මැයි මාසයේදී ඩොලර් මිලියන 3,491ක් වූ නිල සංචිත ජූනි මාසයේදී වැඩි වී නැති අතර ඩොලර් මිලියන 3,468 දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා. විණිමය අනුපාතික වෙනස් වීම් නිසා මෙවැනි සුළු වෙනසක් සිදු විය හැකියි. මෙහි වෙනස ඩොලර් මිලියන 23ක් පමණක් වන අතර මාසය තුළ යුවාන් බිලියන 10ක ඩොලර් වටිනාකමෙහි අඩුවීමද ඩොලර් මිලියන 24ක් පමණ වෙනවා.
මේ අනුව, මෙම වෙනසින් පිළිබිඹු වන්නේ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු ණයෙහි ඩොලර් වටිනාකම වෙනස් වීමයි. එක්කෝ ඊට අමතරව මහ බැංකුව විසින් මැදිහත් කිරීමක් කර නැහැ. එසේ නැතිව මිල දී ගත් කිසියම් ඩොලර් ප්‍රමාණයක් වීනම්, එම ප්‍රමාණය මහ බැංකුවේ ණයක් පියවීම සඳහා යොදා ගෙන තිබෙනවා.
මහ බැංකුව විසින් මාසය තුළ ශුද්ධ වශයෙන් මැදිහත් වීමක් කර නැත්නම් එයින් පෙනී යන්නේ මාසය තුළ ඩොලරයක මිල රුපියල් 13.31කින් පමණ ඉහළ යාම තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත සිදු වී ඇති බවයි. වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතු අතර සැප්තැම්බර් මාසයේදී බංග්ලා දේශයට ඩොලර් මිලියන 200ක මුදලක් ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 334ක මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.
මේ අනුව, වසරේ දෙවන අර්ධය තුළ මහ බැංකුව විසින් අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 829ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගත යුතුයි. ලෝක බැංකුවෙන් ලැබෙන්නට නියමිත මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගත්තත් මෙම ඉලක්කයට යාම සඳහා මහ බැංකුවට විණිමය අනුපාතය මත සුළු හෝ උඩුකුරු තෙරපුමක් ඇති කරන්නට සිදු වෙනවා. බංග්ලාදේශ ණයට අමතරව මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ඉන්දියාවටද යම් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි.
නිල දත්ත ප්‍රකාශිතව නැතත් ජූනි මාසය අවසන් වෙද්දී රජය විසින් ආදායම් ඉලක්ක ලඟා කරගෙන නැති බව පැවසෙනවා. එම ඉලක්ක කරා යාම සඳහා මෙන්ම, අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවයන් අනුව ඉතා ඉක්මණින් ආනයන සීමා ඉවත් කළ යුතු වෙනවා. මෙහිදී ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තයේ ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත්, ඩොලර් සැපයුම වැඩි වනවාට වඩා වැඩියෙන් ඩොලර් ඉල්ලුම ඉහළ යාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ඉදිරි කාලයේදී ඩොලරයක මිල යම් වේගයකින් ක්‍රමයෙන් ඉහළ යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි.
අරමුදලේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන 2027 දක්වා කාලය තුළ දිගටම සිදු වනු ඇත්තේද ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. අරමුදලේ ප්‍රධානම ඉලක්කයක් වන්නේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම විදේශ සංචිත ප්‍රමාණය ගොඩ නංවාගෙන ඉන් පසුව එම ප්‍රමාණය දිගටම පවත්වා ගෙන යාමයි. මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්.
ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.
2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා
2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා
2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා
2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා
2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා
පසුගිය වසර අවසානයේදී ලංකාව සිටියේ 18% මට්ටමේ. 2011දී ලංකාව මෙම අවශ්‍ය අවම මට්ටමේ (101%) සිටියත් ඉන් පසුව ක්‍රමයෙන් මෙම ප්‍රතිශතය පහත වැටුණා. 2014 වන විට 63%යි. 2019 වන විට 46%යි. විණිමය අනුපාතය පාලනයෙන් ගිලිහෙන විට මෙම අගය 4% තෙක් පහත වැටිලා. මීට සාපේක්ෂව, පසුගිය වසර අවසානයේදී ඉන්දියාව සිටියේ 165% මට්ටමේ. ඉන්දියාව 1991දී උගත් පාඩම ඉන්පසුව කිසිවිටෙකත් අමතක කළේ නැහැ.
දැනට ඩොලර් මිලියන 3,468 මට්ටමේ තිබෙන නිල සංචිත 2027 වසර අවසන් වන විට ඩොලර් මිලියන 14,208 දක්වා ඉහළ නංවා ගැනීම ලේසි, සිල්ලර වැඩක් නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලැබෙන සහනය යොදා ගත යුතුව තිබෙන්නේ මෙම ඉලක්කයට යාම සඳහා උදවුවක් ලෙස මිස පෙර මෙන් විදේශ විණිමය ආදායම් ඉක්මවා ආනයන කිරීමට ප්‍රවේශ පත්‍රයක් විදිහට නෙමෙයි. 2027 වන විට ලංකාවේ අපනයන ආදායම් හා අනෙකුත් විදේශ විණිමය ලැබීම් ඉලක්කගත මට්ටම් වලට වර්ධනය කර ගත යුතුයි. එය සිදු වන ආකාරය තවමත් පැහැදිලි නැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සියලු අවදානම් තවමත් දුරු වී නැහැ. යෝජිත වැඩ පිළිවෙලට පැරිස් සංසදය හා ඉන්දියාව එකඟ වනු ඇතත් චීනයේ එකඟතාවය ලබා ගැනීම ඒ තරම්ම පහසු වෙන එකක් නැහැ. වාණිජ ණය වලින් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කිරීමද තරමක් දුරස්ථ ඉලක්කයක්. ඒ නිසා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත සහනය ඉලක්කයට වඩා තරමක් අඩු විය හැකියි. යම් අවකාශයක් ඉතිරි කරගෙන තිබෙන නිසා එයින් සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක ලඟා කර ගත නොහැකි වන්නේ නැතත්, සංචිත ඉලක්ක කරා යාම වඩා අසීරු වෙන්න පුළුවන්.
යෝජිත මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව උද්ධමනය ඉලක්ක මට්ටමෙහි පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් වෙනවා. ඒ නිසා, මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඉඩ දිය යුතු මට්ටමද සීමා වෙනවා. රටේ ඩොලර් ලැබීම් ක්‍රමයෙන් වර්ධනය වන්නේනම් විණිමය අනුපාතය මත විශාල පීඩනයක් ඇති වන එකක් නැහැ. එහෙත්, එසේ නොවන්නේනම් විණිමය අනුපාතය මත ඇති වන පීඩනය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුවට මෙවලමක් ලෙස පොලී අනුපාතික යොදා ගන්නට සිදු වෙනවා. මේ තත්ත්වය තුළ පොලී අනුපාතික පහළින් තබා ගැනීමද අසීරු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සඳහාද රටේ විදේශ ආදායම් වර්ධනය විය යුතුයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.