වෙබ් ලිපිනය:

Friday, July 14, 2023

ඇමරිකාවේ උද්ධමනය



පසුගිය ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 2.97% දක්වා පහත වැටුනා. පෙර වසරේ ජූනි මාසයේදී උද්ධමනය පැවතුණේ 9.1% මට්ටමේ. එම මට්ටම ඇමරිකාවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2% මට්ටමට වඩා බෙහෙවින්ම වැඩි මට්ටමක්.

උද්ධමනය ඉලක්ක මට්ටමෙන් ඉහළ යන බව පෙනෙද්දී ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඊට එරෙහිව ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් 0.00-0.25% මට්ටමේ පැවති පොලී අනුපාතික එක දිගට දහ වරක්ම වැඩි කරමින් මාස 14ක කාලයක් ඇතුළත 5.00-5.25% දක්වා ඉහළ දැම්මා. 

පසුගිය මාසයේදීද ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් විසින් දැනුම් දුන්නේ උද්ධමනය ඉලක්ක මට්ටමටම එන තුරු පොලී අනුපාතික තව දුරටත් ඉහළ දැමීමට නොපැකිලෙන බවයි. කෙසේ වුවද, උද්ධමනය 3% සීමාවෙන් පහළට පැමිණ ඇති තත්ත්වයක් තුළ ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තව දුරටත් වැඩි නොකරන්නට ඉඩ තිබෙනවා. 

කෝවිඩ් වසංගතය පැමිණෙන්නට පෙර, 2019 වසර අවසානයේදී ඩොලර් බිලියන 3,427 මට්ටමේ පැවති ඇමරිකාවේ සංචිත මුදල් ප්‍රමාණය දෙවසරකට පසුව ඇමරිකන් ඩොලර් බිලියන 6,413 දක්වා ඉහළ ගියා. යුක්‍රේන-රුසියා යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යාම හා චීනයේ නිෂ්පාදන සීමා ආදිය නිසාද බලපෑමක් සිදු වුනත්, උද්ධමනය මේ අයුරින් ඉහළ යාමට ප්‍රධානම හේතුව වූයේ මුදල් සැපයුම ඉහළ ගොස් නිෂ්පාදනයට සාපේක්ෂව ඉල්ලුම වැඩි වීමයි. ගෙවුණු මැයි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 5,569 දක්වා පහත හෙළා තිබෙනවා. 

උද්ධමනය මේ අයුරින් පහත වැටුණත්, ඉහළ උද්ධමනය හේතුවෙන් ඉහළ ගිය මිල ගණන් නැවත පෙර මට්ටම දක්වා පහත වැටෙන්නේ නැහැ. උද්ධමනය 2% මට්ටමේ ඇති විට මිල ගණන් වල ඉහළ යාම ඇඟට දැනෙන්නේ නැහැ. එහෙත්, කාලයක් තිස්සේ උද්ධමනය 2% මට්ටමේ තිබී එක වර 9% මට්ටම දක්වා වැඩි වූ විට මිල ගණන් වල ඉහළ යාම පැහැදිලි ලෙස ඇඟට දැනෙනවා. 9% දක්වා උද්ධමනය වැඩි වූ විට එසේ වේනම් 70% ඉක්මවා උද්ධමනය වැඩි වූ විට එය දැනෙන ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. 

උද්ධමනය හමුවේ ඉහළ යන මිල ගණන් නැවත පහත නොවැටෙන්නේ උද්ධමනය හමුවේ සැලකිය යුතු පිරිසකගේ වැටුප් හා ආදායම්ද ඉහළ යන නිසා. ඇමරිකානු සන්දර්භයේදී අඩුම වැටුප් ලබන ශ්‍රමිකයන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් කරණවෑමි සේවා වැනි සේවාවන් වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික ශ්‍රමිකයින් හා සාප්පු සේවකයින්ගේ වැටුප්ද මේ අයුරින්ම උද්ධමනය හා ගැලපෙන සේ ඉහළ ගොස් තිබෙනවා. 

උද්ධමනය හමුවේ ස්ථිර රැකියා නොකරන ශ්‍රමිකයින්ගේ වැටුප් මේ අයුරින් ක්ෂණිකව ඉහළ ගියත්, දිගුකාලීන සේවා ගිවිසුම් යටතේ ස්ථිර රැකියා කරන මාස් පඩි ලබන්නන්ගේ වැටුප් ඒ අයුරින් ඉහළ යන්නේ නැහැ. එය එවැන්නන් වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙද්දී එයට එරෙහිව කිසියම් මුක්තියක් ලබමින් සේවා ගිවිසුම් හරහා රැකියා සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිලක්. 

රටේ ආර්ථික තත්ත්වය  නරක අතට හැරෙද්දී ක්ෂණිකව සිය රැකියා අහිමි වීමේ අවදානම ගන්නා පහළ මට්ටමේ ශ්‍රමිකයින්ට හා ස්වයං රැකියා කරන්නන්ට ශ්‍රම ඉල්ලුම ඉහළ යාමේදී එහි වාසියද ක්ෂණිකව ලැබෙනවා. එහෙත්, රැකියාවක් වඩා සුරක්ෂිත වන තරමට ආර්ථිකය විචලනය වීමේදී ආදායම් විචලනය වීමද සීමා වෙනවා. අධි-උද්ධමන සමයකදී මෙය අවාසියක්. 

උද්ධමනය හමුවේ, බැඳුම්කර වැනි දිගුකාලීන ආයෝජන කරන්නෙකුට සිදු වන්නේද දිගුකාලීන සේවා ගිවිසුමක් අත්සන් කරන ශ්‍රමිකයෙකුට සිදු වන ආකාරයේ දෙයක්. එවැන්නෙකුට, කෙටිකාලීන ආයෝජන කරන්නෙකුට මෙන්, පොලී අනුපාතික ඉහළ යාමේදී එහි වාසිය එලෙසම ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එසේ වුවත්, මෙහිදී දිගුකාලීනව සිදු වන්නේ එවැනි ආයෝජකයින්ගේ ආදායම් වඩා සුරක්ෂිත වීමයි. 

1 comment:

  1. ඉකොනො ඇමරිකාවේත් ඔස්ට්‍රේලියාව වගේ ඩ්රෝන් යානා යවන එක ජනප්‍රිය ද කුඩා දරුවන් අතර? ඔස්ට්‍රේලියාව තුල එහෙමයි කියලා අනුර කුමාර සහෝදරයා පැහැදිලි කළා.

    // මම පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ගියාම දැක්කේ. එහේ මිනිස්සු පුදුම සැපවත් ජීවිතයක් ගත කරන්නේ.

    ඔබ දන්නවද ? පාසල් ඉවර වෙලා ඕස්ට්‍රේලියාවේ ළමයි ඩ්‍රෝන් යවන්නේ. අර රිමෝට් එකකින් උඩ යවන්නේ.. දැකලා තියෙනවද ?.ආ? ඒ රටවල පාසලේ ක්‍රීඩා පිටියේ, පාර දිගට ඉදන් එහේ ළමයි ඩ්‍රෝන් යවනවා. විවිධ පාට ලයිට් හයි කරපු ඩ්‍රෝන්.. බලන්න ලස්සනයි.

    අපේ ළමයි ? තාමත් යවන්නේ බට පතුරු එකට අමුනලා සවුකොල අලෝලා හදන සරුංගල් .. ඒක යවන්නත් හුලං කාලේ එනකම් ඉන්න ඕන. තංගුස් නූලට අත කැපිලා පුදුම දුකක් විඳින්නේ. බැරි වෙලාවත් වැස්සොත් සරුංගලේ ඉවරයි. නේද ?

    ඔන්න මේ රටේ පාලකයො අවුරුදු හැත්ත පහක් තිස්සේ ඔබේ දරුවන්ට හදපු රට. මම කියන්නේ අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන නැත්ද ? මේ රනිල් රාජපක්ෂ දූෂිත හොරමුලත් සජිත් ජලනි අසික්කිත හොරමුලත් එකමිටට තියලා හොරකම් කිරීමට දඬූවම ලෙස ජීවිතාන්තය දක්වාම හිරේ යවලා ඒ හොරකම් කරපු මුදල් නැවත අයකරගෙන ඒ මුදලින් ලේසියෙන්ම ලංකාවේ අපේ දරුවන්ට අවශ්‍ය ආකාරයට සියලුම පහසුකම් අපේ ආණ්ඩුවක් යටතේ සපයන බව මතක තබාගන්න...!

    - අරුණ කුමාර දිසනායක සහෝදරයා මින්නේරියේ දි -//

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: