වෙබ් ලිපිනය:

Wednesday, November 9, 2016

අනාවැකි බොරු කළ ඇමරිකානු ජනාධිපතිවරණය


ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබේ. ඒ සමඟම, ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොංග්‍රසයේ සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද බලය රිපබ්ලිකන් පක්ෂයට හිමි වී තිබේ. මෙය විය හැකිව තිබුණු දෙයක් වුවත් වැඩි දෙනෙකු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවේ.

ඇමරිකානු මැතිවරණ ක්‍රමය අනුව රිපබ්ලිකන් පක්ෂයට මෙවැනි විශාල බලයක් ලැබී තිබුණත් පරාජිත ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයග්‍රාහක ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් ලබා ඇති බව ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පෙනෙන්නට තිබේ. මෙය මීට පෙර 2000 ඇමරිකානු
ජනාධිපතිවරණයේදීද ඇති වූ තත්ත්වයකි.

මෙවර මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ටත් වඩා විශාල කැපී පෙනෙන පරාජයක් ලබා ඇත්තේ ජනමත සමීක්ෂණකරුවන්ය. ඔවුන් බහුතරයක් පුරෝකථනය කළේ හිලරි ක්ලින්ටන් ජයග්‍රාහිකාව වනු ඇති බවයි. මැතිවරණ ඔට්ටු තබන්නන් වැඩිදෙනෙකු සිටියේද මේ මතයේය. මැතිවරණ දිනය ආසන්නයේ බුකිකරුවන් මැතිවරණ ඔට්ටු භාර ගනිමින් සිටි අනුපාත පහත පරිදිය.

ක්ලින්ටන් 1:5
ට්‍රම්ප් 4:1
අනෙකුත් අපේක්ෂකයින් 500:1

මේ බුකිකරුවන් ඔට්ටු භාරගන්නේ ලාභ ලබන්නට මිස පාඩු ලබන්නට නොවේ. ඒ නිසා, මේ ඔට්ටු මුදල් අනුපාත සකස් වන්නේ  දෙපැත්තට ඔට්ටු තබන්නන් සමතුලිත ක
ලාභයක් ලැබිය හැකි පරිදිය. ඉහත අනුපාත අනුව මුදල් ගෙවා ලාභයක් ලැබිය හැක්කේ ඔට්ටු තබන්නන් එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් තබන ඔට්ටු මුළු ඔට්ටු මුදලින් පහත ප්‍රතිශත නොඉක්මවන්නේනම් පමණි.

ක්ලින්ටන් වෙනුවෙන්: 83.3%ට (5/6) අඩු ඔට්ටු ප්‍රමාණයක්
ට්‍රම්ප් වෙනුවෙන්: 20%ට අඩු (1/5) ඔට්ටු ප්‍රමාණයක්
අනෙකුත් අපේක්ෂකයින් වෙනුවෙන්: 0.2%ට අඩු (1/501) ඔට්ටු ප්‍රමාණයක්

මේ ගණන් වල එකතුව 103.5%ක් වන නිසා මෙසේ ඔට්ටු භාරගන්නා බුකිකරුවෙකුට මුළු ඔට්ටු ප්‍රමාණයෙන් 3.5%ක් පමණ ලාභ ලෙස එකතු වේ.

ඉහත අනුපාත වලින් පෙනෙන්නේ ඔට්ටු තබන්නන් 80-85% අතර ප්‍රමාණයක් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇතැයි සිතා ඇති බවයි. සමස්තයක් ලෙස ජනමත සමීක්ෂණ වලින් පෙන්නුම් කළේද මෙවැනිම තත්ත්වයකි. මේ ජනමත සමීක්ෂණ බොහොමයක්ම තෝරාගත් අහඹු ඡන්දදායක නියැදි මත පදනම් විය. එසේ නොවන විට නියැදිය අහඹු නියැදියක් ලෙස සැලකිය හැකි වන පරිදි බර තැබීම් කරනු ලැබ තිබේ. එසේනම්, මේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල බොහොමයක් නිවැරදි නොවූයේ ඇයි?

බොහෝවිට මෙයට හේතුවන්නට ඇත්තේ ට්‍රම්ප්ට හා ක්ලින්ටන්ට ඡන්දය දුන් ඡන්දදායකයින් අතර පැවති සමීක්ෂකයෙකුට නිරීක්ෂණය නොවන වෙනස් කමකි. ක්ලින්ටන්ට ඡන්දය දීමට තීරණය කර සිටි අයගෙන් වැඩි ප්‍රතිශතයක් ට්‍රම්ප්ට ඡන්දය දීමට තීරණය කර සිටි අයට සාපේක්ෂව ඒ බව නොපැකිල ප්‍රකාශ කරද්දී ට්‍රම්ප් පාර්ශ්වයේ අය එසේ කර ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙයට ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති වෙනස්කම් හා අනෙකුත් හැසිරීම් වල වෙනස්කම් හේතු වූවා විය හැකිය. එසේ වූ විට, 'තවමත් තීරණය කර නැති' ලෙස ලේබල් වන ගොඩේ වැඩිපුර රැඳෙන්නේ ට්‍රම්ප් පාර්ශ්වයේ අයයි. මෙය ජනමත සමීක්ෂකයින්ට නිරීක්ෂණය නොවන නිසා ඔවුන්ට සලකන්නට වෙන්නේ මේ 'තවමත් තීරණය කර නැති' කණ්ඩායම අපේක්ෂයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් වැඩි නැඹුරුවක් නොමැති කණ්ඩායමක් ලෙසයි.

කෙසේවුවද, මා නොදන්නා වෙනත් ක්‍රමවේද උපයෝගී කරගෙන ට්‍රම්ප් ජයගනු ඇති බව ස්ථිරවම පැවසූ අයද සිටිති.


(Image: http://www.businessinsider.com/donald-trump-trademarked-make-america-great-again-2015-5)

13 comments:

  1. Bullshit college; I mean bullshit electoral college https://www.facebook.com/thedailyshow/?hc_ref=PAGES_TIMELINE&fref=nf

    ReplyDelete
  2. ඡන්දය පාවිච්චි කළ ප්‍රතිශතයේ ලොකු වැඩිවීමක් නැද්ද?

    සාම්පලින් සඳහා ස්ට්‍රාටා තෝරා ගැනීමේ වරදක් විය හැකිය. සමීක්‍ෂණයේ දී කුමක් කීවත් ඡන්දය දෙන දින උදේ නැගිටින විට සිතුනු දේ කරන අය ද සිටිති.

    ReplyDelete
    Replies
    1. ඡන්දය දුන් ප්‍රතිශතයේ එවැනි විශාල වෙනසක් පේන්න නැහැ. නමුත් තීරණාත්මක සුළු වෙනසක් තියෙන්නේ පුළුවන්. බොහෝ විට මාධ්‍ය ආයතන මඟින් පවත්වන මේ ජනමත සමීක්ෂණ විශ්ව විද්‍යාල හෝ වෙනත් ප්‍රධාන සංඛ්‍යාලේඛණ ආයතන වල සමීක්ෂණ මෙන් සංකීර්ණ නියැදි සැලසුමක් නැති පපඩම් සමීක්ෂණ වුවත්, කරන්නේ මාධ්‍ය ආයතන මඟින් වූ විට ඕනෑවට වැඩි විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. ස්ට්‍රාටා තෝරාගැනීමේ අඩුපාඩු ගැනත් දැන් කතාවෙනවා. විශේෂයෙන්ම ට්‍රම්ප් විසින් ආමන්ත්‍රණය කළ අඩු ඉගෙනුමක් ලැබූ සුදු ජාතිකයින් නියැදි වල නියෝජනය වී ඇත්තේ අඩුවෙන් බව. කොහොම වුණත් මෙහි ඇති යහපත් දෙය ක්‍රමවේදය 'කාටවත් නොකියන රහසක්' නොවන නිසා වැරදුණේ ඇයි කියා හොයන්න සහ ක්‍රමවේදය වඩා නිවැරදි කළ හැකි අයෙකුට එසේ කරන්න අවස්ථාවක් තියෙනවා.

      Delete
  3. සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
    ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
    තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
    තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

    රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
    ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
    විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
    අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

    නැති මුත් ප්‍රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
    ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
    අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
    සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

    ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
    රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
    අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
    ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කිරි ට්‍රම්පොච්චියේ මේ කුමාර මලයනේ! පොඩ්ඩක් කවි ටිකේ මාත්‍රා ගාණ සෙට් වුනානං පංකාදුයි.

      Delete
  4. අනාවැකිකරුවන් නං පරාදයි. එහෙත් පරාදයි මෙහෙත් පරාදයි.(අපි නං ටිකක් හරි කිට්ටු අනාවැකි කිව්ව) ඒ වගේම අනාවැකි කියූ මාධ්‍ය ආයතනත් අපේ වගේ වෙනම ඇජෙන්ඩා එකකට අනාවැකි කිව්ව කියල කියවුනා. ඡන්දය පැවැත්වෙන විකාරරූපී ක්‍රමය නිසාත් රටවල් වැනි විශාල ප්‍රාන්ත නිසාත් ඒක ලේසි වැඩක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ///අනාවැකිකරුවන් නං පරාදයි. එහෙත් පරාදයි මෙහෙත් පරාදයි.///
      නමුත් ඉකොන් දාල තියෙන ලින්ක් එකේ ඉන්න එකා හරියට කියලා...

      Delete
  5. මටනම් හිතෙන්නෙ ගොඩක් දෙනෙක් හිලරිගෙ ප්‍රතිපත්ති හොඳයි කියල එලි පිට කිව්වට, ඒ කියපු අයගෙන් බොහෝ දෙනෙක් හිත යටින් ජාතිවාදී ට්‍රම්ප්ට ප්‍රිය කිරීමයි. ඒ නිසා සමීක්ෂණවල හිලරිට කැමැත්ත දුන්නත්, ඡන්ද පොලේදි ට්‍රම්ප්ට ඡන්දෙ දෙන්න ඇති. ලංකාවෙ ජවිපෙට වෙන්නෙත් ඕකමනෙ, ඔක්කොම හොඳයි කිව්වට බහුතරේ ඡන්දෙ දෙන්නෙ මහ පක්ෂ දෙකට.

    ReplyDelete
    Replies
    1. මෙහි රොබට් කියා ඇති දෙයට මමත් පුද්ගලිකව එකඟයි. ගොඩක් අය ජාතිවාදය නොපෙන්වා යටපත් කරගෙන ඉන්නේ සමාජ පීඩනය හා නීතිරීති නිසායි.

      Delete
  6. 'ඇමරිකානු සමාජයේ යථාර්ථය' කියා කියනවා හැර, වෙන කුමක් කියන්නද?

    ReplyDelete
  7. අන්න ඇමෙරිකාවේ අලුත් movement එකක් පටන් අරගෙන.. slogan එක "දිනූ මව්බිම අනතුරේ .. හිලරි සමග නැගිටිමු"

    ReplyDelete
    Replies
    1. ස්පේස් එක ටයිප් වෙලා නෑ වගේ "මව් බිම අනතුරේ .. හිලරි සමග නැගිටිමු"

      Delete
  8. කලකට පෙර ඉන්දියාවේ මැතිවරණයකදීත් අනාවැකි කරුවන් පරාජය වුනා..එකත අතකින් හිතුවාම අනාවැකි කාරයෝ ඔ්‍ය තරං හරිනං ඡන්දයක් තියන්න ඕනි නෑනෙව..අනික මිලියන එකසිය විස්සක් ඉන්න රටක සමස්ථ ඡන්ද ප්‍රමාණ වල වෙනස ලක්ස දෙකහමාරක්..එතකොට තීරණාත්මක ඡන්ද තිබිලා තියෙනනේ මිලියනයක් දෙකතුනක් වගේ ප්‍රමාණයක්...නෙව..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: