වෙබ් ලිපිනය:

Saturday, April 16, 2016

අවුරුද්දෙන් අවුරුද්ද කල් යන සිංහල අවුරුදු උදාව

තවත් සිංහල අළුත් අවුරුද්දක් උදා විය. වෙනත් එකතු කිරීම් නැතිව සිංහල අළුත් අවුරුද්ද කියා ලිවුවේ මේ බ්ලොග් ලිපිය කියවන අය අතරින් මේ අවුරුද්ද සමරන සියල්ලන්ම පාහේ සිංහලයන්යැයි මා සිතන නිසාය. මේ සිංහල අවුරුද්දට මුල් වන සිදුවීම ඉන්දියන් උප මහාද්වීපයේ හා ආසන්න තවත් රටවල් කිහිපයක වෙසෙන ජන කණ්ඩායම් රැසක් හා ඒ ජන කණ්ඩායම් වලට අයත් ලෝ පුරා වෙසෙන  ඩයස්පෝරිකයෝද කිසියම් අයුරකින් සමරති. එයට ලංකාවේ ජීවත්වන දෙමළුන්ද ඇතුළත්ය.

මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවූයේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින පස්වරු 7:48ටය. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1937 වසර ගෙවී 1938 වසර උදා විය. මේ වන විට, සිංහල අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.

2016 අප්‍රේල් 13 පස්වරු 7:48
2015 අප්‍රේල් 14 පස්වරු 1:47
2014 අප්‍රේල් 14 පෙරවරු 7:37
2013 අප්‍රේල් 14 පෙරවරු 1:29
2012 අප්‍රේල් 13 පස්වරු 7:20
2011 අප්‍රේල් 14 පස්වරු 1:01
2010 අප්‍රේල් 14 පෙරවරු 6:58
2009 අප්‍රේල් 14 පෙරවරු 12:47

මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකය. කෙසේ වුවද, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැත. ඉදිරියේදී සිදුවන්නේද නැත. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේ, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකය.

සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලුවේ. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසාය. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලිය.

2015/16 : දින 365 පැය 6 විනාඩි 01
2014/15 : දින 365 පැය 6 විනාඩි 10
2013/14 : දින 365 පැය 6 විනාඩි 08
2012/13 : දින 365 පැය 6 විනාඩි 09
2011/12 : දින 365 පැය 6 විනාඩි 19
2010/11 : දින 365 පැය 6 විනාඩි 03
2009/10 : දින 365 පැය 6 විනාඩි 11

මේ අනුව, සූර්යයාගේ ගමන අනුව සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365 පැය 6 කට වඩා විනාඩි 9-10 පමණ දීර්ඝ බව පෙනේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක සාමාන්‍ය දින ගණන 365ක් වන අතර වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුදු එළැඹේ. මේ අනුව, සිංහල අවුරුද්දේ දිග දින 365 පැය 6 වීනම් වසර හතරකට පසු සිංහල අවුරුදු උදාව සිදුවනු ඇත්තේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව එය මේ වසරේ සිදුවූ මොහොතේදීමය. එහෙත්, සිංහල අවුරුද්ද විනාඩි ගණනකින් දීර්ඝ නිසා මේ මොහොත කල් යනු ඇත. මෙයට අමතරව ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් දින තුනකින් ඉදිරියට යයි. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මේ සිදුවීම මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීය. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීය. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වුනේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකය. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත් නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපේ. (එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟය. මේ අනුව, අවස්ථා කිහිපයකදීම සිංහල අවුරුද්ද ගණනය කිරීමේ ක්‍රමවේදයේ ආකෘතිමය වෙනස්කම් වී ඇති බව පෙනේ.)

සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනි. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීම මෙහි අරමුණ විය. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබේ. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීය.

නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ ඉදිරි දශක කිහිපය තුළ එළඹෙන අධික අවුරුදු වලදී පමණි. මේ අනුව, තවත් දශක කිහිපයකට පසු සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වනු ඇත.

ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක්!

(Image: www.lanka.com)

14 comments:

  1. දිනය කවදාට යෙදුනත්, අනාගත පරපුරත්, විද්‍යුත් ක්‍රමයකට හෝ, මේ සිරිත් නාමික මට්ටමෙන්වත් පවත්වාගෙන යනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ සිරිත් තවත් කාලයක් පැවතෙයි.

      Delete
  2. මට මතකයි රෝබර්ට් නෝක්ස් ගේ පොතෙත් තිබුනා වගේ සිංහල අවුරුදු උත්සවය මාර්තු අග පවත්වපු කතාවක්..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  3. ඔව් නේද? මේ විස්තරේ හැටියට එහෙම වෙන්න පුලුවන්. ඒ වගේම මේ කතා කරලා තියෙන්නේ වැදගත් දෙයක්. මේ ගැන හරියට දැන ගත්තේ අදයි.

    ReplyDelete
  4. හිටපු රජතුමා කිව්ව නැකැත් වැරදියි කියල දැන්

    ReplyDelete
    Replies
    1. හිටපු රජතුමා කලින්ම නැකත වරද්ද ගත්තනේ.

      Delete
  5. ඉකෝන්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  6. oya shaka calender eka goda paranada. Queros piyathuma dantha dathuwa goa ta genichcha kiyala thiyenawada.

    ReplyDelete
    Replies
    1. ශක වර්ෂ වල ආරම්භය වසර 1938කට පෙර වුනත් ඒ සඳහා මුල් වූ වර්ෂ ගණනය කිරීමේ ක්‍රමය ඊටත් වඩා බොහෝ පැරණියි.

      කරඬු හතක් ඇතුළේ ඇති මී හරක් දතකට බුදුන්ගේ දතක්යැයි සිතා ගෞරව කරන බව ක්වේරෝස් පියතුමා කියා තිබෙනවා (පිටුව 60). ගෝවට ගෙන ගිය සිදුවීම පිලිබඳ විස්තරය මට හමුවී නැහැ. (මම ඔහුගේ සටහන් සියල්ලම සැලකිල්ලෙන් කියවා නැහැ).

      Delete
  7. පරක්කු වෙලා ආවට සොරි. සුභ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  8. අපි පොඩි කාලේ අව්රුද්ද තිබුනේ 12 ,13 වගේ තමයි මටත් මතක් .මමත් හිතුවා මේක ඉස්සරහට යන්න මොකක් හරි හේතුවක් ඇති කියලා. ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරමි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: