරුදු ගණනක් ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ කවුද? එකම ආණ්ඩුව අවුරුදු විස්සක් තිහක් තියෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙද්දී ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඊට අමතරව, නොහිතන දේවල් වෙන්න පුළුවන්. කෝවිඩ්, සුනාමි එයි කියලා කලින් හිතුවේ කවුද? මේ සියලුම අවදානම් අවදානම් අධිභාරයක් විදිහට ඵලදා අනුපාතිකයට එකතු වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවදානම අවදානම් අධිභාරයක් ලෙස බැඳුම්කර ඵලදා අනුපාතික වලට එකතු වී තිබුණා. දැන් එය ඉවත් වෙලා. එහෙත් මෙය ආයෝජකයින් විසින් මුහුණ දුන් අවදානම් අධිභාරයෙන් එක් කොටසක් පමණයි. රටේ ඉදිරි දේශපාලන ප්‍රවණතා මොන වගේ වෙයිද, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ කොයි තරම් කාලයක් ඔය විදිහට යයිද වගේ දේවල් ගැන කාටවත්ම හරියටම හිතා ගන්න බැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට කොපමණ පාඩුවක් වෙයිද කියලා මගෙන් අහපු සමහර අයට මම කිවුවේ රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. මම එහෙම කිවුවේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික තිබිය හැකි මට්ටම ගැන මම හිතන දේ අනුව. මේ හා අදාළ ගණනයන් කර ගත හැකි එක්සෙල් ශීට් එකක් මම කලින් ඉදිරිපත් කළානේ. එහි ගොස් ඕනෑම අයෙකුට බලාගත හැකි පරිදි, ඉදිරි වසර 16ක කාලය තුළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 11.13% මට්ටමේ තිබුණොත් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් හෝ ලාබයක් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වුනොත් පාඩුවක් වෙනවා. 11.67%-13.15% පරාසයේ තිබුණොත් රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් වෙනවා. ඊටත් ඉහළ මට්ටමකට ගියොත් පාඩුව තවත් ඉහළ යනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තකින්ම තිබ්බත් ආයෝජනයක් කරද්දී අනාගත පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව තමන්ගේ ලාබ අලාබ වෙනස් වීමේ අවදානම ආයෝජකයෙකුට ගන්න වෙනවා. බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියක ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ මෙම අවදානම පිළිබඳ වෙළඳපොළ මනෝගතීන් මොන වගේද කියන එකයි. 

පසුගිය සතියේ වෙළඳපොළ ප්‍රතිචාර වලින් පෙනුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හිතපු තරම් කළු නැති යකෙකු ලෙස වෙළඳපොළ විසින් හඳුනාගෙන තිබුණු බවයි. ඒ අනුව, අවදානම් අධිභාරය සැලකිය යුතු ලෙස අඩු වුනා. නමුත් මේ හා අදාළ මහජන මතය පසුගිය සතිය තුළ වෙනස් වුනේ කොහොමද කියන එක කාටවත් රහසක් කියලා මම හිතන්නේ නැහැ. කලින් බැංකු කඩා වැටෙන එක ගැන කිඹුල් කඳුළු හෙලපු ගොඩක් අයට එක පාරටම බැංකු වලට බර නොපැටවීම ප්‍රශ්නයක් වුනා. මේ තත්ත්වය බැංකුකරුවන් විසින් හා අනෙකුත් විභව ආයෝජකයින් විසින් තේරුම් ගන්නේ කොහොමද කියන එක අමුතුවෙන් පැහැදිලි කළ යුතුද?

අනෙක් පැත්තෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. අපේ ලිපියෙන් පෙන්වූ අඩුපාඩු ගණනාවක් නිවැරදි කර වෙරිටේ රිසර්ච් විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ඇස්තමේන්තුව හදා තිබෙන්නේද ප්‍රධානම වැරැද්ද නිවැරදි කර නොවන නිසා එම අලුත් ඇස්තමේන්තුවද වැරදි වුවත්, වෙරිටේ රිසර්ච් විසින් සේවක අර්ථසාධක අරමුදලට හා මහ බැංකුවට කරන විවේචනය ඉතාම වලංගු විවේචනයක්. සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර ආයෝජන වලින් වෙළඳපොළ සාමාන්‍ය ප්‍රතිලාභ තරමට ප්‍රතිලාභ ලබා ගන්නවාද? මේ විවේචනයට පිළිතුරු දීම මහ බැංකුවේ වැඩක්.

කොහොම වුනත්, ඔය විවේචනය ඉදිරිපත්ව තිබෙන පසුබිමක, ඒ වගේම ගණන කීය වුනත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පාඩුවක් විඳින්න වී තිබෙන පසුබිමක සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියකට ලන්සු තියද්දී කලින්ට වඩා සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. අනෙක් පැත්තෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අසු නොවුණු අනෙක් සියල්ලන්ටම අනාගතයේ තමන්ගේ ණයද ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ යම් අවදානමක් පෙනෙන්න තිබෙනවා. සතියකට කලින් අනෙක් පැත්තේ තිබුණු මහජන මතය දැන් තියෙන්නේ අනෙක් අයගේ ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියන පැත්තේ. මේ ආකාරයෙන් මහජන මතය වෙනස් වීමේ අවදානම ආයෝජකයෙක්ට නොසලකා හරින්න බැහැ. ඒ නිසා, ඒ අවදානම පොලී අනුපාතික වලට එකතු කරන්න වෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තමන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇතත් මේ යෝජනා සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය තවමත් ලැබී නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම හා පවත්වා ගැනීම සෑහෙන්න අසීරු වැඩක්. මේ අවදානම් එක්ක ඉදිරි කාලයේදී දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ අවදානම මුළුමනින්ම ඉවත් වෙන්නේ නැහැ. යම් හෙයකින් එවැන්නක් කරන්න සිදු වුනොත්, නැවත වරක් එහි බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පමණක් පටවන්න බැරි බව කාට වුනත් තේරෙනවා. ඒ නිසා, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන දේශීය හෝ විදේශ ආයෝජකයෙකුට තව දුරටත් තමන්ගේ ආයෝජනය ණය පැහැර හැරීමේ අවදානමෙන් නිදහස් ආයෝජනයක් විදිහට සලකන්න බැහැ. මේ හේතුව නිසා, රාජ්‍ය සුරැකුම්පත් ණය පොලී මත කිසියම් ස්ථිර අවදානම් අධිභාරයක් එකතු වී තිබෙනවා වෙන්න පුළුවන්.

මෙයින් කියන්නේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු නොවන බව නෙමෙයි. පොලී අනුපාතික අඩු නොවේනම් මහ බැංකුවට කළ හැකි තවත් විවිධ දේ තිබෙනවා. නමුත් පොලී අනුපාතික ගොඩක්ම පහළට ගන්න එක ලේසි නැහැ. උද්ධමනය හා නාමික පොලී අනුපාතික අතර දිගුකාලීනව වුවත් අර්බුදයට පෙර නොතිබුණු පරතරයක් ඉතිරි වෙන්න පුළුවන්. 

Wednesday, July 12, 2023

සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය

මැයි මාසයේදී ඩොලර් මිලියන 3,491ක් වූ නිල සංචිත ජූනි මාසයේදී වැඩි වී නැති අතර ඩොලර් මිලියන 3,468 දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා. විණිමය අනුපාතික වෙනස් වීම් නිසා මෙවැනි සුළු වෙනසක් සිදු විය හැකියි. මෙහි වෙනස ඩොලර් මිලියන 23ක් පමණක් වන අතර මාසය තුළ යුවාන් බිලියන 10ක ඩොලර් වටිනාකමෙහි අඩුවීමද ඩොලර් මිලියන 24ක් පමණ වෙනවා. 

මේ අනුව, මෙම වෙනසින් පිළිබිඹු වන්නේ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු ණයෙහි ඩොලර් වටිනාකම වෙනස් වීමයි. එක්කෝ ඊට අමතරව මහ බැංකුව විසින් මැදිහත් කිරීමක් කර නැහැ. එසේ නැතිව මිල දී ගත් කිසියම් ඩොලර් ප්‍රමාණයක් වීනම්, එම ප්‍රමාණය මහ බැංකුවේ ණයක් පියවීම සඳහා යොදා ගෙන තිබෙනවා.

මහ බැංකුව විසින් මාසය තුළ ශුද්ධ වශයෙන් මැදිහත් වීමක් කර නැත්නම් එයින් පෙනී යන්නේ මාසය තුළ ඩොලරයක මිල රුපියල් 13.31කින් පමණ ඉහළ යාම තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත සිදු වී ඇති බවයි. වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතු අතර සැප්තැම්බර් මාසයේදී බංග්ලා දේශයට ඩොලර් මිලියන 200ක මුදලක් ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 334ක මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, වසරේ දෙවන අර්ධය තුළ මහ බැංකුව විසින් අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 829ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගත යුතුයි. ලෝක බැංකුවෙන් ලැබෙන්නට නියමිත මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගත්තත් මෙම ඉලක්කයට යාම සඳහා මහ බැංකුවට විණිමය අනුපාතය මත සුළු හෝ උඩුකුරු තෙරපුමක් ඇති කරන්නට සිදු වෙනවා. බංග්ලාදේශ ණයට අමතරව මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ඉන්දියාවටද යම් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි.

නිල දත්ත ප්‍රකාශිතව නැතත් ජූනි මාසය අවසන් වෙද්දී රජය විසින් ආදායම් ඉලක්ක ලඟා කරගෙන නැති බව පැවසෙනවා. එම ඉලක්ක කරා යාම සඳහා මෙන්ම, අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවයන් අනුව ඉතා ඉක්මණින් ආනයන සීමා ඉවත් කළ යුතු වෙනවා. මෙහිදී ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තයේ ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත්, ඩොලර් සැපයුම වැඩි වනවාට වඩා වැඩියෙන් ඩොලර් ඉල්ලුම ඉහළ යාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ඉදිරි කාලයේදී ඩොලරයක මිල යම් වේගයකින් ක්‍රමයෙන් ඉහළ යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි.

අරමුදලේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන 2027 දක්වා කාලය තුළ දිගටම සිදු වනු ඇත්තේද ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. අරමුදලේ ප්‍රධානම ඉලක්කයක් වන්නේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම විදේශ සංචිත ප්‍රමාණය ගොඩ නංවාගෙන ඉන් පසුව එම ප්‍රමාණය දිගටම පවත්වා ගෙන යාමයි. මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208ක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා 

පසුගිය වසර අවසානයේදී ලංකාව සිටියේ 18% මට්ටමේ. 2011දී ලංකාව මෙම අවශ්‍ය අවම මට්ටමේ (101%) සිටියත් ඉන් පසුව ක්‍රමයෙන් මෙම ප්‍රතිශතය පහත වැටුණා. 2014 වන විට 63%යි. 2019 වන විට 46%යි. විණිමය අනුපාතය පාලනයෙන් ගිලිහෙන විට මෙම අගය 4% තෙක් පහත වැටිලා. මීට සාපේක්ෂව, පසුගිය වසර අවසානයේදී ඉන්දියාව සිටියේ 165% මට්ටමේ. ඉන්දියාව 1991දී උගත් පාඩම ඉන්පසුව කිසිවිටෙකත් අමතක කළේ නැහැ. 

දැනට ඩොලර් මිලියන 3,468 මට්ටමේ තිබෙන නිල සංචිත 2027 වසර අවසන් වන විට ඩොලර් මිලියන 14,208 දක්වා ඉහළ නංවා ගැනීම ලේසි, සිල්ලර වැඩක් නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලැබෙන සහනය යොදා ගත යුතුව තිබෙන්නේ මෙම ඉලක්කයට යාම සඳහා උදවුවක් ලෙස මිස පෙර මෙන් විදේශ විණිමය ආදායම් ඉක්මවා ආනයන කිරීමට ප්‍රවේශ පත්‍රයක් විදිහට නෙමෙයි. 2027 වන විට ලංකාවේ අපනයන ආදායම් හා අනෙකුත් විදේශ විණිමය ලැබීම් ඉලක්කගත මට්ටම් වලට වර්ධනය කර ගත යුතුයි. එය සිදු වන ආකාරය තවමත් පැහැදිලි නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සියලු අවදානම් තවමත් දුරු වී නැහැ. යෝජිත වැඩ පිළිවෙලට පැරිස් සංසදය හා ඉන්දියාව එකඟ වනු ඇතත් චීනයේ එකඟතාවය ලබා ගැනීම ඒ තරම්ම පහසු වෙන එකක් නැහැ. වාණිජ ණය වලින් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කිරීමද තරමක් දුරස්ථ ඉලක්කයක්. ඒ නිසා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත සහනය ඉලක්කයට වඩා තරමක් අඩු විය හැකියි. යම් අවකාශයක් ඉතිරි කරගෙන තිබෙන නිසා එයින් සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක ලඟා කර ගත නොහැකි වන්නේ නැතත්, සංචිත ඉලක්ක කරා යාම වඩා අසීරු වෙන්න පුළුවන්. 

යෝජිත මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව උද්ධමනය ඉලක්ක මට්ටමෙහි පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් වෙනවා. ඒ නිසා, මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඉඩ දිය යුතු මට්ටමද සීමා වෙනවා. රටේ ඩොලර් ලැබීම් ක්‍රමයෙන් වර්ධනය වන්නේනම් විණිමය අනුපාතය මත විශාල පීඩනයක් ඇති වන එකක් නැහැ. එහෙත්, එසේ නොවන්නේනම් විණිමය අනුපාතය මත ඇති වන පීඩනය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුවට මෙවලමක් ලෙස පොලී අනුපාතික යොදා ගන්නට සිදු වෙනවා. මේ තත්ත්වය තුළ පොලී අනුපාතික පහළින් තබා ගැනීමද අසීරු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සඳහාද රටේ විදේශ ආදායම් වර්ධනය විය යුතුයි.

වෙබ් ලිපිනය: