වෙබ් ලිපිනය:

Saturday, July 8, 2023

ට්‍රිලියන 12ක පාඩුවක් වෙන හැටි!

වෙරිටේ රිසර්ච් ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක පාඩුවක් වෙනවා. කිහිප දෙනෙක්ම මේ ගැන නැවත නැවත අසා තිබුණු නිසා, මේ ඒ ගැන කරන පැහැදිලි කිරීමක්. මෙහිදී මම කරන්නේ එම ආයතනය විසින් මේ පාඩුව ගණනය කර තිබෙන ක්‍රමය ගැන පැහැදිලි කරන එක. හරියටම කිවුවොත්, එම ක්‍රමය කියා මම හිතන විදිහ. 

මම මේ ක්‍රමවේදය තේරුම් ගන්නේ නිශාන් ඩි මෙල්ගේ ඩේලි මිරර් ලිපියක තිබෙන පහත කොටස මත පදනම්වයි.

"At this 13.52% compounded rate of return, the present EPF portfolio would grow to 25.7 trillion. But at the offered average return of 9.1% the present EPF portfolio would grow to only 13.6 trillion. The difference between these two growth paths on the current balance alone, is LKR 12.1 trillion by 2038. Discounting that by 13.52% gives a present value of 1.6 trillion, which is 47% of the present value of the EPF."

ඔහු මෙම ගණනය කර තිබෙන්නේ ඒ වන විට ප්‍රසිද්ධ අවකාශයේ තිබුණු තොරතුරු මත පදනම්ව. ඉන් පසුව, අමතර තොරතුරු ප්‍රකාශයට පත් වී ඇතත්, මම ඒ අමතර තොරතුරු නොසලකා හරිනවා.

මෙවැනි ගණනය කිරීමක් කිරීම සඳහා සේවක අර්ථසාධක මුදලේ බැඳුම්කර ආයෝජන පිළිබඳ විස්තරාත්මක තොරතුරු අවශ්‍ය වුවත්, එම තොරතුරු ප්‍රසිද්ධ අවකාශයේ නැහැ. ඒ නිසා, පළමුව මේ පිළිබඳ ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔහු පහත උපකල්පන දෙක සිදු කරනවා.

- ඒ වන විට නිකුත් කළ තිබුණු බැඳුම්කර වර්ග සියල්ලෙන්ම සමානුපාතික කොටසක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති බව.

- එම ප්‍රතිශතය 2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  එම අරමුදල සතු වූ ප්‍රතිශතයට සමාන බව.

සේවක අර්ථසාධක සතුව ඇති නිශ්චිත තොරතුරු වලට ප්‍රවේශ විය නොහැකි බාහිර පර්යේෂකයෙකුට මීට වඩා හොඳ උපකල්පනයක් කළ හැකි වීයැයි මා හිතන්නේ නැහැ. මෙවැනි ගණනයකදී මා කළේද මෙයයි.

2023 මැයි 30 වන විට නිකුත් කළ තිබුණු මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032යි 

2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  සේ.අ.අරමුදල සතු වූ ප්‍රතිශතය = 36.4%

ඒ අනුව, සේ.අ.අරමුදල සතු වූ මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032*36.4% = රුපියල් බිලියන 3,288යි.

කෙසේ වුවද, ප්‍රසිද්ධ කර ඇති "පිළිතුරු" අනුව පෙනී යන්නේ මීට වඩා තරමක් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ බව සලකා මෙම ගණනය සිදු කර ඇති බවයි. එසේ නැත්නම්, ඉහත විස්තර කර තිබෙන ක්‍රමවේදය අනුව ලැබෙන පිළිතුර තරමක් අඩු එකක්. මෙම ආරම්භක ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,378කට ආසන්න එකක් විය යුතුයි. එනම්, 2.78%කින් පමණ වැඩි ඇස්තමේන්තුවක්. 

ඉන් පසුව සිදු කර තිබෙන ගණනය කිරීම එතරම් සංකීර්ණ එකක් නෙමෙයි. මෙහිදී, ඔහු පහත අවස්ථා දෙක සංසන්දනය කරනවා.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 13.52% වේගයකින් වර්ධනය වීම 

මෙම උපකල්පන දෙකෙන් පළමුවැන්න ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් පසු තත්ත්වය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. දෙවැන්න, ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් තත්ත්වය පිළිබඳ වෙරිටේ රිසර්ච් උපකල්පනයයි. ඉහත උපකල්පන මත පදනම්ව අපට වෙරිටේ රිසර්ච් පිළිතුරු ලබා ගන්නට පුළුවන්. 

1. රුපියල් 3,378*(1.091)^16 = රුපියල් බිලියන 13,610යි 

2. රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි 

වෙනස = රුපියල් බිලියන 12,083යි.

වත්කම් අඩු වන ප්‍රතිශතය = 47%යි 

අඩු වන වත්කම් ප්‍රමාණයේ අද වටිනාකම = රුපියල් බිලියන 1,589යි.

මෙම පිළිතුරු ඉහත උපුටා දක්වා ඇති කොටසේ ඇති රුපියල් ට්‍රිලියන 13.6, රුපියල් ට්‍රිලියන 25.7, රුපියල් ට්‍රිලියන 12.1, රුපියල් ට්‍රිලියන 1.6 හා 47% යන සියළුම ගණන් සමඟ සැසඳෙන බැවින් ගණනය සිදු කර ඇත්තේ මීට සමාන ආකාරයකින් බව පැහැදිලි වෙනවා. මෙහිදී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කර ඇති උපකල්පන නිවැරදිනම් ඇස්තමේන්තුද නිවැරදියි.

දැන් අපි මේ පිළිබඳව මහ බංකුව කියන දෙය දෙසත් බලමු.

මහ බැංකුව විසින් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන ප්‍රමාණය පිලිබඳව නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැහැ. ඒ නිසා, අපි මෙම අගය x ලෙස සලකමු.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වසරකට 9.1%ක සාමාන්‍ය ප්‍රතිලාභ ලැබෙන බව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් එම වර්ධනය 9.4%ක් විය යුතුව තිබුණු බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. එමෙන්ම, මෙම වෙනස වසර 15ක කාලයක් පවතිනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වත්කම් ප්‍රමාණයෙන් 4%ක අඩුවක් සිදුවීමට නියමිත බවත් මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත නොකර 14% සහන ආදායම් බද්ද වෙනුවට 30% ආදායම් බද්ද ගෙවන්නට සිදු වුවහොත් ඉහත ප්‍රතිලාභය 7.7% දක්වා අඩු වන බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මෙය ගණනය කර ගැනීම අපහසු නැහැ.

9.4%*(1-30%)/(1-14%) = 7.7%

දැන් අපට පහත අවස්ථා තුන සංසන්දනය කළ හැකියි.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 7.7% වේගයකින් වර්ධනය වීම 

3. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.4% වේගයකින් වර්ධනය වීම


ආරම්භක ආයෝජන ප්‍රමාණය x ලෙස සලකමින්ම අපි මෙම ගණනය කිරීම කරමු.

1. රුපියල් x*(1.091)^15 = රුපියල් බිලියන 3.693x 

2. රුපියල් x*(1.077)^15 = රුපියල් බිලියන 3.043x 

3. රුපියල් x*(1.094)^15 = රුපියල් බිලියන 3.8482x 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 4.04%

30% බදු මුදල ගෙවීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 20.94%

මේ අනුව, අප විසින් x ලෙස සැලකු අගය කුමක් වුවත්, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීමෙන් සිදු වන අලාභය එසේ කිරීම නිසා සිදුවන අලාභය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. 

ඉහත x අගය කොපමණද? 

මේ ගැන, මහ බැංකුව විසින් කිසිවක් සඳහන් කර නැති නිසා අපට වෙරිටේ රිසර්ච් ආයතනය මෙන්ම මෙම අගය ඇස්තමේන්තු කරන්නට සිදු වෙනවා. මේ වන විට දන්නා පරිදි ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. එම ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතු සේ සැලකුවහොත් x අගය රුපියල් බිලියන 2,818ක් පමණ විය යුතුයි. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 114ක පමණ අලාභයක් සිදු වන අතර එසේ නොකිරීමෙන් රුපියල් බිලියන 590ක අලාභයක් සිදු වෙනවා. 

මහ බැංකුවේ ගණනය කිරීම් හා ගැලපෙන ඉහත ඇස්තමේන්තුව අප විසින් ජූලි 4 දින ලිපියේ ඉදිරිපත් කළ රුපියල් බිලියන 113.9 ඇස්තමේන්තුවට සමානයි.

එක් පාඨකයෙකු විසින් සඳහන් කළ පරිදි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ණය ප්‍රතිව්‍යුහගත නොකර 30% බද්ද ගෙවීම වඩා වාසිදායක බව පෙන්වා තිබෙනවා. ඔවුන්ගේ උපකල්පන යටතේ එය එසේ වන බව පෙන්වා දිය හැකියි.

ඉදිරි වසර 16ක කාලය තුළ 13.52%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවස්‌ථාව ඇත්නම් 30%ක ඉහළ බද්දක් ගෙවීමෙන් පසුවද 11.00%ක ප්‍රතිලාභයක් ලැබිය හැකියි. එම ප්‍රතිලාභය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ලැබෙන 9.1% ප්‍රතිලාභයට වඩා වැඩි නිසා වෙරිටේ රිසර්ච් උපකල්පන යටතේ අදාළ ප්‍රකාශය නිවැරදියි. 

13.52%*(1-30%)/(1-14%) = 11.0% > 9.1%

මේ අනුව, වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තු හා මහ බැංකුවේ ඇස්තමේන්තු වෙනස් වන්නේ ඇයි කියා ඔබට පැහැදිලි විය යුතුයි. මේ ඇස්තමේන්තු දෙකම පදනම් වන්නේ උපකල්පන මතයි. එම උපකල්පන දෙකෙන් කවර උපකල්පනය නිවැරදි වේද යන්න අනාගතයට භාර දෙයක්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වෙරිටේ රිසර්ච් විසින් උපකල්පනය කර තිබෙන ඉහළ පොලී අනුපාතික දිගටම පැවතුණහොත් වසර කිහිපයකට පසු රජයට ණය ආපසු ගෙවිය නොහැකි වී විශාල ණය අර්බුදයක් ඇති වන බවයි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52ක ප්‍රතිලාභයක් ලබන්නටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලබන්නට වෙනවා. රජය විසින් එවැනි විශාල පොලියක් එක දිගට වසර 16ක් බැඳුම්කර වෙනුවෙන් ගෙවන තත්ත්වයක් යනු සිදු විය නොහැකි දෙයක් නොවුනත් භයංකර තත්ත්වයක්.

දැනටමත් බැඳුම්කර පොලී අනුපාතික මීට වඩා පහළ මට්මකට පැමිණ අවසන් නිසා මෙවැන්නක් සිදු වීමටනම් නැවත තත්ත්වය අයහපත් අතට හැරිය යුතුයි. ඊට සාපේක්ෂව, බදු වලින් පසුව 9.1% ප්‍රතිලාභයක් ලැබීම සඳහා අවශ්‍ය වන්නේ 10.58%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් පමණයි. එය දිගුකාලීනව පැවති තත්ත්වයන් අනුව ප්‍රායෝගිකව සිදු විය හැකි දෙයක්.

2 comments:

  1. ලහිරු රණවීරJuly 10, 2023 at 7:01 AM

    13.52% කියන ගාන අරන් තියෙන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒ ගණන එන විදිහ පැහැදිලිව පෙන්වලා නැහැ. ඒ වගේම, මහ බැංකුව විසින් 9.4% එන විදිහ පැහැදිලිව පෙන්වලත් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: