වෙබ් ලිපිනය:

Friday, July 28, 2023

තවත් රාජ්‍ය මැදිහත්වීමක්!


ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීමාවයි. මෙවැනි සීමාවන් හා අදාළව රටවල් අතර ඇති සම්මුතීන් බිඳුණු විට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා, රටක් කියන්නේ රටක රජය නොවුනත්, රටක් පැවතීම සඳහා එම රට මත අණසක පැතිරවිය හැකි රජයක්ද පැවතිය යුතුයි. 

රජයක් පවතිනවා කියන්නේනම රාජ්‍ය මැදිහත්වීම්ද තිබෙනවා කියන එකයි. රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් එහි රජයක් කියා දෙයක් නැහැ. එවිට ඉතිරි වන්නේ අරාජිකත්වයයි. එහෙත්, ජන ජීවිතය කෙරෙහි මැදිහත් වන ප්‍රමාණය අනුව විවිධ රටවල රජයයන් වෙනස් වෙනවා.

ධනවාදී ආර්ථික ක්‍රමයක පදනම වන්නේ පෞද්ගලික දේපොළ එක් රැස් කර ගැනීමට, මිනිසුන් අතර නිදහස් ගනුදෙනු කිරීමට හා එම නිදහස් ගනුදෙනු වලින් පෞද්ගලික ලාබ ලැබීමට ඉඩ සැලසීමයි. මෙහිදී මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත හැකි හා එම තීරණ වල වගකීම තමන් විසින්ම ගත හැකි බුද්ධිමතුන් පිරිසක් සේ උපකල්පනය කෙරෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමය හා එයට පාදක වූ පුද්ගල නිදහස පිළිගන්නා රජයක රාජ්‍ය මැදිහත් වීම් සිදු වන්නේ පුද්ගලයින් අතර සිදු වන ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස කර ගැනීමට ඉඩ සලසන වටාපිටාවක් ඇති කෙරෙන ආකාරයෙනුයි. 

මෙවැනි, ධනවාදය පිළිගන්නා රජයක මූලික කාර්යයක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා, රටේ සියල්ලන්ටම එකඟ විය හැකි පරිදි, නීතිය මගින් දේපොළ අර්ථදැක්විය හැකියි. මෙහිදී ගනුදෙනුවකදී දෙපාර්ශ්වය අතර ඇති විය හැකි අවිනිශ්චිතතා අඩු වී ගනුදෙනු වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

එක් සරල උදාහරණයක් ලෙස පොළේ ගිහින් එළවළුවක් මිල දී ගනිද්දී ගොඩවල් ගණනට විකිණීම හා මිල දී ගැනීමට සාපේක්ෂව බර අනුව මිල දී ගනිද්දී ගනුදෙනුව සිදු කරන භාණ්ඩය පිලිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීම පහසු වෙනවා. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය සටහන්ව ඇති විට පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ලැබෙන අතර වෙළෙන්දාට එය තහවුරු කිරීම පහසු වෙනවා. මේ ආකාරයේ සම්මුතීන් ඇති වීම සඳහා රජයක පැවැත්ම අනිවාර්ය නොවුනත්, රජයක් පැවතීම තුළ එම රජයේ අණසක පවතින ප්‍රදේශය තුළ මෙවැනි සම්මුතීන් ඒකාකාරී ලෙස පවත්වා ගත හැකියි. එයින් පුද්ගල ගනුදෙනු වල වපසරිය පුළුල් වී කාර්යක්ෂමතාවය ඉහළ යනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගන්නා සහ එහි කාර්යක්ෂමතාවය අවබෝධ කරගත් රජයක් මිල පාලන ආදී ක්‍රම වලින් වෙළඳපොළට මැදිහත් වන්නේ ඉතා අඩුවෙන්. පෞද්ගලික අංශයට කළ හැකි නිෂ්පාදන, බෙදාහැරීම් හා විකිණීම් හරහා වෙළඳපොළට මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්. මෙහිදී මා ඉතා අඩුවෙන් යන වචනය භාවිතා කරන්නේ රටේ පවතින දේශපාලනික තත්ත්වයන් අනුව ඕනෑම රටක රජයක් විසින් රටක වෙළඳපොළට යම් මැදිහත්වීමක් කරන නිසා. එහෙත්, එවැනි මැදිහත්වීමක් කරන්නේ විශේෂ හේතුවක් ඇත්නම් පමණයි.

ඕනෑම රටක රජයක් එම රජයේ පැවැත්ම හා රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා. සැලසුම් හැදීම ඒකීය පුද්ගලයින්, ව්‍යවසායකයින්, ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් මෙන්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් සමාගම් හා සංවිධාන විසින්ද කරන දෙයක්. රටක රජයක් විසින් සාමාන්‍ය මූලධර්මයක් ලෙස ධනවාදය පිළිගත් පමණින් එවැනි රජයක් කිසිදු සැලසුමක් නැතිව ඉබාගාතේ යන රජයක් වන්නේ නැහැ. වෙළඳපොළ නිදහස තහවුරු කිරීම සඳහා වුවද සැලසුම් අවශ්‍ය වෙනවා. 

සමාජවාදී මධ්‍යගත සැලසුමක් කියන්නේ ඉහත ආකාරයේ සාමාන්‍ය සැලසුමක් නෙමෙයි. මෙවැන්නක් මූලධාර්මික තලයේදීම වෙනස් වෙනවා. සමාජවාදී ක්‍රමයේ පදනම වන්නේ මිනිසුන් යනු තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි පිරිසක් ලෙස හඳුනා ගැනීමයි. ඒ අනුව, මුළු රටකම මිනිසුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම දේශපාලන පක්ෂයක්, එම දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන රජය හෝ වෙනත් සුළු පිරිසක් විසින් අතට ගන්නවා. රටේ අනෙකුත් සියලුම මිනිසුන්ට ඒ සැලසුමේ කොටස්කරුවන් වීමට සිදු වෙනවා. මෙහිදී රාජ්‍ය මැදිහත්වීමක් කිරීම සඳහා විශේෂ හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ ආකාරයේ මධ්‍යගත සමාජවාදීන්ට නිදහස ලබන්නටත් පෙර සිටම ලංකාවේ දේශපාලනය තුළ විශාල බලයක් තිබුණා. ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ආකාරයට ලංකාවේ රාජ්‍ය ආකෘතියද සකස් වුනා. අදටත් ලංකාවේ රජය විසින් කරන බොහෝ දේවල් රජය විසින් කරන්නේ එසේ කළ යුතු විශේෂ හේතුවක් තිබෙන නිසා නෙමෙයි. 

කෙසේ වුවත්, රාජ්‍ය ආකෘතියක් තුළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් එකතු කර ඇති කොටස් ගලවා දැමීම සීරුමාරුවට කළ යුතු වැඩක්. රජයක් විසින් කොපමණ මැදිහත්වීම් කළත් එම මැදිහත්වීම් හමුවේ වුවද වෙළඳපොළ නැවත සකස් වෙමින් හැකි පමණින් කාර්යක්ෂමතාවය සොයා යනවා. එසේ කිසියම් ආර්ථිකයක් සීමාවන් තුළ වුවද ප්‍රසස්ථකරණය වී ඇති විටෙක, එකවර රාජ්‍ය මැදිහත්වීම ඉවත් කළ විට ඇසිඩ් පානය කළ අයෙකුට වමනය කරවීමේදී සිදු වන ආකාරයේ හානියක් සිදු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ කාර්යක්ෂමතාවය සොයා යාමේදී එයට බාධා කෙරෙන ආකාරයේ රාජ්‍ය මැදිහත් වීම් ඉවත් කළ යුතු වුවත්, හදිසියේ එවැන්නක් කිරීම්දී ඇති විය හැකි වෙළඳපොළ කම්පනය ගැනද සැලකිලිමත් විය යුතුයි. 

ලෝකය පුරා නැවත නැවතත් අසාර්ථක වී ඇතත් මධ්‍යගත සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැනටත් ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකියි. ඔවුන්ට රාජ්‍ය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා හේතු අවශ්‍ය නැහැ. ජනමතය විරුද්ධ පැත්තේ ඇති විට ප්‍රසිද්ධියේ නොකිවුවත්, කවුරු හෝ විසින් ලාබ ලැබීම කෙරෙහි වන මූලික විරෝධය හා පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ විරෝධය ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් හේතුවක්. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුව යමින් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම රජය මගින් කිරීම ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන්ට හේතු අවශ්‍ය වන්නේ පෞද්ගලික අංශයට ඉඩක් දීමේදීයි. 

ඉහත මධ්‍යගත සැලසුම් ක්‍රමය ප්‍රතික්ෂේප කරන, වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිගන්නා රජයයන් විසින් වුවද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. එහෙත්, එවැනි මැදිහත්වීම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි හා නිශ්චිත ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. මෙවැනි පියවරක් තබන්නට පෙර සමත් විය යුතු පළමු පරීක්ෂාව අදාළ කාර්යය පෞද්ගලික අංශය හරහා ඉටු නොවන බව තහවුරු කර ගැනීමයි. දෙවන පරීක්ෂාව එසේ පෞද්ගලික අංශය විසින් අදාළ කාර්යය නොකිරීමට හේතුව හෝ හේතු හඳුනාගැනීමයි. තෙවන පරීක්ෂාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කළ හැකි බව සෑහෙන තරමක විශ්වාසයකින් යුතුව තහවුරු කර ගැනීමයි. පළමු පියවර දෙකට සාපේක්ෂව දෙවැන්න දේශපාලනිකයි. 

පසුගිය (2022) දෙසැම්බර් මාසයේ පළ කළ "ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්" ලිපියෙන් ඇමරිකාවේ සිදු වන මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් ගැන විස්තර ඉදිරිපත් කර තිබෙනවා. එම සටහනේ ලියා ඇති පරිදි, සාමාන්‍ය ඇමරිකානුවෙකු විසින් ගෙයක් මිල දී ගනිද්දී අඩු වශයෙන් නිවසේ වටිනාකම මෙන් 5%ක පමණ ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. එක්තරා කාලයකදී මෙය 30%-50% පමණ ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. 

මේ ඩවුන් පේමන්ට් එක ගෙවිය යුතු නිසා, යමෙකුට ගෙයක් මිල ගන්න කලින් ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගෙය ඇපයට තියා ගත්තත්, ගෙයි වටිනාකම අඩු විය හැකි නිසා ණය දෙන බැංකුවකට ගෙයි මුළු වටිනාකමම ණයට දීලා අවදානමක් ගන්නත් බැහැ. 

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න ඉඩ සලසනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. නමුත් එම මැදිහත්වීම බදු ගෙවන්නට බරක් නැති මැදිහත්වීමක්. මැදිහත්වීම හරහා කෙරෙන්නේ බැංකු මුහුණ දෙන අවදානම අඩු කිරීම මගින් අඩු ඩවුන් පේමන්ට් එකක් අරගෙන ණය දිය හැකි වාතාවරණයක් හදන එක. මේ වන විට ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් මේ වර්ගයේ ණය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීම නිසා සාමාන්‍ය නිවාස ණයක් සඳහා ගෙවිය යුතු ඩවුන් පේමන්ට් එකද ක්‍රමයෙන් අඩු වී තිබීමයි.

කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ රජය මුල් වී රක්ෂණ ක්‍රමයක් හදන එක. රක්ෂණ ආයතනයක් විශාල වූ තරමට වැඩි අවදානමක් ගන්න පුළුවන්. මේ විදිහට හදන ආයතනය රජය මුල් වී හදන ආයතනයක් වුනත් එහි කොටස්කරුවෝ සාමාජික බැංකු. ලාබය යන්නෙත් ඔවුන්ට. ඒ නිසා, රජයේ මූල්‍යමය මැදිහත් වීමක් නැහැ. 

මීට කිට්ටු ආකෘතියක් යොදා ගනිමින් මේ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය දීම සඳහා අලුත් ආයතනයක් ස්ථාපනය කර තිබෙනවා. මම හිතන්නේ මෙය හොඳ ප්‍රවේශයක් හා හොඳ රාජ්‍ය මැදිහත්වීමක්. 

කෙසේ වුවත්, මෙය ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව ස්ථාපනය කිරීම මෙන් රජය විසින් මාර්ගෝපදේශනය පමණක් කිරීමක් නෙමෙයි. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල හවුල්කාරිත්වයක් ලෙස බිහිවන ආයතනයක්. ලංකාවේ දැනට පවතින සන්දර්භයේ එහි වැරැද්දක් නැහැ. ආයතනය හොඳින් ස්ථාපනය වූ පසු අවශ්‍යනම් රජයේ කොටස්ද සාමාජික බැංකු වලටම විකුණා දමන්න පුළුවන්. National Credit Guarantee Institution (NCGI) ලෙස හැඳින්වෙන මෙම ආයතනයේ කොටස්හිමියන් හා සාමාජිකයින් ලෙස බැංකු 10ක් හා බැංකු නොවන මූල්‍ය ආයතන 3ක් එකතු වී තිබෙනවා.ඉහත ආයතනය පිහිටුවීම සඳහා තාක්ෂණික සහයෝගය මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙන අතර සාමාජික බැංකු වල කොටස් ආයෝජන වලින් තවත් ඩොලර් මිලියන 10ක් එකතු වෙනවා. ඒ අනුව, වැඩේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් එකතු කරන්නේත්, රැකියා වලින් 45%ක් සපයන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ. රටේ ආර්ථික වර්ධනයේ එන්ජිම මොවුන් කියා කියන්නත් පුළුවන්. එහෙත්, සාමාන්‍යයෙන් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට බැංකු ණයක් ගන්න එක ලේසි නැහැ. ප්‍රධානම හේතුව ඇපයට තියන්න දෙයක් නැතිකම. යම් හෙයකින් ණයක් ගත්තත් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. බැංකු වල පැත්තෙන් මෙය සාධාරණයි. ඒ මොවුන්ගේ ණය පැහැර හැරීමේ අවදානම වැඩි නිසා සහ ඇපකරයක් නැත්නම් එහිදී විය හැකි පාඩුව වැඩි නිසා.

අලුත් ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ ෆෙඩරල් නිවාස බැංකුව හරහා සිදු වන ආකාරයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ණය රක්ෂණය වෙනවා. ඒ නිසා, බැංකු වලට ණය ආපසු නොලැබීමේ අවදානම අමතක කරලා සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන්. මේ විදිහට ණය රක්ෂණය කිරීම වෙනුවෙන් ලබාගන්නා රක්ෂණ වාරික මුදල් වලින් අලුත් ආයතනයට රටේ මහ ජනතාවට බරක් නොවී පවතින්න පුළුවන්. 

වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති නිසා අලුත් ආයතනයේ ආකෘතිය හෝ ක්‍රියාකාරිත්වය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම හිතන්නේ එක් එක් සාමාජික ආයතනයට යම් කෝටා එකක් ලැබෙයි. එම කෝටා එකට යටත්ව එක් එක් ආයතනය විසින් සහන පොලියකට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙයි. ඒ හැර අලුත් ආයතනයෙන් කෙළින්ම ණය ලබා දෙන එකක් නැහැ. එහෙත්, මේ ක්‍රමය යටතේ ණය ගැනීමේදී ණය ගන්නා ආයතනයෙන් සහ මෙම ආයතනයෙන් යන දෙතැනින්ම අනුමැතිය ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ සිදු වන දෙයක් නිසා අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් සාමාජික බැංකු වලට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම්, මෙයත් තවත් එක් රාජ්‍ය ආයතනයක් විය හැකියි. කොහොම වුනත්, එදාවේල තීරණ වෙනුවට දිගුකාලීනව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන මෙවැනි දෙයක් ගැන හිතපු එකම වුනත් හොඳ ප්‍රවණතාවක්.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: