වෙබ් ලිපිනය:

Thursday, July 27, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)


ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා, දේශ සීමා ඉක්මවා බිත්තර වෙළඳාම් වන නමුත්, එම පරිමාව රටවල් තුළම සිදුවන බිත්තර නිෂ්පාදනයට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

ඉහත කතාව ලංකාවටද එලෙසම වලංගුයි. ලංකාවේ බිත්තර කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම ලංකාවට බිත්තර ආනයනය කර තිබෙන්නේ නොගිනිය හැකි තරම් සුළු වශයෙන්. ඊට සාපේක්ෂව යම් තරමකින් හෝ ලංකාවෙන් බිත්තර අපනයනය කර තිබෙනවා. 

ලංකාවේ බිත්තර අපනයන ආදායම (ඩොලර් මිලියන)

2013 - 2.94

2014 - 3.91

2015 - 1.61

2016 - 1.05

2017 - 5.68

2018 - 5.62

2019 - 2.37

2020 - 1.16

2021 - 1.77

ලංකාවේ බිත්තර ආනයන වියදම (ඩොලර් මිලියන)

2013 - 0.00

2014 - 0.00

2015 - 0.03

2016 - 0.26

2017 - 0.02

2018 - 1.00

2019 - 0.32

2020 - 0.05

2021 - 0.00

ඉහත දත්ත වලින් පෙනෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පැවතී ඇති බවයි. මගේ අදහස වන්නේ මෙය ආනයන පාලන හෝ වෙනත් සීමාවන් හරහා ඇති කරගත් තත්ත්වයක් නොවූ බවයි. පසුගිය කාලය මුළුල්ලේම ලංකාවේ බිත්තර මිල පැවතුණේ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකයි. යම් තරමකින් හෝ අපනයන කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අඩු මිලකට රට ඇතුළේම බිත්තර නිපදවා ගත හැකි නම් ආනයන සඳහා විවෘත වීම බාධාවක් වන්නේ නැහැ. අනෙක් අතට ලොකුවට අපනයන සිදු කළ හැකි මට්ටමේ නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු වී නැහැ. 

මේ වෙද්දී මේ සමතුලිතතාවය වෙනස් වී ඇති බව අපි දන්නවා. දැන් ලංකාවේ බිත්තරයක මිල ඇමරිකාවේ එම මිලටද වඩා ගොඩක් වැඩියි. මේ විදිහට මිල ඉහළ යන්නනම් එක්කෝ ඉල්ලුම වැඩි විය යුතුයි. එසේ නැත්නම් සැපයුම අඩු වී තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ අදහස දෙවැන්න බවයි. 

දත්ත මගින් තහවුරු කිරීමේ හැකියාවක් නැතත්, මගේ අදහස වන්නේ පසුගිය කාලය තුළ ලංකාවේ බිත්තර ඉල්ලුමේද යම් හෝ වැඩි වීමක් සිදු වී ඇති බවයි. ආදායමට සාපේක්ෂව බඩු මිල සැලකිය යුතු ලෙස ඉහළ යද්දී මස්, මාළු මිල දී ගැනීම සීමා කරන්නට සිදුවන බොහෝ දෙනෙකුට ඒ වෙනුවෙන් බිත්තර ආදේශ කරන්නට සිදු වී ඇති බව මේ හා අදාළ මගේ කල්පිතයයි. කෙසේ වුවද, සැපයුම සීමා වී ඇති බව වඩා පහසුවෙන් පෙන්වා දිය හැකියි. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල ලංකාවේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති ආකාරයයි.

2017 - 172,739,190

2018 - 164,350,980

2019 - 173,684,230

2020 - 155,807,870

2021 - 162,809,310

2022 - 154,049,817

බිත්තරයක මිල ඩොලර් ශත 10ක් සේ සැලකුවොත් බිත්තර මිලියන 172.7ක් කියන්නේ ඩොලර් මිලියන 17.27ක්. 2017 වසරේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 5.66ක බිත්තර අපනයනය කර තිබෙනවා. ඒ කියන්නේ බිත්තර මිලියන 56.6ක් පමණ. මාසයකටනම් සාමාන්‍ය වශයෙන් බිත්තර මිලියන 4.7ක් පමණ. ඒ කියන්නේ රටේ නිපදවූ බිත්තර ප්‍රමාණයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි 97%ම විකිණී තිබෙන්නේ රට තුළයි. මාසයකට බිත්තර මිලියන 168ක පමණ දේශීය බිත්තර ඉල්ලුමක්. 

ඉහත බිත්තර ඉල්ලුම මේ වන විට අඩු වී මිස වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. 2019න් පසු වසර වලදී රටේ බිත්තර පරිභෝජනය මේ මට්ටමට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබෙන්නේ එක්කෝ බිත්තර ආනයනය කිසියම් ආකාරයකින් සීමා කෙරුණු නිසා. එසේ නැත්නම් ආනයනික බිත්තර වල මිල දේශීය බිත්තර මිලට වඩා ඉහළින් පැවතුණු නිසා. එනම් ලංකාවේ මිලට පිටරටින් බිත්තර ගෙන්විය නොහැකි වූ නිසා. 

පසුගිය තෙවසර තුළ බිත්තර නිෂ්පාදනය පහත වැටෙන්නට හේතු හඳුනාගැනීම අපහසු නැහැ. පහත තිබෙන්නේ 2018 වසරෙන් පසුව ලංකාවේ බිත්තර දමන ෆාම් කිකිලියන් ගණන ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරයයි. මෙම කාලය තුළ මිලියනයකට වඩා වැඩි ගම් කිකිළියන් ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී නැති අතර යම් වැඩිවීමක් දැකිය හැකියි.

2018 - 8,054,520

2019 - 6,601,780

2020 - 6,221,620

2021 - 5,879,190

2022 - 5,617,100

කවර හෝ හේතු නිසා මෙම කර්මාන්තය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව පැහැදිලි වන අතර පරිහාණිය ආරම්භ වී තිබෙන්නේ ආර්ථික අර්බුදයට, කෝවිඩ් වසංගතයට මෙන්ම 2020 ආණ්ඩු මාරුවටද පෙරයි. මෙයට එක් හේතුවක් ලෙස බිත්තර නිෂ්පාදකයින් කුකුළු මස් කර්මාන්තය වෙත විතැන් වීම හඳුනා ගත හැකියි. 2018දී 9,450,240ක මට්ටමේ වූ මස් පිණිස හදන කුකුළන් ප්‍රමාණය 2022 වන විට 13,000,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි විතැන් වීමකින් පෙන්නුම් කරන්නේ බිත්තර කර්මාන්තයේ ලාබ වලට සාපේක්ෂව කුකුළු මස් කර්මාන්තය වඩා ලාබදායී බවයි. 

රසායනික පොහොර තහනම, ඒ හේතුව නිසා බඩ ඉරිඟු අස්වැන්න පහළ යාම, කුකුළු කෑම මිල ඉහළ යාම ආදී හේතු බිත්තර සඳහා කුකුළන් හැදීම අධෛර්යමත් වීමට හේතු ලෙස ඉදිරිපත්ව තිබෙනවා. තර්කානුකූලව මෙම හේතු පිළිගත හැකි වුවත්, ඊට පෙර සිටම සිදුව ඇති යම් දෙයක ලකුණුද මෙහි පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විට තරඟකාරිත්වය හා සැපයුම ඉහළ යාම හමුවේ බිත්තර මිල පහත වැටීම තුළින්ම නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු බිහිවුණා වෙන්න පුළුවන්.

කෙසේ වුවත් බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම සාපේක්ෂව මෑතකාලීන සංසිද්ධියක්. පහත තිබෙන්නේ පසුගිය වසර වල ජනවාරි හා ජූලි මුල් සති වලදී පැවති බිත්තරයක සාමාන්‍ය මිලයි.

2017 ජනවාරි - රුපියල් 14.53

2017 ජූලි - රුපියල් 14.43

2018 ජනවාරි - රුපියල් 13.79

2018 ජූලි - රුපියල් 17.52

2019 ජනවාරි - රුපියල් 20.81

2019 ජූලි - රුපියල් 18.94

2020 ජනවාරි - රුපියල් 20.41

2020 ජූලි - රුපියල් 20.55

2021 ජනවාරි - රුපියල් 17.50

2021 ජූලි - රුපියල් 19.72

2022 ජනවාරි - රුපියල් 26.14

2022 ජූලි - රුපියල් 42.55

2023 ජනවාරි - රුපියල් 61.64

2023 ජූලි - රුපියල් 55.50

මම හිතන විදිහට 2017-2018 වගේ අවුරුදු වලදී වෙන්නේ දේශීය බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම නිසා මිල ඕනෑවටත් වඩා පහත වැටීමක්. මේ තත්ත්වය තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් විතැන් වෙන්න පටන් ගන්නවා. (හොයා ගන්න පුළුවන් සීමිත, ඒ වගේම ගොඩක්ම විශ්වාසනීය නැති දත්ත මත පදනම්ව කරන මේ වගේ විග්‍රහයන් වැරදෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්නත් එපා!). ඒ වැඩේ දිගටම වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදය, වසංගතය හා ආණ්ඩු මාරුව එන්න කලින්. හැබැයි මේ විදිහට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙන නිෂ්පාදකයෝ නිකම් ඉන්නේ නැහැ. ඒ වෙනුවට කුකුළු මස් හදනවා. (මේ කියන්නේ බිත්තර දමන කිකිළියන් මසට විකිණීමක් ගැන නෙමෙයි. මාරු වෙන අතර යම් අවස්ථාවක එවැන්නක්ද කරන්න ඇති.)

මේ විදිහේ මිල කඩා වැටීම් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථික ආකෘතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී ඇති වන ප්‍රශ්නයක්. රටේ වී/ සහල් නිෂ්පාදනය අදාළව දැකිය හැක්කේත් හරියටම මේ වගේ තත්ත්වයක්. කාලගුණ තත්ත්වයන් හා වෙනත් සාධක මත නිෂ්පාදනය විචලනය වන නිසා සැපයුම අඩු වෙන වෙලාවල් වලදීත් ඉල්ලුම සපුරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් තිබුනොත්. නමුත්, නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් පවත්වා ගනිද්දී කාලගුණ තත්ත්වයන් ඇතුළු බාහිර සාධක මත සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙනවා. ඒක නිෂ්පාදකයින්ට දරාගන්න අමාරුයි. 

මේ ප්‍රශ්නය තීව්‍ර වන්නේ ලංකාවේ වී වගා කර්මාන්තයේ වගේම බිත්තර නිෂ්පාදනයේත් නියැලී ඉන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ වීම නිසා. ඔවුන්ට ලොකු සමාගමකට මෙන් වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේ වෘත්තීය හැකියාවක් නැහැ. කළ හැක්කේ පාඩු වෙන විට කර්මාන්තයෙන් ඉවත් වීම සහ වෙනත් අයගේ ලාබ දකින විට කර්මාන්තයට ඇතුළු වීම පමණයි. කර්මාන්තය තිබෙන්නේ තරමක් ලොකු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අතේනම් ඔවුන් බොහෝ විට සැලසුම්සහගතව නිෂ්පාදනය සීමා කර මිල පහත වැටීම පාලනය කර ගන්නවා. එසේ නැත්නම් නිෂ්පාදනය එලෙසම තිබියදී සැපයුම පාලනය කර මිල පවත්වා ගන්නවා. ඒක කරන්න ගබඩා පහසුකම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. කුඩා නිෂ්පාදකයින්ට එවැනි ආයෝජන කළ නොහැකියි.

නිෂ්පාදකයින් අතින් මිල නියාමනය සිදු නොවන විට එය සිදු විය හැක්කේ අතරමැදියන් අතින්. ඔවුන්ට මිල අඩු වෙද්දී අදාළ භාණ්ඩය මිල දී ගෙන මිල වැඩි වෙද්දී වෙළදපොළට නිකුත් කිරීම මගින් ලාබයක් ගන්න පුළුවන්. මෙවැනි අතරමැදියන්ගෙන් නිෂ්පාදකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් විශාල සේවයක් සැලසෙනවා (නමුත් අතරමැදියන් මේ වැඩේ කරන්නේ ලාබ හොයන්න මිසක් කාටවත් සේවයක් කරන්න නෙමෙයි. සේවය සිදු වෙන්නේ ඒ විදිහට ලාබ හෙවීම තුළයි.)

ලංකාවේ වී කර්මාන්තය තුළ මේ වැඩේ වෙනවා. නමුත් බිත්තර කර්මාන්තය තුළ එවැන්නක් වෙන්නේ නැහැ. එයට හේතුව බිත්තර ගබඩා කර තබා ගැනීමේ පිරිවැය වඩා අධික වීම. බිත්තර ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් වැනි මූලික පිරිවැය මෙන්ම විදුලි බලය වැනි විචල්‍ය පිරිවැයද ගොඩක් වැඩියි. එවැනි ආයෝජනයක් කර ලාබ ලැබිය හැකි තරමේ මිල විචලනයන් සිදු නොවනවා විය හැකියි. 

බිත්තර අපනයනය හරියකට සිදු විය හැක්කේ ඔය ආකාරයෙන් බිත්තර ගබඩා කරගෙන පසුව විකුණන අතරමැදියෝ ටිකක් බිහිවීමෙන් පසුව පමණයි. එවැන්නක් වෙන තුරු, රටේ බිත්තර නිෂ්පාදනය වැඩි වුනා කියා, කුඩා නිෂ්පාදකයින්ට එම බිත්තර අපනයනය කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ නිසා වෙන්නේ දේශීය වෙළඳපොළේ බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී මිල පහත වැටෙන එකයි. එහිදී නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඉවත් වී, සැපයුම පහළ ගොස්, මිල ඉහළ යනවා. අනෙක් අතට සැපයුම් කම්පනයක් ආපු ගමන් මිල ඉහළ යනවා. මොකද අඩු වූ සැපයුම සැපිරිය හැකි අතරමැදි ගබඩාකරුවෝ නැහැ. 

ලංකාවේ බිත්තර මිල පහළ යද්දී පහසුවෙන් බිත්තර අපනයනය කරන්න බැරි වුනත්, මිල ඉහළ යද්දී බිත්තර ආනයනය කරන එක අපහසු නැහැ. මෙය ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට තිබෙන වාසියක්. ඇමරිකාවට හෝ ඉන්දියාවට මේ වාසිය නැහැ. මොකද රටේ නිෂ්පාදනය කඩා වැටුනොත් ඒ සඳහා ආදේශ විය හැකි ප්‍රමාණවත් බාහිර වෙළදපොළක් නැහැ. මේ වාසිය තිබෙන්නේ රටේ පාරිභෝගිකයින්ට. නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය අවාසියක්.

කුඩා ආර්ථිකයක් තිබෙන රටක නිෂ්පාදනයේ සිදුවෙන විචලනයන් නිසා සිදුවන මිල විචලනයන් සීමා කරගත හැකි හොඳම ක්‍රමය හැකි පමණ විවෘත වීම. සංවෘත ආර්ථික ආකෘතියකදී මෙන් නොව, මෙහිදී නිෂ්පාදනයේ ඉලක්කය දේශීය වෙළඳපොළ නෙමෙයි. ඒ නිසා, ලංකාව වගේ රටක පැත්තෙන් බැලූ විට ඉල්ලුම සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වී මිල ඕනෑවට වඩා පහළ යාමක් නැහැ. සැපයුම අඩු වූ විටක පහසුවෙන්ම අපනයන අඩු කර හෝ අපනයන කරන අතරම ආනයනද කර අඩුව පුරවා ගන්න පුළුවන්. මෙය සිදු වන්නේ නිෂ්පාදකයින්ට ඉහළින් අතරමැදියන් ගොඩ නැගෙන තරමටයි.

ඉහත කතා කළේ කර්මාන්තය හා අදාළ දිගුකාලීන තත්ත්වයන් ගැන. මෙහි කතා කළ ප්‍රශ්න හමුවේ වුවත්, 2019 වන විටද ලංකාවේ බිත්තර වෙළඳපොළේ කැපී පෙනෙන අවුලක් නැහැ. සැපයුම වැඩි වීම නිසා 2017-2018 පමණ කාලයේදී මිල පහත වැටීම වෙළඳපොළ තුළම විසඳී තිබෙනවා. ඒ, බිත්තර නිෂ්පාදකයින් මස් නිෂ්පාදනය වෙත විතැන් වීම මගින්. අමතර නිෂ්පාදනය අපනයනය කළ හැකි වූවානම් එය වඩා හොඳ තත්ත්වයක් වුවත්, වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රශ්නය විසඳී තිබෙනවා. ඇතැම් විට, ඩොලරයක මිල මීට වඩා උඩින් තිබුණානම් විසඳුම වෙනස් විය හැකිව තිබුණා.

රටේ සාමාන්‍ය ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී බිත්තර ඉල්ලුම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගියා වෙන්න පුළුවන්. රට පුරා හමා ගිය සංස්කෘතික රැළි නිසා යම් තරමකින් හෝ වෙනත් මස් වර්ග වෙනුවට කුකුළු මස් ආදේශ වීමකුත් වෙන්න ඇති. එවැනි තත්ත්වයක් හමුවේ බිත්තර නිපදවා අපනයනය කරන්න මහන්සි වීමට සාපේක්ෂව රට ඇතුළේම තිබෙන කුකුළු මස් ඉල්ලුම සපුරන එක වඩා වාසිදායක තේරීමක්.

ඔය සියලුම තත්ත්වයන් එක්ක, 2021දී පෙර වසරට සාපේක්ෂව බිත්තර මිල පහළ යනවා. 2022 ජනවාරි වන විට බිත්තරයක මිල රුපියල් 26.14ක්. එම වසරේ ජූලි මාසය වන විට මෙම මිල රුපියල් 42.55 දක්වා ඉහළ යනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියෙද්දී රුපියල් 26.14ක් කියන්නේ ඩොලර් ශත 13ක්. ඩොලරය රුපියල් 360 වූ විට එයම රුපියල් 46.80ක් වෙනවා. ඒ වගේම, ඔය මාස හයක කාලය අතරතුර රටේ සාමාන්‍ය මිල මට්ටම (කොළඹ පාරිභෝගික මිල දර්ශකය) 44%කින් ඉහළ යාම සැලකුවොත් බිත්තරයක් රුපියල් 38ක් පමණ විය යුතුයි. මෙම ඉහළ යාම් වලට සාපේක්ෂව බිත්තරයක මිල රුපියල් 42.55ක් වීම ඉතාම සාමාන්‍ය දෙයක් මිසක් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩි වීමක් නෙමෙයි. මිල එවැනි මට්ටමකට නොගියේනම් නිෂ්පාදකයින්ට පවතින්න අසීරු වෙනවා. 

මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44ක පාලන මිලක් පනවන්න ඇත්තේ ඔය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන විය යුතුයි. නමුත්, ඒ වන විට බිත්තරයක වෙළඳපොළ මිල රුපියල් 61.64ක්. මෙම මිල ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම රටේ පැවති උද්ධමනයේ බලපෑමද ඉක්මවූ මිල ඉහළ යාමක්. එයට හේතුව කුමක්ද? 

මිල ඉහළ යාමට හේතුවක් ලෙස ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන සාධකයක් වන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා ඊට අනුරූපව මිල ඉහළ යාමයි. එය එසේ විය හැකියි. එහෙත්, අදාළ දත්ත සොයා ගත නොහැකි නිසා විග්‍රහයක් කළ නොහැකියි. ඉහත දත්ත අනුව, 2018-2022 කාලය අතරතුර රටේ සිටි බිත්තර දමන කිකිළියන් ප්‍රමාණය 30%කින් අඩු වී තිබෙනවා. මෙය ක්‍රමික අඩුවීමක් මිසක් එකවර සිදු වූ අඩුවීමක් නෙමෙයි. 2023දී මෙම ප්‍රමාණය තවත් අඩුවුනා විය හැකියි. එය පෙර වසර වල වූ අඩුවීමේම දිගුවක්ද නැත්නම් ඊට වඩා වැඩි අමතර අඩුවීමක්ද යන්න හරියටම දැනගන්න වෙන්න දත්ත ඇති විටෙක පමණයි.

පෝර සහනාධාරය ඉවත් වීම කුකුළු ආහාර වල මිල ඉහළ යාම කෙරෙහි දිගුකාලීනව බලපෑවා වෙන්න පුළුවන්. එය එසේනම්, මෙය ඉදිරියේදී ආපසු නොහැරෙන තත්ත්වයක්. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ යාම නිෂ්පාදකයින්ගේ මූල්‍ය පිරිවැය ඉහළ දැම්මා විය යුතුයි. එයනම්, නැවත ආපසු හැරෙන තාවකාලික තත්ත්වයක්. ඒ වගේම, වසංගත සමයේදී හා ඉන්පසු පැවති අර්බුද සමයේදී සැපයුම අඩු වුවද ඊට අනුරූපව ඉල්ලුමද අඩු වූ බව සිතිය හැකියි. වසංගත සමයේදී ලොව පුරා දැකිය හැකි වූයේ මෙවැනි තත්ත්වයක්. ඉල්ලුම හා සැපයුම යන දෙකම අඩු වෙද්දී මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙද්දී කලින් පහළ ගිය බිත්තර ඉල්ලුමද නැවත පෙර මට්ටමට එනවා වෙන්න පුළුවන්. ඊට අනුරූපව සැපයුම වැඩි නොවුවහොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වෙනස් වන තරම් හදිසියෙන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ලාබ දැක කර්මාන්තයට පිවිසෙන්නට වගේම පාඩු හමුවේ කර්මාන්තයේ ඉවත් වීමටද යම් කාලයක් ගත වෙනවා. 

ජනවාරි මාසයේදී එක පැත්තකින් බිත්තර ආනයනය වාරණය කරන අතර අනෙක් පැත්තෙන් මිල පාලනය කිරීම ඉතාම අදූරදර්ශී ක්‍රියාවක්. විශේෂයෙන්ම එය කළ නිශ්චිත ආකාරය. බිත්තර මිල ඉහළ මට්ටමක තිබියදී ආනයන වලට ඉඩ ලැබුණානම්, නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම සිදු වෙද්දී වුවද, පාරිභෝගිකයින්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට ඉඩ ලැබෙනවා. නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය කෙසේ වෙතත් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, කළ දෙයින් නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය හෝ පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම හරහා සිදු වුනේ බිත්තර නිෂ්පාදකයින්ට කර්මාන්තයට පිවිසෙන්නට ආරාධනා කරමින් වෙළඳපොළ විසින් සංඥාවක් නිකුත් කිරීමයි. මිල දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් අලුත් නිෂ්පාදකයින් කර්මාන්තයට ආකර්ෂණය වී රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ යනවා. එහිදී නැවත මිල අඩු වෙනවා. එහෙත්, මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරක පමණ කාලයක් විය හැකියි. මිල පාලනය නිසා මෙය සිදු වුනේ නැහැ. ඒ නිසා, සැපයුම ඉහළ නොගොස් ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තීව්‍ර වුනා. අවසාන වශයෙන් ප්‍රායෝගිකව පාලන මිල පවත්වා ගත නොහැකි වුනා. 

ඒ වගේම, මිල පාලනයක් සිදු නොවුනානම්, ඉහළ මිල යටතේ වුවද ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල පාලනයක් පැවතියද එය දැඩිව ක්‍රියාත්මක නොවූ නිසා රටේ විශාල බිත්තර හිඟයක් ඇති වී නැහැ. මිල පාලනය හමුවේ වුවද බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා විය හැකියි. මිල පාලනය නිසා බොහෝ දුරට සිදු වුනේ කර්මාන්තයට අලුත් නිෂ්පාදකයින් ඇතුළු වීම අධෛර්යමත් වීම හා ඒ මගින් බිත්තර මිල පහළ යාමේ ස්වභාවික යාන්ත්‍රණයට බාධා පමුණුවනු ලැබීමයි. කළ යුතුව තිබුණේ යම් පාලනයක් ඇතිව බිත්තර ආනයනයට ඉඩ දීමයි. එසේ කළේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මිල වැඩි වීම පමණක් පාලනය කරමින්, පිරිවැය ඉහළ යාමේ බලපෑමෙන් නිෂ්පාදකයින් ආරක්ෂා කළ හැකිව තිබුණා.

දැන් එක වර ක්ෂණිකව සීමාවකින් තොරව බිත්තර ආනයනයට ඉඩ දීමෙන් තවත් හානි සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ බිත්තරයක මිල රුපියල් 55ක් පමණ. ඇමරිකාවෙන් වුවද බිත්තර ආනයනය කර රුපියල් 35ක පමණ මුදලකට විකිණිය හැකි විය හැකි බව මගේ අදහසයි. මේ අයුරින් රටේ වෙළඳපොළ ලෝකයට විවෘත කිරීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුවත්, කාලයක් තිස්සේ වෙළඳපොළ ලෝකයට වසා ගෙන සිට එක වර ස්විච් එකක් දැම්මාක් මෙන් විවෘත කළ විට සිදු වෙන්නේ එය සැලසුම්සහගතව කරන විට සිදු වන දෙයම නෙමෙයි.

පසුගිය වසරේ දත්ත අනුව වුවද රටේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 154ක්. බිත්තරයක් ඩොලර් ශත 10 සේ සැලකුවොත් (ලංකාවේ දැන් මිල අමතක කර) ඩොලර් මිලියන 15.4ක්. වසරකටනම් ඩොලර් මිලියන 185ක් පමණ. මෙය 2019 වසරේදී පැවති ඩොලර් මිලියන 209ක දේශීය බිත්තර කර්මාන්තයට වඩා කුඩා වුවත් අඩුව 12%කට වඩා අඩු නැහැ. රටේ බිත්තර ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම අඩුව 12%කට, එනම් ඩොලර් මිලියන 24කට වඩා නොවැඩි අඩුවක්. 

කෙසේ වුවද, 2019 යනු බිත්තර මිල අඩු වූ වසරක්. ඒ අනුව, ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පැවති සේ සැලකිය හැකි වසරක්. දැන් පවතින තත්ත්වයන් තුළ ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම පරතරය 12%කට වඩා අඩු පරතරයක් විය යුතුයි. එසේ නොවන්නේනම්, රටේ විශාල බිත්තර හිඟයක් පැවතිය යුතුයි. ඩොලර් මිලියන 185ක පමණ බිත්තර කර්මාන්තයක් තවමත් රටේ තිබෙනවා. 

දැන් පවතින තත්ත්වයන් තුළ බිත්තර ආනයනයට ඉඩ දීමෙන් දැනටත් ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 185ක බිත්තර කර්මාන්තය මුළුමනින්ම විනාශ වී යයිද? ලෝක බිත්තර කර්මාන්තය එක්ක ගත්තහම (දැනට රටේ බිත්තර හිඟය 8%ක් සේ සලකා) ඩොලර් මිලියන 200ක වගේ බිත්තර ප්‍රමාණයක් පහසුවෙන් රටට එන්න බැරිකමක් නැතත්, මේ ප්‍රමාණය පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි. උදාහරණයක් විදිහට 2021 වසරේදී ඉන්දියාවේ මුළු බිත්තර අපනයන ආදායම ඩොලර් මිලියන 31.1ක්. එම වසරේදී ඇමරිකාවේ බිත්තර අපනයන ආදායම වුනත් ඩොලර් මිලියන 596ක් පමණයි. ඩොලර් මිලියන 200ක් කියන්නේ ලෝක බිත්තර වෙළඳාමෙන් 4%ක්. ඒ වගේ බිත්තර ප්‍රමාණයක් ලංකාව එක පාරටම ආනයනය කළොත් ලෝක බිත්තර මිලේ කම්පනයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. ඒ නිසාම, බිත්තර ආනයනයෙන් කර්මාන්තයට යම් හානියක් විය හැකි වුවත් ලංකාවේ බිත්තර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ ඉඩක් නැහැ. 

ලෝකය පුරා ඉන්න බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ බිත්තර අලෙවි කරන සැපයුම් දාම තිබෙනවා. මේ ගොඩක් අය කලින්ම ගිවිසුම්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා, ලංකාවට හදිසියේ, අඩු මිලට බිත්තර ආනයනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙද්දී බිත්තර වෙනුවෙන් ගෙවන්න වෙන මිලත් ක්‍රමයෙන් ඉහළ යනවා. 

ඔය තත්ත්වයන් එක්ක ලංකාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කළත්, ඉල්ලුමෙන් ඉතිරි 90% පිරිමැහෙන්නේ දේශීය නිෂ්පාදන වලින්. ඒ නිසා, අවසාන වශයෙන් රටේ බිත්තර මිල තීරණය වෙන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයාගේ පිරිවැය මත. එම මිල දැන් මිලට වඩා ටිකක් අඩු මිලක් විය හැකි වුවත්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ බිත්තර මිල තරමට ලංකාවේ බිත්තර මිල පහළ යන එකක් නැහැ. ඒ නිසා, මේ කරපු විවෘත කිරීමෙන් වෙන්නේ සීනි බද්ද ඉවත් කරපු අවස්ථාවේදී මෙන් යම් බිත්තර ආනයනකරුවන් පිරිසකට ක්ෂණික, විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක. 

ආනයනකරුවෝ ලාබ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ප්‍රශ්නය මේ වගේ ලාබ සාමාන්‍ය ලාබ නෙමෙයි. රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලාබ. මේක අදාළ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ වෙළෙන්දෝ එකතු වී කරපු "හොරකමක්" කියා මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ තීරණ ගනිද්දී කාට හෝ ඒ වගේ චෝදනාවක් කරන්න ඉඩක් ඉතිරි වෙනවා. ලබන සතියේ කවුරු හෝ කෙනෙක් එකපාරටම විශාල බිත්තර ප්‍රමාණයක් ආනයනය කළොත්, එහෙම කළේ තමන්ගේ මොනවා හෝ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙනම වුනත්, අදාළ ප්‍රතිපත්ති තීරණය ගැන කලින් දැනගත්තාද කියන සැකය මතු වෙන එක වලක්වන්න බැහැ.

සීනි බද්ද ඉවත් කළ වෙලාවේ වගේ බිත්තර බද්ද ඉවත් කළාට පස්සෙත් බිත්තර මිල අඩු වුනේ නැත්නම් කරන්නේ කුමක්ද? ප්‍රායෝගිකව කරන්න වෙන්නේ නැවත බද්ද යම් මට්ටමක් දක්වා වැඩි කරන එක. එවිට අස්සයා පැනලා ගිහින් ඉවරයි. 

මේ බදු ඉවත් කිරීම සහ ඒ මගින් ආනයන වලට ඉඩ දිය යුතුව තිබුණු හරි ක්‍රමය කුමක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බිත්තර බද්ද එලෙසම තිබියදී බිත්තර නිෂ්පාදන මත වූ බද්ද ඉවත් කරන එක. ඒ බද්ද තවමත් ඉවත් කරලා නැහැ. එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඊට පස්සෙත් මිල වැඩිනම් ඒ පිරිවැය නිසා ඉහළ ගිය මිල. බිත්තර ආනයනය කළා කියලා ඒ මිල තවත් අඩු වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ ටිකෙන් ටික කර්මාන්තයෙන් ඉවත් වෙන එක පමණයි වෙන්නේ.

හැබැයි බිත්තර ආනයනය කරන්න පටන් ගත්තත් නිෂ්පාදකයින්ට එක දවසෙන් කර්මාන්තයෙන් ඉවත් වෙන්න බැහැ. රජය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කළා කියලා කිකිළියෝ දන්නේ නැහැ.  උන් දිගටම බිත්තර දමනවා. ඒ බිත්තර ලොකු ලාබයක් නැතිව හෝ විකුණන්න වෙනවා. අඩු වශයෙන් විචල්‍ය පිරිවැය හෝ ආවරණය කර ගන්න වෙනවා. එම මිල හා බිත්තර ආනයනය කළ හැකි මිල අතර පරතරය ආනයනකරුවන්ගේ ක්ෂණික ලාබය. එම කොටස පාරිභෝගිකයින්ට යාමේ ඉඩක් නැහැ. සීනි බද්ද ඉවත් කරපු වෙලාවේ වුනෙත් ඕකමයි.

බිත්තර ආනයනයට ඉඩ දෙනවානම් කළ යුතුව තිබුණේ රුපියල් 50ක බද්ද එකවර ඉවත් නොකර රුපියල් 15-20ක් පමණ දක්වා අඩු කරන එක. එසේ කළානම් ආනයනකරුවන්ට ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. බිත්තර වල වෙළඳපොළ මිල අඩු වෙන ආකාරය දිහා බලාගෙන අවශ්‍යනම් බද්ද ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. නමුත් රුපියල් 50ක බද්දක් එක පාරටම අයින් කරනවා කියන්නේ බරපතල මැදිහත් වීමක්.

ආනයන බද්ද කියන්නෙම රාජ්‍ය මැදිහත්වීමක් නිසා එය ඉවත් කරන එකේ වැරැද්ද කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ බද්ද ඉවත් කරන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කරපු විදිහේ. 

බිත්තර කර්මාන්තය කියන්නේ අවුලක් නැතුව හොඳට තිබුණු කර්මාන්තයක්. පොහොර සහනාධාරය හරහා කුකුළු කෑම වල මිල වක්‍ර ලෙස සුබසාධනය වෙන්න ඇති. ඒ හැර කර්මාන්තයට ලොකු රාජ්‍ය මැදිහත්වීමක් තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීම නිසා (ආනයනික බිත්තර ලාබ වීම නිසා) සිදු වූ අවාසියකුත් තිබුණා. කර්මාන්තය කාලයක් තරඟකාරී ලෙස පැවතුණා.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය ඇමරිකාවේ එම කර්මාන්තයට වඩා වෙනස්. ඇමරිකාවේ ශ්‍රමයේ මිල අධික නිසා ඇමරිකාව ප්‍රාග්ධන ආයෝජන මගින් නිෂ්පාදන වියදම අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ ඉන්නේ ලොකු නිෂ්පාදකයෝ. ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්නේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්න කුඩා නිෂ්පාදකයෝ. ලාබ ශ්‍රමය කියා කිවුවත් කුඩා තේ වතුහිමියන් හා අදාළව කියපු පරිදි බොහෝ විට තමන්ගේම හෝ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය. 

පසුගිය වසරේ පැවති ඉහළ උද්ධමනය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගත හැකි හැම කෙනෙක්ම එසේ කරමින් උද්ධමනයට මුහුණ දී තිබෙනවා. වැටුප් ශ්‍රමිකයින්ට සාපේක්ෂව කිසියම් නිෂ්පාදන කාර්යයක යෙදෙන අයට උද්ධමනයෙන් සිදු වී තිබෙන බලපෑම අඩුයි. පොදුවේ ආහාර උද්ධමනය අඩු වෙමින් ඇතත් මිල අඩු වෙන්නේ ආනයනික ආහාර වල. මාළු, එළවලු මිල අඩු වෙලා නැහැ. බිත්තර මිලත් එහෙමයි. ත්‍රිරෝද රථ ගාස්තු වල සිට වෛද්‍ය, නීතිඥ සේවා ගාස්තු ආදිය දක්වා ශ්‍රමයේ මිල ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය අඩු වුනත් මිල අඩු නොවෙන්නේ ඒ නිසා. හැමෝගෙම නොවුනත් බොහෝ දෙනෙකුගේ වියදම් ඉහළ යද්දී ඒ අය තමන්ගේ ආදායම්ද වැඩි කරගෙන. බිත්තර නිෂ්පාදකයින් විසින්ද මේ වැඩේ කරගෙන තිබෙනවා. 

අනෙක් පැත්තෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් බැංකු ණය මත දුවන අය. ඉහළ පොලී අනුපාතික ඔවුන්ගේ පිරිවැය වැඩි කරනවා. මේ සියල්ල තාවකාලික තත්ත්වයන්. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙද්දී බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් යම් කොටසක් අඩු වෙනවා. එවිට ලංකාවේ බිත්තර මිල සහ ලෝක වෙළඳපොළේ මිල අතර පරතරය නැවතත් නැති වෙලා යයි. එහෙම වෙද්දී දේශීය බිත්තර කර්මාන්තය තරඟයට නිරාවරණය කරන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ඔය වැඩේ එක දවසකින් කරන එක භයානකයි. ඒක ඩොලරයක මිල කාලයක් හිරකරගෙන ඉඳලා එක දවසෙන් අත ඇරියා වගේ වැඩක්.

බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැහැ. හැබැයි ඔම්ලට් එක හදන්න කිසිම සූදානමක් නැතුව හදිස්සියේ බිත්තරේ කඩලා හරියන්නෙත් නැහැ.

2 comments:

  1. //එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා.//
    හොටල් හා ආපනශාලා වලට රජය මගින් ආනයනය කල බිත්තර අඩු මුදලට ලබා දීම මගින් සිදුවිය යුතුව තිබුනෙත් මේකම නේද?

    ReplyDelete
  2. ලංකා කුකුල් මස් සංස්ථාව පිහිටුවලා අපිට ඉස්තරම් කුකුල් මස් බිත්තර රජය මගින් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන මේන් ඉල්ලා සිටිමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: